මා 1957 වර්ෂයෙදී සිවිල් සේවා ආධුනිකයෙකු වශයෙන් යාපනයේ කච්චේරියේ සේවය කරද්දී, නෛනාතිවූ නාගපුෂනී අම්මන් කෝවිලේ තේර් මංගල්ලයට සහභාගිවීම සඳහා බෝට්ටුවකින් යාමට ලැබුණු ආරාධනය සතුට්න් පිළිගතිමි. මට මතක හැටියට, දිසාපති තුමා ද, උප දිසාපති තුමා ද, දිස්ත්‍රික් විනිශ්චයකාර තුමා ද අපේ බෝට්ටුවේ ගමන් කළහ.
පාන්දරින්ම නෛනාතිවූ ජැටියෙන් ගොඩ බට, අපේ කණ්ඩායම දේව වාහනය කෝවිල වටා ඇගෙන යාම ඇතුළු පුජාවන්ට සහභාගී විය. උත්සවය අවසාන වීමෙන් පසු යාපනයේ පරම්පරා ගත මියුරු රසකාරක යෙදූ රජබොජුනක් අපට පිළිගන්වන ලදී.
භෝජනයෙන් පසු, අපේ කණ්ඩායමේ සියලු දෙනාම කිලෝමීටරයක් පමණ පයින් ඇවිද ගෙන ගොස්, නාගදීප විහාරයට සේන්දු වුණෙමු. එහිදී විහාරාධිපති තුමන් විසින් අප පිළිගන්නා ගෙන, අපට සංග්‍රහ කොට, ආශිර්වාද කරන ලදී. දවස කෙළවර, අපි විහාරය ඉදිරිපිට පිහිටි නාගදීප ජැටියෙන් බෝට්ටුවට නැගී පෙරළා ආවෙමු. අප කෝවිලේ සිට විහාරය කරා පිය නගන අතර, දෙශපාලනඥයන් ඇතුළු, දිවයින දෙකඩ කරන කිසිම බාධකයක් අප දුටුවේ නැත.
‘නාගදීප’ යන පදය කිසිම භාෂා බේදයකට ගොදුරු නොවූ, පාළි භාෂාවේ වචනයකි. ඇරත් බුද්ධ කාලයට පෙරත් දිවයිනෙහි ජනාවාසයක් වූ බවට ඒ පදය දෙස් දෙයි. බෝට්ටුවේ ගමන් ගත අප සියලු දෙනාටම අනිකාගේ වහර මැනවින් හුරු වූ බැවින් එන මග පැවතුණේ ප්‍රාණවත් සාකච්ඡාවකි.
ගෙදර ආ පසු මා නාගදීපයට ගිය බව අම්මාට කීවෙමි. දිසාපති තුමා නෛනාතිවූ ගිය බව එතුමාගේ මැතිනියට කියන්නට ඇත. අප දෙදෙනාම ගියේ එකම තැනකට බව මැතිණියන් දෙදෙනාටම නිසැකව වැටහෙන්නට ඇත.