5 December, 2020

Blog

නායකත්ව අර්බුදය පිළිබඳ ඓතිහාසික පර්යාවලෝකනයක්

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

එජාපයේ නායකත්ව අර්බුදය හුදෙක් කිසියම් නායකයෙකු පිළිබඳ අර්බුදයක් නොවේ; නායකයන් පිළිබඳ අර්බුදයක්ද නොවේ. මෑතකදී එජාපයේ සංවිධායකයන්ගේ රැස්වීමකදී චම්පික රණවක පෙන්වා දුන් පරිදි එය සංවිධායකයන්ගේ අර්බුදයක්ද නොවේ; ඔහුගේම වචනයෙන් කිව හොත් පවතින්නේ සංවිධානය පිළිබඳ අර්බුදයකි. නමුත්, මේ කියන සංවිධානය පිළිබඳ ගැටළුව චම්පික රණවක පවසනවාට වඩා සංකීර්ණ වූවක් බව මගේ අදහසයි. මන්ද යත්, ග්‍රාම්ස්චියානු අරුතින් ගත හොත් දේශපාලන පක්ෂයකට නොහොත් සංවිධානයකට ඇත්තේ දේශපාලනමය පැතිමානයක් පමණක් නොවන බැවිනි. එයට යම් බුද්ධිමය සහ සදාචාරමය පැතිමානයක්ද තිබේ. පක්ෂයකට පැහැදිලිවම තමන් නියෝජනය කරන සමාජ පංතීන් නොහොත් කණ්ඩායම්වල ආර්ථිකමය අභිලාෂයන් වෙනුවෙන් සැකසුනු දැක්මක් තිබේ; ආර්ථික වැඩ පිළිවෙලක් තිබේ. නමුත්, එම දැක්ම සහ වැඩ පිළිවෙල සෙසු සමාජ පංතීන් සහ කණ්ඩායම්වලට පිළිගන්වනු ලබන්නේ කෙසේද? එය ඔවුන්ගේද පොදු දැක්ම බවට පරිවර්තනය කරනු ලබන්නේ කෙසේද? එමගින් දෘෂ්ටිවාදීමය කැමැත්ත පදනම් කර ගත් පාලනයක් නැතහොත් නායකත්වයක් බවට තමාව පරිවර්තනය කර ගනු ලබන්නේ කෙසේද?

බුද්ධිමය සහ සදාචාරමය නායකත්වයක් අවශ්‍ය වන්නේ ඉහත ගැටළුවලට විසඳුමක් ලෙසිනි. මා පසුගිය ලිපියේදී පෙන්වා දුන් පරිදි යම් පංතියක නොහොත් පක්ෂයක ඓන්ද්‍රීය බුද්ධිමතුන් විසින් ඉටු කෙරෙන කර්තව්‍ය වන්නේ එයයි. ඓන්ද්‍රීය බුද්ධිමතුන් විසින් කෙරෙනුයේ ස්වකීය පංතියේ ලෝක දැක්ම සමස්ත සමාජයේම පොදු දැක්ම බවට පරිවර්තනය කිරීමයි; එය හෙජමොනික තත්ත්වයට පත් කිරීමයි. අර්නෙස්ටෝ ලැක්ලාවූ පවසන පරිදි හෙජමොනිය යන්නෙහි විශ්වීයත්වයේ ස්ථානය අත්පත් කර ගැනීම යන අරුතද ඇත. විශ්වීයත්වයේ තැනට පත් වන්නේද යම් සුවිශේෂී අනන්‍යතාවකි. විශ්වීයත්වයේ තැනට පත්වනවා යනු සමාජයේ සියලු කණ්ඩායම් වැඩ කරන්නේ කිසියම් දේශපාලන පරිකල්පනයක් තුළද, එම පරිකල්පනය හැඩ ගැස්වීමට සමත් වනවාය යන්නයි. හෙජමොනික දේශපාලනයේ මෙම පැතිමානය සලකා බැලූ විට අපට එජාප නායකත්ව අර්බුදයේ සංකීර්ණත්වය පහසුවෙන් වටහාගත හැකිය. අද එජාපයට සිදුව තිබෙන්නේ තම අනෙකා වන පොහොට්ටු පක්ෂය විසින් හැඩ ගස්වනු ලැබූ දේශපාලන පරිකල්පනයක් තුළ වැඩ කිරීමටය. විපක්ෂ නායක කාර්යාලයේ පිරිත් පිංකම් පැවැත්වීම, සිංහල බෞද්ධයන් ආකර්ෂණය කර ගැනීම සඳහා තරඟයට ආගමික ජාතිකවාදය වැළඳ ගැනීම, “ගෝඨා ජනපති – සජිත් අගමැති” වැනි බංකොලොත් සටන් පාඨ ඉදිරිපත් කිරීම යනාදී නිදසුන් රැසක් ඒ සඳහා ඉදිරිපත් කළ හැකිය.

