29 May, 2023

Blog

ඉතිහාසයේ අවසානය සමග සම්මුතිගත වීම සංඥා කරන විසල් අමිහිරි සීනු නාදය

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

‘අර මිහිරි සීනු නාදය’ මා මිත්‍ර ලියනගේ අමරකීර්ති විසින් රචිත විශිෂ්ට කෙටි කතා එකතුවකි. එහි එනමින්ම ඇති කෙටිකතාව තුලින් අපට මුණ ගැසෙන්නේ අසුව දශකයේ අග භාගයේ ජවිපෙ දෙවන සන්නද්ධ නැගී සිටීම පසුබිම් කොටගෙන ගොඩ නැගෙන සුන්දර ප්‍රේම සම්බන්ධයකි. නව යොවුන් තරුණියක් සහ ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වන තරුණ වියේ අග්ගිස්සෙහි වෙසෙන ආදරණිය පිරිමියෙකු අතර සියලු සමාජ සම්මතයන්ට පිටස්තරව සහ රහසිගතව ප්‍රේමයක් දළු ලා වැඩේ. කතා නායිකාව වන රංජිනී වෙත රමණීය අතීත මතකයක් ඉතිරි කොට තබා ඇයගේ පෙම්වතා දේශපාලන ප්‍රචණ්ඩත්වයට ගොදුරුව හදිසියේ අතුරුදහන් වේ. දැන් මැදි වියේ විවාහ දිවියක් ගෙවන රංජිනීට තවමත් තම අතීත පෙම්වතාගේ බයිසිකලයෙන් හැඬවුනු සීනු නාදය ප්‍රේමයේ නොමියෙන මතකයකි. මේ කතාව අතීතකාමී සහ රොමාන්තිකවාදී ගති ලක්ෂණ ප්‍රකට කරන්නකි. එය ගෙවුණු අසුව දශකයේ රැඩිකල් දේශපාලනය ගැනත්, රංජිනීලාගේ ප්‍රේමාන්විත අත්දැකීම් ගැනත්, ඒ දෙකටම පසුබිම් වූ ගම්බද සොබාවික හා සමාජීය පරිසරය ගැනත් රොමාන්තික චිත්‍රයක් නිමවයි. එය යම් අවකාශයක් සමග වූ ආත්මීය බැඳීමක්ද හඟවයි. රංජිනී සහ වික්‍රම රති සුවය විඳි ගොරොක් ගසේ සිහිල් සෙවන සහ රංජිනී වික්‍රම මුණ ගැසෙන්නට නික්ම ගිය ජනේලය එකී අවකාශීය ස්ථානයන් අතර ප්‍රමුඛය.

දැන් ජවිපෙ තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ අමරකීර්තිගේ අතීතකාමී කෙටි කතාවේ නම මදක් වෙනස් කොට ‘මේ විසල් සීනු නාදය’ යනුවෙන් භාවිතා කරයි. මිහිරි සීනු නද විසල් නදක් වී ඇත. අමරේද එම ප්‍රචාරක ව්‍යාපාරයට එක් වූ බුද්ධිමතුන් හා කලාකරුවන් අතරට එක්ව ඇත. නමුත් සීනු නද විසල් එකක් වන විට එහි හැඟවුමද වෙනස් වී ඇති බව සමීප නිරීක්ෂණයකදී පෙනී යයි.

