1 December, 2022

Blog

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? – දෙව්ලොවද වියවුලක

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? – පස් වන කොටස 

“දෙව්ලොව යට සියල්ල වියවුලක; තත්ත්වය ඉතා කදිමය.” මාවෝ සේතුංගේ මේ කියමන අපගේ අද දවසට කොතරම් වලංගු වේද? මේ ප්‍රශ්නයට ස්ලේවෝයී ශිෂෙක් දෙන්නේ නිශේධනීය පිළිතුරකි. “නමුත්, දෙව්ලොවද ඇත්තේ වියවුලක නම් අප කළ යුත්තේ කුමක්ද?” ඔහු අසයි. සැබවින්ම මාවෝ සියල්ල වියවුලක යැයි පවසන විට නිරවුල් වූ යමක් යම් තැනක පවතින්නේ යැයි විශ්වාස කළේය. ඒ අන් කිසිවක් නොව ඔහුද ඇතුළු ගතානුගතික මාක්ස්වාදීන් ප්‍රශ්න කිරීමකින් තොරව පිළි ගත්තා වූ ඉතිහාසයේ නියාම ධර්මයන්ය.

ඉතිහාසය නියාම පාලිත වේය යන්න ගතානුගතික මාක්ස්වාදයේ මූලික පිළිගැනීමකි. ඒ අනුව, ඓතිහාසික වර්ධනයේ එක්තරා මොහොතක ධනවාදය බිඳ වැටී සමාජවාදය නිර්මාණය වීමට නියමිතව තිබේ. මන්ද යත්, නිෂ්පාදන බලවේගවල ඉදිරි වර්ධනය සඳහා පවත්නා ධනවාදී නිෂ්පාදන සම්බන්ධතාවල රාමුව බිඳ දැමීම අවශ්‍ය වන බැවිනි. මෙහිදී නිෂ්පාදන බලවේගවල වර්ධනය මගින් අපව ප්‍රගතිය කරා මෙහෙයවනු ලැබේ යැයි විශ්වාස කරනු ලැබේ. නිෂ්පාදන ක්‍රියාවලියේ වර්ධනය සහ ප්‍රගතිය පිළිබඳ මෙම විශ්වාසය මාක්ස්වාදියෙකු වූ මාවෝ සේතුංද පිළි ගත්තේය.

නමුත්, වත්මන් පාරිසරික විනාශය සහ කාලගුණික විපර්යාසය විසින් අපට පෙන්වා දෙනු ලබන්නේ නිෂ්පාදනය සහ ප්‍රගතිය පිළිබඳ ප්‍රබුද්ධත්ව යුගයේ විශ්වාසයන් ගැන නැවත සිතිය යුතුය යන්නයි. කාර්මික ධනවාදයේ වර්ධනය විසින්ම වඩා යහපත් අනාගතයක්, එනම් සමාජවාදය, සඳහා මාර්ගය විවර වේවිද යන්න දැන් නිශ්චිතවම කිව නොහැකිය. ඇතැම්විට, ඒ වෙනුවට කාර්මික ධනවාදය විසින් අපව සමස්ත ශිෂ්ටාචාරමය ව්‍යවසනයක් කරා රැගෙන යාමටද හැකිය. ඒ, අපද අයත් සමස්ත ජෛව ගෝලයම විනාශයට පත් කරලමිනි. “අනාගතය සඳහා සිකුරාදාවන්” (Fridays for Future) ව්‍යාපාරයේ යෞවන යෞවනියන් වැඩිහිටි පරපුරේ අපට දෙමින් සිටින පණිවිඩය වන්නේ අප මෙතෙක් සංවර්ධනය සහ ප්‍රගතිය පිළිබඳව සිතූ ආකාරයේ කිසියම් බරපතල වරදක් ඇති බව නොවේද?