බුද්ධිමය නායකත්වයේ අර්බුදය

එජාප නායකත්ව අර්බුදයේ බරපතලම පැතිමානය වන්නේ පක්ෂයට අනන්‍ය වූ දෘෂ්ටිවාදී දැක්මක් ගොඩ නැගීමටත් එම දැක්ම වටා සමාජය සංවිධානය කිරීමටත් සමත් ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ බලකායක් නොමැති වීම යැයි මා පවසන්නේ එහෙයිනි. එම අසමත්භාවයේ මූලයන් අඩු තරමින් 1977 ආර්ථික විවෘතකරණය දක්වා දුරට විහිඳෙන බවට මම පසුගිය ලිපියේදී තර්ක කළෙමි. මන්ද යත්, සැලකිය යුතු කාලයක් දක්වා මෙරට ආර්ථික විවෘතකරණයට දෘෂ්ටිවාදීමය සුජාතභාවයක් ලබා දීමේ බුද්ධිමය සහ සංස්කෘතික නායකත්වයක් නොපැවතීම නිසාය. එහෙයින් මෙරට නව-ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කළ සෑම පාලක හවුලකටම පාහේ ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදය, යුදවාදය යනාදී දෘෂ්ටිවාදී ව්‍යාපෘතීන් වුවමනා විය. උතුරේ යුද්ධය දකුණේ සමාජය මත පාලකයන්ගේ දෘෂ්ටිවාදී හෙජමොනිය ස්ථාපිත කර ගැනීමේ මාධ්‍යයක් බවට පත් විය. මෙරට තිස් අවුරුදු යුද්ධය වනාහී තිස් අවුරුදු ආර්ථික විවෘතකරණයේ සමයක්ද වූ බව මෙහිදී සිහි තබා ගත යුතුය.

විශේෂයෙන්ම 2009 වසරේදී යුද්ධය නිමා වීමෙන් පසුව එජාපය මුහුණ දෙමින් සිටින දිගුකාලීන අර්බුදයක් නම් සිංහල බෞද්ධ ජාතිකවාදයේ දෘෂ්ටිවාදී ධජය මුළුමනින්ම තමන්ගෙන් ගිලිහී යාමයි. ඊට විකල්ප දැක්මක් නොහොත් දෘෂ්ටිවාදයක් (ඉන්දියාවේ පවතින ආකාරයේ අනාගමික සහ බහුත්වවාදී දේශප්‍රේමය වැනි) මගින් සමාජය සංවිධානය කිරීමේ බුද්ධිමය නායකත්වයක්ද එම පක්ෂය සතුව නොමැත. (කෙසේ වෙතත්, පොදු ජන අවබෝධය -common sense- තුළ එජාපය සංස්කෘතික නිදහස සමග අනන්‍ය කොට හඳුනා ගැනීමක් නම් දක්නට ලැබේ; එජාපය යනු සංස්කෘතියක් සහ ජීවන විලාසයක් යැයි පවසන විට රනිල් වික්‍රමසිංහ ආමන්ත්‍රණය කරන්නේ මෙම පොදු ජන හැඟීමටය.)