A participant carries a child on his shoජවිපෙ මෙවර මැතිවරණ ප්‍රකාශණය තුළ තම පක්ෂ ඉතිහාසයේ ප්‍රථම වරට නිදහස් වෙළදපල ආර්ථික ක්‍රමය තම ආර්ථික දැක්මේ පදනම ලෙස පිළිගෙන ඇත. එය තෝරා ගත් ක්ෂේත්‍ර සඳහා මහා පරිමාණ විදේශ ආයෝජන වලට විශේෂ පහසුකම් දීමට පොරොන්දු වෙයි. වියට්නාමය, බංගලාදේශය වැනි රටවලට ගලා යන විදේශ ආයෝජන (මෙයට පුද්ගලික ඍජු විදේශ ආයෝජන ඇතුලත් බව හැඟවේ) ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිව ආයෝජන මණ්ඩලය ප්‍රති-ව්‍යුහගතකරණය කරන බව පවසයි. එකී ආයෝජන ආකර්ෂණය වන්නේ ලාභ ශ්‍රමය සහ පහත් ශ්‍රම කොන්දේසි ඇති තැන් වෙත බැව් නොතකා හරී. එජාපයේ බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්මට සමාන්තරව යමින් කර්මාන්ත කලාප පිලිබඳ යෝජනාවක් ගෙන එයි. (ඒවායෙහි ආයෝජනය කරන්නේ කව්රුන්දැයි සහ නිෂ්පාදන ප්‍රතිලාභ බෙදී යනු ඇත්තේ කෙසේදැයි නොපවසා සිටින්නට ප්‍රවේශම් වෙයි.) රාජ්‍යයේ ආර්ථික භූමිකාව යළි යළිත් අවධාරණය කලද මහා ප්‍රාග්ධනය විසින් පනවන ශ්‍රම කොන්දේසි වලට අදාල කාරණයේදී (විශේෂයෙන්ම විදේශ ප්‍රාග්ධනය සහ දේශීය ශ්‍රමය අභිමුඛ වන තැනදී) රාජ්‍යයේ භූමිකාව ගැන පැහැදිලි නැත. පුද්ගලික අංශයේ අවම වැටුප් ගැන පවසන විට ඍජු විදේශ ආයෝජන වලට සලසන ‘පහසුකම්’ සමග එය ගැලපෙන්නේ කෙසේදැයි නොකියයි. (ඊනියා නිදහස් වෙළඳ කලාප සහ ආයෝජන ප්‍රවර්ධන කලාප තුළ කම්කරු නීති ක්‍රියාත්මක වන සුවිශේෂී ආකාර පවත්නා නිසා මේ කාරණය වැදගත්ය.) වතු ක්ෂේත්‍රය තුළ වත්මනෙහි අවම රාජ්‍ය සුභසාධනය පවා ක්‍රියාත්මක කල නොහැක්කේ (තවත් හේතු අතර) වතු වල පුද්ගලික හිමිකාරිත්වය හමුවේ මතුවන නෛතික බාධාවන් නිසාය. ජවිපෙ ඒ ගැන කිසිවක් නොකියයි. ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඉගි කෙරෙන සෑම විටකදීම ‘පුද්ගලික අංශයේ පුර්ණ දායකත්වය ඇතිව’ යනුවෙන් එක් කරන්නට ප්‍රවේශම් වෙයි. විදෙස් ණය සම්බන්ධයෙන් ග්‍රීසියේ සයිරිසා සන්ධානය මෙන් රැඩිකල් ස්ථාවරයක් නොගනී. ඒ කාරණය ණය සපයන ගෝලීය මුල්‍ය ආයතන සමග සාකච්ජා කොට විසඳා ගන්නා බව පමණක් පවසයි.

ඉහත සියල්ලටමත් වඩා තම ප්‍රතිපත්ති ප්‍රකාශණය තුළ කිසිදු තැනක ආදායම් ප්‍රතිව්‍යාප්තිකරණය (redistribution) සඳහා වූ කිසිදු යෝජනාවක් ඉදිරිපත් කරන්නට ජවිපෙ අසමත් වීම කැපී පෙනේ. ආදායම් ප්‍රතිව්‍යාප්තිකරණය සඳහා බදු ප්‍රතිපත්තියේ රැඩිකල් පරිවර්තනයක් අවශ්‍යය. සරලව කිවහොත් පොහොසතුන්ගෙන් මුදල් ගෙන දුප්පතුන්ගේ සුභසාධනය සඳහා එම මුදල් යොදවන ‘සරදියෙල් ප්‍රතිපත්තියක්’ අවශ්‍යය. ලංකාවේ දැනට පුද්ගලයන්ගේ උපයන ආදායම මත පනවන බදු අනුපාතය 2014 වසරට අදාලව ගත් විට 24%කි. ධනවාදී ඇමරිකා එක්සත් ජනපදයේ පවා එම අනුපාතය ආසන්න වශයෙන් 40% කි. මෙසේ තිබියදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් හමුවේ ශපථ කොට සිටියේ තම පක්ෂය කිසිසේත් සරදියෙල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවය. ජවිපෙ දැන් එජාපයට සහ එජනිසයට සමාන්තරව යමින් ජන ජීවිතය නගා සිටුවීමට යෝජනා කරන්නේ ජාතික නිෂ්පාදනය ඉහල නැංවීමය. එම නිෂ්පාදිත ධනය ප්‍රතිව්‍යාප්තිකරණය සඳහා වෙනත් ක්‍රමයක් යෝජනා නොකරන්නේ නම් එහි අරුත සංවර්ධනයේ ප්‍රතිලාභ ඉබේම පහලට ගමන් කරනු ඇතැයි කියන නව ලිබරල් ප්‍රවාදය (trickle -down effect) ජවිපෙ පිළිගන්නා බවය.

