25 April, 2024

Blog

‘ජාතික ආණ්ඩු’ ප්‍රයාණය සංකල්පගත කිරීම සඳහා න්‍යායික කටු සටහන්

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

1. ජාතික ආණ්ඩුව නමින් අද හැඳින්වෙමින් තිබෙන එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව හුදෙක් කිසිවෙකු විසින් මැතිවරණයෙන් ඉක්බිතිව ඇති කරගත් උපායික තෝරාගැනීමක් නොවේ. ජාතික ආණ්ඩුවක් පිලිබඳ අදහස පසුගිය ජනාධිපතිවරණයට පෙර මෛත්‍රිපාලට සහය දුන් දේශපාලන කඳවුරේ ප්‍රධාන අවධාරණයක් විය. එය පුරවැසි බලය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ චන්ද්‍රිකා-මෛත්‍රී-රනිල් හිතවාදී කොටස් යනාදී සිවිල් සමාජ කණ්ඩායම් විසින්ද පසුගිය මාස ගණනක කාලය පුරාම යෝජනා කෙරෙමින් තිබූ දෙයකි. එය පසුගිය මහා මැතිවරණයේදී එජාපයේ මැතිවරණ ප්‍රකාශනයේ අන්තර්ගත වූ ප්‍රධාන කාරණයකි. දැනටත් ‘යහපාලන සිවිල් සමාජ කඳවුර’ නියෝජනය කරන කිසිවෙකුත් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම යන කාරණය එහි පදනමින් දේශපාලනිකව විවේචනය නොකරයි. සෝභිත හිමි සහ සමන් රත්නප්‍රිය වැන්නන්ගේ විවේචන හුදෙක් මේ හවුල් ආණ්ඩුව පිහිටුවීමේදී සිදු වූ විධික්‍රමික හෝ අනුභූතික ගැටළු පදනම් කරගත් ඒවා මිස ජාතික ආණ්ඩුවක ආවශ්‍යකත්වය මුලධාර්මිකව ප්‍රශ්ණ කරන ස්වරූපයේ ඒවා නොවේ. මේ බොහෝ සිවිල් සමාජ කොටස් මහා මැතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහ සමග පාර්ශ්වීය ගිවිසුමකට අත්සන් කළ අතර ඉදිරියේදී රාජ්‍ය උපදේශක කමිටු වලට මෙම කොටස් ඇතුලත් කර ගැනීමට අගමැතිවරයා තම ධුරයේ දිවුරුම් දුන් වහාම පොරොන්දු විය. ‘රාවය’ පුවත්පතද තවමත් ජාතික ආණ්ඩුව පිළිබඳව නිහඬ වත රකී. මෙයින් පෙනී යන්නේ එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවටත් එහි මාර්ග සැලැස්මටත් යම් එකඟතාවක් අඩු තරමින් පසුගිය ජනපතිවරණය සමයේ සිටම සිවිල් සමාජ කොටස් අතරද ගොඩ නැගෙමින් තිබූ බවයි. කොහොමටත් තමන් මෛත්‍රිපාලට සහ රනිල්ට සහය දුන්නේ ජාතික ආණ්ඩු වැඩ පිළිවෙල ගැන නොදැනුවත්ව යයි කීමට දැන් කිසිවෙකුටත් ඉඩක් නොමැත.

Chandrika Maithri Ranil2. එජාප-ශ්‍රීලනිප හවුලට පසුබිම් වන වඩාත් පුළුල් දේශපාලන-ආර්ථික සහ දේශපාලන දෘෂ්ටිවාදී හවුලක් පවතීය යන්න අපගේ ප්‍රථම උපන්‍යාසයයි. එම හවුලෙහි සෙසු පාර්ශවකරුවන් ලෙස යහපාලන සිවිල් සමාජ කොටස්, ගෝලීය තාක්ෂණ-කළමනාකරණ පංතියේ (techno-managerial class) දේශීය නියෝජිතයන්, ලෝක බැංකුවේ, ලෝක වෙළඳ සංවිධානයේ සහ ජාත්‍යන්තර මුල්‍ය ආයතනයේ නිලධාරීන්, නව දිල්ලි පරිපාලනය, ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ දේශීය මහා ප්‍රාග්ධන හිමිකරුවන් යනාදීන් (වෙනස් තලයන් සහ පරිමාණ වලින්) හඳුනා ගත හැකිය. මෙම හවුලට හුදු රාජපක්ෂ විරෝධය ඉක්මවා ගිය දිගු කාලීන ආර්ථික සහ දේශපාලන මාර්ග සිතියමක් තිබේය යන්න අපගේ දෙවන උපන්‍යාසයයි. එජාප-ශ්‍රීලනිප අවබෝධතා ගිවිසුමේ අංක එකට ආර්ථික ප්‍රතිසංස්කරණ පිලිබඳ යෝජනාවක් පැමිණීම (එය මිල පාලනය, සමාජ ආරක්ෂණය යනාදී ආකර්ෂණිය තේමා වලිනුත් සමාජ ආර්ථිකය පිලිබඳ අලංකාරෝක්තියෙනුත් ආවරණය කොට තිබුණද) විසින් සංකේතවත් කරන්නේ මෙයයි. නව ආණ්ඩුවේ ආර්ථික දැක්ම හැඩ ගැසෙනු ඇත්තේ ආර්ථික කාරණා පිලිබඳ ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍ය ධුරය සැම විටම තමන් අත රඳවා ගෙන සිටින අගමැතිවරයා විසින් බව දැන් ඉතාම පැහැදිලිය.

