27 April, 2024

Blog

මහජන කවුන්සිල ව්‍යාපාරය ඔස්සේ වාමාංශික ජනතාවාදී විසඳුමක්  

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

පසුගියදා මා හට මීගස්වැව, හිඟුරක්ගොඩ සහ තලාව යන ප්‍රදේශවල ගොවි ජනතාව සමග සංවාද පෙළකට සහභාගී වන්නට අවස්ථාව ලැබිණ. මා ඉපදී හැදී වැඩුණු මින්නේරිය සහ හිඟුරක්ගොඩ ගොවි ජනපද සමකාලීන බුද්ධිමය සංවාදවලට යම් තරමකින් විවෘත වූද, බහුජන දේශපාලන ක්‍රියාකාරීත්වයන් පිළිබඳ දීර්ඝ සමාජ ඉතිහාසයක් ඇත්තා වූද පෙදෙසකි. නමුත්, මා මෙවර සංචාරය කළ සෙසු පෙදෙස්වලදී මට මුණගැසුණේ මෙරට ග්‍රාමීය පරිවාරයෙනුත් පරිවාරයේ ජීවත් වන ගොවි ජන පිරිසකි. නමුත්, ඔවුනගේ දේශපාලන සාක්ෂරතාව සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතිණ. සාමාන්‍ය ජනතාව තමන්ට ජන්දය නොදෙන විට ඔවුනට මෝඩයන් යැයි අපහාස කරන ඊනියා ප්‍රබුද්ධ දේශපාලකයින්ගේ සීමාව එයින් යළිත් මට පසක් විය. මා මින් ඉහතදීද තර්ක කොට ඇති පරිදි සාමාන්‍ය ජනයා ජන්දය ප්‍රකාශ කිරීම ඇතුළු දේශපාලන ක්‍රියාවන්හි නිරත වන්නේ ඔවුනගේම තර්ක සහ හේතු මත පදනම් වෙමිනි. ඒවා වටහා ගන්නට, ඒවාට ආමන්ත්‍රණය කරන්නට සහ ඒවා වෙනස් කරන්නට අසමත් වීම ‘ප්‍රබුද්ධ දේශපාලනයේ’ ගැටළුවකි. ග්‍රාම්ස්චි කතා කරන පොදු ජන අවබෝධය සකස්ව ඇත්තේ විසිරුණු අදහස් සහ මනෝභාවයන්ගේ එකතුවක් ලෙස වුවත් එහි දේශපාලනික වැදගත්කම ඉමහත්ය.

මෙවර මා මෙහෙය වූ සංවාදවලට සහභාගී වූ කණ්ඩායම් සමකාලීන අර්බුදයේ මූල හේතූන් මතුව ඇත්තේ මෙරට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට පිටතින් නොව එය තුළින්ම බව පහසුවෙන් අවබෝධ කරගත්හ. දේශපාලන බලය මගින් ධනය ඉපැයීම රාජ්‍යයේ ඉහළ සිට පහළටම ව්‍යාප්ත වී ඇති දෙයක් බව ඔවුනට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එසේනම්, ‘සිස්ටම් චේන්ජ්’ යනු රාජ්‍යයේ ඉහළ තලය නියෝජනය කරන විධායකය සහ පාර්ලිමේන්තු නියෝජනය වෙනස් කිරීමෙන් පමණක් කළ හැක්කක් නොවන බව ඔවුනට වැටහේ. දේශපාලකයා බෙදන ටකරම හෝ සිමෙන්ති කොට්ටය වෙනුවෙන් ජන්දය ලබා දෙන තමන්ද සිස්ටම් එකේ කොටසක් බව වටහාගැනීම ඔවුනට අසීරු නැත. එබැවින් වෙනස පටන් ගත යුත්තේද (මා මිත්‍ර බෙනට් මෙල්ලව පියතුමාගේ වචනයෙන් කිව හොත්) ජන්දදායකයා පුරවැසියෙකු බවට පරිවර්තනය කිරීමේ ව්‍යායාමයක් තුළින්ය යන අදහස සමග ඔවුන් එකඟ වෙති. වත්මන් අර්බුදය තුළ මෙරට ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය සම්බන්ධයෙන් කිසියම් හෝ අපේක්ෂාවක් ජනනය වන්නේ මැතිවරණ දේශපාලනයේ රාමුවට ඔබ්බෙන් යන සක්‍රීය පුරවැසි ක්‍රියාකාරීත්වයක් වෙනුවෙන් රට පුරා ගොඩ නැගෙමින් තිබෙන මෙම පොදු ජන අවබෝධය සහ උනන්දුව විසිනි.

