27 April, 2024

Blog

සම්පන්දන්ගේ හෝරාව

චමින්ද වීරවර්ධන

ආචාර්ය චමින්ද වීරවර්ධන

ආචාර්ය චමින්ද වීරවර්ධන

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට ආර්. සම්පන්දන් මහතාව පත් කරගෙන තිබේ. 1970 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔහු, ‘පාර්ලිමේන්තුවේ පියා’ යන විරුදාවලියටත් දැන් හිමිකම් පායි. දෙමළ ස්වයං-නිර්ණ අයිතිය පිළිබඳ මතවාදය සමග සාමාන්‍යයෙන් එකඟත්වයක් නැති විචාරකයන් පවා, පාර්ලිමේන්තු විවාදවල උදාරත්වය සහ විශිෂ්ඨත්වය විදහා දක්වන දේශපාලඥයෙකු වශයෙන් සම්පන්දන් මහතාව පිළිගනී. එම ගරුත්වය, වෙනත් බොහෝ සිංහල සහ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට මෙන් නොව, ඔහුගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන සෙසු දේශපාලඥයන්ටද හිමිවන්නේය.

දෙමළ ජාතික සන්ධානය: ප‍්‍රබලම ‘දෙමළ’ හඬ?

යුද්ධය අවසන් වීමෙන් පසු පවත්වන ලද සෑම මැතිවරණයකින්ම, උතුරු නැගෙනහිර පළාත්වල ඔහුගේ නායකත්වය යටතේ තරග කළ දෙමළ ජාතික සන්ධානය සාර්ථක ප‍්‍රතිඵල අත්කරගෙන තිබේ. රාජපක්ෂ තන්ත‍්‍රය සමග අශුද්ධ සන්ධානයකට ගොස් (දෙමළ ජනතාව ඉදිරියේ) නම කැත කරගත් ඊ.පී.ඞී.පී. සංවිධානයත්, එක්සත් ජාතික පක්ෂයෙන් යාපනයට තරග කළ විජයකලා මහේෂ්වරන් සහ නැගෙනහිරට තරග කළ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය හැරුණු කොට විශ්වසනීය දේශපාලනික විකල්පයක් නැති තත්වය තුළ, මොනම ආකාරයකින්වත් දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ශක්තියට අභියෝගයක් විය හැකි දේශපාලන ව්‍යාපාරයක් ඒ පළාත් දෙකේ දක්නට නොලැබේ. ඊට හේතු, වෙනම ලිපියකට ප‍්‍රස්තුත වන්නකි.

ස්වකීය ප‍්‍රජාවේ අයිතීන් අරභයා සම්පන්දන් දරණ ස්ථාවරයන් ගැනත්, සමාන පුරවැසියන් වශයෙන් ජීවත් වීමට දෙමළ ජනතාව තුළ ඇති දේශපාලන අභිලාෂයන් සහතික කරවන සම්පන්දන්ගේ දේශපාලනය ගැනත්, ඇතැම් සිංහල ජාතිකවාදියෝ ප‍්‍රශ්න කරති. ස්වකීය ජනතාවගේ ඕනෑඑපාකම් ගැන ඔහු නගන හඬට සවන්දිය යුතු බව සහ කවුරුත් ඊට ගරු කළ යුතු බව පිළිබඳ විවාදයක් තිබිය නොහැක. යුද්ධයෙන් පසු දෙමළ සමාජයේ ගර්වය ප‍්‍රතිෂ්ඨාපනය කළ හැක්කේ එමගින් පමණි. ඊටත් වඩා, සකල අයිතීන් සහිත ශ‍්‍රී ලාංකීය පුරවැසියන් වශයෙන් ඔවුන් සතුවිය යුතු අයිතිය ප‍්‍රාණවත් කළ හැක්කේ සහ ප‍්‍රබෝධමත් කළ හැක්කේද එමගින් පමණි. දෙමළ ඡුන්දදායකයාගේ ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන සෑම මන්ත‍්‍රීවරයෙකුටම, සිය ඡුන්දදායකයන්ගේ මෙන්ම ඡුන්ද කොට්ඨාශවල සහ දිස්ත‍්‍රික්කවලත් ඇති ප‍්‍රශ්න ගැන හඬක් නැගීමේ සෑම අයිතියක්ම ඇත්තේය.