ඉහත උපන්‍යාස දෙක ගවේෂණය කිරීම සඳහා වත්මන් පාලක හවුලේ දේශපාලන-ආර්ථිකයට අදාල ප්‍රවේශයත් නව-ලිබරල් ගෝලීය හෙජමොනික අක්ෂයන් සමග එයට ඇති උපාය මාර්ගික සහනුමිතියත් විග්‍රහයට ලක් කළ යුතුය. මෙය අපගේ ඉදිරි පර්යේෂණ සඳහා මාර්ග සිතියමක් සකසයි.

3. පසුගිය සැප්තැම්බර් තුන් වනදා “මැතිවරණයෙන් පසු දේශපාලන වර්ධනයන් සහ මාධ්‍යය හැසිරීම්” යන තේමාව යටතේ වෙරිටේ රිසර්ච් ආයතනයේ පැවති සම්මන්ත්‍රණයකදී මා මුල් වරට පැහැදිලි කළ පරිදි, වත්මන් ඊනියා ජාතික ආණ්ඩුව වටහා ගත යුත්තේ (1) ලංකාවේ පශ්චාත් යටත් විජිත පාලක පන්තිය මුහුණ පෑ දෘෂ්ටිවාදී සුජාතභාවය පිලිබඳ අර්බුදයේ ඓතිහාසිකත්වය තුළය. (2) එය නිව්ටන් ගුණසිංහ විසින් 1956 දේශපාලන පරිවර්තනය වටහා ගැනීම සඳහා යෝජිත ග්‍රාම්ස්චියානු ‘ඓතිහාසික හවුල’ (historic bloc) සංකල්පය අදට අදාළ කිරීම මගින් විශ්ලේෂණය කිරීමට මම අදහස් කරමි. (3) එසේම එය සමකාලීන ‘නව-ග්‍රාම්ස්චියානු ජාත්‍යන්තර දේශපාලන ආර්ථික අධ්‍යන’ පාසැල විසින් සංකල්පගත කෙරුණු ‘නව-ලිබරල් පාර-ජාතික ඓතිහාසික හවුල’ (neo-liberal transnational historic bloc) සමග ලාංකීය රාජ්‍යයේ බල හවුල සම්බන්ධ වන්නේ කෙසේද යන සංදර්භය තුළ වටහා ගත යුතු යැයි මම යෝජනා කරමි.

4. නිව්ටන් ගුණසිංහ1956 දේශපාලන පරිවර්තනය හඳුනා ගත්තේ පශ්චාත් යටත් විජිත ලංකාවේ සම්ප්‍රදායික ප්‍රභූ-ධනපති පාලක පවුල් විස්තෘතය සමාජයේ සක්‍රිය හෝ අක්‍රිය අවනතභාවය/කැමැත්ත දිනා ගැනීමෙහිලා (එනම් ග්‍රාම්ස්චියානු අරුතින් ස්වකිය හෙජමොනිය ස්ථාපිත කර ගැනීමෙහිලා) දැක්වූ අසමත්භාවය පාදක කොටගෙනය. ලාංකීය පාලක පංතියේ මෙම ඓන්ද්‍රීය අර්බුදය ස්ථානගත වන්නේ අයිජාස් අහමඩ්ගේ වචනයෙන් කිව හොත් විශේෂයෙන්ම දකුණු ආසියාතික පශ්චාත් යටත් විජිත සන්ධර්භයන් තුළ අතරමැදි සමාජ පන්තීන් (intermediate classes) දේශපාලනික සහ දෘෂ්ටිවාදී ක්ෂේත්‍රයන් තුළ උසුලන ආධිපත්‍යයේ පසුබිමෙහිය. (නව-ග්‍රාම්ස්චියානු චින්තනයේ ආභාෂයට වඩා අල්තුසරියානු ව්‍යුහාත්මක මාක්ස්වාදයේ ආභාෂය ලැබූ නිව්ටන් අතරමැදි පංතීන් යන යෙදුම වෙනුවට සුළු-ධනේශ්වර පංති යන යෙදුම භාවිතා කළේය.)