පසුගිය දශක තුනක පමණ කාල පරිච්ජේදය තිස්සේ විශේෂයෙන්ම විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන මුල් කොටගත් අනාගමිකවාදී, බහුත්වවාදී සහ ලිබරල්වාදී බුද්ධිමය ශ්‍රේණියක් ගොඩ නැගුණද එයට එජාප නායකත්වය සමග සෘජු සම්බන්ධයක් නොමැත. එසේම ඒ අතුරින් කොටසක් තමන් වෙත ආකර්ෂණය කර ගන්නට ජවිපෙ දැන් සමත්ව තිබේ. එසේම, කලක් එජාපය සතුව තිබූ ධනවාදී සංවර්ධනය පිළිබඳ ජනප්‍රිය දෘෂ්ටිවාදය වඩා ආකර්ෂණීය ලෙස තමා සන්තක කර ගන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමත්ව ඇත. වියත් මග වැනි සංවිධාන වටා ගොනුව සිටින තාක්ෂණ-කළමණාකරණ බුද්ධිමය ශ්‍රේණිය ඔහුගේ හෙජමොනික ව්‍යාපෘතියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ කාර්ය භාරය ඉටු කරයි. නමුත්, අනෙක් පසින්, නව දේශපාලන වර්ධනයන් හමුවේ නැවත සංවිධානය වීමට එජාපයේ සජිත් ප්‍රේමදාස පාර්ශ්වය ප්‍රයත්න දරමින් සිටියද, නායකත්ව අර්බුදයේ ගැඹුරු ගැටළුව වන බුද්ධිමය සහ සදාචාර නායකත්වයේ ගැටළුව ජය ගැනීමේ මගක් ඔවුන් සතුව ඇති බවක් නොපෙනේ.

බුද්ධිමය ශ්‍රේණීන්ගේ සාපේක්ෂ ස්වායත්තතාව

මෙම නායකත්ව ගැටළුව ඓතිහාසික පර්යාවලෝකනයක් තුළ ස්ථානගත කොට විමසා බලන්නට දැන් අපි ප්‍රයත්න දරමු. එවිට එය මෙරට පශ්චාත් යටත් විජිත ජාතිය ගොඩ නැගීමේ ගැටළුව සමග අතිනත ගත් එකක් බව පෙනී යනු ඇත. එසේම ලාංකීය දේශපාලන සැකසුමේ ඇති සුවිශේෂී ගති ලක්ෂණයක්ද ඒ ඔස්සේ අපට හඳුනාගත හැකිය. එනම්, බුද්ධිමය ශ්‍රේණීන් දේශපාලන පක්ෂ සහ නායකත්වයන්ගෙන් කැපී පෙනෙන ස්වායත්තතාවක් සහිතව ක්‍රියාත්මක වීමයි. ඉතාම වැදගත් දේශපාලන සංසිද්ධීන්වලදී පක්ෂ නායකත්වයන් සමග කේවල් කිරීමේ හැකියාවක්ද, පක්ෂ වැඩ පිළිවෙලවල් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කිරීමේ හැකියාවක්ද ඔවුන් ප්‍රදර්ශනය කොට තිබේ.