‘ජාතික’ අදාළත්වය ගැන පැවරෙන නව වගකීම

ඔහුගේ දේශපාලන දිවිය තුළ ප‍්‍රථම වතාවට, ව්‍යවස්ථාදායකය තුළ ජාතික වැදගත්කමක් සහිත ස්ථානයක් ඔහුට දැන් ලැබී තිබේ. ඔහුගේ පාර්ලිමේන්තු වගකීම් එක රැුයෙකින් දෙගුණ තෙගුණ වී තිබේ, එය, යම් දිස්ත‍්‍රික්කයක් නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකුට හෝ යම් භූගෝලීය කලාපයක් නියෝජනය කරන පක්ෂ නායකයෙකුට හෝ පැවරෙන වගකීම්වලින් එහාට දිවෙන්නකි. අද පටන්, ආර්. සම්පන්දන්ට සමස්ත පාර්ලිමේන්තු විපක්ෂයකම වගකීම භාර වෙයි. විපක්ෂ නායකයා වශයෙන් තෝරාගනු ලැබීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළ පරිදි, ස්වකීය නව භූමිකාව ගැන ඔහු මනා සේ සවිඥානක බව පෙනේ. එසේම එම භාරදූර වගකීම මනාව ඉටු කිරීමේ හැකියාවද ඔහු සතුව ඇති බවට සැකයක් නැත.

R. Sampanthanමේ ලියුම්කරු විශ්වාස කරන පරිදි, සිය ප‍්‍රජාව පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන ‘නායකයා’ වශයෙන් තමාට පැවරෙන වගකීමත්, විපක්ෂ නායකයා වශයෙන් තමාට පැවරෙන ජාතික වගකීමත් සළකා බලමින්, වඩාත් ප‍්‍රශස්ත ඉදිරි මූලෝපාය හඳුනා ගැනීමේ හැකියාවත් සම්පන්දන්ට තිබේ. ඒ ආශ‍්‍රයෙන් සිතන විට, ඔහුට ගැනීමට හැකි වඩාත් නුවණැති මාවත වන්නේ, උතුරු නැගෙනහිර ප‍්‍රජාවගේ දෛනික ප‍්‍රශ්න ගැන බලවත් හඬක් නගන අතරේම ඒවා ජාතික ප‍්‍රශ්න සමග සහසම්බන්ධීව ගනිමින්, ‘ප‍්‍රතිපත්ති මූලික’ ප‍්‍රවේශයක පිහිටා කටයුතු කිරීමයි.

දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ: ගැහැටට පත් (සහ ‘බෙදාහදා ගත්’) උරුමයන්?

ජාතික දේශපාලනය තුළ සිටින සිංහල ජාතිකවාදී කොටස් දෙමළ ජාතික සන්ධානයට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටත් ගරහති. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් 1971 සන්නද්ධ නැගිටීම සහ විශේෂයෙන්, 1988-89 කාලයේ ඔවුන් දියත් කළ කැරලි කෝලාහල ඔවුන්ට එරෙහිව පාවිච්චි කරති. දෙමළ ජාතික සන්ධානයට එරෙහිව ගෙන එන්නේ, ඔවුන් එල්.ටී.ටී.ඊ. හිතවාදී වූ බවයි. සිංහල ජාතිකවාදී මතය තුළ, ඔවුන් සම්බන්ධයෙන් තිබෙන බරපතලම කැළල වශයෙන් සැළකෙන්නේ එයයි.