ආර්ථික ජීවිතයේ අධිපති පංතියට ස්වකීය දෘෂ්ටිවාදී හෙජමොනිය අභ්‍යාස කිරීම සඳහා වූ ඓන්ද්‍රීය බුද්ධිමය නායකත්වයක් නොමැති තත්වය තුළ “පාලක පංතියේ දෘෂ්ටිවාදය යුගයේ රජයන දෘෂ්ටිවාදය බවට පත් නොවිය.” මෙම අර්බුදයට ලාංකීය පාලක ප්‍රභූ-ධනේශ්වරය සොයා ගත් විසඳුම වුයේ (නිව්ටන්ට අනුව) දෘෂ්ටිවාදී ක්ෂේත්‍රයේ ආධිපත්‍ය ඉසිලු සිංහල බෞද්ධ සුළු ධනේශ්වර (නොහොත් අතරමැද පාංතික) බුද්ධිමය ශ්‍රේණිය සමග උපාය මාර්ගික සන්ධානයකට එළැඹීමයි. 1956 එහි ප්‍රායෝගික ප්‍රකාශනය විය. ඉන් පසුව, සිංහල බෞද්ධ වාර්ගික ජාතිකවාදී දෘෂ්ටිවාදය රාජ්‍යයේ අධිපති දෘෂ්ටිවාදය ලෙස තහවුරු වූ අතර ඊට ගෙවන ලද මිල වුයේ සුළු ජන වාර්ගික සහ ආගමික ප්‍රජාවන් රාජ්‍යයෙන් ආන්තිකකරණයට හෝ බහිෂ්කරණයට ලක් වීමයි. (මෙය පසුව පශ්චාත් යටත් විජිත රාජ්‍යය ගොඩ නැගීමෙහිලා ව්‍යුහාත්මක ගැටළුවක් බවට විකාශනය විය.) 1956 පරිවර්තනය තුළ වූ තවත් වැදගත් පැතිමානයක් නම් නාගරික සහ ග්‍රාමීය සුළු ධනේශ්වර ස්ථර රාජ්‍යයේ බල හවුල (power bloc-නිකෝස් පුලන්සාස් වැඩි දියුණු කළ අල්තුසරියානු සංකල්ප රාමුවට අනුව රාජ්‍යය පංති සහ පංති ස්ථර කිහිපයකින් සැදුම්ලත් බල හවුලකි) තුළට ඇතුලත් කර ගැනීමයි. ඓතිහාසික හවුල යන සංකල්පය යොදා ගැනෙනුයේ මෙම පංති-දේශපාලන පෙළ ගැසීමේ පරිවර්තනීය තත්වය පැහැදිලි කිරීම සඳහාය.

5. ග්‍රාම්ස්චිගේ නිර්වචනයට අනුව ඓතිහාසික හවුල යනු ව්‍යුහයේ (ආර්ථික පදනමේ) සහ උපරි ව්‍යුහයන්ගේ ඒකත්වය හඟවන සංකල්පයකි. එනම් ආර්ථික ප්‍රතිපත්තිමය තලයත් සංස්කෘතික දෘෂ්ටිවාදී තලයත් ඒකාබද්ධ කරන භාවිතයක් තුළින් ගොඩ නැගිය හැක්කකි. මෙකී ඒකත්වය ප්‍රායෝගික දේශපාලන පර්යාවලෝකනයන් තුලින් බැලූ කල්හි යම් බුද්ධිමය සදාචාරාත්මක නායකත්වයක මැදිහත්වීමෙන් (එනම් හෙජමොනික ව්‍යාපෘතියක මැදිහත්වීමෙන්) ගොඩ නගනු ලබන්නක් බැවින් මෙහිදී ඓතිහාසික හවුල දේශපාලනික නිර්මිතයක් ලෙස දැකීම ප්‍රයෝජනවත්ය. (දේශපාලනිකයේ ප්‍රමුඛත්වය පිලිබඳ ග්‍රාම්ස්චියානු ප්‍රවේශය මෙහිදී අවධාරිතය.) ඓතිහාසික හවුලක් ගොඩ නැගෙන්නේ යම් සමාජ පංතියක් හෝ සමාජ කණ්ඩායමක් ස්වකීය ආර්ථිකමය අභිලාෂයන්ගේ සිමාව ඉක්මවා ගොස් සෙසු පංතීන් සහ කණ්ඩායම් යම් පොදු අභිලාශයක් (ජාතිය, ප්‍රගතිය, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, සංවර්ධනය යනාදී) වටා සංවිධානය කිරීම මගිනි.