මෙයින් පෙනී යන්නේ මාවෝ “දෙව්ලොව යට සියල්ල වියවුලක” යැයි පවසන විට නිරවුල්ව පවතී යැයි උපකල්පනය කළ දෙය (එනම් ඔහුගේ දෙව්ලොව නොහොත් ඓතිහාසික ප්‍රගතිය පිළිබඳ මාක්ස්වාදී නියාමය) තවදුරටත් නිරවුල් නොවේය යන්නයි. දැන් දෙව්ලොවද ඇත්තේ වියවුලකය.

හර්න් නොමැති ෂර්වුඩ් වනයක්

ඉහත කාරණය පැහැදිලි කිරීම සඳහා මෑතකදී මිතුරෙකුගේ ෆේස්බුක් පිටුවක මා දුටු පෝස්ටුවක් උපුටා දක්වන්නට කැමැත්තෙමි. එහි ලියා තිබුණේ තනි වැකියකි. “හර්න්, අපව බේරා ගන්න!” කලකට පෙර රූපවාහිනියේ ප්‍රදර්ශනය කෙරුණු රිචර්ඩ් කාපෙන්ටර්ගේ රොබින් හූඩ් කතා මාලාව නරඹා ඇති කව්රුන් වුවද “හර්න්” යනු කව්රුන්දැයි දනී. හර්න් යනු රොබින් ඇතුළු පිරිස විසූ ෂර්වුඩ් වනාන්තරයේ ගැවසෙන මිත්‍යාමතික අවතාර චරිතයකි. (මේ චරිතය ප්‍රබන්ධ කොට ඇත්තේ එංගලන්තයේ බර්ක්ෂයර් පෙදෙසේ හර්න් නමැති දඩයක්කාරයාගේ අවතාරය පිළිබඳ ජන ප්‍රවාදය ඇසුරිනි). හර්න් අසීරුතම අවස්ථාවලදී රොබින්ලාව ගලවා ගැනීමට පැමිණේ. මේ අනුව, රොබින්ගේ කණ්ඩායම සතුරන් සමග සටන් කළද අවසානයේදී තමන්ව සතුරු ග්‍රහණයෙන් බේරා ගැනීමට ඉදිරිපත් වන බලවේගයක් ඇති බව ඔවුන් දනී.

ගතානුගතික මාක්ස්වාදීන් පන්ති අරගලය දෙස බැලුවේද මේ ආකාරයෙන්මය. කිසියම් පන්ති සතුරෙකු සමග කරන සටනේ ජය පැරදුම අනපේක්ෂිත වුවද, අවසන් වශයෙන් අප ජය ගන්නට නියමිතව තිබේ. මන්ද යත්, ඉතිහාසයේ නියාමයන් (ඉතිහාසය නමැති ෂර්වුඩයේ හර්න්) ඇත්තේ අපේ පැත්තේ බැවින්ය. නමුත්, හර්න් කෙනෙකු නොමැතිව ෂර්වුඩ් වනයේ කරන සටනක් ගැන සිතන්න. මේ යුගයේ කොමියුනිස්ට්වාදීන් හමුවේ ඇති අභියෝගය එබඳුය. ඇතැම් විට, අප ජය ගනු ඇත. ඇතැම් විට, සියල්ල මහා ව්‍යසනයකින් නිමා වීමටද හැකිය. සියල්ල රඳා පවතින්නේ අරගලය මතය. එබැවින්, ශිෂෙක් පවසන පරිදි, අද අපට අවශ්‍ය වන්නේ “අපේක්ෂා විරහිත භාවයේ ධෛර්යයකි” (courage of hopelessness).

