19 April, 2024

Blog

බබිත් සුන් බබිගෙ අම්මත් සුන්

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ විපක්ෂ නායක ජේ ආර් ජයවර්ධනගේ සුරතලකු වූයේ එවකට අග්‍රාමාත්‍යව සිටි සිරිමා බණ්ඩාරනායකගේ පුත් අනුර බණ්ඩාරනායකයි. තම දේශපාලන අවශ්‍යතා සදහා අනුරව යොදා ගත හැකි බව තේරුම් ගත් තියුණු පන්ති ඉවකින් යුක්ත වූ ජේ ආර් ජයවර්ධන අනුරව පාර්ලිමේන්තුවට ගැනීම සදහා උපායක් කල්පනා කළේ ය. 1974 දී කලාවැව පාර්ලිමේන්තු ආසනය හිස් වී අතුරු මැතිවරණයක් පවත්වන්නට තීන්දු වුණි. ජේ ආර් ජයවර්ධන වහාම කීවේ සමගි පෙරමුණෙන් අනුර බණ්ඩාරනායක අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව ය.

එක්සත් ජාතික පක්ෂයේ රුක්මන් සේනානායක ඇතුළු පසුගාමීන්ට ජේ ආර් ජයවර්ධනගේ උපක්‍රමය තේරුම් ගන්නට දේශපාලනික සවිඥාණිකත්වයක් නොතිබුණි. ජේ ආර්ගේ තීරණයට විරෝධය පා ඔවුහු පක්ෂයෙන් ඉල්ලා අස් වූහ. එහෙත් ජේ ආර් උපක්‍රමික ලෙස අනුර බණ්ඩාරනායකව සමගි පෙරමුණු අපේක්ෂකයා කර ගැනීමට උත්සාහ දැරීය. කුමන හේතුවක් නිසා හෝ අනුර බණ්ඩාරනායකව සමගි පෙරමුණේ අපේක්ෂකයා නොවුණි. ජේ ආර්ගේ උපක්‍රමය බිද වැටුණි. එක්සත් ජාතික පක්ෂයෙන් ඒ එම් එස් අධිකාරී ඉදිරිපත් කළ අතර වැඩි ඡන්ද 3,757කින් ඔහු කලාවැව මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වුණි.

එක්සත් ජාතික පක්ෂය දිනන ආසනයක් සමගි පෙරමුණට පරිත්‍යාග කරන්නට තරම් ජේ ආර් ජයවර්ධන සූදානම් වූයේ ඔහු දේශපාලන මෝඩයකු නිසා නොවේ. පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් තිබූ සමගි පෙරමුණු ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ එක් ආසනයක් වැඩි කර ගැනීමට වඩා ඔහුට අවශ්‍ය වූයේ දේශපාලන උපාය උපක්‍රමයන් මගින් සමගි පෙරමුණු ආණ්ඩුව අතාර්කික කිරීමට ය. එහි ආචාරධාර්මිකතාව කෙසේ වෙතත් ජේ ආර් ජයවර්ධනගේ දේශපාලන උපක්‍රමය සාර්ථක එකකි. සමගි පෙරමුණු ආණ්ඩුවේ බිදවැටීම බාහිරින් සිදු කිරීමට වඩා අභ්‍යන්තරයෙන් සිදු කිරීම ජේ ආර් ජයවර්ධනගේ උත්සාහය වුණි. එහෙත් එය තේරුම් ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ බොහෝ අයට අපහසු වුණි.

ජේ ආර් ජයවර්ධන එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව එවැනි දේශපාලනික අත්හදා බැලීම් කරන්නට තරම් පෞර්ෂයක් හිමි නායකයන් හෝ ශක්තියක් හිමි නායකයන් හෝ එජාපයට නොලැබුණු තරම් ය. 2001 එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටවූ පසුව 2002 පැවැති පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේ පැත්ත පළාතේ නොගිය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිවරණය දිනුවේ උපක්‍රමශීලීව ය. අනතුරුව 2006 දී රාජපක්ෂ රෙජීමය සමග ගිවිසුමක් අත්සන් කරමින් ආණ්ඩුවට තම උපරිම සහාය ලබාදුන්නේ ද ඒ මග යමිනි. එදා ගිවිසුම අත්සන් කරන දා ආණ්ඩුවේ ඊළග අයවැය ලේඛණයේ අකුරක් හෝ නොදැක ඔහු ප්‍රකාශ කළේ අයවැයට එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහාය ලබාදීමට සූදානම් බවකි. ජේ ආර් ජයවර්ධනගෙන් උගත් පාඩම් රනිල් වික්‍රමසිංහ සතුව නොඅඩුවම තිබුණි.