6. නිව්ටන් සංකල්පගත කළ 1956 ඓතිහාසික හවුල අඩු තරමින් 1975-77 දක්වා කාල පරිච්ජේදය තුළ පවත්වා ගත හැකි වුයේ කේන්සියානු රාජ්‍ය-කේන්ද්‍රීය ආර්ථික උපාය මාර්ගය, ආනයන ආදේශක කාර්මිකකරණය, රාජ්‍ය අනුග්‍රාහක-සේවා දායක ජාලය, යටත් විජිත විරෝධී ජාතිකවාදය, නොබැඳි විදේශ ප්‍රතිපත්තිය යනාදියෙන් සමන්විත රාමුවක් තුළය. එසේ තිබියදීත්, 1971 ජවිපෙ අරගලයෙන් හා කල් පැවති ග්‍රාමීය තරුණ රැඩිකල්වාදයෙන් හැඟවුනේ අතරමැද පංතීන් තුලින්ම පැන නැගුනු ඇතැම් දේශපාලන ප්‍රකාශනයන් රාජ්‍යයේ හෙජමොනික සැකැස්ම අස්ථාවරත්වයට පත් කරන චිරස්ථායී සාධකයක් ලෙස දිගින් දිගටම පැවති බවයි. (ජවිපෙ අතරමැදි පංතීන් තුළින් මතු වූ රැඩිකල් ප්‍රකාශනයක් ලෙස උයන්ගොඩ කරන සිත් ගන්නා සුළු ස්වාත්මකථනීය විග්‍රහය බලන්න.) එසේම උතුරේ දෙමළ ජාතිකවාදයේ ක්‍රමික රැඩිකල්කරණයද පාලක පංති හෙජමොනික සැකැස්මෙන් සුළු ජාතික ප්‍රජාවන් බහිෂ්කරණය වීමේ ව්‍යුහාත්මක ගැටළුව ඇසුරින් මතුව එන්නකි (මෙය ලිබරල්වාදී දේශපාලන පාරිභාෂිකය තුළ හඳුනා ගැනෙන්නේ ජාතිය ගොඩ නැගීමේ ගැටළුව ලෙසිනි.)

7. 1977 ආර්ථික විවෘතකරණයත් සමග ඉහත කී ඓතිහාසික හවුල බිඳ වැටේ. ජේ.ආර් යටතේ ලාංකීය මහා ධනේශ්වරය සහ පාලක ප්‍රභූන් ජාත්‍යන්තර ප්‍රාග්ධනය සමග ඇති කර ගන්නා ආර්ථික ක්ෂේත්‍රයේ නව සබඳතාව සහ ඒ හා බැඳුනු විදේශ සම්බන්ධතා ප්‍රවේශය එතෙක් පැවති ආර්ථික ජාතිකවාදයෙන් ඉවත පැනීමකි; එසේම මෙම ප්‍රවේශය දෘෂ්ටිවාදී ලෙස සුජාතකරණය කළ හැකි බුද්ධිමය-සදාචාර නායකත්වයක්ද නොතිබිණ. 1980 දශකයේදී එජාප පාලනයට එරෙහි ප්‍රමුඛ විවේචක අක්ෂය තනන්නේ 1977 වන තුරු රාජ්‍ය-කේන්ද්‍රීය අනුග්‍රාහක ජාලයන්ගෙන් රැකවරණය ලැබූ අතරමැද පංතික කොටස් විසිනි. ජේ.ආර් මෙම හෙජමොනික අර්බුදයට විසඳුම් සොයන්නේ එක් අතකින් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා දිශානත වූ දේශපාලන රාමුවක් මගිනුත් අනෙක් අතින් සිංහල වාර්ගික ජාතිකවාදයේ නිල ප්‍රකාශකයා බවට තමන්වම පත් කර ගැනිමෙනුත්ය. (සංවර්ධන කතිකාවද මෙහිදී යම් භූමිකාවක් ඉටු කළේය.) ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයේ ප්‍රතිපලය වුයේ දේශපාලන පසමිතුරුතා සමාජයික (societal) තලයට මාරු වීමත් එනයින් එය රැඩිකල්කරණය වීමත්ය; එජාපය විසින් ඇවිල වූ වාර්ගික ජාතිකවාදය 1987 පසුව එකී රැඩිකල් පසමිතුරුතා අක්ෂය අතට මාරු විය. ජවිපෙ සන්නද්ධ දේශප්‍රේමය මේ අනුව ජේ.ආර් පාලනයේ නිර්මිතයකි.

