17 October, 2021

Blog

වසංගතය සහ මරණ-දේශපාලනය

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

ජීවත් විය යුත්තේ කව්රුන්ද? මිය යා යුත්තේ කව්රුන්ද? මෙය තීරණය කළ හැකි පිරිසක් මේ මිහි මත සිටී. එසේ කිරීමට බලය පමණක් නොව අයිතියක් පවා තිබෙන පිරිසක් සිටී. (අයිතිය යනු අවසානයේදී දැනුම-බලය මගින් නිශ්චය කෙරෙන්නකි). නමුත්, ඔවුන් සෑම විටම එම බලය සහ අයිතිය ක්‍රියාවට නගන්නේ නැත. ඇතැම් විට, අප තවමත් ජීවතුන් අතර සිටින්නේ අපට තවමත් ඔහේ ජීවත් වීමට ඉඩ දී තිබෙන නිසා විය හැකිය.

අන් අයගේ ජීවිතය සහ මරණය තීරණය කිරීමට බලය ඇත්තන් හට එම බලය ක්‍රියාවට නැගිය හැක්කේ කවර වාතාවරණයක් තුළද? බොහෝ විට ඒ සඳහා විශේෂ වාතාවරණයක් අවශ්‍ය වේ. ත්‍රස්ත-විරෝධී යුද්ධය, අපරාධ මැඩලීම සහ ප්‍රචණ්ඩ විරෝධතා වැනි දේ මගින් බොහෝ විට එවන් වාතාවරණයන් සැකසේ. එවිට සාමාන්‍ය නීතිය අත්හිටවන ලද කලාප පවා නිර්මාණය කරන්නට හැකි වේ. නීතිය අත්හිටවන ලද විට පවතින්නේ ව්‍යතිරේඛීය තත්ත්වයකි. හරියට නට්සි ජර්මනියේ ගෑස් කාමරවලට යවන තෙක් යුදෙව්වන් රඳවා සිටි කඳවුරු සේය. ඒ කඳවුරු තුළ ගාල් කොට තිබුණේ හුදෙක් ජීවිතය සහ මරණය අතර පවත්නා ශරීර පමණක් බවට පත් කරන ලද මිනිසුන්ය. ජියෝජි අගම්බෙන් ඔවුන්ව හැඳින්වූයේ නග්න ජීවිත ලෙසයි.

අගම්බෙන් පෙන්වා දෙන පරිදි, වත්මනෙහි ව්‍යතිරේඛීය තත්ත්වය නොහොත් නීතිය අත් හිටුවන ලද තත්ත්වය සාමාන්‍ය තත්ත්වය බවට පරිවර්තනය වී තිබේ. ඇතැම් විට, දීර්ඝ කාලීන කොරෝනා වසංගතය හමුවේ අගම්බෙන් පැවසූ නීතියෙන් පිටස්තර කලාපය වෙතට අප වේගයෙන් ඇතුල් වෙමින් සිටිනවා විය හැකිය. දැන් ජීවත් විය යුත්තේ කව්රුන්ද, මියෙන්නට හැරිය යුත්තේ කව්රුන්ද යන්න ඉහළ සිට තීරණය කළ හැකි වාතාවරණයක් නිර්මාණය වී තිබෙනවා නොවේද?

ජීව-බලය

මෙවන් තත්ත්වයක් නිර්මාණය විය හැකි වූයේ කෙසේද? එය හෙණයක් සේ අහසින් පාත් වූ තත්ත්වයක්ද? නැත. එය නූතන සමාජය තුළ කාලාන්තරයක් තිස්සේ මුල් බැසගෙන තිබෙන තත්ත්වයකි. මේ කාරණය මදක් පැහැදිලි කරන්නට මට ඉඩ දෙන්න. යම් යම් මිනිසුන් තව දුරටත් ජීවත් විය යුතුද නැතිනම් මියෙන්නට හැරිය යුතුද යන්න නූතන ලෝකය තුළ තීරණය කෙරෙන්නේ කිසියම් තර්කණයකට අනුවය. මේ සඳහා ඕනෑ තරම් නිදසුන් ඉදිරිපත් කළ හැකිය. ස්ලේවෝයී ශිෂෙක්ගේ “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේ සඳහන් වන එක් නිදසුනක් මෙසේය; රුමේනියාවේ චව්චෙස්කුගේ පාලන සමයේදී විශ්‍රාමික පුද්ගලයින් කුමන සෞඛ්‍ය තත්ත්වයක සිටියද ඔවුන්ව රෝහල්වලට ඇතුළත් කර නොගන්නා ලදී. මන්ද යත්, ඔවුන් තව දුරටත් කිසි ලෙසකින්වත් සමාජයට ප්‍රයෝජනවත් අයවළුන් ලෙස නොසලකන ලද බැවිනි. ඒ අනුව, මහළු මිනිසුන්ව මියෙන්නට හරින ලද්දේ කිසියම් සබුද්ධික හේතු දැක්වීමකට අනුවය. ප්‍රයෝජනවත් භාවය පිළිබඳ නිර්ණායකය එහිදී තීරණාත්මක විය. ඔවුනගේ ජීවිතවල ඉරණම තීන්දු වූයේ පාලකයින් ප්‍රයෝජනවත් භාවය යන්නෙන් අදහස් කරන ලද්දේ කුමක්ද යන කාරණය මතය.

