16 May, 2022

Blog

ගණඳුරු මැදියම දකිනෙමි ගිනිදළු

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? – හය වන කොටස 

“අද දිනයේ භීතිය පරදවා බලාපොරොත්තුව ජය ගත්තේය.” පසුගියදා චිලී රාජ්‍යයේ ජනාධිපතිවරණයෙන් පසුව ජයග්‍රාහී කතාව පවත්වමින් ගේබ්‍රියෙල් බෝරික් එලෙස පැවසීය. බෝරික්ගේ චිලී රාජ්‍යය තුළ තාරුණ්‍යයේ අපේක්ෂාවේ නියෝජනය බවට පත් වන්නට වාමාංශය සමත් විය. “මගේ පරම්පරාවට අවශ්‍ය වන්නේ අපේ අයිතීන්ට අයිතීන් ලෙසින් ගරු කිරීම මිස ඒවා හුවමාරු භාණ්ඩ ලෙසින් සැලකීම නොවේ.” බෝරික් එලෙස පැවසුවේ අධ්‍යාපනය ඇතුළු සමාජ අයිතීන් පෞද්ගලීකරණය කිරීමට එරෙහි අරගලයේ උරුමය සිහිපත් කරමිනි. සමාජ අසමානත්වයේ මිළ දුගී දුප්පත් ජනතාව මත පැටවීමේ ක්‍රමය අවසන් කරන බවට ඔහු ශපථ කළේය.

තරුණ රැඩිකල්වාදයේ වාම-ප්‍රජාතාන්ත්‍රික නැඹුරුව පිළිබඳ නිදසුන් සපයන්නේ සමකාලීන චිලී දේශය පමණක් නොවේ. කසක්ස්ථානයේ රුසියානු ගැති ටොකයෙව්ගේ පාලනයට එරෙහි මහජන ව්‍යාපාරය තුළද කැපී පෙනෙන තරුණ දායකත්වයක් දැක ගත හැකිය. චීන කොමියුනිස්ට් පක්ෂයේ රැකවරණය ලබන මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහිව පැන නැගුණු මහජන ව්‍යාපාරයේ ජීවනාලිය වන්නේද එරට ප්‍රජාතාන්ත්‍රික තරුණ දේශපාලන බලවේගයයි. දැනට දෙවසරකට පෙර අසල්වැසි ඉන්දියාවේ සංශෝධිත පුරවැසි පණතට එරෙහි සිසු-ජන අරගලයේ සමාරම්භකත්වය ගත්තේද විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු දේශපාලනීකරණය වූ තරුණ පරම්පරාවයි. කාලගුණ විපර්යාසයට එරෙහි යෞවන යෞවනියන් විසින් සංවිධානය කරනු ලබන “අනාගතය සඳහා සිකුරාදාවන්” ව්‍යාපාරය තරුණ රැඩිකල්වාදයේ ගෝලීය ව්‍යාප්තිය පිළිබඳ වඩාත් කැපී පෙනෙන සමකාලීන නිදසුනයි. එම ව්‍යාපාරය විසින් පසුගිය සැප්තැම්බර් 24 වනදා එකවිට රටවල් 90 කදී පවත්වන ලද ගෝලීය පාරිසරික වර්ජනයට ලක්ෂ ගණනක් තරුණ තරුණියන් සහභාගී වූ අතර ග්‍රේටා තන්බර්ග් බර්ලින් නගරයේදී ලක්ෂයකට අධික ජනතාවක් ආමන්ත්‍රණය කළාය. සිය කතාවේදී තන්බර්ග්ද තාරුණ්‍යයේ බලාපොරොත්තුවේ දේශපාලනයක් ගැන පැවසුවාය:

“අපිට තවදුරටත් බලයේ ඉන්න පුද්ගලයින්ට දේශපාලනික වියහැකියාවන් මොනවද කියල තීරණය කරන්න ඉඩ දෙන්න බැහැ. අපිට තවදුරටත් බලයේ ඉන්න පුද්ගලයින්ට බලාපොරොත්තුව මොකද්ද කියල තීරණය කරන්න ඉඩ දෙන්න බැහැ. බලාපොරොත්තුව නිෂ්ක්‍රීය දෙයක් නෙමෙයි. බලාපොරොත්තුව කියන්නේ බ්ලා බ්ලා බ්ලා… (පුහු වචන) නෙමෙයි. බලාපොරොත්තුව සත්‍යය පවසනවා. බලාපොරොත්තුව ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම බලාපොරොත්තුව නිතරම ගලාගෙන එන්නේ ජනතාවගෙන්.”

ඉහත නිදසුන්වලින් පෙනී යන්නේ සමකාලීන රැඩිකල් තරුණ ව්‍යාපාරවලට ඇත්තේ විවිධ දේශපාලන දිශානතීන් බවයි. චිලියේදී පැහැදිලිවම වාමාංශික නැඹුරුවක් ගත් තරුණ ව්‍යාපාර පෙරට ආවේය. කසක්ස්ථානයේ මහජන උද්ඝෝෂණ තුළ වැදගත් භූමිකාවක් ඉටු කරන “අවදි වන්න කසක්ස්ථානය” ව්‍යාපාරය පෙනී සිටින්නේ සාමකාමී සහ ක්‍රමික ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ වෙනුවෙනි. මියන්මාරයේ තරුණ දේශපාලන ව්‍යාපාරවල අරගල දියත් වන්නේ මිලිටරි පාලනයට සහ විදේශික ආධිපත්‍යයට එරෙහිවය. ඉන්දියාවේ බහුවිධ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පිළිබඳ සටන් පාඨ පෙරට පැමිණ ඇත. “අනාගතය සඳහා සිකුරාදාවන්” ව්‍යාපාරය කාලගුණ විපර්යාසයට එරෙහි වඩාත් විශ්වීය තේමාවක් වටා සංවිධානය වන අතර ගෝලීය සහයෝගීතාව අවධාරණය කරයි.

නමුත්, මේ සියළු වෙනස්කම් පැවතියදී පවා ඉහත සඳහන් කළ නිදසුන් අපට උගන්වන සරල පාඩම් දෙකක් අඩු තරමින් හඳුනාගත හැකිය. පළමුවැන්න වන්නේ පාරිභෝජනවාදයේ ප්‍රවාහයට ලක් වූ ඊනියා ඩිජිටල් යුගයේදී තරුණ පරපුරේ දේශපාලන සාක්ෂරතාව බිඳ වැටී තිබේය යන ප්‍රභූවාදී වැඩිහිටි ආකල්පය ව්‍යාජයක්ය යන්නයි. දෙවැන්න වන්නේ තරුණ ප්‍රජාවන් තුළින් පැන නගින ඉල්ලීම් විවිධ දේශපාලන ව්‍යාපෘතීන් සමග සුසම්බන්ධ කිරීමේ හැකියාව තවමත් විවෘතව පවතින බවත් රැඩිකල් වාමාංශික නායකත්වයන්ටද ඒ සඳහා ප්‍රයත්න දැරිය හැකි බවත්ය.

අනූව දශකයේ ආකල්පවලින් ඔබ්බට

සමකාලීන ලාංකීය දේශපාලනය සම්බන්ධයෙන් ගත්තද ඉහත කාරණය අදාළ වන බව අමුතුවෙන් කිව යුතු නැත. තරුණ ප්‍රජාවේ දේශපාලන සාක්ෂරතාව නැත්නම් දේශපාලන විඥානය ඉතාම පහළ මට්ටමකට ඇද වැටී තිබේය යන ප්‍රසිද්ධ ආකල්පය අපට බොහෝ විට අසන්නට ලැබෙන බව සත්‍යයකි. නමුත්, මගේ නිරීක්ෂණය නම් එම නිශේධනීය ආකල්පය මහජන පරිමණ්ඩලය තුළ ගොඩ නගමින් සිටින්නේ දැන් මැදි වියට හෝ මහළු වියට පිවිසී සිටින අසූව දශකයේ රැඩිකල් දේශපාලනයේ නිරත වූ බුද්ධිමතුන් විසින් බවයි. ඔවුන් බොහෝ විට වත්මන් තරුණ ප්‍රජාවේ දේශපාලන සාක්ෂරතාව විනිශ්චය කරන්නට උත්සාහ දරන්නේ තම අතීත ක්‍රියාකාරීත්වයන්ට අදාළ නිර්ණායක ඇසුරිනි. ඔවුනගේ ගැටළුව වන්නේ දේශපාලනීකරණය සඳහා ඇත්තේ එක් ආකෘතියක් පමණක් යැයි කල්පනා කිරීමයි.

