1 December, 2020

Blog

වාම ජනතාවාදයක් කරා: දොළොස් වන කොටස – ප්‍රතිජනනාත්මක වාමාංශික දේශපාලනයක්

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

“වාමාංශිකයින් යනු කඩාකප්පල්කාරීන්ය.” මේ අප රටේ වමට එරෙහිව ඉදිරිපත් වෙමින් තිබෙන ප්‍රසිද්ධ විවේචනයකි. “ජේ.වී.පීකාරයන් යනු පොදු දේපළ විනාශ කළ පිරිසකි.” අදටත් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මේ චෝදනාව එල්ල කෙරෙනු දක්නට ලැබේ. තමන්ට එරෙහිව එල්ල කෙරෙන මෙවන් ගර්හාත්මක ප්‍රහාර සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් වාමාංශිකයින් දක්වන ප්‍රතිචාරය වන්නේ ඒවා නොතකා හැරීමයි. දේශපාලනය තුළ එය වටහාගත හැකිය. නමුත්, නව වාමාංශික දේශපාලනයක් ගැන කල්පනා කිරීමේදී අප මේ චෝදනා නොතකා හැරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒ වෙනුවට අප අපගෙන්ම අසා ගත යුතු ප්‍රශ්නයක් තිබේ. එනම්, පොදුවේ වම කෙරෙහි මෙවන් නිශේධනීය පොදු ජන අවබෝධයක් (common sense) ගොඩ නැංවීමට දක්ෂිණාංශිකයින් සමත් වී තිබෙන්නේ මක් නිසාද යන්නයි. තවත් ඉදිරියට ගොස් අප ඇසිය යුත්තේ ඔවුනගේ එම සමත්කම අපගේම අසමත්කමක ප්‍රතිපලයක් විය නොහැකිද යන්නයි. සැබවින්ම වමේ දේශපාලනය විසින් සිදු කොට ඇත්තේ පවත්නා තත්ත්වය කඩාකප්පල් කිරීම පමණක්ද? එය විසින් කිසිවක් ගොඩ නංවා නොමැතිද? එසේ කිසිවක් ගොඩ නංවා තිබේ නම් ඒ ගැන එතරම් සැලකිල්ලක් ලක් වී නොමැත්තේ මන්ද?

මාව වරදවා වටහා නොගනු පිණිස මෙහිදී සඳහන් කළ යුතු කාරණයක් නම් පවත්නා පීඩාකාරී ව්‍යුහයන් කඩාකප්පල් කිරීම නොහොත් විනාශ කිරීම වමේ දේශපාලනයේ අත්‍යවශ්‍ය අංගයක් බව මෙයින් ප්‍රතික්ෂේප නොවන බවය. අප සමාජයේ කඩාකප්පල් කොට දැමිය යුතු බොහෝ දේ තිබේ. ඒ අනුව, වමේ දේශපාලනය විසින් ඉටු කළ යුතු “විනාශකාරී භූමිකාවක්” පවතී. එම විනාශකාරී භූමිකාව ඉටු කිරීමේදී පීඩිතයා හට තමන් පෙළන පීඩනයට එරෙහිව ආයුධ දැරීමට පවා අයිතියක් ඇති බව ජවිපෙ ඇතුළු මෙරට කිසිදු වාමාංශික සංවිධානයක් ප්‍රතික්ෂේප නොකරනු ඇත. නමුත්, මට අවධාරණය කරන්නට අවශ්‍ය වන්නේ වාමාංශික ව්‍යාපාරවල මෙම විනාශකාරී භූමිකාව සමග අත්වැල් බැඳගෙන යා යුතු ප්‍රතිජනනාත්මක භූමිකාවක්ද පවතින බවයි. මගේ අදහස නම් ලාංකීය වාම දේශපාලනය තුළ මෙම ප්‍රතිජනනාත්මක භූමිකාව අව-අවධාරණයකට ලක්ව තිබෙන බවත්, වමේ ක්‍රියාකාරීන් කඩාකප්පල්කාරී පිරිසක්ය යන අධිපති සමාජ ආකල්පය ස්ථාපිත වීම සඳහා එයද හේතුවක් වී තිබෙන බවත්ය. මෙය වැඩි දුරටත් විමසා බැලිය යුතු කාරණයකි.

