28 March, 2024

Blog

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, කම්කරු අයිතීන් හා ‘බුදු සරණයි’ කියා ලියාගෙන​ හොර හරක් අදින​ ලොරි

ශ්‍රීලාල් සෙනෙවිරත්න –

ශ්‍රීලාල් සෙනෙවිරත්න

⦁    එස්. සුදසිංහ
⦁    ඩී.ඩබ්. සුබසිංහ
⦁    වීරසුමන වීරසිංහ
⦁    අචාර්ය වීරසිංහ
⦁    හේමා විල්බට්
⦁    චන්දන විජේකෝන්
⦁    සිරි වෙත්තසිංහ
⦁    විල්ප්‍රඩ් ජයසිංහ
⦁    උදේනි දිසානායක
⦁    එල.ආර්. ස්ටීවන්
⦁    එම්.ඒ. රිස්වි
⦁    රාජා උස්වැටකෙයියාව ඇතුළුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා සහ දේශපාලන මණ්ඩල සාමාජික මහත්වරුන් වෙතයි,

මහත්වරුණි/සහෝදරවරුණි,

‘වැඩකරන ජනතා අයිතීන් වෙනුවෙන් පෙළගැසෙමු….????‘

මෙවර විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මැයි රැළියට කලක් ‘ඇත්ත‘ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙන් කටයුතු කළ මගේ සුබ පැතුම් එක්කරන්නට ප්‍රථමයෙන් කැමැත්තෙමි.

පක්ෂයේ මෙවර මැයි දින සැමරුමේ තේමා පාඨ අතර ‘වැඩකරන ජනතා අයිතීන් වෙනුවෙන් පෙළගැසෙමු‘  යන චිරාත් කාලයක් තිස්සේ වමේ පක්ෂ භාවිතා කරන, කොමියුනිස්ට් පක්ෂයද භාවිතා කළ තේමා පාඨයද ප්‍රචාරක දැන්වීම්වල දැකගන්නට ලැබුණි. අතීතයේදී එම තේමා පාඨය භාවිතා කිරීමට කොමියුනිස්ට් පක්ෂයට හැකියාවක් තිබුණද අද වන විට වැඩකරන ජනතා අයිතීන් වෙනුවෙන් කතා කිරීමට කොමියුනිස්ට් පක්ෂයට සාදාචාරාත්මක හැකියාවක් නොමැති බව පෙන්වා දීමට කැමැත්තෙමි. මන්ද කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ප්‍රමුඛව මධ්‍යම කාරක සභිකයන් පිරිසක් වසර දෙකක පමණ කාලයක් තිස්සේ කම්කරු නීති කඩකිරීම සහ කම්කරු අයිතිවාසිකම් අහිමි කිරීමේ චෝදනාව මත අධිකරණය ඉදිරියේ වගඋත්තරකරුවන්ව සිටින බැවිනි. එපමණක්ද නොව ඔවුන් විසින් හිතාමතාම සහ සැළසුම් සහගතව සිදුකරනු ලැබ ඇති එකී කටයුත්ත අධිකරණයෙන් වසන් කිරීමටත්, ‘ඇත්ත‘ වශයෙන් බොරුවක් අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීමටත් පක්ෂයේ සභාපතිවරයාද, මධ්‍යම කාරක සභිකයන්ද, දේශපාලන මණ්ඩල සභිකයන්ද ඉදිරිපත්ව සිටින බැවිනි. එම නඩුවේ වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයා ලෙස අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් අධිකරණය නොමග යැවීමට බොරු බේගල් ඇද බාමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයාය. කොමියුනිස්ට් පක්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව  කියන නීතිඥ ඊ.ඒ. සමරසිංහ මහතාද ඔහු සමග එක්ව සිටී.

සෙසු පුද්ගලයන් මෙසේය.
⦁    දික්ඕවිට කංකානම්ගේ ජිනදාස
⦁    අකුරැටිය ගමගේ ජයසේන
⦁    මොහමඩ් හනීපා මොහමඩ් අසාන් රිස්වි
⦁    විල්සන් ලියනගේ

ඔබ සියලු දෙනාගේ දැනගැනීම පිණිස එම නඩු කටයුත්ත පිළිබඳ විස්තරය මෙසේ ඉදිරිපත් කරමි.

