28 October, 2021

Blog

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? “ඉන්නවද? නහිනවද? ප්‍රශ්නය එයයි…”

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

“To be or not to be? That’s the question…” ෂේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යයේ එන මේ ප්‍රකාශය ගාමිණී හත්තොට්ටුවේගම විසින් පරිවර්තනය කරන ලද්දේ “ඉන්නවද? නහිනවද? ප්‍රශ්නය එයයි” යනුවෙනි. ෂේක්ස්පියර් පැවසූ ලෝකය නම් රඟ මඩලෙහි අද අප සියල්ලන්ම අබිමුව ඇති ප්‍රශ්නය වන්නේ එය නොවේද? ඔහුගේ හැම්ලට් කුමරා මෙන් දිග්ගැසුණු අතීරණයක අප බොහොමයක් දෙනා අතර මං වී සිටිනවා නොවේද?

මුල් කෘතිය වචනයෙන් වචනය පරිවර්තනය කරන නීරස යාන්ත්‍රික පරිවර්තකයෙකු නොවූ හත්තොට්ටුවේගම ෂේක්ස්පියර්ගේ ප්‍රකාශයට තව කොටසක් එක් කළේය. ඒ “කුමක් කළ යුතුද” යන වාක්‍ය ඛණ්ඩයයි. ඔහු ඉතාම ගැඹුරින් ලෙනින්වද කියවා තිබූ බවට සැකයක් නොමැත. ලෙනින්ගේ “කළ යුත්තේ කුමක්ද” සහ “අප්‍රේල් ප්‍රවාද” පමණක් නොව ඒවා ලියූ ලෙනින් නමැති “සංයුක්ත ඓතිහාසික මිනිසාවද” (මේ ග්‍රාම්ස්චිගේ ප්‍රියතම යෙදුමකි) ඔහු කියවා තිබෙන්නට ඇත. අප්‍රේල් ප්‍රවාද ලියමින් ස්විට්සර්ලන්තයේ සිට සීල් කළ දුම්රියක නැගී පෙට්‍රොග්‍රාඩ් නගරයට යළි පැමිණෙමින් සිටි “තීරණයේ මිනිසාගේ” ජායා මාත්‍රයක් ඇතැම්විට ඔහුගේ ලියවිලි තුළින් හත්තොට්ටුවේගම දැක තිබෙන්නට ඇත. “කළ යුත්තේ කුමක්ද?” විසිවන සියවසේ මුල් වසරවල දේශපාලන අර්බුදයේ වියවුල තුළ නිර්මාණය වූ අතීරණයේ නිමේෂයෙහි ලෙනින් ඇසූ ප්‍රශ්නය එයයි. 1917 අප්‍රේල් සහ ඔක්තෝබර් අතරතුරදී ඔහු කළ යුතු දෙයෙහි නැතහොත් තීරණයෙහි කතෘකයා බවට තමාම පත් විය. සොරෙන් කියකගාඩ් පැවසූ පරිදි “තීරණයේ නිමේෂය උමතුභාවයේ නිමේෂයකි.” හොර රහසේ වෙස් වළාගෙන බොල්ෂෙවික් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාකච්ජාවකට කඩා වැදී විප්ලවයක වියහැකියාවක් ගැන කතා කළ ලෙනින්ව ඔහුගේ බොහොමයක් දේශපාලන සගයන්ට පවා දිස් වූයේ උමතු මිනිසෙකු ලෙසිනි.

අද අප හමුවේ ඇති ප්‍රධාන ගැටළුවක් වන්නේ අප සමාජයක් ලෙසම ලෙනින්ගේ තීරණයේ උමතුභාවය වෙනුවට හැම්ලට්ගේ අතීරණයේ උමතුභාවය තුළ සිරවී සිටීමයි. (“තීරණයක් නොගෙන සිටීමද තීරණයකි” – කියකගාඩ්).

