20 April, 2024

Blog

මහාචාර්ය ගනනාත් ඔබේසේකර පිළිබඳ පෞද්ගලික සටහනක්

ප්‍රේමකුමාර ද සිල්වා

මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා

අද දින (පෙබරාවාරි 2) සිය 93 වන වියට පා තබන කෘතහස්ත එමෙන්ම ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වූ දැනට ලෝකයේ ජීවත්වන ප්‍රමුඛ පෙළේ මානව විද්‍යාඥයන් අතර ඉහළින්ම සිටින මහාචාර්ය ගනනාත් ඔබේසේකරට නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් ඔහු පිළිබඳ කෙටි පෞද්ගලික සටහනක් තැබීමට කැමැත්තෙමි.

ඔබේසේකරගේ ශාස්ත්‍රීය ලිපි ලේඛන අපට මුල් වරට සමාජවිද්‍යා ශිෂ්‍යයන් ලෙස හඳුන්වාදීමේ ගෞරවය ආචාර්ය නිව්ටන් ගුණසිංහයන්ට හිමි වේ. ඒ 1980 දශකයේ මුල් භාගයේ දී අපගේ පළමු වසරේ දේශනවල පටන්ය. මගේ මතකයේ හැටියට අනගාරික ධර්මපාලතුමා හා පත්තිනි ඇදහිල්ල පිළිබඳ ඔබේසේකරගේ ශාස්ත්‍රීය ලියකියවිලි අපහට හඳුන්වා දීම මගින්ය. එතැන් සිට ඔහුගේ ශාස්ත්‍රීය ලෝකය තුළ සැරිසැරීමට ප්‍රබල රුචිකත්වයක් අපට ඇති විය.

මහාචාර්ය ගනනාත් ඔබේසේකර

1990 දශකයේ මුල් භාගයේ සිට පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු ලෙස ඔබේසේකරගේ අධ්‍යයන වඩ වඩාත් පරිශීලනය කිරීමට මා පෙළඹුණා පමණක් නොව සමාජවිද්‍යාව තුළ සුවිශේෂ විෂය ක්ෂේත්‍රයක් වන ආගම පිළිබඳ සමාජවිද්‍යාව හැදෑරීම කෙරෙහි මා පොළඹවන ලද්දේත් ඔහුගේ ආගම පිළිබඳ ශාස්ත්‍රීය ලිපි ලේඛන බව සඳහන් කරන්නේ ඔහුට ගෞරවයක් හැටියටය. මේ ප්‍රතාපවත් ‘සමාජ චින්තකයා’ මුල් වරට හමුවීමේ භාග්‍යය හිමි වූයේ මා පශ්චාත් උපාධිධාරියකු ලෙස පර්යේෂණ කටයුතු ආරම්භ කළ මුල් වකවානුවේ දී ආචාර්ය සසංක පෙරේරාගේ සම්බන්ධය මතය. ඒ මාගේ පර්යේෂණ ව්‍යාපෘතිය වන “ගෝලීයකරණය හා යාතුකර්මවල විපර්යාසය බලි යාග” යන මැයෙන් (Globalization and Transformation of Planetary Rituals in Southern Sri Lanka), දකුණු පළාතේ බෙන්තර ප්‍රදේශයට අදාළව පැවැත්වෙන පර්යේෂණය සඳහා උපදෙස් ලබා ගැනීමට මම ඔහුගේ බම්බලපිටියේ පිහිටි නිවසට ගිය අවස්ථාවකදීය. සාකච්ඡාව ආරම්භ වී සුළු මොහොතකින් ඔහු පෙරළා මගෙන් ප්‍රශ්න කළේ “ප්‍රේමකුමාර දැන් බලි තිබෙනවාද?” යනුවෙනි. පෙරලා මා පිළිතුරු සැපයූයේ “ඇත්තටම මගේ පර්යේෂණ ගැටලුවත් එයම බව” පවසමිනි.