නිර්-දේශපාලනීකරණය සහ නිෂ්ක්‍රීය ජන්දදායකයින් තැනීම

මැතිවරණ ඉලක්ක කොටගෙන වැඩ කරන පක්ෂ දේශපාලනය පිළිබඳ විශාල විවේචනයක් අද මෙරට පොදු ජන සමාජය තුළින් මතුවෙමින් තිබේ. මේ දිනවල සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය විසින් ඔවුනගේ ප්‍රාදේශීය බල මණ්ඩල ගොඩ නැගීම සඳහා සංවිධානය කෙරෙන රැස්වීම්වලට විශාල ජන සහභාගීත්වයක් ඇති බව සැබෑය. නමුත්, එම රැස්වීම්වලදී බොහෝ විට සිදුවන්නේ පක්ෂ නායකයින් සහ වේදිකාවේ අසුන් ගත් ප්‍රභූන් තමන් පවසන සෑම දෙයකටම අත්පොළොසන් දීමට බලා සිටින අනුගාමික ජනයාව ආමන්ත්‍රණය කිරීමක් පමණි. කළ යුත්තේ කුමක්දැයි පක්ෂ සහ ප්‍රභූන් දැනටමත් දනී. ජනතාවට කළ හැකි එකම දෙය නම් එම පක්ෂ සමග එක් වීම සහ ඒවාට සහාය දීම පමණි. ඒ සමගම පක්ෂවල අනුගාමිකයින් තම නායකයින්ගේ ශ්‍රේෂ්ටත්වය පිළිබඳ වර්ණනාත්මක ඇගයුම් ප්‍රචලිත කරන්නට පටන් ගනී. පොදු ජන ප්‍රජාව හුදෙක් ජන්දදායකයින් සමූහයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය ඇරඹෙන්නේ එලෙසිනි.

මෙය පුළුල් අරුතින් ගත් කල සමාජය නිර්-දේශපාලනීකරණය කිරීමේ ක්‍රියාවලියකි. මිචෙල් ෆූකෝගේ වචනයෙන් කිව හොත්, ජනතාව ජනගහණයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියකි. බොහෝවිට සංස්ථාපිත පක්ෂවල නායකයින් අරගලයට දේශපාලන නායකත්වයක් නැතැයි පවසන්නේ අරගලය තම නායකත්වය යටතට ගැනීමට ඔවුන් අසමත් වීම නිසාය. නමුත්,පරස්පර විරෝධී ලෙස, සැබවින්ම අරගලය එසේ සංස්ථාපිත පක්ෂයක නායකත්වය යටතට පත් වනවා යනුම අරගලය නිර්-දේශපාලනීකරණය වීමකි. එතැන් පටන් අරගලයේ දිශාව සහ හැඩ රුව තීරණය කරනු ඇත්තේ අදාළ පක්ෂයේ නායකත්වය විසින් මිස අරගලයේ නිරත ජනතාව විසින් නොවේ. එවිට අරගලකරුවන් හුදෙක් පාක්ෂිකයින් නොහොත් අනුගාමිකයින් බවට පරිවර්තනය වනු ඇත.