අතීරණය සහ නිර්වින්දනය

වත්මන් මොහොතේ සමාජමය අතීරණය අප වටහා ගන්නේ කෙසේද? කුමක් කළ යුතුදැයි සිතා ගත නොහැකි, තමා අවට ලෝකයේ කුමක් සිදුවෙමින් තිබේදැයි වටහාගත නොහැකි නිෂ්ක්‍රීය නිහඬ බහුතරයක් නිර්මාණය වූයේ කෙසේද?

එක් අතකට නිර්වින්දනයට ලක්වීමේ අනතුරට නිරාවරණය වෙමින් සිටින්නේ ජන සමාජය පමණක් නොවේ. බොහෝ විපාක්ෂික දේශපාලන නායකත්වයන්ද සිටින්නේ මං මුලා වූ ස්වරූපයෙනි. අනෙක් අතට, පාලනාධිකාරයද තමන්ගේම පරස්පර තීරණ අතර වැනෙමින් සිටින බවක් පෙනේ.

බුද්ධිමය සමාජයේ නිෂ්ක්‍රීයත්වය බිය උපදවන සුළුය. ලක්ෂ ගණනක් දරු දැරියන්ගේ මූලික අධ්‍යාපනය ඇන හිට තිබීමේ අනාගත පල විපාක කවරාකාර වනු ඇත්දැයි විශ්ලේෂණය කර පෙන්වන අධ්‍යාපනඥයින් කිසිවෙකු හෝ සිටීද? අපේක්ෂා භංගත්වයට පත් යොවුන් පරපුරේ සමාජ මනෝභාවය ගැන සොයා බලන සමාජ මනෝ විශ්ලේෂකයින් සිටීද? ගෝලීය සහ කලාපීය බල අරගලයක තෝතැන්න වන ඉන්දු-පැසිෆික් කලාපයේ මධ්‍යයේ පිහිටි කුඩා දුර්වල දූපත් රාජ්‍යයක අනාගත ඉරණම ගැන අපට කියා දෙන ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රඥයින් සිටීද? නිදහසින් පසු ඉතිහාසයේ ප්‍රබලම ආර්ථික බිඳ වැටීම හමුවේ නිර්මාණය විය හැකි විරැකියාව, දරිද්‍රතාව සහ සාගතය කවරාකාර වනු ඇත්දැයි අපට කියා දෙන ආර්ථික විද්‍යාඥයින් කිසිවෙකු හෝ සිටීද? ළඟ එන මහා ආර්ථිකමය ව්‍යසනය හමුවේ අපේක්ෂා කළ හැකි දේශපාලනික වියහැකියාවන් අපට තේරුම් කර දෙන දේශපාලන විද්‍යාඥයින් සිටීද? (මගේ මනසට නැගෙන්නේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ ඇතුළු නම් දෙක තුනක් පමණි).

සමාජ සදාචාරමය ක්ෂේත්‍රයේ බිඳ වැටීමද එතරම්ම දරුණුය. මෙතෙක් ජන සමාජයට සාම්ප්‍රදායිකව සදාචාරමය නායකත්වයක් සැපයූ ආගමික නියෝජිතයින්ගේ සුජාතභාවය දැන් කලක පටන් පිරිහී යමින් තිබේ. ආගමික නියෝජිතයින් අනුග්‍රාහක දේශපාලනයේත් වෙළඳපළවාදයේත් රූකඩ බවට පත්ව අවසන්ය. මෙතෙක් ආගම විසින් උසුලන ලද සදාචාරමය කෘත්‍යයන් රැසක් දැන් වාණිජ මාධ්‍යයන් විසින් භාරගනු ලැබ තිබේ.

ඒ අනුව, අප මේ වෙසෙන්නේ සාම්ප්‍රදායික බුද්ධිමය සහ සදාචාරමය නායකත්වයන් අර්බුදයට පත් වූ සමාජයක් තුළය. ඒ මතට කොරෝනා වයිරස් වසංගතයද කඩා වැදුණු කල…? සමාජ නිර්වින්දනයේ තීව්‍රතාව එබඳුය.

