20 June, 2021

Blog

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීමට මහා සම්මතයක් අවශ්‍යයි

සුදර්ශන ගුණවර්ධන

සුදර්ශන ගුණවර්ධන

පසුගිය සති අන්තයේ සිවිල් සමාජ සහ වෘත්තීය සමිති සංවිධානවලට අයත් නායක මට්ටමේ නියෝජිත පිරිසක් විසින් පවත්වන ලද සාකච්ඡාවක එක් සැසිවාරයකට සහභාගි වීමට මේ ලියුම්කරුට ආරාධනයක් ලැබිණි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පසුගිය කාලය මුළුල්ලේ පෙනී සිටි මෙම බලවේගය ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන ලද්දේ නව ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ය. එකී අපේක්ෂකයාගේ පරාජය විසින් ඉහත කී සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතනයන් දුර්මුඛ ව සිටියේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

2015 දී ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් මහින්ද රාජපක්ෂ රෙජීමයට එරෙහිව බලමුළු ගන්වන ලද්දේ ‘අසීමිත බලතල ඇති විධායක ජනාධිපති ධුරය’ අහෝසි කළ යුතු බවට වූ තනි ඉල්ලීමක් මත පදනම්ව ය. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ගත වූ දින සියය තුළදී විධායක ජනාධිපති ධුරය නීතියේ පාලනය යටතට ගෙන එන ආකාරයේ වෙනස්කම් සිදු කරන ලද්දේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගිනි. මෙම සංශෝධනය මගින් පාර්ලිමේන්තුව ශක්තිමත් කරන ලද අතර පාර්ලිමේන්තුවට වගකියන නව ජාතික ආයතන සමූහයක් ස්වාධීන කොමිසන් සභා යන වේශයෙන් ස්ථාපිත කරන ලදී. මෙම ආයතන සඳහා සාමාජිකයන් තෝරා පත් කිරීම ජනාධිපතිවරයා වෙතින් සම්පූර්ණයෙන්ම ඉවත් කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පවරන ලදී. එමෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකරුවන්, නීතිපති, පොලිස්පති, පාර්ලිමේන්තුවේ මහලේකම් ඇතුළු තනතුරුවලට පත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන නාම යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීම අවශ්‍ය වෙයි.

පසුගිය වසර පහ තුළ ලබා ගත් ප්‍රධානම ජයග්‍රහණය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ එමගින් ඇති කරන ආයතන පද්ධතිය බව සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයන් අවිවාදයෙන් පිළිගත් සෙයක් පෙනිණි. ඔවුන්ගේ කණස්සල්ලට හේතු වූයේ ජනාධිපතිවරයාගේ සංකේතීය නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන නායකත්වයෙන් යුතු දේශපාලන බලවේගය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මහ මැතිවරණයේදී ජයග්‍රහණය කළ හොත්, 19 වන සංශෝධනය අහෝසි කිරීමට එම බලවේගය විසින් පියවර ගනු ඇත යන විශ්වාසයයි.

19 වන සංශෝධනය ආපසු හැරවිය යුතුය යන ප්‍රබල මතයක් ජනාධිපතිවරණයේදී එවක විපක්ෂයෙන් මතු විය. හිටපු ජනාධිපති සිරිසේන මහතාද 19 වන සංශෝධනයෙහි ප්‍රබල විවේචකයෙකු බවට රූපාන්තරණය වූ අතර, ජනාධිපතිවරණයෙන් පසු ඔහු ප්‍රකාශ කළේ 19 වෙනස් කිරීම සඳහ අවශ්‍ය 2/3 ක පාර්ලිමේන්තු බහුතරය මහ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබා දීමට තමන් කැපවී ක්‍රියා කරන බවයි. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු ලෙස සැලකිය හැකි විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ පැරැණි ශ්‍රී විභූතිය ප්‍රතිෂ්ථාපනය කිරීමේ අරමුණෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන්නේ මේ පසුබිම යටතේය. මෛත්‍රීපාල සිරිසේන යනු 19 වන සංශෝධනයේ පියා ලෙස එහි ගෞරවය ලබා ගත් තැනැත්තාය. විජේදාස රාජපක්ෂ මහතා යහපාලාන ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස එකී සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පුද්ගලයාය. මේ දෙදෙනා අද අංශක 180 ක කරණමක් ගසා 19 වන සංශෝධනයේ මාරාන්තික සතුරන් බවට පත්ව සිටිති.