ජේ ආර්ගෙන් උගත් පාඩම්

මේ වනවිට රාජ්‍ය බලය දරණ හවුල් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් රාජ්‍ය පාලනය හත්පොළේ ගාගෙන සිටී. මහින්ද රාජපක්ෂ විසින් රට ඇද දැමූ අගාධයෙන් ගොඩ එන්නට තබා සිටින තැන හෝ රැක ගන්නේ අසීරුවෙනි. යම් යම් ක්ෂේත්‍රයන්ගෙන් ප්‍රගතියක් අත්කර ගන්නට සමත්ව ඇතත් සමස්තයක් ලෙස ආණ්ඩුව අසාර්ථකත්වයේ මුදුන් පෙළටම පැමිණ තිබේ. රාජ්‍ය දේපළ තමනුත් කොල්ලකමින් සියළු දෙනාට ස්වල්පය බැගින් කොල්ල කන්නට අවස්ථාව ලබාදුන් රාජපක්ෂ සංස්කෘතියට දේශපාලනිකව මුහුණදීම අසීරු බව සත්‍යයකි. එහෙත් ස්වභාවික ආපදා කළමනාකරණය කර ගැනීම, පවුල් පාලනයට තිත තැබීම, දූෂණ වංචා අවම කර ගැනීම හා නීතිය ක්‍රියාත්මක කරලීමේ දී අපක්ෂපාතීවීම යන කාරණා වල දී ආණ්ඩුව අන්තිම අසාර්ථක වුණි.
පැවැති පාලන ව්‍යුහයට අලුතින් කළමනාකරුවන් පත් කර ගැනීමත් එතෙක් කළ නාස්තිය හා දූෂණය අලුත් කළමනාකරුවන් යටතේ උපක්‍රමිකව කරගෙන යෑමත් හැර අලුත් යමක් නොවීය. “අපේ ආණ්ඩුවක් තියෙන්නේ” යැයි කියමින් ග්‍රාමීය යූඑන්පීකාරයන් කරන්නට පටන් ගත්තේ ග්‍රාමීය සංවර්ධනයේ මර්මස්ථානයන්ට රිංගා එතෙක් රාජපක්ෂගේ ගෝලයන් කළ දේ දිගටම කරගෙන යෑමය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කරන ග්‍රාමීය සංවර්ධන වැඩ කටයුතු වලට පුරුදු පරිදි මැදිහත් වූ යූඑන්පීකාරයන් කොන්ත්‍රාත්කරුවන් මගින් මහජන මුදල් කොල්ල කන්නට පටන් ගත්තේ එතෙක් පැවැති දුර්භික්ෂයට ක්ෂණික පිළියම් යොදන්නට මෙනි.

එසේම මහජනතාවට පටි තද කරන්නැයි කියමින් දේශපාලකයන්ට සුපිරි පහසුකම් භුක්ති විදින්නට අවශ්‍ය වූයේ එතෙක් රාජපක්ෂ ගෝලයන් කී කරුණුම විළිලැජ්ජාවකින් තොරව ඇද බාමිනි. කොළඹට ආසන්න දොම්පේ යූඑන්පී මන්ත්‍රීවරයාට පවා කෝටි ගණන් වටිනා සුපිරි වාහන නොමැතිව මහජන සේවය කරන්නට නොහැකි යැයි ආඩපාලි කීවේ විළිලැජ්ජා නැතිව ය.යහපාලන ආණ්ඩුව මුළු එකක් ලෙස රාජපක්ෂ පාලනයට සංස්කෘතික විකල්පයක් නොවීය. ඔවුන්ට අවශ්‍ය වූයේ මුහුණු මාරුවකින් රාජපක්ෂ කළදේම යළි කරන්නට ය.

එසේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දේශපාලනය කළේ තම මනාප සංඛ්‍යාව තහවුරු කර ගැනීමට පමණි. සමාජ සේවා වැඩ හා දේශපාලන අල්ලස් දීම් මගින් සම්ප්‍රද්‍රායික ලෙස තම ඡන්ද ගොඩ ආරක්ෂා කර ගැනීම මිස තම ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් හා සමාජ සංවර්ධනයක් විය යුතු ආකාරය සම්බන්ධයෙන් කතිකාවක් ආරම්භ කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවුණි. රටේ එදිනෙදා දේශපාලන සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් ඔවුන් සතුව නොතිබූ බව රූපවාහිනී දේශපාලන සකච්ඡාවන්ට එන ඔවුන්ගේ හැසිරීමෙන් පෙනුනි. ආණ්ඩුවේ පැවැතම ආරක්ෂා වන්නේ සමාජය තුළ ශක්තිමත් දේශපාලන කතිකාවකින් බව තේරුම් නොගත් ඔවුහු මහජනතාව නිතරම දේශපාලනිකව දැනුවත් කිරීමට තැත් නොකළේ ය. දේශපලනික කරුණු අරඹය කට ඇර යමක් කීවා නම් එසේ කළේ අතලොස්සකි. බහුතර යූඑන්පී මන්ත්‍රීවරු කසාය බිව් ගොළුවන් සේ තමන්ට හිමි වරප්‍රසාද බුක්ති විදිමින් මන්ත්‍රී රස්සාව කළහ.

ජනාධිපතිවරයාට ජනවරම අමතකවීම

මේ අතර තමන්ට 2015 ජනවාරී 08 වැනි දින ලැබුණ ජනවරම අමතක කළ ජනාධිපතිවරයා කොහේවත් තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට වගකීමක් පවරා ගත්තේ ය. ජනාධිපති බලය නිසා ලැබුණු ඒ පක්ෂ නායකත්වය වටා එක් වූයේ බලය අහිමිව එක් දිනක් හෝ ජීවත්ව සිටිය නොහැකි රාජපක්ෂගේ වහල්ලුන් කිහිපදෙනෙකු මිස අවංකව ජනාධිපතිවරයා වටා එක්වූ ශ්‍රීලනිප නායකයන් නොවේ. ඔවුන් බහුතරයක් 2015 මහා මැතිවරණයෙන් පරාජයට පත්වූවන් වූ අතර රාජ්‍ය පාලනයට සම්බන්ධවීමට තරම් කිසිම ජනවරමක් හෝ ආචාරධාර්මික යුක්ත යුක්තිභාවයක් ඔවුන් සතුව නොතිබුණි. ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ විට ඉතා අශ්ලීල හා ආචාරධාර්මික නොවන ලෙස බැන වැදුනු දයාසිරි ජයසේකර හා එස් බී දිසානායක වැන්නන් ද තම පාලනයට එක්කර ගැනීමට තරම් ජනාධිපතිවරයා බොළද හා දුර්වල වුණි. ඔහුට 2015 ජනාධිපතිවරණයේ දී ලැබුනේ නිර්පාක්ෂික ජනවරමකි. ඒ ජනවරම ආරක්ෂා කර ගනිමින් පොරුන්දු ඉටු කරමින් තම කාල සීමාව අවසානයේ ගෙදර යන්නට බලාපොරුත්තුවෙන් රාජකාරී කළා නම් ඔහු නූතන වීරවරයකු වෙනවා නොඅනුමානය. එහෙත් ඔහුට අවශ්‍ය වූයේ ඒ වීරත්වයට වඩා බලකාමයට ඉඩදීමට ය.

ව්‍යුහාත්මකව ගතහොත් නූතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 56 සග, වෙද, ගුරු,ගොවි,කම්කරු පංච මහා බලවේගයෙන් විතැන් වී බොහෝ කල් ය. තවදුරටත් එහි පදනම් පාදක වන්නේ එවැනි අහිංසක ජනපදනමක් නොවේ. එහි මුළු ගැන්වී සිටින්නේ 78 දරුවන් වූ පාදඩ සමාජ බලවේගයයි. එක්සත් ජාතික පක්ෂය වටා ගොනුව සිටි මේ පාදඩ සමාජ බලවේගය වසර දහයක් බලය දරා සිටි රාජපක්ෂ වටා එක්වූයේ සෑහෙන කලෙකට පෙර ය. කුරුණෑගල සිටින්නේ එච් ශ්‍රී නිශ්ශංකලා නොව ජොන්ස්ටන් ප්‍රනාන්දුලා ය. මාතලේ සිටින්නේ තෙන්නකෝන්ලා නොව හොර අරක්කුකරුවන් ය. කොළඹ සිටින්නේ ස්ටැන්ලි තිලකරත්නලා නොව කුඩු දුමින්දලා ය. මහනුවර සිටින්නේ ටී බී ඉලංගරත්නලා නොව මහින්දානන්ද අලුත්ගමගේලා ය. ඉතින් මේ පාදඩ සමාජ ස්ථරයට නායකත්වය දෙන්නට මහින්ද රාජපක්ෂ හැර වෙනකෙකුට හැකි ද?