මේ සඳහා කදිම නිදසුනක් නම් 1956 දේශපාලන පරිවර්තනයේදී යම් යම් ආගමික සහ ජාතිකවාදී කණ්ඩායම් විසින් පෙන්නුම් කෙරුණු බලපෑම් සහගතභාවයයි. එහිදී එක්සත් භික්ෂු පෙරමුණ, සිංහල ගුරුවරුන්ගේ සංවිධානය වැනි කණ්ඩායම් ප්‍රධාන ධාරාවේ පක්ෂ සමග කේවල් කිරීමේ හැකියාව මෙන්ම උත්සුකයද ප්‍රකට කළහ. එම සංවිධාන විසින් 2500 බුද්ධ ජයන්තිය නිමිති කොටගෙන දියත් කෙරුණු දෘෂ්ටිවාදී ව්‍යාපෘතිය මගින් ඒ වන විට බලයේ සිටි එජාප නායකත්වය බරපතල ලෙස විවේචනයට ලක් විය. විශේෂයෙන්ම අගමැති ජෝන් කොතලාවල වැන්නන් එහිදී නිරූපණය කරනු ලැබුවේ ස්වදේශිකත්වය සහ ජාතිකත්වය සමග සම්බන්ධයක් නොමැති විදේශික නොහොත් කළු සුද්දන් ලෙසිනි. මෙය 19 වන සියවසේ ඉතාලියේ ක්‍රියාත්මක වූ අක්‍රීය විප්ලවය සම්බන්ධයෙන් ග්‍රාම්ස්චි කරන සිත් ගන්නා සුළු නිරීක්ෂණයක් සිහි ගන්වයි. ග්‍රාම්ස්චි පවසන්නේ බහුජනයා මත නායකත්වය ස්ථාපිත කරගන්නට අසමත් වූ නව පාලක හවුල ජනතාව ඉදිරියේ පෙනී සිටියේ විදේශිකයින් මෙන් බවයි. මෙම ආරෝපිත විදේශිකත්වය ප්‍රභවය ලබන්නේ කුමකින්ද? විවිධ සමාජ පංතීන්වලට සහ කණ්ඩායම්වලට අයත් බහුජනයා ස්වකීය හෙජමොනිය යටතේ සංවිධානය කිරීමට අසමත් වීමේ දේශපාලන අත්දැකීම කෙරෙනි. එම අසමත්භාවයේ තවත් ප්‍රතිපලයක් නම් නිදහස ලබන විටත් මෙරට ධනේශ්වර බහුජන දේශපාලන පක්ෂ ගොඩ නැංවී නොතිබීමයි. 1947 දී සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පැවති පළමු මහා මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයින් 21ක් දෙනෙකු (ජන්ද ප්‍රතිශතය 29.11%) තේරී පත් වීමෙන් කියැවෙන්නේ එයයි.

අප රටේ ධනේශ්වර බහුජන පක්ෂ ගොඩ නැගුණේ යුරෝපීය අරුතින් සිවිල් සමාජයේ සංවර්ධනයක් රහිතවය. දකුණු ආසියාවේ බිහිවූ විශිෂ්ට මාක්ස්වාදී බුද්ධිමතෙකු වූ හම්සා අලවි ලෝකයේ අප වෙසෙන කලාපයේ සිවිල් සමාජයට සාපේක්ෂව රාජ්‍යය අධි-සංවර්ධනයකට (over-development of state) ලක්ව ඇතැයි පැවසුවේ එහෙයිනි. මේ කාරණය මදක් පැහැදිලි කිරීම වටී. මහා බ්‍රිතාන්‍යයේ සර්ව ජන ජන්ද බලය දිනා ගනු ලැබූයේ 19 වන සියවසේ අග භාගයේ සිට වර්ධනය වූ සංවිධානාත්මක කම්කරු සහ ස්ත්‍රී ව්‍යාපාරවල අරගල ඔස්සේය; ඒ, පළමුව 1918 ජනතා නියෝජනය පිළිබඳ පණත මගින් සහ 1928 ජනතා නියෝජනය (සමාන ජන්ද බල) පණත මගින්ය. නමුත්, එවන් අරගලයක් නොතිබූ ශ්‍රී ලංකාවට 1931 දී එය ඉහළින් හඳුන්වා දෙන ලදී. ආරම්භයේදී එයට පක්ෂ වූ එකම ජාතික නායකයා වූයේ ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.ඊ. ගුණසිංහ පමණි. මෙරට හරයාත්මක නොවන නමුත් ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩ නැගී හැඩ ගැසීමේ පදනම වූයේ මෙසේ ඉහළින් (සහ පිටතින්) හඳුන්වා දෙන ලද සර්ව ජන ජන්ද බලයයි. සර්ව ජන ජන්ද බලය ජනයා විසින් දිනා ගනු ලැබූවක් නොවූවද, එය හෙජමොනික යාන්ත්‍රණයකි; ඒ, එහි මූලික නියාමය වනුයේ බහුතර ජනතා කැමැත්ත වීම නිසාය.