ඇත්ත

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ලියුම්කරු 2014 වසරේ රැකියාව කරමින් සිටියේ ‘ඇත්ත‘ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙනි. එම තනතුරට ලියුම්කරු බඳවා ගත්තේ එවක ඇත්ත පුවත්පතේ ප්‍රධාන කර්තෘ මයිකල් ප්‍රනාන්දු මහතා සහ ගණකාධිකාරි උධිත වෛද්‍යසේකර මහතා විසින් පවත්වන ලද මූලික සම්මුඛ පරීක්ෂණයකින්ද, දෙවනුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව් ගුණසේකර, පක්ෂයේ මධ්‍යම කාරක සභා සහ දේශපාලන මණ්ඩල සාමාජිකයන් වන දික්ඕවිට කංකානම්ගේ ජිනදාස හෙවත් ‘බැංකු ජිනේ‘, අකුරැටිය ගමගේ ජයසේන හෙවත් අ.ගා. ජයසේන හමුවී පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකින්ද පසුවය. එම අවස්ථාවේදී පක්ෂ ලේකම් ඩිව් ගුණසේකර මහතා පුවත්පත සම්පාදනයේදී පවත්වා ගත යුතු එක් කොන්දේසියක් පමණක් ලියුම්කරුට ඉදිරිපත් කළේය. එය නම් එවක ඔහුද ඇමැති ධුරයක් දැරූ සන්ධාන ආණ්ඩුවේ කොටස්කාර පක්ෂවල නායකයන් ඉලක්ක කොට ප්‍රහාරාත්මක වාර්තා පල කිරීමෙන් වළකින ලෙසය. ඊට හේතුවද ඔහු දැක්වීය. එනම් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද ආණ්ඩු පක්ෂ සන්ධානයේ සාමාජිකයෙකු බැවින් එම පක්ෂයේ පුවත්පතෙන් එකම කඳවුරේ සෙසු පක්ෂ නායකයන්ට පෞද්ගලිකව පහර වදින ආකාරයේ  වාර්තා පලවීමෙන් සන්ධානය තුළ අනවශ්‍ය ආකාරයේ ගැටළු මතුවිය හැකි වීමය. එම කොන්දේසියට යටත්ව පුවත්පත ජනතාව අතර ප්‍රචලිත කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද ඒ සඳහා පූර්ණ නිදහස හිමිවන බවද හෙතෙම පැවසීය.

ඒ අනුව ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතාත් සමග එක්ව ‘ඇත්ත‘ පුවත්පත ජාතික මට්ටමේ විකල්ප පුවත්පතක් බවට පත් කිරීමට ලියුම්කරු අපමණ උත්සායකින් කටයුතු කළේය. පුවත්පත මුල්‍ය දුෂ්කරතාවලට මුහුණ දුන් අවස්ථාවලදී ලියුම්කරුගේ වැටුප කොටස් වශයෙන් ලබාගෙන සෑහීමකට පත්වුණෙමි. පුවත්පත අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බාහිර පාර්ශ්වයන්ගෙන් විවිධාකාරයේ සහාය ලබාගැනීමට කටයුතු කළෙමි. එවක ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හමුවී ඔවුන් දැනුවත් කොට ඔවුන්ගෙන් ඍජුවම මුල්‍ය අනුග්‍රහ ලබාගැනීමට ද කටයුතු කළෙමි. ‘හෙටක් නැති රටක්‘ නාට්‍ය දර්ශනයක් පවත්වා අධාර මුදල් සෙවීමට ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතාට සහාය දුන්නෙමි. මෙවැනි කටයුතුවලදී අදාළ බොහෝ ගමන් බිමන් ගියේද මාගේ වාහනයෙන් මාගේ අතේ මුදලින් ඉන්ධන පිරිවැයද දරා ගනිමිනි. ප්‍රධාන කර්තෘ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතාද දිවා රෑ නොබලා මේ ආකාරයෙන් දැරූ අප්‍රමාණ වෙහෙසේ ප්‍රතිපලයක් ලෙස 2014 වසරේ අග භාගය වන විට ‘ඇත්ත‘ ජනතාව අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වෙන්නටත් අලෙවිය වැඩිවන්නටත් පටන් ගෙන තිබිණ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තුන්වන වරටත් විධායක ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තීරණය කරන්නේ මෙසේ පවතින අතරය. ඒ වන තෙක් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ සිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හිටි අඩියේ එම ස්ථාවරයට සපුරා වෙනස්ව රාජපක්ෂ ජනාධිපතිවරයා තුන්වන වරටත් විධායක ජනපති කළ යුතු බවට තීරණය කරන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වී නොබෝ දිනකිනි.

