25 July, 2021

Blog

ශ්‍රී ලංකාව පරිසමාප්ත කුණාටුවක් කරා

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

පරිසමාප්ත කුණාටුවක් යනු කුමක්ද? ස්ලේවෝයී ශිෂෙක් “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේදී මේ ගැන කතා කරයි. ඔහු පෙන්වා දෙන පරිදි, පරිසමාප්ත කුණාටුවක් නිර්මාණය වන්නේ විසම තත්ත්වයන්ගේ දුලබ ඒකාබද්ධ වීමක් මගිනි. ඔහු 1991 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ එවන් කුණාටුවක් ගැන සඳහන් කරයි. කිහිප දිශාවකින් පැමිණි චණ්ඩ මාරුත කිහිපයක් එකිනෙක හා මුසු වීමෙන් නිර්මාණය වූ එම පරිසමාප්ත කුණාටුව වසර සිය ගණනකට පසුව ඇති වන ආකාරයේ එකක් විය. එම කුණාටුවට හසු වූ අන්ද්‍රය ගේල් නමැති කුඩා බෝට්ටුවක සිටි පිරිස මුහුණ දුන් ඉරණම මෙනෙහි කරන ශිෂෙක් පවසන්නේ වත්මන් කොරෝනා අර්බුධය තුළ යුරෝපය පත්ව ඇති තත්ත්වයද ඊට සමාන බවයි.

මගේ අදහස නම් පරිසමාප්ත කුණාටුව පිළිබඳ ශිෂෙක්ගේ සදෘෂ්‍ය වඩා ගැලපෙන්නේ ශ්‍රී ලංකාවට බවයි. වත්මනෙහි ශ්‍රී ලංකාවට ඉහළ අහසේ චණ්ඩ මාරුත කිහිපයක් ගොණුවෙමින් තිබේ. ඒවා එකට මුසුවීමෙන් තැනෙන පරිසමාප්ත කුණාටුව දැන් ඇත්තේ ඇසට පෙනෙන නොපෙනෙන මානයේය. අප දැන් සිටින්නේ මෙතෙක් නොවූ විරූ ආකාරයේ සමාජ වියවුලක සහ ව්‍යසනයක මුවවිටය. නිදහසින් පසු මෙරට දේශපාලන ඉතිහාසය තුළ මහා අර්බුධ කිහිපයක් ඒකාබද්ධ වීමෙන් තැනෙන මෙවන් සමස්ත අර්බුධයක් අප අත්විඳ නැත. ඉදිරියේ එන එම පරිසමාප්ත කුණාටුවේ පෙර මග සලකුණු නොදකින කවර දේශපාලන විශ්ලේෂණයක් වුවත් දැන් ලියැවීමට පෙරම යල් පැන යාමට නියමිත ය.

මාරුතයන් ඒකාබද්ධ වන සැටි

ලාංකීය පරිසමාප්ත කුණාටුවට දායක වන එක් මාරුතයක් වන්නේ වසංගතය මගින් නිර්මාණය වූ සෞඛ්‍ය අර්බුධයයි. දෙවැන්න දිනෙන් දින උග්‍ර වන ආර්ථික අර්බුධයයි. තෙවැන්න, වර්ධනය වන සමාජ පීඩනය සහ විසමතාව හමුවේ පැන නගින විරෝධතා දේශපාලනය කෙරෙහි එල්ල වන රාජ්‍ය මර්දනයත් එමගින් උග්‍ර වන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්බුධයත්ය. සිව්වැන්න, ගෝලීය සහ කලාපීය බල ගැටුමකට මැදි වීමෙන් නිර්මාණය වන රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයයි. මීට අමතරව පාරිසරික ව්‍යසනය, අධ්‍යාපන අර්බුධය සහ සමාජ-සංස්කෘතික අර්බුධ ගණනාවක්ද හඳුනාගත හැකිය. ආණ්ඩුවේ වත්මන් පොහොර ප්‍රතිපත්තිය මගින්ද උත්තේජනය කෙරෙන ආහාර අර්බුධයක් සහ සාගතයක් පවා ඇතැම්විට ඉදිරියේදී දැක ගන්නට ලැබෙනු ඇත.

මේ අර්බුධ එකිනෙකින් වෙන්ව පවතී නම් ඒවායෙහි ව්‍යසනකාරී බලපෑම් කිසියම් දුරකට හෝ පාලනය කර ගන්නට හැකි වනු ඇත. නමුත්, වඩාත් භයානක කාරණය වන්නේ ඒවා එකිනෙක සමග අන්තර්ක්‍රියා කරමින්, එකට සංකලනය වෙමින් තනි ප්‍රචණ්ඩ කුණාටුවක් බවට පරිවර්තනය වෙමින් තිබීමයි. ඒ කවරාකාරයෙන්දැයි මදක් පරීක්ෂා කර බලමු.

