18 August, 2022

Blog

කඩා වැටෙන විදෙස් සංචිත හා දෝෂ සහගත ප්‍ර​තිපත්ති: අපගේ ප්‍ර​තිපත්ති සම්පාදකයන්ට සිහි බුද්ධිය පහළ වන්නේ කවදාද ?

ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

කඩා වැටෙන විදේශ සංචිත

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත මාස්පතා ඉතා දරුණු ලෙස කඩා වැටෙමින් පවතී. ශ්‍රී ලංකා මහා බැංකුව මගින් පසුගිය සතියේ නිකුත් කරන ලද දත්ත වාර්තා අනුව ඔක්තෝබර් අග ඇ.ඩො. බිලියන 2.3ක්ව පැවති විදේශ විනිමය සංචිතය නොවැම්බර් අවසානය වන විට ඇ.ඩො. බිලියන 1.6ක් දක්වා දියවී ගොස් ඇත.

අප සතු රත්‍රන් සංචිතය හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලබා දුන් විශේෂ පහසුකම (Special Drawing Rights) හැරුණු කොට ක්ෂණික ද්‍රවශිලතාවයක් සහිත සංචිත ඇත්තේ ඇ.ඩො. බිලියන 1.1ක් තරම් අඩු ප්‍රමාණයකි එය යන්තම් සති දෙකකට වැඩි කාලයක් සඳහා අවශ්‍ය ආනයන සඳහා ගෙවීමට ප්‍රමාණවත් මුදලකි. මේත් සමගම ශ්‍රී ලංකා මහා බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ඉතිහාසයේ ඉහළම ඍණ අගය ලෙස ඇ.ඩො. බිලියන1.9ක් වාර්තා කරන ලදි. පසුගිය මාසයේදී එම අගය වාර්තාවූයේ අ.ඩො. බිලියන 1.3ක් ලෙසයි. මේ අධි අවදානම් තත්වය පිළිබඳ ස්වාධීන වාර්තාකරුවන් මහා බැංකුවේ පරිපාලනය වෙතට අනතුරු අඟවා තිබිණ. අපට මිත්‍ර​ශීලි රටවල් වෙතින් ලැබීමට නියමිත සහන පැකේජයන් නිසා ඔවුන්ගේ ප්‍රතිචාරය මෙකී අනතුරු ඇඟවීම් ගණන් ගත් බවක් දිස් නොවීය.

ක්‍ර​මයෙන් අඩුවී යන අගයයන්ගෙන් විද්‍යාමාන වන්නේ එම පොරොන්දු තවමත් සැබෑ වී නොමැති බවයි. ඉහළ ආනයන වියදමට අමතරව අප විදේශ ණය සඳහා ඉදිරි මාස 12 ක කාල සීමාව තුළ ඇ.ඩො. බිලියන 7.3ක් ගෙවිය යුතුය. ගෙවිය යුතු ණය සමග සංසන්දනය කිරීමේදී අප සතු සංචිත ප්‍රමාණය ඉතා සුළු කොටසකි.

දෙසැම්බරයේදීවත් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට නොහැකි වුවහොත් මෙම තත්වයෙන් ගැලවීමට නොහැකි දුරකට අප රට තල්ලූවී යනු ඇත. ඉතිහාසයේ පළමු වතාවට නිදහසෙන් පසු ණය ගෙවීම පැහැර හැරීමේ අපවාදයට ලක්වීමටද අපට සිදුවනු ඇත.

සයමස් මාර්ගගත සැලැස්ම ඵලදායීවනු ඇති බව අපේක්ෂාව වූවත් දැවැන්ත අර්බුදයකට නුදුරු අනාගතයේදීම අප රට මුහුණ දෙන බව ස්වාධීන අර්ථ ශාස්ත්‍රඥයන් රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේ නිරත නායකයන්ට දන්වා තිබුණද ඔවුන් එම අනතුරු ඇඟවීම් ගණනකටවත් ගත්තේ නැත, ඔවුන් පවසන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙම අර්බුදය ජයගැනීම සඳහා වන විකල්පය නොවන බවත් ඒ සඳහා වඩාත් ප්‍රතිපලදායී දේශීය වැඩසටහනක් ඔවුන් සතු බවත්ය.