ජනාධිපතිවරයාට 2015 ජනවරම අමතකවීමේ රෝගයේත් අගමැතිවරයාට විකල්ප දේශපාලන සංස්කෘතියක් ගොඩනගා ගැනීමට නොහැකිවීමේ රෝගයේත් ආදිනව වී ඇත්තේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය ශක්තිමත් වී රාජපක්ෂ සංස්කෘතිය සමාජය තුළ හිස එසවීම ය. ඒකාබද්ධ විපක්ෂය ගාළු මුවදොර පැවැත්වූ මැයි රැළියෙන් සමාජයට සංජානනය කරන්නේ එම පණිවුඩයයි. ඒ පණිවුඩය තේරුම් ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ අදේශපාලනික මන්ත්‍රී තොත්ත බබාලට නොහැකිය. එහෙත් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඒ පණිවුඩය තේරුම් ගැනීමට හැකිවිය යුතුය.

අග්‍රාමාත්‍යවරයාට විකල්ප දේශපාලන සංස්කෘතියක් නොවීම

ඒ නිසා කරන්නට තියෙන්නේ එකම එක දෙයකි. එනම් වහාම පළාත් පාලන මැතිවරණය පවත්වා ඊට මුහුණ දීමයි. එහිදී එක්සත් ජාතික පක්ෂය තරග නොකළ යුතු අතර ජනාධිපතිවරයාගේ කණ්ඩායමට සම්පූර්ණ සහාය ලබාදිය යුතුය. නො එසේනම් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් ද එක්සත් ජනතා නිදහස් සංධානායේ බුලත් කොළයෙන් තරග කළ යුතුය. කෙසේ හෝ රාජපක්ෂ සංස්කෘතියට මුහුණදී එය ග්‍රාමීය මට්ටමෙන් බිමේ දී පරාජය කළ යුතු අතර ඒ සදහා ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් අත්වැල් බැදගත යුතුය. රාජපක්ෂ සංස්කෘතිය මුළු එකක් ලෙස බිමේ දී පරාජය නොකර එක අගලක්වත් ඉදිරියට යෑමට ජනවාරී 8 වන දා දේශපාලන බලවේගයට නොහැකි බව සියල්ලන් තේරුම් ගත යුතුය.

මේ දේශපාලන උපක්‍රමයට රනිල් වික්‍රමසිංහ බිය නොවන බව ඔහුගේ භාවිතයෙන් තේරුම් ගත හැකිය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ හණමිටිකරුවන්ගෙන් අග්‍රාමාත්‍යවරයාට අනිවාර්යෙන් බාධාවක් එල්ලවිය හැකිය. එහෙත් එක්සත් ජාතික පක්ෂය ඒ සදහා පූර්වාදර්ශ කර ගත යුත්තේ පක්ෂයේ හිටපු නායකයකු වූ ජේ ආර් ජයවර්ධනගේ භාවිතයයි. ඔහු කලාවැව ආසනයේ අතුරු මැතිවරණයේ දී යොදා ගන්නට උත්සාහ කළ දේශපාලන ප්‍රයෝගය අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහට පූර්වාදර්ශයක් විය යුතුය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය කළමනාකරණය කර ගැනීමට ඔහුට හැකිවිය යුතුය.

රාජපක්ෂවාදය සමාජගතව ඇත්තේ මිනිසුන්ගේ ගූඩ ආශාවන්ට එය ආමන්ත්‍රණය කරන බැවිනි. මහජන මුදල් හොරා කෑම, ආණ්ඩුවේ රස්සාවක් ගෙන නිකන් සිටීම, සහනාධාර මත යැපීම වැනි කාලකන්නි ආසාවන්ට දේශපාලනික වටිනාකමක් ලබාදෙන්නේ රාජපක්ෂවාදයයි. එය සමාජ සංස්කෘතියක් වන නිසා ඊට මුහුණදීම තරමක් අසීරුය. එහෙත් ඊට මුහුණ නොදී මුළුගැන්වීම සමාජයක් ලෙස ආපස්සට යෑමට පටන් ගැනීමකි. ඒ නිසා සියල්ලට පෙර නැවතත් වටයකින් රාජපක්ෂ සංස්කෘතිය පරාජය කළ යුතුය. එහි වගකීම පැවරෙන්නේ ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් මත ය.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    2

    Real analysis.all are included.

