Colombo Telegraph

චම්පිකගේ කොළඹ යාචකයින්, ගවයින් හා සුනඛයින් අතුරුදන් කරවීමේ තැත

මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා –

කොළඹ නගරය සංවර්ධනය කිරීමේ පුර්වගාමී කටයුත්තක් වශයෙන් දැනට කොළඹ නගරයේ හිඳින යාචකයන්, ගවයන් සහ නිවාස අහිමි සුනඛයන් නගරයෙන් බැහැර කළ යුතු බව මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවේ කියා තිබේ.

එහෙත් මෙම ‘බැහැර කිරීම’ යනුවෙන් හැඟවෙනුයේ කුමක්ද? යන්න පිළිබඳව ඇමතිවරයා මුලදී නිශ්චිත අදහසක් පළකොට නැත. එහෙත් ඒ සම්බන්ධයෙන් පසුව පැවසුණු අදහසකට අනුව කොළඹ නගරයේ සිඟමන් යදින යාචකයන් අම්බලන්තොට රිදියගම කඳවුර වෙත යැවීමේ සූදානමක් පවතී. එහෙත් ඇමතිවරයා ගේ මෙම මහනගර සහ බස්නාහිර සැලසුම් යෝජනාව තුළ ඔහුගේ දැනුම් අවබෝධයන් සීමාවෙන් බැහැර වන පුළුල් සමාජ විද්‍යාත්මක පරාසයක් පවතී. මේ ඒ සම්බන්ධයෙන් පාඨක අවධානය යොමු කරවීමකි.

මෙහිදී පළමුව අපි “යාචකයා” යනු කවරුන්ද යන්න විමසා බලමු. සාමාන්‍යයෙන් යාචකයා යනුවෙන් මූලිකව හැඳින්වෙනුයේ ආහාරපාන – ඇඳුම් පැළඳුම් සහ ඖෂධ ආදී මූලික අවශ්‍යතා සපුරා ගත නොහැකිව පොදු සමාජ කරලිය වෙත‍ට පැමිණෙන සමාජයේ පහත්ම අඩියේ වෘත්තීයක යෙදෙන්නෙකි. ලොව පැරණිතම වෘත්තීන් දෙක පිළිබඳව සඳහන් කරන බොහෝ මානව විද්‍යාඥයන් ගණිකා වෘත්තිය සහ යාචක වෘත්තිය හුවා දක්වා ඇති බව නොරහසකි. ඒ කෙසේ හෝ පසුකාලීනව සිදු වූ සමාජ පරිනාමයත් සමඟ මෙම ගණිකා සහ යාචක වෘත්තීන් කර්මාන්ත ස්වරූපයට පරිවර්තනය වනු ලදුව අද වන විට කර්මාන්තයකට අවශ්‍ය බොහෝ අංගවලින් මෙම යාචක සහ ගණිකා වෘත්තීය පසුබිම සැකසී තිබේ.

අද අප සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවුවද ශ්‍රී ලංකාවේ යාචක වෘත්තිය සම්බන්ධ උප සංස්කෘතියක් ද තිබේ. අප ‍රටේ විසූ කීර්තිමත් සමාජ විදයාඥයකු වූ මහාචාර්ය නන්දසේන රත්නපාල සූරීන් විසින් 1979 වසරේ ලියන ලද The beggar in Srilanka කෘතිය මගින් ඒ සම්බන්ධ විශිෂ්ට සමාජ දර්ශනයක් ඉදිරිපත් කොට ඇත. ඒ අනුව මෙහි දී අප විසින් කළ යුත්තේ යමකු යාචක වෘත්තියට පෙළඹීමට බලපාන පෞරුෂ, මානුෂික, පවුල්, ප්‍රජා සහ සමාජ වටපිටාව අධ්‍යයනය කිරීමය. ඉන්පසුව  එම සමාජ පරිසරය තුළදීම මූලික වශයෙන් ඔවුන් සඳහා සුබසාධන ක්‍රියාවලියකට මුල පිරීමය.  ඒ හැරුණු කොට කොළඹ නගර සීමාව තුළ සිටින එම යාචකයන් ඔසවා ගෙන ගොස් කොහේ හෝ තැනකට අතහැරීම නොවේ. එසේ කළ හොත් මූලිකවශයෙන් කොළඹ නගරය තුළ යාචක වෘත්තියේ යෙදෙන්නවුන් නිසා දිවි ගැටගසා ගන්නා තවත් පවුල් සිය දහස් ගණනක් අනාථ භාවයට පත්වනු ඇත.

බොහෝ විට අගනුවර සහ ඒ ආශ්‍රිත යාචක වෘත්තියේ යෙදෙනුයේ අගනුවර සහ ඒ ආසන්න ප්‍රදේශවල පැල්පත් වාසී ප්‍රජාව නියෝජනය කරන පිරිස් අතුරින් කොටසකි. මොවුන් ගේ ආහාර, ඇඳුම් පැළඳුම්, පවුල් ප්‍රජා සහ සමාජ සබඳතාවල පවත්නා විශේෂ අනන්‍යතාවයන් සමාජ විද්‍යාඥයන් ගේ අවධානයට යොමුව තිබේ. එසේම සමාජයේ සෙසු කොටස්වලට සාපේක්ෂව මත්පැන්, මත්ද්‍රව්‍ය සහ ගණිකා වෘත්තිය, සුළු සොරකම්, මංපැහැරීම කෙරෙහි විශේෂ නැඹුරුවක් මෙම ජන කොටස් තුළ තිබේ.  ඒ ඔවුන් වෙත නිරතුරුව පොදු සමාජයෙන් එල්ලවන ප්‍රතිරෝධය මුල්කරගනිමිනි.