මෙම දේශීය යාන්ත්‍රණය මහා බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් සයමස් මාර්ග සැලැස්ම් ලෙස 2021 ඔක්තෝබර් 1වනදා ඉදිරිපත් කරන ලදී. ඔහු වෙළඳපල බලවේගයන්ට සහතික කර ප්‍රකාශ කළේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මැදිහත්වීමකින් තොරව මේ දැවැන්ත විදේශ විනිමය අර්බුදයට පිළියමක් නිර්මාණය කිරීමට මහා බැංකුවට ප්‍රවීණතාවය ඇති බවත් ඒ සඳහාවන විසඳුම් දැනටමත් ක්‍රියාවට නංවා ඇති බවත්ය. විසඳුමේ ප්‍රධාන කොටස නම් විදේශ විනිමය ශ්‍රී ලංකාවට ගලාඑන මාර්ගයන් ඉක්මණින් ආකර්ෂණය කර ගැනීමයි. 2021 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් ඇ.ඩො. බිලියන 10.85ක් විය නමුත් මේ දළ ලැබීම් ඇ.ඩො. බිලියන 5ක් වන ආනයන හා ඇ.ඩො. බිලියන 1ක් වන අනෙක් විදෙස් ගෙවීම් වලට ගැලපීමේදී ශුද්ධ ලැබීම් ඇ.ඩො. බිලියන 4.9ක් තරම් ප්‍රමාණයකි. තත්වය එසේවී නම් අපගේ දළ විදේශ සංචිත අද වනවිට අවම තරමින් ඇ.ඩො. බිලියන 7ක් විය යුතුව තිබුණි. මාර්ගගත සැලැස්ම පුස්සක් කරමින් සැබෑ ලෙසම අපගේ විදෙස් සංචිත ඇ.ඩො. 1.6ක් තරම් පහළ ඇද වැටී ඇත. ඔවුන් පැවසූ දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක පසුබිමක මෙතරම් විශාල අගයකින් සිය ඉලක්කය වැරදීම පිලිබඳව ආර්ථිකය පිලිබඳ අති විශාල දැනුම් හා විශේෂඥයතාවයක් සහිත ශ්‍රී ලංකා මහා බැංකුව අභ්‍යන්තර අධ්‍යයනයක් සිදු කළ යුතුය. සිය සැලැස්ම දියත් කිරීමේ දේශනයේදී කබ්රාල් මහතා අවසන් ලෙස පැවසුවේ මෙම වැඩසටහන ප්‍රතිපලදායි වන බවත් ඉදිරියට යෑමත් සමග මෙම වැඩසටහනෙහි ඇතැම් කොටස් වෙනස් කිරීම, තවත් සුසර කිරීම (fine tune) වැනි දේ සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

ඉන්දියාවේ ආධාර පැතීම

තත්වය මෙසේ වන අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය තුළදී අසල්වාසීන්ගෙන් ලබා ගැනීමට උත්සාහ කරන සහනාධාර පැකේජය යම් තරමක හෝ අස්වැසිල්ලක් ගෙන ඒමට සමත් වී ඇත. මිත්‍රශීලී අසල්වැසියෙකු ලෙස ඉන්දියාව මීට පෙරද ශ්‍රී ලංකාව අපහසුතාවයට ලක්වූ විට අප බේරා ගැනීමට මැදිහත්වී ඇත. එදා 2008 වසරේ එවකටද මහා බැංකු අධිපති කබ්රාල් මහතාගේ සමයේදීම මෙවැනිම විදේශ විනිමය අර්බුදයකට අප රට ලක්වූ විට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඇ.ඩො. මිලියන 2,600ක ණය පහසුකමක් ඉල්ලා සිටි විට අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපගේ ඉල්ලීම ගැන කල්මරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට විය. එවකට ඉන්දීය මුදල් ඇමති ප්‍රනාම් මුකර්ජි මහතා (පසුව ඔහු ඉන්දීය ජනපති බවටද පත්විය) ඍජුවම ප්‍රකාශ කළේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙම ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ නැත්නම් ඉන්දියාව එය ලබා දෙන බවයි.

ඒ උපක්‍රමය වැඩකළා, අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපගේ ඉල්ලීම කඩිනමින් අනුමත කළා. එතනින් නොනැවතුනු ඉන්දියාව ඇ.ඩො. බිලියන 1.5ක් අදියර දෙකක් යටතේ මුදල් ඒකක හුවමාරු කිරීමේ පහසුකමක් (SWAP facility) ඔවුන්ගේ මහා බැංකුව මගින් ලබා දුන්නා. මේ ගලවා ගැනීමේ පැකේජය ඉන්දියාව අපට ලබා දුන්නේ ඊලාම් ත්‍රස්තවාදී යුද්ධයේ අවසානතම හා දරුණුතම වකවානුවේදීයි, මෙම ණය මුදල නොවන්නට යුද්ධයේ ප්‍රතිඵලය වෙනස්වන්නට පවා ඉඩ තිබුණි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ පුවත්පත් නිවේදනය

බැසිල් රාජපක්ෂ මහතාගේ දෙදින ඉන්දීය නිළ සංචාරයෙන් අනතුරුව නවදිල්ලියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය, දෙපාර්ශ්වය එළඹි පුළුල් එකඟතාවයන් හා ඒවායේ සීමාවන් පුවත්පත් නිවේදනයක් නිකුත් කළේය. ප්‍රධාන කරුණු 4ක් හුවා දක්වමින් ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බව එහි සඳහන්වේ.

1. අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ වෙනත් දෑ ආනයනයට ණය පහසුකම් සැපයීම

2. පිරිපහදු කරන ලද ඉන්ධන ඉන්දියාවෙන් ආනයනයට ණය පහසුකම් සැපයීම මෙන්ම ත්‍රිකුණාමලයේ භාවිතයට නොගන්නා තෙල් ටැංකි නවීකරණය කිරීම

3. ඉන්දීය සංචිත බැංකුව (Reserve Bank of India) ශ්‍රී ලංකාවේ මහා බැංකුව වෙත මුදල් ඒකක හුවමාරු (currency SWAP) පහසුකමක් සැපයීම

4. ඉන්දීය ඍජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාව තුළට ගලා ඒමට පහසුකම් සැපයීම

පුවත්පත් නිවේදනය තවදුරටත් දක්වන්නේ ”ඉහත අරමුණු යථාර්ථයක් කර ගැනීමට අවශ්‍ය දෑ දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය එකඟතාවය සහිත කාල රාමුවක් තුළ සකස් කර නිම කරන බවත්ය”. පෙනෙන ආකාරයට මෙහිදී එකඟතාවයට පැමිණ ඇත්තේ පෘථුල රාමුවක් සහිත වැඩපිළිවෙලකට බවත් සහන පැකේජයේ ඉලක්කම් මේවනතුරු ගණනය කර නොමැති බවයි. එමෙන්ම, ඉදිරි මාස 6 සිට 12 දක්වා කාල සිමාව තුළ ශ්‍රී ලංකාවට විදේශයන් වෙත ගෙවීමට නියමිත බැඳීම් සළකා බලන කල ඒ මෙම පැකේජය අපට ප්‍රමාණවත් දැයි කීමට තවමත් අප වේලාසන වැඩියි.

ශ්‍රී ලංකාව පැසවමින් පවතින තුවාලයකින් පීඩා විඳිමින් ඇත.එයට ප්‍රතිකාර නොකළහොත් තත්වය ඔඩුදුවා මරණීය ප්‍රතිපල ගෙන ඒම වළකනු නොහැකිය. එනිසා මහා බැංකුව දෙගුණයක වේගයෙන් වැඩකර ඉන්දියාව පොරොන්දුවූ සහන පැකේජය ප්‍රමාණවත් ගණනින් ලබා ගත යුතුය. මුදල් ලැබීම සතියකින් හෝ ප්‍රමාදවුවහොත් එය රෝගී ශ්‍රී ලංකා ආර්ථිකය මරණීය බලපෑමක් ඇති කරනු ඇත.

සයමස් මාර්ගගත සැලැස්මේ යථාරූපී නොවූ ඉලක්ක

සයමස් මාර්ගගත සැලැස්ම මුලාවක් බවට පත්වූයේ කෙසේද? හේතු දෙකකි.

පළමුවැන්න, මෙම සැලසුම පාදක කරගෙන තිබෙන්නේ දළ ලැබීම් පමණි ශුද්ධ ලැබීම් නොවේ. දෙවැන්න, දළ ලැබීම් අධි තක්සේරුකර දැක්වීමයි. රජයේ අපේක්ෂාව වූයේ වෙනත් රජයන් මගින් හා රජයේ භාවිතයට නොගන්නා වත්කම් අලෙවි කිරීමෙන් ඇ.ඩො. බිලියන 2.85ක ලබා ගත හැකි බවයි. මෙම අගය ඉතා ඉහළ අධිතක්සේරුවක් වන අතර අපට ආ ලැබීම් මෙම තක්සේරුගත වටිනාකමින් කොටසකි. භාවිතයට නොගන්නා වත්කම් විකිණීමෙන් ඇ.ඩො. මිලියන 500ක් බලාපොරොත්තු වුවද මේ වන තුරු කිසිඳු වත්කමක් විකුණා නොමැත.

රජයේ සුරැකුම්පත් සඳහා විදේශිකයන් විසින් සිදු කරන නව ආයෝජන ඇ.ඩො. මිලියන 250ක් වනු ඇතැයි ඇස්තමේන්තු කලද ඒවා ඇ.ඩො. මිලියන 9 සිට ඇ.ඩො. මිලියන 8 දක්වා පහත වැටී ඇත. ඇ.ඩො. මිලියන 300ක අපේක්ෂිත සම්මිලිත ණය පහසුකමද (Syndicated Loan Facility)  මේ දක්වා ලැබී නොමැත. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හිමි අක් වෙරළ බැංකු ඒකක සඳහා ගෙවීම් ඇ.ඩො. මිලියන 200ක් දක්වා ඉහළ ගොස් ඇත. නමුත් වෙළඳපලේ පවතින දරුණු විදේශ විනිමය හිඟය නිසා නැවත නිකුත් කළ හැක්කේ මෙයින් ඉතා කුඩා කොටසකි.