තවත් එවන් නිදසුනක් නම් පසුගිය වසරේදී එක්සත් රාජධානිය තුළ ජීවිතාරක්ෂක සෞඛ්‍ය පහසුකම් යමෙකුට ලබා දිය යුතුද නැද්ද යන්න තීරණය කිරීමේ බලය වෛද්‍ය විශේෂඥයින් තිදෙනෙකුට පැවරීමය. ශිෂෙක් පෙන්වා දෙන්නේ මෙම ප්‍රඥාවන්තයින් තිදෙනාගේ විසඳුම පුද්ගලයින්ගේ ප්‍රයෝජනවත් භාවය පිළිබඳ තර්කණයට අනුව තීරණය විය හැකි බවයි. ධනවාදය තුළ ප්‍රයෝජනවත් භාවය තීරණය වන්නේ ආර්ථික නිර්ණායකවලට අනුව බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙයින් පෙනී යන්නේ මිනිස් ජීවිතවලට ආර්ථික වටිනාකම් ලබා දීම ඉහත කී අධිපති තර්කණයේ මූලික ලක්ෂණයක් වන බවයි. එහිදී සිදු වන්නේ මිනිසුන්ව හුදෙක් දේවල් බවට පරිවර්තනය කිරීමයි. අජීවී දේවල් කළමනාකරණය කරන ආකාරයෙන්ම මිනිසුන්වද කළමනාකරණය කළ හැකිය යන්න එහි අදහසයි. අජීවී දේවල් මෙන් මිනිසුන්ව වර්ගීකරණය කිරීම, ගණනය කිරීම, හැසිරවීම යනාදී භාවිතයන් දැන් කලක පටන්ම ක්‍රියාවට නැගෙමින් පවතී.

මිචෙල් ෆූකෝ මේ ක්‍රියාවලිය තේරුම් කළේ ජීව-බලය (bio-power) නම් සංකල්පය ඇසුරිනි. ඔහු එයින් අදහස් කළේ මිනිස් ශරීර සහ ජනගහණය කළමණාකරණය කිරීම ඉලක්ක කොට ගත් බල තාක්ෂණයන්ය. එහිදී මිනිසුන්ව දකිනු ලබන්නේ ශරීර ලෙසය. ජනතාව දකිනු ලබන්නේ ජනගහණය ලෙසිනි. මෙය ධනවාදය සමග කෙලින්ම සම්බන්ධය. ඒ, ෆූකෝ කතා කරන ජීව-දේශපාලනය මගින් මිනිස් ශරීර මනා පාලනයක් යටතේ ධනවාදී ආර්ථික යාන්ත්‍රණය තුළට ඇතුළත් කෙරෙන බැවිනි.

ෆූකෝට අනුව නූතනයේ අධිකරණය, සිර ගෙවල් යනාදිය පමණක් නොව මානසික රෝහල්, වෛද්‍ය විද්‍යා ආයතන යනාදිය පවා ක්‍රියාත්මක වන්නේ මිනිස් ශරීර මතට බලය යෙදවීමේ මාධ්‍යයන් ලෙසයි. එබැවින්, දැන් බලය ගලා එන්නේ පැරණි රාජාණ්ඩු යුගයේ මෙන් එක් කේන්ද්‍රයකින් නොවේ. බලය සෑම තැනකම පවතී. නොයෙක් තැන්වලින් බලය ගලා ඒ. එම බලයේ කාර්යය වන්නේ ශරීර විනයගත කිරීමයි. මෙකල පාලනයේ ප්‍රධාන ආකාරය වන්නේ එසේ විනයගත ශරීර නිර්මාණය කිරීමයි.

