25 October, 2020

Blog

දූෂණයට එරෙහි සංග‍්‍රාමයමත් දූෂිත ය

ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරණයේ සිට දැන් මාස දහයක් ගතව තිබේ. ඒ සා කාලයක්, පැවති ආණ්ඩුවේ දූෂිතයන්ව නීතිය ඉදිරියට පැමිණවීමක් ගැන බලා සිටීමට සිදුව තිබේ.

සිංහ රත්නතුංග - කර්තෘ - ද සන්ඩේ ටයිම්ස්

සිංහ රත්නතුංග – කර්තෘ – ද සන්ඩේ ටයිම්ස්

මැතිවරණ ව්‍යාපාරය මහා ඝෝෂාකාරී එකක් විය. මෛත‍්‍රිපාල සිරිසේනට සහයෝගය දැක්වූ දේශපාලන පක්ෂවල සංග‍්‍රාම සටන් පාඨය වුණේ දූෂණය මුලිනුපුටා දැමීමයි. දූෂිතයන්ට දඬුවම් පමුණුවන බවටත්, නැවත එවැනි දූෂණ ඇති නොවන තැනට වගබලා ගන්නා බවටත් එහිදී ප‍්‍රතිඥා දුනි.

දඬුවම් දීම පැත්තකින් තියන්න. නඩු පැවරීම් පවා අපට දැක ගන්නට නැත. නීතිය ක‍්‍රියාත්මක කිරීමට බැඳී සිටින ආයතන අනිකාගේ මගහැරීම් ගැන එකිනෙකාට ඇඟිලි දිගු කර ගනිමින් සිටී. එය දැන් තරගයට සිදුවෙයි. අල්ලස් හෝ දූෂණ පරීක්ෂණ කොමිසම දැන් ඉන්නේ මර නින්දකයි. කෙරෙමින් පැවැත්වෙන පරීක්ෂණ ගැන ඇසූ විට කොමිසම කරන්නේ, රහස්‍ය භාවය පිළිබඳ අවසරයක් අස්සේ හැංගීමයි. එහෙත් ඇත්තෙන්ම නම් එම කොමිසම දැන් අඩපණ ය. නිසි අධිකාරියක් හෝ නෛතික කාර්යක්ෂමතාවකින් තොරව එය අද වැදහොත්ව සිටී. නීතිය ක‍්‍රියාත්මක කිරීමට සිටින ආයතන එකිනෙකාට චෝදනා කරගන්නේ ඒ තත්වය තුළයි. ෆයිල් කර ගහගෙන මාධ්‍ය කැමරා ඉදිරියේ මොරදුන් ‘ශුද්ධෝදන’ දේශපාලඥයන් දැන් පෙනෙන්ට නැත.

අපට දැන ගැනීමට ඇති තොරතුරුවලට අනුව, පොලීසියේ නව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ ගණනාවක් අවසන් කොට ඒවාට අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇත. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව කියන පරිදි, ඒවාට අදාළ සාක්ෂි මොන තරම් නොවැදගත්ද සහ නිස්සාරද යත්, ඔවුන්ට නඩු පැවරීමට හැකි වී ඇත්තේ සිදුවීම් තුනක් සම්බන්ධයෙන් පමණි.

පොලීසිය අනුගමනය කරන බව පෙනෙන්නේ ඔවුන්ගේ සුපුරුදු විධික‍්‍රමයකි. එනම්, සැකකරුවන්ව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව තබා ගැනීම මගින් ඔවුන්ව වට්ටවා, ඔවුන්ගේ අපරාධ සහකරුවන් ගැන ඔවුන් ලවා වමාරවාගෙන, ඔවුන්ව රජයේ සාක්ෂිකරුවන් බවට පත්කර ගැනීමයි. එය, අවශ්‍ය ප‍්‍රතිඵල ලබා ගත හැකි සුපුරුදු පොලිස් සෙල්ලමක් වෙතත්, සිද්ධීන්ට අදාළ ලිඛිත හෝඩුවාවන් පස්සේ පැන්නීමේ වෝහාරික නිපුණතාව ඊට නැත්තේය.

පසුගිය රජයේ සොරුන් හඳුනා ගැනීමටත්, කොල්ලකෑ ධනය ආපසු රටට ගෙන්වා ගැනීමටත් අවශ්‍ය සහාය ලබා දෙනු පිණිස, ‘‘සොරාගත් සම්පත් නැවත අත්පත් කර ගැනීමේ අධිකාරිය’’ සහ ඇමරිකානු ෆෙඩරල් පරීක්ෂකයන් ඇතුළු ලෝක බැංකුවේ නියෝජිත කණ්ඩායම් ලංකාවට පැමිණ ඇති බව අපේ දේශපාලඥයන් මහත් උද්දාමයෙන් රටට දන්වා දැන් මාස ගණනක් ගතවෙයි. එය අපට දැන් දැනෙන්නේ, හරියට, ඈත අතීතයක සිදුවූ දෙයක් මෙනි. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවට ආ අවස්ථාවේද, විදේශයන්හි තැන්පත් කොට ඇති නීති විරෝධී ධනය සොයා දීමට ඔහුගේ ආණ්ඩුව සහාය වනු ඇතැයි කියා සිටියේය.