විශේෂයෙන්ම ඔහු හා රිචඩ් ගෝම්බ්‍රිජ් සමග එක් වී පළ කරන ලද “Buddhism Transformed” (1988) කෘතිය තුළ ද බලි යාතුකර්මය මෙන්ම පොදු සාම්ප්‍රදායික යාතුකර්ම අභාවයට යන්නේය යන අදහස ප්‍රබලව ඉදිරිපත් කොට ඇත. එය ඔහු විසින් රචනා කරන ලද අග්‍රගණ්‍ය පර්යේෂණ කෘතියක් වන “The Cult of Goddess Pattini” (1984) තුළ ද අවධාරණය කොට ඇත. තරුණ පර්යේෂකයකු ලෙස මෙම ස්ථාවරය ආනුභවික පර්යේෂණ හරහා සොයා බැලීමේ රුචිය හා කුතුහලහය මා තුළ මෙම සාකච්ඡාවෙන් පසුව වඩා වර්ධනය වූ බව සඳහන් කළ යුතුය. විශේෂයෙන්ම බෙන්තර මීගම ප්‍රදේශය ඔහු කුඩා කල සිටම සැරිසැරූ සංස්කෘතික කලාපයකි. මාගේ පර්යේෂණ කටයුතු සඳහා එවකට සිටි ඇදුරු පරම්පරා සමග ඇසුරු කිරීමේ දී මහාචාර්ය ඔබේසේකර පිළිබඳ ඔවුන් ඉහළින්ම කථා කළ බව මට හොඳින් මතකය. දකුණ, බස්නාහිර හා සබරගමුව යන සංස්කෘතික කලාපවල ඔහුගේ මුල්කාලීන පර්යේෂණ ඔස්සේ ගොඩනගා ඇති සමාජ-මානව විද්‍යාත්මක සාහිත්‍යය අති ප්‍රබල මෙන්ම අප වැනි මානව විද්‍යා පර්යේෂකයන්ට ඒවායේ නව මානයන් සොයා ගැනීමට ප්‍රබල අත්වැලක් ද සපයයි.

බෙන්තර සංස්කෘතික කලාපය මත පදනම් වී මා සිදු කළ ශාස්ත්‍රපති උපාධිය සඳහා කරන ලද පර්යේෂණ නිබන්ධයේ එක් පරීක්ෂකවරයකු වූයේ ද මහාචාර්ය ඔබේසේකරය. මෙම පර්යේෂණ නිබන්ධනය ඔහු විසින් ඉහළින් වර්ණනා කළා පමණක් නොව එය ප්‍රකාශයට පත් කළ යුතු බවට ද නිර්දේශ ඉදිරිපත් කොට තිබිණි. එකල මෙම නිබන්ධය ග්‍රන්ථයක් ලෙස පළ කිරීමට එතුමා විසින් මා දිරිමත් කළා පමණක් නොව ඊට ප්‍රබල පෙරවදනක් සැපයීමෙන් අප වැනි තරුණ පර්යේෂකයන් දිරිමත් කිරීමට කටයුතු කිරීම ද ඉතා අගය කළ යුතුය. ශාස්ත්‍රපති උපාධියෙන් පසුව ආචාර්ය උපාධිය සඳහා අනිවාර්යයෙන්ම විදේශගත විය යුතු බව ඔහුගේ අදහස විය. එපමණක් නොව ඔහු සේවය කරමින් සිටි ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයට අයදුම්පතක් දමන මෙන් ද මා හට උපදෙස් සැපයීය. ඒ අනුව මා ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයට පමණක් නොව මහාචාර්ය ජොනතන් ස්පෙන්සර්ගේ ඉල්ලීම මත එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ද අයදුම් පතක් යැව්වෙමි. මෙම අයදුම් පත් දෙකටම ඉහළම මට්ටමේ රෙකමදාරු වාර්තා ඔහු විසින් සපයා ඇති බව මට පසුව ආරංචි විය. එහි ප්‍රතිඵලයක් ලෙස එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් සමග ආචාර්ය උපාධිය හැදෑරීමේ අවස්ථාව මා වෙත විවර කර දීමට කටයුතු කළ මහාචාර්ය ඔබේසේකරට මාගේ ගෞරව ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමි. මෙහිදී මහාචාර්ය සිරි හෙට්ටිගේ විසින් දක්වන ලද දායකත්වය ද අගය කරමි. මාගේ ශාස්ත්‍රීය ජීවිතය තුළ යමක් අත්පත් කරගෙන ඇත්තේ නම් එහි ගෞරවයෙන් කොටසක් මහාචාර්ය ගනනාත් ඔබේසේකරට ද හිමි විය යුතු බව මෙහිලා අනතිමානීව සඳහන් කළ යුතුමය.

