26 April, 2024

Blog

මරණ දඬුවම

තාරක වරාපිටිය  –

බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ පොදු මහජන අදහස උච්චාවචනය වෙමින් නිතරම සමාජ මනෝභාවය තුල ගැවසේ.

පුද්ගලීක ආරවුලකදී සිදුවන මිනීමැරුමක් මෙන් නොව ළමා අපචාර සම්බන්ධ කෲර අපරාධ හා සමාජ විරෝධී ජාවාරම් ආදියට වගකිවයුතු අපරාධ කරුවන්හට කිසිදු සමාවක්/කිසිදු බුරුලක් නොදිය යුතුයැයි දැඩි අදහසක් සමාජයේ පවතී; ඔවුන්ගෙන් මතුවට එවැනි අපරාධ වීමට තිබෙන ඉඩ මුළුමනින්ම අවුරාලීමට ඇති උවමනාව මත ඔවුන් ‘සමාජයෙන් ඉවත් කිරීම’ පිලිබඳ ආවේගය එවන් මොහොතකදී මතුවෙයි; සිදුකරන ලද සාහසික අපරාධය වෙනුවෙන් එහි වරදකරු දඬුවමට හා විඳවීමකට භාජනය වියයුතු බවට වන මහජන කෝපය අසාධාරණ ආවේගයක් නොවේ. 

මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට රටේ අති බහුතරයක් පක්ෂය. පාර්ලිමේන්තුවේ බහුතරයක් පක්ෂය; භික්ෂු සංස්ථාවේ අති බහුතරයක් පක්ෂය; ජාති බේධයකින් තොරව බහුතරයක් ජනතාව මේ දඬුවම යලි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින්නේ ඉහත කී පරිදි, නරුම අපරාධකරු සමාජයෙන් ඉවත් කිරීමට හා ඔහු කල කෲර අපරාධයට කරන පලිගැනීමක් වශයෙනි.

එහෙත්, තමන් හට කරන ලද බලවත් අපරාධයක් නිසා ඊට පලිගැනීමක් ලෙස ඊට සරිලන හා සමාන මට්ටමේ විපතක් හා වේදනාවක් අපරාධකරුට අත්කර දීමට පුද්ගලික මට්ටමින් දක්වන පළිගැනීමේ ප්‍රතික්‍රියාවත්, රජයක් විසින් එවන් අපරාධකරුවෙකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමත් අතර වෙනසක් ඇත. පුද්ගල අවකාශයකදී යම් දේවල් වලට ප්‍රතික්‍රියා හා ප්‍රතිචාර දක්වන අයුරින්, සමස්ත සමාජයම අභි-නියෝජනය වන රාජ්‍යය නම් යාන්ත්‍රණයට ප්‍රතිචාර දැක්විය නොහැකිය.  

පොදු සමාජයට මෙය තේරුම් යන්නේ, බොහෝ මානව හිමිකම් ක්‍රියාධරයින් මේ මරණ දඬුවම ප්‍රතික්ෂේප කරන්නේ එය කෲර දඬුවමක් හෙයින් රජයට (රාජ්‍යය යන පොදු ආයතනයට) තවත් කෙනෙකුගේ (ඔහු/ඇය අපරාධකරුවකු වුවත්) ජීවිතය අවසන් කිරීමට අයිතියක් නැත යන පදනමින් යනුවෙනි. මරණ දඬුවමට පක්ෂ ඔවුන් මෙය තේරුම් ගන්නේ ‘අපරාධකරුගේ මානව හිමිකම්’ වෙනුවෙන් ඔවුන් (මානවහිමිකම් සංවිධාන) පෙනී සිටිනවා වැනි අරුතකිනි. එනයින් මරණ දඬුවමට පක්ෂ පිරිස් කල්පනා කරන්නේ මානවහිමිකම් යනු අපරාධකරුන් මරණ දඬුවමින් ගලවා ගැනීමට ගෙනෙන මෝඩ බටහිර සංකල්පයක්ය කියාය. 