වත්මන් මැතිවරණ දේශපාලනය විසින්ද පුනර්-ක්‍රියාත්මක කෙරෙන මෙම නිර්-දේශපාලනීකරණ ක්‍රියාවලිය නව-ලිබරල් දේශපාලන තර්කණය සමග කදිමට ගැලපේ. මන්ද යත්, නව-ලිබරල් වෙළඳපල මූලධර්මවාදය විසින් ඉල්ලා සිටිනු ලබන්නේ සාමූහික ක්‍රියාකාරීත්වය කෙරෙහි විශ්වාසය තබන සක්‍රීය සමාජයක් නොව වසර පහකට වරක් කිසියම් පක්ෂයකට ජන්දය දී ‘දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටින’ පුද්ගලික ජන්දදායකයෙකි. එසේම වත්මනෙහි මැතිවරණ ක්‍රියාවලිය ග්‍රහණයට ගෙන තිබෙන අනුග්‍රාහක දේශපාලනයත් නව-ලිබරල් දේශපාලන තර්කණයත් අතර ඇත්තේ පරස්පරතාවක් නොව ගැඹුරු සම්බන්ධයක් බව ශංකර් ගෝපාලක්‍රිෂ්ණන් නමැති ඉන්දීය දේශපාලන විද්‍යාඥයා තර්ක කරයි. ඉන්දියාවේ හින්දූත්ව ව්‍යාපාරය ඇසුරින් ඔහු පෙන්වා දෙන්නේ නව-ලිබරල්වාදය මගින් සේම දක්ෂිණාංශික මැතිවරණ මගින්ද සිදුවන්නේ ස්වාර්ථය අරමුණු කරගත් හුදෙකලා පුද්ගලභාවයක් නිර්මාණය කිරීම බවයි. විශේෂයෙන්ම ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල දක්ෂිණාංශික ජාතිකවාදී දේශපාලනය ක්‍රියාත්මක වන්නේ අනුග්‍රාහක-සේවාදායක සබඳතා ජාලයක් ගොඩ නගමින්ය. රාජපක්ෂ ව්‍යාපෘතිය යටතේ රට පුරා පොදු දේපළ යොදා ගනිමින් නඩත්තු කරන ලද අනුග්‍රාහක ජාලය ඒ සඳහා කදිම නිදසුනකි. එමගින් හැඩ ගස්වනු ලබන දේශපාලන රටාව වන්නේ දේශපාලකයාගෙන් ලැබෙන කිසියම් අනුග්‍රහයක් (සිමෙන්ති කොට්ටයක්, රැකියාවක්, අරක්කු බෝතලයක්…) වෙනුවෙන් පුද්ගලයෙකුගේ ජන්දය හුවමාරු වීමයි. එය වෙළඳපල තුළ සිදුවන ගණුදෙණුවක් හා සමානය. එවිට දේශපාලකයාගෙන් වගවීමක් ඉල්ලා සිටීමට ජන්දදායකයා හට නොහැකිය. මන්දයත්, අදාළ අනුග්‍රහය ලැබීම සමග දෙදෙනා අතර පුද්ගලික ගණුදෙණුව අවසන් වේ. මේ අනුව, මිනිසා පුද්ගලික ලාභය අරමුණු කරගත් පාරිභෝගිකයෙකු බවට පත්වීමත් දේශපාලන අනුග්‍රහය අරමුණු කරගත් ජන්දදායකයෙකු බවට පත්වීමත් අතර ගැඹුරු සමානත්වයක් දැකිය හැකිය.