නමුත්, තවමත් මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන කතිකාව තුළ කේන්ද්‍රීය භූමිකාවක් රඟ දැක්වීමට අසූව සහ අනූව දශකවලදී දේශපාලන සංවාදයට අවතීර්ණ වූ බුද්ධිමය ස්ථරවලට හැකිව තිබේ. ඔවුන් බොහොමයක් දෙනා තවමත් නියෝජනය කරමින් සිටින්නේ “ඉතිහාසයේ අවසානයේ දශකයේ” නොහොත් අනූව දශකයේ අධිපති දේශපාලන සංවාද තලයයි. නමුත්, විශේෂයෙන්ම වසංගතය හමුවේ පරිවර්තනයට ලක් වෙමින් තිබෙන සමාජ ආර්ථික තත්ත්වයන් හමුවේ මේ පැරණි පරම්පරාවේ දේශපාලන කතිකාවන් ඉක්මනින්ම අතීතයට එක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඒ වෙනුවට මෙතෙක් අප නොදැක සිටි ආකාරයේ රැඩිකල් තරුණ දේශපාලන ක්‍රියාකාරීත්වයක් ඉදිරියේදී අපේක්ෂා කළ හැකි බව මගේ අදහසයි.

මා මෙසේ පවසන්නේ හුදෙක් ප්‍රාර්ථනාවක් හෝ සිතැඟියාවක් ලෙසින් නොවේ. අප අවට සිදුවෙමින් පවත්නා බරපතල නමුත් මතුපිටින් නොපෙනෙන පරිවර්තන විසින් පවසනු ලබන්නේ තරුණ ප්‍රජාව අනපේක්ෂිත ලෙස දේශපාලන ක්ෂේත්‍රයට කඩා වැදීමේ වියහැකියාව දැන් ඉතාම විවෘත බවය. මේ වියහැකියාව හඳුනා ගැනීමට නම් අප දේශපාලන ක්‍රියාවලියේ මතුපිට රළ දෙස නොව ගැඹුරු දිය රළ (deep-water waves) දෙස බැලිය යුතුය.

දේශපාලනයේ ගැඹුරු දිය රළ

හැට, හැත්තෑව සහ අසූව දශකවල ලාංකීය රැඩිකල් තරුණ දේශපාලනය පැන නැගුණේ උසස් අධ්‍යාපනය ලැබූ ග්‍රාමීය තරුණ තරුණියන්ගේ අපේක්ෂා-භංගත්වය පසුබිම් කොටගෙනය යන්න අප නිතරම පාහේ අසා තිබේ. නමුත්, ඒ අතරම එම තරුණ දේශපාලනය ස්ථානගත වූයේ හෙට දවස පිළිබඳ සුබවාදී සමාජ පරිකල්පනයක් තුළ බව අප අමතක නොකළ යුතුය. තමන් පෙළන වර්තමාන තත්ත්වයන් ඉතාම අසුබවාදී වුවද, තමන් තෝරා ගත් විකල්ප දේශපාලන මාර්ගය මගින් වඩාත් සුබවාදී හෙට දවසක් නිර්මාණය කර ගත හැකි යැයි තරුණ ක්‍රියාකාරීන් විශ්වාස කළහ. මුල්කාලීන ජනතා විමුක්ති පෙරමුණ විසින් අනුදක්නා ලද මාක්ස්වාදී ලෝක දැක්ම තුළ පැවති ප්‍රධාන විශ්වාසයක් වූයේ ඉතිහාසය ප්‍රගතිය කරා ගමන් කරන බවයි. එබැවින්, එම ප්‍රගතිය නියෝජනය කරන ඓතිහාසික විෂයන් වූ විප්ලවවාදීන් හට අනාගතය පිළිබඳ සර්ව-සුබවාදී විශ්වාසයක් තබා ගත හැකි විය.

නමුත්, එකිනෙකට සම්බන්ධ හේතූන් ගණනාවක් නිසා වත්මන් යුගයේ තරුණ පරම්පරාවට දේශපාලනයේ නිරත වන්නට සිදුව තිබෙන්නේ හෙට දවස පිළිබඳ එවන් සර්ව-සුබවාදී විශ්වාසයක් නොමැතිවය. හෙට දවස මහා ව්‍යසනයක් වීම ඇතැම් විට අපට වළක්වා ගත හැකි වුවත්, එය සර්ව සුබවාදී එකක් වනු ඇතැයි සිතීම අසීරුය. වසංගත ධනවාදයේ ලාංකීය මුහුණුවර අතිශය කුරිරු එකක් බැව් දැන් පැහැදිලිය. අපට ඉදිරි වසරවලදී කුසගින්නේ මිය යන දරුවන් ගැන, සිය දිවි නසා ගන්නා තරුණ තරුණියන් ගැන, ක්ෂුද්‍ර තලයේ ප්‍රචණ්ඩ ගැටුම් ගැන මෙන්ම එක්වරම පුපුරන මහජන විරෝධතා ගැන අදට වඩා දේවල් අසන්නට සිදු වනු ඇත. “ජීවිත ලස්සන කරන විසඳුම්” යන උදෘතය වත්මන් මොහොතට කිසිසේත්ම ගැලපෙන්නේ නැතැයි මා පවසන්නේ එබැවිනි. අද දවසේ ඕනෑම ප්‍රායෝගික විසඳුමක් යුක්ති සහගත කරන්නට සිදු වන්නේ නරකම තත්ත්වය වැලැක්වීමේ මාර්ගයක් ලෙසිනි. ජීවිත ලස්සන කිරීම යනු හිස් වාගාලාපයක් පමණක් බව දේශපාලකයින්ට වඩා හොඳින් පොදු ජනයා දනී.

තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් ගත් කල පවත්නා තත්ත්වය අතිශයින්ම අසුබවාදීය. නිදසුනක් ලෙස, දැන් නිවෙස්වල සිට උසස් අධ්‍යාපනයේ නිරත වන සිසු-සිසුවියන් හට වසර තුනක හෝ හතරක විශ්ව විද්‍යාලයීය අත්දැකීමක් පවා ලබා ගත නොහැකිය. වඩාත් දරිද්‍ර පසුබිමකින් එන දරු දැරියන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ රඳවා තබා ගැනීම පවා අද අභියෝගාත්මකය. උපාධියෙන් පසුව වඩා යහපත් හෙට දවසක් පිළිබඳව ඔවුනට අපේක්ෂාවන් රඳවා ගත හැකිද? ජීවන තත්ත්වයන් වේගයෙන් පහත වැටෙමින් තිබෙන බව ඔවුහු ඉතාම හොඳින් දනිති. ආර්ථික අර්බුදයට ඉක්මන් විසඳුමක් නොමැති බැවින් ඔවුනගේ තෝරා ගැනීම්වල අවකාශය හැකිළී යමින් පවතී. යමක් කමක් තිබෙන තරුණ තරුණයින් රට හැර යන්නට උත්සුක විය හැකිය. නමුත්, වසංගත ධනවාදය තුළ සංවර්ධිත ලෝකයේ සංක්‍රමණික ශ්‍රමයේ තත්ත්වයද එතරම් යහපත් නොවන බව ඔවුන්ට රහසක් නොවේ. උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වූ තරුණ තරුණියන් හමුවේ තිබෙන්නේද සමාජ ආන්තිකකරණයේ සහ අවිනිශ්චිතතාවේ බියජනක අනාගත චිත්‍රයකි.

අනෙක් අතින්, අසූව දශකයේදී මෙන් රැඩිකල් දේශපාලනය විසින් අපව ඓතිහාසික ප්‍රගතියේ මාවතට රැගෙන යනු ඇතැයි දැන් එතරම් විශ්වසනීය ලෙස විශ්වාස කිරීමටද නොහැක. වාණිජ මාධ්‍යයන් විසින් ගොඩ නංවනු ලබන පාරිභෝජනවාදී ජීවන නිෂ්ටාවනුත් තම පැවැත්මේ සැබෑ තත්ත්වයනුත් අතර පරතරය එන්ට එන්ටම පුළුල් වෙමින් පවතින බව වත්මන් තරුණ තරුණියෝ ඉතාම හොඳින් දනිති. කවර අතකින් බැලුවද, ඔවුන් ඉදිරියේ ඇත්තේ අපේක්ෂා භංගත්වයේ පමණක් නොව අසුබවාදයේද පර්යාලෝකයකි. අනාගත තරුණ දේශපාලනයේ ගැඹුරු දිය රළ සැකසෙන්නේ එවන් පර්යාලෝකයක් තුළය.