නීතියේ පරිබාහිරත්වය සහ මරණයේ බලය

කෙසේ වුවත්, ෆූකෝගේ වැඩි අවධානයක් යොමු වූයේ නූතන සමාජවල නීතිය සහ ආයතන මගින් මිනිස් ශරීර පාලනයට ලක් කෙරෙන්නේ කෙසේද යන ප්‍රශ්නය ගැනය. නමුත්, එම ප්‍රශ්නය සමග පොරබදිමින් සිටින විට ඔහුට මග හැරුණු වැදගත් ක්ෂේත්‍රයක් තිබෙන බව පසුකාලීන චින්තකයින් පෙන්වා දුන්හ. එනම්, නීතියෙන් පරිබාහිර කලාපයයි. නොඑසේනම්, යම් යම් සුවිශේෂී තත්ත්වයන් තුළ නීතිය අත්හිටුවනු ලබන කලාපයයි. අගම්බෙන් ව්‍යතිරේඛීය තත්ත්වය යනුවෙන් හැඳින්වූයේ එයයි. ව්‍යතිරේඛීය තත්ත්වය තුළ නීතිය මගින් කෙරෙන පාලනය එතරම් අදාළ වන්නේ නැත. ඒ වෙනුවට නීතියක් නැතිකමම නීතිය බවට පත් වේ. එහිදී මිනිස් ශරීර විනයගත කිරීමෙන් ඔබ්බට ගොස් අත්තනෝමතික ලෙස ශරීර විනාශ කිරීම සඳහාද බලය ක්‍රියාත්මක කරන්නන් හට සුජාතභාවයක් ලැබේ.

ඇචීල් ම්බෙම්බේ සාමාන්‍ය නීතිය අත්හිටුවනු ලබන කලාපයක් පිළිබඳ අගම්බෙන්ගේ තර්කය තවත් ඉදිරියට රැගෙන යයි. ඔහු තර්ක කරන්නේ නූතන යුගයේදී මිනිස් ජීවිත මරණයේ බලයට යටත් කරනු ලැබ ඇති බවයි. එසේම, එම තත්ත්වය තේරුම් කිරීම සඳහා ෆූකෝගේ ජීව-බලය පිළිබඳ සංකල්පය ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දේ. ඒ වෙනුවට ම්බෙම්බේ හඳුන්වා දෙන නව සංකල්පය වන්නේ මරණ-දේශපාලනයයි (necro-politics; ‘necro’ යන ග්‍රීක වචනයේ තේරුම මරණයයි).

මිනිස් ජීවිත මරණයේ බලයට යටත් කිරීමේ දේශපාලනය අලුත් දෙයක් නොවේ. කව්රුත් පාහේ කතා කරන නට්සි ජර්මනියේ යුදෙව් සංහාරය ඒ සඳහා ප්‍රමුඛ නිදසුනකි. හැනා අරෙන්ඩ් පෙන්වා දෙන පරිදි නට්සිවාදය වනාහී නූතන බටහිර ශිෂ්ටාචාරය තුළින්ම ප්‍රභවය ලැබූවකි. මන්ද යත්, ශිෂ්ටාචාරයේ නාමයෙන් කරන මිනිස් සංහාරයන් යුරෝපීය යටත් විජිතවාදයේ ප්‍රධාන ගති ලක්ෂණයක් වූ බැවිනි. නට්සිවාදය විසින් භාවිත කෙරුණු සංහාරක තාක්ෂණයන් වනාහී යටත් විජිත තුළ කාලාන්තරයක් තිස්සේ අත් හදා බැලීමට ලක්ව තිබූ දේය.

