26 April, 2024

Blog

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත්‍ර​වාදයේ සුරදූතයෝ සහ යක්ෂයෝ

සුරේන් රාඝවන්

ආචාර්ය සුරේන් රාඝවන්

ආචාර්ය සුරේන් රාඝවන්

දිග් ගැස්සුණු සිවිල් යුද්ධයක පැටලී සිටින ඕනෑම සමාජයක අනාගතය සඳහා අනිවාර්ය කෙරෙන කොන්දේසි තුනක් තිබේ: ඒවා නම්, (1) අඩුම හානියකින් ගැටුම අවසන් කරගන්නේ කෙසේද? (2) එවැනි යුද්ධයක් නැවත ඇති නොවන තැනට වගබලා ගන්නේ කෙසේද, (3) යුද්ධය තුළ අහිමි කරගත් දේවල් යළි සකසා ගැනීම සඳහා අවශ්‍ය කරන කඩිනම් සමාජ-ආර්ථික ප‍්‍රතිසාධන වැඩ පිළිවෙලක් යන කරුණු ය.

දකුණු ආසියාවේ නූතන ඉතිහාසය තුළ දිගම සිවිල් යුද්ධය පැවති ශ‍්‍රී ලංකාවේ මේ කාරණා තුන ගැනම තවමත් වාදවිවාද කෙරේ. සමහර විට කලින් තිබුණාටත් වඩා එකඟ නොවන කරුණු එහි දී මතුවෙයි. පාලන තන්ත‍්‍රයට පක්ෂපාතී අය සහ දකුණේ අන්ත=ජාතිකවාදීන් විශ්වාස කරන අන්දමට, මහින්ද රාජපක්ෂ විසින් ගැටුම විසඳා තිබේ. ඒ, ලෝකයේ ප‍්‍රබලම ත‍්‍රස්තවාදී සංවිධානය ඔවුන්ගේම ක‍්‍රම පිළිවෙල යටතේ විනාශ කර දැමීමෙනි. දෙමළ ජාතිකවාදීන් (බෙදුම්වාදී හෝ වෙනත්) උදක්ම තර්ක කරන්නේ, මුල්ලිවයික්කාල්හි දී නිර්මාණය කෙරුණේ, සුළුජාතික අයිතිවාසිකම් ඉල්ලා සිටි කණ්ඩායම් ජනඝාතනයකින් අවසන් කළ, ‘රාජපක්ෂ ප‍්‍රතිපදාවක්’ බවයි. තමන් වෙනුවෙන් යුක්තිය පසිඳලන්නැ යි ඔවුහූ දිගටම ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිති.

ගැටුමේ හමුදාමය ස්වරූපය නතර වී තිබේ. සාමය සහ සමාජ සාධාරණත්වය පේන තෙක් මානයක නැති වුව ද, පාසල් ළමුන් ද බිළි ගත් නාගරික මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දැන් නැති බව කෙනෙකුට පිළිගැනීමට සිදුවෙයි. එයාකාරයෙන්ම, සිවිල් ජනතාව ද විනාශ කෙරෙන ගුවන් කාපට් බෝම්බ ප‍්‍රහාරයන් ද දැන් නැත. එසේ වෙතත්, සමස්තයක් වශයෙන් ගත් විට, ලංකාවේ දකුණේ ජීවත් වන වැසියන්, දකුණු ආසියාවේ වඩාත්ම හමුදාකරණය වූ භූමි භාගයක මහත් වේදනාවෙන් ජිවත් වන උතුරේ දෙමළ වැසියාට වඩා තරමක් වාසනාවන්ත ය. ජයග‍්‍රාහකයාට වැඩියෙන් ප‍්‍රතිලාභ ලැබීම අරුමයක් නොවේ. එහෙත් මිනිස් උදාරත්වයක් ආරක්ෂා කර ගැනීම, ජයග‍්‍රාහකයාගේ සදාචාර වගකීමකි.

ගැටුම අවසන් වූ ආකාරය ආපසු හැරවිය නොහේ. ඒ පිළිබඳ විනිශ්චය, අනාගත ඉතිහාසඥයන් අතින් ලියැවෙනු ඇත. එසේ වෙතත්, සාමූහික සමාජයක් වශයෙන් තවමත් යම් වෙනසක් ඇති කළ හැක්කේ ඉතිරි සාධක දෙක පිළිබඳ කාරණයේ දීය. ඊට අදාළ සියලූ පාර්ශ්වකරුවන් සතු පරිවර්තනීය සදාචාරමය පරිකල්පනය මොන තරම් කර්කශ සහ අභියෝගාත්මක වුවත්, එය කළ යුත්තකි.