සම්භාව්‍ය අරුතින් ගත්කල රාජ්‍යය යන, සමස්ත ජාතියක ශිෂ්ඨත්වයේ පොදු සදාචාර පද්ධතිය, මරණ දඬුවම වැනි සාමූහික පලිගැනීමක් නීතිමය වශයෙන් ස්ථාපනය කිරීම දියුණු ලෝකයට ගැලපෙන්නේ නැත. නීතිය යනු සමජය විනයගත කිරීමේ හා ශිෂ්ඨත්වය කරා රැගෙන යාමේ මෙවලමක් මිස හුදෙක් අපරාධකරුවන් සිරගත කිරීමේ හෝ ඔවුන්  සමාජයෙන් මුලිනුපුටා දැමීමේ ප්‍රතිපත්තියක් නොවේ. එවැන්නක් එසේ නොගැලපෙන්නේ හුදෙක් අපරාධකරුගේ ජීවිතයේ අයිතිය ආරක්ෂා කිරීමේ පදනමින් නොව, එවන් සාමූහික පලිගැනීමක් විශාල මානවීය පරාසයක් තුල වගකීම් දරන, මානවීය පර්යාය වඩා ඉහල තලයකට ඔසවා තැබීමේ වගකීම දරන රාජ්‍යය නම් සංස්ථාවේ සුජාත භාවයට (මරාදැමීම) නොගැලපෙන නිසාය.

රටක නීතියක් ස්ථාපිත වනවා යනු රටේ මහජනතාවගේ අනුමැතිය ඒ තුල නියෝජනය වීමකි. මේ මරණ දඬුවම ක්‍රියාත්මක වුවහොත් ඒ පිළිබඳව අනුමැතියක් නැති අප වැනි සුළුතරයක් පිරිසක්ද ඒ තුල නියෝජනය වෙයි. ඒ අනුව, ඉහතකී පරිදි ප්‍රති-පළිගැනීමකින් මරණයට ලක්වන පුද්ගලයෙකුගේ ඉරණම පිළිබඳව මාගේ නියෝජනයක් නොමැති වුවත් රටේ නීතිය තුලින් මරණ දඬුවමට ලක්වන අයෙකුගේ ඉරණම කෙරෙහි අපගේ අනුකූලතාවයක් නියෝජනය වෙයි. අප ඉන් නිදහස් වන්නේ කෙසේද ? සවිඥානික සුළුතරයට පැනනගින ගැටලුව එයයි.

අපරාධ කරුවෙකුට නිවැරදි වීමට අවස්ථාවක් ඉතිරි කිරීම හෝ පශ්චාත්තාපවී නිවැරදි වන්නට අවකාශය සලසා දීම අපරාධයේ වින්දිතයින්ගේ වේදනාව නොතකා හැරීමක් නොවේ. එසේම දඬුවම මරණ දඬුවම නොවුනද බරපතල දඬුවමට හා පුනරුත්තාපනයට අපරාධකරු සෑම විටම යටත්ය. සමහරවිටකදී තම ජෛව රසායනික හෝ ජානමය හේතු මත කලහකාරී හෝ අපරාධකාරී මානසික තත්ත්වයන්ට ගොදුරුවී අපරාධකරුවන්වූ පුද්ගලයින්ද මේ අතර සිටිනවා විය හැකිය. ඔවුනට ඇත්තෙන්ම භෞතික හා මානසික ප්‍රතිකාර තුලින් පුනරුත්ථාපනයක් ලබා දීමද අවශ්‍යවෙයි. 

මිනීමැරුම් අපරාධයකට සම්බන්ධවූ පොලිස් නිලධාරියෙකු සිර දඬුවම් ලබමින් සිටියදීම බාහිර උපාධිය සම්පූර්ණ කරන ලද බැව් මීට කලකට පෙර වාර්ථා වූනි. එමෙන්ම උපාධි ප්‍රදානොත්සවයේදී ඔහුට ඉතා ඉහල ප්‍රතිචාරයක් ලැබුණු බවද එලෙසම සඳහන් වුනි. එහෙත් ඔහුට මරණ දඬුවම නිසැකවම ලබා දියයුතු බව අද කිසිවෙකු කියා නොසිටිනු ඇත.   

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.