මහජන කවුන්සිල ව්‍යාපාරය

මේ වෙනුවට දැන් විශාල සමාජ උනන්දුවක් ගොඩ නැගෙමින් තිබෙන මහජන කවුන්සිල පිළිබඳ සංවාදයේදී අවධාරණය කෙරෙන්නේ ජනතාව සක්‍රීය දේශපාලන කාරකත්වයක් බවට පත් වීමේ වැදගත්කමයි. මා තලාව ප්‍රදේශයේදී සහභාගී වූ සංවාදයේදී එම ප්‍රදේශයේ ඉතාම ඉදිරිගාමී ගොවි නායකයෙකු වන ටෙරන්ස් ගාමිණී සොයුරා ගම් මට්ටමින් ගොඩ නැගෙන මහජන කවුන්සිල ඔස්සේ සිදු කළ හැකි ආර්ථිකමය සහ සමාජමය පරිවර්තනයන් කදිමට පැහැදිලි කළේය. වත්මන් ඉන්ධන අර්බුදයට ආමන්ත්‍රණය කරන අතරම දුර ගමන් මගී ප්‍රවාහණය ආශ්‍රිත ගැටළු විසඳන වැදගත් යෝජනාවක් ඔහු ඉදිරිපත් කළේය. එනම්, දැනට සිදු කරමින් තිබෙන පරිදි දුර ගමන් බස් රථ සංඛ්‍යාව ඉහළ දැමීම සහ පුද්ගලික වාහන සඳහා වැඩි ඉන්ධන කෝටාවක් ලබා දීම වෙනුවට දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කොට තම ගම් ප්‍රදේශවල සිට දුම්රිය ස්ථානය වෙතට එන මගීන් සඳහා පාපැදි නවත්වා තබන ස්ථානයක් පවත්වාගෙන යාමයි. මේ සඳහා දැනට සිටින දුම්රිය සේවක සංඛ්‍යාවේ කිසිදු වෙනසක් කිරීම අවශ්‍ය නොවේ. මේ පිළියම ක්‍රියාත්මක කිරීමේදී වැය වන ඉන්ධන ප්‍රමාණය සහ වියදම සාපේක්ෂව අඩු එකක් බව ඔහු ගණන් හදා පෙන්වා දුන්නේය. මේ යෝජනාව විවාදාත්මක එකක් විය හැකිය. නමුත්, ප්‍රාදේශීය ප්‍රජාව අතරින්ම තම පොදු ගැටළු සඳහා ඉදිරිපත් වන මෙවන් විසඳුම් යෝජනා සාකච්ජා කිරීමට කිසියම් අවකාශයක් පැවතිය යුතු නොවේද?

එම අවකාශය කිසිසේත්ම දේශපාලන බලවතුන්ගේ සහ නිලධාරීන්ගේ ග්‍රහණයට ලක් වූ එකක් නොවිය යුතුය. එසේම එය කිසියම් තනි පක්ෂයක හෝ සංවිධානයක ආධිපත්‍යයට ගොදුරු නොවන පරිදි පුළුල් සහභාගීත්වයක් සහිතව පවත්වා ගත යුතුය. ජාතික ජන බලවේගයේ ඇතැම් ප්‍රකාශකයින් තර්ක කරන පරිදි ඔවුන් ප්‍රාදේශීයව ගොඩ නගමින් යන කොට්ඨාශ සභාවලට මේ කර්තව්‍ය ඉටු කළ නොහැකිය. මා මිත්‍ර නිර්මාල් දේවසිරිද මෑතකදී නිවැරදිව පවසා තිබූ පරිදි, පක්ෂයකට ජනතාව වෙනුවට ආදේශ විය නොහැකිය. එසේ කරන්නට යාමේ ආදීනව අපට බෝල්ෂෙවික් සහ චීන කොමියුනිස්ට් පක්ෂ අත්දැකීම් විසින් ඉතා හොඳින් උගන්වා තිබේ. මහජන කවුන්සිලයක් යනු ධූරාවලීගත පක්ෂ නායකත්වයකින්, සාමාජිකත්වයකින් සහ ඔවුනට හුරේ දමන්නට බලා සිටින අනුගාමිකයින් පිරිසකගෙන් සැදුම්ලත් අවකාශයක් නොවේ. එවන් පක්ෂවාදී අවකාශ වනාහී පොදු ජන සමාජය නිර්-දේශපාලනීකරණයට ලක් කරන්නා වූ අවකාශයන්ය. නායකයින්ගේ ශ්‍රේෂ්ටත්වය වර්ණනා කරමින්, විසඳුම් ඇත්තේ තමන් සතුව යැයි පුරසාරම් දොඩමින් නිර්-ප්‍රභූ ජනයාගේ කටවල් වසා දමන අධිකාරීමය අවකාශයන්ය. එබැවින්, මහජන කවුන්සිල වෙනුවට පක්ෂයක කොට්ඨාශ සභා ආදේශ කරන්නට ගිය හොත්, එය නිමා වනු ඇත්තේ අතිශය අධිකාරීවාදී සහ මර්දනීය අන්තයකිනි.