පුනරාවර්තනීය (සන්නද්ධ) ගැටුමක ඇති අවදානම

ගත වූ 25 වසර තුළ ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව යුද තේමාව විකුණමින් සිටියේය. එය අඩු වැඩි වශයෙන් මිළදී ගෙන ඇති දකුණේ ජනතාව ඡන්දය පාවිච්චි කොට ඇත්තේ, දෙමළ ඉල්ලීම සාකච්ඡුා මේසයේ විසඳන පක්ෂවලට නොව, හමුදා පෙරමුණක් හරහා ‘සාමය’ ගෙනෙන බවට පොරොන්දු වූ පක්ෂවලට ය. සාමය සඳහා වන වේදිකාව සැරසූ ජනාධිපති කුමාරණතුංග සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ පවා, ඒ සමානවම, හමුදා විසඳුම් ගැන සූදානමින් සිටියහ. එවැනි ක‍්‍රියාමාර්ගයක්, බලතුලනයේ සූත‍්‍රයට අත්‍යාවශ්‍ය බව ඔවුන්ගේද කල්පනාව විය. එවැනි දෙපැත්තට වැනෙන ගතියක් ජනාධිපති රාජපක්ෂට තිබුණේ නැත. වර්ග-කේන්ද්‍රීය දේශපාලනික සහකරුවන්ගේ නොමද සහාය ලැබ, ඔහු හමුදාමය විසඳුමක් සඳහා වන ව්‍යාපාරයක් දියත් කොට, ඉතා පැහැදිළි ලේ තැවරුණු නිමාවකට එය ගෙනාවේය.

සෑම ව්‍යුහාත්මක සහ ආයතනික මට්ටමකින්ම තමන්ගේ බලය ස්ථායි කර ගැනීමට සහ යළි මධ්‍යගත කර ගැනීමට ඔහු නොමසුරුව පාවිච්චි කෙළේ, ඒ යුද ජයග‍්‍රහණයේ වරුණාවයි. යුද්ධය තරමටම සාමයත්, දේශපාලනික තීන්දුවක් බව, සමහර විට වෙන කිසි කෙනෙකුට වඩා මේ ජනාධිපතිවරයා දනී. ‘අන්‍යොන්‍ය රිදවීමක සිරවීමට සිදුවීම’, දිග් ගැස්සෙන යුද්ධ ඉවරයක් කර ගැනීමට වඩාත් යෝග්‍ය කොන්දේසියක් බව, විලියම් සාර්ට්මාන් කියා තිබේ. යුද්ධයට හේතුපාදක වූ මූලික කරුණු සහ යුද්ධයේ අමතර හානි පිළිබඳ ගැටළු විසඳා ගැනීමේ සැබෑ ආශාවක් උපදින්නේ එවැනි තත්වයකදීම වන බැවිනි.

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාවේ සන්දර්භය තුළ, එවැනි ‘අන්‍යොන්‍ය රිදවීමක සිරවීමක්’ සිදුවුණේ නැත. යුද්ධයේ බලපෑම තුළින් සාමාන්‍ය සිංහල සමාජය තුළ බිය ජනනය කෙරුණද, ඒ මගින් කිසි විටෙකත් සිංහල දේශපාලන පංතිය හෝ එහි වර්ගාන්තර ජාතික මනෝ රාමුව වෙනස් කෙරුණේ නැත. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි සහ ආර්. පේ‍්‍රමදාස වැනි පුද්ගලයන් රුදුරු ආකාරයකින් මරුමුවට පත්වු බව සැබෑව. එහෙත් එවැනි මිනිසුන්ගේ නික්මයෑම් හරහා දකුණේ දේශපාලන හෝ වෙළඳ පංතියේ මූලික වෙනසක් සිදු කෙරුණේ නැත. ඒ වෙනුවට සිදුවුණේ, සමස්ත සිංහල දේශපාලනය තව තවත් වර්ගවාදී ජාති-කේන්ද්‍රීය න්‍යාය පත‍්‍රයක් වටා ගොනු වෙමින්, මුළු රාජ්‍ය යන්ත‍්‍රයමත්, යුදමය ජයග‍්‍රහණයක් සඳහා වන දේශීය සහ විදේශීය බලවේගත් සේවයට ගෙන, සියල්ල ඉවරයක් කර දැමීමයි. ඒ හරහා ශ‍්‍රී ලංකා ආණ්ඩුවට පැවරෙන න්‍යාය පත‍්‍රය, ‘ජයග‍්‍රාහකයාගේ හැන්දෙන්’ බෙදන යුක්තියක් මත පදනම් වීම අරුමයක් නොවේ.