වසංගතය තුළ ප්‍රාග්ධන සමුච්චනය

නමුත්, මේ සියළු වියවුල් මැද නැවත හැඩ ගැසෙමින් වඩාත් ප්‍රබලව ක්‍රියාත්මක වන එක් යාන්ත්‍රණයක් පවතින බව අමතක නොකරන්න. ඒ, ධනවාදී ප්‍රාග්ධන සමුච්චන ක්‍රියාවලියයි. සමන් ගුණදාස මේ මස පස් වනදා “සන්ඩේ අයිලන්ඩ්” පුවත්පතට ලියූ ලිපියක මේ කරුණ මනාව පැහැදිලි කරයි. ඔහු පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකාවේ ඉහළම සමාගම් නමය පසුගිය අප්‍රේල් සහ ජූනි මාස අතරතුරදී රුපියල් බිලියන 364 ක ධනයක් උපයා තිබේ. මේ මූල්‍ය වර්ෂයේ පළමු මාස තුන තුළදී ඔවුන් ලබා ඇති සමස්ත ලාභය රුපියල් බිලියන 21 කි. එම කාල පරිච්ජේදය තුළදී කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත සමාගම් පසුගිය වසරේ අදාල කාලයට සාපේක්ෂව සියයට 189 ක වර්ධනයක් වාර්තා කොට තිබේ. මීට අමතරව NDB බැංකුව අප්‍රේල් සහ ජූනි මාස අතරතුරදී රුපියල් බිලියන පහක ශුද්ධ ලාභයක් අත්පත් කරගෙන ඇත. එය පසුගිය වසරේ අදාළ කාල පරිච්ජේදයට සාපේක්ෂව සියයට 15 ක වර්ධනයකි. සම්පත් බැංකුව සම්බන්ධයෙන් ගත් කල එම කාල පරිච්ජේදය තුළ සිදුව ඇති වර්ධනය සියයට 34 කි.

සමන් ගුණදාස තවදුරටත් පෙන්වා දෙන පරිදි වසංගතය හමුවේ මහා සමාගම්වල ලාභ සමුච්චනය මෙසේ ඉහළ ගොස් ඇත්තේ පාලනාධිකාරයේ ප්‍රතිපත්තිමය දිරි ගැන්වීම්වලද සහායෙනි. නිදසුනක් ලෙස පසුගිය වසරේදී ඉමහත් මතබේද මධ්‍යයේ ජනාධිපතිවරයා විශාල සමාගම්වලට සහන අරමුදල් නිකුත් කරන්නැයි මහ බැංකුවට නියෝග කළේය. එම අරමුදල්වල වටිනාකම රුපියල් බිලියන 230 ක් විය. ඒ අතර බොහෝ සංස්ථානික බදු සියයට 14 සහ සියයට 18 දක්වා පහත දමන ලදී. එය දකුණු ආසියාවේ අඩුම සංස්ථානික බදු අනුපාතයයි. පසුගිය දෙසැම්බර් මසදී ජනාධිපතිවරයා ලංකා වාණිජ මණ්ඩලය අමතමින් මහා පරිමාණ ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටියේ වසංගතය මගින් ප්‍රදානය කොට තිබෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නා ලෙසයි.

