1 June, 2023

Blog

ජිනීවා නියෝජිතයා ලෙස නම් කර ඇති​ චන්ද්‍රප්‍රේම රාජ්‍ය අනුග්‍රහ ලද ඝාතක කල්ලියක සාමාජිකයෙකි

අසූව දශකයේ අගභාගයේදී මානව හිමිකම්  නීතිඥයන්, මාධ්‍යවේදීන්, පාසැල් හා සරසවි සිසුන් ඇතුළු සිය ගණනක් ජනයා ඝාතනයට වගකිව යුතු ඝාතක කල්ලියක සාමාජිකත්වය දැරූ අයකු වන සී.ඒ. චන්ද්‍රප්‍රේම, ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයා වශයෙන් පිළිගැනීම ස්විට්සර්ලන්තය විසින් ප්‍රතික්‍ෂේප කළ යුතු ය.

සී.ඒ. චන්ද්‍රප්‍රේම

සී. ඒ. චන්ද්‍රප්‍රේම එවකදී “තඩි ප්‍රියන්ත” නමින් ප්‍රකටව සිටි අතර, 40,000ක් දෙනා ඝාතනයට ලක් වූ සිංහල තරුණ කැරැල්ලක් සමයේ කැරලිකරුවන් සේ සැකකළවුන් ඉලක්ක කොට  රාජ්‍ය හමුදාවන් සමග ක්‍රියාකළ නාඳුනන සන්නද්ධ කණ්ඩායම්වලින් එකක් වූ මහජන විප්ලවකාරී රතු හමුදාවේ (PRRA – ප්‍රා) ප්‍රමුඛ සාමාජිකයකු වශයෙන් හෙතෙම ක්‍රියා කළේය. ඝාතන සහ බලහත්කාරී අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් ප්‍රා සංවිධානයට ස්වකීය වාර්තා මගින් චෝදනා කළ ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ කාර්ය මණ්ඩලය ඇතුළු මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාධරයන්ට ප්‍රා සංවිධානය විසින් නිරන්තරයෙන් මරණ තර්ජන එල්ල කරන ලදී. 

1989දී චරිත ලංකාපුර හා කාංචන අබේපාල යන මානව හිමිකම් නීතිඥයන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 2000දී චන්ද්‍රප්‍රේම අත් අඩංගුවට ගනු ලැබුණි. අත් අඩංගුවේ පසු වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු විසින් එවකදී නිකුත් කළ දිවුරුම් ප්‍රකාශයක් මගින් එම මරණ සම්බන්ධයෙන් වගකිව යුතු ඝාතකයා වශයෙන් චන්ද්‍රප්‍රේම නම් කළ අතර අදාළ දිවුරුම් ප්‍රකාශය මේ වනවිට මහජන පරිශීලනය සඳහා අන්තර්ජාලයේ ද තිබේ. කෙසේවුවද, නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීම පිණිස ප්‍රමාණවත් නෛතික පදනමක් නැතැයි නීතිපතිවරයා විසින් තීරණය කළ පසු චන්ද්‍රප්‍රේම නිදහස් කර හරිනු ලැබුණි. එතැන් සිට, ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට ඔහුට ඇති සම්බන්ධකම් විසින් ඔහුව ආරක්ෂා කරනු ලැබ තිබේ.

“නිර්භීත මානව හිමිකම් නීතිඥයන් ඝාතනය කිරීමට අදාළ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් ඇති චෝදනා නියමාකාර විමර්ශනයට පාත්‍ර නොවූ පුද්ගලයකු, වින්දිතයන් සහ මානව හිමිකම් ක්‍රියාධරයන් ආරක්ෂා කිරීමේ වගකීම පැවරුණු ආයතනයක් වන මානව හිමිකම් කවුන්සිලයේ අසුන්ගැනීම පරම උත්ප්‍රාසයකැ”යි සත්‍යය හා යුක්ති සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP)  විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා ප්‍රකාශ කළාය. “මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වන ක්‍රියාධරයන්ට හිරිහැර හා තර්ජන කිරීම සම්බන්ධ අතීත වාර්තාවක් ශ්‍රී ලංකාවට තිබේ. එබැවින් මෙවැනි පුද්ගලයකු ජිනීවා නුවර රාජ්‍ය දූත මණ්ඩලයක ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම කිසිසේත්ම සුරක්ෂිත නොවේ.”

මෑතකාලීනව, චන්ද්‍රප්‍රේම පුවත්පත් තීරු ලිපි රචකයකු ලෙස ක්‍රියාකළේය.  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන මාලාවක් විසින් විධිමත්ව ලේඛනගත කර තිබෙන, 2009 වසරේදී ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමළ ජනයාට එරෙහිව සිදුකළ යුද අපරාධ පිළිබඳ චෝදනා සියල්ල ප්‍රතික්‍ෂේප කරමින් 2012දී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ සාන්තුවර චරිතාපදානයක් ඔහු විසින් රචනා කරන ලදී.

“උත්කර්ශයට නංවනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අශ්ලීල යටි පැත්ත වනාහී දඬුවම් නොලද රාජ්‍ය අපරාධකාරීත්වය”යැයි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සම්බන්ධීකාරක භාෂණ අබේවර්ධන ප්‍රකාශ කළේය. “සත්‍යය කෙතරම් දුරට වළලා ඇති දැයි කියන්නේ නම්, ඝාතක කල්ලියක හිටපු සාමාජිකයකු වශයෙන් චෝදනා ලද අයකු ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කරනු ලැබුනද, කිසිවෙක් විරෝධය නොපායි.” (ITJP/JDS)

සී.ඒ. චන්ද්‍රප්‍රේම පිළිබඳ වැඩිදුර විස්තර මෙතනින්

 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.