නොබෙදුණු, එහෙත් සියල්ල අන්තර්ගත කරගත්, පශ්චාත්-යුද කාලීන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශ‍්‍රී ලංකාවක් සඳහා වන පුළුල් ජාතික ව්‍යාපෘතියක් පිළිබඳ දූරදර්ශී පර්යාලෝකයක සේයාවක්වත්, යුද්ධය අවසන් වී මේ දක්වා ගත වූ කාලය තුළ අපට දකින්ට නැත. ඒ වෙනුවට සිදුව ඇත්තේ, දකුණේ දේශපාලනය තුළ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගොඩඒමකට හතුරු වන බරපතල බාධක සහ සීමාවන් ඉස්මතු වීමයි. දේශපාලනික, මූල්‍යමය, හමුදාමය සහ පරිපාලනමය බලය එක පුද්ගලයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අතරේ කේන්ද්‍රගත වීමත්, ඒ හේතුවෙන්, ප‍්‍රවෘත්ති ගලා යාමේ නිදහස ඇහිරීම සහ සෑම දේශපාලනික ක‍්‍රියාකාරීත්වයකටම බාධා පැමිණවීමත් හරහා සිදුව ඇත්තේ, අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරධර්ම වෙත ආපසු ඉක්මණින් ළඟා වීමේ හැකියාව මොට කර ගැනීමකි.

කෙසේ වෙතත්, සන්සන්දනාත්මක අරුතකින්, එහි අනිත් පැත්ත ද සැබෑවකි. දෙමළ ජනතාව, එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ (ශ‍්‍රී ලංකා ආණ්ඩුව යටතේ සිටිනවාටත් වඩා වැඩියෙන්) සමාජයේ අතිමූලික මට්ටමකින් බැටකෑවා පමණක් නොව, යුද්ධය අවසන් වන විට, දෙමළ සමාජයේ දේශපාලනික, වෙළඳ සහ බුද්ධිමය පංතිය, සදහටම වෙනස් වී කුඩුපට්ටම්ව සිටියේය. ප‍්‍රභාකරන් තවම ජීවතුන් අතර සිටිති යි විශ්වාස කරන සහ තමන් සඳහා සටන් කිරීමට ඔහු නැවත එනු ඇතැ යි විශ්වාස කරන ඩයස්පෝරා ක‍්‍රියාකාරිකයන් කිහිප දෙනෙකු හැරුණු විට, නැවත ශ‍්‍රී ලංකා ආණ්ඩුව සමග යුද්ධයට යා යුතු බවට බරසාරව තර්ක කරන කිසිවෙකු අද දෙමළ සමාජයේ නැත. එවැනි ඩයස්පෝරා සිහින වනාහී, යුද්ධයෙන් කිසි දවසක පීඩාවට පත් නොවී, තමන්ගේ දෘෂ්ටිවාදී ආරක්ෂිත කුටුම්බවල සිටි කිහිප දෙනෙකුගේ හිතුවක්කාර කල්පනාවක් වශයෙන් දෙමළ ජනතාව බැහැර කරති.

එසේ තිබියදී, ලංකාව තුළින් මෙන්ම පිටතින් ද, දෙමළ ජාතියේ බහුවිධ ගතිකත්වයන් තුළ සැලකිල්ලට ගැනෙමින් තිබෙන කාරණා දෙකක් තිබේ: එනම්, අපමණ වධ වේදනා විඳි දෙමළ ජනතාවගේ ආසන්න පැවැත්ම සහ හැකි වෙතොත්, සාකච්ඡුා මාර්ගයෙන් ඇති කර ගන්නා අවම පරිමාණයේ ප‍්‍රජාතන්ත‍්‍රීය ගොඩඒමකි. ජිනීවා නුවර දී ගැනෙන ප‍්‍රයත්නයන් සහ විටින් විට සිදුකෙරෙන වෙනත් මැදිහත් වීම් (ඬේවිඞ් කැමරන් මෙන්) වනාහී, ශ‍්‍රී ලංකාව කෙරෙහි බලපෑම් ඇති කිරීමේ උපක‍්‍රමික ක‍්‍රියාවන් මිස ශ‍්‍රී ලංකාව සමග යුද්ධ කිරීමට හෝ බාහිර බේරුම්කරුවන් හරහා බෙදුම්වාදයක් ඇති කර ගැනීමට දරණ ප‍්‍රයන්තයන් නොවන්නේය. මේ අවස්ථාවේ දෙමළ ජාතිය සිටින්නේ, දේශපාලනික චිත්ත ධෛර්යයේ පහළම අඩියක ය. වෙන දා සේම, සාමූහික ක‍්‍රියාකාරකම් අරභයා වන ගැඹුරු අසමගියක ය. ඔවුන්ගේ වර්තමාන අපේක්ෂාවන් එල්ලෙන්නේ, ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි දුර්වල අතුවල ය. නැතහොත්, භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ බලයට පැමිණීම වැනි කළාපීය අපේක්ෂාවන් මත ය.

