18 April, 2025

Blog

ලාංකීය දේශපාලනයේ පශ්චාත්-නිව්ටෝනියානු නිමේෂය

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

පසුගිය සතිය දේශපාලනික “යූ ටර්න්” සතියකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකා පාලනාධිකාරයේ සාකච්ජා සිදුවෙමින් තිබේ. මුදල් අමාත්‍යවරයා IMF සහයෝගය ලබා ගන්නට ඉදිරිපත් කළ සැළසුම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. ජනාධිපතිවරයා තමන් වත්මන් අර්බුදයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගන්නට සූදානම් බව නිල වශයෙන් පිළිගෙන තිබේ (“IMF Bailout” යන යෙදුම භාවිතා නොකළද). සර්ව-පාක්ෂික සමුළුවේ දිශානතියද එයම බැව් පෙනේ (එහි මාධ්‍ය අවධානයේ කැමරා ඇස් රනිල් වික්‍රමසිංහ වෙත යොමු වීම ඒ අනුව සහේතුකය).

ආචාර්ය නිව්ටන් ගුණසිංහ

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ඇයගේ “සාර්ථක” ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් කළ කතාවේදී ලංකාණ්ඩුව IMF වෙත හැරීමට ධෛර්යමත් වීම පැසසුමට ලක් කළාය. නිල ඉන්දීය ස්ථාවරය සමග සමාන්තරව යමින් ඇය ලංකාණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ජා ආරම්භ කිරීම අගයමින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමද උනන්දු කළාය. දෙරටෙහි ඒකාබද්ධ ප්‍රකාශනය තුළ “ඉන්දු-පැසිෆික් කළාපයේ නාවික නිදහස” වෙනුවෙන් වූ කැපවීම අවධාරණය වී තිබේ (මේ එක්සත් ජනපද, ඉන්දීය, ජපාන සහ ඕස්ට්‍රේලියානු චතුර්-පාර්ශ්වීය ගිවිසුමේ ආදර්ශ පාඨයයි). යළිත් වරක් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්වි-පාක්ෂික ආරක්ෂක සහයෝගීතාව, ඒකාබද්ධ මිලිටරි කටයුතු, ත්‍රස්ත-විරෝධී සහයෝගීතාව යනාදී රාජ්‍ය තාන්ත්‍රික යෙදුම් අපට අසන්නට ලැබිණ.

කලාපීය පෙරමුණෙහි සිදුවීම්ද මේ හා සමාන්තරව යයි. ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග හමුවේදී රාමායනය ගැනද සඳහන් කළ නරේන්ද්‍ර මෝඩි අග්‍රමාත්‍යවරයා ඉන්දියාව දුෂ්කර මොහොතේදී තම අසල්වැසියා සමග එකට සිටින බව පැවසීය. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා ඩොලර් බිලියනයක ඉන්දීය ණය ආධාරයක් රැගෙන මුදල් අමාත්‍යවරයා දිවයිනට ළඟා වී දින කිහිපයකට පසුව ආණ්ඩුවත් දෙමළ සන්ධානයත් අතර සාකච්ජා ආරම්භ විය. දෙමළ සන්ධානය සර්ව-පාක්ෂික සම්මේලනයටද සක්‍රීයව සහභාගී විය.

අභ්‍යන්තර පෙරමුණේ නව හැඩ ගැසීම් නිසැකවම ඉහත සිදුවීම් හා අනුගතව යයි. ඇමෙරිකන් විරෝධයේ සටන් පාඨය යළිත් සුරැකිව පවතින්නේ චීන හිතවාදී ලාංකීය දෘෂ්ටිවාදී කඳවුරේ නායක චරිතය වන විමල් වීරවංශ අතේය. එය කදිම ලෙස ඉන්දීය විරෝධය, IMF-විරෝධය සහ දෙමළ විරෝධය සමග සුසම්බන්ධ වී පවතින්නේ 1980 දශකයේ අධිපති දේශපාලන කතිකාව සිහි ගන්වමිනි. මේ අනුව, නව දේශපාලන වර්ධනයන් විමල්ට වඩාත් අවාසිසහගත වන්නේය යන නිර්මාල් දේවසිරිගේ කියා පෑම (FB, මාර්තු 21) මුළුමනින්ම වැරදිය. (විමල්-නාමල් සන්ධානය යන්න එහෙම පිටින්ම ඔහුගේ විකාරසහගත හිතළුවකි).

සැබවින්ම දැන් එක් පසෙකින් විමල් සහ අනෙක් පසින් රනිල්ද ලාංකීය දේශපාලන දේහය දෙකට මැදින් පලන නව පසමිතුරුතා අක්ෂයක් ඇඳීමේ ව්‍යායාමයේ යුහුසුළුව නිරතව සිටී. (අනෙකා තුළ තමන්ගේම ප්‍රතිමුඛ පිළිඹිබුව දකින පසමිතුරන් උනුනුන් ඇගයීමේ නාට්‍යමය ජවනිකා දේශපාලනය තුළ දුලබ නොවේ). මෙරට දේශපාලනය යළි සැකසීමට යම් හෙයකින් එකී පසමිතුරුතා අක්ෂය සමත් වුවහොත්, සියළු පක්ෂ, සංවිධාන මෙන්ම බුද්ධිමය කතිකාවන්ද ඒ අනුව ප්‍රතිසංස්කරණයට ලක් වනු ඇත. නිදසුනක් ලෙස, සර්ව-පාක්ෂික සම්මේලනයට සහභාගී නොවූ සමගි ජන බලවේගයේ නව-ලිබරල්වාදී දෘෂ්ටි වාහකයින්ගේ (එරාන්, හර්ෂ ප්‍රමුඛව) තෙරපුමෙන් පක්ෂ නායකත්වයේ තීරණය ගැන නැවත සිතන්නට බල කෙරෙනු ඇත. ජාජබ එකතුවට තම දේශපාලන ආර්ථික ප්‍රවේශය පිළිබඳව පැහැදිලි ස්ථාවරයක් ගන්නට බල කෙරෙනු ඇත. දෙමළ ප්‍රභූ දේශපාලන නායකත්වය සහ සජබ අතර සම්බන්ධය තුළ ආතතීන් උග්‍ර කෙරෙනු ඇත.

නිසැකවම ආර්ථික සාධකය සහ ඒ සමග ගැට ගැසුණු ගෝලීය බල අරගලයේ සාධක කේන්ද්‍රයට පැමිණ තිබේ. වත්මන් පාලනාධිකාරය යටතේදී කිසිසේත්ම ඩොලරය රුපියල් තුන් සියයේ සීමාව පසු නොකරනු ඇතැයි පර සක්වල ගැසූ බක පණ්ඩිත විශ්ලේෂණ ඇස් පනාපිට බොරු වී ගොස් තිබේ. ආර්ථික ව්‍යසනයේ ප්‍රහාරය තවදුරටත් උග්‍ර වනු ඇත. ඇතැම්විට, ශන්තාල් මූෆ් පෙර දුටු ආකාරයේ නව-ලිබරල් අධිකාරීවාදයේ (neoliberal authoritarian capitalism) යුගයට අප ඇතුල් වෙමින් සිටිනවා විය හැකිය. ගෝලීය නව-ලිබරල් අධිකාරීවාදී ධනවාදයේ දුර්වලම පුරුක වන්නේ ඇතැම්විට ශ්‍රී ලංකාව විය හැකිය.

1983 ජූලි සංහාරයට පසුව පවත්වන ලද මැයි දින රැළි නිරීක්ෂණය කරමින් ආචාර්ය නිව්ටන් ගුණසිංහ “ජූලි ව්‍යසනයට පසුව මැයි දිනය” (May Day after July Holocaust) නමින් ලිපියක් ලිවීය. එය විධිමත් න්‍යායික රචනයක් නොවූවද, ’83 ජූලියෙන් පසු ලාංකීය දේශපාලනයේ ගමන් මග පෙර දකින්නට සමත් විදර්ශනාවන් එතුළ ගැබ්ව පැවතිණ. ජනවාර්ගික පසමිතුරුතා අක්ෂය ඔස්සේ ලාංකීය දේශපාලන දේහය දෙකට පැලීමේ සංසිද්ධිය එහි ආරම්භයේදීම නිරීක්ෂණය කරන්නට නිව්ටන් සමත් විය. අප ඉදිරියේදී ලිවිය යුතුව ඇත්තේ “ආර්ථික ව්‍යසනයෙන් පසුව මැයි දිනය” නමැති ලිපිය බැව් මට දැන් හැඟේ (මා මිත්‍ර උවිඳු කුරුකුලසූරියද මෙවන් ඇඟවීමක් සිදු කොට තිබිණ). මේ මෙතෙක් නොලියූ ඒ ලිපිය වෙනුවෙන් හදිසියේ ලියූ කටු සටහනකි.

Latest comments

  • 2
    0

    1 of 3…..”….පසුගිය සතිය දේශපාලනික “යූ ටර්න්” සතියකි….”
    “….යළිත් වරක් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්වි-පාක්ෂික ආරක්ෂක සහයෝගීතාව, ඒකාබද්ධ මිලිටරි කටයුතු, ත්‍රස්ත-විරෝධී සහයෝගීතාව යනාදී රාජ්‍ය තාන්ත්‍රික යෙදුම් අපට අසන්නට ලැබිණ….’
    “….ගෝලීය නව-ලිබරල් අධිකාරීවාදී ධනවාදයේ දුර්වලම පුරුක වන්නේ ඇතැම්විට ශ්‍රී ලංකාව විය හැකිය….”
    “…1983 ජූලි සංහාරයට පසුව පවත්වන ලද මැයි දින රැළි නිරීක්ෂණය කරමින් ආචාර්ය නිව්ටන් ගුණසිංහ “ජූලි ව්‍යසනයට පසුව මැයි දිනය” (May Day after July Holocaust) නමින් ලිපියක් ලිවීය. එය විධිමත් න්‍යායික රචනයක් නොවූවද, ’83 ජූලියෙන් පසු ලාංකීය දේශපාලනයේ ගමන් මග පෙර දකින්නට සමත් විදර්ශනාවන් එතුළ ගැබ්ව පැවතිණ…..”

    සුමිත්, මම ඔයා ලියපු සමහරක් දේවල් උදෘත කලේ මේවා එකිනෙක කොපමණ පරස්පර විරෝධී මතවාද වැඩක් නැති දේවල් ද කියන්නයි. ද කියන්නයි. ඔය කාරණා අපි හැමදාම අහල තියෙන ඒවා උනත්, උගත්, නූගත් හැමෝම ඒවා ගෙඩිය පිටින් ගිල්ලත්, ඒවා කොපමණ විකාර රූපී ද කියල අපි නිකමටවත් හිතනවද?? මට හිතෙන විදියට ලංකාව ආශ්‍රිතව ගත්තොත් නම් මේවා ඔක්කොම අග්‍ර ගනයේ සාවද්‍ය, අතාර්කික වචන මාලාවක් පමණයි. මොකද, අවංකවම බැලුවොත් බහුතරයක් අපේ මිනිස්සුනට ඔය කිසිම න්‍යායක්, පදනමක්, චාරයක්, සදාචාරයක්, ආචාර ධර්මයක් නෑ. ඒ ඔක්කොම දෛනිකව මෙහෙයවන්නේ සංවේදී ව එදිනෙදා මුහුණ පාන, අසින දකින සිදුවීම් වලිනුයි.

    • 2
      0

      හිතවත් මිතුරා, ජිත්,
      අවංකවම කියනවා, මමත් ඔහු ගැන අහලා නැහැ. ඒ නිසා මට එයා ගැන මගේ අදහස් එකතු කරන්න බෑ. මට නම්, පසුගිය වසර 35 තුළ රටින් බැහැරව ජීවත් වන මට පෙනෙන්නේ, කිසිම සමාජ විද්‍යාඥයින්, මනෝ විද්‍යාඥයින් හෝ ඒ හා සමාන වෘත්තිකයන් සාමාන්‍ය මිනිසුන්ගේ මානසිකත්වය නැවත ගොඩනඟමින් තම කාර්යය උපරිමයෙන් කර නොමැති බවයි. ඔවුන් තම රාජකාරිය නිසියාකාරව ඉටු කළේ නම්, රාජපක්ෂලාගේ හෝ එවැනි තක්කඩි දේශපාලකයන්ගේ සහ ඔවුන්ගේ හෙංචයියන් විසින් කරන ලද පහසු උපක්‍රමවලට පුරවැසියන් නොමඟ යවනු ඇත්ද?
      .
      අද වන විට ශ්‍රී ලංකාව අපායකි. ඒ දවස්වල මිනිස්සු හිතුවේ ගෝත්‍රික අප්‍රිකාව කවදාවත් හිස ඔසවන්නේ නැති බවයි. … දැන් එය උඩු යටිකුරු වී ඇත. රාජපක්ෂ සහෝදරයන් තවමත් උත්සාහ නොකළ එකම රට ඉටිහෝපියාවයි. ඔවුන් ඉදිරි දිනවලදී එම රටවල් දණගස්වා අපගේ ආත්ම ගරුත්වය පාවා දෙන බව අපි කිසිදා නොදනිමු.
      ඇයි මම මෙහෙම කියන්නේ?. අද වන විට, ලංකාවේ උද්ධමන අනුපාත ඉහළම අගයක් වාර්තා වන අතර මිනිසුන් තම ආහාර වේල් 3 සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සඳහා අරගල කරයි.
      මේ රට අපායක් සහ අන්ත අපායක් කළේ කවුද? ඒත් අද මිනිස්සු ඒක පිටට කියන්න බයයි… ඇයි? බහුතරයක් මිනිසුන් සත්‍යයෙන් ඈත් වන්නේ ඇයි? ඒ සත්‍යයට වඩා අසත්‍ය මිනිසුන් විශ්වාස කරන නිසා නොවේද? බුද්ධාගම කියන භික්ෂූන් වහන්සේලා වැඩි හරියක් අද ගිහි බෞද්ධයන්ට වඩා වෙනස් නොවන බව එකවරම දැනගත්තත් ඔවුන් ප්‍රඥාවන්තයි කියලා අපි හිතනවා. මෙම උපකල්පනය ප්‍රමුඛතාවය මේ රටේ සියල්ල උඩු යටිකුරු කරයි. මම හිතුවා කාලෙට මිනිස්සු ආකල්ප වෙනස් කරයි කියලා. අන්තර්ජාලය හා විප්ලවීය තොරතුරු තාක්ෂණ උපකරණ හඳුන්වාදීමත් සමඟ, දේවල් යුරෝපීයයන් සහ ඒ හා සමාන සංවර්ධිත රටවල ප්‍රයෝජනය සඳහා එය හරවා ඇත. කෙසේවෙතත්; එය පෙරට වඩා එවැනි පරිසරවල ධ්‍රැවීකරණය කිරීමට තවත් මෙවලමක් බවට පත්ව ඇත …
      බලය ලබා ගැනීමට ජාතිවාදීන් නොකළ දේ කුමක්ද? බුද්ධගම හාමුදුරුවන්ගේ සෘජු මැදිහත්වීමෙනි. බුද්ධගම බලවේග හැරුණු විට ජාතිවාදය හා ද්‍රෝහීත්වය සහ සුළු ජාතීන්ට එරෙහිව නැගී සිටීම යන මේ සියල්ල ඔවුන්ට බලය ලබා ගැනීමට උපකාරී විය.
      වඳ පෙති වලට මොකද වුනේ? සමහර භික්ෂූන් වහන්සේලා මෙම සටන් පාඨ ප්‍රචලිත කළ අතර තවත් බොහෝ භික්ෂූන් වහන්සේලා ඉන්ද්‍රියයන් දුර්වල වූවාක් මෙන් රැඳී සිටියහ. ඒත් අදත් ඒ අය එහෙමයි.

      • 2
        0

        මම දේශීය උපාධිධාරීන්ට විරුද්ධ නැහැ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ කාර්යය යම් දුරකට කළ හැකිය. වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ තවත් ක්ෂේත්‍ර කිහිපයකම හැකි සෑම ක්ෂේත්‍රයකම ප්‍රවීණයන් අප සතුව ඇත. කෙසේ වෙතත්, ඒවායින් බොහොමයක් .. ඒවා කලා, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, විද්‍යාව, සාමාන්‍ය ස්වභාවයේ ස්වාභාවික විද්‍යාව සහ සියල්ල වේවා… අප කලින් සිතුවාට වඩා බොහෝ දේ පොදු ය. මෙය මට මෑතක දී වඩාත් පැහැදිලි විය.. වෙන කවරදාකටත් වඩා…, මට මගේ දෑස් අදහා ගත නොහැකි විය, මෙම උපාධිධාරීන් බොහෝ දෙනෙක් කාලිඅම්මා පාලනය කරන භින්නෝන්මාදකරුවෙකු විසින් නිෂ්පාදනය කරන ලද ඔවුන්ගේ ස්මූතිස් බෝතලය ගැනීමට එක් වී සිටිනු දුටුවෙමි. නමින් ධම්මික බණ්ඩාර. මගේ යුරෝපීය සගයන් මගෙන් දිගින් දිගටම ඇසුවේ බෞද්ධ ආධිපත්‍යය ඇති ජාතියක් ලෙස අප මෙතරම් ගැඹුරට වැටෙන්නේ මන්දැයි යන්නයි. ඔවුන් ජීව විද්‍යාවේ හෝ මානව ජීව විද්‍යාවේ මූලික කරුණු ගැන දැන සිටියේ නම්, දේවල් වෙනස් වනු ඇත.
        මෙය වසර 60කට පෙර ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් ජීවත් වූ මහාචාර්ය කොවුර් මහතා විසින් භාරතයේ උපන් භෞතික විද්‍යාඥයන් විසින් හොඳින් විශ්ලේෂණය කරන ලදී. ශ්‍රී ලාංකිකයන් මෙතෙක් පැවති හොඳම උපාධියෙන් සුදුසුකම් ලබා සිටිය හැකි නමුත් දවස අවසානයේදී ඔවුන් තම පාසල් අධ්‍යාපනය සම්පූර්ණ නොකළ අයෙකුට වඩා බොහෝ වෙනස් නොවනු ඇත. මෙයින් අදහස් කරන්නේ, ඔවුන්ගේ සිතුවිලි සහ මනස ඕනෑම කරුණක් පදනම් කරගත් තර්කවලට වඩා මිථ්‍යා සහ බෞද්ධ ජාතක කථා වලින් බැඳී ඇති බවයි. අදටත් මිනිසුන්ගේ සාමාන්‍ය දැනුම සත්‍යයෙන් බොහෝ දුරස් ය. ජෝතිෂ්‍ය ප්‍රවර්ධකයින් සහ හොර ව්‍යාපාර යනු ලේ උරා බොන භයානක ස්වභාවයේ කූඩැල්ලන් වැනිය, ඔවුන් තම ආත්මාර්ථකාමී වාසි තකා සාමාන්‍ය මිනිසුන්ගේ දුර්වලතා කෙරෙහි හදවතක් නොමැතිව අවධානය යොමු කරති. මෙය විෂම චක්‍රයක් සේ ඉදිරියට ගමන් කරයි.

        • 2
          0

          ජාතක කතා වගේ බොරු ගොතපු කතන්දර පතුරවන එක නවත්තනවා නම්, ශ්‍රී ලංකේය හාමුදුරුවෝ මේ ක්‍රමයේ, මිනිසුන්ගේ චින්තන රටාවේ පැහැදිලි වෙනසක් කරන්න පුළුවන් වෙයි…. පෘථිවියේ වෙසෙන සමස්ත ක්ෂීරපායීන් තුළ කිරි නිපදවීමේ ක්‍රියාවලිය ක්ෂීරපායින් මිස රුධිරයෙන් සිදු නොකළත් ශ්‍රී ලංකාවේ බුද්ධාගම අනුගාමිකයින් “ලේ කිරිකර දුන් අම්මා” විශ්වාස කරන්නේ මන්දැයි දැන සිටිය යුතුය. ඔය මිථ්‍යාවන් පදනම් කරගෙන ගොතන ලද කතා ලිව්වෙ මිනිස්සුන්ව හසුරුවන්න… පුළුවන් වෙන්නත් පුළුවන්, ඒවා කෙටුම්පත් කරලා, තව සමහරුන්ට තොරතුරු දෙන්න. අද විද්‍යාව හා තාක්‍ෂණය එදාට වඩා බොහෝ දේ සොයාගෙන ඇත, අපේ මුතුන් මිත්තන් එම කථා සාරාංශ කළ නමුත් තොරතුරු මූලාශ්‍ර ඉතා අඩුය. වර්තමාන බෞද්ධ චින්තනයේ සහ මනසේ ප්‍රයෝජනය සඳහා මහාවංශය නැවත නැවතත් සංශෝධනය විය යුතු යැයි මම සිතමි. මම හිතුවේ බුදුදහම හේතු සාධක මත පදනම් වූ ස්වභාවික විද්‍යාවන්ට සමාන්තර වේවි කියලා. එය මා රටින් පිටවන තුරුම තිබුනා නමුත් මෙතරම් කලක් බටහිර ජීවත් වූ පසු අපේ ප්‍රධාන ආගම ලෙස සැලකෙන බුද්ධාගම උන්වහන්සේ දේශනා කළ පරිදි සැබෑ බුදු දහමෙන් බොහෝ දුරස් බව මට දැන් දැනේ. . මෑත කාලයේ අපේ රටේ බෞද්ධ ප්‍රතිරූපය වෙනස් කිරීමට සහ නරක අතට හැරීමට ව්‍යාජ භික්ෂූන් වහන්සේලාගේ උපාමාරු විශාල වශයෙන් දායක විය.

          • 0
            0

            LM ඔබ ගෙනෙන තර්ක ඉතා වැදගත් ඒවා. ලංකාවේ මිනිසුන්ගේ මිත්‍යා මත නිසා නිර්මල බුදු දහම විනාශ වී ඇති ආකාරය ඉතාම කනගාටුදායකයි. 1956 න් පසු ක්‍රමානුකූලව මෝහනයට පත්ව ඇති ඊනියා ලාංකික බෞද්ධයන් ව 80 ගණන් වල ආරියධම්ම හා 90 ගණන් වල සෝම යන චීවරධාරීන් විසින් තව තවත් උන්මෝදනයට පත් කළා. 2005 ඉඳන් ඇති වූ රාජපක්ෂ පාදඩකරණය නිසා පොහොසතුන් වූ තවත් සිවුරු නඩයක් මේක වඩාත් දරුණු විදියට විනාශ කරලා තියෙනවා, මොකද එතකොට බුද්ධාගම ඉස්සරහට දාල පාලකයන්ට ඕනෑම පජාති වැඩක් කරන්න පුළුවන් නේ? අද වන විට සැබෑ බුදු දහම කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත්ත නියම බෞද්ධයෙක් බෙහෙතකටවත් හොයා ගන්නවත් බැරි විදියට මේ ඊනියා බෞද්ධයන් මන මෝහනයට යටත් වෙලා ඉන්නවා. මේ තත්වය ඉතාම දරුණු විදියට පැතිර ගිහින් තියෙන්නේ නූගත් ගැමියන් අතර ට වඩා නාගරික, මැද පන්තියේ උගත් යැයි කියා ගන්නා මෝඩ පුබ්බරුවන් අතරයි! උන්ට මේක කියල තේරුම් දෙන්න කොහෙත්ම බෑ – අන්ධ රට, ජාතිය ආගම මතවාද පිළිකාවක් විදියට පැතිරිලා . හරිම ඛේදවාචකයක්!

  • 3
    0

    2 of 3 ….මම පොඩි උදාහරණයක් ගන්නම්. ඔය ගුණසිංහ මහත්තයා කියන “83 ජූලියෙන් පසු….” කතාව අලුත් කතාවක්ද? ඒක 83 ට විතරක් සුවිශේෂී එකක්ද? ඒවයේ දේවල් ලංකාවේ මීට ඉස්සර වෙලා නැද්ද? ඇයි, 1959 උනේ මොකද්ද? තව, 2014 අලුත්ගම උනේ මොකද්ද? 1978, 1915 ඉඳන් එළාර දුටු ගැමුණු කාලේ දක්වාම ගියේ ඔය දෙමළු නැත්නම් මුස්ලිමුන් ඝාතනය කිරීම නේද? අයි අපේ වියතුන් 1983 විතරක් අල්ලාගෙන දඟලන්නේ?? ඒක ජේ ආර් ගේ කාලේ වෙච්ච හින්දද? ජේ ආර් හැමදාම හොඳ බයිට් එකක් හින්දද? ඇයි ජාතියේ වීරවර මහින්ද, ගෝටලා මරපු දෙමළුන්, මුස්ලිමුන් ගැන ලියවෙන්නේ නැත්තේ?? මේ ඔක්කොම විකාර කුහක (hypocrisy) දේවල් නේ?? 1983 විනාසෙට අපි හැමදාම UNP කාරයන්ට තඩි බානවනේ? හැබැයි කවදාවත් 1959 දෙමළු මැරුවේ කවුද, 2014 තම්බිලාගේ කඩ පිච්චුවේ කවුද, ඒවාට ඉහලින් උපදෙස් දුන්නේ කවුද කියල හොයනවද කියනවද?
    ඔය 1915 තම්බිලට ගහපු එවුනුයි, 1959,1978 හෝ 1983 දෙමළු මරපු එවුනුයි කිසිම වෙනසක් නෑ, ඔක්කොම එකයි, එකම ජාතිවාදී පාහරයන්. ඒකට බණ්ඩාරනායක හෝ සේනානායක හෝ ජයවර්ධන ලාට වැඩ කරන්න එන්නේ කාලෙන් කාලෙට UNP, ශ්‍රී ලංකා, පොහොට්ටු කාරයෝ කියල එන අපේම සිංහලයෝ. ඒ ගොල්ලන්ගෙ එකම කර්තව්‍ය නම් ගතමනාවක් හම්බ වෙනවා නම් ඒ ඒ කාලෙට ඉන්න තමන්ගේ ස්වාමියාට කීකරු මෙහෙවරක් කිරීම විතරයි.