සිවිල් සමාජ සහ වෘත්තීය සමිති බලවේගයන් විසින් විවෘතව තම සහය පළ කරන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරය තුළ 19 වන සංශෝධනය ආරක්ෂා කිරීමේ වැදගත්කම මාතෘකාවක් ලෙස ඉදිරියට පැමිණියේ නැති බව සිහිපත් කිරීම වැදගත් ය. ඒ වෙනුවට එහිදී අපේක්ෂකයා විසින් කළ කතා වල අඩංගු වූයේ අතීත ජනාධිපති ධුරයේ ශ්‍රී විභූතිය නැවත පිහිටුවන බව කියැවෙන ඇඟවීම් ය. නිදසුනක් ලෙස සෑම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක්ම ජනාධිපති කාර්යාලය සමග සම්බන්ධ කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය සැලකිය හැකිය. ජනාධිපති ලේකම් කාර්යාලය පැය 24 පුරාම වැඩ කරන දැවැන්ත ආයතනයක් බවට පත් කිරීම ගැනද එහිදී සාකච්ඡා විය. මෙයටත් වඩා බරපතළ වන්නේ අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සහ අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධව ජනාධිපති අපේක්ෂකයා විසින් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශ යි. සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් කරන බව කී ඔහු, ඒ හැරුණු විට අගමැති ධුරය ඇතුළු අනෙක් කිසිදු අමාත්‍ය ධුරයකට පත් කෙරෙන වෙනත් කිසිවකු සම්බන්ධව තමා තවම තීරණයක් ගෙන නැති බව ඔහු ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව ඔහු ජාතිය අමතමින් ප්‍රකාශ කළේ තමන් ජයග්‍රහණය කළ වහාම දූෂණ චෝදනා නැති තරුණ දේශපාලනඥයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් විසින් පත් කරන බවයි. මෙම ප්‍රකාශ වනාහි 19 වන සංශෝධනයේ හරය වන ජනාධිපතිවරයා විසින් ජනතාවගේ විධායක බලය පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍ය මණ්ඩලය සමග එක්ව පරිහරණය කළ යුතුය යන්න සම්පූර්ණයෙන්ම අවඥාවට භාජනය කරන අන්දමේ ප්‍රකාශයන්ය.

19 වන සංශෝධනයෙන් පසුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැත. අගමැති ඉවත් කළ හැක්කේ ඔහුට සහ සමස්ත කැබිනට් මණ්ඩලයට විරුද්ධව පාර්ලිමේන්තුවේදී විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමෙන් පමණකි. විශ්වාස භංග යෝජනාවෙන් පසු අලුත් අගමැතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට හැකි වන අතර, එසේ පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් බහුතරයක විශ්වාසය දිනා ගත හැකියයි ජනාධිපතිවරයා විසින් විශ්වාස කරන පුද්ගලයාය. අමාත්‍යවරුන් පත් කිරීමේදී ඒ සඳහා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් නම් යෝජනා කිරීමට බලය ඇත්තේ එසේ පත්වන අග්‍රාමාත්‍යවරයාටය. ජනාධිපතිවරයාට කළ හැක්කේ එසේ නම් කර එවන මන්ත්‍රීවරුන්ට විෂයයන් පවරා දී ඔවුන් කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් ලෙස පත් කිරීම පමණකි. යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන ලද්දේ නම් 19 වන සංශෝධනය මගින් සීමා කොට ඇති ජනාධිපති ධුරයේ බලතල නැවත ලබා ගැනීමට උත්සාහ නොගෙන සිටීද යන්න ප්‍රශ්නය පැන නගින්නේ ජනාධිපතිවරණයේදී ඔහු වීසින් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරහට සිටින බැවිනි . එවන් අවස්ථාවක ඒ සඳහා සහයට මෛත්‍රීපාල සිරිසේන සහ විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රමුඛ බලවේගය ඉදිරියට එනු නොඅනුමානය.