සෝවියට් ආදර්ශය

ලොව සෙසු බොහෝ තැන්වල සේම ශ්‍රී ලංකාවේද විසි වෙනි සියවසේ වාමාංශික දේශපාලනය කෙරෙහි සෝවියට් විප්ලවයේ බලපෑම කොතරම්දැයි අමුතුවෙන් කිව යුතු නැත. අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ සිරගෙයි සටහන් පොත්වල ඉංග්‍රීසි පරිවර්තනයේ සංස්කාරකවරුන් දෙදෙනා වන ක්වින්ටින් හෝ(ර්) සහ ජෙෆ්රි නොවෙල් ස්මිත් පෙන්වා දෙන පරිදි යුරෝපයේ මාක්ස්වාදීන්ට අදාළව සෝවියට් විප්ලවයේ ප්‍රධාන ප්‍රායෝගික පාඩම් දෙකක් තිබිණ. පළමුවැන්න වූයේ රාජ්‍ය බලය අත්පත් කර ගැනීම සඳහා සංවිධානාත්මක පක්ෂයක වැදගත්කමයි. දෙවැන්න, කම්කරුවන්ගේ, ගොවීන්ගේ සහ සොල්දාදුවන්ගේ ස්වාධීන නියෝජන ආයතන ගොඩ නැංවීමේ වැදගත්කමයි. ඉතාලිය තුළ මේ පළමුවන පාඩම හොඳින්ම ඉගෙන ගත් කොමියුනිස්ට් නායකයා වූයේ ග්‍රාම්ස්චිට පෙර ඉතාලියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය දැරූ අමදියෝ බෝඩිගා ය. දෙවෙනි පාඩම හොඳින්ම උගත් නායකයා වූයේ ග්‍රාම්ස්චිය. ඔහු රුසියාවේ සෝවියට් සභා අනුව යමින් ඉතාලියේ ටියුරින් නගරයේ ෆැක්ටරි සභා ගොඩ නැංවීමට උත්සුක විය. “කම්කරු පංතිය රාජ්‍ය බලය දිනා ගැනීමට පෙරම එය අභ්‍යාස කළ යුතුය” යන ග්‍රාම්ස්චිගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය වටහාගත යුත්තේ ෆැක්ටරි සභා පිළිබඳ ඉතාලියානු අත්දැකීම අනුසාරයෙනි. රුසියානු විප්ලවයේද මුල් සටන් පාඨය වූයේ “සියළු බලය සෝවියට් සභාවලට!” යන්නයි. (පසුව සැබවින්ම සිදු වූයේ සියළු බලය පක්ෂයට ගලා යාමත් කතිපයාධිකාරී පක්ෂ තන්ත්‍රයක් -partyocracy- ස්ථාපිත වීමත් බව සැබෑය. එසේ වූයේ මන්දැයි වෙනම සාකච්ජා කළ යුතුය).

ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ සියළු ධාරාවන් අඩු හෝ වැඩි වශයෙන් සෝවියට් විප්ලවයේ පළමු පාඩම උගෙන ඇති බව පෙනුනද, දෙවන පාඩම බොහෝ විට ඔවුනට මග හැරී ගොස් ඇති බව පෙනේ. මෙරට වාමාංශික පක්ෂවලට සම්බන්ධ ශිෂ්‍ය, තරුණ, කාන්තා, කම්කරු, ගොවි යනාදී බහුජන සංවිධාන පවතින බව සැබෑය. නමුත්, ඒ සියල්ල පක්ෂයේම බාහිර සංවිධාන ව්‍යුහයන් මිස ස්වාධීන නියෝජන ආයතන යැයි කිව නොහැකිය. මැතිවරණ ඉලක්ක කොටගෙන ගොඩ නගනු ලබන සංවිධාන ගැනද කීමට ඇත්තේ එයමය. මෙයින් හැඟවෙන්නේ පවත්නා රාජ්‍යයට එරෙහිවත් ඇතැම්විට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන්ට එරෙහිවත් වමේ විවේචන පදනම්ව ඇත්තේ කිසියම් විකල්ප ප්‍රජාතාන්ත්‍රික මොඩලයක් ඉදිරිපත් කිරීම මත නොවන බවයි. සරලව, පෙරළා දැමිය යුත්තේ කුමක්දැයි ජනතාවට ඉතාම සිත් කාවදින ලෙස පෙන්වාදෙන වාමාංශිකයා ඒ වෙනුවට ගොඩ නගන්නේ කුමක්දැයි කීමට අසමත්ය.

