17 October, 2019

Blog

භයානක ප්‍ර​තිපත්ති

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නැවත වරක් සැරසෙන බව වාර්තා වේ. මෙය, ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලනික සහ අධිකරණමය අංශ කෙරෙහි බරපතල ප්‍රශ්න මතු කළ හැකි ප්‍රතිපත්තියක් ක්‍රියාවේ යෙදැවීම පිළිබඳ ගැටළු නැවත ඇති කරවන කාරණයකි.

Sirisena

මරණ දඬුවමට එරෙහිව ගෙනෙන ඉතා බරපතල එක් ප‍්‍රධාන චෝදනාවක් තිබේ. එනම්, මරණ දඬුවමට නියම වීමේදී වැරදි සිදුවීමට ඇති ඉහළ ඉඩකඩයි. ඒ ආකාරයෙන් අපරාධයට සම්බන්ධයක් නැති අහිංසක මිනිසුන් මරණ දඬුවමට නියම කෙරුණු සිදුවීම් අතීතයේ නොයෙක් අවස්ථාවල ඇති වී තිබෙනවා මෙන්ම අනාගතයේදීත් ඇති වෙනවාට කිසි සැකයක් නැත. අධිකරණ පද්ධතියක් මොන තරම් උසස් සහ දියුණු තත්වයේ පැවතියත්, යුක්තිය ඉටු කරවන මිනිසා අතින් පවා සිදු විය හැකි වැරදිවලට එය යටවීමේ ශක්‍යතාව කවදත් තිබේ. හිර දඬුවමක් මෙන් නොව, මරණ දඬුවම යළි හැරවිය නොහැක. එය යළි පිළිසකර කළ නොහැක.

ඊළඟට, මේ මරණ දඬුවම බොහෝ විට ක‍්‍රියාවේ යෙදැවෙන්නේ දුප්පතුන්ට, සුළුතරයන්ට, ජාතික, වාර්ගික, දේශපාලනික සහ ආගමික කණ්ඩායම්වලට අයත් සාමාජිකයන්ට වැඩියෙන් බලපවත්වන අන්දමේ අසමානුපාතික ආකාරයකින් බව ලෝකය පුරා පෙනෙන්ට ඇති කාරණයකි. දැනටමත් නඩු ගොඩගැසී ඇති සහ නීතිමය පද්ධතියේ සම්පත්වල විරල භාවයට තදින් මුහුණදී සිටින ශ‍්‍රී ලංකාව වැනි රටක, අපරාධයක් නොකළ අහිංසක පුද්ගලයෙකු මරණ දඬුවමට පත්කිරීමේ ශක්‍යතාව බැහැර කිරීම කොහෙත්ම පහසු නැත. එවැනි තත්වයක් ඇති රටක, යුක්තියේ මාවත වැටී ඇත්තේ ඉතා දීර්ඝ වූත්, කාලය කා දමන්නා වූත් අභ්‍යාසයක් ඔස්සේ වන අතර, එය ඉතා වියදම්කාරී දෙයක් ද වන හෙයින් කිසි ලෙසකින්වත් එය යුක්ති ධර්මය පසිඳලීමේ අනිවාර්ය කඩිනම් මාවතක් වන්නේ යැයි ද කිව නොහැකිය.

මරණ දඬුවමට එරෙහිව නැගෙන මූලික අවධාරණාත්මක කාරණාව වන්නේ, එය මනුෂ්‍යයෙකුගේ ජීවිතයට ඇති අයිතිය උල්ලංඝණය කරන්නේය යන්නයි. මානව හිමිකම් සම්බන්ධයෙන් ගත් විට අතිශය වැදගත් වන අයිතියත් එයයි. එසේම, වධ බන්ධනයට සහ වෙනත් කෲර සහ අමානුෂික සැලකීම්වලට සහ දඬුවම්වලට යටත් නොවී සිටීමට කෙනෙකුට ඇති අයිතියත් එයින් පැහැර ගැනේ. සෑම මිනිසෙකුටම නිසගයෙන් අයත් වන මිනිස් ගරුත්වයත් එයින් උදුරා ගැනේ.

අනිත් අතට, මරණ දඬුවම වෙනුවෙන් පෙනී සිටින්නන් බොහෝ විට පොදුවේ මතු කරන එක් තර්කයක් වන්නේ ඒ මගින් රටක අපරාධ මර්දනය වන්නේය යන්නයි. එහෙත් එවැන්නක් ලෝකයේ මෙතෙක් ලබා ඇති අත්දැකීම් ආශ‍්‍රයෙන් පෙන්නුම් කිරීමට පුළුවන් කමක් නැත. එක්සත් ජාතීන්ගේ මහා සභා රැුස්වීමේදී මේ මෑතකදී ප‍්‍රකාශයට පත්වූ පරිදි, ‘‘මරණ දඬුවම තුළ අපරාධ මර්දනය කිරීමේ ශක්තියක් ඇති බවට නිගමනාත්මක සාක්ෂි ඇත්තේ නැත.’’ (එක්සත් ජාතීන්ගේ මහා සභා රැුස්වීමේ යෝජනා සම්මතය-65/206). එසේම මරණ දඬුවම තවමත් පවත්වාගෙන යන රාජ්‍යයන්හි සිටින නීති බලාත්මක කිරීමේ අංශවල බොහෝ වෘත්තීයවේදීහූ, මරණ දඬුවම තුළ ඇතැයි කියන මේ අපරාධ මර්දන ශක්තිය සත්‍යයක් නොවන බව කියා සිටිති. එසේ කියන පිරිස් ලෝකය පුරාම එන්න එන්නම වැඩි වෙමින් තිබේ.