  • 5
    8

    රටේ අට අනූවක් රෝගාබාධවලට හේතුව රාජපක්ෂලා බව සමාජගත කරන්නට උත්සාහ කරන මෝඩ රැලේ ඉදිරියෙන්ම, මේ හාදයාත් සිටින බව පෙනේ. එක අතකට, මෙවන් තක්කඩින් ඉටු කරමින් සිටින්නේ මහින්ද රාජපක්ෂට නැවත බලයට පැමිණෙන්නට අවශ්‍ය වටාපිටාව සැකසීමය. මෝඩ විවේචන ඉදිරිපත් කිරීම මගින් ඉටු වන්නේ එයයි. පාඨකයාගේ තර්ක බුද්ධියට නොගැලපෙන මෙවන් පුහු විචාර කියවන ජනයා නිරායාසයෙන්ම රාජපක්ෂ දෙසට තල්ලු වීම නියතයක් බවට පත්ව ඇත.

    • 6
      3

      තමුන්ට එකග වෙන්නට නොහැකි අදහස් මෝඩ අදහස් ලෙස අර්ථදක්වන පුද්ගලයෙක් තර්ක බුද්ධිය ගැන කතා කිරීම විහිළුවකි. කටට ගත්ත බත් පිඩ පිට උගුරේ යන තරමට හිනහ ගස්වන්න එපාය කියන්නේ මෙවැනි ළාමක විහිළු වලට ය.

      උත්සාහය හොදයි. ඒත් තව වරක් ට්‍රයි කරන්න.

    • 0
      4

      උම්බලා වාගේ බත් කන ගවයන්ගෙන් පිරී ඇතිදේසය, රවටා, රාජාක්ශෙයන් හා එවුන්ගේ සගයන් ඉදිරියට පැමිනීම නොවැලැක්විය කරුනකි.ඒකට පුද්ගලික නාලිකා වල මාද්ය වේදීන් ගේ නමයෙන් ගනිකා ව්රුත්තියේ යෙඩුන එවුන්, ජඩයා ප්රවර්දනයට වැඩියෙන් කටයුතු කලා. එයින් ජය ගත්තො… මහින්ඩානන්ද, ගොන්තඩිපිල, රත්තරන්, 10% හෙවත් බැසිල් බැල්ලිගෙ පුත, නාමල්බේබි, යොශිට මිනීමරුවා හා ඇතුලු එවුන්… ජොන්ස්ටෙන් වාගෙ [Edited out] සමාජයක් නැති එවුන්.. මේ හැම එකාම ඉදිරියට ගෙනාව තිරිසන් ජඩ රාජපක්ශෙ මානසිකත්වය. මැති ඇමති පල්හොරුන්ගේ ප්රවර්දනයට හේතු වුනේ රාජපක්ශෙලා. අදට වූවත්, රට හා ජාතිය පවතින්නෙ, රාජකශෙලා පලවා හැරපු නිසා කිවහොත නිවැරදිය්. එවුන්ට ඔය යට ගහපු බිල්ලිඅන් ගනන් රජයට හා ජාතියට සතු මුදල්, කවදා හෝ එලියට එනවා මයි.. බැන්කු මන් කොල්ලයේ මුදල දැන් පවතින රජය නැවත් ලබාගනීවී, ඒ වුනත්, රජා ල කරපු කියපු ජාති තවමත් හැන්ගිලා..

  • 1
    0

    I think the author should change his name to St. Philips.

  • 3
    0

    Just waste our time

  • 3
    0

    නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කල යුතුයි. පලිගැනීම් කීවට බය නොවිය යුතුයි. තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ මිනීමරුවන් ජීවිතාන්තයට සිරගෙදරට යැවිය යුතුයි. උතුරෙන් ගෙනා රත්තරන් හොරා කාපු උන් සිරබත් කෑ යුතුයි. අනෙකුත් රටේ දේපොල කොල්ල කෑ උන් හිරගෙදරට වැඩිය යුතුයි. මෙයට බැඳුම්කර මගඩියද අයත්ය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.