පළමුව, වසංගතයෙන් ජනිත වූ සෞඛ්‍ය අර්බුධයත් ආර්ථික අර්බුධයත් අතරැති සම්බන්ධතාව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන සියලුම ප්‍රධාන ආර්ථික අංශ වසංගතයේ ප්‍රහාරයට සෘජුවම ඉලක්ක වී තිබේ. විදේශගත ශ්‍රමිකයින්ගේ ඉපැයීම්, සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය සහ වතු කෘෂිකර්මය යන සෑම අංශයක්ම දැන් මාස ගණනාවක් තිස්සේ අඩපණ වෙමින් තිබේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයද පවත්වාගෙන යන්නේ අසීරුවෙනි.

පසුගිය අප්‍රේල් මාසයේ ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නිරීක්ෂණ වාර්තාවකට අනුව 2020 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ මෙතෙක් වාර්තාගත ඉහළම සංකෝචනය සිදුව ඇත. රාජ්‍ය ආදායමේ පහළ යාමත් වියදම ඉහළ යාමත් එකවිට සිදු වීම නිසා මූල්‍ය හිඟතාව වර්ධනය වී තිබේ. මෙහි ප්‍රතිපලයක් ලෙස ණය මත රඳා පැවතීම තවදුරටත් ඉහළ ගොස් ඇත. මේ වසරේදී රාජ්‍ය සහ පුද්ගලික අංශවලින් ලබා ගත් ණය සමස්තයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් 109.7% වනු ඇතැයි ගණන් බලා තිබේ. ඒ අතරම රනිල් වික්‍රමසිංහ තම පාර්ලිමේන්තු පුනරාගමනයෙන් පසුව කළ පළමු කතාවේදී පෙන්වා දුන් පරිදි විදේශ හුවමාරු සංචිත හිඟයකටද ශ්‍රී ලංකාව මුහුණ පා සිටී. සරලව, ඩොලර් හිඟයක් නිර්මාණය වී තිබේ. එබැවින්, ආනයන වියදම සැලකිය යුතු මට්ටමකින් අඩු කරගත නොහැකි වුව හොත් මෙරට විනිමය අනුපාතිකය තවදුරටත් පහත බසිනු ඇත. සරලව, දැනටමත් බාල්දු වී ඇති ශ්‍රී ලංකා රුපියල මස්තබාල්දු වනු ඇත. මෙය විසම චක්‍රයකි.

ගෝලීය බල පොරය

ඉහත කී ආර්ථික අර්බුධයේ මාරුතය ඔස්සේ ඉතාම වේගයෙන් අපව කලාපීය සහ ගෝලීය බල පොරයේ මාරුතයක් වෙතට ගසාගෙන යනු ලබයි. ශ්‍රී ලංකා දූපත පිහිටා තිබෙන්නේ එක්සත් ජනපදය සහ චීනය අතර ගොඩ නැගෙන ශීත යුද්ධයේ වඩාත්ම තීරණාත්මක කලාපය වන ඉන්දු-පැසිෆික් කලාපයේ මධ්‍යයේමය. එබැවින්, දැනටමත් මේ කලාපය තුළ දක්නට ලැබෙන්නේ ස්වකීය පාලනයට පරිබාහිරව පවතින බලවේගවල චණ්ඩ රළ පහරට ලක්ව ශ්‍රී ලංකාව නමැති අන්ද්‍රය ගේල් නෞකාව ඒ මේ අතට පැද්දෙන ස්වරූපයකි.