තරුණ රැඩිකල් දේශපාලනයේ අතීත අත්දැකීම්

සමකාලීන දේශපාලනය කිසිසේත්ම අතීතයේ පුනරාවර්තනයක් විය නොහැකි බව සැබෑය. නමුත්, අපගේ වර්තමානය මේ ආකාරයෙන් හැඩ ගැසුණේ කෙසේදැයි වටහා ගන්නට නම් අප ඉතිහාසය දෙසට හැරිය යුතුය. මිචෙල් ෆූකෝගේ වචනයෙන් කිව හොත්, අප “වර්තමානයේ ඉතිහාසය” දෙසට හැරිය යුතුය. ඉතිහාසය පිළිබඳ එවන් විචාරාත්මක ගවේෂණයක් අවශ්‍ය වන්නේ අපගේ වර්තමාන සාමූහික පැවැත්ම මේ පවත්නා ආකාරයෙන් හැඩ ගැසුණේ කෙසේදැයි වටහා ගැනීම සඳහා පමණක් නොවේ. අපගේ වර්තමාන සාමූහික පැවැත්මේ වැදගත් පැතිමානයක් වන දේශපාලන අවිඥානය වටහා ගැනීම සඳහාද එවන් ගවේෂණයක් වුවමනා වේ. (දැනට එතරම් ශාස්ත්‍රීය පරීක්ෂාවකට ලක්ව නොමැති ලාංකීය දේශපාලන අවිඥානය පිළිබඳ විශ්ලේෂණයක බරපතල අවශ්‍යතාවක් දැන් බරපතල ලෙස දැනෙමින් තිබේ. ඒ ගැන ඉදිරියේදී ලියන්නට බලාපොරොත්තු වෙමි).

තරුණ ප්‍රජාවන්ගේ රැඩිකල්කරණය පිළිබඳ ලාංකීය අත්දැකීම් විසින් අපට ඉතිරි කරනු ලැබ ඇත්තේ ඉතාම ප්‍රචණ්ඩ මතකයන්ය. හැටේ දශකයේ මැද භාගයේදී සිංහල-බෞද්ධ බහුතරයකින් යුත් ග්‍රාමීය උගත් තරුණ ප්‍රජාව පළමු වරට ආයුධ සන්නද්ධ දේශපාලනයට අවතීර්ණ විය. තදනන්තරව, උතුරේ දෙමළ තරුණ ප්‍රජාව ජනවාර්ගික පීඩනයට එරෙහිව ආයුධ අතට ගත්හ. එයින් දශක දෙකකට පමණ පසුව එනම් අසූව දශකයේ මැද භාගයේදී යළිත් වරක් දකුණේ ග්‍රාමීය තරුණ ප්‍රජාව වඩා ප්‍රචණ්ඩ සන්නද්ධ අරගලයක නිරත විය. එවර ඔවුන් සංවිධානය වූයේ ජනවාර්ගික ලෙසින් නිර්වචනය වූ දේශප්‍රේමී බැනරයක් යටතේය. දකුණේ ඊළඟ ග්‍රාමීය තරුණ පරම්පරාව රාජ්‍ය බලය දිනා ගැනීමේ අරමුණින් ආයුධ අතට ගත්තේ නැත. නමුත්, ඒ වෙනුවට, ඔවුන්ගෙන් කොටසක් දෙමළ අරගලයට එරෙහි රාජ්‍යයේ යුද ව්‍යාපෘතියට සහාය දැක්වීය.

මෙයින් පෙනී යන්නේ විශේෂයෙන්ම දකුණේ “ග්‍රාමීය තරුණ රැඩිකල් දේශපාලනයේ” එකම ආකෘතිය සමාජවාදී අරගලය පමණක් නොවූ බවයි. අසූව දශකයේ මැද භාගයේදී මෙන්ම 2000 දශකයේ මැද භාගයේදීද රැඩිකල්කරණයට ලක් වූයේ සමාජවාදී අභිලාෂවලට වඩා ජනවාර්ගික-ජාතිකවාදී අභිලාෂයන්ය. මා ඉහතදී සමකාලීන ජාත්‍යන්තර නිදසුන් කිහිපයක් ඇසුරින්ද පෙන්වා දුන් පරිදි තරුණ රැඩිකල් දේශපාලනයට ඇත්තේ එක් ආකෘතියක් පමණක් නොවේ. එහි ආකෘතිය කුමක්දැයි නිශ්චය කෙරෙනුයේ ඔවුන්ගේ ඉල්ලීම් සුසම්බන්ධ කර ගන්නට (සහ එනයින් ඒවා හැඩ ගස්වන්නට) සමත් වන්නේ කවර නම් දේශපාලන කතිකාවක්ද යන කාරණය මතය.

තරුණ රැඩිකල්කරණයේ දේශපාලන ආර්ථිකය

මෙරට ග්‍රාමීය තරුණ ප්‍රජාවන් කෙරෙන් මෙලෙස වරින් වර ඉස්මතු වන රැඩිකල් දේශපාලන පැන නැගීම් වටහා ගැනීමේදී නිසැකවම අප විමසිය යුතු ප්‍රශ්නයක් වන්නේ එම දේශපාලන පැන නැගීම් සිදු වන්නේ කවර නම් දේශපාලන ආර්ථික තත්ත්වයන් යටතේද යන්නයි. මේ සම්බන්ධයෙන් ස්වයං-චරිතාපදානමය අවලෝකනයක යෙදෙමින් මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසන්නේ ඔහු අයත් පරම්පරාව රැඩිකල් දේශපාලනයට ප්‍රවේශ වූ වකවානුවේදී, එනම් 1960 දශකයේ අගභාගයේදී, මෙරට ග්‍රාමීය කෘෂිකාර්මික ආර්ථිකය සේම නාගරික ආර්ථිකයද එක තැන පල්වෙමින් පැවති බවයි. නිදහස් අධ්‍යාපනයේ පුළුල් වීම තුළ ග්‍රාමීය කෘෂි ආර්ථිකය විසින් නිර්ණය කරන ලද ජීවන කලාපයෙන් ඔබ්බට යාමේ අභිලාෂයන් සහිත තරුණ ප්‍රජාවක් නිර්මාණය කෙරිණ. නමුත්, එම තරුණ ශ්‍රමය අවශෝෂණය කරගත හැකි වැඩෙන නාගරික නොහොත් කාර්මික ආර්ථිකයක් පැවතියේද නැත. එකල උගත් ග්‍රාමීය තරුණ ප්‍රජාවට සමාජ තත්ත්වයෙන් ඉහළ නැගීමට තිබූ ප්‍රධාන ඉණිමග වූයේ රාජ්‍ය අංශයේ රැකී රක්ෂාය. නමුත්, එම සීමිත අවකාශයද පැවතියේ හැකිළෙමිනි. ග්‍රාමීය ඉඩම් හිමිකමේ ගැටළු, කෘෂි ආර්ථිකය නවීකරණය නොවීම සහ කුළ පීඩනය ඇතුළු සමාජ ගතානුගතිකත්වය යනාදී එකිනෙක බැඳුණු ගැටළු රාශියක් මේ “අතරමැද” තරුණ සමාජ තීරුව හමුවේ පැවතිණ. එබැවින් ග්‍රාමීය ආර්ථිකයෙන් පරාරෝපණය වූ එම සමාජ තීරුව අවශෝෂණය කරගත හැකි නාගරික ආර්ථිකයක්ද නොපැවතුණු කල්හි, සමස්ත ක්‍රමයම පරිවර්තනයට ලක් කිරීමේ ආමන්ත්‍රණයක් කෙරෙහි ඔවුන් ආකර්ෂණය වීම පුදුමයට කරුණක් නොවේ.

ඉහත විශ්ලේෂණය පිළිගන්නා අතරම එයට කළ යුතු ඌණ පූරණයක්ද ඇතැයි මම සිතමි. මන්ද යත්, කිසියම් සමාජ කණ්ඩායමක් ආර්ථිකමය හෝ සමාජමය යටත්කරණයකට ලක් වූ පමණින් එය රැඩිකල් දේශපාලනයට ප්‍රවේශ වේ යැයි නිගමනය කළ නොහැකි බැවිනි. යටත්කරණයට ලක් වූ සමාජ කණ්ඩායමක් නිරායාසයෙන් විප්ලවීය විෂයයන් බවට පරිවර්තනය වන්නේ නැත. අර්නෙස්ටෝ ලැක්ලාවූ සහ ශන්තාල් මූෆ් පෙන්වා දෙන පරිදි, දේශපාලන විෂයීයත්වය (political subjectivity) වනාහී කතිකාමය ලෙස ගොඩ නංවනු ලබන්නකි (1985:114-122). ඒ අනුව, 1960 දශකයේදී ආන්තිකකරණයට සහ පරාරෝපණයට ලක්ව සිටි “අතරමැද” තරුණ ප්‍රජාව විප්ලවීය දේශපාලන විෂයයන් බවට පරිවර්තනය කිරීමෙහිලා රෝහණ විජේවීරගේ නායකත්වයෙන් ගොඩ නගන ලද රැඩිකල් දේශපාලන කතිකාව විසින් ඉටු කරන ලද භූමිකාවද මේ කතන්දරයට එක් කළ යුතුය.

ජවිපෙ රැඩිකල්හරණය පිළිබඳ ප්‍රවාදය

අසූව දශකයේ අග භාගයෙන් පසුව දකුණේ ආයුධ සන්නද්ධ තරුණ නැගිටීමක් නැවත සිදු වූයේ නැත. ඒ මන්දැයි තේරුම් ගැනීම අසීරු නොවේ. එය එක් තනි සාධකයකින් නිශ්චය වූ තත්ත්වයක් (simple determination) ලෙසින් නොව සාධක ගණනාවකින් අධි-නිශ්චය (over-determination) වූ තත්ත්වයක් ලෙසින් වටහා ගත යුතුය යන්න මගේ යෝජනාවයි.

