24 September, 2020

Blog

ඇති 225 ඇති

ද සන්ඩේ ටයිම්ස් කතුවැකිය –

සිංහ රත්නතුංග - කර්තෘ -ද සන්ඩේ ටයිම්ස්

සිංහ රත්නතුංග – කර්තෘ -ද සන්ඩේ ටයිම්ස්

පාර්ලිමේන්තුවේ අතිගරු මන්ත‍්‍රීවරුන් මේ දවස්වල තමන්ගේ කාලය සහ ශ‍්‍රමයෙන් වැඩි හරියක් කැප කරන්නේ ඊළඟ වසර හයක කාලය සඳහා වන තම කුට්ටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. මුළු රට පුරාම ඇසෙන්නේ 20 වැනි සංශෝධනය, 20 වැනි සංශෝධනය, 20 වැනි සංශෝධනය යන එකම රාවයයි. දින 100 තුළ ඇති කරගනිතැයි කී අතිශය අත්‍යාවශ්‍ය ‘තොරතුරු දැන ගැනීමේ පනතට’ හෙණ ගැසුවත් කම් නැත. ගිය සතියේ මේ තීරුවේ සඳහන් කළ කුණු කඳු ගොඩගැසීමේ ප‍්‍රශ්නයත් යකාට ගියදෙන්. යහපාලනය තදින්ම ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රශ්නයත් ඔහේ පැත්තක තිබුණාදෙන්. ඔවුන් සියල්ලන් එක හඬින් කෑගසන්නේ, 20 වැනි සංශෝධනය තුළ අඩංගු අනාගතේ අපට ලැබෙන පාර්ලිමේන්තුව කෙසේ විය යුතුද යන්න ගැනයි.

වෙන කිසිවක් නැත. සෑම තර්කයක්ම කරකැවෙන්නේ මේ පිරිසේ ස්වාර්ථය පිණිසමයි. සමානුපාතික නියෝජන ක‍්‍රමය හොඳද, නරකද, කැතද, ඉස්සර පැවති මන්ත‍්‍රී කොට්ඨාශ ක‍්‍රමය මොන තරම් දුරට නැවත ලබාගත යුතුද, ඊළඟ මන්ත‍්‍රී බුරුත්ත පත්කර ගත යුත්තේ කෙසේද ආදී වශයෙනි. සියල්ලට කලින් ප‍්‍රමුඛත්වය ලැබෙන්නේ, මේ කීර්තිමත් සභාවට තමන් තේරී පත්වන්නේ කෙසේද යන්නටත්, ඊළඟට, ඔවුන්ගේ පක්ෂය එහිදී ලැබිය හැකි සාර්ථකත්වයන් කෙසේද යන්නටත් ය.

මේ ක‍්‍රියාවලිය තුළ, ඊළඟ පාර්ලිමේන්තුව සමන්විත විය යුතු මන්ත‍්‍රී සංඛ්‍යාව පිළිබඳ ප‍්‍රශ්නය දැන් මතු වී ඇත. වර්තමානයේ එය සමන්විත වන 225 සංඛ්‍යාව හොඳටම ප‍්‍රමාණවත් බවට ජනතාව තුළ ඇති විශ්වාසය මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය හොඳින් තේරුම් ගෙන තිබේ. තවත් පිරිසක් එම ප‍්‍රමාණය 255 දක්වා වැඩි කළ යුතු යැයි කියති. ඒ අතරේ ජනාධිපතිවරයා 237 ක සංඛ්‍යාවක් යෝජනා කොට තිබේ. එය පිළිගැනී තිබෙන අතර, 20 වැනි සංශෝධනයේ එක් කොටසක් වශයෙන් ගැසට් කෙරී ඇත්තේද එම සංඛ්‍යාවයි.