ඒ කෙසේ වෙතත්, මරණ දඬුවම කෙරෙහි මහජන ප‍්‍රසාදයක් ඇති බව ඇත්ත. එහෙත් මිනිසෙකුගේ ජීවිතයේ අයිතිය පැහැර ගැනීමට රාජ්‍යයකට අවසරයක් තිබීම නිවැරදි බවක් එයින් අනිවාර්යයෙන් ඔප්පු නොවේ. ඉතිහාසයේ නොයෙක් අවස්ථාවල ඉතා බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් වෙනුවෙන් ඔය කියන පොදු ජනතාව සහයෝගය දක්වා ඇත. එහෙත් පසු කාලයක එවැනි උල්ලංඝණයන්, ඇත්තෙන්ම නොකළ යුතුව තිබුණු දේවල් වශයෙන් සමාජ ගර්හාවට ලක්ව තිබේ. ඒ නිසා, මරණ දඬුවම යනු, මානව හිමිකම් සහ මානව ගරුත්වය සමග නොපෑහෙන සංසිද්ධියක් බව සමාජයට වටහා දීම, රටක් කරවන ප‍්‍රධානීන්ගේ සහ දේශපාලඥයන්ගේ වගකීමකි.

2012 දෙසැම්බර් මාසය වන විට මරණ දඬුවම සහමුලින් අවලංගු කර දැමීමේ ඉලක්කය පෙරදැරිව, ඒ දක්වා ලෝකය පුරා මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමෙන් වැළැකී සිටිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇති කර ගත් යෝජනාවට පක්ෂව ඡුන්දය පාවිච්චි කිරීමෙන් ශ‍්‍රී ලංකාව වැළැකී සිටියේය. මේ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සම්මත කර ගැනුණේ, ඊට පක්ෂව රටවල් 110 ක් ද, ඇමරිකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 39 ක් ඊට විපක්ෂව ද ඡුන්දය පාවිච්චි කිරීමෙන් අනතුරුවයි. තව රටවල් 36 ක් ඡුන්දය දීමෙන් වැළැකී සිටියේය. ශ‍්‍රී ලංකාව ඉන් එක් රටකි. ඒ අනුව, ලංකාවේ නීතිපොතේ මරණ දඬුවම තිබුණත්, 30 වසරකට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ එය ක‍්‍රියාත්මක කොට නැත. මේ පිළිබඳ ආණ්ඩුවේ වර්තමාන ස්ථාවරය පැහැදිලි නැතත්, මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සඳහා මහජන සහයෝගයක් ඇති බව පෙනේ.

ඇත්ත වශයෙන්ම, ලංකාවේ යුක්තිය පසිඳලීමේ පසුගාමීත්වය ජනතාව ප‍්‍රකෝප කරවන විහිළුවක් බවට පත්ව ඇත්තේ, රටේ එල්ලූම් ගසක් ක‍්‍රියාත්මක නොවන නිසා නොව, අපරාධ සම්බන්ධයෙන් වන දේශපාලනික අනුග‍්‍රහශීලීත්වය, යල්පැනගිය නීතිරීති, දශක ගණන් තිස්සේ නඩු කඳු ගොඩගැසී තිබීම ආදී කරුණු නිසා දක්නට ලැබෙන සමාජ අසාධාරණත්වයක් නිසා ය. අපරාධකරුවන් නිර්මාණය කිරීමේ මෙන්ම ඔවුන් පුනරුත්ථාපනය කොට යළි සමාජගත කර ගැනීමේ පංගුකාරීත්වයක් තමන්ටත් ඇති බව සමාජය තේරුම්ගත යුතුය. තද නීතිරීති හඳුන්වා දිය යුතු බවට කිසි සැකයක් නැත. එහෙත් එවැනි දැඩි නීතිරීති පැමිණිය යුත්තේ සමස්ත අධිකරණ පද්ධතියේම ප‍්‍රතිශෝධනයක් ද සහිතව ය. එසේ නොමැතිව, මරණ දඬුවම විසින්ම රටේ අපරාධ අවම කරනු ඇතැයි සිතීම මනෝඥ නැත. ඇත්ත වශයෙන්ම මේ මොහොතේ එය කරළියට එන්නේ අපරාධ මැඩලීමේ අවංක අධ්‍යාශයකට වඩා දේශපාලනික සෙල්ලමක් වශයෙන් බවත් වටහා ගැනීම වටී.

*2019 ජුනි 25 වැනි දා ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ “Dangerous Policies” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.