අරගලය අපට නැවත කියා දුන් දේශපාලන පාඩම් අතුරින් වැදගත් එකක් වන්නේ සමාජ බලවේගවල පුළුල් එකතුවක් ගොඩ නැංවීමේදී කාටත් බෙදාගත හැකි පොදු සටන් පාඨයක ඇති වැදගත්කමයි. ලෙනින් නැවත නැවතත් අවධාරණය කළ පරිදි සටන් පාඨයක් ඉතාම සරල විය යුතුය (පාන්, ඉඩම්, සාමය!). එසේම එය පොදු ජන විඥානයට ආමන්ත්‍රණය කළ හැකි එකක්ද විය යුතුය. මෑතකදී වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව සමග පැවති සංවාදයකදී මා සඳහන් කළ පරිදි, ගාන්ධිගේ සුප්‍රසිද්ධ ලුණු පා ගමන වනාහී කල් පවතින පුළුල් සමාජ අරගලයක ආරම්භය පිළිබඳ කදිම නිදසුනකි.
බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුව විසින් පණවන ලද ලුණු බද්දට එරෙහිව 1930 මාර්තු 12 වෙනිදා අරඹන ලද පා ගමනට මුලින් සහභාගී වූයේ ගාන්ධි ඇතුළු 78 දෙනෙකුගේ කණ්ඩායමක් පමණි. නමුත්, අප්‍රේල් 06 වනදා පා ගමන අවසන් කරමින් ගාන්ධි ඉංග්‍රීසි පාලනයේ ලුණු නීතිය බිඳ දමන විට මිලියන ගණනක් ඉන්දියානු ජනයා ස්වේච්ජාවෙන් එයට සහභාගී විය. බ්‍රිටිෂ් රාජ් අධිරාජ්‍යය දෙදරන්නට පටන් ගත්තේ එතැන් පටන්ය. නේරු පසුව පවසා ඇති පරිදි කොංග්‍රස් ව්‍යාපාරයේ පළමු ප්‍රසිද්ධ විරෝධතා ව්‍යාපාරය සඳහා ලුණු ප්‍රශ්නය තෝරා ගැනීමේදී බොහෝ කොංග්‍රස් නායකයින් ඒ ගැන එතරම් විශ්වාසයක් තබා නැත. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය සම්බන්ධයෙන් ගත් කල, ලුණු බද්ද පිළිබඳ කාරණයට වඩා කොතරම් වැදගත් හා බරපතල දේශපාලන ප්‍රශ්න මතු කල යුතුව තිබුණිද? ලුණු කැටයකින් පුළුල් ජනතාවක් සංවිධානය කළ හැකිද? නමුත්, පා ගමන අවසන් වන විට ගාන්ධි නිවැරදි බව සනාථ විය. ඔහු තම විරෝධතා ව්‍යාපාරය සඳහා ලුණු ප්‍රශ්නය තෝරා ගැනීමේදී අන් කාටත් වඩා තීක්ෂණ ලෙස දකින්නට සමත්ව තිබූ දෙයක් වන්නේ ඉන්දීය සමාජයේ සියලු සමාජ කොටස් ඒකාබද්ධ කිරීමේ හැකියාවක් ඒ මොහොතේ ලුණු කැටයට තිබූ බවයි. එය බ්‍රාහ්මණයාගේ සිට දලිත් වංශික පීඩිතයා දක්වාත්, හින්දු භක්තිකයාගේ සිට මුසල්මානුවා දක්වාත්, උතුරු භාරතයේ සිට ද්‍රවිඩ දකුණ දක්වාත් කාටත් සරලව වටහාගත හැකි කාගේත් පොදු ප්‍රශ්නයක් විය. අද අපගේ න්‍යායික වහරින් කිව හොත්, ලුණු කැටයට විශාල හෙජමොනික ශක්‍යතාවක් තිබිණ.