ලාංකීය ෂර්වුඩය

එළැඹෙන 2022 වර්ෂය ශ්‍රී ලංකාවට මෙතෙක් නොවූ විරූ අර්බුදයන්ගේ වසරක් වනු ඇතැයි කියන්නට කිසිවෙකුටත් විශේෂ දේශපාලන අවබෝධයක් අවශ්‍ය වන්නේ නැත. එය මෙරට වෙසෙන බහුතරයක් ජනයාට දුක්ඛිතභාවයේ, අසරණකමේ සහ ව්‍යසනයේ වසරක්ද වනු ඇත. මෙවර මහ කන්නයේ වගා කටයුතු නිසි පරිදි සිදු නොකෙරුණු බැවින් අස්වැන්න වෙළඳපළට පැමිණෙන කාලය වන විට සැලසුමකින් තොර ‘කාබනික අත් හදා බැලීමේ’ විපාක විඳින්නට නාගරික දිළින්දන් හටද සිදු වනු ඇත. බොහෝ විට එළඹෙන වසරේ මුල් භාගයේදීම නාගරික ප්‍රදේශවල ආහාර අර්බුදයේ නව අදියරක් ආරම්භ වීමට ඉඩ තිබේ. එවිට, දැන් ගමේ ගොවි බිමේ තිබෙන පීඩනය නගරයේ කම්හලට, වැඩපළට, තට්ටු නිවාසයට සහ වීදියට මාරු වනු ඇත. මේ වියහැකියාවන් වටහා ගන්නට කිසිවෙකුටත් විශේෂ ආර්ථික විද්‍යා දැනුමක් අවශ්‍ය වන්නේද නැත. දිළිඳු ආහාර සලාකවල යුගයක් හෝ ආහාර කැරළිවල (food riots) යුගයක් දැන් තිබෙන්නේ පේනතෙක්මානයේය.

ලාංකීය වියවුල තුළ ප්‍රමාණවත් තරමේ අවධානයකට ලක්ව නොමැති, නමුත් වැදගත් සාධක තුනක් ගැන අවධානය යොමු කරන්නට මම කැමතිය. පළමුවැන්න, ග්‍රාමීය ගොවි ජන ප්‍රජාව දේශපාලනීකරණය වීමේ බලපෑමයි. දෙවැන්න, තරුණ පරපුරේ අපේක්ෂා භංගත්වයයි. තෙවැන්න, ආර්ථික අර්බුදය හමුවේ මධ්‍යම පාන්තික ප්‍රජාව තුළ වේගයෙන් ගොඩ නැගෙන අසහනකාරීත්වයයි. මෙරට ඉදිරි දේශපාලන ඉරණමේ හැඩ ගැසීම කෙරෙහි මේ සාධක තුන තීරණාත්මකව බලපානු ඇතැයි මම සිතමි.

ගොවිජන ගැටළුව

ගොවි ජනයා අතරින් මතු වෙමින් තිබෙන විරෝධයේ දේශපාලන ගම්‍යතා මතුපිටින් පෙනෙනවාට වඩා ඉතාම බරපතලය. තමන් මේ සා විශාල ව්‍යසනයකට ඇද වැටී තිබෙන්නේ පාලනාධිකාරය විසින් ක්‍රියාත්මක කරන්නට ගිය සැලසුමකින් තොර කාබනිකකරණ වැඩ පිළිවෙළ නිසාය යන විඥානය ගොවීන් අතර පැතිර යමින් තිබේ. මිනිසුන් කිසියම් පීඩනයකට ලක් වූ පමණින් එතැන දේශපාලන විරෝධයක් ගොඩ නැගෙන්නේ නැත. නමුත්, එම පීඩනයට වග කිව යුතු සමාජ ඒජන්තයෙකු හඳුනා ගැනීමත් සමග විරෝධයක් සඳහා අවශ්‍ය තත්ත්වය නිර්මාණය වේ. එනම්, පසමිතුරුතා අක්ෂයක් තැනිය හැකි වේ. ඒ අනුව, දැන් මෙරට ගොවි ජන ප්‍රජාවත් වත්මන් පාලනාධිකාරයත් අතර එවන් පසමිතුරුතා අක්ෂයක් ඇඳිය හැකි පරිසරයක් නිර්මාණය වෙමින් තිබෙන බව පැහැදිලිය.