ශ්‍රී ලංකා මහා බැංකුව බලාපොරොත්තු වූයේ ඇ.ඩො. බිලියන 1ක නව හුවමාරු පහසුකම් (SWAP)

ඇ.ඩො. මිලියන 500ක දේශීය හුවමාරු පහසුකම් (SWAP) සහ ඇ.ඩො. මිලියන 150ක විදේශ මුදල් මිලදී ගැනීමටයි (ප්‍රේෂණ ඔස්සේ වන ලැබීම හා අපනයන ලැබීම්). ශුද්ධ පදනමක සිට විග්‍ර​හ කරන විට පෙනී යන්නේ මහා බැංකුව ඔක්තෝබර් මාසයේදී විදේශ මුදල් විකිණීම පමණක් සිදු කර ඇති බවයි, කබ්රාල් මහතාගේ සයමස් සැලැස්ම පොරොන්දු වූ පරිදි මහපොළොවේ යථාර්ථය තේරුම් ගෙන ඔහුගේ සැලැස්මේ වෙනස්කම් සිදු කළ යුතු බව මින් පෙනී යයි.

මුගුරකින් තර්ජනය කිරීම හා ඇමක් දී නම්මා ගැනීම

ඔක්තෝබර් හා ඉදිරි මාස 3දී සිදු කරන අපනයන ලැබීම් ද මසකට ඇ.ඩො. මිලියන් 100ක ප්‍රමාණයකින් අධි තක්සේරු කර ඇත. මෙනිසා ගතවූ මාස 3ට ඇ.ඩො. මිලියන 300ක පරතරයක් නිර්මාණයවී ඇත. වඩාත්ම වැඩි අධි තක්සේරුවකින් දක්වා ඇත්තේ ශ්‍රී ලංකික විදෙස්ගත ශ්‍ර​මික ප්‍රජාව රටට එවනු ලබන ප්‍රේෂණ​ මුදල් ලැබීම්ය. සයමස් සැලසුම ගතවූ කාල සිමාව තුළ මසකට ඇ.ඩො. මිලියන 600ක මුදලක් අපේක්ෂා කරනු ලබයි. නමුත් සත්‍ය ලැබීම් මෙයින් අඩකට පමණක් සිමාවී ඇත. ඉන්පසුව ඉතා දුෂ්ඨ නීතියක් ගෙනෙමින් මෙම විදේශ විනිමය ලැබීම් සේවා අංශයේ ඉපැයීම් ලෙස ලැයිස්තුගත කර එම ශ්‍ර​මිකයන්ට නියෝග කරනු ලැබුවේ ඔක්තෝබර් මාසයේදී එවන ලද විදේශ මුදල් ඊළඟ මාසයේ 17වනදාට පෙර ශ්‍රී ලංකා රුපියල් වලට හුවමාරු කර ගත යුතු බවයි. මෙම නියෝගය, බැංකු හා පෞද්ගලික විදේශ මුදල් ගනුදෙනුකරුවන් අතර එළඹ ඇති එකඟතාවයන් උල්ලංඝනය කිරීමකි. මෙම ගනුදෙනුකරුවන් බැංකුව සමග පෞද්ගලික විදේශ මුදල් ඒකක ගිණුමක් අරඹන්නේ තමන්ට අවශ්‍ය හා කැමති විට එවන ලද විදේශ මුදල් එම මුදල් ඒකක වලින්ම ලබා ගැනීමටයි. ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදී විදේශ විනිමය ලැබීම් පෙර වසරට සාපේක්ෂව 50% කින්ම අඩුවූ විට බලාපොරොත්තු සුන්වූ මහා බැංකුව දෙසැම්බර් මාසයේදී සිදුවන ප්‍රේෂණ සඳහා එක් ඇමරිකානු ඩොලරයකට දිරිදිමනාවක් ලෙස රු. 10ක මුදලක් ලබා දීමට කටයුතු කළේය.