දැන් එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව යන බලවතුන් තිදෙනාම ඔවුනගේ “වැක්සීන් රාජ්‍ය තාන්ත්‍රිකත්වය” ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශයක් ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත. මේ සෑම බලවතෙක්ම වැක්සීන් රාජ්‍ය තාන්ත්‍රිකත්වය ක්‍රියාත්මක කරන්නේ තම භූ-දේශපාලනික අභිලාෂයන් පෙරදැරි කරගෙන බව රහසක් නොවේ. ඒ අතර, ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතුය යන අදහස දැන් නව-ලිබරල් යහපාලනවාදී නායකයින් විවෘතවම ප්‍රකාශ කරන්නට පටන්ගෙන ඇත. මීට සමගාමීව, චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස් සැමරුමත් චීන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සැමරුමත් නිමිත්තෙන් රුපියල් දහසේ රන් සහ රිදී කාසි දෙකක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගත්තේය. රටවල් අතර සබඳතාවලදී මෙවන් සංකේතාත්මක අභිනයන් ඉතාම වැදගත් ඇඟවීම් ඇති කරයි. බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර ඉහළ පෙළේ බැඳීම් ගොඩ නගාගෙන තිබෙන බව දැන් ඉතාම ප්‍රසිද්ධය. පසුගිය නොවැම්බර් මසදී මෙම පක්ෂ දෙක විසින් ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ඉහළ පෙළේ ඒකාබද්ධ සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබීය. එහිදී පක්ෂ දෙක අතර දිගුකාලීන ද්වි-පාක්ෂික සබඳතා ගැනද එකඟතාවලට එළඹී තිබේ. මෙය රාජ්‍යයන් දෙකක් අතර සබඳතාවකට වඩා පක්ෂ දෙකක් අතර ගොඩ නගා ගත් සබඳතාවක් බව සිහි තබා ගැනීම වටී.

නමුත්, පොහොට්ටු පක්ෂ නායකත්වයේ චීන ලැදියාව කෙසේවත් සුමට ලෙස ක්‍රියාවට නැගිය හැක්කක් නොවේ. පළමුකොටම පක්ෂයේ නිල නොලත් නායකයා එක්සත් ජනපද පුරවැසියෙකි. දැන් මුදල් ඇමතිවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණ සිටින ඔහු හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ කල් ඇදෙන වසංගතය හමුවේ උග්‍ර වන ආර්ථික අර්බුධයේ හානිය හැකි තාක් සමනය කර ගැනීමය. එසේ කිරීමේදී ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය බරපතල ලෙස එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය මත රඳා පවතින බව ඔහුට කෙසේවත් නොතකා හැරිය නොහැකිය. ජී.එස්.පී ප්ලස් නැවත සලකා බැලීමේ සාකච්ජාව දැනටමත් ආරම්භ වී තිබේ. එසේම මෙරට විදේශ ආදායමට ප්‍රධාන දායකත්වයක් දක්වන විදේශගත ශ්‍රමිකයින් රැසක් සේවය කරන්නේ මැද පෙරදිග කලාපයේ බවද, රට තුළ මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස් කොට සැලකීම් එක්තරා දුරකට පසුව ආර්ථිකමය ප්‍රතිවිපාක ජනනය කළ හැකි බවද ඔහු දැන සිටිය යුතුය.

කලාපීය බල පොරය

මේ සියල්ලටමත් වඩා අසීරු අභියෝගය එල්ල වන්නේ කලාපීය “ලොකු සහෝදරයා” වෙතිනි. වත්මනෙහි ශ්‍රී ලංකාව සම්බන්ධ ඉන්දීය අභිලාෂයන් හැඩ ගැසීමට බලපාන ප්‍රධාන සාධක දෙකක් අඩු තරමින් පවතී. පළමුවැන්න, ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජාතිකයින්ගේ දේශපාලන ගැටළුවයි. දෙවැන්න චීන සාධකයයි.

පසුගිය ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් අති විශාල ජයග්‍රහණයක් ලබා ගත් එම්.කේ ස්ටාලින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිව මුණ ගැසෙන්නට ගිය පළමු ගමනේදීම ශ්‍රී ලංකාවට අදාළ ප්‍රශ්න කිහිපයක් අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට සමානත්වය, යුක්තිය හා සාමය උදා වන විසඳුමක අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය; ඉන්දියාවට සංක්‍රමණය වන ලාංකීය දෙමළ ජනයාට ඉන්දීය පුරවැසිභාවය ලබා දිය යුතු බව පැවසීය; ඒ මදිවාට සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ක්‍රියාවට නැගීම ගැනද කතා කළ ස්ටාලින් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට ලබා ගත යුතු යැයි පවසන තරම් දුරට ගියේය. දැනටමත් බරපතල ලෙස ජනප්‍රියත්වය පිරිහී ගොස් තිබෙන බී.ජේ.පී ආණ්ඩුවට තමිල්නාඩුවේ බලවත් ප්‍රාදේශීය නායකත්වයේ බලපෑම නොසලකා හැරිය හැකිද යන්න ප්‍රශ්නයකි. 2019 මහා මැතිවරණයට පෙර මෝඩිට තම ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට උදව් වූයේ බාහිර සාධකයකි. ඒ යළි ඇවිලුණු කාශ්මීර ගැටුමයි. ශ්‍රී ලංකාව ඇතැම්විට මීළඟ ඉන්දීය මැතිවරණයේ කාශ්මීරය වීමට ඉඩ තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නයේදී ඉන්දියාව තම භූ-දේශපාලනික අභිලාෂයන් විවෘතව හෙළිදරව් කළාය. චීනයේ “තීරු සහ මාර්ග සමාරම්භකත්වයේ” (BRI) ප්‍රධාන තොටුපළක් වන හම්බන්තොට වරාය සහ කොළඹ මූල්‍ය නගරය මදිවාට දැන් උතුරේ දිවයින් කිහිපයක චීන ව්‍යාපෘතීන්ද ආරම්භ වී තිබීම ගැන කලාපීය බලවතා කලබලයට පත් වීම කිසිසේත්ම පුදුමයට කරුණක් නොවේ. එම බලවතා ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද භූ-දේශපාලනික උපාය මාර්ගයේ ප්‍රධාන සහායකයෙකුද වූ විට ශ්‍රී ලංකාව මුහුණ දීමට යන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයේ බරපතලකම අපට සිතා ගත හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය සහ මර්දනකාරීත්වය