පෙරටුගාමීන්ගේ ප්‍රයත්නය

කෙසේ වුවත්, ඉහත විවේචනයට එක් ව්‍යතිරේඛයක් තිබෙන බවද මෙහිදී සඳහන් කළ යුතුව ඇත. එනම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. පසුගිය ඔක්තෝබර් 15 වෙනිදා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවෘත විශ්ව විද්‍යාලයේ පැවති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී මම විකල්ප ප්‍රජාතාන්ත්‍රික ආකෘතීන් පිළිබඳ ප්‍රශ්නය පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව සොයුරා වෙත ඉදිරිපත් කළෙමි. දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් සහභාගී වූ එම සම්මන්ත්‍රණයේ සංවාද භාෂකයා ලෙස ක්‍රියා කළ මා ඔහුගෙන් විමසූ ප්‍රශ්නය මෙයයි: “පවත්නා ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයන් විවේචනයට ලක් කරන ඔබ හට ඉදිරිපත් කළ හැකි විකල්ප ප්‍රජාතාන්ත්‍රික මොඩලයක් තිබේද?” ඔහුගේ පිළිතුර වූයේ ගොවීන්ගේ, කම්කරුවන්ගේ, ධීවරයන්ගේ, ශිෂ්‍යයන්ගේ සහ වෙනත් සියළු සමාජ කණ්ඩායම්වල ජනතා නියෝජන සභා (ජන සභා) පිහිටවිය යුතු අතර ඒවාට නෛතික බලයක් ලබා දිය යුතු බවය. ඔහු අදහස් කළේ ඉහළ සිට ගොඩ නගනු ලබන ආයතන විශේෂයක් නොව ඓන්ද්‍රීයව ජන ප්‍රජාවන් තුළින්ම පැන නගින සංවිධාන ආකෘතියක් බව පැහැදිළිය.

ඉහත සම්මන්ත්‍රණයට පසුව මා ඇමතූ මහාචාර්ය ජයදේව උයන්ගොඩ ඇතුළු කිහිප දෙනෙකුම ප්‍රකාශ කළ දෙයක් නම් පෙරටුගාමී පක්ෂයේ නියෝජිතයා අදාළ කාරණය ගැන බරපතලව කල්පනා කොට තිබුණා යැයි ඔවුනට හැඟුණු බවයි. මේ මෙතෙක් කලක් මෙරට වාමාංශයට මග හැරී තිබුණු ප්‍රතිජනනාත්මක දේශපාලනයක් සඳහා වන පැසසුම් කටයුතු ප්‍රයත්නයකි. එම ප්‍රයත්නයට කිසියම් ආකාරයකින් හෝ දායක වීම සඳහා වැදගත් විය හැකි යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි.

කොරෝනා අර්බුදය සහ “ආපදා කොමියුනිස්ට්වාදය”

ප්‍රතිජනනාත්මක දේශපාලනයකට අදාළ පළමු තීරණාත්මක අභියෝගය එල්ල වන්නේ කොරෝනා අර්බුදය කෙරෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම නිර්මාණශීලී වාමාංශික ව්‍යාපාරයකට මැදිහත් විය හැකි විශාල අවකාශයක්ද මේ අර්බුදය විසින්ම ජනිත කොට තිබේ. මන්ද යත්, අර්බුදය පාලක පැලැන්තිය සිතනවාට වඩා බොහෝ ගැඹුරට සහ දුරට විහිඳෙන එකක් වීමට හොඳටම ඉඩ තිබේ. මෙය තරමක් පැහැදිළි කරන්නට මට ඉඩ දෙන්න.