පාලනාධිකාරයේ අප්‍රායෝගික පොහොර ප්‍රතිපත්තිය ආපස්සට හැරවීමෙන් පමණක් ගොවීන්ගේ ගැටළුව විසඳෙන්නේ නැත. මන්ද යත්, ඔවුනට තම දිවි සරි කර ගැනීම සඳහා සහන මිළට රසායනික පොහොර අවශ්‍යය. එවන් තත්ත්වයක් තුළ ඔවුනට රසායනික පොහොර, හරිත විප්ලවය සහ ගෝලීය ප්‍රාග්ධනය අතර සම්බන්ධය ගැන දේශනා පැවැත්වීමෙන් පලක් නොමැත. මේ මොහොතේ වඩා තීරණාත්මක වන්නේ ඉදිරියේ එන ආහාර අර්බුදයේ අනතුරයි. එම අනතුරට සංවේදී නොවන කිසිදු දේශපාලන නායකත්වයකට ජනතා සහයෝගයක් හිමි වෙතැයි සිතිය නොහැකිය. සාගතයක් වැලැක්වීම සඳහා සැබෑ ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළ හැක්කේ කා හටද? ආසන්න අනාගතයේ මහජනයා වැළඳ ගනු ඇත්තේ ඒ බලවේගයයි. බඩට පෙර රට ගැන සිතිය හැක්කේද බඩ පිරී තිබේනම් ය. ඓන්ද්‍රීය අර්බුදයක් තුළදී ජනතාවට අවශ්‍ය වන්නේ නිරවුල් පැහැදිලි පණිවිඩයකි. රුසියානු ඔක්තෝබර් විප්ලවයේ ප්‍රධාන සටන් පාඨය වූයේ “පාන්, ඉඩම් සහ සාමය” බව සිහි තබා ගන්න.

අවසානයේදී පොහොර ප්‍රශ්නය “විසඳනු” ලැබ ඇත්තේ ගොවීන් මත ඉතාම දුෂ්කර කොන්දේසි දෙකක් පතිත කරලමිනි. පළමුවැන්න නම්, දිගු කලක් තිස්සේ ක්‍රියාත්මක කරමින් තිබූ පොහොර සහනාධාරය ප්‍රායෝගිකව අහෝසි කර දැමීමයි. දෙවැන්න වන්නේ පොහොර මිළ තීරණය කිරීමේ ප්‍රායෝගික බලය පුද්ගලික වෙළඳ ඒකාධිකාරීන් අතට මාරු වීමයි. මෙහි ප්‍රතිපලයක් ලෙස මෙතෙක් කලක් රාජපක්ෂ පාලනාධිකාරයත් කෘෂිකාර්මික ප්‍රජාවත් අතර පැවතුණු අනුග්‍රාහකවාදී දේශපාලන බැම්ම දුර්වල වී යමින් තිබේ. මෙය පැහැදිලිවම අලුත් තත්ත්වයකි. ග්‍රාම්ස්චි පෙන්වා දුන් පරිදි, ඓන්ද්‍රීය අර්බුදයක් තුළදී සිදු වන්නේ ජනයා තමන් සාම්ප්‍රදායිකව සහාය දුන් පක්ෂවලින් දුරස් වීම පමණක් නොවේ. එතෙක් දේශපාලනිකව නිෂ්ක්‍රීයව සිටි ජනයා දේශපාලනිකව සක්‍රීය වීමද අර්බුදයේ වැදගත් ලක්ෂණයකි (ග්‍රාම්ස්චි, 1971:210). ගොවි ජනයා සහ සුළු-ධනේශ්වර බුද්ධිමතුන් දේශපාලන ක්‍රියාවලියට කඩා වැදීම ගැන ඔහු විශේෂයෙන් සඳහන් කරයි. එවන් තත්ත්වයක් තුළ එතෙක් පැවති බල සමතුලිතතාව බිඳ වැටේ.