මෙහි අරමුණ වූයේ අවිධිමත් ක්‍රමවලින් කළු කඩ හරහා ඇ.ඩො. එකකට රු. 240 – 250ක මුදලක් ලබා ගන්නවා වෙනුවට මහා බැංකුවේ නිල විදේශ විනිමය අනුපාතය වන ඇ.ඩො. එකකට රු. 199ක් ලබා දෙන බැංකු පද්ධතිය වෙතට පුද්ගයන් ඈඳා ගැනීමයි. ඒක ඇමක්, එමෙන්ම මහා බැංකුව මෙම අවිධිමත් ක්‍රම ඔස්සේ මුදල් ප්‍රේෂණ​​ කරන ආයතන හා ඔවුන්ට උදව් දෙන්නන් බිය වැද්දීමටත් කටයුතු කර තිබෙනවා. මෙම තර්ජනාන්විත රීතිය හරහා විදේශ මුදල් මාරු කරන ආයතන 4ක් මහා බැංකුවේ විදේශ විනිමය පනත යටතේ විමර්ශනයට ලක් කර තිබෙනවා. කළු කඩ මගින් මහා බැංකුව නිර්දේශ කරන විදේශ විනිමය අනුපාතයවන ඇ.ඩො. 1කට රු. 199ට වඩා ඉතා ඉහළ මිලක් ලබා දෙනවා මෙය පාලනයට ශ්‍රී ලංකා මහා බැංකුව ගෙන ඇති ‘ඇම‘ සහ ‘දඬුවම්‘ ක්‍රම දෙකම ප්‍රමාණයවත් නොවන බව සපථ වී හමාරයි. විදේශ විනිමය රුපියල්වලට හුවමාරු කිරීම සඳහා ගත් ක්‍රයා මාර්ග විදේශ විනිමය ලැබීම් ඉහළ දැමීමට සමත්ව නැත.

ශ්‍රී ලංකා මහා බැංකුවේ තීරණය කුමක් වුවද විදේශ විනිමය හුවමාරු කිරීමේ අගයයන් බලෙන් තීන්දු කිරීම නිසා විදේශ විනිමය ලැබීම් වැඩිවී නැත.

ඒවෙනුවට විදේශයන්හි සේවය කරන හා නියම ලෙසම ශ්‍රී ලංකාවේ ඇති පෞද්ගලික විදේශ මුදල් ගිණුම් (අනේවාසික හා නේවාසික විදේශ මුදල් ගිණුම් ලෙස කලින් හඳුන්වන ලදී) වලට මුදල් ප්‍රේෂණ​ කරන සේවක ප්‍රජාවට තවත් ගැටළු රාශියකට මුහුණ දීමට සිදුව ඇත. සේවාවන් මගින් ජනනය වන අදායම යන්න ‘එතෙරදී ඕනෑම සේවාවක් සපයන‘ ලෙස වැරදි ලෙස අර්ථකථනය කර තිබීම මෙයට හේතු වී ඇත සේවා යෝජකයන් යටතේ පවා වැඩකරන අය මෙයට අදාළ වේ.

විදෙස්ගත ශ්‍රමිකයන් බිය වැද්දීම

පළමු කරුණ කෙරහි අවධානය යොමු කරමු, ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය වෙත ලැබුණු විදේශ මුදල් ප්‍රේෂණ​ ලැබීම් ගැන සලකා බලනවිට පුද්ගලයෙකු ඇමරිකානු ඩොලරයක් පෞද්ගලික විදේශ මුදල් ගිණුමකට එවූ විට එම බැංකුව එම ඩොලරය පෞද්ගලික විදේශ මුදල් ගිණුමට බැර කරන මෙම බැංකුව ඒ වෙනුවෙන් බැඳීමකට යටත්වේ එමෙන්ම බැංකුව විදේශ විනිමය වත්කමක් අත්පත් කර ගනී. මෙම වත්කම රටේ විදේශ විනිමය ලැබීම් වලට අයත්වේ. නමුත් දැන් මේ ඇ. ඩොලරය ශ්‍රී ලංකා රුපියල් බවට මහා බැංකුව බලෙන් නියම කරන ලද අනුපාතයට මාරු කිරීම සිදුවේ. මෙහිදී බැංකුව, විදේශ විනිමය සඳහා වන බැඳීමක් ශ්‍රී ලංකා රුපියල් සඳහා වන බැඳීමක් බවට පත්ව ඇත. මෙය ගනුදෙනුකරු හා බැංකුව අතර මූලිකව ඇති කර ගත් එකඟතාව උල්ලංඝනය කිරීමක් වන අතර ගිණුම්හිමියා වෙත පනවන ලද බද්දක් ලෙසද හැඳින්විය හැක.