අරෙන්ඩ්ව උපුටා දක්වමින් ම්බෙම්බේ තර්ක කරන්නේ යුරෝපීය යටත් විජිතවාදියා හට යටත් විජිතය යනු නීතියෙන් පරිබාහිර කලාපයක් වූ බවයි. එක් අතකින් යටත් විජිතවාදියා ඔහුගේ මව් රට තුළදී නූතන නීතියට යටත්ය. එම නීතිය පදනම්ව ඇත්තේ සමාජ සම්මුතිය පිළිබඳ ප්‍රබන්ධය මතය. එම නීතිය මූර්තිමත් කෙරෙන්නේ නූතන ආයතන මගිනි. ඒවායෙහි ක්‍රියාකාරීත්වයට යටත් විජිතවාදියා යටත්ය. ෆූකෝ අවධානය යොමු කළේ එකී නූතන ආයතනවල ක්‍රියාකාරීත්වය කෙරෙහිය. එම ආයතන ඔස්සේ මිනිස් ශරීර මත ජීව-බලය යෙදවීම ගැන ඔහු කතා කළේය. එමගින් ශරීර විනයගත කෙරෙන ආකාරය ඔහු පෙන්වා දුන්නේය. නමුත්, විජිතවාදියාගේ මව් රට තුළදී එසේ නූතන නීතිය සහ ආයතන සකස් වීමට සමාන්තරව යටත් විජිතය තුළ සිදු වූයේ කුමක්ද? ඒ අන් කිසිවක් නොව එකී මව් රටේ නීතිය බල පවත්වන්නේ නැති කලාපයක් නිර්මාණය වීමයි. නීතිය අත්හිටුවනු ලැබූ කලාපයක් නිර්මාණය වීමයි. ම්බෙම්බේට අනුව, එම කලාපය තුළ ක්‍රියාත්මක වන්නේ මරණ-දේශපාලනයයි. ඒ තුළ ඕනෑම දෙයක් සිදු විය හැකිය.

ධනවාදය තුළ ඉවතලන ජීවිත

එපමණක් නොව, විජිතවාදියාගේ මව් රට තුළ පවා එවන් ව්‍යතිරේඛීය තත්ත්වයන් නිර්මාණය කෙරෙන බව අප මෙහිදී අමතක නොකළ යුතුය. එය මනාව වටහාගත හැක්කේ ම්බෙම්බේගේ මරණ-දේශපාලනය ධනවාදය සමග දක්වන සම්බන්ධය විග්‍රහ කර ගැනීමෙනි. ඊව් ඩේරියන්-ස්මිත් වත්මන් කොරෝනා වයිරස් වසංගතය පසුබිම් කොටගෙන එය කදිමට පහදයි.

ඇය වසංගතය තුළ මරණ-දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය ගැන නිදසුන් කිහිපයක් ගෙන හැර දක්වයි. ඇයට අනුව, එක්සත් ජනපදයේ වසංගතය පැතිර යන විට ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඩෑන් පැට්‍රික් විවෘතවම ප්‍රකාශ කොට ඇත්තේ ආර්ථිකය බිඳ වැටීම වැලැක්වීම සඳහා මහල්ලන් මිය යාමට සූදානම් විය යුතු බවයි. ට්‍රම්ප් පරිපාලනය ආර්ථිකයේ පැවැත්ම මිනිස් ජීවිතවල ආරක්ෂාවට වඩා වැදගත් කොට සැලකීමට කිසිසේත්ම පැකිලුණේ නැත. ශිෂෙක් උපුටා දක්වන වසංගතය සමයේ ට්‍රම්ප්ගේ කුප්‍රකට ප්‍රකාශයක් මෙසේය;

“මගේ පණිවිඩය මෙයයි. අපි නැවත වැඩට යමු; අපි නැවත ජීවිතය පටන් ගමු. අපි ඒ ගැන බුද්ධිමත්ව වැඩ කරමු. අප අතර සිටින වයස 70 ට වැඩි පුද්ගලයන් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගනිමු.”

ට්‍රම්ප්ගේ ප්‍රකාශය 1980 දශකයේදී ශ්‍රී ලංකාවේ ජේ.ආර්. ජයවර්ධන කළ ප්‍රකාශයක් සමග මුළුමනින්ම සමානය. “තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න.” මෙහි අදහස අන් කිසිවක් නොව රාජ්‍යය තව දුරටත් පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම භාර ගන්නේ නැති බවයි. (ආරක්ෂාව යන්නට ආර්ථිකමය ආරක්ෂාවද ඇතුළත් වන බව සිහි තබා ගන්න). මෙය නව-ලිබරල්වාදී ලෝක දැක්ම සමග සපුරාම අනුගත වන ස්ථාවරයකි.