ආණ්ඩුව දැන් වෙනස් මගක් ගෙන ඇති බවක් පෙනෙන්ට තිබේ. මුදල් අවශ්‍යතාවෙන් පෙළෙන ආණ්ඩුව, සොරා පස්සේ පැන්නීම අතහැර සොරකම් කළ ධනය ලබා ගැනීම ගැන වෙහෙසෙන සෙයකි. ඊට අදාළ මුල්ම ඔල්වර හඬ මුදල් ඇමතිවරයාගෙන් ප‍්‍රකාශ විය. රටේ නීති කඩමින් රටේ ධනය පිටරටවල ගොඩගසාගෙන සිටින අයවළුන්ට, මොකක්දෝ නමක් යටතේ නිශ්චිත කාල සමාවක් දෙන බව ඉන් කියැවිණ. ඊළඟ පියවර වනු ඇත්තේ, කොල්ලකෑ ධනය ආපසු දෙන්නේ නම්, අතීතයේ සිටි ඕනෑම හොරෙකුට සමාව දානය කිරීමයි.

ඇමරිකාවේ සමාජ සම්බන්ධතා ප‍්‍රවර්ධන සමාගම්වලට ශ‍්‍රී ලංකාවේ මහ බැංකුව හරහා ඩොලර් මිලියන සිය ගණන් පොම්ප කර ඇති සැටි පසුගිය සති තුනක කාලය තිස්සේ අප පුවත්පත හෙළිදරව් කෙළේය. එයින් කොටසක් ආගිය අතක්ද නැති පාටයි. මුදල්වලින් තවත් සමහරක් පාවිච්චි කෙරුණේ කුමක් සඳහාද යන්න ගැනත් නිරවුල් භාවයක් නැත. ඇමරිකානු තැරැුව්කරුවෙකු වන ඉමාඞ් සුබේරි නැමැත්තාගේ පුද්ගලික ගිණුමකට බැර කොට ඇති මුදල් පිළිබඳ කතාව තවත් ප‍්‍රධාන ප‍්‍රශ්නයකි. මේවාට අමතරව, ඩොලර් මිලියන ගණනින් කළ තවත් ප‍්‍රශ්නකාරී ගෙවීම් තිබේ. ඒවායින් බොහොමයක් ගෙවා ඇත්තේ, 2014 මාස කිහිපයක කෙටි කාලයක් ඇතුළතයි. ඒ කිසිවක් ගැන ගිණුම් වාර්තා නැත.

මේ කියන ගෙවීම් කිරීම සඳහා වෙනත් ආයතනයක් වෙනුවට මහ බැංකුව යොදාගත්තේ මන්ද යන්නටත් හේතුවක් තිබේ. ඊට හේතුව, පාර්ලිමේන්තුවේ සහ ඇමති මණ්ඩලයේ බල සීමාව තුළට මහ බැංකුව නොගැනෙන බැවිනි. මහ බැංකුව හරහා ඇමරිකානු සමාගමකට කෙරුණු එක් ගෙවීමක් මොන තරම් ප‍්‍රශ්නාරී විණිද යත්, නිව්යෝර්ක් ෆෙඩරල් රිසර්ව් බැංකුව, ඒ ගැන තුන් වතාවක්ම ලංකාවෙන් ප‍්‍රශ්න කෙළේය. එහෙත් ඒ කිසි විමසීමකට ලංකාවේ මහ බැංකුවෙන් ප‍්‍රතිචාරයක් නොලැබුණු තැන ඔවුන් එම ගෙවීම නතර කෙළේය. මන්ද යත්, ඔවුන් දන්වා ඇති පරිදි, ‘‘අපගේ (ඔවුන්ගේ) අවදානම් කළමණාකරනය සහ නිසි සුපරීක්ෂාවට අදාළ අවශ්‍යතා’’ සපුරාලීමට ලංකාවේ මහ බැංකුව අසමත්ව ඇති බැවිනි.

අප දන්නා තරමින්, නව ආණ්ඩුව යටතේ පවා මහ බැංකුව මේ අවශ්‍යතා සපුරා නැත. ගෙවීම්වලට අදාළ සමහර ලිපිගොනු ‘අස්ථානගතව’ තිබේ. ඒවා ආ ගිය අතක් නැත. මහ බැංකුවේ වර්තමාන ප‍්‍රධානියා සහ කලින් සිටි ප‍්‍රධානියා අතර ඇති බන්ධනය ප‍්‍රසිද්ධ රහසකි. ඔවුන් කලක් එකට ව්‍යාපාර කොට ඇත. එක වර්ගයේ කුරුල්ලන් යැයි කෙනෙක් කියනු ඇත. අතීතයේ මගඩි කළ තක්කඩියෝ මේ ‘ජාතික ආණ්ඩුවේ’ හෙවණ යට අද ගාල් වී සිටිති. වෙනසක් කිරීමේ අභිලාෂයෙන් පෙළෙන අළුත් ආණ්ඩුවේ විනීත අතලොස්සට අඹ සරණ ය.