කොරෝනා අර්බුදය කෙරෙහි ඇදහිය නොහැකි තරමේ වේගයකින් ප්‍රතිචාර දක්වමින් සිටින ප්‍රමුඛතම වාමාංශික න්‍යායවේදියෙකු වන ස්ලේවෝයී ශිෂෙක් දැනට දින කිහිපයකට පෙර ඒ පිළිබඳ තම දෙවන කෘතිය (“වසංගතය 2: අහිමි කාලයක පුරාවෘත්ත”) එළි දක්වන්නේ ඉතා වැදගත් ප්‍රශ්නයක් විමසමිනි. එනම්, දාර්ශනිකයෙකු අස්වනු නෙළීම ගැන ලිවිය යුත්තේ මන්ද යන ප්‍රශ්නයයි. ඔහුගේ සරල පිළිතුර වන්නේ මෙයයි: අස්වනු නෙළීමේ කටයුතුවල යෙදෙන ගොවීන් දස දහස් ගණනක් වසංගතයට ගොදුරු වෙමින් වැඩට යාමට නොහැකිව සිටී. දකුණු ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ එළවළු සහ පළතුරු නෙළීමට නොහැකිව නරක් වී යමින් තිබේ. ෆ්ලොරීඩාවේ ටොන් ගණනක දොඩම් අස්වැන්න විනාශ වී යයි. එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය සහ රුසියාව යන රටවලද මීට සමාන ප්‍රශ්න උද්ගත වෙමින් තිබේ. මෙසේ වන්නේ නගරවල අති විශාල ජනතාවක් ආහාර අහේනියකට ගොදුරු වෙමින් සිටියදීය. මේ වනාහී අභව්‍ය ධනවාදී අර්බුදයකි. වත්මන් ශ්‍රී ලංකාවේ තත්ත්වයද මීට සමාන නොවේද? දඹුල්ලේ ටොන් ගණනක එළවළු තොග නරක් වී යමින් තිබියදී ඇඳිරි නීතිය පණවා ඇති බස්නාහිර පළාතේ විශාල පිරිසක් තම මූලික ආහාර අවශ්‍යතා සඳහා අරගල කරමින් සිටී. ඉතාම සැලසුම්ගත දූරදර්ශී වැඩ පිළිවෙලක් ඉක්මණින්ම ක්‍රියාවේ යෙදවීමට අප අපොහොසත් වුව හොත් පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික අහේනියක් සහ සාගතයක් නිර්මාණය විය හැකිය.

ශිෂෙක් පවසන්නේ ඔහු මේ ප්‍රශ්න ගැන ලියන විට ඔහුගේ විවේචකයින් උපහාසාත්මකව සිනාසෙන හඬ ඔහුට ඇසෙන බවයි. වසංගතයෙන් හැඟවෙන්නේ දාර්ශනිකයෙකු ලෙස ඔහුගේ කාලය අවසන්ව ඇති බවද? අපගේ පැවැත්මේ මූලික පදනම් තර්ජනයට ලක්ව ඇති විට හේගල් පිළිබඳ ලැකානියානු කියැවීමක් ගැන උනන්දු වන්නේ කවුරුන්ද? දැන් ශිෂෙක්ටත් අස්වනු නෙළීම ගැන කතා කරන්නට සිදුව තිබෙනවා නොවේද? එය සැබෑය. නමුත්, ඒ සමගම ඔහු පෙන්වා දෙන්නේ මේ අර්බුදය විසින් අප ලෝකය දකින වෙනස් දැක්මවල් අතර ඉතාම තීව්‍ර ගැටුමක් නිර්මාණය කරනු ලැබ තිබෙන බවයි. අස්වනු නෙළන්නේ සහ බෙදා හරින්නේ කෙසේද යන්න තීන්දු වන්නේ අප සමාජයේ අධිපති ලෝක දැක්ම කුමක්ද යන කාරණය අනුවය. මෙහිදී දර්ශනවාදය පිළිබඳ ශිෂෙක් ඉදිරිපත් කරන ප්‍රවේශය ග්‍රාම්ස්චිගේ ප්‍රවේශයට සමාන බැව් මගේ අදහසයි. ග්‍රාම්ස්චි පෙන්වා දුන් පරිදි වඩා වැදගත් දාර්ශනික ප්‍රශ්නය වන්නේ මිනිසුන්ගේ ව්‍යවහාරික ජීවිත හැඩ ගස්වා තිබෙන්නේ කවර ලෝක දැක්මකට කවර පොදු ජන අවබෝධයකට අනුවද යන්නයි. වත්මන් වසංගතයේ නිමේෂය තුළ වෙනත් වියුක්ත දාර්ශනික වල්පල්වලින් පලක් ඇත්තේ කා හටද?