1987-1994 අර්බුධ සමය නිමා කරමින් චන්ද්‍රිකා බලයට පත් වුවද සම්ප්‍රදායික ප්‍රභූ පාලක ස්ථරයේ හෙජමොනිය ප්‍රතිස්ථාපනය කරන ඓතිහාසික හවුලක් යළි නිර්මාණය කර ගැනීමේ අභියෝගය තව දුරටත් ඉතිරි විය. 1977 පටන් පැවති මුලික ගැටළුව වුයේ ගෝලීය ප්‍රාග්ධනය සමග වූ නව සබදතාව පරිවාර ජාතිකවාදී සන්ධර්භයක දෘෂ්ටිවාදීව සුජාතකරණය කරන්නේ කෙසේද යන්නයි. 1994-2004 රනිල්-චන්ද්‍රිකා යුගය මෙම හෙජමොනික අර්බුධයේ නව ගතිකත්වයන් සහිත විය. 1994 වන විට ප්‍රධාන ධනපති පක්ෂ දෙක ආර්ථික මුලෝපාය අතින් සේම ඒ හා බැඳුනු විදේශ සම්බන්ධතා ප්‍රවේශය අතින්ද සමාන ස්ථාවරයකට පැමිණ තිබුණද පක්ෂ දෙක අතර වූ ඓතිහාසිකව ස්ථාපිත පසමිතුරුතා අභිබවා ගොස් පොදු පංතිමය අභිලාෂයන් මුල් කොටගත් තෝරා ගැනීම් කරන්නට තරම් දේශපාලනික පරිණතභාවයක් අත් පත් කරගෙන නොතිබුණි. (2014 වන තුරුම පැවති තත්වය මෙයයි.) 1994-2004 දශකය තුළදී මෙම පක්ෂ දෙක දෙමළ ජාතික අරගලය සම්බන්ධයෙන්ද සමාන ස්ථාවරයකට පැමිණි අතර එය 1956 ගොඩ නැගුනු ඓතිහාසික හවුලෙන් බහිෂ්කරණය වූ සුළු වාර්ගික කොටස් යළි ඇතුලත් කර ගැනීමේ මානසික කොන්දේසි සැපිරිය; නමුත් එම මානසික කොන්දේසි භෞතික යථාර්තයන් බවට පරිවර්තනය වීමට අවැසි ඓතිහාසික තත්වයන් කෙසේවත් නිර්මාණය වී නොතිබුණි. (නමුත්, 2014 වන විට උතුරේ සහ දකුණේ සම්ප්‍රදායික ප්‍රභූ පාලක ස්ථරයේ බලය පුනස්ථාපනය වී ඇති අතර ආන්තික ජාතිකවාදී ප්‍රවණතා අද්දරට තල්ලු කරමින් මධ්‍යස්ත ජාතිකවාදීන් දෙපසින්ම බලයට පත්ව තිබේ. එහෙයින් 1956 ට වෙනස්ව සුළු වාර්ගික ප්‍රභූන් ඇතුලත් කර ගත් නව ඓතිහාසික හවුලක් පිලිබඳ බලපොරොත්තුවක් දෙපසින්ම ගොඩ නැගී තිබේ.)

