26 April, 2024

Blog

විනය සහ විරෝධය; මියන්මාරයේ සිට ශ්‍රී ලංකාව දක්වා

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

“සැබෑ සහ විනයගත ප්‍රජාතන්ත්‍රවාදයක්.” මේ පසුගියදා කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මියන්මාරයේ හමුදා නායකත්වය විසින් ඉදිරිපත් කරන ලද උදෘතයකි. තමන් සිටින්නේ ජනතාවගේ පැත්තේ යැයි කියා පෑ හමුදා තන්ත්‍රය මියන්මාරයට යළිත් විනයගත පාලනයක් අවශ්‍ය බව පවසයි. මියන්මාර “තත්මදාව” නොහොත් හමුදාව දැන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට යන්නේ සියයට අසූවක ජනතා බහුතරයකින් තේරී පත් වූ ආණ්ඩුවක් කුමන්ත්‍රණකාරීව ආයුධ බලයෙන් නෙරපා දැමූ පසුය! අඩ සියවසක තත්මදව් පාලනයේ රඟ දන්නා අති බහුතරයක් ජනතාව දැන් එකී විනය ගොඩ නැගීමේ ව්‍යාපෘතියට එරෙහිව වීදි බසිමින් සිටී.

මියන්මාර සිද්ධි දාමය අපට කොරෝනා යුගයේ වැදගත් දේශපාලන ගතිකයන් දෙකක් ගැන ඉඟි කරයි. පළමුවැන්න වන්නේ කොරෝනා වෛරස් වසංගතය හමුවේ නිර්මාණය වී තිබෙන බහු-විධ අර්බුදය තුළ අධිකාරීවාදී දේශපාලන ප්‍රවණතා හිස ඔසොවමින් තිබීමයි. (සමාජ විනය ගොඩ නැගීම යනු ලොව බොහෝ තැන්වල අධිකාරීවාදී දේශපාලනයේ ප්‍රධාන උදෘතයක් වේ). අනෙක් වැදගත් දේශපාලන ගතිකය වන්නේ වසංගතයේ ඊනියා නව-සාමාන්‍ය තත්ත්වය තුළදී පවා ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ යුක්තිය වෙනුවෙන් වූ මහජන ව්‍යාපාරවල වේගවත් උත්සන්නියක් ඇති වීමයි. මේ දෙවැන්න වසංගතයේ මුල් අදියර තුළදී බොහෝ විචාරකයින් අපේක්ෂා නොකළ දෙයක් යැයි කීමද සාධාරණය. වසංගතයේ නව-සාමාන්‍ය තත්ත්වය තුළ වීදි අරගල අතීතයට එක් වනු ඇතැයි ඇතැම් ප්‍රමුඛ පෙළේ ගෝලීය බුද්ධිමතුන් පවා කල්පනා කළහ. ශ්‍රී ලංකාවේද ගෝඨාගමනයෙන් පසුව ජන අරගල දේශපාලනය අතීතයට එක් වනු ඇතැයි පැවසූ පඬිවරුන් වූහ. නමුත්, එක්සත් ජනපදයේ ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය මුල් කොටගෙන ඇති වූ මහා විරෝධතා ව්‍යාපාරයේ පටන් ලොව පුරා හමන්නට වූ විරෝධතා දේශපාලනයේ නව රැල්ල විසින් අපට පෙන්නුම් කරනු ලබන්නේ වෙනකකි.

පළමුව ඉහත කී වැදගත් දේශපාලන ගතිකයන් දෙක මදක් විස්තර කරන්නට මට ඉඩ දෙන්න.