එම නිසා නැවත යුද්ධයකට අවතීර්ණ වීමේ අවදානමක් ගැන කෙරෙන කතිකාව, දකුණේ ප‍්‍රභූන්ටත්, කුලී සේවාවට බඳවාගෙන සිටින රොහාන් ගුණරත්න සහ ඞී.බී.එස්. ජෙයරාජ් වැන්නන්ටත් සේවය කරන ප‍්‍රබන්ධයකි. අද ඇත්තෙන්ම සිදුවෙමින් ඇත්තේ, සටන් පෙරමුණේ දී කොටු කරගත නොහැකි වූ බොහෝ හිටපු එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාධරයන් හඳුනාගෙන ඝාතනය කිරීමත්, එල්.ටී.ටී.ඊ. නායකයන් වන කේ.පී. සහ කරුණා වැන්නන්ගෙන් ලබාගන්නා තොරතුරු මත පදනම්ව, දේශපාලනික සහ මැතිවරණමය වාසි සලසා ගැනීමත් ය.

තමන්ගේ මතක, ඒවා මිථ්‍යාමතික වුවත්, ඉහළින් ස්මරණය කිරීමේ විශාල හැකියාවක් සිංහල ජාතියට තිබේ. එළාර-ගැමුණු යුද්ධය තවමත් ඔවුන් වණන්නේ, අවුරුදු දෙක තුනකට කලින් සිදු වූ දෙයක් පරිද්දෙනි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තිරිසන් ක‍්‍රියා ඔවුන්ගේ මතකයේ තිබෙනු ඇත. ඒ මතකය මත, එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ යැයි බොරුවට හෝ සැක කෙරෙන ඕනෑම කෙනෙකුව විනාශ කර දැමීම යුක්ති සහගත කරගනු ඇත. එම සන්දර්භය තුළ, යුද්ධයක් යළිත් ඇති වීමට ඇති ශක්‍යතාවේ සෙවනැල්ල බොහෝ ඈතට විහිදෙන්නකි. ඒ මගින් සිංහලයන්ගේ සිත් තුළ බිය ඇති කරවයි. ඒ නිසා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ගොඩනැංවීමක් ගැන කතා කරන දෙමළ ජාතිකයන් හෝ මධ්‍යස්ථ පිරිස් පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීම සිංහලයාට දුෂ්කර කටයුත්තක් බවට පත්කෙරේ.

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව අද නියුක්ත වන සෙල්ලම වන්නේ. ව්‍යාප්තිවාදී හමුදා යාන්ත‍්‍රණයන් යටතේ ඒකීය පාලනය මධ්‍යගත කර ගැනීමයි. යුද්ධයට යළි අවතීර්ණ වීමේ මොනයම් හෝ ඉඩක් ඇතොත්, එය විවර වන්නේ වෙන කිසිවක් නිසා නොව, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉහත කී කඩා ඉහිරවීම් නිසා ය. එහෙත් මෙවර ඒ නැගිටීම සිදුවන්නේ උතුරෙන් නොව, යුද්ධයේ අවසානය විසින් තමන් වෙත ගෙන දෙතැ යි අපේක්ෂා කළ සෘජු ප‍්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සිටි දකුණේ සිංහල ජනතාවගෙනි. නොදන්න දෙවියන්ට වඩා දන්න යක්ෂයා යහපත් බව මතක තබා ගැනීමට පාලකයන් විසින් සිංහලයන්ව තල්ලූ කෙරෙනු ලබන්නේ, ඒ බියකරු මනෝභාවයේ සන්දර්භය තුළයි.

*2014 ජුනි 11 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Angels And Demons Of Democracy – In Lanka නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.