කෙසේ වුවත්, මිනිස් ජීවිතවලට වඩා ආර්ථික ක්‍රියාකාරීත්වයේ පැවැත්ම වැදගත් කොට සැලකීමේදී ට්‍රම්ප් තනි වූයේ නැත. ඔහුගෙන් පසුව බලයට පත් ජෝ බයිඩන්ද ඔහුට වඩා මෘදු වදනින් පවසමින් සිටින්නේ එයමය. “බයිඩන් යනු මානුෂික මුහුණුවරක් සහිත ට්‍රම්ප්ය” යන ප්‍රකාශය වෙනස් කරමින් ශිෂෙක් පවසන්නේ “සැබවින්ම ට්‍රම්ප් යනු මානුෂික මුහුණක් සහිත බයිඩන්” යැයි කීම වඩා උචිත බවයි! එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන්, බ්‍රසීලයේ ජයීර් බොල්සනාරෝ, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි, රුසියාවේ ව්ලැඩිමීර් පුටින්, බෙලාරූස්හි ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ඇතුළු දක්ෂිණාංශික ජාතිකවාදී නායකයින් පෙළක්ම අනුගමනය කළේ ඇතැම් ජන කොටස් ආර්ථිකයේ පැවැත්ම වෙනුවෙන් මිය යාමට සූදානම් විය යුතුය යන නව-ලිබරල් ප්‍රවේශයම මිස අන් කිසිවක් නොවේ.

ඒ සෑම තැනකම පාහේ වසංගතය පාලනයෙන් ගිලිහී ගොස් අති විශාල පිරිසක් මරණයට ගොදුරු විය. දැන් බ්‍රසීලයේ සිට ඉන්දියාව දක්වා “පුංචි ට්‍රම්ප්ලාගේ” පාලනය අභියෝගයට ලක්ව තිබෙන්නේ වසංගතයෙන්, සාගින්නෙන් සහ දුර්භික්ෂයෙන් බැට කෑ ලක්ෂ ගණන් ජනයා පාරට බැසීමට ඉදිරිපත් වීම නිසාය. ඇතැම් විට ඔවුන් අපට සංඥා කරන්නේ අපගේ රටේ නුදුරු අනාගතය විය නොහැකිද?

වසංගත ධනවාදය සහ පන්ති දේශපාලනය

ඊව් ඩේරියන්-ස්මිත් නිවැරදිව පවසන පරිදි දැන් වසංගතය පසුබිම් කොටගෙන ලොව පුරා මරණ-දේශපාලනය වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ විධායකයේ තීන්දු තීරණ මගින් ඇතැම් ජන කොටස් මරණයට අභිමුඛ කරනු ලැබීම මගින්ය. එසේ මරණයට අභිමුඛ කරනු ලබන්නේ කව්රුන්ද? තව දුරටත් ආර්ථිකමය ලෙස ප්‍රයෝජනවත් යැයි සැලකිය නොහැකි අයවළුන්ය. එනම්, ධනවාදයේ දැක්මට අනුව “අතිරික්ත ජනගහණය” යැයි සලකනු ලැබෙන අයවළුන්ය. තව දුරටත් සූරා කෑමට තරම් දෙයක් නොමැති වූත්, රාජ්‍යයේ සුභසාධන පහසුකම් මත පමණක් රැඳී සිටින්නා වූත් අයවළුන්ය.

මගේ අදහස නම් මේ කාරණයේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය තරමක් වෙනස් බවයි. එනම්, “අතිරික්ත ජනගහණයේ” එක් කොටසකගේ තව දුරටත් ශ්‍රමය සූරා කෑමට නොහැකි වුවත් ඔවුනගේ ජන්දය මිළදී ගත හැකි හැකි වීමයි. මාක්ස්ගේ නිර්වචනය අනුව නිර්ධනයා සතුව ඇති එකම දෙය වන්නේ අළෙවි කිරීමට ඇති ඔහුගේ/ඇයගේ ශ්‍රම ශක්තියයි. ශ්‍රී ලංකාවේ අළෙවි කිරීමට තරම් ශ්‍රම ශක්තියක් නොමැති ඇතැම් “නිර්ධනීන්” හට අළෙවි කිරීමට ජන්දයක් තිබේ! එවන් “නිර්ධනීන්” හට වැක්සීනය ගැස්සවීම සඳහා ඔවුනගේ දේශපාලන අනුග්‍රාහකයින් මෙතරම් පොරයක යෙදී සිටින්නේ එබැවිනි!!