වසංගතය, විනය සහ ආණ්ඩුකරණය

මිෂෙල් ෆූකෝ කදිමට විශ්ලේෂණය කොට ඇති පරිදි නූතන විනය ගොඩ නැගීමේ තාක්ෂණයන් ප්‍රභවය ලැබීම සඳහා වසංගත කෙරෙහි දැක්වූ අධිපති ප්‍රතිචාරයන් මහත් සේ බලපා තිබේ. දාහත් වන සියවසේ යුරෝපය තුළ පැතිර ගිය වසංගත ඇසුරින් ඔහු මේ කාරණය කදිමට පහදයි. ඔහුගේ Discipline and Punish – the birth of the prison (1975) කෘතියේ විස්තර කෙරෙන පරිදි, දාහත් වන සියවසේ අග භාගයේදී යුරෝපීය නගරවල වසංගත පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කරන ලදී. ඊට පෙර ලාදුරු රෝගය පැතිර යාම පාලනය කිරීම සඳහා සිදු කරන ලද්දේ රෝගීන් සෙසු සමාජයෙන් බැහැර කිරීමය. නමුත්, දැන් බැහැර කිරීම වෙනුවට විනයගත කිරීම ආදේශ වෙයි. නගරවල යම් යම් ප්‍රදේශ වසා දැමීම, එම ප්‍රදේශවල ජනයා හට සංචරණ සීමා පැණවීම, ඔවුනගේ දෛනික ක්‍රියාකාරීත්වයන් සුපරීක්ෂණයට ලක් කිරීම, ඒ සියල්ල වාර්තා කිරීම සහ අදාළ විනය නීති කඩ කරන්නන් හට දඬුවම් පැණවීම යනාදිය එම විනය ක්‍රියාමාර්ගවලට අයත් විය. එනයින්, වසංගත කළමනාකරණය කිරීම සඳහා පුද්ගලික ශරීර සුවිශේෂී ශික්ෂණ යාන්ත්‍රණයන්ට යටත් කරන ලදී. ආණ්ඩුකරණය සහ වෛද්‍ය විද්‍යාව අතර අන්තර් සම්බන්ධය මෙහිදී ඉතාම තීරණාත්මක විය (ෆූකෝගේ දැනුම/බලය ද්වෛතය). ඒ අනුව, නූතන සුපරීක්ෂණ භාවිතයන් සේම ආණ්ඩුකරණ මාදිලීන් ද ගොඩ නැගී හැඩ ගැසීම කෙරෙහි වසංගත පාලනයට යොදා ගත් ක්‍රමවේද බලපා තිබේ.

ෆූකෝගේ විශ්ලේෂණය අදට කොතරම් අදාළ වේදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. දැන් සුපරීක්ෂණය (surveillance) යන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල ලියැවිලිවල පවා සඳහන් වන්නේ සාධනීය අරුතක් දනවන්නක් ලෙසයි. රාජ්‍ය ආයතනවලට ඇතුල් වීමේදී පමණක් නොව ඇතැම් පුද්ගලික වෙළඳසැල්වලට ඇතුල් වීමේදී පවා දැන් අපගේ පුද්ගලික තොරතුරු දැනුම් දිය යුතුය. අපගේ දෛනික ක්‍රියාකාරීත්වයන් පවා නිරන්තර නිරීක්ෂණයට ලක්වේ; වාර්තා කරනු ලැබේ. එපමණක් නොව, ෆේස්බුක්, ගූගල්, ට්විටර් යනාදී ගෝලීය සමාගම් දැන් අපගේ පුද්ගලික තොරතුරු ඒකරාශී කිරීම විශාල ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත් කොටගෙන ඇතැයි The Age of Surveillance Capitalism (2018) කෘතියේ කතුවරිය වන ෂොශානා ශුබොෆ් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට මෙම වසංගතය ආශ්‍රිත විනයගත කිරීම පැමිණියේ ඒ වනවිටත් සමාජ විනය ගොඩ නැගීම ප්‍රධාන සටන් පාඨය කරගත් පාලන තන්ත්‍රයක් ගොඩ නැගී තිබූ වාතාවරණයක් තුළය. එසේම, සමාජ විනය ගොඩ නැගීමේ ප්‍රධාන කතෘකයෙකු ලෙස හමුදාව හුවා දක්වනු ලබමින් පැවතිණ. මේ වාතාවරණය තුළ වසංගතය පාලනය කිරීමේ කාර්ය භාරය හමුදාව අතට පත් කිරීම අපහසු නොවීය. ජන ජීවිතය මිලිටරිමය සුපරීක්ෂණ ජාලයකට ලක් කිරීම කොතරම් සූක්ෂම ලෙස සිදුවෙමින් පවතිනවාද යත් ඒ පිළිබඳව මහජන සංවාදයක් පවා නිර්මාණය වී නොමැත.