වත්මන් දේශපාලන නිමේෂය තුළ මෙරට බහුජන යහපත සහ ප්‍රජාතාන්ත්‍රික නිදහස වෙනුවෙන් අරගල කරන සියලු පාර්ශවවල අවධානයට ලක් විය යුතු කාරණයක් නම් මේ මොහොතේ පුළුල්ම සමාජ එකතුව ගොඩ නැංවිය හැකි ‘හෙජමොනික ලුණු කැටය’ සොයා ගන්නේ කෙසේද යන්නයි. මන්ද යත්, වත්මන් ප්‍රභූතන්ත්‍රයේ ප්‍රධාන උපායමාර්ගයක් වී තිබෙන්නේ මෙතෙක් කලක් අරගලය තුළ එක්සත් වී සිටි වාමාංශික කොටස්, සුළුතර ජනවාර්ගික නායකත්වයන්, ලිබරල් සිවිල් සමාජ කොටස්, ප්‍රජාතාන්ත්‍රික බලවේග යනාදී විවිධ කණ්ඩායම් එකිනෙකාගෙන් වෙන් කිරීමයි. ලැක්ලාවූගේ වචනයෙන් කිව හොත්, අරගලය තුළදී වඩා මූලික වූයේ විවිධ අනන්‍යතා කණ්ඩායම් අතර ‘සාම්‍යතා දාමයක්’ ගොඩ නැගීම නම්, දැන් වික්‍රමසිංහ ප්‍රමුඛ ප්‍රභූ තන්ත්‍රය විසින් ප්‍රයත්න දැරෙමින් තිබෙන්නේ එම කණ්ඩායම් එකිනෙකාගෙන් වෙන් කරන වෙනස්කමේ තර්කණය පෙරට ගෙන ඒමයි. බලය බෙදීමේ සාකච්ජා මාලාව මගින් සුළුතර ජනවාර්ගික නායකත්වයන් තුළ ප්‍රභූතන්ත්‍රයට හිතවාදී නැඹුරුවක් නිර්මාණය කර ගන්නටත් එමගින් සුළුතර ජනවාර්ගික කොටස් වාම-ප්‍රජාතාන්ත්‍රික අක්ෂයක් සමග සන්ධානගත වීමේ අනතුර මග හරවා ගන්නටත් උත්සාහ දරමින් තිබේ. මධ්‍යම පන්තික කොටස් තුළ ආර්ථික අර්බුදය සඳහා වික්‍රමසිංහගේ විසඳුම හැර වෙනත් විකල්පයක් නැත යන පොදු ජන අවබෝධය තහවුරු කිරීම මගින් ඔවුන් අරගලයෙන් දුරස්ව තබා ගන්නට ප්‍රයත්න දැරේ. අරගලය පෙරටුගාමී වම සමග අනන්‍ය කිරීමෙන් සෙසු දේශපාලන නියෝජනයන් එයින් දුරස් කරන්නට ප්‍රයත්න දැරේ. අරගලයට සම්බන්ධ වූ අතිමහත් ජනතාව ‘සාමකාමී බහුතරයක්’ සහ ‘ප්‍රචණ්ඩ හා ත්‍රස්තවාදී සුළුතරයක්’ ලෙස දෘෂ්ටිවාදීමය ලෙස බෙදා දක්වන්නට ප්‍රයත්න දැරේ. මේ වත්මන් ප්‍රභූතන්ත්‍රයේ උපායශීලී නායකයා වන වික්‍රමසිංහ විසින් වෙනස්කමේ තර්කණය ක්‍රියාවට නගමින් පවතින ආකාරයයි. මැතිවරණ ක්‍රියාවලියද මේ සමග සම්බන්ධය. මන්ද යත්, බහුපක්ෂ ක්‍රමයක් පවතින ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය යනු වෙනස්කමේ තර්කණය පෙරට එන ප්‍රසාංගික සංසිද්ධියකි.