මා ආචාර්ය උපාධිය නිම කොට පැමිණි වහාම ඔහුගේ මනස්කාන්ත පරිසරයක පිහිටි නුවර නිවසේදී ආචාර්ය උපාධි නිබන්ධයේ පිටපතක් සමග හමු වූ විට මෙම නිබන්ධය ජාත්‍යන්තර ප්‍රකාශකයකු හරහා ඉක්මනින් පළ කළ යුතු බව ඔහුගේ අදහස විය. මා ශ්‍රී පාදස්ථානය අළලා රචනා කරන ලද මානව වංශවේද හා ඓතිහාසික මූලාශ්‍රය පදනම් කරගත් එම නිබන්ධයට වසර 17ක් ගත වී ඇතත් මහාචාර්යවරයාගේ ඉල්ලීම මට ඉටු කළ නොහැකි වීම පිළිබඳව කණගාටු වන අතර එම ඉල්ලීම හැකි ඉක්මනින් ඉටු කිරීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කරමි.

මහාචාර්ය ඔබේසේකර ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වන අවස්ථාවකට සම්බන්ධ වීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකමි. ඒ එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ දී 2003 වසරේ බ්‍රිතාන්‍ය​ රාජකීය මානව විද්‍යා සංගමයේ පර්යේෂණ සමුළුවට සමගාමීව මානව විද්‍යා ක්ෂේත්‍රයට අනුපමේය දායකත්වයන් ලබා දුන් අග්‍රගණ්‍ය මානව විද්‍යාඥයන්ට ජීවිතයේ එක් වරක් පමණක් ප්‍රදානය කරනු ලබන Thomas H. Huxley සම්මානය මහාචාර්ය ඔබේසේකරට හිමිවන අවස්ථාවේ දී එහි සිටීමය. එම ගෞරවාන්විත සභාවේ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය රංජනී ඔබේසේකර මහත්මිය ද සිටි බව හොඳින් මතකය. 1900 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම සම්මානය මීට පෙර යුරෝපීය නොවන මානව විද්‍යාඥයින් දෙදෙනෙකුට පමණක් හිමි වී ඇත. ඒ ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය එස්.ජේ. තම්බයියා (1997) හා ඉන්දියානු ජාතික මහාචාර්ය එම්.එන්. සිරිනිවාස් (1976) යන දෙදෙනාටය.

ශ්‍රී ලාංකේය සංස්කෘතිය, සමාජය, ඉතිහාසය හා දේශපාලනය පිළිබඳව ඔහු විසින් ගොඩනගා ඇති අතිවිශාල සමාජ-මානව විද්‍යාත්මක පර්යේෂිත දැනුම් සම්භාරය අති ප්‍රබලය. එසේම ඔහුගේ ආභාසය හා ආශීර්වාදය ලබමින් බිහි වූ ශාස්ත්‍රවන්තයෝද බෙහෙවි. අවුරුදු 70කට වඩා දිවයන ඔහුගේ පර්යේෂණ ජීවිතය මේ මොහොත දක්වාම අත්හැර නැති බව අප හොඳින් දන්නා කරුණකි. ඊට කදිම නිදසුනක් ලෙස ඔහු විසින් පළ කර ඇති ග්‍රන්ථ නාමාවලිය දෙස බැලීමම ප්‍රමාණවත් බව සඳහන් කරමි. එමතු නොව ගතින් වියපත් වුවත් තවමත් ග්‍රන්ථකරණයට හා ශාස්ත්‍රීය පර්යේෂණ කෙරේ ඔහු දක්වන කැමැත්ත විස්මිතය- අප වැනි සමාජ මානව විද්‍යා පර්යේෂකයන්ට හා සෙසු අංකූර පර්යේෂකයන්ට ඔහුගේ ආදර්ශවත් ශාස්ත්‍රීය ජීවිතය ගුරු කොට ගත හැකිය. සමාජීය හා මානව ශාස්ත්‍ර පර්යේෂණ ලෝකය ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ ගරා වැටෙමින් තිබෙන සන්දර්භයක් තුළ මහාචාර්ය ඔබේසේකර වැන්නවුන්ගේ අඩුව අපට දැනෙන කාලය වැඩි ඈතක නොවනු ඇත.