ඉහත කී සියළු මාරුතයන් ඒකාග්‍ර කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය නමැති සුළි සුළඟ විසිනි. එක් අතකින් සෞඛ්‍ය අර්බුදයේ සහ ආර්ථික අර්බුදයේ ප්‍රතිපලයක් ලෙස පවතින පාලනය පිළිබඳ ජනතාවගේ කළකිරීම, විරෝධය සහ කෝපය උච්චස්ථානයට පත්වෙමින් තිබේ. ඒ සමග පාලනාධිකාරයේ සුජාතභාවය අර්බුදයට පත් වේ; ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් පෙරට ඒ. එම ඉල්ලීම්වලට විසඳුම් නොමැති වූ කල්හි පාලකයින් වඩ වඩාත් මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණ මත රඳා පවතින්නට පටන් ගනී. එම මර්දනකාරීත්වය විසින් පාලනාධිකාරය සේම ජනතාවද වේගයෙන් ගෝලීය සහ කලාපීය බල පොරයේ මාරුතය වෙතට ඇද දමනු ලබයි. එවිට ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කරන ලද විදේශීය පරායත්තතාවේ දේශපාලන ගම්‍යතා වඩාත් තීව්‍ර ලෙස මතු වන්නට පටන් ගනී.

පසුගියදා ප්‍රජාතාන්ත්‍රික විරෝධයක නිරත වූ දුමින්ද නාගමුව සහ ජෝසෆ් ස්ටාලින් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් අනීතික ලෙස පොලිස් සහ හමුදා රැඳවුම් කඳවුරු තුළ තබා ගැනීමේ සමස්ත ජවනිකාවෙන් නිරූපනය වූයේ මෙයයි. මරා දැමූ කාකයෙකුගේ තට්ටක් එල්ලීමෙන් කාකයන් නිහඬ කළ හැකි යැයි පැවසූ ඇමතිවරයාගේ ආණ්ඩුවට ඉතාම ඉක්මණින් කාකයන් සහ මිනිසුන් අතර පවතින වෙනස දැක බලා ගන්නට ලැබිණ. වසංගත ලොක් ඩවුන් සමයෙන් පසුව නිර්මාණය වූ පුළුල්ම මහජන විරෝධයට එයින් මග විවර විය.

දේශපාලන රැඳවුම් කඳවුරෙන් නිදහස ලබා පැමිණි විගසම දුමින්ද නාගමුව කදිම ප්‍රකාශයක් කළේය. ඔහු පෙන්වා දුන්නේ මේ රටේ ජනතාව යනුවෙන් යමක් පවතීය යන පාඩම මේ සිද්ධියෙන් ආණ්ඩුව ඉගෙන ගත යුතු බවය. දුමින්ද කියන පාඩමට එකතු කළ යුතු තවත් කොටසක් තිබේ යැයි මට හැඟේ. එනම්, මේ දූපතට පිටතින් ලෝකයක් පවතීය යන්නයි. දේශපාලන රැඳවියන් වෙනුවෙන් රට තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සමාන්තරව එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලය වෙතද මෙරට සිටින යුරෝපා සංගම් තානාපතිවරුන් වෙතද ප්‍රශ්නය රැගෙන යාමට විරෝධතාකරුවන් පියවර ගත්හ. ලංකා දූපත තුළ කොතරම් මර්දනකාරී පාලනයකට වුවත් ලොකු සෙල්ලම් දැමිය නොහැකි බව ඉක්මණින්ම යළිත් සනාථ විය.