8. රාජපක්ෂ ප්‍රපංචය වටහා ගැනීමේදී පළමුව ලාංකීය සම්ප්‍රදායික ප්‍රභූ පාලක පවුල් විස්තෘතයේ ඉහත අර්බුදය පසුබිමෙහි එය ස්ථානගත කළ යුතු යැයි මම යෝජනා කරමි. රාජපක්ෂ එකී පවුල් විස්තෘතයට අයත් නොවන ප්‍රාදේශික ප්‍රභූ ස්ථරයක් කෙරෙන් පැන නගින ප්‍රපංචයකි. ඔහු ප්‍රේමදාසට වෙනස්ව ස්වකිය පවුල් විස්තෘතයම රාජ්‍යයේ ආයතනික ව්‍යුහය තුලට රැගෙන ඒමෙන් රාජ්‍යයේ පංති සන්ධාරයේ වෙනසක් ඇති කළ අතර එය සම්ප්‍රදායික ප්‍රභූ ස්ථරය තර්ජනයට ලක් කරන්නක් විය. 1994-2004 කාල පරිච්ජේදයේදී රනිල්-චන්ද්‍රිකා නායකත්වයන්ට අත්පත් කර ගත නොහැකි වූ සම්මුතිකාමිත්වය ඔවුනට 2014දි අත්පත් කර ගත හැකි වුයේ රාජපක්ෂ විසින් කළ මෙම පොදු තර්ජනය පසුබිමෙහිය. දෙවනුව, රාජ්‍යයේ ආයතනික ව්‍යුහය තම පවුල් අභිලාෂයන් අනුව මෙහෙයවමින් රාජ්‍ය අනුග්‍රාහකත්වය යටතේ නව ‘ප්‍රාග්ධන සමුච්චන බලාධිකාරයක්’ (regime of accumulation) රාජපක්ෂලා විසින් ස්ථාපිත කර ගන්නා ලදී. මෙය ප්‍රාග්ධන සමුච්චකරණයේ ‘සාමාන්‍ය’ විධිමත් තර්කනයට පරිබාහිරව ක්‍රියාත්මක වුවක් බැවින් ගෝලීය නව ලිබරල් ආර්ථික මෙහෙයුම්කරුවන්ගේ දෘෂ්ටියෙන් බැලූ කල්හි ක්‍රමය තුළට ඇතුල් වූ වෛරසයක් වැන්න. (මෙකී වෛරසය ඉවත් කිරීම සඳහා වඩාත්ම උචිත උදෘතය ‘යහපාලනය’ වීම පුදුමයට කරුණක් නොවේ.) තෙවනුව, රාජපක්ෂ ව්‍යාපෘතිය පැන නගින්නේ 1994-2004 දශකය තුළදී එජාප-ශ්‍රීලනිප නායකත්වයන් දෙකම ආර්ථික ප්‍රතිපත්තිමය ප්‍රවේශයේදීත් ජනවාර්ගික ගැටලුවට යෝජිත ‘ලිබරල් සාම’ ව්‍යාපෘතියේදීත් එක් මාවතකට පැමිණීම හමුවේ වාර්ගික-ජාතිකවාදී ස්වරූපයකින් සංවිධානය වූ අතරමැදි පංතික සිංහල බෞද්ධ ව්‍යාපාර තුළිණි. ජවිපෙ සහ හෙළ උරුමය රාජපක්ෂ ව්‍යාපෘතියේ මුල් නිර්මාපකයින් වූහ. සිව්වෙනුව, විශේෂයෙන්ම රාජපක්ෂ ව්‍යාපෘතිය පසුපස පැවති රණකාමී සිංහල බෞද්ධ වාර්ගික ජාතිකවාදය පැන නගින්නේ 1980 දශකයේ සිංහල දේශප්‍රේමය පැන නැගුනු අතරමැද ශ්‍රේණි තුළින්ම නොවේ. ආර්ථික විවෘතකරණයේ ප්‍රතිලාභ ලැබූ නාගරික නව අතරමැදි ශ්‍රේණියක දේශපාලන ආගමනය අඩු තරමින් 2004 මහා මැතිවරණයේ හෙළ උරුමයේ ජන්ද පදනම තුළ අපට හඳුනා ගත හැකිය. 1994 සිට 2004 දක්වා කාල පරිච්ජේදය තුළ ජවිපෙ සහ හෙළ උරුමය ජන්ද පදනම වේගවත්ව වර්ධනය වීම පිටුපස තිබූ පංති-දේශපාලන සාධකය මෙයයි. නමුත්, රාජපක්ෂ මෙම සමාජ ස්ථරය මත ස්වකීය අධිපත්‍යය ස්ථාපිත කර ගත්තා පමණක් නොව එම ස්ථරයේ දෘෂ්ටිවාදී මුර්තිමත්කරණය බවටද පත් විය. 2004 ට පසුව ජවිපෙට හෝ හෙළ උරුමයට සැලකිය යුතු මැතිවරණ ජයග්‍රහණ අත්පත් කරගත නොහැකි වී ඇත්තේ මෙම පසුබිම තුළය. පස්වෙනුව, අප මින් ඉහත විග්‍රහ කොට ඇති පරිදි රාජපක්ෂ රණකාමී සිංහල වාර්ගික-ජාතිකවාදයේත්, නව ලිබරල් ආර්ථික ප්‍රවේශයේත් සහනුමිතියක් ගොඩ නගන්නට (ඉන්දීය මෝදී ප්‍රවණතාව මෙන්) ප්‍රයත්න දැරූ අතර සංවර්ධන කතිකාවද ඒ සඳහා දායක කර ගත්තේය.