ආර්ථික විවෘතකරණයේ බලපෑම් හමුවේ මෙරට ග්‍රාමීය සමාජයේ සිදු වූ පරිවර්තනයන් ඒ අතුරින් එක් වැදගත් සාධකයකි. ග්‍රාමීය උගත් තරුණ ස්ථරයේ ශ්‍රමය අවශෝෂණය කරගත හැකි නාගරික කාර්මික ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ ගොඩ නැගුණේ නැති වුවත්, විශේෂයෙන්ම 1990 දශකයෙන් පසුව සේවා අංශයේ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රසාරණයක් සිදු විය. 1991 දී සීත යුදකාලීන සමාජවාදයේ බිඳ වැටීම විසින් සමාජවාදී විප්ලවවාදී දේශපාලනයේ අදාළත්වය පිළිබඳව පෙර පැවති විශ්වාසය බෙහෙවින්ම පළුදු කෙරිණ. ඊට සමාන්තරව පෞද්ගලික විද්‍යුත් මාධ්‍යවල වේගවත් ප්‍රසාරණයක්ද ඒ හා අතිනත ගත් පාරිභෝජනවාදී ලෝක දැක්මේ පෙර නොවූ විරූ ව්‍යාප්තියක්ද මේ කාල පරිච්ජේදය තුළ අපට නිරීක්ෂණය කළ හැකිය. පාරිභෝජනවාදය විසින් ලාංකීය සමාජයේ පොදු-ජන අවබෝධයන් (common sense) කෙරෙහිත් දේශපාලන අවිඥානය කෙරෙහිත් ඇති කරන ලද බලපෑම ගැන තවමත් ප්‍රමාණවත් විශ්ලේෂණයක් සිදු කොට නොමැත. නමුත්, 1990 දශකයෙන් පසුව ජවිපෙ දේශපාලන ප්‍රධාන ධාරාවට එක්වීම පිළිබඳව නිර්මාල් රංජිත් දේවසිරි විසින් ප්‍රකාශයට පත් කොට තිබෙන අධ්‍යයන පත්‍රිකාවක මේ කාරණය සැලකිල්ලට ගෙන තිබේ (දේවසිරි, 2010:88).

ඉහත අධ්‍යයන පත්‍රිකාව අපගේ සාකච්ජාවට වඩාත් වැදගත් වන්නේ 1960 දශකයේ මැද භාගයේ පටන් මෙරට ග්‍රාමීය අතරමැද තරුණ සමාජ ස්ථරයක රැඩිකල් දේශපාලනයේ ප්‍රධාන නියෝජිතයා වූ ජවිපෙ විශේෂයෙන්ම 1994 න් පසුව “රැඩිකල්හරණයට” ලක් වූයේ කෙසේදැයි එයින් විශ්ලේෂණය කෙරෙන බැවිනි. දේවසිරි නිවැරදිව පෙන්වා දෙන පරිදි, කොළඹ තදාසන්න අර්ධ-නාගරික ප්‍රදේශවල නව මධ්‍යම පන්තිය අතර සැලකිය යුතු මැතිවරණමය බලවේගයක් බවට පත් වන්නට 1994 සහ 2004 අතර කාල පරිච්ජේදය තුළදී ජවිපෙ සමත් විය (2010:75). එම පන්තිය පවත්නා ආර්ථික සහ සමාජයීය සැකැස්මට හොඳින්ම බද්ධ වී සිටින බැවින් ඔවුන් රැඩිකල් දේශපාලන නිෂ්ටාවක් කරා ඇතුළත් කර ගැනීමට ජවිපෙට ඇති හැකියාව ඉතාම අවම වූවක් යැයි ඔහු තර්ක කරයි. නිර්මාල්ට අනුව, 1994 සහ 2005 අතර කාල පරිච්ජේදය තුළදී ජවිපෙ දේශපාලනය තුළ ඔහු හඳුනා ගන්නා “රැඩිකල්හරණයට” විශාල වශයෙන් හේතු වී තිබෙන්නේ ඉහත කී නව මධ්‍යම පන්තියේ අභිලාෂයන් ජවිපෙ දේශපාලන උපායමාර්ගය කෙරෙහි ඇති කරන්නා වූ බලපෑමයි.

1990 දශකයෙන් පසුව ජවිපෙ සමාජ පදනමෙහි සහ දේශපාලනයෙහි සිදුව තිබෙන වැදගත් වෙනස්කම් කිහිපයක් කදිමට පැහැදිලි කරන්නට නිර්මාල්ගේ විශ්ලේෂණය සමත් බව නිසැකය. නමුත්, ඔහුගේ විශ්ලේෂණයේ කේන්ද්‍රීය සංකල්ප දෙකක් වන රැඩිකල්කරණය සහ රැඩිකල්හරණය යන්නෙන් ඔහු නිශ්චිතව අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි කරන්නට නිර්මාල් උනන්දුවක් නොදක්වයි. එබැවින් අපට රැඩිකල්කරණය පිළිබඳ ඔහුගේ නිර්වචනය සොයා ගන්නට සිදු වන්නේ ඔහුගේ විශ්ලේෂණය තුළිනි. නිර්මාල් 1994 න් පසුව ජවිපෙ ජන්ද පදනමේ වැදගත් කොටසක් බවට පත් වූ අර්ධ-නාගරික නව මධ්‍යම පන්තිය රැඩිකල් දේශපාලන නිෂ්ටාවක් වෙතට ඇතුළත් කර ගන්නට අසීරු වී යැයි නිගමනය කරන විට ගම්‍ය වන්නේ එම පන්තිය (නැතිනම් පන්ති ස්ථරය) රාජ්‍ය බලය දිනා ගැනීම සඳහා ආයුධ දැරීමේ නිෂ්ටාවක් වෙතට ඇතුළත් කර ගැනීම අසීරු වීය යන කාරණය නම්, ඒ තාක් දුරට කතුවරයා නිවැරදිය.

නමුත්, රැඩිකල්කරණය යන්නට පැවතිය හැකි එකම ආකෘතිය වන්නේ එය පමණද? අප සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව කරන සාකච්ජාවලදී රැඩිකල් දකුණ, රැඩිකල් ජාතිකවාදය, ආගමික රැඩිකල්වාදය, රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය වැනි යෙදුම් භාවිතා කරන විට අපි රැඩිකල්කරණයෙහි වෙනස් සහ විවිධ ආකෘතීන් හඳුනා ගන්නෙමු. ජවිපෙට අදාළව පවා සිංහල-බෞද්ධ ජාතිකවාදී අභිලාෂයන් රැඩිකල්කරණය කිරීමේ දිගු ඉතිහාසයක් තිබේ. 1980 දශකයේ අග භාගයේදී ජවිපෙ නායකත්වයෙන් දියත් කරන ලද ඊනියා දේශප්‍රේමී අරගලයද ජනවාර්ගික ජාතිකවාදයේ රැඩිකල්කරණයක් ලෙසින් තේරුම් කළ නොහැකිද?

රැඩිකල්කරණය පිළිබඳ නිර්මාල්ගේ තේරුම් කිරීම තුළ එසේ කළ හැකිද යන්න ගැටළු සහගතය. මන්ද යත්, ඔහුට අර්ධ-නාගරික මධ්‍යම පන්තිය රැඩිකල් දේශපාලන නිෂ්ටාවක් වෙතට ඇතුළත් කර ගැනීම අසීරු වේය යන ප්‍රවාදය ඉදිරිපත් කළ හැකි වන්නේ රැඩිකල්කරණය පිළිබඳ සීමිත අර්ථකථනයක් මත පදනම් වෙමින් වන බැවිනි. ඔහුගේ එම අර්ථකථනය වැඩි නෑකමක් දක්වන්නේ ඔහුම විවේචනාත්මක වන ගතානුගතික මාක්ස්වාදී බුද්ධිමය සම්ප්‍රදායට බැව් පෙනේ. මාක්ස්වාදී සම්ප්‍රදාය තුළ රැඩිකල්කරණය යන්න ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන්නේ විප්ලවවාදී පන්ති දේශපාලනය සමගය. නමුත්, නිර්මාල් තම අධ්‍යයන පත්‍රිකාව තුළ පරිශීලනය කරන (2010:78) පශ්චාත්-මාක්ස්වාදී න්‍යායවේදීන් දෙදෙනෙකු වන අර්නෙස්ටෝ ලැක්ලාවූට සහ ශන්තාල් මූෆ්ට අනුව, රැඩිකල්කරණය අවශ්‍යයෙන්ම පන්තිමය වූවක් ලෙස පූර්ව-විනිශ්චය වී නොමැත. ඔවුනට අනුව, රැඩිකල්කරණය යනු අතීත සමාජ අරගලයන්හි ප්‍රතිපලයක් ලෙසින් අප අතර පවත්නා ක්‍රියාවලීන් සහ විභවතා තීව්‍ර කිරීමේ භාවිතයකි (Karakatsanis and Herzog, 2016:202). එය අවශ්‍යයෙන්ම රාජ්‍ය බලය අරමුණු කොටගෙන ආයුධ දැරීමක් විය යුතු නැත. ලැක්ලාවූ සහ මූෆ් ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණයක් ගැන සාකච්ජා කරන්නේ රැඩිකල්කරණය පිළිබඳ මෙම සාරාත්මවාදී නොවන සංකල්පය මත පදනම් වෙමිනි.