දුබල බවේ ආශීර්වාදය

අවසන් වශයෙන් කිව යුත්තක් නම්, කොතරම් දරුණු කුණාටුවකට ලක් වුවද, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ මියන්මාරයක් කිරීම කිසිවෙකු සිතන තරම් පහසු කාර්යයක් නොවන බවයි. පළමුව, මෑතකදී විදර්ශන කන්නන්ගර සහෝදරයා පැවසූ පරිදි, මියන්මාරයේ මෙන් නොව ආසියා-අප්‍රිකා ලෝකයේ පැරණිතම නියෝජන ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය වන ශ්‍රී ලංකාවේ ප්‍රබල ප්‍රජාතාන්ත්‍රික මහජන සම්ප්‍රදායක් තිබේ. දෙවනුව, පවතින ජාත්‍යන්තර බල තුලනය තුළ ලෝකයේ විශාලතම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයට සමීපයේ පවතින දුබල රටක් චීන හිතවාදී මියන්මාරයක් බවට පරිවර්තනය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

තෙවනුව, මියන්මාරයේ තත්මදව් පාලනයට සම්බන්ධ පුද්ගලයින් 22 දෙනෙකුට සහ ඔවුනගේ පවුල්වලට අයත් එක්සත් ජනපද දේපළ සියල්ල රාජ සන්තක කිරීමට මෑතකදී ජෝ බයිඩන් පරිපාලනය පියවර ගත් බව ලංකාවේ පාලක පවුල නොදැන සිටිනවා විය නොහැකිය. චීන මාවතේ යා හැකි දුර කොතෙක්දැයි එයින් සලකුණු වේ. පාලක පවුලේ දේපළ ආරක්ෂාව රටක විදේශ ප්‍රතිපත්තිය සමග ගැට ගැසෙන තරමට ගෝලීය සහ ප්‍රාදේශීය සාධක අතර සංකලනයක් ඇති කරන්නට වත්මන් කුණාටු තත්ත්වය සමත්ව ඇත. සරදමකට මෙන්, දැන් ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ කොන්දේසියක් බවට පත්ව ඇත්තේ ජාත්‍යන්තර ක්‍රමය තුළ ශ්‍රී ලංකාවේ දුබල බව මිස ශක්තිමත් බවක් නොවේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    ඔවුන් නැවත බලයට පැමිණියේ සුදුසුකම් ලත් අයට රැකියාව ලැබෙනු ඇති බවට පොරොන්දු වෙමින් වෙන කිසිවෙකුට අවස්ථාවක් නොලැබෙන බැවිනි. නමුත් රජයේ යථාර්ථය නම් ඔවුන් ප්‍රතිවිරුද්ධ පැත්ත ප්‍රවර්ධනය කිරීමයි. ඔවුන්ගේ මැතිවරණ පොරොන්දු වූයේ ep ාති සංග්‍රහයට කිසිදු ඉඩක් ලබා නොදෙන බවය. ඔහුගේ මොළය විශ්ලේෂණයට භාජනය කළ යුතු යැයි කියමින් සොරිසේනාට පහර දෙන ලදී. අද ඔවුන්ට සිදු වූයේ කුමක්ද?
    https://www.youtube.com/watch?v=tv2quZ15beI

  • 1
    0

    මේ දිනවල COVID ආසාදන වලින් සිදුවන හානියට වඩා වත්මන් රජය තම ජනතාවට බොහෝ හානියක් කරයි. ඔවුන් හිටපු වැරදිකරුවන් වූ ඉහළ අපරාධකරුවන් රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් ලෙස පත් කරයි. මේ සියල්ල සිදුවන්නේ කැබිනට් ඇමතිවරු නිහ being ව සිටීමෙනි, නමුත් පාලක ජනාධිපති විසින් ඒකමතිකව ගනු ලබන තීරණ මගින් ය. සෑම කෙනෙකුගේම ඇස් වලට, මෙම දුරාචාර ප්‍රතික්‍රියා දරාගත නොහැකිය. ඔහුගේ ධුර කාලය අවසන් වූ පසු ඔහු එයට මුහුණ දෙන්නේ කෙසේද? එය හරියට කුකුළු ගොවිපල නරියා විසින් පවරා ගනු ලැබුවාක් මෙනි. වත්මන් ජනාධිපතිවරයා විසින් ගනු ලබන කිසිදු පියවරක් කිසියම් සිහිබුද්ධියක් ඇති කිසිවෙකු විසින් අගය කරනු නොලැබේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment