23 July, 2024

Blog

ලිබරල් පොතේ ගුරුවාදය සහ ව්‍යවස්ථාවාදය

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

අරගලය, අධ්‍යයනය සහ සංවාදය

යම් නිර්මිතයක් බිඳ වැටෙන ආකාර අඩු තරමින් දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ එය ශබ්ද නගමින් ප්‍රචණ්ඩ ලෙස පිටතට පුපුරා යාමයි. දෙවැන්න, නිහඬව ඇතුළතට කඩා වැටීමයි. පසුගිය අරගල සමයේදී අප දුටුවේ ලාංකීය දේශපාලන සංස්ථාපිතය නොහොත් ‘ක්‍රමය’ (සිස්ටම් එක) පිටතට පුපුරා යන ආකාරයේ සංසිද්ධියකි. එම පිපිරීම හමුවේ පැවති පාලනාධිකාරය විශාල සසැලීමකට ලක් විය. විවිධ වෙනස්කම් සිදු කරමින් විවිධ උපාමාරු යොදමින් ක්‍රමයේ ස්ථාරවත්වය රැක ගන්නට මෙරට දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට අසීරු ප්‍රයත්නයක නිරත වන්නට සිදු විය. ඉන්පසුව එළැඹුණේ මහජන ජන්දයෙන් තේරී පත් නොවූ ජනපතිවරයෙකු යටතේ සංස්ථාපිතය යළිත් කිසියම් ස්ථාවරත්වයක් අත්පත් කර ගත් කාල පරිච්ජේදයකි. නමුත්, මේ ස්ථාවරත්වය රැඳී ඇත්තේ අතිශයින්ම බිඳෙනසුළු පදනමක් මත බැව් වටහාගන්නට කිසිවෙකුටත් විශේෂ දේශපාලන අවබෝධයක් වුවමනා වන්නේ නැත. වික්‍රමසිංහගේම රූපිකයක් ඇසුරින් කිව හොත්, ඔහු දුර්වල වැල් පාළමක් මතින් එගොඩ කරන්නට ප්‍රයත්න දරමින් සිටින්නේ අරගලය මගින් තීරණාත්මක ලෙස අභියෝගයට ලක් කරන ලද ‘සිස්ටම් එක’ නමැති දරුවා මිස අන් කිසිවෙකු නොවේ.

මේ සිස්ටම් එක කුමක්ද? අරගලය මගින් ඉලක්ක කරන ලද සිස්ටම් එක වනාහී මෙරට මැතිවරණ සහ ආණ්ඩු මාරු හමුවේ නොවෙනස්ව පවතින ආර්ථික, සමාජ සහ දේශපාලන රටාවකි. ජන්දයෙන් කවුරුන් බලයට පත් වුවද ව්‍යුහාත්මකව එතරම් වෙනසකට ලක් නොවී පවතින දූෂිත බල රාමුවකි. එම බල රාමුව සකස්ව ඇත්තේ ප්‍රභූ දේශපාලකයින්, ඉහළ රාජ්‍ය සහ සමාගම්වල නිළධාරීන්, දේශපාලන අනුග්‍රහය ලබන ව්‍යාපාරිකයින්, පෞද්ගලික මාධ්‍ය ආයතන, හමුදා සහ පොලිස් ප්‍රධානීන් සහ කළු සල්ලි ආර්ථිකය මෙහෙයවන්නන් යනාදී පිරිස්වල සහභාගීත්වයෙනි. අප රටේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ක්‍රියා පටිපාටීන් පිළිබඳව මේ වනවිට විශාල මහජන කළකිරීමක් නිර්මාණය වී තිබෙන්නේ මැතිවරණ දේශපාලනය මගින් මේ දූෂිත බල ව්‍යුහයට කිසිදු බලපෑමක් සිදු නොවීම නිසාය. ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකටම එරෙහිව ආණ්ඩු බලය සඳහා තරඟ කරන ඊනියා තුන්වන ධාරාවේ පක්ෂවලටද සිදුව තිබෙන්නේ ක්‍රම ක්‍රමයෙන් ඉහළ රාජ්‍ය නිළධාරීන්, ව්‍යාපාරික කොටස් සහ හිටපු හමුදා නිළධාරීන් වැනි කණ්ඩායම් ආකර්ෂණය කරගත හැකි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමටය. ඒ වනාහී ආරම්භයේදී ක්‍රම-විරෝධී ප්‍රයත්නයක් සේ දිස් වුවද, සැබවින්ම ක්‍රමය සමග ක්‍රමානුකූලව අනුගත වෙමින් යන ගමනකි. ඒ ගමනේ අවසානයේදී ඔවුන් බලය දිනා ගත්තද ඒ වනවිට ඔවුන්ම ආපසු හැරිය නොහැකි තරමට ක්‍රමයට අනුගත වී සිටින්නට බොහෝ දුරට ඉඩ තිබේ.

මේ දූෂිත ක්‍රමය වෙනස් කිරීම සඳහා දැනට ඉදිරිපත්ව ඇති එක් ප්‍රවේශයක් වන්නේ ධනවාදී නිදහස් තරඟකාරී වෙළඳපළ ක්‍රමය සහ දේශපාලන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ලංකාව තුළ පොතේ තිබෙන ආකාරයට හරියට ක්‍රියාත්මක කිරීමයි. යහපාලනවාදී කතිකාව තුළින් මතු වී ඉදිරියට ආ මෙම ප්‍රවේශය දැන් පෙරට ගෙනයමින් සිටින්නේ පසුගිය අරගලයටද සම්බන්ධ වී සිටි තමන් ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදීන් යැයි විවෘතවම හඳුනාගන්නා බුද්ධිමය කවයකි. ඔවුන්ගෙන් ඇතැමෙකු මහජන ජන්දයෙන් තේරී පත් නොවූද, පොහොට්ටුව සමග මැතිවරණ සන්ධානයකට පවා සූදානමින් සිටින්නා වූද රනිල් වික්‍රමසිංහ වෙත වැඩි ලැදියාවක් දැක්වීම උත්ප්‍රාසාත්මකය. මේ ප්‍රවේශයේ ඇති ප්‍රධානතම ගැටළුවක් වන්නේ පොතේ තිබෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ලංකාව තුළ 1977 සිට ක්‍රියාත්මක වූ නිදහස් වෙළඳපළ ක්‍රමයට විකල්පයක් ලෙස ප්‍රායෝගිකව ක්‍රියාවට නැගිය හැකි යැයි විශ්වාස කිරීමයි.

වාමාංශික දේශපාලනය කෙරෙහි ඉතාම විවේචනාත්මක වන මේ ලාංකීය ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදීන් පෙරෙස්ත්‍රොයිකාවට පෙර යුගයේ සිටි ප්‍රධාන ධාරාවේ වාමාංශිකයින් සමග බෙදා ගන්නා පොදු ගති ලක්ෂණයක් තිබේ. එනම්, ‘සැබවින්ම පැවති සමාජවාදය’ විවේචනයට ලක් කරන විට එයට පිළිතුරක් ලෙස පොතේ තිබෙන සමාජවාදය එසේ නොවේ යැයි කියාපෑමයි. මෙරට ’77 සිට නව-ලිබරල් ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වූයේ රාජ්‍ය අනුග්‍රහය මත පදනම් වූ ව්‍යාපාරික ශ්‍රේණියක්, නිළධාරී තන්ත්‍රයක් සහ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයක් නිර්මාණය වන ආකාරයෙනි. ලංකාව තුළ ‘සැබවින්ම පවතින නව-ලිබරල්වාදය’ වන්නේ එයයි. ලාංකීය යථාර්තය තුළ නව-ලිබරල්වාදයේ එවන් ආකෘතියක් ගොඩ නැගුණේ කෙසේදැයි විශ්ලේෂණය කරගන්නේ නැතිව පොතේ තිබෙන තරඟකාරී නිදහස් වෙළඳපල ක්‍රමයක් සහ දේශපාලන ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදයක් ඉහළ සිට ගොඩ බෑමට හැකි යැයි කල්පනා කිරීම වනාහී න්‍යායික වියුක්තනවාදයකි. සරලව කිවහොත්, ලිබරල් පොතේ ගුරුවාදයකි. තම සුපිරිසිදු දේශපාලන ආර්ථික රාමුව ලාංකීය පොළොවට ගොඩ බැස්සවීමේ කතෘකයා නොහොත් ඒජන්තයා සොයාගන්නට දරන පළමු පරිශ්‍රමයේදීම මේ ලාංකීය ස්ටුවර්ට් මිල්ලා වියවුලට පත් වනු ඇත.

ඉහත ප්‍රවේශයට සමාන්තරව යන නමුත් එයට පෙරම පැන නැගී දැනට දශක කිහිපයක සිට විකාශනය වෙමින් පවතින තවත් ප්‍රවේශයක් වන්නේ ලිබරල් ව්‍යවස්ථාවාදී සහ ප්‍රතිසංස්කරණවාදී ප්‍රවේශයයි. 1990 දශකයේ ආරම්භයේ පමණ සිට මෙරට ක්‍රමිකව ගොඩ නැගී වර්ධනය වූ ලිබරල් සිවිල් සමාජ තීරුව මෙන්ම ජාතික ජන බලවේගයද ස්ථානගත වන්නේ මෙම ප්‍රවේශය තුළයි. එමගින් යෝජනා කෙරෙන්නේ මෙරට නෛතික සහ ආයතනික තලයේ කෙරෙන යම් යම් ප්‍රතිසංස්කරණ මගින් (හෝ ‘ඇත්ත මිනිසුන්’ පාර්ලිමේන්තුවට තෝරා යැවීම මගින්) මේ දූෂිත ආර්ථික සහ දේශපාලන ක්‍රමය පරිවර්තනයට ලක් කළ හැකිය යන්නයි. වත්මන් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සංවාදය තුළින් ආරම්භ වී යහපාලන කතිකාව තුළින් ඉහළට නැගුණු මේ ප්‍රවේශය තුළ ඇති ප්‍රධානතම දුර්වලතාවක් වන්නේ ව්‍යුහාත්මක දේශපාලන සහ සමාජමය ගැටළු හුදෙක් නෛතිකමය ලෙස විසඳිය හැකි යැයි විශ්වාස කිරීමයි. මේ ප්‍රවේශය අනුව යමින් පසුගිය දශක ගණනාවක් පුරාම ඉදිරිපත් කරන ලද විසඳුම් ප්‍රායෝගික තලයේදී අසමත් වී ඇත්තේ මේ නෛතික ඌනිතවාදයේ සීමාව නිසාය. මෙය වටහා ගැනීමට පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ වරින් වර පත් කරන ලද ස්වාධීන කොමිසන් සභාවලට අත් වූ ඉරණම සිහිපත් කිරීම පමණක් වුව ප්‍රමාණවත්ය. කෙසේ වුවද, දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ බලය කිසියම් දුරකට හෝ පාලනය කිරීම සඳහා යම් යම් නෛතික සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ වැදගත්කම මෙයින් ප්‍රතික්ෂේප වන්නේ නැත. සරලව, එය වැදගත් නමුත් ප්‍රමාණවත් නොවේ. සමකාලීන ගෝලීය දේශපාලනයට අදාළව ස්ලේවෝයී ශිෂෙක් නිතර අවධාරණය කරන පරිදි විවිධ විපාක්ෂික ප්‍රවණතා අවශෝෂණය කරගෙන ස්වකීය ස්ථාවරත්වය තහවුරු කර ගන්නට ‘ක්‍රමයට’ ඇති ශක්‍යතාව අප අවතක්සේරු නොකළ යුතුය.

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විවේචනය

සිස්ටම් චේන්ජ් පිළිබඳ සටන් පාඨය පෙරට පැමිණි අරගලය පසුබිම් කොටගෙන ලාංකීය දේශපාලන ක්‍රමයේ පරිවර්තනයක් සඳහා වූ තවත් ප්‍රවේශයක් ගොඩ නැගෙමින් පවතින බව පෙනේ. එම ප්‍රවේශය වන්නේ මෙරට ‘සැබවින්ම පවතින නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය’ තියුණු විවේචනයට ලක් කරමින් සමාජ වෙනසක් සඳහා වූ දේශපාලන කතිකාව නැවත මතු කර ගන්නට ප්‍රයත්න දැරීමයි. මේ ප්‍රවේශයේද ප්‍රධාන ධාරාවන් දෙකක් අඩු තරමින් හඳුනාගත හැකිය. එක් ධාරාවක් නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලයක් පිළිබඳ අදහස මත පදනම් වූ පෙරටුගාමී වමයි. පාර්ලිමේන්තුව ඇතුළු නිල නියෝජන ආයතනවලට පිටතින් සෘජු මහජන සහභාගීත්වය සහිතව ක්‍රියාත්මක වන මහජන කවුන්සිල ගොඩ නැංවීමේ යෝජනාව එළි දක්වන ලද්දේ මිරිහානේ ජනතා විරෝධය සමග අරගලයේ රළ නැග්ම සිදුවීමට දින කිහිපයකට පෙර පැවති ජන අරගල ව්‍යාපාරයේ සමාරම්භක නුගේගොඩ රැළියේදීය. එය තත්කාලීන දේශපාලන නිමේෂය හා කදිමට ගැලපිණ. මා මින් පෙරද පෙන්වා දී ඇති පරිදි මෙම නව එළැඹුම සමග පෙරටුගාමී වමට එතෙක් අහිමිව පැවති දෙයක් වූ හෙජමොනික දේශපාලන උපායමාර්ගයක් සැකසිණ. එනම් තම සාම්ප්‍රදායික වාම රැඩිකල් ප්‍රජාවට ඔබ්බෙන් ගොස් පොදුජන ආමන්ත්‍රණයක් කිරීමේ මාධ්‍යයක් එයට හිමි වීමයි.

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් ප්‍රශ්න කිරීම වඩාත් දුරට රැගෙන යමින් සමස්ත ශිෂ්ටාචාර අර්බුදයක් පිළිබඳ සංවාදය ඉදිරිපත් කරමින් සිටින දෙවන ධාරාව නියෝජනය කරන්නේ ‘සංවිචාරණීය සමාජයක්’ කෘතියේ කතෘ විජයානන්ද ජයවීර සහ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ඇතුළු සමරක්ෂි සාමූහිකයයි. ධනවාදී ශිෂ්ටාචාරයට එරෙහි වීමේ පදනමින් ඔවුන් ස්ථානගත වන්නේ වාමාංශය පැත්තේ වන අතර මා දන්නා තරමින් පෙරටුගාමී වම සමග ඔවුන් කිසියම් සම්භාෂණයක්ද පවත්වා ගනිමින් සිටී. අරගලයේ උරුමය පෙරට ගෙන යන මහජන කවුන්සිල ගොඩ නැගීමේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් විශේෂයෙන්ම ජයවීරගේ කෘතිය පිළිබඳව දක්වන උනන්දුව ගැන මම හොඳින්ම දනිමි. මෙම ධාරාවේ වැදගත් දායකත්වයක් වන්නේ සාම්ප්‍රදායික වාමාංශික දේශපාලනයට කලක් තිස්සේ මග හැරී යමින් තිබෙන සමාජයීය සහ සංස්කෘතික පරිවර්තනය පිළිබඳ මානයත්, සාම්ප්‍රදායික මාක්ස්වාදයද අයත් වන බටහිර ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතිය පිළිබඳ විචාරයක අවශ්‍යතාවත්, පාරිසරික විපර්යාසය ඇතුළු සමකාලීන ගෝලීය ව්‍යසන පිළිබඳ සංවාදයත් දේශපාලන කතිකාව තුළට රැගෙන ඒමයි. වෙනත් ප්‍රවේශයකින් මේ කාරණා මතු කරමින් කලක පටන් මාද අයත් වන අවිධිමත් දේශපාලන හැදෑරීම් කවයක් විසින් යෝජනා කෙරෙන තිබෙන ප්‍රතිජනනාත්මක දේශපාලනයක් පිළිබඳ අදහසද මීට සමාන්තරව යයි.

සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය සංවිචාරයට ලක් කිරීම

කෙසේ වුවත්, ඉහත දෙවන ධාරාවේ කතිකාව තුළින් මතු කෙරෙන ගැටළු සේම එම කතිකාවට අදාළ ගැටළුද පුළුල් ලෙස සාකච්ජාවට ලක් කිරීම ‘සිස්ටම් චේන්ජ්’ යන්න යථාර්තයක් කිරීමේදී ඉතාම ප්‍රයෝජනවත් වනු ඇත. එම කතිකාවට අදාළ එක් මූලික ගැටළුවක් වන්නේ අපගේ ආර්ථිකය සහ සමාජ ඉරණම පිළිබඳව තීරණ ගැනීමට දැනට පවතින නිල නියෝජන ආයතනවලටත් ඒ තුළ අරක් ගත් දේශපාලන ප්‍රභූ තන්ත්‍රයටත් ඉඩ දී අප සමාජයේ පහත සිට සහරක්ෂි සමාජයක් ගොඩ නැංවීමේ ව්‍යායාමයේ නිරත වෙමුද? පවතින හෙජමොනික සංස්ථාපිතයේ බලය ප්‍රති-හෙජමොනික ව්‍යාපෘතියක් ඔස්සේ සෘජුව අභියෝගයට ලක් නොකරන එවන් ව්‍යායාම පැවතීම එම සංස්ථාපිතයට ගැටළුවක් නොවනවා පමණක් නොව, ඇතැම්විට එයට අවශ්‍ය වනවාද වන්නට බැරිද? ශිෂෙක්ගේ අවධාරණයක් අනුව කිව හොත්, වත්මන් ගෝලීය ව්‍යසනයේ පරිමාව සහ තීව්‍රතාව හමුවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කොට විකල්ප ප්‍රජා සාමූහිකයන් වෙත හැරීම එක් අතකින් සැබවින්ම පවතින දේශපාලනයම ප්‍රතික්ෂේප කිරීමක් වනවාට අමතරව අපට සැබවින්ම අවශ්‍ය හදිසි ගෝලීය විසඳුම් මග හැරීමක් විය නොහැකිද? සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය වුවත් විය හැක්කක් වනුයේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය මගින් මූලික අයිතීන් සහ නිදහස තහවුරු කළ සමාජ සැකසුම් තුළ නොවේද? නොඑසේව, මිලිටරි පාලනයක් තුළ එය විය හැක්කක් වේද? බලය සහ පසමිතුරුතාව ප්‍රතික්ෂේප කරන්නා වූ දේශපාලන-සමාජ දර්ශනයක් තුළ ‘දේශපාලනිකය’ (the political) පවතින්නේ කොතැනද? නිදසුනක් ලෙස, ලැක්ලාවියානු අරුතින් ගත හොත්, ඔබ අන් යමක් නොකොට මේ ලිපිය කියවන්නට තීරණය කරන විට, මේ මොහොතේ විය හැකිව තිබූ ඇතැම් වියහැකියාවන් යටපත් වී යන අතර එබැවින් තීරණයේ මොහොත වනාහී බලය, තෝරා ගැනීම සහ උපායමාර්ග යනාදී දේශපාලනික ගති ලක්ෂණවලින් සංලක්ෂිත වූවකි. අවසන් වශයෙන්, සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහසේදී අප සියළු මානවීය සබඳතා අරුත්බර සබුද්ධික එකඟතා වෙතට රැගෙන ආ හැකි යැයි උපකල්පනය කරනවාද? එසේනම්, මාක්ස්වාදය, ස්ත්‍රීවාදය, පශ්චාත්-යටත්විජිත න්‍යාය යනාදී විවේචක චින්තන ධාරා සියල්ල විසින්ම එක් හෝ තවත් ආකාරයකින් පිළිගන්නා කාරණයක් වන නිශේධනයේ සද්භාවීය (ontological) බව – එනම්, ‘සමාජය’ සබුද්ධික සංවාදයෙන් සමාදාන කළ නොහැකි ඛණ්ඩනයකින් (rupture) සමන්විත වන බව – අප දාර්ශනිකව ප්‍රතික්ෂේප කරනවාද? එසේ කළ අවකාශයක පීඩිතයින්ගේ විමුක්ති දේශපාලනය ස්ථානගත කරන්නේ කොතැනද?

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විවේචනාත්මක වූ සමකාලීන චින්තන ධාරාව පිළිබඳව මතු කළ හැකි මෙවන් ප්‍රශ්නවල අරමුණ විය යුත්තේ එම ධාරාව වඩා පෝෂණය කොට වත්මන් දූෂිත ක්‍රමයට එරෙහි සමාජයීය තලයක විසඳුම් නිර්මාණය කිරීමේ ප්‍රයත්නය බල ගැන්වීම මිස එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම නොවේ. මන්ද යත්, මා ලිපියේ ආරම්භයේදී පැවසූ පරිදි ක්‍රමය පිටතට පුපුරා යාම වෙනුවට ඇතුළතට නිහඬව කඩා වැටීම වඩා බිහිසුණු හා ව්‍යසනකාරී අත්දැකීමක් වන අතර, එවන් තත්ත්වයක් තුළ අපට අවශ්‍ය වනුයේ සමාජය එකට බැඳ තබන්නා වූ සහයෝගීතාවයේ බැමි අලුතින් ගොඩ නගන සමාජ ව්‍යාපාරයකි. අප දැන් පසු කරමින් සිටින්නේ සියළු සමාජ ව්‍යුහයන් ඇතුළතට කඩා වැටෙමින්, ප්‍රචණ්ඩත්වය නිහඬව හා තනිව අත් විඳිමින්, ඇතැම්විට වඩා දරුණු පුපුරා යාමක පසුබිමද නිර්මාණය කරමින් සිටින කාල පරිච්ජේදයකි. අද අපට අවශ්‍යව ඇත්තේ බහුජන තලය තුළ අධ්‍යාපනය, සංස්කෘතිය, සමාජ සුභසාධනය යනාදී ක්ෂේත්‍ර ගණනාවක එක් වර ක්‍රියාත්මක වන අතරම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඇතුළු සංස්ථාපිතයේ අවකාශ තුළද ප්‍රබල ප්‍රති-හෙජමොනික අභියෝගයක් එල්ල කළ හැකි පෙරටුගාමී වමකි. එය බිඳ වැටෙමින් පවතින සමාජය පහත සිට නැවත ගොඩ නගන සමාජ ව්‍යාපාරයක්ද, ගෝලීය සහ ජාතිකමය තලයේ ව්‍යසනකාරී ධනවාදය සමග ප්‍රති-බලයක් ලෙස ගැටෙන දේශපාලන ව්‍යාපාරයක්ද විය යුතුව තිබේ.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Let me add this below, and get back to you on current article later.
    .
    .ඒ දවස්වල අපේ සිංහල ම්ලේච්ඡයා උන්ගේ මිනිස්සුන්ව මැරුවා. ඒ 80 දශකයේ අග භාගයේ සිට 90 දශකයේ මුල් භාගයයි.
    .
    ඒ අපේ ජීවිතේ කුරිරු දවස්, තරුණ අපිට අපේම කතා කිරීමේ නිදහසක් තිබුණේ නැහැ, ඒකයි හැඳුනුම්පත් ගන්න ගෙයින් ගෙට ගිය අය අපේ නිදහස උදුරා ගත්තේ අපේ තරුණ මනසට ඒවා මේ ජීවිතේට අමතක වෙන්නේ නැති නිසා.#
    මගේ ආදරණීය පියාට (ඒ වන විට වයස අවුරුදු 60 ක් පමණ විය) අසල්වැසි පිරිමින්ගෙන් සහ ගැහැනුන්ගෙන් පණිවිඩ ගලා ගොස් මගේ පියාට කතා කර, “මහත්තයෝ, ඔබේ පුතාට සැඟවීමට කියන්න, ඔවුන් අද ඔබ වෙත පැමිණියහොත්, ඔබේ පුතා ඉතා කරුණාවන්තයි, අපි දන්නේ නැහැ. කිසිම හේතුවක් නැතුව බෙල්ල කපලා හෝ පුච්චනවා නම්, ara somapala මහත්තයගේ පුතාට, kara wage, අපි හැමෝටම වෙඩි තියලා මරලා දානවා නම් හොඳයි…. ඔයාගේ පුතා තමයි හැම තරුණයෙක්ටම වඩා සන්සුන් අහිංසක තරුණයා.- මගේ තාත්තා කට උත්තර නැති වෙලා අපේ පාරම්පරික ගෙදර අට්ටාලයේ හැංගෙන්න කිව්වා. .
    .. පසුව, මාව ර’පුරට ගෙනැවිත් මගේ පියාගේ වැඩිමහල් සහෝදරයා ළඟ ජීවත් වීමට ඉල්ලා සිටියා. මම මගේ 20 දශකයේ මුල් භාගයේ සිටියෙමි. එතකොට මගේ ඥාති සහෝදරයෝ ඔක්කොම හිටියේ ඇමරිකාවේ. ඒ නිසා මාව එයාලගේම පුතා වගේ බලාගත්තා. විශ්වවිද්‍යාල නැවත විවෘත කර ගුවන් විදුලිය හරහා නිවේදන ප්‍රචාරය කරන ලදී. api එක්කම අපි ආපහු Unihoestl එකට ගියා, දවස් කිහිපයක් ගෙවිලා ගියේ නෑ, ආයෙත් අපිට කැම්පස් එකෙන් පැනලා යන්න කියලා.. අපි බයෙන් වෙව්ලලා ගියා… මේ හැමදේම තාමත් මගේ ඔලුවේ තියෙනවා… .අපේ සමහර බැචා වලට ගෙදරට එන්න බැරි වුනා, එහෙමත් නැතිනම් ආපහු ගෙදර යමින් සිටියදී අතුරුදහන් වුනා….. මේ හැම භයානක ආරංචියක්ම මගේ පවුල නැවත නැවතත් මරා දැමුවා.

    CT වරක් පැවසූ පරිදි, තමන්ගේම පුතාගේ මස් සහ ඇටකටු තමන්ගේම දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් විසින් අනුභව කරන ලදී, පැය කිහිපයකට පසුව දැනුම් දීමට පමණක්, ඔවුන් තම සහෝදරයාගේ මස් සහ ඇටවල රස බැලූහ. :::::: මේ සිදුවීම සුනිල් හඳුනෙත්ති හැදී වැඩුණු බව කියන උපන් ප්‍රදේශයෙන්. , නමුත් අද, මම මයික්‍රෆෝනවලට පෙර SH හෝ සමාන පුද්ගලයින්ට සවන් දෙන විට. ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේ ස්වභාවයෙන්ම අහිංසකයි, ඔවුන් දේවල් අවධාරණය කරන ආකාරය. මම දන්නවා මේ රටට හොඳ විදියට ආශිර්වාද කරන්න ඕන නමුත් මට තාම පැහැදිලි නෑ JVP/NPP හරි ඒවා කියලා.

    මේ මිනිස්සු කැමරාව ඉස්සරහා හිටගෙන කතා කරන හැම වෙලාවකම මට තාමත් කියවෙනවා. සිංහල මිනිහා SINHALA_Man හෝ එවැනි amu මෝඩයන් ඒ ගැන සිතන්නට කිසිදා කැමති නැති බව මම දනිමි, නමුත් හීලෑ කළ බල්ලෙක් තම අයිතිකරුට පසුව හැසිරෙන owun haesiren bawath මම දනිමි, කෙසේ වෙතත්, මගේ මthakayaන් ලේසියෙන් මිය යන්නේ නැත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.