ජන අරගල දේශපාලනයේ නව රැල්ල

සිත් ගන්නා සුළු කාරණය නම් වත්මන් “සුපරීක්ෂණ ධනවාදයේ” යුගය තුළදී ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ යුක්තිය උදෙසා වූ මහජන ව්‍යාපාරවල පසුබැසීමක් ඇති නොවීමයි. ඒ වෙනුවට සිදුවෙමින් පවතින්නේ පෙරටත් වඩා ශක්තිමත් ලෙසත් ධෛර්යමත් ලෙසත් ලොව පුරා එවන් ව්‍යාපාර ඉහළට මතුවෙමින් තිබීමයි. ඒ අනුව, මේ යුගයේ රාජ්‍ය බලය අභියෝගයට ලක් කිරීම සඳහා ඉතිරිව ඇති එකම මාධ්‍යය වනුයේ මැතිවරණ පමණක්ය යන ප්‍රවාදය දැනටමත් බිඳ වැටී අවසන්ය. ගෝලීය දේශපාලනයේ වඩා බලවත් ධාරාවක් ලෙස ප්‍රවණතාත්මක ලෙස මතුවෙමින් තිබෙන්නේ ජන අරගල දේශපාලනයයි. ෆූකෝ පැවසූ ලෙස “සමාජය ආරක්ෂා කළ යුතුය” යන්න මේ නේකාකාර ප්‍රජාතාන්ත්‍රික අරගලයන්හි පොදු පණිවිඩය වන්නේ යැයිද කිව හැකිය.

ඉන්දීය ගොවිජන අරගලය තවමත් අඛණ්ඩව ඉදිරියට යන්නේ එහි ශක්තිය සහ ජවය බිඳක්වත් අඩු කර නොගෙනය. දැනට දින කිහිපයකට පෙර අරගලයේ නිරත ගොවීන් විසින් දියත් කරන ලද දිල්ලියේ මාර්ග අත්පත් කර ගැනීම (චක්කා ජෑම්) ක්‍රියාවට නගන ලද්දේ ඊට එරෙහි අති විශාල ආරක්ෂක බල ඇණියක් ඉදිරිපිටදීය. මියන්මාරයේ හමුදා තන්ත්‍රයට එරෙහි විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන බලවේගය වී ඇත්තේ එරට තරුණ තරුණියන්ය. “මෙවර උඹලා හැප්පෙන්නේ වැරදි පරපුරක් සමගයි” යන සටන් පාඨය දැන් එරට තාප්ප පුරා ලියැවෙමින් තිබේ. අසල්වැසි තායිලන්තයේ ප්‍රජාතාන්ත්‍රික නිදහස උදෙසා වූ විරෝධතා සමග ඔවුනගේ සහයෝගීතාව ප්‍රකාශ වෙමින් තිබෙන්නේ සුප්‍රසිද්ධ ඇඟිලි තුනේ හස්ත සංඥාවක් දක්වමිනි. රුසියාවේ විපක්ෂ ක්‍රියාකාරිකයෙකු වන ඇලෙක්සී නවල්නීව අත් අඩංගුවට ගැනීමට එරෙහි ජනතා උද්ඝෝෂණය පසුගිය සත් වසරක කාල පරිච්ජේදය තුළ එරට සිදු වූ විශාලතම මහජන නැගී සිටීම ලෙස සැලකේ. බොහෝ වාර්තාකරුවන්ට අනුව පසුගිය ජනවාරි 23 වන දින නගර සියයක පමණ පැවති විරෝධතාවලට සහභාගී වූ පිරිස ලක්ෂය ඉක්මවයි. ප්‍රංශයේ යෝජිත නව ආරක්ෂක පණත මගින් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝණය වීමට එරෙහිව ඇති වූ විරෝධතා ව්‍යාපාරයට 33,000 ක් පමණ පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ. මේ නිදසුන් කිහිපයක් පමණි.