දිගු කතාවක් කෙටියෙන් කියතොත්, රාජපක්ෂ-විරෝධී ඓන්ද්‍රීය ජන අරගල මත පදනම් වූ ව්‍යාපාර 2011 කටුනායක නිදහස් වෙළඳ කලාප කම්කරු අරගලයේ සිට පැන නැගුනු අතර එම ව්‍යාපාර විසින් ආර්ථික සටන් පාඨ දේශපාලනීකරණය කෙරිණ. නමුත්, ඉන්පසුව යහපාලනය පිලිබඳ උදෘතයන් මත සංවිධානය වූ අගනාගරික සිවිල් සමාජ ව්‍යාපෘතියක් විසින් ආර්ථිකය යළි නිර්-දේශපාලනීය කිරීමෙන් රාජපක්ෂ-විරෝධී සටන තුළ ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්හරණයකට ලක් විය. (ප්‍රජාතන්ත්‍රවාදය පුනර්-රැඩිකල්කරණය කිරීම සඳහා ආර්ථික ගැටළු දේශපාලනීකරණය කළ යුතුය යන්න අපගේ ස්ථාවරයයි.) මේ පසුබිම තුළ යහපාලන සිවිල් සමාජ ව්‍යාපාරය පහසුවෙන් ස්වකීය හෙජමොනික කතිකාව තුළට අන්තර්-ග්‍රහණය කර ගන්නට එජාප-ශ්‍රීලනිප සම්ප්‍රදායික ප්‍රභූ නායකත්වය සමත් විය. ඉන් පසුව, 2015 ජනවාරි මසදී ස්වකීය පංති බලය පුනස්ථාපනය කර ගැනීමේ ඔවුනගේ ව්‍යාපෘතිය ප්‍රගතියක් අත් පත් කර ගත්තේය. එසේම, මේ වන විට නව ආණ්ඩුව ගෝලීය නව ලිබරල් හෙජමොනියෙහි වොෂින්ටන්-නව දිල්ලි අක්ෂය සමග වඩා සුඛනම්‍ය සම්බන්ධයක් ගොඩ නගා ගනිමින් තිබේ. නව ලිබරල් ගෝලීය හෙජමොනිය ස්වදෙශිකව සුජාතකරණය කිරීම සඳහා වඩාත් ස්ථාවර ඓතිහාසික හවුලක් අවශ්‍යය. නමුත්, 1956 ට වෙනස්ව අද මෙකී ඓතිහාසික හවුල පාර-ජාතික ගති ස්වභාවයකින් යුක්ත වීම කැපී පෙනේ. මෙය වටහා ගැනීම පිණිස ජාත්‍යන්තර දේශපාලන ආර්ථික අධ්‍යයන පාසැල විසින් යෝජිත ‘පාර-ජාතික ඓතිහාසික හවුල’ නම් සංකල්පය ප්‍රයෝජනවත්ය.

9. ගිල්පින්ගේ හෙජමොනික ස්ථායිතා න්‍යායට (hegemonic stability theory) අනුව යම් නිශ්චිත ලෝක පර්යායක් මනාව ක්‍රියාත්මක වන්නේ ලෝක ආර්ථික ස්ථාවරත්වය සහතික කරන යම් හෙජමොනික බලයක් (එනම් හෙජමොනික ඒජන්තයාගේ තැන ගත් යම් ජාතික රාජ්‍යයක්) විසින් අධිපතීත්වය උසුලන යම් දේශපාලන ව්‍යුහයක් තුළය. මෙය ධනවාදී ලෝක ක්‍රමයේ කේන්ද්‍රය සංගෘහිත කරන අධිපති ජාතික රාජ්‍යයක් පිළිබඳ වොලස්ටින්ගේ විග්‍රහය හා සමාන්තරව යයි. වොලස්ටින්ට අනුව මෙකී අධිපති ජාතික රාජ්‍ය ඒජන්තයාගේ තැන වාණිජ ධනවාදී යුගයේදී ඕලන්දයටද, කාර්මික ධනවාදී යුගයේදී මහා බ්‍රිතාන්‍යටද, පශ්චාත් යුද කාලීන එනම් පශ්චාත්-ෆෝඩ්වාදී යුගයේදී ඇමරිකා එක්සත් ජනපදයටද හිමි විය. ගිල්පින් මෙන්ම වොලස්ටින්ද ලෝක පරිමාණ ණය අර්බුදය හමුවේ ගෝලීය මුල්‍ය පර්යායේ ස්ථාවරත්වය අර්බුදයට යැවූ සහ ඇමෙරිකානු හෙජමොන්ගේ අධිපතීත්වය ක්ෂය වී යාමට පටන් ගත් 1980 දශකය ගෝලීය හෙජමොනික පර්යායේ පරිවර්තනයේ කාල පරිච්ජේදයක් ලෙස හඳුනා ගනී. ස්වකීය ‘දිගු විසිවන සියවස’ පිළිබඳ ප්‍රචලිත කෘතියේදී අරිගි, ‘චීනය කේන්ද්‍ර කොට ගත් නැගෙනහිර ආසියාතික ප්‍රාග්ධන සමුච්චනයේ නව කේන්ද්‍රස්ථානය’ විසින් ගෝලීය හෙජමොන්ගේ ස්ථානය අත් පත් කර ගැනීමේ ශක්‍යතාව අවධාරණය කරයි.