වසංගතයෙන් ජන ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා රට වසා දැමිය යුතු යැයි බොහෝ සෞඛ්‍ය විශේෂඥයින් පවසන අතරතුරදී හේලීස් සහ වැලිබල් වන් සමාගම්වල හිමිකරුවා වන ධම්මික පෙරේරා පවසමින් සිටියේ කිසිදු තත්ත්වයක් යටතේවත් රට වසා නොදැමිය යුතු බවයි. සැබවින්ම පාලනාධිකාරයද එම අදහස බෙදා ගත් බවක් දිස් විය. “ආර්ථිකයද, මහජන සෞඛ්‍යයද” යන ප්‍රශ්නය අභිමුඛ වූ විට බොහෝ අධිකාරීමය ධනවාදී පාලනාධිකාරයන් විසින් තෝරා ගනු ලබන්නේ පළමුවැන්නයි. කෙසේ වුවත්, වසංගතයේ ප්‍රහාරය හමුවේ ජන විඥානය තමන්ට එරෙහිව හැඩ ගැසෙන්නට වූ විට පාලනාධිකාරය කදිම විසඳුමක් සොයා ගත්තේය. එනම්, නිල වශයෙන් රට වසා දමන අතරතුර ප්‍රාග්ධන ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන්නට ඉඩ දීමයි. අද අප මහ මගට බැස බැලුවහොත් අත් දකින්නට ලැබෙන්නේ සුපුරුදු මාර්ග තදබදයයි. නමුත්, එහි එක් වෙනසක් ඇත. එනම්, පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවීමයි. සංචරණ සීමා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ පන්තිමය පක්ෂපාතීත්වයක් සහිතව බව තවදුරටත් රහසක් නොවේ.

මෙම පන්තිමය පක්ෂපාතීත්වයේ නග්න ස්වරූපය දිස් වන්නේ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් ඇතුළු ප්‍රධාන පෙළේ පුද්ගලික ව්‍යවසායන්හි කම්කරුවන්ට අදාළවය. රට වසා දැමූ තත්ත්වයක් තුළ පවා ඇඟලුම් කර්මාන්ත ඇතුළු විශේෂ ආර්ථික කළාපවල සේවක සේවිකාවන් වැඩට යා යුතු යැයි නිල වශයෙන්ම නිවේදනය කිරීම අප වටහාගත යුත්තේ කෙසේද? මේ ඇචීල් ම්බෙම්බේ පැවසූ පරිදි, ආර්ථිකයේ පැවැත්ම වෙනුවෙන් “මරණයේ කලාප” වෙත නිරාවරණය කළ යුත්තේ කව්රුන්දැයි තීරණය කිරීමේ බලය ක්‍රියාවේ යෙදවීමක් නොවේද?

මරණ-දේශපාලනය

ම්බෙම්බේ කතා කරන මරණ-දේශපාලනය (necropolitics) වනාහී මිනිසුන් මහ මග මරා දමන ආකාරයේ විවෘත ප්‍රචණ්ඩත්වයක්ම විය යුතු නැත. ඇතැම් විට, ස්වාධිපති පාලකයා ඉහළ සිට ගන්නා තීරණ මගින් ඇතැම් මිනිසුන් මන්දගාමී මරණය කරා නිරාවරණය කිරීමද මරණ-දේශපාලනයකි. නිදසුනක් ලෙස, ආර්ථික ප්‍රතිපත්ති හැඩ ගැස්වීමේදී අත්‍යාවශ්‍ය ඖෂධවල මිළ ගණන් ඉහළ දමනු ලැබේ නම්, එය බරපතල රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන ජනයා මරණයට නිරාවරණය කිරීමකි.