මෑතකදී එක්සත් රාජධානියේ ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද සංවාදයකදී මා සමග සම්පත් දායකයෙකු ලෙස සහභාගී වූ මහාචාර්ය සුමති සිවමෝහන් මහජන කවුන්සිල තුළ අධිකාරීවාදී ප්‍රවණතා ඉස්මතු වීමේ අනතුර ගැන නිරන්තර සෝදිසියකින් සිටීමේ වැදගත්කම අවධාරණය කළාය. (මා දන්නා තරමින් යාපනයේ මහජන කවුන්සිලයක් ගොඩ නැගීමට ඇය දායකත්වය දක්වා තිබේ). ජන සමාජයේ බහුවිධත්වය නියෝජනය කිරීමට මහජන කවුන්සිලය හැකි සෑම වෙරක්ම යෙදිය යුතුය. එසේම, දැනුම සහ සමාජ තත්ත්වය පිළිබඳ ගතානුගතික නිර්ණායක බැහැර කරමින් සාමාජිකයින් අතුරින් ඉදිරිපත් වන සෑම අදහසක්ම වැදගත් කොට සැලකීමේ සම්ප්‍රදායක් ගොඩ නගා ගන්නට අප ප්‍රයත්න දැරිය යුතුය. මහජන කවුන්සිලවල සාමාජිකත්වය තීරණය කරන්නේ කෙසේදැයි යන ජනප්‍රිය ප්‍රශ්නයට ඇති පිළිතුර වන්නේ එය අදාළ ප්‍රදේශයේ ඕනෑම අයෙකුට විවෘත වූවක් විය යුතුය යන්නයි. සුමති පෙන්වා දුන් ආකාරයට ප්‍රාදේශීය මට්ටමින් පමණක් නොව වැඩපළ මට්ටමින්ද කවුන්සිල නිර්මාණය කළ හැකිය.

ප්‍රතිජනනාත්මක දේශපාලනයේ මග

මහජන කවුන්සිල ගොඩනැගීමේ ව්‍යාපාරය යනු හුදෙක් විරෝධය දැක්වීමේ සහ ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් නොවේ. මහජන කවුන්සිල පිළිබඳ සීමිත සහ පටු අර්ථකථනය වන්නේ ඒවා හුදෙක් සටන් කරන සභා විශේෂයක්ය යන්නයි. ඒ වෙනුවට අපගේ පොදු ගැටළු සඳහා ප්‍රාදේශීය මට්ටමින්, වැඩපළ මට්ටමින් සහ ජාතික මට්ටමින් පහත සිට විසඳුම් ගොඩ නගන ව්‍යාපාරයක් බවට එය පරිවර්තනය විය යුතු බව මගේ අදහසයි. ප්‍රාදේශීයව ගොඩ නැගෙන මහජන කවුන්සිල මගින් ගම් සහ නගර මට්ටමේ සංවර්ධන සැලසුම් සකස් කළ හැකිය. එම සංවර්ධන සැලසුම්වලදී අප සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන මූලධාර්මික ප්‍රශ්නයම නැවත මතු කළ යුතුව තිබේ. නිදසුනක් ලෙස, දැනට ඉහළ සිට සැලසුම් කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීන්වලදී නොඅසනු ලබන ප්‍රශ්නයක් වන ප්‍රාදේශීය ප්‍රජාවගේ ජීවිත කෙරෙහි එම ව්‍යාපෘතීන් බලපාන්නේ කෙසේද යන ප්‍රශ්නයට එහිදී මූලික වැදගත්කමක් දිය යුතුව තිබේ.