අප රැඩිකල්කරණය පිළිබඳ මෙම නව සංකල්පීයකරණය අනුයන්නේ නම්, 1990 දශකයෙන් පසුව ජවිපෙ නිරත වූ දේශපාලනය ජනවාර්ගික ජාතිකවාදයේ රැඩිකල්කරණයක් ලෙස තේරුම් කළ හැකිය. ඒ අතරම එම රැඩිකල්කරණයෙහිලා සිංහල-බෞද්ධ අර්ධ-නාගරික නව මධ්‍යම පන්තික ශ්‍රේණීන්ගේ භූමිකාව සාකච්ජා කළ හැකිය. රැඩිකල්කරණය පිළිබඳ සාරාත්මවාදී-නොවන සංකල්පයක් මත පදනම් වූ එවන් සාකච්ජාවක් වැදගත් වන්නේ 2004/2005 කාල වකවානුවේදී මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ලාංකීය ගති ලක්ෂණ සහිත දක්ෂිණාංශික ජනතාවාදී ව්‍යාපෘතියක් ගොඩ නැගුණේ කෙසේදැයි දේශපාලනිකව විශ්ලේෂණය කර ගැනීම සඳහාය. රාජපක්ෂගේ යුද ව්‍යාපෘතියේ මුල් පෙළේ දෘෂ්ටිවාහකයෙකු ලෙස ක්‍රියා කළ ජවිපෙ, රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතිය වියහැකියාවක් බවට පත් කරන්නට කවර නම් දායකත්වයක් දක්වන ලද්දේදැයි විශ්ලේෂණය කර ගැනීම සඳහාය.

සන්නද්ධ අරගලයේ සිට ජන අරගලය දක්වා

අප යළිත් වත්මන් දේශපාලන නිමේෂය වෙතට එන්නේ නම්, තරුණ රැඩිකල් දේශපාලනයේ වෙනස් ආකෘතීන් පැන නැගීමේ විය හැකියාවක් පැහැදිලිවම නිරීක්ෂණය කළ හැකිව තිබේය යන්න මගේ අදහසයි. එය 1970 දශකයේ හෝ ’80 දශකයේ වැනි සන්නද්ධ දේශපාලනයක් වීමට තිබෙන ඉඩකඩ අතිශයින්ම සීමිතය. නමුත්, අප ජීවත් වන යුගයේ ලොව පුරා දේශපාලනිකව වඩා තීරණාත්මක වන රැඩිකල්කරණ ආකෘතිය වන ජන අරගල දේශපාලනය සඳහා ලංකාව තුළද විශාල අවකාශයක් විවර වී පවතී.

එවන් ජන අරගල දේශපාලනයක එකම විප්ලවීය ඒජන්තයා වනු ඇත්තේ අතීතයේදී මෙන් ග්‍රාමීය උගත් අතරමැද තරුණ ප්‍රජාව නොවන බව පැහැදිලිය. වෙළඳපල ආර්ථිකයේ ප්‍රසාරණයත් නව පන්ති ස්ථරවල පැන නැගීමත් හමුවේ අළුතින් දේශපාලනීකරණය වූ නාගරික හා අර්ධ-නාගරික තරුණ ප්‍රජාවක්ද අද පවතී. ලැක්ලාවියානු අරුතින්, ඔවුන් අයත් වන්නේ විස්ථාපනය වූ අනන්‍යතා (dislocated identities) අතරටය. එබැවින්, ඔවුන් කිසියම් නව හෙජමොනික ව්‍යාපෘතියක් සමග සුසම්බන්ධ කර ගැනීමේ හැකියාව විශාලය. සැබවින්ම ඔවුන්ව ස්වකීය ව්‍යාපෘතීන් සමග සුසම්බන්ධ කර ගැනීම සඳහා විවිධ තරඟකාරී දේශපාලන නායකත්වයන් අතර පවතිනු ඇත්තේ අරගලයකි. වඩාත් සරලව කිව හොත්, පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව තාප්පවල චිත්‍ර අඳිමින් සිටි තරුණ කොටස්වලට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව පවතින්නේ දක්ෂිණාංශික ජනතාවාදයට පමණක් නොවේ. ඇතැම් විට හෙජමොනික දේශපාලනය පිළිබඳ තියුණුම ඉවක් තිබෙන ජවිපෙ නායකයා වන කේ.ඩී. ලාල්කාන්ත “පොහොට්ටු ජන්දදායකයින් මෝඩයින් නොවේ” යැයි මෑතකදී පවසා ඇත්තේ විස්ථාපිත අනන්‍යතාවල දේශපාලනික වැදගත්කම ගැන ඔහු සතු ප්‍රායෝගික අවබෝධය නිසා විය හැකිය. ඔහුගේ එම ප්‍රකාශය, “ජාජබ ජන්ද ප්‍රතිශතය සියයට තුනක් දක්වා ඇද වැටුණේ මෙරට ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව පිළිබඳ ප්‍රශ්නයක් නිසාය” යන ප්‍රභූවාදී හේතු දැක්වීමෙන් සපුරාම වෙනස්ය.

තරුණ ප්‍රජාව දේශපාලනිකව ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් වත්මන් ජවිපෙ/ජාජබ ප්‍රවේශයත් පෙසප ප්‍රවේශයත් අතර කැපී පෙනෙන වෙනසක් නිරීක්ෂණය කළ හැකි බවද මෙහිදී සඳහන් කළ යුතුව ඇත. මැතිවරණ දේශපාලනය කෙරෙහි වැඩි අවධාරණයක් දක්වන ජවිපෙ/ජාජබ ප්‍රවේශය තුළ කිසියම් ආකාරයක ‘වාම-ලිබරල් ප්‍රභූවාදයක’ ගති ලක්ෂණ දැකිය හැකිය. ඔවුනගේ රැස්වීම්වල ඉතාම සාඩම්බරයෙන් වේදිකාවට කැඳවනු ලබන විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ප්‍රමුඛ බහුතරයක් මැදි වියේ ප්‍රභූවරුන් අප ඉදිරියේ මූර්තිමත් කොට දක්වන්නේ ඊනියා සාර්ථක මධ්‍යම පන්තික ජීවිතය. ඇතැම්විට, එවන් වැදගත් උගත් ප්‍රභූන් ගන්නා මග අනුයන්නට නිර්ප්‍රභූ ග්‍රාමීය සමාජය පෙළඹෙනු ඇතැයි ජවිපෙ/ජාජබ උපායමාර්ග සකසන්නන් සිතනවා විය හැකිය. මීට වෙනස්ව, පෙසප ප්‍රයත්න දරමින් සිටින්නේ නිර්ප්‍රභූ ගොවි, ධීවර, කම්කරු, ශිෂ්‍ය, විරැකියා තරුණ යනාදී ප්‍රජාවන් දේශපාලනිකව සංවිධානය කිරීමටය. ජවිපෙ/ජාජබ මූලික ආමන්ත්‍රණය මැතිවරණ ඉලක්ක කර ගත් එකක් වන විට, පෙසප ආමන්ත්‍රණය ජන අරගලය ඉලක්ක කර ගත්තකි.

මෙම වෙනස් ප්‍රවේශයන්හි මූලයන් වටහා ගැනීමේදී අප ඉහත උපුටා දැක්වූ නිර්මාල් දේවසිරිගේ අධ්‍යයන පත්‍රිකාවේ එන වැදගත් නිරීක්ෂණයක් ප්‍රයෝජනවත් වනු ඇත. එනම්, 1990 දශකයෙන් පසුව ජවිපෙ අර්ධ-නාගරික මධ්‍යම පන්තියේ අභිලාෂයන්ගේ බලපෑමට ලක්වෙමින් මැතිවරණ දේශපාලනයේ නිමග්න වීමෙහි ප්‍රතිපලයක් ලෙස පක්ෂ නායකත්වය කිසියම් ක්‍රමික ප්‍රභූකරණයකට (elitisation) ලක් වූ බවයි (2010:86-87). මෙහි ප්‍රතිපලයක් ලෙස පක්ෂය විසින් පරිබාහිර ජනප්‍රිය දේශපාලනය තුළ පවත්වාගෙන ගිය උපායමාර්ගික ආඛ්‍යානයත් පක්ෂ අභ්‍යන්තරය තුළ පවත්වාගෙන ගිය රැඩිකල් උපායමාර්ගික ආඛ්‍යානයත් අතර ආතතිය වර්ධනය විය. අභ්‍යන්තර උපායමාර්ගික ආඛ්‍යානය වෙනුවෙන් පෙනී සිටි පූර්ණ කාලීන ක්‍රියාධරයින් රැසක් පක්ෂයෙන් බිඳී ගොස් පළමුව ජන අරගල ව්‍යාපාරයද පසුව පෙසපද ගොඩ නැංවූ බව අපි දනිමු. මෙම තීරණාත්මක බෙදීම සිදු වීමට පෙරම ජවිපෙ අභ්‍යන්තරයෙහි පැවති ද්විත්ව දේශපාලන තර්කණයත් එකී තර්කණයෙහි දේශපාලන ගම්‍යතාත් පිළිබඳ නිවැරදි විශ්ලේෂණයක් සැපයීමට නිර්මාල්ගේ පත්‍රිකාව සමත්ව තිබේ.