ඒ වෙනුවට සමස්තයක් ලෙස මෙම ප්‍රභූතන්ත්‍රයට එරෙහිව වාම, ප්‍රජාතාන්ත්‍රික, ලිබරල්, සුළුතර යනාදී පුළුල් එකතුවක් ගොඩ නංවා ගත හැක්කේ පසුගිය අරගල සමයේදී සිදු වූවාක් සේ යළිත් වරක් සාම්‍යතාවේ තර්කණය පෙරට ගැනීම මගිනි. සරලව, අප සියලු දෙනාගේම වෙනස් වූ පීඩිත මනෝ භාවයන් එක් මිටකට ගත හැකි ආකාරයේ ගාන්ධියානු හෙජමොනික ලුණු කැටය සොයා ගැනීම මගිනි. මා ඉහත සඳහන් කළ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවේ සංවාදයේදී මා මිත්‍ර මයුර සේනානායක මේ සම්බන්ධයෙන් කදිම යෝජනාවක් ගෙන ආවේය. ඔහු පැවසුවේ වත්මන් මොහොත තුළ ලුණු කැටය නියෝජනය කරන්නේ වැඩි කිරීමට නියමිත විදුලි බිලයි යනුවෙනි. විදුලි බිලේ වේගවත් ඉහළ යාම කිසිදු පන්ති, පාට, ජාති, ආගම්, කුළ බේදයකින් තොරව අප කාටත් බල පානු ලබයි. ඒ අතින් එය ඉන්ධන හා ගෑස් හිඟය වැනිම පොදු සාධකයකි. ඒ අරුතින්, මයුර සොයුරාගේ අදහස අපගේ අවධානයට ලක් විය යුත්තකි.
ඒ සමගම වත්මන් පොදු ජන අවබෝධයේ සැකැස්ම සම්බන්ධයෙන් ගත් කල සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, හුදෙක් විරෝධය දැක්වීමේ දේශපාලනයකට පමණක් වත්මන් නිමේෂය ග්‍රහණයට ගත නොහැකිය යන්නයි. දැන් ජනතාවට අවශ්‍ය විසඳුම්ය. දැනට ප්‍රධාන ධාරාවේ සියලුම දේශපාලන නියෝජනයන් (පොහොට්ටු-එජාප එකතුව, සජබ, ජාජබ, නිදහස සන්ධානය, ටී.එන්.ඒ ඇතුළු) අයි.එම්.එෆ් මග පෙන්වීම අනුව යන විසඳුම් ක්‍රියාවලියට අඩු වැඩි මට්ටමින් එකඟය. තරඟය පවතින්නේ එම විසඳුම ක්‍රියාවට නැගිය හැකි සුජාතමය ඒජන්තයා විය යුත්තේ කව්රුන්ද සහ එය ක්‍රියාවට නැගිය යුතු ආකාරය කුමක්ද යන කාරණා සම්බන්ධයෙනි. එය දූෂණයෙන් තොරව ක්‍රියාත්මක කළ හැක්කේ කා හටද? සමාජ ආරක්ෂණයක් තහවුරු වන ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැක්කේ කා හටද? ජාතිකවාදී ආකාරයට ක්‍රියාත්මක කළ හැක්කේ කා හටද? තවමත් අවිනිශ්චිත මැතිවරණයට පූර්ව අවදියේ ප්‍රධාන ධාරාවේ පක්ෂ අතර විවාදය හැඩ ගැසෙමින් තිබෙන්නේ මේ ප්‍රශ්න මුල් කොටගෙනය. මේ වනාහී නව-ලිබරල්වාදයට විකල්පයක් පවතින්නේ නැත යන අධිපති අදහස පොදු ජන අවබෝධය තුළ ව්‍යාප්ත කෙරෙන ආකාරයේ විවාදයකි.