අවසන් වශයෙන් ආර්ථිකයේ පැවැත්ම වෙනුවෙන් දිවි පරදුවට තබන්නට බල කෙරී ඇත්තේ සමාජයේ වඩාත්ම අව-වරප්‍රසාදිත පන්තීන්වලට බව තව දුරටත් රහසක් නොවේ. රටම වසා දමා තිබියදී පවා ඇඟලුම් කම්හල් විවෘතව තැබීම මගින් සංකේතවත් වන්නේ එයයි. හෙදියන්ට සහ සෙසු සෞඛ්‍ය සේවකයින්ට බෙදනු ලබන්නේ වෛද්‍යවරුන්ට බෙදන හැන්දෙන් නොවේය යන විවේචනය ඇසෙන්නට පටන්ගෙන තිබේ. දැන් සංචරණය සඳහා වුවත් පන්තිමය තත්ත්වය අදාළ වේ. වඩාත්ම සංචරණය සීමා වී ඇත්තේ පොදු ප්‍රවාහණය මගින් පමණක් ගමනාගමනයේ යෙදෙන ජනයාගේය.

දැනටමත් කුසගින්නේ පෙළෙන ජනයාගේ ස්වයං-සිද්ධ විරෝධතා තැනින් තැන ඇරඹී තිබේ. ජීවනෝපාය අහිමි වූ ධීවරයින්ගේ උද්ඝෝෂණ ඇරඹෙමින් තිබේ. හදිසියේ රසායනික පොහොර තහනම් කිරීම හමුවේ කබලෙන් ලිපට වැටුණු ගොවි ජනයාගේ දුක් ගැනවිලි තවදුරටත් සැඟවිය නොහැකිය.

මේ සියල්ල සමාජ-ආර්ථික සාධක මුල් කොටගත් විරෝධතාය. වසංගතය හමුවේ සාමාන්‍යකරණයට ලක්ව ඇති ව්‍යතිරේඛීය තත්ත්වය තුළ වඩාත්ම පීඩනයට ලක් වූවන්ගේ විරෝධතාය. ම්බෙම්බේගේ වචනයෙන් කිව හොත් මරණ-දේශපාලනයේ ගොදුරු බවට පත් වූවන්ගේ විරෝධතාය. එම විරෝධතා කතිකාමය ලෙස පන්ති දේශපාලනයක් ලෙස සුසම්බන්ධ කිරීමේ හැකියාව තවමත් විවෘතව පවතී.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    තිස්සමහාරාම වැව චීනට විකුණලා!!! මම නෙමෙයි කියන්නේ චමල් රාජපක්ෂ. චීනා තිස්සමහාරාම වැව හදල අපිට සල්ලිත් දෙනවලු. තොපිට සල්ලි දෙනවා නම් මුළු රටේම වැව් ටික විකුණයි. නෙද්දකින් කාලකන්ණි. චීනා වැවෙන් ගොඩ දාන වැලි ටිකයි මැටි ටිකයි විකුණගන්න පුළුවන්ලු. වැවක් සුද්ධ කර ගන්න බැරි පාලකයෝ. වාරි සෞභාග්‍යා කියල චූටි බැනර් එකක් දාල චීන බැනර් එක ලොකුවට දාල.
    චීන තිස්සමහාරාම වැව හදලා චීනා සල්ලි දෙනවා කියන්නේ, චීනා ඒ වැවේ අයිතිය තමන්ට තියා ගන්නවා කියන එක. BOT ද BOOT ද මොකක් වුනත් වැව හැදීම, අයිතිය ඔවුන් සතු වීම, වැවේ සම්බන්ධ සියලු කටයුතු ක්‍රියාත්මක කිරීම, ඊට පස්සේ නැවත අයිතිය ලංකාවට ලබා දීම (කවදාවත් වෙන්නේ නැහැ), මේකයි මේ චීනා වැව හදලා සල්ලිත් දෙනවා කියන්නේ. මීට කලිනුත් මේ රටේ ව්‍යපෘති කලා ලෝක බැංකු ණය අරන්. හැබැයි අයිතිය තිබුනේ අපට. මේ වැව් හැදෙන්න ඕනේ අපේ ක්‍රමයට නැතුව සල්ලි දෙන එකාගේ ක්‍රමයට නෙමෙහ්යි. රාජපක්ෂලාට අල්ලස් දුන්නම චීනට අපේ රජවරු හැදුව ඓතිහාසික වටිනාකමක් තියෙන වැව් වුනත් ගන්න පුළුවන්.