කෙසේ වෙතත්, 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවට පැමිණි විට එම මන්ත‍්‍රී සංඛ්‍යාව 255 දක්වා වැඩි කර ගැනීමට තමන් වගබලාගන්නා බව, විපක්ෂ නායකවරයා කියා තිබෙන බව වාර්තා වෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඔවුන් හැසිරුණු ආකාරය සැළකිල්ලට ගැනීමේදී, මේ කියන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී මෙකී සංශෝධනය සම්බන්ධයෙන්ද බොහෝ දේවල් සිදුවිය හැකි බව පැහැදිළියි. මේ අතර, සුළු පක්ෂ වැඩි නියෝජනයක් ඉල්ලා සිටී. එසේම කාන්තා සංවිධානත් තමන් සඳහා සාධාරණ නියෝජනයක් ඉල්ලා සිටී.

Mutuhettigama

ඔවුන්ම කියන පරිදි, මේ පාර්ලිමේන්තුව, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන්, එතනෝල් ජාවාරම්කරුවන්ගෙන්, මැරයන්ගෙන්, වංචනිකයන්ගෙන් සහ තක්කඩින්ගෙන් හැඩි වී තිබේ. ඔවුන්ගේන බොහොමයකට අවම අධ්‍යාපන සුදුසුකම්වත් නැත.

මන්ත‍්‍රී ඩොට් එල්.කේ. නැමැති පර්යේෂණ සංවිධානයෙන් ලබා ගත් බොහෝ වැදගත් තොරතුරු සහ දත්ත මේ පුවත්පත එක දිගටම පළ කොට තිබේ. සමහර විට ඒවා බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවන්නට ඇති. යොමු වී ඇතත්, නැවත වරක් ඒ කරුණු සඳහන් කිරීම අපතේ යාමක් නොවේ. උදාහරණයක් වශයෙන්, එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි ප‍්‍රධාන පක්ෂවලින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු ජාතික සාමාජිකයන් හැරුණු විට, වාර්ගික සුළුතරයන් නියෝජනය කරන මන්ත‍්‍රීවරු 21 දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටිති. පාර්ලිමේන්තු කාලය තුළ ඔවුන්ගේ සම්මාදම සියයට 8.6 ක් වැනි සොච්චමකි. වර්තමාන පාර්ලිමේන්තුවෙන් සියයට 5.8 ක් කාන්තාවන් ය. ඔවුන් 13 දෙනෙකි. ඔවුන්ගේ සම්මාදම, පාර්ලිමේන්තු කාලයෙන් සියයට 3 ක් පමණි.

සියල්ලෝම මේ පාර්ලිමේන්තුව තුළ වැඩි නියෝජනයක් ඉල්ලා සිටිති. එහෙත් ඒ කුමක් සඳහාද? පාර්ලිමේන්තුවේ සිටින එක් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරියක් ඇගේ පස් වසරක කාලය තුළ එක වචනයක්වත් කතා කොට නැත. මතක තියාගන්න, ජාතික ලැයිස්තුව මගින් අපේක්ෂා කරන්නේ, ව්‍යවස්ථා සම්පාදනය සඳහා විශේෂඥ දැනුම සපයා ගැනීමට අවස්ථාවක් සැලසීමයි. උදාහරණයක් වශයෙන්, නීති සම්පාදනය සම්බන්ධයෙන් දායක වන ජ්‍යෙෂ්ඨ නීතිඥයන් ගත හැකිය. එසේම, ප‍්‍රමාණවත් පරිද්දෙන් නියෝජනයක් නොලැබෙන බර්ගර් වැනි ජන වර්ග සඳහා අවස්ථාවක් සලසා දීමත් එම ජාතික ලැයිස්තුවේ තවත් පරමාර්ථයකි. හිටපු ජනාධිපතිවරයෙක්, තමාගේ ඉඩමේ පොල් කඩන්නට සිටි මිනිහෙක් තමාව දැන් විවේචනය කරතියි මේ දිනවල නාහෙන් අඬයි. එහෙත්, පක්ෂ නායකයා වශයෙන් ඒ දිනවල මේ පුද්ගලයාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කොට කැබිනට් ඇමති පදවියකින්ද ඔහුට සංග‍්‍රහ කරන ලද්දේ මේ ජනාධිපතිවරයාමයි. මෙයින් පෙනී යන්නේ, ජාතික ලැයිස්තුව පිළිබඳ සමස්ත සංකල්පයම දේශපාලඥයන් විසින් විකෘති කරන ලද අන්දමයි. එසේ නොවුණා නම්, ඒ ඉතා කලාතුරකිනි.