මාධ්‍ය සදාචාරය සහ කම්කරු අයිතිවාසිකම්

ඉන් පසුව එතෙක් ‘ඇත්ත‘ පුවත්පත අනුගමනය කළ මාධ්‍ය භාවිතාව සහ ප්‍රතිපත්තීන්ට සපුරා පටහැනිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත් කිරීමට අවශ්‍ය ජනමතය සකස් කිරීමට කටයුතු කරන ලෙසට පක්ෂයෙන් සිදු කෙරුණු බලපෑම හේතුවෙන් ප්‍රධාන කර්තෘ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා තනතුරින් ඉල්ලා අස්වීය. ඉන් පසුව ඇත්ත කාර්යාලයට පැමිණි ‘බැංකු ජිනේ‘ සහ ‘අ.ගා. ජයසේන‘ දෙදෙනා ලියුම්කරුට ප්‍රකාශ කළේ දේශපාලන අවශ්‍යතාව අනුව ඇත්ත පුවත්පත ප්‍රතිසංවිධානය කිරීම සඳහා සති කිහිපයක් ඇත්ත කාර්යාලය වසා දමන බවය. අවශ්‍ය කටයුතු සිදුකළ පසු නැවත සේවයට පැමිණීමට දැනුම් දෙන බවත් එතෙක් නිවෙසට වී තමන්ගේ කටයුත්තක නියැළෙන ලෙසත් දැන්වමින් එම මාසයේ වැටුපද ලියුම්කරු වෙත ලබාදී පිටත් කොට හරින්නට ඔවුහු කටයුතු කළහ.

එහෙත් 2015 ජනවාරි 08 වෙනිදා පැවැති ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයගත් පසුව හෝ ලියුම්කරු නැවත සේවය සඳහා කැඳවුයේ නැත. ඒ පිළිබඳ විමසූ විට අ.ගා. ජයසේන ප්‍රකාශ කළේ ලියුම්කරුගේ සේවය ඇත්ත පුවත්පතට තවදුරටත් අවශ්‍ය නොවන බවය. ලියුම්කරුගේ සේවය සැපයීමේ කිසියම් දෝෂයක් හෝ අඩුපාඩුවක් සිදුවී දැයි ලියුම්කරු විමසූ විට ‘බැංකු ජිනේ‘ පැවසුයේ එවැන්නක් නොවූ බවත් ඉතා හොඳින් සේවය කළ බවත්, එහෙත් අලුත් දේශපාලන තත්ත්වය හේතුවෙන් ලියුම්කරු තවදුරටත් ඇත්ත පුවත්පතේ තබාගැනීමට නොහැකි බවත්ය. උපක්‍රමශීලීව ලියුම්කරුගේ රැකියාව අහිමි කරනු ලැබ ඇති බව ඒ අනුව පැහැදිලි විය.