නමුත්, විලියම් රොබින්සන්, මුහම්මද් ඔසෙකින්, ඔවන් වර්ත් යනාදී බොහොමයක් බුද්ධිමතුන් පෙන්වා දෙන පරිදි ගෝලීය නව ලිබරල් හෙජමොනිය විග්‍රහ කිරීමේදී රාජ්‍ය-කේන්ද්‍රීයත්වයෙන් අත් මිදිය යුතුය. නව ලිබරල් හෙජමොනිය අත්‍යන්තයෙන්ම පාර-ජාතික ස්වභාවයක් සහිතය. එයට බුද්ධිමය සහ සදාචාර නායකත්වය දෙනු ලබන්නේ ගෝලීයව ව්‍යාප්ත වූ තාක්ෂණ-කළමනාකරණ බුද්ධි ජීවින්, ලිබරල් සිවිල් සමාජ කණ්ඩායම්, ගෝලීය මුල්‍ය නිලධර තන්ත්‍රය සහ මාධ්‍ය අධිකාරීන් විසිනි. යහපාලනය යනු මෙම හෙජමොනික සැකැස්මේ මුලික ශික්ෂාවකි.

10. වත්මන් ජාතික රාජ්‍ය ව්‍යාපෘතිය ස්වදෙශිකව සම්ප්‍රදායික පාලක පවුල් විස්තෘතයේ ආධිපත්‍යය ප්‍රතිස්ථාපනය කරයි. ගෝලීය පාර-ජාතික නව ලිබරල් හෙජමොනිය සමග වඩා සුඛනම්‍ය සබදතාවක් ස්ථාපිත කරයි. යහපාලනය අධි-අවධාරණය කරන සිවිල් සමාජ ශ්‍රේණින් ස්වකීය හෙජමොනික කතිකාව තුළට අවශෝෂනය කර ගැනීමෙන් තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්හරණය කරන්නට ප්‍රයත්න දරයි. ඉදිරියේදී ඇතැම්විට යෝජිත 20 වන සංශෝධනය සම්මත කිරීම මගින් උතුරේත් දකුණේත් සම්ප්‍රදායික ප්‍රභූ පක්ෂ දෙකට පමණක් පාර්ලිමේන්තු නියෝජනය ලබා ගත හැකි පරිදි (ද්විත්ව ජන්දයෙන් තොරව) මිශ්‍ර නියෝජන ක්‍රමයක් ඇති කරන්නටත් ඉඩ ඇත. (දැන් ඉමහත් බුද්ධිමය පිරිහීමක් ප්‍රකට කරන ‘රාවය’ පුවත්පත යෝජිත 20 වන සංශෝධනයට ආශීර්වාදය කළේය.)

නමුත් අනෙක් අතින්, ආන්තික සිංහල බෞද්ධ වාර්ගික ජාතිකවාදය සැබෑ විපක්ෂය ලෙස සමාජයික ක්ෂේත්‍රය තුළ යළි සංවිධානය වීමටත්, එනයින් වඩා රැඩිකල් ස්වරූපයකින් යළි මතු වීමටත්, ආර්ථික සටන් පාඨ තම කතිකාව තුළට අවශෝෂනය කර ගන්නටත් ඉඩ ඇත.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    What a load of ‘Rubbish’. Talk about ‘Yoniso Manasikaraya’ and ‘Patichcha Samuppadaya’ instead.
    First of all you should empty your (vessel) brain’s stored useless information & turn it over as it is overflowing with ‘Avijja’. Metta!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.