ශිෂෙක් ඔහුගේ “වසංගතය: කොවිඩ් 19 ලොව සසළ කරයි” (2020) කෘතිය මගින් පෙන්වා දුන්නේ වත්මන් වසංගතයේ අභියෝගයට මුහුණ දීමට ධනවාදය අසමත් බවයි (මේ කෘතිය මවිසින් සිංහලට පරිවර්තනය කෙරී ඇත). එබැවින් නයෝමි ක්ලේන්ගේ විග්‍රහයට සහ විවේචනයට ලක් වූ “ආපදා ධනවාදය” යන්න වෙනුවට ඔහු “ආපදා කොමියුනිස්ට්වාදයක්” යෝජනා කරයි. එයින් අදහස් වන්නේ ජාත්‍යන්තර තලයේ සේම ප්‍රජාමය තලයේද අන්‍යොන්‍ය සහයෝගීතාව මත පදනම් වූ ප්‍රවේශයකි. නිදහස් වෙළඳපළේ තර්කනයට පිටතින් නිෂ්පාදනය සහ බෙදා හැරීම සංවිධානය කිරීම එහි ප්‍රධාන අංගයක් විය යුතුය.

ප්‍රජා සහභාගීත්ව ව්‍යුහයන් ගොඩ නැගීම

අද දිනයේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කොරෝනා අර්බුදය සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන වැඩ පිළිවෙළ තුළ බරපතල ලෙස නොතකා හරිනු ලබමින් පවතින්නේ ප්‍රජා සහභාගීත්වය නමැති කාරණයයි. සියල්ල සැලසුම් කරනු ලබන්නේ සහ ක්‍රියාවේ යොදනු ලබන්නේ ඉහළ අධිකාරී බලයක් විසිනි. පොලීසිය, යුද හමුදාව සහ ආණ්ඩු හිතවාදී මාධ්‍ය ආයතන එම ක්‍රියාවලියේ තීරණාත්මක භූමිකාවක් ඉටු කරයි. කොවිඩ් ආසාදිතයන් අපරාධකරුවන් යැයි හැඟෙන අධිපති කතිකාවක් නිර්මාණය වී ඇති බැවින් රෝගීන් ප්‍රතිකාර සඳහා ඉදිරිපත් වීම අධෛර්යමත් කෙරී ඇත. (පසුගිය දිනවල කොරෝනා මරණ කිහිපයක්ම වාර්තා වූයේ රෝහල් වෙතින් නොව පුද්ගලික නිවෙස්වලිනි). මෙසේ රෝගීන්ට සැඟවීමට බල කෙරෙන වාතාවරණයක් නිර්මාණය වීම වසංගතය පැතිර යාමට බෙහෙවින් ඉවහල් විය හැකිය. අනෙක් අතින්, ඇඳිරි නීතිය බල පැවැත්වෙන හෝ නිරෝධානය සඳහා වසා දමනු ලැබ තිබෙන ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා ප්‍රජාමය සහයෝගය ලබා ගැනීම ගැන කල්පනා කොට ඇති බවක් පෙනෙන්නේ නැත. නිදසුනක් ලෙස, මේ සඳහා ත්‍රීරෝද රථ සංගම්වල සහාය ලබා ගත්තේ නම් වඩා කාර්යක්‍ෂම සේවයක් සපයන අතරම ආදායම් බෙදී යාමත් තහවුරු කළ හැකිව තිබිණ.