ඒ අතරම වත්මන් බහුවිධ අර්බුදය තුළ බිඳ වැටෙමින් තිබෙන සමාජ පර්යාය නව ආකාරයකින් නැවත ගොඩ නැංවීමේ ප්‍රයත්නයක්ද අද අවශ්‍යව තිබේ. නිදසුනක් ලෙස, මා සහභාගී වූ මීගස්වැව සහ තලාව ප්‍රදේශවල සාකච්ජාවලදී මතු වූ ප්‍රධාන ගැටළු දෙකක් නම් පාසැල් අධ්‍යාපනය බිඳ වැටෙමින් තිබීම සහ යෞවනයින් ශරීරයට හිතකර නොවන මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වීමයි. මෙවන් ගැටළු විසඳීම සඳහා අසම්ප්‍රදායික ප්‍රවේශයක් අවශ්‍ය බව මගේ අදහසයි. අධ්‍යාපන ගැටළු විසඳීම සඳහා අන්තරය සමග සම්බන්ධීකරණයක් ඇතිව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ ස්වේච්ජා සහභාගීත්වයක් ලබා ගත හැකි යැයි සිතමි. ඒ අතරම රට පුරා තරුණ ප්‍රජාව අතර පවතින බුද්ධි පිපාසය නිවීම පිණිස නව අධ්‍යයන කව, සංවාද සහ සාහිත්‍යමය ක්‍රියාකාරීත්වයන් ජාලයක් වුවමනා වී තිබේ. අරගලය තුළ වර්ධනය වූ විකල්ප කලා-සංස්කෘතික ව්‍යාපාරය රට පුරා ව්‍යාප්ත වීමද ඊට සමාන්තරව සිදු විය යුතුය. මේ සියල්ල ප්‍රාදේශීය මහජන කවුන්සිල මගින් සම්බන්ධීකරණය කළ හැකිය. දැන් උදාව ඇත්තේ ග්‍රාම්ස්චි කතා කළ ආකාරයේ ඓන්ද්‍රීය බුද්ධිමය සහ සදාචාරමය නායකත්වයක් වාම ජනතාවාදී ප්‍රවේශයකින් යුතුව ගොඩ නැගිය හැකි ස්වර්ණමය අවස්ථාවකි.

මහජන කවුන්සිල කොතෙක් ගොඩ නැගූවද, දවස අවසානයේ තීරණ ගැනීමේ නෛතික බලය ඇත්තේ පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, ප්‍රාදේශීය සභාවට සහ රජයේ ආයතනවලට නොවේද යන ප්‍රශ්නය යමෙකු විමසිය හැකිය. මේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස බොහෝ දෙනෙකු අවධාරණය කරන්නේ මහජන කවුන්සිල ඔස්සේ රාජ්‍ය බලයට අභියෝග කිරීමේ සහ බලපෑම් කිරීමේ හැකියාවක් තිබෙන බවයි. නමුත්, මගේ අදහස නම් එය ප්‍රමාණවත් නොවන බවයි. ඒ වෙනුවට අප මහජන කවුන්සිල පිළිබඳ සංවාදය තුළදී රාජ්‍ය බලය අභ්‍යාස කෙරෙන ආයතනවලට සහභාගී වීමේ ඉඩකඩ කිසිසේත්ම අවහිර නොකොට තබාගත යුතුය. මා සමග සංවාදවලට සහභාගී වූ බොහෝ දෙනෙකු මහජන කවුන්සිල මගින් ප්‍රාදේශීය සභා මැතිවරණයට ස්වාධීන අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කිරීමේ මගේ යෝජනාවට අනුමැතිය දැක්වූහ. ඔවුන් අවධාරණය කළ කාරණය වූයේ තම නියෝජිතයින් ප්‍රාදේශීය සභාවලට යා යුත්තේ මහජන කවුන්සිලය තුළ පුළුල් ලෙස සාකච්ජා කොට එකඟතාවලට පැමිණෙන ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම සඳහා බවයි. එසේම, එම නියෝජිතයින් අඛණ්ඩව මහජන කවුන්සිලවල සාකච්ජා සඳහා සහභාගී විය යුතු අතර, ඔවුනගේ භාවිතය සංනිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක්ද සකස් කළ යුතුය. අවසන් වශයෙන්, ඔවුන් මහජන කවුන්සිලයේ අභිලාෂයන් ඉටු කරන්නට අසමත් වන්නේ නම්, ඔවුන්ව ආපසු කැඳවීමේ බලයද කවුන්සිලය සතු විය යුතු යැයි මගේ සංවාද භාෂකයින් අවධාරණය කළහ. මෙම යෝජනාව පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවල තලයේ ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න තවදුරටත් සාකච්ජා කළ යුතුව තිබේ. නමුත්, ප්‍රාදේශීය සභා සහ නගර සභා තලයේ මෙය පහසුවෙන් ක්‍රියාවට නැගිය හැකි බව පෙනේ. විශේෂයෙන්ම, සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය කෙරෙහි කළකිරී සිටින බහුජන කොටස්වල සක්‍රීය සහයෝගය මේ සඳහා ලබා ගැනීමේ විභවතාවක් ඇතැයි මම විශ්වාස කරමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.