නමුත්, ගැටළුව වන්නේ වත්මන් වික්‍රමසිංහ-රාජපක්ෂ ප්‍රභූ තන්ත්‍රය විසින් ක්‍රියාවට නැගෙමින් පවතින එම විසඳුම් පැකේජයට අනුව අර්බුදයට වැඩි වශයෙන්ම වග කිව යුතු අධිකාරීමය සමාගම්වල ධනයට අත තබනු නොලැබීමයි. මෙරට ධන කුවේරයන් විසින් විදේශීය අක්වෙරළ තැන්පතුවල තැන්පත් කොට තිබෙන ඩොලර් ප්‍රමාණය අපගේ සමස්ත ණය කන්දරාව පියවීමට තරම් ප්‍රමාණවත් බව මෑතකදී පැවසුවේ ආණ්ඩුවේම බලධරයෙකි. මෙරට මහා පරිමාණ ව්‍යාපාරික සමාගම්වල නොගෙවූ බදුවල එකතුවද අති විශාලය. කාරණය නම්, සමාජයේ වඩාත්ම ආන්තික සහ දරිද්‍ර බහුතරය මත අර්බුදයේ සමස්ත බර පැටවීමෙන් තොරව වත්මන් විසඳුම් පැකේජය වුවත් ක්‍රියාත්මක කළ හැක්කේ එසේ ධනපතියන් විසින් නොගෙවූ සහ සැඟවූ ධනයට අත තැබීමෙන් පමණක් වීමයි. දැන් ඉතාම දක්ෂිණාංශික විසඳුම වුවත් ජනතාවාදී ලෙස ඉදිරිපත් කිරීමට නම්, වමට බර රැඩිකල් ක්‍රියාමාර්ග ගැනීමට සිදු වේ. වත්මන් අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සියලු වාද බේද පසෙකලා එක් වන්නැයි සියලුම බලවේගවලට ආරාධනා කරන ලිබරල්වාදීන් නොතකා හරින කාරණය වන්නේ අප සියල්ලන්ම එකඟ වන මධ්‍ය-ලක්ෂ්‍ය වන්නේ කුමක්ද යන්නයි. දේශපාලන එකඟතාවල මධ්‍ය ලක්ෂ්‍ය පිහිටා ඇත්තේ සැමවිටම හරි මැද නොවේ. නිදසුනක් ලෙස, 1990 දශකයේ ටෝනි බ්ලෙයාර්ගේ සම්මුතිකාමී තුන්වන මාවත දිව ගියේ දකුණට බර මධ්‍ය ලක්ෂ්‍යයක් තුළිනි. නොබැඳි ව්‍යාපාරයේ මධ්‍ය ලක්ෂ්‍ය වමට බර එකක් විය. එලෙසම වත්මන් නිමේෂය තුළ අප ලාංකීය ප්‍රභූ තන්ත්‍රයේ නොව පොදු මහා ජනතාවගේ පර්යාලෝකයෙන් අර්බුදය විසඳීමට එක්වනවා නම් එම එකඟතාවේ මධ්‍ය ලක්ෂ්‍ය පැවතිය යුත්තේ වමේ අන්තයට සමීපවය.
අනෙක් අතින්, සැබවින්ම සිස්ටම් එක වෙනස් කිරීමේ දේශපාලනයේ පැත්තෙන් ගත් කල, විශාලම අභියෝගයක් වන්නේ දැනට සියලුම ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ විසින් එක් හෝ තවත් ආකාරයකින් පිළිගෙන තිබෙන විසඳුම් පැකේජය වෙනුවට වෙනත් විසඳුමක් ජනතාවට ඒත්තු යන ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්නයි. එසේ නොකරන තාක් කල් වත්මන් අධිපති පොදු ජන අවබෝධය පරිවර්තනයට ලක් කිරීම අසීරු වනු ඇත. මේ සඳහා ක්‍රම වෙනසක් පිළිබඳ සමාජ පරිකල්පනය යළිත් පෙරට ගත යුතුව තිබේ. පසුගියදා මහජන කවුන්සිල ගොඩ නැගීමේ ව්‍යාපාරය විසින් කැඳවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කොමිසමේ සාකච්ජා වාරයකදී මා අවධාරණය කළ කාරණයක් නම් අප කෙටුම්පත් කරන්නේ වත්මන් ලාංකීය රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම්, අපට කොල්වින් ආර් ද සිල්වා ගිය දුරට වඩා දුරක් යන්නට නොලැබෙනු ඇති බවයි. ඒ වෙනුවට අප සැකසිය යුත්තේ අරගලය තුළ සාමූහික පරිකල්පනයක් බවට පත් වූ අනාගත ශ්‍රී ලංකාවක ව්‍යවස්ථාවකි. නව ජනරජයක මූලධර්ම ගැබ් වූ අනාගතවාදී ව්‍යවස්ථාවකි. මහජන කවුන්සිල තුළ සම්මත කරගන්නා එම නව ජනරජයේ පරිකල්පනීය රාමුව යථාර්තයක් බවට පත් කර ගැනීම අරගලයේ ඉදිරි අරමුණක් ලෙස ඉතිරිව පවතිනු ඇත.