අල්ලස සහ දූෂණය, ලංකාවේ දේශපාලනය තුළ පමණට වඩා මුල් ඇද තිබේ. දේශපාලඥයන්ගේ සහ දේශපාලන පක්ෂවල කල්පැවැත්ම සඳහා ධනය අවශ්‍යයි. දූෂිත ව්‍යාපාරිකයන්ගේ සම්මාදමෙන් තොරව ඔවුන්ට ජීවත් වීමට සිදුවෙතොත්, එය හරියට, ඔක්සිජන් නැතිව ජීවත් වීමට සිදුවීමක් වැන්න. ඉස්සර ටෙන්ඩර්, ‘විවෘත’ නොවීය. ඒවා දුන්නේ, බලධාරීන් විසින් කලින් තෝරා ගනු ලැබූ ලංසු තබන්නන්ටයි. එම පිරිස්ම, අදත් ‘වැඬේ දෙති’.

ආන්දෝලනයට ලක්වූ ගල් අඟුරු ටෙන්ඩරය, විවෘත ටෙන්ඩර් ක‍්‍රියාවලියක් තුළ පවා මගඩි සිදුවිය හැක්කේ කෙසේද යන්නට මනා නිදසුනකි. රුපියල් බිලියන ගණනක වටිනාකමින් යුත් එම ටෙන්ඩරය සඳහා ලංසු තැබූ කිහිප දෙනෙක් සිටියහ. එහෙත් විවෘත ක‍්‍රියාවලිය ඔස්සේ තෝරාගනු ලැබූ සමාගමට ටෙන්ඩරය ලැබුණේ නැත. ඒ වෙනුවට එය ලැබුණේ, වෙනත් පාර්ශ්වයකටයි. ඒ සම්බන්ධයෙන් මතුවූ චෝදනා සහ ප‍්‍රතිචෝදනා අස්සේ තවමත් එය සිර වී තිබේ.

හිටපු ජනාධිපතිවරියක් සිය මිතුරෙකුට මහා කුට්ටියක් ගසාකෑ හැකි වන පරිද්දෙන් රජයේ ඉඩමක් පවරා දී ඇති බව, මීට වසර කිහිපයකට පෙර, මාධ්‍යවේදීන්, නීතිඥයන් සහ ගණකාධිකාරීන් පිරිසක් සොයා ගත්හ. ලංකාවේ සාමාන්‍ය පුරවැසියන් දෙන්නෙකු ඒ සම්බන්ධයෙන් නඩු පැවරූ අවස්ථාවේ, ජනාධිපතිවරිය ‘මහජන භාරකාරත්වයේ මූලධර්මය’ උල්ලංඝණය කළ බවට තීන්දු කළ අධිකරණය ඈට දඩ ගැසුවේය. එය, පොලීසියෙන්වත්, අල්ලස් කොමිසමෙන්වත් කළ නඩු පැවරීමක ප‍්‍රතිඵලයක් නොවේ. ඉන් පෙන්නුම් කෙළේ, සමාජ සුභසිද්ධිය තකන නිපුණ මිනිසුන්ට, සර්වබලධාරී ජනාධිපතිවරියක්වත් නීතිය ඉදිරියට පැමිණවිය බවයි.

ඉහළ තැන්වල සිදුවන සීමාන්තික දූෂණයන්ට වැට බඳින යාන්ත‍්‍රණ, ආර්ථික වශයෙන් දියුණු බොහෝ රටවල තිබේ. අළුතෙන් බිහි වෙමින් සිටින චීනය වැනි රටවල් පවා, රාජ්‍ය මට්ටමේ නිරන්තරයෙන් සිදුවන දූෂණ වැළැක්වීමේ මං සොයයි. දූෂණවලට එරෙහිව පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා (‘‘ෆස්ට් ඉන්ෆොමේෂන් රිපෝට්’’ වැනි* සිවිල් කණ්ඩායම්වලට සහ (සුවෝ මොටු වැනි) විනිසුරුවරුන්ට පවා බලය සලසන විවිධ නෛතික මෙවලම් ඉන්දියාවේ ඇත. ලංකාවේ නීති පද්ධතිය තුළ එවැන්නක් නැත. අපට සිදුව ඇත්තේ, අල්ලස් කොමිසම හෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය එය කරන තෙක් දතකට මැදගෙන බලා සිටීමටයි. අල්ලස සහ දූෂණය පිළිබඳව කටයුතු කිරීම ඔවුන්ට සින්නක්කර විය යුතු නැත. ඔවුන්මත්, දේශපාලනික ආන්දෝලනවල පැටලී සිටී.

පරණ පාලකයන්ගේ දූෂණ ඇල්ලීම එකකි. එකී දූෂිත ධනය ආපසු දෙන්නේ නම් ඔවුන්ට සමාව දීම වෙනම දෙයකි. එසේම, අද සිදුවන දූෂණ වැළැක්වීමට පියවර ගැනීම ඊටත් වෙනස් දෙයකි.

*2015 ඔක්තෝබර් 04 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ “ Battle Against Corruption is Itself Corrupt” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.