අනුග්‍රාහක දේශපාලනය

ආර්ථික විවෘතකරණයෙන් පසු දශකවලදී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සාම්ප්‍රදායික බල ධූරාවලියේ කිසියම් පරිවර්තනයක් සිදු විය. එනම්, දේශපාලන අනුග්‍රාහකත්වය ඔස්සේ නව වෙළඳපල අවස්ථා ලබා ගත් ප්‍රාදේශීය තැරැව්කාර ධනේශ්වරයක් ගොඩ නැගීමත් දේශපාලන බලය ක්‍රම ක්‍රමයෙන් ඔවුන් අතට මාරු වීමත්ය. (මෙරට නව-ලිබරල් ආර්ථිකය මුල පටන්ම ක්‍රියාත්මක වූයේ අනුග්‍රාහක දේශපාලනය සමග අතිනත ගෙනය). රාජපක්ෂ ව්‍යාපෘතියේ සාර්ථකත්වයක් වන්නේ මෙම ප්‍රාදේශීය තැරැව්කාර ධනේශ්වරයේ වුවමනාකම්වල අනභියෝගී නියෝජිතයා බවට පත් වන්නට එය සමත් වීමයි. මෙකී නව ධනේශ්වරය තම ආධිපත්‍ය ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රජාවන් මත ස්ථාපිත කර ගත්තේ ප්‍රධාන වශයෙන්ම අනුග්‍රාහක-සේවාදායක ජාලයන් ඔස්සේය. අනුග්‍රාහක දේශපාලනය මෙරට කොතෙක් දුරට ආයතනගත වූවාද යත්, දැන් රාජ්‍යයේ පමණක් නොව වෙළඳපළේද අනුග්‍රහයන් ලබා ගැනීමට නම් ප්‍රාදේශීය තැරැව්කාර ධනපතීන්ට සහාය දැක්විය යුතු තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ශ්‍යාමිකා ජයසුන්දර-ස්මිට්ස් පෙන්වා දෙන පරිදි ආර්ථික විවෘතකරණයෙන් පසුවද අනුග්‍රාහක දේශපාලනය ලාංකීය රාජ්‍ය ගොඩ නැගීමේ ප්‍රධාන සාධකයක් ලෙස ක්‍රියාත්මක වී තිබේ (2013:140-162).

ග්‍රාමීය සමාජයේ අනුග්‍රාහක දේශපාලනය ඔස්සේ ගොඩ නගන ලද බල සමතුලිතතාව පවත්වා ගන්නට නම්, රාජ්‍ය ප්‍රතිපත්තීන්වල කිසියම් සහායක්ද වුවමනා වේ. මෙරට කලක් තිස්සේ පවත්වාගෙන ගිය පොහොර සහනාධාරය, ගොවි ණය ක්‍රම, රජය විසින් වී මිළදී ගැනීම යනාදියේ දේශපාලන වැදගත්කම මෙයයි. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ප්‍රාදේශීය තලයේ අනුග්‍රාහක-සේවාදායක ජාලයනුත්, කෘෂිකර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමේ ප්‍රතිපත්තීනුත්, දකුණේ ප්‍රදේශවල ගොවිජන ප්‍රජාව රාජ්‍යය සමග දෘෂ්ටිවාදීමය ලෙස එක්සත් කළ සිංහල-බෞද්ධ ජාතිකවාදයත් අතර විශිෂ්ටතම සුසංයෝගයක් දක්නට ලැබිණ. රාජපක්ෂ ව්‍යාපෘතිය සිංහල-බෞද්ධ ජාතිකවාදයට ඌණනය කිරීම අතිසරලකරණයකි. ඒ වෙනුවට රාජපක්ෂ හෙජමොනිය විග්‍රහ කළ යුත්තේ එහි ආර්ථිකමය, දේශපාලනමය සහ දෘෂ්ටිවාදීමය අංගයන්ගේ ඒකාග්‍රතාව විමසා බැලීමෙනි. අප දෘෂ්ටිවාදී ක්ෂේත්‍රය දෙස පමණක් බැලීමෙන් සිදු වන්නේ අපට සංයුක්ත තත්ත්වය මග හැරී යාමයි. මේ සඳහා තවත් නිදසුනක් දක්වතොත්, එක්සත් රාජධානියේ තැචර්වාදය තේරුම් කිරීමේදී ස්ටුවර්ට් හෝල් වැනි න්‍යායවේදීන් දෘෂ්ටිවාදී ක්ෂේත්‍රය අධි-අවධාරණයකට ලක් කළ අතර, එම ප්‍රවේශය විවේචනයට ලක් කරමින් බොබ් ජෙසොප් ඇතුළු පිරිස පෙන්වා දුන්නේ තැචර්ගේ ව්‍යාපෘතියේ බහු-විධ පැතිමාන සැලකිල්ලට ගත යුතු බවයි (ජෙසොප්, 1984:32-60).