    • 1
      0

      මලක්කන් චමල් රාජපක්ෂ මීට කලිනුත් චීනාට වතුර දෙන්න ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයේ ජලාශ දෙකක් හදන්න හැදුවා. මහා සංඝරත්නය, පරිසරවේදීන් සහ මහජනතාව ඊට එරෙහිව ප්‍රබල හඬක් නැඟුව හින්ද ඒක කරන්න බැරිවුනා. සිංහරාජය ගැන නොදන්නා වාරිමාර්ග ඇමති. නෙද්දකින්.
      අසව් අසව් රටේ කෘෂි කර්මාන්තය නැත්තටම නැති කරන්න හදන රාජපක්ෂලා මිනිස්සුන්ට වතුර දෙන්න තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කරනවලු. අන්න අනිත් පැත්තෙන් කියනව පුරන් කුඹුරු වල පොල් හිටවන්නලු. ඒ මොකොද කිව්වා නම් දන්නවා හොඳටම ඊළඟ කන්නය වෙනකොට රටෙන් භාගයක් කුඹුරු පුරන් වෙනවා.
      දැන් කලේ තිස්සමහාරාම වැව චීනටම විකුණපු එක. හම්බන්තොට චීන කර්මාන්තය පුරයට වතුර ඕනේ. ඒකයි මේකේ අරමුණ.
      අපේ රටේ කෘෂි කර්මාන්තය නැති කරන එක පටන් ගත්තේ වහල් ආණ්ඩුව. මුන් ඇවිල්ල කරන්නේ වහල් ආණ්ඩුවට කරන්න බැරි වුන ටික.
      වෙන දවසකත් කිව්වා, කලින් ආණ්ඩුව කාලේ නොතේරුනාට දැන්නම් හොඳටම වැටහෙනවා, සිංහල බෞද්ධ චන්ද වලින් බලයට ආවට රාජපක්ෂලා සිංහල බෞද්ධයන් ගැන තදබල ඉරිසියාවකින් සහ වෛරයකින් ඉන්න බව. ඔවුන්ගේ අරමුණ සිංහලයන්ගේ කියන සියලු දේ විදේශිකයන්ට විකුණලා සිංහල අපට කවදාවත් අභිමානයෙන් නැගී සිටින්න බැරිවෙන්න වැඩ සැලැස්වීම.

    • 1
      0

      ය ප්‍රභාකරන් හෝ රාජපක්ෂස් වේවා, රට තුළ පවතින නීතියට කිසියම් දෙයක් ගරු නොකරන්නේ නම් එය විශාල වැරැද්දක් ලෙස හංවඩු ගැසිය යුතුය. නීතිය හා සාමය යනු ඔවුන්ගේ සමාජවල නීතිය හා සාමය ඉහළින් ඇති චීනය, යුරෝපය හෝ වෙනත් ඕනෑම රටක වට්ටෝරුවකි. වර්තමාන චීනය ඔවුන්ගේ ආගමික හැඟීම්වලට ගරු නොකරන නමුත් ඔවුන්ගේ නීතිය හා සාමය ඔවුන්ගේ රජය විසින් උපුටා දක්වනු ලැබේ. ආචාර්ය මර්කෙල් විදේශ සංචාරයකින් ආපසු පැමිණීමේදී නීතියට ගරු කිරීමෙන් වැළකී නොසිට ජර්මනියේ සියලුම පුරවැසියන් සඳහා නිරෝධායන පියවර ගනු ලැබේ. එම අභිනය මගින් ඇය අපට වඩා හොඳ ආදර්ශයක් ලබා දෙයි. ඕනෑම සංවර්ධිත රටකට මෙය පොදු ය. නිව්සීලන්ඩ් තරුණ අග්‍රාමාත්‍යවරිය ඇගේ පුරවැසියන් හා ජනතාව ඉදිරියේ ඉදිමුණු හෝ විනෝදකාමී ලෙස හැසිරෙන්නේ නැත. මන්ද එවැනි දේශපාලනය ආදර්ශවත් නොවන බව ඇය 40 හැවිරිදි වියේ දන්නා බැවිනි. නායකත්වයේ සිටින අපේ බැල්ලිගෙ පුතුන් ඒ සියල්ල කරන්නේ කිසිදු ලැජ්ජාවකින් තොරවය, නමුත් COVID ට එරෙහිව වෙස්මුහුණු නොමැතිව අල්ලා ගන්නා සෑම දුප්පතුන්ම පොලිස් රිමාන්ඩ් වල තැබීමට උත්සාහ කරති.
      නමුත් අපේ රට දැනට පාලනය කරනු ලබන්නේ ගව සොරුන් විසිනි. මගේ වැඩිහිටියන්ට අනුව ඒ ආකාරයට නම් කර ඇත … කෙසේ වෙතත්, මාධ්‍ය මාෆියාව හරහා ඔවුන්ගේ නැගීම ඔවුන්ට නැවත බලයට පැමිණීමට ඉඩ දී තිබේ.