බැංකු පිළිවෙත් මෙලෙස අත්තනෝමතික ලෙස වෙනස් කරන විට රටේ බැංකු පද්ධතියේ කීර්ති නාමය පරිහානියට පත්වේ. රටට ලැබීමට නියමිත අනාගත විදේශ විනිමය ලැබීම් කෙරෙහිද අහිතකර බලපෑමක් මෙමගින් ඇති කරයි. තවදුරටත් සලකා බැලූවහොත් මෙම ගිණුම් හිමියන් තම පෞද්ගලික විදේශ විනිමය ගිණුම් සඳහා නිකුත් කරන ලද හර කාඞ්පත් (Debit Card) මගින් විදේශයන්හි සිට සිය ගිණුම/ගිණුම් හසුරවනු ලබයි. ඔවුන් තම දෛනික ගෙවීම් සිදු කිරීමට මෙම යාන්ත්‍රණය භාවිත කරයි. හර කාඞ්පත හරහා මෙම ගෙවීම් සිදු කිරීමේදී ඒ සඳහා බැංකුව සතු විදේශ මුදල් ප්‍රමාණවත් නොවේ නම් එම ගනුදෙනු අවලංගුවීමත් සමග ඔවුන් කරදර රාශියකට මුහුණපානු ලබයි. එවිට මෙම ගනුදෙනුකරුවන් සිය ගෙවීම් කටයුතු සඳහා විදේශ මුදල් සංචිත ප්‍රමාණවත් පරිදි ඇති රටවල ගිණුම් විවෘත කිරීමට පෙළඹෙනු ඇත, මෙමගින් අනාගතයේදී අපට ලැබීමට නියමිත විදේශ මුදල් ප්‍රවාහයන් අඩුවේ.

රුපියල පාවීමට ඉඩහැරීම මගින් ඩොලර් සඳහා වන කළු කඩ ජාවාරම නතර කිරීම

ඩොලර් සඳහා ඇතිව තිබෙන කළු කඩ ජාවාරම බිඳ දැමීමට රුපියල නිදහසේ පාවීමට ඉඩහැරීම වෙනුවට ශ්‍රී ලංකා මහා බැංකුව ඉතා මුරණ්ඩු ලෙස පනවනු ලැබූ ඇමරිකානු ඩොලරයක් සඳහා වන විදේශ විනිමය අනුපාතය වන රු. 199 – 203 අගය පවත්වාගෙන යාමට තීරණය කර ඇත. මෙම අනුපාතයට මිලදී ගැනීම සඳහා වෙළඳපලෙහි ඇමරිකානු ඩොලර් නොමැති බැවින් ඇතිව තිබෙන අසන්තෘප්ත ඉල්ලූම පියවීමට ඩොලරයක් සඳහා රු. 240 -රු. 250 ගෙවීමට සිදුවන කළු කඩ වෙළඳපලක් බිහිවී තිබේ. එමනිසා පැවසිය ඇමරිකානු ඩොලරයක් ප්‍රේෂණ​ය කිරීමේදී හඳුන්වාදුන් දිරි දීමනා මුදල විදේශ මුදල් ප්‍රේෂණ​ය කරන්නන් කෙරෙහි සහනයක් නොව ඔවුන් මත පැනවූ බද්දක් බවයි. අවිධිමත් වෙළඳපල හරහා වැඩි මුදලක් ලබා ගැනීමට ඇති හැකියාව මෙමගින් අහිමි කර ඇත. මෙලෙස අත්න්තනොමතික ලෙස නියමිත විදේශ විනිමය අනුපාතයට වඩා අඩු අගයක් රජය මගින් නියම කර ඇතිවිටක එය අපනයනකරුවන් වෙත පැනවූ බද්දක් ලෙස ක්‍රියා කරන අතර ආනයනකරුවන් වෙත සලසන ලද සහනයක් ලෙස ක්‍රියා කරයි.

එකම විකල්පය අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යෑම පමණි නමුත් දැන් ඊට ප‍්‍රමාද වැඩියි

වර්තමානයේ උද්ගතව ඇති දරුණු විදේශ විනිමය අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීමට දේශීය යාන්ත්‍රණ සහිත ගොඩ වෙදකම් වැඩපිළිවෙලකට නොහැක ඒ සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය පහසුකමක් ලබා ගත යුතුය. ශ්‍රී ලංකාව 1950 අගෝස්තු මාසයේ සිට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය දරන රටකි. දරා ගත නොහැකි තරමේ පිඩනයකින් බිත්තියටම තද කර ඇති අප රටට ඇති එකම බේරීමේ මග වන අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙහි පිහිට පැතීමටද අප දැන් ප්‍රමාද වැඩියි. අද දින මේ සඳහා අයදුම් කළහොත් එම ණය පහසුකම අපට ලැබෙනුයේ 2022 මැද භාගයේදීය. එවැනි මැදිහත්වීමක් වන තුරු දිවි බේරා ගැනීමේ සටනක දැන් අප රට යෙදී සිටියි. මෙම අර්බුදකාරී තත්වය අභිමුව ඉන්දියාවෙන් ප්‍රමාණවත් තරමේ සහන පැකේජයක් ලැබේ නම් එය අප රටට විශාල ප්‍රසාද දීමනාවක් වනු ඇත.

*ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන විසින් රචිත Falling forex reserves and policy errors: When will our policy leaders come to their senses ලිපියෙහි සිංහල අනුවාදයයි. සැකසුම මිලින්ද පීරිස්.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    Part 1/
    ආදරණීය විජේවර්ධන මැතිතුමනි,
    මිනිස් මනස කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ආචාර්ය උපාධිධාරී ආනන්ද ගුරුගේ මහතා කැලිෆෝර්නියා ප්‍රාන්තයේ බුද්ධාගම සඳහා ප්‍රබල අධ්‍යාත්මික නායකයෙකු බවට පත්වූයේ බුදුදහමේ සැබෑ ඉගැන්වීම් මත පදනම් වූ ඔහුගේ අද දවසේ ප්‍රායෝගික කථා බෞද්ධ අනුගාමිකයින් සඳහා ලෝකයේ කොටසක් බව ධ්‍රැවීකරණය කළ නිසා ඔහු දලයි ලාමාගේ ප්‍රඥාවන්ත ප්‍රකාශයන්ට වඩා පහත් මට්ටමක පැවතුනි. . කෙසේ වෙතත්, බහුභාෂා ගුරුගේ ඔහුගේ ජයග්‍රහණ සඳහා ඉහළ මිල ගණන් පිරිනමන ලදී.

    එලෙසම, මිලියන 22ක් වූ අපගේ කුඩා දිවයිනේ මිනිසුන්ට ඕනෑම දෙයක් පිළිබඳව අධ්‍යාපනය/ඔවුන්ගේ දැනුවත්භාවය වැඩිදියුණු කළ හැක්කේ, ඔවුන්ව ඔවුන්ගේ මානසික සීමාවෙන් ඔබ්බට ගෙන නොයන ප්‍රායෝගිකව අනුවර්තනය කළ හැකි උදාහරණ තුළින් පමණි. දූපත් ජාතියේ බහුතරය නාගරික ප්‍රදේශවලට වඩා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන බව දන්නා කරුණකි. විශ්‍රාම යාමේදී සංවේදී උගත් ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් හරහා මෙය සාක්ෂාත් කරගත හැකිය. ඉතා ඉහළ සාක්ෂරතා අනුපාතයක් ඇති රටක් ලෙස, ශ්‍රී ලාංකිකයන් තම විශ්‍රාමිකයන්ට ගුරු වෘත්තිය, ඉංජිනේරු විද්‍යාව, බැංකු සහ වෙනත් ක්ෂේත්‍රවල ගරු කළ යුතු අතර… ජාතිය යළි ගොඩනැගීමට දායක විය හැකි ආකාරය පැහැදිලි කිරීමට ඔවුන්ට ආරාධනා කළ යුතුය. මෙතැනදී අපි මහාසංගරතනය නීතියට ඉහළින් නොතැබිය යුතුය, අද සන්දර්භය තුළ සිදු වන පරිදි, එය තමන්වම රවටා ගැනීමකි.

    මෙන්න මම ඔහුව එක් උදාහරණයක් ලෙස ගැනීමට හේතුව, මෑතකදී ඔබේ යූ ටියුබ් නාලිකාවකට ලබා දුන් සිංහල සම්මුඛ සාකච්ඡාව, මා නැවත පණ ගැන්වීම සහ ශ්‍රී ලංකාවේ බැංකු කටයුතු සම්බන්ධ ඔබේ දැනුම කෙරෙහි මගේ අවධානය යොමු කළ බැවිනි.

    tbd

    • 4
      0

      Part 2
      .
      Part 2
      ඔබ කුමන ජාතියකට, ආගමකට අයත් වුවත්, මිනිසුන් වෙන් කරන වෙනත් සාධක නොසලකා මිනිස් මනසේ ස්වභාවය එයයි. මම අවංක නම්, 2005-2015 MR පාලනයේ මල් පිපුණු මුල් අවධියේ සැබෑ ලෙසම පිළිසිඳ ගත් “මහ බැංකු – බැඳුම්කර මගඩිය” ගැන පමණක් මෑතක් වන තුරුම අවධානය යොමු කළ මට ඔබ ගැන වැඩි ගෞරවයක් තිබුණේ නැත. ඔබේ උපපරිපාලකයින් ඔබව නැවත නැවතත් ශ්‍රීලංකන් මහ බැංකුවට ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු ලෙස හඳුන්වා දෙයි.