වාමාංශික ව්‍යාපාර ඉහත තත්ත්වය විවේචනයට ලක් කළ යුතු බවත් එයට විරෝධය දැක්විය යුතු බවත් සැබෑය. නමුත්, එය කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැත. පවතින පාලනයට මග හැරෙන ප්‍රජා සහභාගීත්වයේ මානය වඩා නිර්මාණශීලී ලෙස ගොඩ නැංවීමට වාම ජනතාවාදීන්ට දැන් අවස්ථාව හිමි වී තිබේ. අප සමාජයේ කාලාන්තරයක් තිස්සේ මුල් බැසගෙන තිබෙන ප්‍රජාමය වටිනාකම් (අන්‍යොන්‍ය සහයෝගීතාව, අසරණුන්ට පිහිට වීම, අනෙකාගේ දුකේදී කම්පා වීම…) නොහොත් ග්‍රාම්ස්චි කතා කරන ආකාරයේ සාධනීය “ජාතික සම්ප්‍රදායන්” ඉහළට ගනිමින් ක්‍ෂුද්‍ර තලයේ ප්‍රජා එකතූන්, අසල්වැසි සංවිධාන යනාදිය ගොඩ නැංවීමෙන් වාමාංශිකයන් හට මේ වසංගතයේ අර්බුදයට මැදිහත් විය හැකිය. එසේම එම නව සමාජ ජාලයන් කල් පවතින ඒවා බවට පරිවර්තනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නයද බරපතලව කල්පනා කර බැලිය යුතුය.

මීට අමතරව වාමාංශයට ප්‍රතිජනනීය මැදිහත්වීම් කළ හැකි තවත් ක්ෂේත්‍ර දෙකක් නම් වත්මනෙහි මෙරට ග්‍රාමීය දරිද්‍රතාව තීව්‍ර කරන මර උගුලක් බවට පත්ව තිබෙන ක්‍ෂුද්‍ර මූල්‍ය අර්බුදය සහ පාරිසරික විපර්යාසය පිළිබඳ අර්බුදයයි. වත්මනෙහි දිළිඳු ජනයා සූරා කන ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට එරෙහිව වාමාංශය දැනටමත් විරෝධය දක්වමින් සිටින බව සැබෑය. නමුත් මෙහිදීද විරෝධතා දේශපාලනය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. මිනිසුන් විවිධ අසාධාරණ කොන්දේසි යටතේ ණය ගන්නේ ආයෝජනය සඳහාම නොවේ. බොහෝ විට තම මූලික යැපුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහාය. මේ අර්බුදයට මුහුණ දී සිටින ජනයාට එකම විසඳුම සමාජවාදය යැයි කීමෙන් පලක් නොමැත. වාමාංශය සමාජවාදය සඳහා වන අරගලයට ජනයාට ඇරයුම් කළ යුත්තේ ඔවුනගේ දෛනික ජීවිතයේ ප්‍රශ්නවලටද කෙටිකාලීන හෝ ප්‍රායෝගික විසඳුම් මාර්ග යෝජනා කරන අතරමය. ක්‍ෂුද්‍ර ණය උගුල සම්බන්ධයෙන් එවන් ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා වමට විකල්ප සමූපකාර ක්‍රම වැනි දේ අත්හදා බැලිය හැකිය. නොඑසේනම්, අද ලංකාව තුළ අපහරණයට ලක් කොට තිබෙන ක්‍ෂුද්‍ර ණය සහ ග්‍රාමීන් බැංකු ක්‍රමයේ නිර්මාතෘ කීර්තිමත් බංගලාදේශ ජාතික සමාජ ක්‍රියාකාරිකයෙකු වූ මුහමඩ් යූනුස්ගේ ඉගැන්වීම් මුල පටන් හැදෑරීම වුවත් ප්‍රයෝජනවත්ය.

අවසන් වශයෙන් පාරිසරික විපර්යාසය පිළිබඳ අභියෝගයට මුහුණ දීම සඳහා ප්‍රජා සහභාගීත්වය කොතරම් තීරණාත්මක වන්නේදැයි අමුතුවෙන් කිව යුතු නැත. ප්‍රජා සහභාගීත්වය නොමැතිව එසේ කෙසේවත් කළ නොහැකිය. එයද කළ හැක්කේ වමටය. වමේ දේශපාලනය යනුවෙන් දෙයක් නොපවතීය යන්න 1990 දශකයේදී ලිබරල්වාදීන් විසින් මන්ත්‍රයක් සේ ජප කොට අද වනවිට යල් පැන ගිය අදහසකි. සැබවින්ම දැන් අනාගතය අයිති වමටය. නමුත්, ඒ කෙබඳු වමකටද? විරෝධතා දේශපාලනයෙන් ඔබ්බට යාමට සමත් ප්‍රතිජනනාත්මක වමකටය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.