ජවිපෙ බෙදීම පිළිබඳ කොතෙකුත් දෘෂ්ටිවාදීමය පැහැදිලි කිරීම් පැවතිය හැකිය. ඒ කෙසේ වතුදු, පැහැදිලි සමාජ ධූරාවලීගත බෙදුම් රේඛාවක් ඔස්සේ මේ කණ්ඩායම් දෙක දෙපසට බෙදී ඇති බව නිරීක්ෂණය කිරීම කිසිසේත්ම අසීරු නොවේ. ඒ, පාර්ලිමේන්තු සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් (අජිත් කුමාර හැර), වෘත්තීය සමිති සහ පක්ෂයේ මැතිවරණ සහායකයින් එක් පසෙකටත්, අභ්‍යන්තර සංවිධාන වැඩවල නිරත වෙමින් සිටි තරුණ, ශිෂ්‍ය සහ කලා අංශවල ක්‍රියාධරයින් බහුතරයක් අනෙක් පසටත් වශයෙනි. බෙදීමෙන් පසුවද මේ ධාරාවන් දෙකෙහි විකාශනය තුළ මේ වෙනස හඳුනාගත හැකිය. බෙදීමෙන් පසුව, විශේෂයෙන්ම ශිෂ්‍ය දේශපාලනයේ ක්‍රියාකාරීත්වය ඔස්සේ නව තරුණ නායකයින් තනන්නට සමත්ව ඇත්තේ ජවිපෙ නොව පෙසපය. දුමින්ද නාගමුව, සංජීව බණ්ඩාර සහ ළහිරු වීරසේකරගෙන් සංකේතවත් වන පරිදි පරම්පරා කිහිපයක ශිෂ්‍ය නායකයින් අඛණ්ඩව ආකර්ෂණය කරගන්නට පෙසප සමත්ව තිබේ.

කෙසේ වුවත්, ජන අරගල දේශපාලනය තුළ ජවිපෙ සහ පෙසප අඩු වැඩි වශයෙන් (පෙසප වැඩි වශයෙන්) මුහුණ දෙන ගැටළුවක් වන්නේ එක් පසෙකින් බෝල්ෂෙවික් ආකෘතියේ අභ්‍යන්තර පක්ෂ යාන්ත්‍රණයක් පවත්වාගෙන අතරම අනෙක් අතින් බහු-විධ සමාජ ඉල්ලීම් සුසම්බන්ධ කරන්නා වූ මහජන ව්‍යාපාරයක් ගොඩ නංවන්නේ කෙසේද යන්නයි. නිර්මාල් සාකච්ජා කරන ජවිපෙ ද්විත්ව උපායමාර්ගය මගින් ප්‍රයත්න දරා ඇත්තේ මෙම ගැටළුව විසඳීමටය. වත්මනෙහි පරිබාහිර ජනප්‍රිය උපායමාර්ගයේ බලපෑමට ලක්ව සැලකිය යුතු අභ්‍යන්තර පරිවර්තනයකට ලක්ව තිබෙන ජවිපෙට මේ ගැටළුව අදාළ වන්නේ අඩු වශයෙනි. නමුත්, පෙසපට එය වැඩි වශයෙන් අදාළ වේ. මෙහිදී එක්කෝ යළිත් සාම්ප්‍රදායික විසඳුම වන ද්විත්ව උපායමාර්ගයක් වෙත යොමු වන්නේද, නැතහොත් පක්ෂයත් මහජන ව්‍යාපාරයත් අතර දයලෙක්තික ක්‍රියාකාරීත්වය ඇසුරින් ඒ දෙකෙහිම සාධනීය විභවතා ඇතුළත් කර ගත් වඩා උසස් නව තත්ත්වයක් (ග්‍රාම්ස්චියානු ඓන්ද්‍රීය පක්ෂයක්) කරා ගමන් කරන්නේද යන්න පෙසප හමුවේ ඇති න්‍යායික (සහ එනයින් ප්‍රායෝගික) ගැටළුවකි.

පක්ෂය සහ මහජන ව්‍යාපාරය අතර දයලෙක්තිකයට අදාළව ගත් කල කිසියම් සුබවාදී වර්ධනයක්ද අද නිරීක්ෂණය කළ හැකි බව මෙහිදී සඳහන් කළ යුතුය. එය ඉතාම කෙටියෙන් පැහැදිලි කළ හොත් මෙසේය: ජවිපෙ 1971 නැගී සිටීම සේම 1987-89 නැගී සිටීමද සාක්ෂි දරන පරිදි, පක්ෂය ග්‍රාමීය නිර්ප්‍රභූ ජනයාගේ විමුක්ති අභිලාෂයන් නියෝජනය කරන බව කියා සිටියද සැබවින්ම එය පැවතියේ එකී නිර්ප්‍රභූ ජනයාගෙන් වෙන් වූ කේඩරයක් ලෙසය. පක්ෂයට නොහොත් විප්ලවවාදී සංවිධානයට බැඳෙන ක්‍රියාධරයා තම පවුල, හිත මිතුරන්, ගම ඇතුළු සමස්ත අතීත ජීවිතයට සමු දිය යුතු විය. විශේෂයෙන්ම සන්නද්ධ ගැටුම් පැවති කාලයේදී පක්ෂ පූර්ණ කාලීනයන් ගම තුළ වාසය කිරීම සලකන ලද්දේ ඔවුන් අනතුරට නිරාවරණය කිරීමක් ලෙසය. එබැවින්, ඔවුන් වැඩ කළේ තමන්ට ආගන්තුක ගම් හා නගරවලය. එපමණක් නොවේ. ඔවුන්ට පක්ෂය විසින් අළුත් නම් පවා ලබා දෙන ලදී. ප්‍රජාවගෙන් පරාරෝපණය වූ, එසේම තමන් ප්‍රජාවට ඉහළින් සිටින්නේ යැයි උපකල්පනය කළ වියුක්ත පක්ෂ ආකෘතියක් නිර්මාණය වූයේ එසේය. උයන්ගොඩගේ විශ්ලේෂණය මදක් ඉදිරියට රැගෙන ගිය හොත්, මෙසේ පරාරෝපිත පක්ෂයක් නිර්මාණය වීමේ මූලය වන්නේ එය ග්‍රාමීය උගත් අතරමැද සමාජ පන්තියේ නියෝජනයක් වීම බැව් පෙන්වා දිය හැකිය. නමුත්, වත්මන් ප්‍රජාතාන්ත්‍රික ජන අරගල දේශපාලනයේ යුගයේදී පක්ෂය, මහජන ව්‍යාපාරය සහ ප්‍රජාව එකිනෙක අභිමුඛ වීම සහ එකිනෙක මත අන්තර් ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත් වේ. මාවෝගේ වචනයෙන් කිව හොත්, පක්ෂය ජනතාව විශ්වාස කළ යුතු අතර ජනතාවගෙන් උගත යුතුය.

අවසන් වශයෙන්, පක්ෂ යනු වත්මන් යුගයේ ජන අරගල දේශපාලනයේ එකම වරප්‍රසාදිත ඒජන්තයා ලෙස සැලකිය නොහැකි බැව්ද මෙයට එකතු කළ යුතුය. සාම්ප්‍රදායික පක්ෂ යාන්ත්‍රණයක් නඩත්තු නොකරන්නා වූත්, බහුවිධ ජාලගත සබඳතා ගොඩ නැංවීම මත පදනම් වූත් නව ස්වරූපයේ දේශපාලන එකතූන් ඇතැම්විට රැඩිකල් තරුණ කොටස්වල බහු-විධ ඉල්ලීම් සුසම්බන්ධ කිරීමෙහිලා වඩා සාර්ථක වී ඇති බව සමකාලීන ගෝලීය අත්දැකීම් අපට උගන්වයි (‘කළු ජීවිත වටී’, ‘අනාගතය සඳහා සිකුරාදාවන්’, ඉන්දීය සිසු-ජන ව්‍යාපාරය). මේ අප මෙතෙක් දැන නොසිටි එවන් ජාලගත විරෝධතාවල පැන නැගීම්ද අපේක්ෂා කළ හැකි කාල වකවානුවකි. මහජන අරගල පැන නගින්නේ බොහෝ විට පක්ෂ තර්කණයන්ට ඔබ්බෙනි. ඉදිරි කාලයේදී තරුණ පරපුර වෙතින් නව ආකාරයේ දේශපාලන සංවිධාන ආකෘතීන්ද, අසම්ප්‍රදායික විරෝධතා මාදිලීන්ද මතු වීමටත් එමගින් දවසේ දේශපාලන න්‍යාය පත්‍රය රැඩිකල් පරිවර්තනයකට ලක් වන්නටත් විශාල අවකාශයක් තිබේ.