ඉන් පසුව ලියුම්කරු කම්කරු අයිතියක් වන සිය සේවා කාලය සඳහා සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල් ලබාගැනීමට කම්කරු දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් ඉදිරිපත් කළේය. එම අවස්ථාවේදී කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණි නීතිඥ ‘ඊ.ඒ. සමරසිංහ‘ සහ ඇත්ත බෙදාහැරීම් අංශයේ කටයුතු කළ ‘සැනී‘ යන දෙදෙනා කම්කරු නිලධාරි හමුවේ ප්‍රකාශ කළේ ලියුම්කරු ඇත්ත කාර්යාලයේ සේවය නොකළ බවය. ලියුම්කරු ඇත්ත පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ වූ බව සමරසිංහ මහතා කෙසේ වෙතත් සැනී මහතා ඉතා හොඳින් දන්නා කරුණකි. මන්ද ඔහු නිරන්තරයෙන්ම පාහේ කාර්යාලය තුළ ගැවසුණු පුද්ගලයෙකු වූ බැවිනි. ඔවුන්ගේ මේ ප්‍රකාශයෙන් ලියුම්කරු මහත් විස්මයට පත්වූයේ රටේ පුරෝගාමී වාමාංශික කම්කරු පක්ෂයක ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් මෙසේ හැසිරීම සම්බන්ධයෙනි. අවසානයේ ලියුම්කරුට රැකියාව පමණක් නොව රැකියාව කළ කාලය සඳහා හිමිවිය යුතු සේවක අර්ථ සාධක අරමුදල් කොටස පවා අහිමි කොට ඇති බව පැහැදිලි වූයෙන් යුක්තිය සහ සාධාරණය පතා අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමට සිදුවී ය.

ඇත්ත සහ කෙප්ප

ඒ අනුව ‘ඇත්ත‘ පුවත්පතට විරුද්ධව කොළඹ අංක 01 කම්කරු විනිශ්චයාධිකාරයේ නඩු පැවරීමට ලියුම්කරුට සිදුවිය. 01/23/2015 යටතේ එම නඩුව මේ වන විටත් විභාග වෙමින් පවතී. එහි වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයා වශයෙන් පෙනී සිටින ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයාද වන නීතිඥ රාජා කොල්ලුරේ අධිකරණය හමුවේ ඔප්පු කරන්නට යන්නේ ලියුම්කරු ඇත්ත පුවත්පතේ සේවකයෙක් නොවූ බවත්, නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස පුවත්පතට ලිපි ලිවීම පමණක් සිදු කළ බවත්ය. ඇත්ත පාලනාධිකාරය විසින් අදාළ තනතුර සඳහා පත්වීම් ලිපියක් ලියුම්කරු වෙත නිකුත් කොට නොතිබීම ඊට සාක්ෂියක් ලෙස ඔහු දක්වයි. තවද ලියුම්කරු සේවයට බඳවාගෙන නොව කැඳවාගෙන තිබෙන්නේ ‘ඇත්ත‘ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නොව ප්‍රධාන කර්තෘ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා විසින් බවත්, එය පෞද්ගලික හිතවත්කමක් මත සිදුවූවක් බවත්, එයට ඇත්ත පාලනාධිකාරයේ වගකීමක් නොමැති බවත් ඔහු දක්වයි. තවද ලියුම්කරුගේ තනතුරට අදාළව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කොට ඇති මාධ්‍ය හැදුනුම්පතද කර්තෘවරයාගේ ඉල්ලීමක් මත ව්‍යාජ ලෙස නිකුත් කර ඇති එකක් බවත්, එයද කර්තෘවරයා සහ ලියුම්කරු අතර වන පෞද්ගලික හිතවත්කමක් මත සිදුවී ඇති බවත් පවසමින් මාධ්‍යවේදී හැඳුනුම්පතද ප්‍රතික්ෂේප කරයි. ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා ඇත්ත පුවත්පතේ ආයතනයේ සේවයෙකු පමණක් වූ බවටත්, ආයතනයක සේවකයෙකුට එම ආයතනයට තවත් සේවකයෙකු බඳවා ගැනීමට හැකියාවක් නොමැති බවටත් වන තර්කයක්ද ඔහු ඉදිරිපත් කරයි. ‘ඇත්ත‘ පුවත්පතේ සේවය කරන්නේ ස්වෙච්ඡාවෙන් කටයුතු කරන පිරිසක් පමණක් බවද ඔහු කියයි.