ඔස්ටේ‍්‍රලියාව වැනි ලංකාවට වඩා භූමි ප‍්‍රමාණයෙන් ඉතා විශාල සහ ලංකාවේ ජනගහනයට සමාන ජනගහනයක් ඇති රටක පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත‍්‍රීවරුන් 150 ක් පමණි. අපට 255 ක් අවශ්‍ය යැයි අපි කියමු. එසේ කියන්නේ, පළාත් සභා මන්ත‍්‍රීවරුන් 427 ක් සිටියදී ය. පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරුන් 4486 ක් සිටියදී ය. එනම්, ලංකාවට ඡුන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයන් 5138 ක් සිටින බව ය. එනම්, සෑම පුරවැසියන් 4300 කටම එක් මන්ත‍්‍රීවරයෙකු අපට සිටී. ඒ සියල්ලන්ව නඩත්තු කෙරෙන්නේ මහජන මුදල්වලිනි. ඒ අතින් අප දියුණුයි. එහෙත් අනිත් පැත්තෙන්, හෘද චිකිත්සා ශෛල්‍ය වෛද්‍යවරුන් සිටින්නේ 18 දෙනෙකු පමණි. ඔස්ටේ‍්‍රලියාවට එවැනි ශල්‍ය වෛද්‍යවරු 276 ක් සිටිති. අනුපාතයක් වශයෙන් ගත් විට, ඔස්ටේ‍්‍රලියාවේ ජනගහනයෙන් 80,000 ට එක් හෘද චිකිත්සා ශෛල්‍ය වෛද්‍යවරයෙකු සිටින අතර, අපට සිටින්නේ 12,00000 කට (දොළොස් ලක්ෂයකට) එක් වෛද්‍යවරයෙකි. අපි අපේ ප‍්‍රමුඛතා නිවැරදිව හඳුනාගෙන තිබේද?

මිලියන 1200 ක ජනගහනයක් ඇති ඉන්දියාවට (ලංකාවේ ජනගහනය මිලියන 20 යි) සිටින්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 545 ක් පමණි. පුරවැසියන් සහ මන්ත‍්‍රීවරුන් අතර අනුපාතය ලංකාවේ ඉහළ අගයක් ගන්නවා පමණක් නොව. සුළු ජන වර්ග සහ ඊනියා වරප‍්‍රසාද නොලත් කණ්ඩායම් නියෝජනය කිරීමක් මේ පිරිස් විසින් ඉටු කෙරෙන්නේද නැත. එයින් පෙන්නුම් කෙරෙන්නේ, ඒ ඒ පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන සාමාජිකයන්ගේ ගුණාත්මක භාවයේ තරමයි. ප‍්‍රමාණයෙන් ඔවුන් ඉහළ ය. එහෙත් ගුණයෙන් පහළ ය.

නිදහසේ පටන් ගොඩනැගුණු දෙමළ පක්ෂ, 90 දශකයේ සිට බිහි වූ මුස්ලිම් පක්ෂ, බෞද්ධ භික්ෂූන් පවා පාර්ලිමේන්තුවට පත් කර එවූ, සිංහල-බෞද්ධ පක්ෂ වැනි වාර්ගික පක්ෂවල බිහිවීම නිසා, 1948 නිදහසේ ආලෝකය තුළ බිහි කර ගත යුතුව තිබූ ශ‍්‍රී ලාංකීය අනන්‍යතාව පිළිබඳ පරමාදර්ශය ආපස්සට ඇද දමා තිබේ. එය එසේ නොවිය යුතුව තිබුණි. කෙසේ වෙතත් දැන් සිදුවී ඇත්තේ, ප‍්‍රධාන පක්ෂ දෙක අතරේ තීව‍්‍ර තරගයක් ඇති අවස්ථාවක කේවල් කිරීමේ අවියක් වශයෙන් පාවිච්චි කළ හැකි ‘ශක්තියක්’ වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ප‍්‍රමාණවත් අවස්ථාවක් තමන්ට නොලැබී ඇතැයි මේ සුළු පක්ෂ මැසිවිලි නැගීමයි. එනම්, වටිනා අමාත්‍යාංශ ලබා ගනිමින්, ආණ්ඩු තනන්නන්ගේ භූමිකාවක් තමන්ට ඉල්ලා සිටීමයි.