කෙසේ වුවත්, වත්මන් පාලනාධිකාරයේ කාබනික පොහොර වැඩ පිළිවෙල ඇතුළු ක්‍රියාමාර්ග ගණනාවක් මගින් සිදුව ඇත්තේ මෙතෙක් කාලයක් ග්‍රාමීය ගොවිජන ප්‍රජාවත් රාජපක්ෂ ව්‍යාපෘතියත් අතර ස්ථාපිතව පැවති හෙජමොනික බැමි දුර්වල වී යාමයි. ජාතිකවාදී හෝ ආගම්වාදී දෘෂ්ටිවාදී මාධ්‍යයන් මගින් පමණක් එම බැමි නැවත පිළිසකර කළ නොහැකිය. ජාතිකවාදයට වුවත් පැවතීමට භෞතික මාධ්‍යයන් වුවමනා වේ. “දෘෂ්ටිවාදය යනු මිනිසුන් තම පැවැත්මේ සැබෑ තත්ත්වයන් සමග දක්වන පරිකල්පනීය සම්බන්ධයක් වේය” යන ලුවී අල්තුසර්ගේ ප්‍රවාදය (Althusser, 1971:162) ලංකාවේ අරගලයේ නිරත ගොවිජන ප්‍රජාව විසින් මනාව සනාථ කරනු ලැබෙමින් පවතී. සරලව, කුඹුරුවලට පොහොර නැති කල ජාතිකවාදයට දමන පොහොර වැඩ කරන්නේ නැත.

මේ අනුව, ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රජාවන් අතරින් මතුවෙමින් තිබෙන විරෝධයේ දේශපාලන ගම්‍යතා ඉතාම බරපතලය. ප්‍රාදේශීය තලය දක්වා විහිඳුණු අනුග්‍රාහක දේශපාලනයේ ජාලයන් නැවත සක්‍රීය කිරීම මගින් මේ අර්බුදය ජය ගන්නට දරන ‘බැසිල්-ප්‍රවේශය’ වුවත් සාර්ථක වේ යැයි සිතීම දැන් උගහටය. මන්ද යත්, ආර්ථික අර්බුදයේ තීව්‍රතාව අනුව ගත් කල අනුග්‍රාහක දේශපාලනය මගින් සමනය කළ හැකි තරමට වඩා ගොවිජන පීඩනය උග්‍ර වෙමින් තිබේ. මෙය ලංකාවේ අලුතින් විවෘත වූ හෙජමොනික දේශපාලන අවකාශයකි. එම අවකාශය පිරවීමට තවමත් කිසිවෙකුත් සමත් වී නොමැත.

ජාජබ ලස්සන ප්‍රවේශය

මෑතකදී ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව පවා මේ මොහොතේ ගොවිජන ප්‍රජාව වෙත හෙජමොනික ආමන්ත්‍රණයක් කිරීමට මුළුමනින්ම අසමත් බව මගේ අදහසයි. එම යෝජනා මාලාව නම් කොට තිබුණේ “අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්” ලෙසින් වුවද, එය රචනා කොට ඇත්තේ පක්ෂයක ආර්ථික සහ දේශපාලනික ප්‍රතිපත්ති ප්‍රවේශය සංග්‍රහ කරන මැතිවරණ ප්‍රකාශනයක ආකෘතියෙනි. අර්බුදය ජය ගැනීමට ගෙනෙන කඩිනම් ප්‍රවේශයකදී කාටත් තේරෙන බසින් කිව යුත්තේ ගොවියන්ගේ පොහොර ප්‍රශ්නයට විසඳුම කුමක්ද, වේගයෙන් ඉහළ යන බඩු මිළට විසඳුම කුමක්ද, ඉදිරියේදී එන සාගතයක් වළක්වන්නේ කෙසේද, කඩා වැටුණු අධ්‍යාපනය නගා සිටුවන්නේ කෙසේද, වසංගතයේ බර ජනතාවගේ පිට පටවන්නේ නැතිව රාජ්‍ය මූල්‍ය අර්බුදය විසඳන්නේ කෙසේද වැනි දේය.