මේ තර්ක තහවුරු කිරීමට රට පටලවමින් හරස් ප්‍රශ්න අසමින් නඩුව දිනෙන් දින කල් යන ආකාරයටද කටයුතු කරමින් සිටී. ලියුම්කරු ඇත්ත පුවත්පතේ රැකියාව කළ බව ඉතාමත් හොඳින් දන්නා පුද්ගලයන් අතර කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයාද සිටී. ඇත්ත පුවත්පත ප්‍රකාශයට පත් කිරීම සඳහා පිහිටුවාගෙන තිබෙන ‘ප්‍රගති ප්‍රෙස් සමාගමේ’ සභාපතිවරයාද ඔහුය. ‘ජගත්චන්ද්‍ර’ නමින් ඇත්ත පුවත්පතට කොලමක් ලියන ඔහු සෑම සතියකම පාහේ මේ කොලම ද රැගෙන ‘ඇත්ත‘ කාර්යාලට පැමිණෙයි. ඔහු අතින් ලියන ලද කොලම ‘ටයිප් සෙටින්‘ කිරීම සඳහා සමන් ජයකොඩිට බාරදෙන්නේ මා සිටින ස්ථානය පසුකරගෙන ගොසිනි. සමන් ජයකොඩිට එය ‘ටයිප් සෙටින්‘ කරගැනීමට කාලය මදිවන අවස්ථාවලදී ඉන් පිටු කිහිපයක් ලියුම්කරුට කියාද ‘ටයිප් සෙටින්‘ කරගනී. මේ සියල්ල මැනවින් දත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ නායකයා අද අධිකරණය ඉදිරියේ ලෝකයට ප්‍රකාශ කරන්නේ ‘ඇත්ත’ නොව කෙප්පය. ඔහුගේ දීර්ඝ කාලීන නීතිඥ වෘත්තියේ දැනුම, අත්දැකීම් ආදී සියල්ල යොදාගනිමින් සිටින්නේ ලියුම්කරුගේ කම්කරු අයිතිවාසිකම් සියල්ල අහිමි කිරීම සඳහාය.

මෙවැනි තත්ත්වයක් පවතිත්දී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට තවදුරටත් ‘වැඩකරන ජනතා අයිතීන් වෙනුවෙන් පෙළගැසීමක්‘ පිළිබඳව ජනතාව ඉදිරියට ගොස් කතා කරන්නට කිසිදු ආකාරයක සදාචාරාත්මක හැකියාවක් තිබේදැයි ඔබලාගෙන් විමසා සිටිමි. කොමියුනිස්ට් පක්ෂය වැඩකරන ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළ ඉතිහාසයකට හිමිකම් කියන නමුත් මේ වන විට පක්ෂය කටයුතු කරන්නේ ඊට ඉඳුරාම වෙනස් අරමුණු සඳහා බවත්, එහිදී පක්ෂයේ නායකයන්ගේ හැසිරීම අන්ත දක්ෂිණාංශික පක්ෂයක නායකයන්ගේ හැසිරීමටත් අන්ත පහත් තත්ත්වයක පවතින බවත් ලියුම්කරුගේ අත්දැකීමයි. 

එසේ තිබියදී තවදුරටත් ජනතාව නොමග යවමින් වැඩකරන ජනතාවගේ මනාපය ලබාගැනීම සඳහා මෙවැනි තේමා පාඨ ඉදිරියට දමාගෙන මැයි රැළි පැවැත්වීම සෙසු ධනවාදී පක්ෂවල දේශපාලන භාවිතයටත් වඩා ග්‍රාම්‍ය බවද, වැඩකරන ජනතාව නොමග යැවීමක් බවද කණගාටුවෙන් ප්‍රකාශ කරමි. ලොරියක හොර හරක් මස් හෝ ඌරු මස් හෝ ප්‍රවාහනය කරද්දී එහි ඉදිරිපස ‘බුදු සරණයි’ යනුවෙන් සඳහන් ස්ටිකරයක් අලවාගෙන ඉදිරිපසින් පොල් මලක්ද සවිකරගෙන එකී කටයුත්ත කරන්නේ නම් එය මහත් අබග්ගයකි. එක්කෝ ‘බුදු සරණයි’ යන ස්ටිකරය සහ පොල්මල ඉවත් කළ යුතුය. නොඑසේ නම් එම ලොරියේ මස් ප්‍රවාහනය නතර කළ යුතුය.

ස්තුතියි,

මෙයට,

විශ්වාසී

ශ්‍රීලාල් සෙනෙවිරත්න

(හිටපු නියෝජ්‍ය කර්තෘ-ඇත්ත)

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.