පරීශීලන

Althusser, Louis, 2005, Contradictions and overdetermination, in For Marx, Verso, London/New York.

Dewasiri, Nirmal, 2010, Mainstreaming Radical Politics in Sri Lanka: The Case of JVP post-1977, In PCD (Power, Conflict Democracy) journal, vol 2, no.01, https://journal.ugm.ac.id/pcd/article/view/25721/16314

Karakatsanis, Leonidas & Herzog, Marc, 2016, Radicalisation as Form: Beyond the Security Paradigm, in Journal of Contemporary European Studies, Vol 24, No. 02. Routledge.

Laclau, Ernesto and Mouffe, Chantal, 1985, Hegemony and Socialist Strategy: Towards a Radical Democratic Politics, Verso, London/New York.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    මේ රට දැන් කිසිවකට ආපසු හැරවිය නොහැකි මට්ටමකට පැමිණ ඇත.
    මේ විනාශය කළේ කවුද? ඔබේ හදවතේ ඇති ශෝකය ප්‍රකාශ කිරීමට බිය වන්නේ ඇයි? ඔබ කොපමණ කාලයක් බියෙන් ජීවත් වේද?
    .
    රජ මංකොල්ලකාරයන් නිරන්තරයෙන් ප්‍රශංසාවට ලක් වේ. එය “දවසේ චාරිත්රයක්” බවට පත්වෙමින් තිබේ:
    .
    සමාන අදහස් ඇති ඕනෑම ජාතියක් එය කළේ රාජ්‍ය මාධ්‍ය හරහා පමණි.
    .
    නමුත් සම්පූර්ණයෙන්ම අබ්බගාත ශ්‍රී ලාංකිකයන් තවත් සැතපුම් ගණනක් ගමන් කර ඇත, පෞද්ගලික මාධ්‍ය රාජ්‍ය මාධ්‍යවලින් ඔබ්බට ගොස් එම කාර්යය ඉටු කරයි. සාමාන්‍ය මිනිසුන් සදාකාලික අන්ධ හා බිහිරි අයට සමාන බව මම දකිමි.
    .
    ඔවුන් කරන්නේ අනෙකා අනුකරණය කිරීම පමණි.
    .
    මෝඩයන්ගෙන් පිරුණු රටක්, ඔබ සහ ජාතියට වඩා හොඳ නායකත්වය දිය හැකි උගත් මිනිසුන් පාලනය කිරීමට මංකොල්ලකාරයින්ට සහ රජ මංකොල්ලකරුවන්ට මග පෑදුවේය. පැන්ඩෝරා අතිවිශාල අරමුදල් කොල්ලකෑම් සහ අනෙකුත් සියලුම මුදල් කොල්ලකෑම් උණුසුම් පුවත් වන අතර, කෙසේ වෙතත්, අද වන විටත් මෝඩ මිනිසුන් විසින් කොල්ලකෑම්කරුවන්ට ප්‍රශංසා කරති. ශිෂ්ට සම්පන්න රටක LOOTERS වයස නොතකා ලිංගික අවයවයේ එල්ලා තබන්නට ඇත.
    :
    එසේනම් කාට දොස් පැවරිය යුතුද? මාධ්‍ය වංචාකරුවන් සහ ඔවුන්ව ස්වයං ප්‍රකාශ කළ පුද්ගලයින් – ඒ ඔබයි.

    • 4
      0

      ඔබට මොළයක් තිබීමට ආශීර්වාද වේවා! ඔබ අද නැඟිටින්නේ නැත්නම් කවදාද?
      .
      අද වන විට රාජපක්ෂලාගෙන් මුළු රටම විනාශ වී ඇතත් ඊයේ ලැජ්ජ නැති මැදමූලන පරයන්ට නිදහස් සැමරුමට යාමට තරම් නිර්භීතකමක් තිබේ. නාමල් බබා පහුගිය කාලේ කෙන්යාවේ දේපල හෙව්වේ කාගේ සල්ලිවලින්ද කියලා මතයක් තියෙනවා. ශ්‍රී ලංකාව නිදහස් අධ්‍යාපනයට පින්සිදු වන්නට අවශ්‍ය තරම් නීතීඥයන් සහ විනිසුරුවන් බිහි කළ නමුත් ඔවුන් බොහෝ දෙනා අද හැසිරෙන්නේ සම්පූර්ණයෙන්ම අන්ධ හා බිහිරි අය ලෙසය. ඒ නියම යහපත් මානවවාදියා වන රන්ජන් රාමනායක තවදුරටත් කිසිදු හේතුවක් නොමැතිව සිරගත කරමින් සිටී. රටක්, “මංකොල්ලකාරයන්ගේ රජ” විසින් පාලනය කරනු ලබන අතර, එවැනි සැබෑ යහපත් මිනිසුන්ගේ සටන්කරුවන් තවදුරටත් සිරගෙවල්වල තබාගෙන සිටිනවාද?

      NPP ට මගේ ආයාචනය, බලයට පැමිණ මේ රටේ සුහදතාවන්ට එකතු වී මේ මිනිසුන් සදහටම සිරගත කරන්න. පහුගිය අවුරුදු 15ක් තිස්සේ කොල්ලකෑම් වලට අහුවෙන අපේ අහිංසක මිනිස්සුන්ගේ දුක සනසන්න පොඩි එවුන්ගේ ඉඳන් අන්තිම හුස්ම හෙලන අය දක්වා හිරේ දාන්න ඕනේ.
      ශ්‍රී ලාංකිකයන් වන අප කිසි දිනෙක අපගේ නිදහස වෙනුවෙන් සටන් නොකළ නමුත් ඉන්දියාව තුළ යැපීමට එරෙහිව සටන් කළ සටන්කරුවන්ට පින්සිදු වන්නට අපට නිදහස ලැබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස අපට නිදහස ද හිමි වූ බව ඉතිහාසය අපට සිහිපත් කරයි.
      අපේ සිංහලයා බොරුවට හරිම දක්ෂයි. අලුත්ම එක තමයි ගෝටා ජනාධිපති කරවීම, ඔහුගේ සැබෑ හැකියාවන් ගැන හැදෑරීමක් නොකර ඔහුව වර්ණනා කිරීම. අද, තේරී පත් වූ ජනාධිපතිවරයා සෑම නිවසකම මුළුතැන්ගෙය “ආරක්ෂා කිරීමට” අසමත් වී ඇත – ඔහුගේ උජාරු පොරොන්දු “පැහැදිලි වෙනස්කම් ඇති කිරීම” ඉලක්ක කර ගත්තද. ඔවුන් නැවතත් කාවද රවටා ගත්තේ? එකම පුන්නක්කු බොන බහුතරය සිංහලය. සුළු ජාතීන්ට රිදවීමට සිංහල ඡන්දදායකයන් ලවා බලයට පැමිණි බව උස් හඬින් කීවේය. අපි හැමෝම එකයි, ලංකාවේ හැමෝගෙම රුධිර නාල හරහා යන්නේ එක ලේ වර්ගයක් විතරයි. ජනවර්ග තුනේම බෙදීම් ඇති කරන අයව ලිංගේන්ද්‍රියේ එල්ලිය යුතුයි.
      කෙසේ වෙතත්, තම බඩගෝස්තරවාදී දේශපාලනය ජීවත් කිරීම සඳහා ඕනෑම දෙයක් කරන ශ්‍රී ලංකා නායකයින්, ඡන්දදායකයින්ගේ වාසි සඳහා සාමාන්‍ය මනස නොමඟ යවා ඔවුන්ගෙන් තේරී පත්වීමට එය මූලික කර ගත්හ.