ඔබට චිරං ජයතු! ආවඩා ආයුබෝ වේවා!

*ප්‍රේමකුමාර ද සිල්වා – සමාජවිද්‍යා අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Happy Birthday! We need you more than ever now to call this country back to its senses.
    .
    I’ve never met you, but your daughter, Nalinika, was in the University with me. I was more than a dozen years older, reading English, same as you for the first degree.
    .
    Nalinika was doing Vet Science, so we called her “Dog”! she adored all animals, but also found time to help us with a One-act play that I directed. She even visited Bandarawela, (a “Club” trip) stayed at my mother’s.
    .
    Panini Edirisinhe

  • 0
    0

    1 of 3…Professor Gananath Obeysekera (GO) is no doubt, a classic example of an esteemed academic that Ceylon produced before the so-called independence, under distinguished university dons who never bowed down nor were expected to, to political pressure which is an extreme rarity today. He certainly fits into the calibre of Prof. Ashly Halpe, K.M. De Silva, Leslie Gunawardena, and the likes. His contributions to the knowledge of local anthropology are huge particularly with his trailblazing research in traditional Sri Lankan beliefs.
    However, with all due respects, I have my doubts that his work can be classified at par with the works of world famous anthropologists like David Graeber, Ivan Brady, Lorraine Eisley, Ulf Hannerz, Nancy Scheper-Hughes, Ralph Linton, Marshall Sahlins etc., Apart from his innovative local research, which is great, his only work that made any interest in the international anthropology domain was his controversial work titled “The Apotheosis of Captain Cook and Cannibal Talk” which triggered a debate with a distinguished anthropologist, Marshall Sahlins. GO argued that thinking patterns of the indigenous Hawaiian people were essentially the same way as Europeans and branding them uncivilized or cannibals was unfair.

  • 0
    0

    2 of 3….Shalins dismissed that saying each culture may have different types of rationality within specific cultural narratives, and that assuming all cultures lead to a single rational view is also a form of euro-centrism, not helping the indigenous thinking patterns. He strongly rejected GO’s idea that island people thought just like Europeans. He did not dismiss Hawaiian cannibalism either. GO’s argument that Pacific Island people are not cannibals is hugely a debatable idea. Cannibalism might be humanity’s most sacred taboo and most academics find it very uncomfortable to discuss. Actually, it is not only confined to Pacific Islands, but that practice has been found even in Europe. Europeans were practicing medicinal cannibalism in the 17th century where body parts of pulverized mummies imported from Egypt were used in prescriptions against certain diseases, according to Prof. Richard Sugg, University of Durham, in his 2011 book called Mummies, Cannibals and Vampires: The History of Corpse Medicine from the Renaissance to the Victorians. Also in a 1999 Science article, French paleontologists reported that 100,000-year-old bones from six Neanderthal cannibalism victims found in a French cave called Moula-Guercy.

  • 0
    0

    3 of 3….It may have been found that colonists exaggerated accounts of cannibalism in the explored territories, particularly Pacific Islands, and some scholars have argued that all cannibalism reports in the colonies were fictitious. Apart from survival cannibalism under dire circumstances reported as recent as 1980s, the evidence suggest that some reports were certainly true, although cannibalism is a topic of debate. According to Professor Bowdler of University of Western Australia, drawing conclusions from human blood proteins found in fossilized faeces in South American Southwest sites says it is proof about cannibal practices among Mesoamerican Aztecs and Brazilian Tupinambá. Another example she produces is, the mortuary cannibalism, the consumption of the dead during their funeral rites, practiced through the 20th century in the Eastern Highlands Province of Papua New Guinea and the Brazilian and Peruvian Amazon. Cannibalism has also been practiced in some parts of Melanesia, Fiji was once known as the “Cannibal Isles” Cannibalism has been well documented in much of the world, including New Guinea and in parts of the Solomon Islands, Fiji, the Amazon Basin, and the Congo.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.