මීට සමාන්තරව ශ්‍රී ලංකාවේ දේශපාලනයද ජන අරගලයේ දිශාවට දෝලනය වීමේ ලකුණු දැන් දැන් පෙනෙන්නට පටන් ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් විසින් පසුගියදා පවත්වන ලද “පොතුවිල් සිට පොලිකන්දි දක්වා” (P to P) විරෝධතාව සහ යළි පණ ලබමින් පවතින ශිෂ්‍ය ව්‍යාපාරය ඒ සඳහා නිදසුන් ලෙස ගත හැකිය. “P to P” ව්‍යාපාරයේ වැදගත් ලක්ෂණයක් වන්නේ උතුරේ දෙමළ පුරවැසි කණ්ඩායම් සමග කඳුකරයේ කම්කරු ප්‍රජාව සහ මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ වීමයි. එය වත්මන් පාලනාධිකාරය සහ ඉන්දියාව අතර ගොඩ නැගෙමින් පවතින රාජ්‍ය තාන්ත්‍රික විරසකභාවය සමගත් එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව නැවත ඉදිරිපත් වීමේ සංසිද්ධිය සමගත් ජෝ බයිඩන් බලයට පත් වීමත් සමග එක්සත් ජනපදයේ ආසියාව වෙත හැරීමේ භූ-දේශපාලන උපායමාර්ගයේ නව ගතිකත්වයන් සමගත් සමාන්තරව ගත් විට පෙනෙන්නේ මෙරට ඉදිරි දේශපාලන පෙළ ගැසීම් කෙරෙහි වැදගත් බලපෑමක් එල්ල කිරීමට සමත් ප්‍රවණතාවක් එයින් සංඥා කෙරෙන බවය. මේ පිළිබඳව ඉදිරියේදී ලියන්නට බලාපොරොත්තු වෙමි.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    රට කුමක් වුවත්, ඔවුන්ගේ වැඩිහිටියන් ආදර්ශවත් නම් මිනිසුන් විනයානුකූලව ඉගෙන ගනු ඇත. 70 සහ 80 දශකවල ශ්‍රී ලංකාවන්ට ඔවුන්ගේ පොදු හැසිරීමේ පැහැදිලිවම යහපත් ස්වභාවයක් තිබුණි. ඔවුන්ගේ සිංහල ස්වභාෂාව අද භාවිතා වන භාෂාවට වඩා බොහෝ යහපත් විය. විප්ලවීය තොරතුරු තාක්‍ෂණය, අන්තර්ජාලය හඳුන්වාදීමත් සමඟ මුළු ලෝකයම කුඩා ගම්මානයක් බවට පත්විය. අන්තර්ජාලයෙන් බොහෝ වාසි ඇත, නමුත් බරපතල අවාසි ද ඇත. අන්තර්ජාලයට පෙර, වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක් මත පදනම් වූ විෂය මත පදනම්ව ඔවුන්ගේ සැකයන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට මිනිසුන් දැඩි ලෙස ඉගෙන ගත්හ. අන්තර්ජාලය දැන් සමාජයන් effectively ලදායී ලෙස විනාශ කිරීමට සමත් වී තිබේ. අවාසනාවකට මෙන්, පසුගිය අවුරුදු 30 තුළ, අපේ රටේ, ආගමික නායකයන් පවා බ්‍රසීලයේ වීදිවල හැසිරෙන අශෝභන පිරිමි ළමයින් මෙන් හැසිරේ. ඔවුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශ ගැන ඔවුන් එතරම් තැකීමක් නොකරයි. දේශපාලන politicians යන්ද එසේ කරන්න. ඉතා හොඳ උදාහරණය වනුයේ අද සිටින තරුණ තරුණියන් දෙස බැලීමයි. ඔබ කරුණාකර ඔබේම සමීක්ෂණයක් කිරීමට කැමති නම්, කරුණාකර දරුවන්ගේ පාසැල් නොසලකා දරුවන් දෙස බලන්න, ඔවුන්ගේ දෙමව්පියන් ගුරුවරුන් නම්, එම දරුවන්ගෙන් වැඩි දෙනෙක් අවසන් වූයේ වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් හෝ වෙනත් උසස් උපාධිධාරීන් ලෙස ය. දෙමව්පියන් එහි ගුරුවරුන් නොවන අය නම්, ඔවුන්ගේ දරුවන් උපාධිධාරීන් බවට පත්වීම ඔබට සොයාගත නොහැකිය. උපාධිධාරීන්, වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් අතර පවා අද කිසිදු විනයගරුක බවක් අපට නොපෙනේ. සාමාන්‍ය වෛද්‍ය නිලධාරී සංගමය දෙස තනිවම බැලුවහොත්, ඔවුන් කෙතරම් අපයෝජනයට ලක්ව ඇත්දැයි ඔබ ඉතා පැහැදිලිව කිව යුතුය. මේ සියල්ල හොඳින්ම දන්නා නමුත්, එකම ඡන්දදායකයින් විසින් නැවත නැවත තේරී පත් වුවද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නිසි ක්‍රමවේදයක් හඳුන්වා දී නොමැත. මම හිතන්නේ ඡන්දදායකයින්ට සහ දේශපාලන politicians යින්ට විනය, ගෞරවය සහ අභිමානය නොමැති වීම.
    මා පුදුමයට පත් කරමින්, එකම විනය දකුණු ආසියානු ජාතීන් අතහැර ගොස් නැති බව මට පෙනේ. සමහර විට ඔවුන්ගේ සමාජවල ඊටත් වඩා කොටස් තොරතුරු තාක්‍ෂණයෙන් ඉහළ සාක්ෂරතාවයකින් යුක්ත විය හැකිය. අදටත් අන්තර්ජාලයට පිවිසෙන ශ්‍රී ලංකන් 40% ට වඩා අඩු බව වාර්තා වේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.