දැන් පැන නගින ගැටළුව නම් සැබවින්ම ජනයා මත ස්වකීය හෙජමොනිය අභ්‍යාස නොකරන පාලකයින් කණ්ඩායමකට මෙම හෙජමොනික යාන්ත්‍රණය සමග ගණුදෙණු කිරීමට සිදු වීමයි. එහිදී ඩී.එස් සේනානායක ඇතුළු යටත් විජිත ධනේශ්වර නායකයින් කළේ විවිධ ජනවාර්ගික, ආගමික සහ කුළමය අනන්‍යතා නියෝජනය කළ ප්‍රභූ කණ්ඩායම් අතර ප්‍රයෝජ්‍යතාවාදී බල හවුලක් නිර්මාණය කර ගැනීමයි. එම බල හවුල එක්සත් ජාතික පක්ෂය ලෙස නම් කරනු ලැබුවේ එබැවිනි. නමුත්, ඔවුන් එසේ කරන විට සැබවින්ම ඒ පිටුපස එක්සත් ජාතියක් ගොඩ නැගීමේ බහුජන ව්‍යාපෘතියක් තිබුණේ නැත; ඉන්පසුවද එවැන්නක් ගොඩ නැගීමට ඔවුන් අසමත් විය. ප්‍රයෝජ්‍යතාවාදී බල හවුලත් සර්ව ජන ජන්ද බලය නමැති හෙජමොනික යාන්ත්‍රණය මගින් හසුරුවනු ලැබූ බහුජන විඥානයත් අතර පරතරයක් සහ ආතතියක් නිර්මාණය වූයේ මේ තතු යටතේය.

ජනවාර්ගික විසඳුම

1956 දී සිදු වූයේ මෙරට පශ්චාත් යටත් විජිත පාලක හවුල මුහුණ දුන් ඉහත කී අර්බුදයට විසඳුමක් ලෙස සිංහල බෞද්ධ ජාතිකවාදය ආදේශ වීමයි. ඉන්පසුව පාලකයා සහ පාලනය වන්නා අතර සම්බන්ධය ජනවාර්ගික සහ ආගමික දෘෂ්ටිවාදයන් ඔස්සේ නැවත ගොඩ නගන ලදී. ධනේශ්වර බහුජන පක්ෂ දේශපාලනය ජනවාර්ගික බෙදීම් අනුව ව්‍යුහගත විය. දකුණේ බණ්ඩාරනායකගේ නැගීමට සාපේක්ෂව උතුරේ චෙල්වනායකම් නැගුණේය. බිඳුණු නොහොත් ඛණ්ඩනය වූවක් ලෙස ගොඩ නැගුණු ජාතිය ආයතනිකව ස්ථාපිත විය. මෙහිදී සිහි තබා ගත යුතු වැදගත් කාරණයක් නම් ’56 පරිවර්තනයට බුද්ධිමය සහ සදාචාර නායකත්වයක් ලබා දුන් සංස්කෘතික ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂයෙන් සේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද ස්වායත්තව ගොඩ නැගුණද, ඒ විසින් ස්ථාපිත කෙරුණේ පාලක පංතියේ නොවන දෘෂ්ටිවාදයක්ය යන මතය සාවද්‍ය එකක් බවයි. සිංහල මහා සභාවේ නායකයා බණ්ඩාරනායක බවද, අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමියා දොන් ස්පේටර් සේනානායක බවද, කැළණි විහාරයේ සමාරම්භක දායිකාව හෙලේනා විජේවර්ධන බවද අමතක නොකළ යුතුය.

සැබවින්ම සිදු වූයේ පාලක පංති හෙජමොනියේ ගැටළුවට විසඳුමක් ලෙස ජනවාර්ගික සහ ආගමික දේශපාලනය ආදේශ වීමයි. ඒ අනුව ජනවාර්ගික ගැටළුව යනු වෙනත් ගැටළුවකට දුන් විසඳුමක් ලෙස නැවත සංකල්පගත කළ හැකිය. සමකාලීන ස්වදේශික පාලකයන් මුහුණ දෙන නායකත්ව අර්බුදයේ ඓතිහාසික මූලයන් ඇත්තේ එම මූලික ව්‍යුහාත්මක ගැටළුව/විසඳුම තුළය. ඒ ගැන ඉදිරියට.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.