සරලව, ලෙනින් 1917 රුසියාවේදී “ගොවීන්ට ඉඩම්” යැයි පැවසුවා සේ අද ලංකාවේ වාමාංශිකයින්ගේ සටන් පාඨ විය යුත්තේ “ගොවියන්ට පොහොර, කම්කරුවන්ට වැඩි වැටුප්, තරුණයන්ට රැකියා, දුගීන්ට ආහාර සලාක, රෝගී වූවන්ට නොමිළේ බෙහෙත් හා සෞඛ්‍ය පහසුකම්” වැනි දේය. එසේම, ඒවා ලබා දෙන්නේ කෙසේදැයි කම්කරුවාට සහ ගොවියාට තේරෙන සිංහලෙන්, තේරෙන දෙමළෙන් පැහැදිළි කළ යුතුය. චිලියේ වාමාංශය කළ දෙය අප රටේ කළ හැක්කේ ඒ මග ගැනීමෙන් මිස “ජීවිත ලස්සන කිරීම” වැනි රූප ලාවන්‍ය සටන් පාඨ ඉදිරිපත් කිරීමෙන් නොවේ. මේ මොහොතේ කිසිවෙකුටත් පොදු ජනයාගේ ජීවිත ලස්සන කළ නොහැකි බව නොදන්නා කෙනෙක් නොමැත. එබැවින් මේ මොහොතට නොගැළපෙන, අභව්‍ය අලංකාරෝක්තීන් යෙදීමෙන් තොරව ආසන්නයේ ඇති ව්‍යසනවලින් ගොඩ එන මාර්ගයක් ජනතාවට කිව යුතුය. අද අවශ්‍යව ඇත්තේ ස්ලේවෝයී ශිෂෙක් “වසංගතය! කෝවිඩ්-19 ලොව සසළ කරයි” (2020) කෘතියේදී ඉදිරිපත් කරන “ආපදා කොමියුනිස්ට්වාදයක්” පිළිබඳ යෝජනාව වැන්නකි.

නමුත්, මේ සියල්ලටම පෙර ජවිපෙ තම ප්‍රතිපත්තිමය ප්‍රවේශය සැකසීම සාම්ප්‍රදායික බුද්ධිමතුන්ට (traditional intellectuals) භාර නොදී මහ පොළොවේ දේශපාලන චලනයන් ගැන ඓන්ද්‍රීය අවබෝධයක් ඇති පක්ෂ ක්‍රියාධරයන් නොහොත් ඓන්ද්‍රීය බුද්ධිමතුන් (organic intellectuals) අතට පැවරිය යුතුය යන්න මගේ හැඟීමයි. ජවිපෙ නව-ලිබරල් යහපාලනවාදී බස් එකට නැගීමෙන් 2015 ජනවාරියේදී කරගත් වින්නැහිය යළිත් නොවීමට නම් එය හැරිය යුත්තේ වමටය. නොඑසේනම්, ජාජබ ඉදිරිපත් කළ යෝජනා මාලාවට වඩා ‘රැඩිකල්’ කඩිනම් යෝජනා මාලාවක් දක්ෂිණාංශික විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු වහාම රැල්ල ආපසු හැරෙන්නට ඉඩ තිබේ.

අවසන් වශයෙන්, ගොවිජන ප්‍රශ්නයට අමතරව වත්මන් අර්බුදයේ දිශානතිය තීරණය කරන තවත් සාධක දෙකක් ගැන මා ඉහත සඳහන් කළෙමි. එනම්, තරුණ පරම්පරාව තුළ මෝරන අපේක්ෂා භංගත්වය සහ පුළුල් මධ්‍යම පන්තියේ අසහනයයි. මේ සාධක දෙකම වෙන් වෙන්ව ගෙන විශ්ලේෂණය කිරීමට තරම් වටිනා ඒවාය. එබැවින් දැනටමත් දීර්ඝ වී තිබෙන මේ ලිපිය මෙතැනින් නවත්වා එම කොටස ඉදිරියට තබමි.