මේ අනුව අපට නිගමනය කරන්නට සිදු වන්නේ ජවිපෙ දැන් එජාපය සහ එජනිසය සමග ආර්ථිකය සම්බන්ධයෙන් එකම ප්‍රතිපත්තිමය ස්ථාවරයකට පැමිණ ඇති බවයි. 1994 වසරේදී ශ්‍රීලනිපය ‘විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීමේ’ නාමයෙන් එජාපය සමග එකම ස්ථාවරයක් බෙදා ගත්තේ නම් ඉන් එකුන් විසි වසරකට පසුව දැන් ජවිපෙද එතැනට පැමිණ තිබේ. ජවිපෙ ඉදිරිපත් කොට ඇත්තේ රාජ්‍ය කේන්ද්‍රීය ආනයන ආදේශන කාර්මීකරණයේත් ආර්ථික ජාතිකවාදයේත් අලංකාරොක්තින් ගෙන් දැවටු නමුත් ගෝලීයව අධිපති නිදහස් වෙළඳපල ආර්ථික පැරඩයිමය තුලින්ම එන යෝජනාවලියකි. ගෝලීය මුල්‍ය ආයතන වුවත් ජවිපෙ වැනි වාමාංශික අනන්‍යතාවක් ඇති පක්ෂයකින් මෙයට වඩා සුභවාදී දෙයක් අපේක්ෂා නොකරනු ඇත. උපමා රූපිකව කිවහොත් ජවිපෙ ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ ‘ඉතිහාසයේ අවසානය’ පිලිබඳ අදහස ව්‍යවහාරිකව පිළිගෙන තිබේ. ඉන් අදහස් වන්නේ මිනිස් වර්ගයා හට නිදහස් වෙළදපල ක්‍රමයට විකල්ප වූ ආර්ථික මොඩලයක් ගැන තවදුරටත් සිතිය නොහැකිය යන අදහසයි.

ජවිපෙ ජාතික ලැයිස්තුවට ක්‍රිෂ්මාල් වර්ණසුරියලාට, උපුල් කුමරප්පෙරුමලාට සහ අනුරුද්ධ ජයසිංහලාට ඇතුල් විය හැක්කේ මෙම සන්ධර්භය තුළය. ජවිපෙ තෘණ මූල මට්ටමේ ක්‍රියාකාරීන් අන්ත දුක්ඛිත ජීවිත ගත කරන අතර පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරයට මිලියන ගණනක් මුදල් වැය කෙරෙන්නේ මෙකී තතු යටතේය. පුරවැසි බලයේ කොටස් ඇතුළු අදුරදර්ශී බුද්ධිමය හා කලාත්මක ප්‍රජාව ජවිපෙට ආකර්ෂණය වන්නේද මෙම පසුබිම තුළය. එබැවින් “එජාපයට ජන්දය දීමට හිත හදා ගත නොහැකි නම් ජවිපෙට ජන්දය දෙන ලෙස” ඉල්ලා සිටිය හැකි ඓතිහාසික තත්වයක් දැන් නිර්මාණය වී තිබේ. ප්‍රධාන පෙළේ පක්ෂ අතර සීමා ඉරි බොඳ වී යාමේ අරුතින් අප දැන් දේශපාලනික පශ්චාත්-නුතන තත්වයකට අවතීර්ණ වී තිබේ. ඩේවිඩ් හාවී පෙන්වා දුන් පරිදි පශ්චාත්නුතන තත්වය තුළ කාල-අවකාශය සංකෝචනය වී යයි. ක්ෂණ-භංගුරත්වය තුළ සියල්ල ගිලී යයි. ප්‍රයෝජ්‍යතාවාදී තර්කනය ප්‍රධාන වේ. ප්‍රතිපත්ති හෝ ඉදිරි දැක්ම ගැන නොතකා ‘යහපත් පුද්ගලයන්ට’ ජන්දය දෙන ලෙස ඉල්ලීමේ හාස්‍යජනක තත්වය නිර්මාණය වන්නේ එසේය. අවකාශය සංකෝචනය වන බැවින් ‘අර මිහිරි සීනු නාදයේ’ මෙන් අතීත මතකය කැටි වූ ගොරොක් ගසේ අතු පතර සමග අවකාශීය ආත්මීය බැඳීමක් ගැන සිතන්නට ඉඩක් නොමැත. මෙතැන් පටන් දේශපාලනික, සංකල්පීය සහ න්‍යායික අරගලය ඇත්තේ ඉතිහාසයේ අවසානය පිළිගත්තවුන් සහ නොගත්තවුන් අතරය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.