  • 2
    0

    3 of 3….මම තවත් කතාවක් කියන්නම්, අපේ උගතුන්ගේ හෙළුවැල්ල හොඳටම පෙන්නන්න දේවල්. අපි හැමදාම රිචඩ් සොයිසා ගැන ලියනවා, අඬනවා , හොටු පිහනවා….හැබැයි ලසන්ත ගැනවත් ප්‍රගීත් ගැන වත් වැරදිලාවත් කටක් අරින්නේ නෑ. මොකද රිචඩ් මරපු එකා වල පල්ලේ නේ? ඉතින් අපි බය නැතුව ගෙදර තියෙන මුව හමට තඩි බානවා. ලසන්ත, ප්‍රගීත් මරපු උන් තාම ආණ්ඩු කරන හින්දයි, උන්ගෙ අතේ තවම තුවක්කු තියෙන හින්දයි අපේ කටවලුයි අනිත් එකයි දෙකම වැහිලා!! අපි ඒවගේ අමර වීරයෝ!! ඇත්තට ම කියනවා නම් රිචඩ් ඩි සොයිසා කරපු කෙං ගෙඩියක් වත් නෑ ලංකාව යහපත් රටක් කරන්ට. ඊට වඩා ඉතාම විශාල සමාජ මෙහෙවරක් කරපු ලසන්ත, චන්ද්‍රිකාගේ සහ රාජපක්ෂලාගේ කුප්‍රකට දූෂණ හැමදාම හෙළි කළා. ප්‍රගීත් හැමදාම මේ හොරුන්ට විරුද්දව කාටුන් අන්දා…හැබැයි ලසන්ත ගැනවත් ප්‍රගීත් ගැනවත් අපේ උගත්තු meek නෑ!

    ඉතින් ඔය ….”ආරක්ෂක සහයෝගීතාව, ඒකාබද්ධ මිලිටරි කටයුතු, ත්‍රස්ත-විරෝධී සහයෝගීතාව යනාදී දේවල් ද …ගෝලීය නව-ලිබරල් අධිකාරීවාදී ධනවාදය …” යන කතාද කිසිම වැඩක් නැති සම්ප්‍රප්ලාප විතරයි. රටේ එදාට ලොකු පුටුවේ ඉන්න එකාට ඕන විදියට තමයි ඔය කියන හැම ගෝලෙ ම රෝල් කරන්නේ. ඒවට එමටම සැදී පැහැදී ඉන්න චක් ගෝලයෝ, මැරයෝ, හෙන්චයියලා අඩුවක් නැතුව ඔය හැම රාජ්‍ය පාලකයාටම සේවය කරන්න බලාන ඉන්නවා. ඒකට UNP, SJB, JVP, CP, LSSP ශ්‍රී ලංකා හෝ පොහොට්ටු කාරයෝ කියල වෙනසක් නෑ පාට මාරු කර කර එන්න ලෑස්තියි. ඕකට පශ්චාත්-නිව්ටෝනියානු නිමේෂය කියල බෝඩ් ගැහුවට වැඩක් නෑ ! ඕක 1948න් පස්සේ හැමදාම වෙච්චි දෙයක්!

  • 1
    0

    Good to see you continuing in Sinhala,
    .
    Panini

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.