2020 ජනවාරි 13 දින ටී වී දෙරණ තුළින් විකාශය වූ ‘අංශක 360’ නම් සංවාදමය වැඩසටහනේදී ‘යුතුකම’ සංවාද කවයේ ගෙවිඳු කුමාරතුංග සමඟ දිල්කා සමන්මලී විසින් කළ සාකච්ඡාවකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඔවුන්ගේ අදහස් මොනවාද යන්න පිළිබඳව ප්‍රශ්න කළාය. “අපට නැවතත් ශක්තිමත් රාජ්‍යයක් අවශ්‍යය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය සහ ශක්තිමත් රාජ්‍යය එකිනෙකට පටහැණිව තිබීම භයානකය. එය නොකළ යුතු දෙයකි.” යි ඔහු ප්‍රකශ කළේය. මෙහිදී ගෙවිඳු කුමාරතුංග මහතා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන යෝජනාව ගැන සෘජුව සඳහන් නොකළත්, යා යුතු මඟ එය නොවන බව පැහැදිලිව ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා එදිනෙදා දේශපාලන කටයුතුවලට ඉහළින් සිටිය යුතු බව ප්‍රකාශ කරන ඔහු රටේ ආරක්ෂාව සම්බන්ධවත්, අවශ්‍ය යැයි හැඟෙන විටෙක අගමැතිවරයා ඉවත් කිරීමටත්, පාර්ලිමේන්තුවට වසරක් පිරීමෙන් පසු ඕනෑම විටෙක එය විසුරුවා හැරීමටත් ජනාධිපතිවරයාට පෙර පැවැති බලය නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ලබ දිය යුතු බව කියයි. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කොට පත් කරනු ලබන නව අගමැතිවරයා සම්බන්ධයෙන් විශ්වාසය පළ කිරීම හෝ නොකිරීම පාර්ලිමේන්තුවට කළ හැකි වන අතර පාර්ලිමේන්තුව විසුරුවා හළ විට නව පාර්ලිමේන්තුවක් පත් කිරීම ජනතාවට පැවරෙනු ඇත යන්න ඔහුගේ අදහසයි. කෙසේ වුවද ස්වාධීන ජාතික ආයතන විෂයෙහි සාමාජිකයන් සහ විනිශ්චයකාරවරුන්, පොලිස්පති, නීතිපති ඇතුළු ඉහළ තනතුරුවලට පුද්ග්ලයන් පත් කිරීම අග්‍රාමාත්‍යවරයාගෙන්, විපක්ෂ නායකවරයාගෙන් සහ ඒ දෙදෙනාගේ එකඟත්වයෙන් පත් කරනු ලබන සාමාජිකයන් පස් දෙනෙකුගෙන්ද, ජනාධිපතිගේ නියෝජිතයා සහ සුළු පක්ෂවල නියෝජිතයාගෙන්ද සමන්විත වන කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සිදු කිරීම යෝග්‍ය බව ඔහු ඇතුළු යුතුකම සංවාද කවයේ මතයයි. පසුගිය වසර පහ මුළුල්ලෙහිම ‘යුතුකම’ අංවාද කවය සහ ‘ජාතික ඒකාබද්ධ කමිටුව’ ආදී ජාතිකවාදී කඳවුරේ සංවිධාන නියෝජනය කරමින් ජනමත හැසිරවීමෙහිලා කටයුතු කළ ප්‍රබල උද්ඝෝෂකයෙකු වූ ගෙවිඳු කුමාරතුංග ඉහත දැක්වූ අදහස් අපගේ අවධානයට පාත්‍ර විය යුතුයැයි ලියුම්කරු විශ්වාස කරයි. එය විජේස්දාස රාජපක්ෂ- (මෛත්‍රීපාල සිරිසේන ) යෝජනාවන්ට වඩ බෙහෙවින් ප්‍රගතිශීලී තත්ත්වයකි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවෑSතා සංශෝධනය ඉවත්කිරීමට ප්‍රාර්ථනා කරන්නන් සිටින්නේ වර්තමාන ආණ්ඩු පක්ෂය තුළ පමණෙකැයි සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකතුවෙහි නියෝජිතයන් කලපනා කරන්නේ නම් එයින් සිදුවන්නේ නොමග යාමකි. එමෙන්ම වර්තමාන ආණ්ඩුවේ සියළු දෙනාම 19 වන සංශෝධනය ඉවත් කිරීමට එක පැහැර සැරසී සිටින්නේය කීමද ඒ ආකාරයටම වැරදි සහගත වෙයි. එවැනි