  • 3
    0

    1 of 2…සුමිත්, ඔයා අද ලියන මේ කතන්දරේ මැදි වයසෙ ඉන්න මමත් ජීවිත කාලයක් පුරාම අහල තියෙනවා. ඒ කියන්නෙ “හෙට හරිම භයංකාරයි….” කියන කතාව. ඇත්තටම ඒක සිද්ද උනාද? සමස්ත ලෝකයා දෙස බලන කොට නම් මම හිතන්නේ ඔබේ මතය නිවැරදි නෑ. හේතුව, මම දකින්නෙ, දළ වශයෙන් (in general) අද ලෝකය මම පොඩි එකෙක් කාලෙ තිබුන ලෝකයට වඩා ඉතාම හොඳ එකක් බවයි. මානවයා ඉතිහාසයේ ඉඳල ගෙනාපු ගෝත්‍රික මති මතාන්දර සෑහෙන ප්‍රමාණයක් මගේ ජීවිත කාලය තුලදීම හොඳ පැත්තට වෙනස් වෙලා තියෙනවා. පරිසර දූෂණය ගැන කොච්චර කතිකාවතක් අද කෙරෙනවාද? කොච්චර ක්‍රියා මාර්ග, හා සැලසුම්, උපක්‍රම 70,80 ගණන් වලට වඩා කරනවද! අලුතින් කොච්චර රටවල් මානව අයිතීන්, කාන්තා හා ළමා ආරක්ෂණ කටයුතු, ඒ වගේම පුද්ගල අයිතීන් හා සම ලිංගික අයිතීන් දියුණු කරලා තියෙනවද? 80 ගණන් වලට වඩා ඩිජිටල් තාක්ෂණය ආලෝක වර්ෂ ගණනාවක් පහු කරලා නේද තියෙන්නේ? ඒ මතම ඉතාම දැඩි ලෙස දියුණු වූ ආර්ථික සමාජයීය හා සෞඛ්‍ය මට්ටම් නිසා කොච්චර රටවල් වල මානව සම්පත් උසස් තලයකට ලඟා වෙලා තියෙනවද? මම නම් ඔබ කියන දැඩි අඳුරු පැත්ත නෙවෙයි, යම්කිසි ධනාත්මක ඉදිරියාවක් තමයි නිතරම අත් දකින්නෙ. ඔබ එයට එකඟ නොවිය හැකියි, ප්‍රශ්නයක් නෑ ඒ ඔබේ අයිතිය, නමුත් මම ඊට සෑහෙන වෙනස් මතයකයි ඉන්නේ.

  • 3
    0

    2 of 2…අනික, අද තිබෙන්නාවූ ගෝලීය ප්‍රශ්ණ ඔක්කොටම ධනවාදය හෝ ‘වසංගත ධනවාදය’ දෘඩ හේතුවක් නොවෙයි. ධනවාදයෙන් විනාශයට පත් වූ රටවල් ඕනෑ තරම් තිබුනා, තමයි. හැබැයි සමාජවාදය කියන්නෙ සුරංගනාවියක් කියන පල් බොරුවක් විශ්වාශ කරපු මිනිස්සු අද කොච්චර නම් අනාතද! ඒකෙන් ඔය හැම රටේම තිබිච්ච ඔක්කොම ඇද කුද දිගෑරුනාද? නෑනේ!! 1917 ඉඳලා කොච්චර නම් ඊනියා පොදු ජන හිතකාමී වාමාංශික විප්ලව වලින් කොච්චර නම් රටවල් බංකොලොත් වෙලා තියෙනවද? මනුෂ්‍යයෝ කොච්චර පර ලෝකෙට ගිහිල්ල තියෙනවද? කොච්චර රටවල් ඒකාධිපතිත්වයට ගිහිල්ල මහජනතාව තවමත් දුක් පීඩා විඳිනවාද? හැබැයි ඔබ ලංකාව සම්බන්ධයෙන් කියන කතාවට එකඟ විය හැකියි. ඒ ගැන ම අපිට කොච්චර උදාහරණ දෙන්න පුලුවන්ද? 70-77, 1971, 1988/89 DJV ‘දේශප්‍රේමී ව්‍යාපාරය’ සහ 2005 සිට රාජපක්ෂලා ගෙනාපු දේශප්‍රේමී රණවිරු ගාය …. යනාදිය! දැනට අවුරුදු පනහක විතර ඉඳල ඇතිවූ සමාජ ආර්ථික හරයන් විපරිත වීම 2005 ඉඳන් රාජපක්ෂලා කරපු මහා ආර්ථික විනාශයත් එක්කම දැන් වල පල්ලමටම ගෙනල්ල ඉවරනේ? ඒ ගැන CT වල අනන්තවත් ලියවෙලා තියෙන නිසා වැඩි දුර නොලියමි.

    • 2
      0

      Jit
      .
      අද මිනිසුන්ට වැටහෙමින් පවතිනවා තිබුන හොඳ රජය ඉවත් කරලා පයින් ගහලා රට කන තිරිසන් බල්ලන්ට බලය පැවරීම නිසා උණ විශාල මහානීය /
      .
      අපේ සෝභිත හාමුදුරුවෝ අද ජීවත්ව සිටියා නම් එතුමාණන් වහන්සේ පිටිපස්සේ අපිට ගොඩනැඟෙන්න තිබුණා රටට කොහොමද රටේ ඉදිරියට 2015ට වඩා එකතුවී පාදඩයන්
      හිරගෙදරට යවන විදියට කටයුතු කරන්නේ කොහොමද කියල/
      .
      අද වෙනකොට රටේ Janaya thula දියුණුවක් ඇති වී තිබෙනවා එනමුත් බලයට කෑදර මිනිසුන් එකිනෙකා නැවතත් බලකාමී කඳවුරු වල පිටුපස සිටීමෙන් මම තමයි ඊළඟ කියන ගතිය පෙන්වමින් ඉන්නවා /
      .
      එනමුත් ජේවීපී එක සම්බන්ධ ජනතා බලවේගය මිනිසුන්ට කරුණු දක්වමින් ඉන්නවා /

      ජේවීපී නොවී එනමුත් එකතුවී ජනතා බලවේගයක් යටතේ මේ රට හරි තත්ත්වයට ගෙන එන්නට පුළුවන් අවුරුදු දෙකක් ඇතුළත වගේ කාලයක් තුළ කියලා ඒ අය බොරු ෂෝක් නැහැ ඒ අය පෙන්වලා තියෙනවා බොරු ෂෝක් නැහැ කියලා රාජපක්ෂවරු මේ රටේ මියයන්න ඕන හිරගෙවල් වල/
      .
      ඒකට විරුද්ධව කිසි කෙනෙකුට කිසි දෙයක් නොහැකි කිව නොහැකි එලෙස මිනිසුන් අද වත් හිතන්නේ නැත්තං මේ රටේ ඉන්නේ ඉතාම නූගත් තිරිසන් මිනිසුන් බව සමාජය සමාජය විසින්ම තේරුම් ගත යුතුයි මෙය ඉදිරි කාලයේ සිදුවෙන්නට ඉඩ තියෙනවා /
      එනමුත් සංඝරත්නය එකතැන පල්වෙන සංඝරත්නය දේශපාලක pahalana තක්කඩියන්ට කත් අදින කොටුවේ හාමුදුරුවෝ වැනි පාදඩ සිවුරු දමා ගත් චීවරධාරීන් මේ තත්ත්වයට අකුල් හෙලමින් ඉන්නවා /.

      එය මිනිසුන් දැන ගත යුතුයි ඉදිරි කාලයේ මිනිසුන්ට වැටහෙනවා ඒ තමයි මම හිතන විදිය
      .

      මම හිතන්නේ මම වගේ අදහස් දරන මැදිවියේ කට්ටිය රට තුළ ගොඩක් ඉන්නවා රටින් පිටත ගොඩක් ඉන්නවා ඒ මිනිසුන් නිහඬ වෙන්නේ නැහැ මේ එන විදියට රාජපක්ෂවරු සිරගත විය යුතුයි ඒ ගෙවල් වල ඉන්න පොඩි එකාගේ පවා ඒකට හේතුව එවුන් අදටත් කරන රටට කරන හානිය ඉතාමත්ම භයානකයි ☹🐃☹🐃☹🐃☹🐃☹🐃☹🐃

      • 3
        1

        LM ,…අද ශාසනය දිහා බැලුවම දුශ්ශීල හාමුදුරුවෝ තමයි 99% ඉන්නේ. ඒ කියන්නේ අඩුම ගනනේ පන්සිල් පද පහ වත් රකින හාමුදුරුවන් 1% ත් අඩු බවයි මගේ වැටහීම. මේ ගැන මොකුත්ම කරන්න බැරි බව විතරයි මට ඉතා කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ. මොකද, සිවුර ඇතුලෙ ඉන්න පුද්ගලයා මොන කුජීත වැඩේ කලත් සිවුරට ගරු කල යූතුයි කියල මහා මිත්‍යාවක් ඔය දේවදත්ත කණ්ඩායම් විසින්ම සමාජගත කරලා තියෙනවනේ? අපේ බෞද්ධයෝ ඔක්කොම වගේ ඒක ඉහලින්ම පිලිගන්නවා, පිලිපදිනවනේ? මේ කට්ටිය ඔක්කොම කැළණි ගඟෙන් ‘මතු වූ’ නාග රාජයා ගේ කඹේත් ගිල්ල ප්‍රඥාවන්තයෝනේ ? ඉතිං මොකුත් කරන්න බෑ බුද්ධාගම බේරා ගන්ටවත්, රට බේරා ගන්ටවත්.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.