      මම බැංකු ක්‍ෂේත්‍රයේ නොසිටින නමුත් යුරෝපයේ විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වන මම මගෙන් සහ ඔබට ප්‍රශ්නය නගන්නේ අජිත් කබ්රාල් සහ එවකට මුදල් ඇමති මහින්ද රාජපක්ෂ විසින් කොල්ලකෑමේ උපක්‍රමවල බීජ වපුරද්දී ඔබ එම ආයතනය තුළ කුමක් කරමින් සිටියේද යන්නයි.

      අජිත් + මහින්ද විසින් නැවත නැවතත් සිදු කරන ලද එම පාඩු ඇස්තමේන්තු කළ නොහැකි යැයි විශ්වාස කෙරේ, කෙසේ වෙතත්, 2015 දී මතු වූ පාඩුව පාඩුව ලෙස ඉතිරි කර ඇති බිලියන 12 කින් ආවරණය වනු ඇතැයි විශ්වාස කෙරේ. හාස්‍යයට කරුණක් නම්, රාජපක්ෂ හෙජමොනික කවයේ දඩබ්බරයෙකු වන අජිත් කබ්රාල්, පවතින ව්‍යවස්ථාමය ප්‍රතිපාදන පවා උල්ලංඝනය කරමින් නැවත තේරී පත් වූ නමුත්, ජනතා දැඩි විරෝධය මධ්‍යයේ මහ බැංකුවේ වත්මන් අධිපතිවරයා බවට පත් විය.

      SIRASSA TV එක දුසිම් ගනනක් ඔබ සමග සම්මුඛ සාකච්චාවක් කලද මටම පිළිතුර සොයාගත නොහැකි විය. දැන් එම අපරාධකරුවන්ම නැවත බලයට පැමිණ ඇත, හිටපු ආණ්ඩුකාරවරයාට එරෙහිව ආසනයේ වත්මන් පුද්ගලයාගේ මට්ටමෙන් ඔබ්බට යන චෝදනා රාශියක් තිබුණද, සැලකිය යුතු බැඳුම්කර පාඩු සම්බන්ධයෙන් පසුගිය වසර දෙක තුළ කිසිවක් කර නැත.
      මෙය මට උභතෝකෝටික ප්‍රශ්නයකි, අදටත්.


      tbc

      • 2
        0

        අඳුරු වලාකුළක් රට පුරා වැසී යාමත් සමඟ මිනිසුන්ගේ කනස්සල්ල තවත් වැඩි වේ. දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අහස උසට නැඟීම, සෑම කෙනෙකුම පාහේ කම්පනයට පත් කරයි. රාජ්‍යය ඇහුම්කන් දෙන බවක් හෝ ඔවුන්ගේ ඇස් ඇරෙන බවක් පෙනෙන්නට නැත. රාජපක්ෂලාට මිස කාට දොස් කියන්නද. පසුගිය යහපාලනය ඉදිරියට ගෙන යාමට ඔවුන් ඉඩ දුන්නේ නැත/හිටපු ජනපති රාජපක්ෂට හසුවිය. රාජපක්ෂ ප්‍රමුඛ විෂම චක්‍රය රට විනාශ කළේ සමාජය ඛාදනය වන බැවින් එය ආපසු හැරවීමට කිසිවක් හෝ දැඩි උත්සාහයක් අත්‍යවශ්‍ය නොවන බැවිනි. මතකද මහින්ද බලය අල්ලන්න කලින් අභියෝග කරපු හැටි ” ….. අපිට දෙන්න, අපි පෙන්වන්නම් මේ රට පාලනය කරන හැටි ::::”””
        අද මිනිසුන් ගැඹුරට වැටෙන විට, ඔවුන්ගේ ක්‍රියාවන් නිසා, ඔහු මිනිසුන් සමඟ කතා කරන්නේවත් නැත. ජාතියට යම් යහපතක් කිරීමට ඔවුන් තම කව තුළ සාකච්ඡා කරන්නේ ද නැත. ඒක හරියට එක තැන පල්වෙන තත්ත්වයක් වගේ. GOTA ගෙන ඒමට ඇති ඊනියා දැක්ම ක්‍රමයෙන් ක්‍රියා විරහිත ය, නමුත් ඔහු තම හෙජඩ්මොනියේ හස්තය තවදුරටත් ශක්තිමත් කරයි. එක් වරක් පමණක් නොව, එකින් එක, විවිධ ආකාරයේ දැවැන්ත දූෂිත හැසිරවීම්.

  • 0
    0

    Thank you,
    .
    Dr Wijewardena for all the dedicated work that you’ve been putting in, trying to educate the people on their folly of not thinking more clearly when voting.
    .
    Thanks also to “leelagemalli” for all these comments in Sinhala, made from Germany.
    .
    May there be something for us to derive satisfaction from during the year that has just dawned.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.