විශ‍්‍රාම වැටුපක්ද සහිත විවිධ වරප‍්‍රසාද සහ වරදාන සහිත පාර්ලිමේන්තු සාමාජිකත්වය කවුරුත් පොරකන තානාන්තරයක් බවට පත්ව ඇත. එසේ හෙයින් එය ආකර්ශනීය වන්නේ රටට සේවය කිරීම සඳහා එහි පැමිණෙන්නන්ට පමණක් නොවේ, තමන්ටම සේවයක් කර ගැනීම සඳහා පැමිණෙන්නන්ටද එය ආකර්ශනීය වෙයි. ඔවුන්ම කියන පරිදි, මේ පාර්ලිමේන්තුව, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන්, එතනෝල් ජාවාරම්කරුවන්ගෙන්, මැරයන්ගෙන්, වංචනිකයන්ගෙන් සහ තක්කඩින්ගෙන් හැඩි වී තිබේ. ඔවුන්ගේන බොහොමයකට අවම අධ්‍යාපන සුදුසුකම්වත් නැත. එහෙත් ඔවුන් දිහා නිකමට බලන්න. රත්රන් ඔරලෝසු, රත්රන් මාල සහ තවත් අනේක ශෝභන ආයිත්තම්වලින් ඔවුන් හැඩවැඩි වී ඇති සැටි ඔබට දැක ගැනීමට හැකිය. ඔවුන් පාර්ලිමේන්තුවට රිංගා ගත්තේ කෙසේද? මුලින්ම, ඔවුන්ගේ පක්ෂ නායකයන් විසින් ඔවුන්ට නාම යෝජනා දුන් බැවිනි. දෙවැනුව, ඔවුන් සඳහා ජනතාව ඡන්දය පාවිච්චි කළ බැවිනි. පවතින ක‍්‍රමය, එම ක‍්‍රියාවලිය පහසු කරවයි.

ලෝකය පුරාම පාර්ලිමේන්තු ඔවුන්ගේ මන්ත‍්‍රීවරුන්ගේ ගුණාත්මක භාවය අතින් පහළ ගොස් තිබේ. 20 වැනි සංශෝධනය, මේ පවතින තත්වය දුරලීම ඉලක්ක කරගන්නක් බවට සැක නැත. එහෙත්, පක්ෂ නායකයන් තමන්ගේ වගකීම ඉටු නොකරන්නේ නම්, මෙවැනි සංශෝධනවලින් කිසි පලක් නොවන්නේය. ජනාධිපතිවරයා කියා ඇති පරිදි, මුලින්ම, හොරුන්ට සහ වංචනිකයන්ට නාම යෝජනා නොදිය යුතුය. එය, කියන තරම් ලේසි නැති බව ඇත්ත.

මොවුන්ගේ අතීත ක‍්‍රියකලාපය සහ වර්තමාන උප්පරවැට්ටි ජනතාවට දැන් හොඳටම තිත්තයි. දේශපාලඥයන් බලන්නේම, වර්තමාන පාර්ලිමේන්තුව අවසන් හුස්ම හෙලන මේ මොහොතේ, තමන්ගේ හෙට දවස සරිකර ගැනීම ගැනයි. මේ ඉලක්කම් සෙල්ලම නතර විය යුතුය. ඇති 225 ඇති යැයි කීමට දැන් කාලය පැමිණ තිබේ.

*2015 ජුනි 21 වැනි දා ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ “Enough of 225 is Enough” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.