කොළඹ නගරයේ යාචකයන් ඉවත් කරවීම හෝ ‘අතුරුදන් කරවීම’ ට පෙර මෙම කරුණු සම්බන්ධ විද්‍යාත්මක විමර්ශනයක් කළ යුතුවේ.

අමාත්‍යවරයා ගේ යෝජනාව පරිදි කොළඹ නගරයේ යාචකයන් හිටිහැටියේ වෙනත් ස්ථානවලට ගෙන ගොස් දැමීම නව සංකල්පයක් නොවේ. 1976 කොළඹ පැවැති නොබැඳි ජාතීන් ගේ සමුළුව සහ 2013 කොළඹ දී පැවැති චෝගම් සමුළුව මුල් කොට ගෙන ද මෙම යාචකයන් ඉවත් කිරීමේ කාරියේ යෙදුණු රජය කොළඹ යනු බෙහෙතකටවත් යාචකයකු සොයා ගත නොහැකි සුරපුරයක්ය යන අසත්‍යය, මිථ්‍යාව ජාත්‍යන්තරය වෙත පතුරුවා හැරීමේ අඥාන උත්සාහයක යෙදී  තිබිණ.

 පාඨලී චම්පික ඇමතිවරයා මේ මුල පුරනුයේ එහි නවතම අදියරට මිස නව සංකල්පයක් ක්‍රියාවට නැංවීමට නොවේ. ලෝකයේ බොහෝ දියුණු රටවල යාචක වෘත්තිය සහ මංපැහැරීම තුලනාත්මක සබැදියාවක් සහිත වෘත්තීන් දෙකක් වශයෙන් සමාජ විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. මෙහි දී යාචක වෘත්තියෙන් යමක් ඉපැයීමට නොහැකි වීම තුළ ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙමින් ජනතාව සතු යම් යම් දේ සොරකම් කිරීමට පැහැර ගැනීමට පෙළඹෙන්නවුන් ගේ සංඛ්‍යාව ඉහළ යන බව නොරහසකි. මේ වනවිට යුරෝපාකරයේත්, ඇමරිකාවේත් බොහෝ නගරවල සිදුවන සොරකම් සහ මංපැහැරීම් ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇත්තේ නව සමාජ ආර්ථිකය හමුවේ අද වන විට යාචක වෘත්තිය අවලංගු රැකියාවක් බවට පත් ව ඇති නිසාය. එමෙන්ම ඒ ඔස්සේ එම නගරවල වීදි ගණිකාවන් බහුල වීමේ තත්ත්වයක් ද පෙන්නුම් කෙරේ.

මෙවන් පසුබිමක් තුළ මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධනය උදෙසා කොළඹ නගරයේ යාචකයන් නගරයෙන් පිට කොහේ හෝ සඟවා තැබීම ඔස්සේ කොළඹ නගරය තුළ යාචක වෘත්තිය නොමැති වී ඊට සාපේක්ෂව සොරකම්, මංපැහැරීම් සහ ගණිකා  වෘත්තිය තුලනාත්මකව ඉහළ නැංවීම කිසිවකුටත් වැළැක්විය නොහැක.

පාඨලී චම්පික රණවක මහතා නියෝජනය කරනුයේ බුදු දහම මත පදනම් වූ බෞද්ධ සමාජ ආර්ථික සංස්කෘතික දේශපාලන දර්ශනයක් වෙනුවන් පෙනී සිටින ජාතික හෙළ උරුමයයි.

එබැවින් මෙම කොළඹ නගරයෙන් යාචකයන් ඉවත් කිරීම පිළිබඳ නැවත ‘මුවින් කෙළ බිඳක් හෙළීමට’ පෙර ඔහු බෞද්ධ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ එන කූටදන්ත සහ චක්‍රවත්ති සිහනාද ආදී සූත්‍ර නැවත පරිශීලනය කිරීම ඉතා වැදගත්ය. එහි දී කූටදන්ත සූත්‍රයෙන් නිරන්තරව අවධාරණය කෙරෙනුයේ යම් රාජ්‍යයක තිරසාර සංවර්ධන ක්‍රමෝපාය වනුයේ දිළිඳුන් සමූල ඝාතනය කිරීම නොව ‘දිළිඳු බව’ සමූල ඝාතනය කිරීමෙන් පමණක් රාජ්‍යයකට සෞභාග්‍යය උදාවන බවය.

එහෙත් බෞද්ධ දර්ශනය යම් තරමකට හෝ හදාරා ඇතැයි අප සිතන හා ශ්‍රී ලාංකික දේශපාලන භූමියේ ඇති එකම බෞද්ධ දේශපාලන පක්ෂය නියෝජනය කරමින් මෙරට ප්‍රධාන අමාත්‍ය ධූරයක් හොබවන පාඨලී ඇමතිවරයා ගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය හුදෙක් ප්‍රකාශයකට පමණක් සීමා වීම ඔහුගේත්, ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂයේත් මුළු මහත් ශ්‍රී ලාංකීය සමාජයේත් යහපතට ඉෂ්ටාර්ථ සිද්ධියට ඉවහල්වන හේතුවන බව අපගේ අවංක විශ්වාසයයි.

 

Back to Home page