ස්ලේවෝයී ශිෂෙක් “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේදී විවේචනයට ලක් කරන එක්සත් රාජධානියේ ඊනියා ” ප්‍රඥාවන්තයන් තිදෙනාගේ විසඳුම” එවැන්නකි. එමගින් කියැවුණේ එරට රෝහල් රෝගීන්ගෙන් පිරී යන තත්ත්වයක් ඇති වුවහොත් කෘතීමව ජීවිතය රැක ගැනීමේ සේවය සැපයිය යුත්තේ කා හටදැයි තීන්දු කිරීමේ බලය වෛද්‍ය විශේෂඥයින් තිදෙනෙකුට පවරන බවය. මේ ප්‍රඥාවන්තයන් තිදෙනාගේ නිර්දේශ පදනම් වනු ඇත්තේ කවර නිර්ණායක මතදැයි ශිෂෙක් ප්‍රශ්න කරයි. ඔවුනගේ නිර්ණායකය වනු ඇත්තේ දුබලයන් සහ මහල්ලන් මරණයට කැප කිරීමද? එසේ නම්, එය ශක්තිවන්තයාගේ පැවැත්ම පිළිබඳ රෞද්‍ර තර්කනය ක්‍රියාවේ යෙදවීමක් වනු ඇත. රුමේනියාවේ චව්චෙස්කුගේ පාලනයේ අවසන් වසර කිහිපය තුළදී එම තර්කනය නග්න ලෙස ක්‍රියාවට නැගුණි. එහිදී විශ්‍රාමික පුද්ගලයින් කුමන සෞඛ්‍ය අවධානමක සිටියද ඔවුන්ව රෝහල්වලට ඇතුළත් කර නොගන්නා ලදී. ඒ, ඔවුන් තවදුරටත් සමාජයට ප්‍රයෝජනවත් අයවළුන් ලෙස නොසලකන ලද බැවිනි.

ධනවාදය තුළ සමාජයට ප්‍රයෝජනවත් වන අයවළුන් යනු ආර්ථිකයට ප්‍රයෝජනවත් වන අයවළුන්ය. සෙස්සන් සැලකෙන්නේ “ඉවතලිය හැකි ජීවිත” (disposable lives) ලෙසයි. වසංගතයෙන් පසු යුගයේ ධනවාදය මරණ-දේශපාලනය සමග අතිනත ගෙන යන්නේ කෙසේදැයි අන් කවරදාටත් වඩා හොඳින් ප්‍රත්‍යක්ෂ වෙමින් පවතී. ඊව් ඩේරියන්-ස්මිත් කදිමට පැහැදිලි කරන පරිදි, ධනවාදී මරණ-දේශපාලනය ක්‍රියාත්මක වන්නේ මිනිස් ජීවිතවලට ආර්ථිකමය වටිනාකම් ලබා දීමත්, ඇතැම් ජීවිත වැඩි (ආර්ථික) වටිනාකමකින් යුක්ත යැයි නිර්ණය කිරීමත්, සෞභාග්‍යමත් සහ කාර්යක්ෂම ආර්ථිකයක් උදෙසා කැප කළ යුත්තේ කවර ජීවිතද යන්න නිර්ණය කිරීමත් මගිනි. ජීවිතයට වඩා ලාභය ප්‍රමුඛ කොට සැලකීම එහි පදනම්මය තර්කනයයි. එනයින්, එය මරණ-ආර්ථිකයකි.

අවසන් වශයෙන්, “ජීවත් විය යුත්තේ කව්රුන්ද, මිය යා යුත්තේ කව්රුන්ද” යන්න තීරණය කිරීම සඳහා ස්වාධිපති පාලකයා සතු බලය ක්‍රියාවට නැගීමේදී ධනවාදී ආර්ථිකයේ කාර්යක්ෂමතාව පිළිබඳ නිර්ණායකය වැදගත් වුවත්, එය එකම නිර්ණායකය නොවන බවද සඳහන් කළ යුතුව තිබේ. මන්ද යත්, ජනවාර්ගික, ආගමික, ලිංගික සහ සෙසු අසමානතා තර්කනයන්ද ඒ සමග බැඳී ඇති බැවිනි. නිදසුනක් ලෙස, එක්සත් ජනපදයේ කළු ජනයාගේ ජීවිත ඉවතලිය හැකි ජීවිත ලෙස සලකනු ලබන්නේ කෙසේදැයි මේතියන්ගයි සර්ලීෆ් නමැති රචකයා තම පර්යේෂණ පත්‍රිකාවක් තුළ කදිමට පෙන්වා දෙයි.