    • 2
      0

      තිරිසන් සත්වයකුට තරම් මොලයක් නැති නූගත් මිනිසෙකු රටේ ජනපති කරපු රටේ මෝඩයන් අද අතන මෙතන කසනව… ඇසුවම, උම්බලට අදවත් තෙරෙන්නෙ නැතිද කියල ?
      .
      මම මුලසිටම කිව්වා… මේ තිරිසන් සත්වය හා එවුන්ගේ අසුචී ගිලින එවුන් බලය්ට එන්නෙ… එවුන්ගේ අය නිදොශ් කොට නිදහස් කරගන්න කියල එනමුත් මේ රටේ බහුතරයක් මොලය විකුර්ති වෙච්ච වාහල්ලු නිසා එවුන්ට අබ ඇටයක තරම් මොලයක් නැහ තේරුම් ගන්න… ඉයේ මා දුටුව කිසිවකු නැති තැනකට ගිහින් බූරුවෙක් කැමොර ගහගෙන… කාටද මේ මිනිහා කතාව පැවැත්තුවේ කුමටද කියන එක .. මට ලොකු පුරශ්නයක්…
      .
      මෙතරම් පසුගාමි මට්ටමට වැටුනේ, මේ රටේ බහුතරයක්, කාලකන්නි නිසා… එවුන්ට හොන්ද නරක වැටහෙන්න තව දශක ගානක් යාවි.. අර එකම පවුලේ.. 3 න් දෙනෙක් … අම්ම පුතා සහා පියා කෝවිඩ වලින් මිය යන කොට මේ රටේ කොහොමද එන්නත් කීරිම හොන්දයි කියන්නෙ.. ? මේව කියන්න හොන්ද මැද මුලන පැත්ත් ඉන්න බුරු රැලට.. මේ රටේ පොහොට්ටුවට ආවඩන්ඩ මෝඩයන් විතරක් නොව දැන් වෙනවිට… මේ රටේ හැම කෙනෙකුට මේ පාදඩ බල්ල එපාවෙලා… මේ රට තිබුනට වඩා අගාදයට වැටෙන්නෙ… මේක ශාපයක්.. එනමුත් ඒ ශාපය හවුල් කාරයො තමයි.. එවුන්ගේ සැරසිලි වලට එකතු වුන… හාම්දුරුවො මේ රටේ.. එවුන්ගේ කට හා අනිත කොන අද වෙනකොට සිමෙන්ති කරල වාගෙ මට සිතෙන්නෙ..

  • 1
    0

    එදා වික්ටර් රත්නායක මහත්මයා ගායනා කලේ මෙහෙම.
    .
    දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
    සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ
    නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
    පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ
    .
    අද කවුරුහරි මේ ගීය කියනව නම් කොහොමද කියන්නේ.
    .
    දාගැබ් මහා වැව් බැන්දේ කවුද පුතේ
    සීගිරි ගලේ කවි ලිව්වේ කවුද පුතේ
    නඟුලෙන් එදා රජ කෙරුවේ කවුද පුතේ
    පැදුරේ තවම නිදියන්නේ කිමද පුතේ
    .
    තව අවුරුදු කීපෙකින් මේ ගීය ගයනවා නම් කොහොමද කියන්නේ.
    .
    දාගැබ් මහා වැව් බැන්දේ චීනා පුතේ
    සීගිරි ගලේ කවි ලිව්වේ සුද්දා පුතේ
    නඟුලෙන් එදා සී සෑවේ හරක් පුතේ
    පැදුරත් නැතුව මහ පාරේ ඉඳිමු පුතේ
    .
    අල්ලස් කොමිස් ගෙන රස කරමින් වළඳා
    සුදු පට පිලී ගත දවටා රට රවටා
    උදයේ හවා බොරු නරි නාටක පෙන්වා
    චීනට උගස් කෙරුවා නුඹේ පැදුර පවා
    .
    ඉර හඳ උන්ට පායනවා පුදුම හිතේ
    මගෙ රට අනේ විකුණනවා හද පෑරේ
    හෙළ දරුවන් එදා ගොඩ නැගු රන් දෙරණේ
    අයිතිය අපට නැති වෙන හැටි, දුකයි පුතේ

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.