පරිශීලන

Althusser, Louis, 1971, Ideology and Ideological State Aparatuses (notes towards an investigation), in Lenin and Philosophy and Other essays, Monthly Review Press, London.

Gramsci, Antonio, 1971, Selections from the Prison Notebooks, (eds. Quintin Hoare and Geoffrey Novell Smith), International Publishers, New York.

Jayasundara-Smits, Shyamika, 2013, In Pursuit of Hegemony: Politics and State Building in Sri Lanka, International Institute of Social Studies (ISS), Netherlands.

Jessop, Bob, at. el, 1984, Authoritarian Populism, Two Nations and Thatcherism, in New Left Review, No. 147, London.

Zizek, Slavoj, 2020, Pandemic! Covid-19 Shakes the World, O/R Books, New York.

Zizek, Slavoj, 2021, Heaven in Disorder, O/R Books, New York.

ජාතික ජන බලවේගය, 2021 දෙසැම්බර්, අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්, නියමුවා ප්‍රකාශන.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    පසුගිය වසර දෙක දෙස ආපසු හැරී බලන විට, ශ්‍රී ලංකා ජාතිය වන අපට ජාතික කොඩියේ සිංහයා වෙනුවට බූරුවෙකු හෝ මී හරකෙකු ආදේශ කළ යුතු බවට අනුමාන වැඩෙමින් තිබේ.

    අපේ මාතෘභූමිය හොඳ තත්ත්වයේ තිබුණා, මුළු ජාත්‍යන්තර ප්‍රජාවම අපට ගරු කළා, නමුත් අද වන විට ශ්‍රී ලංකාව යෝධ තරඟකරුවන් වන ඉන්දියාවට සහ චීනයට “පාපන්දු පන්දුව” බවට පත්ව ඇත.

    දිවංගත මංගල සමරවීර ප්‍රමුඛ බාහිර දේශපාලනය ධනවත් ජාතීන්ගේ හිත් දිනා ගනිමින් එය ඉවත් කළේය.. 2010 සිට 2015 දක්වා රාජපක්ෂලාගේ වැරදි පරිපාලනය තුළ නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි ලෙස හානියට පත් වූ සියල්ල, ඒ ආකාරයෙන්ම, ඔවුන් අද ද, ඔවුන්ගේ මහා අපරාධ යළි ආරම්භ කර ඇත. ශිෂ්ට සම්පන්න ජාතීන් අද ඔවුන්ට ගරු කරයිද?
    පසුගිය රජය සමයේ මංගල ප්‍රමුඛ කණ්ඩායම් ජීඑස්පී ප්ලස් නැවත ලබා ගැනීමට සමත් වූ අතර තවත් යුරෝපා සංගමයේ සහන කිහිපයක් නැවත ලබා ගන්නා ලදී. කෙසේ වෙතත්, අපරාධ රාජපක්ෂලාගේ හෙංචයියන්ගේ පූර්ණ පාලනයට නතු වූ ශ්‍රී ලංකා මාධ්‍ය කිසිවිටෙකත් සත්‍ය ජනතාව අතරට යාමට ඉඩ නොදුන්නේ ඔවුන්ගේ සැඟවුණු න්‍යායපත්‍ර වූයේ ඔවුන්ට අමූලික බොරුවෙන් පෝෂණය කරමින් පහසු ඉලක්කයේ මනස විකෘති කර බලය ඔවුන්ගේ අතට ගැනීම නිසාය. එම කුරිරු පවුලේ අපරාධකරුවන්ට සහ ඔවුන්ගේ හෙංචයියන්ට එරෙහිව ගොනු කරන ලද පරීක්ෂණ ගණනාවකින් නිදහස් වීමට ඇති එකම මාර්ගය එයයි.
    .
    දේශප්‍රේමී රාජපක්ෂලාට ස්තුතියි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.