ඒ අනුව, “වසංගතය ව්‍යසනයක් වූ පන්තිය” නිර්වචනය වන්නේ ආර්ථික සූරාකෑම පිළිබඳ නිර්ණායකය මගින් පමණක් නොවේ. ඒ වෙනුවට පවතින්නේ ආර්ථිකමය, සමාජමය සහ සංස්කෘතිකමය පීඩනයන්ගේ අතිපිහිත වීමකි. නිදසුනක් ලෙස, එක්සත් ජනපදයේ අඩු වැටුප් ලබන කම්කරු ජනයාගෙන් බහුතරයක් කළු ජාතිකයින් සහ සංක්‍රමණිකයන් වේ. ශ්‍රී ලංකාවේ ජාතික ධනයට වැඩිම දායකත්වයක් සපයන්නා වූත්, වැඩිම පීඩනයකට සහ අවධානමකට ලක්ව සිටින්නා වූත් කම්කරු ප්‍රජාවගෙන් බහුතරයක් ස්ත්‍රීන්ය.

වසංගතය ව්‍යසනයක් වූ පන්තිය මේ මොහොතේ අභිමුඛ වී සිටින්නේ වචනයේ අරුතින්ම හැම්ලට් නාට්‍යයේ අසන ලද ප්‍රශ්නයටය. හත්තොට්ටුවේගමගේ පරිවර්තනයේ ඉතිරි පද පෙළද එතරම්ම අදට අදාළය.

“ඉන්නවද, නහිනවද?
ප්‍රශ්නය එයයි
ක්‍රෑර දෛවයක සැඩ පහර මැද
විඳින විඳින දුක් පීඩන
උදාර සිතින් දරාගත යුතුද?
නැතිනම්,
අමෝරා කඩු කිණිසි තෝමර රැගෙන
නෂ්ට කළ යුතුද ඒ සැම?”

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    අසුචි ස්නානය කරන අය අවසානයේ අසූචි සමඟ අවසන් වනු ඇත .. කාලය වන විට රට හොඳ තත්ත්වයේ පැවති අතර, යහපාලනයෙන් ම්ලේච්ඡයන් අතට පත් විය. යහපාලනයෙන් වෙහෙස මහන්සි වී ලබා ගත් සියලු යහපත් දේ අද මුළුමනින්ම විනාශ වී ඇත. ජාතික පොලිස් සේවය ඔවුන්ගේ පවුල් ආරක්ෂකයින් බවට පත් වී ඇත. ඔවුන්ගේ නාස්තිකාර විදේශ සංචාර සඳහා රටේ භාණ්ඩාගාරය ඔවුන්ගේම බැංකුවක් වී ඇත. එනම්, රටේ මෙම අතිශය තීරණාත්මක තත්ත්‍වයේ දී ජාතියට කිසිදු සුඛෝපභෝගී සංචාරයක් දැරිය නොහැකි ය. කෙසේ වෙතත්, සහෝදරයින් දෙදෙනාම නොමැතිව සිටිය නොහැක.
    රාජපක්‍ෂ පවුලේ ආරංචි මාර්ග ගැසට් නිවේදන බවට පත් වන අතර එය පැය කිහිපයක් හෝ දිනකට නොපවතිනු ඇත. විශ්වසනීය තොරතුරු එහි දක්නට නැත, ඔවුන්ගේ මිනිසුන් පවා නැවත ඔවුන්ව විවේචනය කරති
    . ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවේදී අපට දැක ගත හැක්කේ මෙයයි. ඒ සියල්ල ඔවුන්ගේ අපරාධ පරීක්ෂණ වලින් නිදහස් වීම හැර අන් කිසිවක් නොවන බව දැන් සියල්ලන්ම හෙළිදරව් කරමින් සිටී. ඊනියා “ඇමරිකානු පුරවැසියෙකු විය හැකි දේශපාලනික නොවන මිනිසා” තැබීමෙන් කිසිවක් සාක්ෂාත් කරගත නොහැක.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.