(සිංහල මෙන්ම දෙමළ) තරුණයන් ආයුධ අතට ගැනීමට සහ ශ‍්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව නැගී සිටීමට ඔවුන්ව තල්ලූ කළ මූලික හේතු කාරණා දෙස සාමූහිකව හැරී බැලීම, පශ්චාත්-යුද කාලීන දශකයේ ගතවන මේ දෙවැනි භාගයේදී, සෑම ශ‍්‍රී ලාංකිකයෙකු වෙතම පැවරෙන වැදගත් කාර්යයකි.

සිංහල තරුණයන් සම්බන්ධයෙන් ගත් විට, ඔවුන්ව මූලික වශයෙන් ප‍්‍රතිවාදී තැනකට තල්ලූ කරනු ලැබුවේ, පංති පීඩනය, සමාජාර්ථික විසමතා, සමාජ ප‍්‍රගමන අවස්ථා හිඟය සහ සම්පත් බෙදී යාම තුළ පැවති බරපතල අසමානත්වයයි. මෙම කරුණුම දෙමළ තරුණයාටද බලපෑවේය. ඊට අමතරව ඔහුට, විශ්ව විද්‍යාල ප‍්‍රවේශයේදී වාර්ගිකත්වය හරහට සිටියේය. එසේම, දේශපාලනික නියෝජනය සහ මූලික අයිතිවාසිකම් අභ්‍යාස කිරීම මෙන්ම, වාර්ගිකත්වය සහ භාෂාව පදනම් කරගත් අසමානත්වයන්ට ලක්කරනු ලැබීමත් බලපෑවේය. ඊට අමතරව, (කොළඹ ආණ්ඩුවේ දරුණුතම හතුරා බවට පත්වූ සංවිධානයට අනුබද්ධ) බොහෝ දෙමළ තරුණයන්ගේ අසහනයට, දෙමළ සමාජය තුළින්ම ඇති කෙරුණු විසමතාවන්ද බලපෑවේය. එහිදී, සමාජ පංතිය සහ විශේෂයෙන්, දෙමළ සමාජය තුළ පවතින කුල භේදය තීරණාත්මක විය. ඒ අනුව, ඉංග‍්‍රීසි කතා කරන, උගත්, ප‍්‍රභූ, ලිබරල් සහ, බොහෝ විට ඉහළ කුලවලට අයත් දෙමළ බුද්ධිමතුන් සහ දේශපාලඥයන් කෙරෙහි ගර්හාවක් ඔවුන් තුළ තිබුණි. සාමකාමී මැද මාවත් ගැන සහ ප‍්‍රචණ්ඩ විරෝධයේ ආදීනව ගැන තමන්ට බණ කියන්නේ එවන් පිරිසකියි ඔවුන්ට හැඟිණ.

දෙමළ ජාතික සන්ධානය: වාර්ගික දේශපාලනයෙන් ජාතික දේශපාලනයට?

දෙමළ ජාතික සන්ධානය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය යනු, මුළුමණින් එකිනෙකාගෙන් වෙනස් ව්‍යාපාර දෙකකි. ඒ දෙක අතරේ සාම්‍යත්වයක් දකින ඕනෑම කෙනෙකු ප‍්‍රදර්ශනය කරන්නේ, දෙමළ සමාජය කෙරෙහි වන ඔහුගේ/ඇගේ දේශපාලනික සහ සමාජ/සංස්කෘතික නොමේරු භාවයයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය මුදුන්පෙත්තේ සිටි අවදියේ පාර්ලිමේන්තුවේ සිටි දෙමළ නියෝජිතයන් පැහැදිළිවම ස්වයං-නිර්ණ කතිකාවක සිටියා විය හැකිය. ඒ ගැන ඔවුන්ට වරද පැටවිය නොහේ. අද වන විට දෙමළ ජාතික සන්ධානය සිටින්නේ, පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලාංකීය දේශපාලනය තුළ ස්වකීය ‘එළිමහන් කරළිය’ සොයා ගැනීමේ සාර්ථකත්වයක් ප‍්‍රදර්ශනය කරමිනි. එක්සත් ශ‍්‍රී ලාංකීය රාජ්‍යයක් කෙරෙහි වන ස්වකීය කැපවීම මේ වන විට ඔවුන් ප‍්‍රකාශයට පත්කොට තිබේ. දෙමළ ජනතා අයිතීන් සුරක්ෂිත කිරීම කෙරෙහි ඔවුන් මෙහෙයැවෙන්නේ එම රාමුව තුළ පිහිටමිනි. මාවෙයි සේනාධිරාජා වැනි ‘පොදු මිනිසාගේ නායකයන්’ හැරුණු කොට, දෙමළ ජාතික සන්ධානය සන්නද්ධ වන්නේ, සුමන්දිරන් සහ විග්නේෂ්වරන් වැනි වෘත්තිකයන්ගෙනි. එසේම, ජාතික මට්ටමේ දේශපාලනයට පිවිස සිටින මේ මොහොතේ, එම භූමිකාවට අයත් ‘ජාතික’ මානය සපුරා දැරීමට තමන් සූදානම් බවත් එම සංවිධානය ප‍්‍රකාශ කොට ඇත.

දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ: එකට වැඩ කිරීමේ හැකියාවන්?

වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂයේ ප‍්‍රධාන ප‍්‍රවාහයන් දෙක වන දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණට, එකිනෙකා අතරේ හෘදයාංගම සහ විවෘත සංවාදයකට අවතීර්ණ වෙමින්, ‘ප‍්‍රතිරූප කැබිනට්ටුවක’ වගකීම් බෙදාහදා ගැනීමේ අද්විතීය අවස්ථාවක් දැන් උදා වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ බොහෝ විට කියා සිටින, රටේ තිබිය යුතු ජාතික එක්සත් භාවය සහ අන්තර්-වාර්ගික සහජීවනය සඳහා වන මේ ස්වර්ණමය අවස්ථාව දැන් ඔවුන්ට පාවිච්චියට ගත හැකිය. අනිත් අතට, දෙමළ ජාතික සන්ධානයටත් දැන්, ප‍්‍රමාණයෙන් කුඩා මුත් දකුණේ සමාජය තුළ තීරණාත්මක ස්ථානයක් දරණ ජාතික මට්ටමේ පක්ෂයක් සමග එකට වැඩ කිරීමේ ස්වරණමය අවස්ථාව උදා වී තිබේ. එම ව්‍යාපාරය සමන්විත වන්නේ තරුණ, උගත් නායකයන්ගෙනි. ඔවුන් සියල්ලන් විසින්ම නියෝජනය කරනු ලබන්නේ, කොළඹ ප‍්‍රභූ පැලැන්තිය නොව, වඩාත් පුළුල් (බොහෝ විට බෞද්ධයන්ද වන) සාමාන්‍ය ප‍්‍රජාවයි. දෙමළ ජාතික සන්ධානයට තමන්ගේ වෙල්ලාල මහත්වරුන්ගෙන් එහාට යන, සමස්ත දෙමළ සමාජය නියෝජනය කළ හැකි සහ අන්තර්ග‍්‍රහණය කරගත හැකි ප‍්‍රශස්ත දේශපාලනික මුලෝපායක් සකසා ගනිමින්, සමානත්වය සඳහා ගරුත්වයක් ලබා ගැනීමේ දේශපාලනයක් සඳහා වන අගනා පාඩමක්, ජනතා විමුක්ති පෙරමුණේ එකී නායකත්ව සංයුතිය තුළින් ලබා ගැනීමේ හැකියාවද තිබේ.

ඉහත කී ඇතැම් නිරීක්ෂණ, එක්තරා දුරකට, පවතින යථාර්ථයට නොගැළපෙතැයි, යම් සර්වදෝෂදර්ශී විවේචකයෙකුට පෙනී යා හැකිය.

එසේ වෙතත්, අඩුම වශයෙන්, නිර්මාණාත්මක චින්තනය, දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිය සඳහා වැටි ඇති වටිනා මාවතක් බව කිව යුතුය.

*2015 සැප්තැම්බර් 8 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “The Sampanthan Hour” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.