චින්තනයක් මගින් අවසානයේ ගමන් කරනුයේ “ඌත් හොරා- මූත් හොරා- අපේ හොරා අපට හොඳා” යන වර්ගයේ නිගමනයකටය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 දී සම්මත කරගන්නා ලද්දේ සුළුතර ආණ්ඩුවක් විසින් එවකට බහුතරයක්වූ විපක්ෂයේද සහයෝගය ඇතිව බවත්, එහිදී එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ එක් මන්ත්‍රීවරයෙකු පමණක් බවත්, ඉන් පසුව එළැඹුණු මහ මැතිවරණයේදී ඔහු පරාජයට පත්වූ බවත් අප විසින් අමතක නොකළ යුතුය. 19 වන සංශෝධනය යනු එක්තරා විදියක ‘මහා සම්මතයකි’. එය සතු ශක්තිය එය මහා සම්මතයක් මගින් බලගැන්වීමක් ලැබූ එකක් වීම වන අතර එය ආරක්ෂා කරගැනීම සඳහාද පක්ෂ භේදයෙන් ඔබ්බට යන මහා සම්මතයක් අවශ්‍ය වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    ඔබ ගැටීමෙන් වැටුණොත්, ඔබ යම් ආකාරයක සිහිබුද්ධියක් පවත්වා ගෙන යන තාක් කල් ඔබ එය නැවත නොකරනු ඇත. සිහිබුද්ධිය ඇති ඕනෑම අයෙකු අපේක්ෂා කරන පරිදි මෙය ක්‍රියාත්මක නොවන්නේ නම්, නිසැකවම පුද්ගලයා සමඟ වරදක් තිබිය යුතුය. ඒ හා සමානව, ජාතියක්, විශාල වශයෙන් මිනිසුන් උපක්‍රම වලට හසු වුවහොත්, ඔවුන් තුළ යම් වැරැද්දක් තිබිය යුතුය. ඕනෑම ආකාරයක කොල්ලකාරී බලවේගයන්ට ඇති අශිෂ් and ත්වය හා මෝඩකම එයයි. විවිධ සමාජයන් සඳහා වැඩ කරන සමාජ විද්‍යා ologists යින් සහ මනෝ විද්‍යා ologists යින් විශ්වාස කරන්නේ කොල්ලකාරී දේශපාලන icians යන්ගේ ඉලක්කය අහිංසක මිනිසුන් බවයි. විලෝපිකයන් සහ ගොදුර යනු ඔබ අද කොතැනක සිටියත් පොදු සහ දන්නා සහජීවනයකි. ශ්‍රී ලංකාවේ සමහර දේශපාලන politicians යන් තම දේශපාලන වාසි තකා ජනතාවගේ මෝඩකම හා විකාරය අපයෝජනය කරති. ඔවුන් සැබවින්ම විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අහිංසක මිනිසුන්ගේ පැත්ත ගන්නේ නැත. ඔවුන් බලය කෑදර අය වන අතර අහිංසක මිනිසුන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ උපක්‍රම භාවිතා කරති. ඔවුන්ගේ පෙළපාළි අලංකාර කිරීම සඳහා ඔවුන් ආගමික නායකයින් යොදා ගනී. බෞද්ධ භික්ෂූන් වැනි ආගමික නායකයින් සමාජයේ ඉහළින්ම සිටී. වෘත්තිකයන් ගෞරවනීය පුද්ගලයන් ලෙස සලකනු ලබන ආකාරයටම, අද දින දේශපාලන politicians යන් විසින් භාවිතා කරනු ලබන උපක්‍රම නිසා බෞද්ධ භික්ෂූන් ද නොමඟ යවනු ලැබේ. එම භික්ෂූන් වහන්සේලා යථාර්ථයන් ගැන නොසිතන නමුත් ඔවුන් සාදනු ලබන්නේ නපුරු දේශපාලන .යන්ට ය. ශාස්ත්‍රීය මාතෘකා සහිත සමහර බෞද්ධ භික්ෂූන් වහන්සේලා යම් යම් හේතු නිසා පහත් උපක්‍රම වලට පහසුවෙන් හසු වේ. දේශපාලනයේ භූමි යථාර්ථය පිළිබඳව නිසි හා සෞඛ්‍ය සම්පන්න දැනුමක් නොතිබීම මෙයට බොහෝ දේ ඇත. ඔවුන් භික්ෂූන් හෝ ගිහි මිනිසුන් වේවා, ඔවුන් උපක්‍රම වලට හසු වේ. ජ්යෝති log ශාස්ත්ර and යින් සහ මායාකාරියන් ඔවුන්ගේ උපක්රම මගින් එම රැවටිලිකාර දේශපාලන .යන්ට සහාය දක්වන්න. මෙය අලිබබා හා සොරුන් 40 ක් වැනි ය.

  • 0
    0

    මිනිසුන් දැඩි සෞඛ්‍ය ගැටලුවලින් අසනීප වී ඇති බව දැන සිටීම, නමුත් ඔවුන්ව නැවත නැවත දූෂණය කිරීම සදාචාරයට හා සදාචාරාත්මක පදනමට එහා ගිය දෙයක් නොවේ. නමුත් අපව සිංහල බෞද්ධයන් ලෙස හැඳින්වීම, නමුත් තමන්ගේම මිනිසුන් අපයෝජනය කිරීම – දරාගත නොහැකිය. එසේ වුවද මිනිසුන් හැසිරෙන්නේ ඔවුන් කැමති ආකාරයට ය. එක්කෝ ඔවුන් මොළ සේදීම හෝ මෝඩ ලෙස ඉපදීම. අපේ මව් රටේ වර්තමාන දේශපාලන තත්වය මෙයයි.
    අහිංසක මිනිසුන් ඔවුන්ගේ ආහාර වේල් 3 සඳහා අරගල කරති. සමහරු කන්නේ කොස් පළතුරු බීජ මත පමණි. සමහරු කන්නේ ම i ් ook ොක්කා පමණි …. සැලකිය යුතු දුප්පත් ජනතාව දරිද්‍රතාවයෙන් පෙළෙති.
    නව ජනාධිපතිවරයා පැමිණ දින 75 ක් ගතවී ඇතත් අදටත් එක මැතිවරණ පොරොන්දුවක්වත් ජාතියට ඉටු වී නැත. එහෙත් ජනතාව නිහ be ව සිටින අතර ජනමාධ්‍යවේදීන් ජාතිය දැනුවත් කිරීමට ඉදිරිපත් නොවනු ඇත. එක්කෝ මාධ්‍ය හිමිකරුවන් කුරිරු දේශපාලන වංචනිකයින්ගේ වැටුප් ගෙවීම් යටතේ සිටින අතර ඔවුන් මහජනතාව ගැන තැකීමක් නොකරයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.