24 September, 2020

Blog

වත්හිමිගේ රන් යහන සොයා ගොස් කොන්ද කඩා නොගෙන බේරුණෙමි

තිලක් සේනාසිංහ  –

තිලක් සේනාසිංහ

කුරුණෑගල ගලේ බණ්ඩාර නමින් දේවත්වයට පත් දෙවන බුවනෙකබාහු රජුගේ පුත් තුන්වන බුවනෙකබාහු හෙවත් වත්හිමි බණ්ඩාර කුමරා විසින් භාවිතා කරන ලද බවක් පැවසෙන රන්මුවා යහනක් වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කය මායිමේ පිහිටි මා ඔය අයිනේ ගල්තලාවක් තුළ නිදන් කොට ඇතැයි මා හට දැනගන්නට ලැබී දැනට වසර දහයකටත් වැඩිය. අප රටේ රජ කළ රජවරුන් අතුරින් රන් යහනක් මත සැතපීමට තරම් අති උන්නතිකාමී මානසිකත්වයකින් යුතු රජෙකු සිටි බවක් පිළිගැනීමට මට නොපුළුවන. ඒ අනුව මූලික වශයෙන් බැලුව ද මෙම රන් යහනේ කතාව හුදු ගැමි ප්‍රවාදයකි. එහෙත් වත්හිමි බණ්ඩාර නමින් හැඳින්වුණු මෙම කුමරුවාගේ වත්හිමි නාමය හින්දු සහ බෞද්ධ දේව කතාවල ධනයට අධිපති “වස්තු ස්වාමි” හෙවත් කුවේර යන්න සිංහලයට වර නැගීමකි. කුරුණෑගල මුල්වරට රාජධානිය කරගත් දෙවන බුවනෙකබා රජුට දාව ‘මැද්දේ කැටියේ කුමාරි’ නමින් ප්‍රකට වූ මුස්ලිම් බිසවකගේ කුසින් උපන් මෙම කුමරු ධනසම්පත් කෙරෙහි අසීමිත ආශාවක් දැක්වූ අයකු බව පැවසෙයි. එමෙන්ම රාජසභාවේ සහ රජතුමාගේ සෙසු බිසෝවරුන්ගේ බලවත් විරෝධය මැද රජකමට පත් වූ නමුදු මෙම වත්හිමි බණ්ඩාර කුමරුට තම රාජ්‍ය පාලන කටයුතු කරගෙන යාමට ඉඩක් නොලැබේ. ඒ කුරුණෑගල ඇතුගල මුදුනේ යාගයක් සිදුකරන මුවාවෙන් අභිනව රජතුමා යාග මණ්ඩපයට කැඳවන ලද ඇමැතිවරු ඒ යාග මණ්ඩපයද සමඟ ඔහු ඇතුගලින් ඇද වැටෙන ලෙස නූල් සූත්තරයක් ඇටවූ බැවිනි. වත්හිමි බණ්ඩාර ඇතුගල පහළට වැටී හිස සිරුරෙන් වෙන්ව මියගොස් ගලේ බණ්ඩාර නමින් දේවත්වයට පත් වී ඇත. ඒ අනුව ඔහු නමින් දේවාල දෙකක්ම කුරුණෑගල ඇතුගලට පාමුල පිහිටා තිබේ. ඉන් එක් දෙවොලක් සිංහල කපුවකුගේ භාරකාරත්වය යටතේ ද අනෙක් දෙවොල ඔහුගේ මව් පාර්ශ්වය නියෝජනය කෙරෙන ඉස්ලාම් පූජකයන්ගේ භාරකාරත්වය යටතේ ද පාලනය වේ. ධනයට අධිපති කුවේර ගේ නමින් වත්හිමි වශයෙන් හඳුන්වනු ලැබූව ද වසර තිස්හතරකට සීමා වූ කුරුණෑගල රාජධානී සමය (ක්‍රි.ව. 1310 – 1344) එතරම් සමෘද්ධිමත් යුගයක් ද නොවේ. එවක සමාජ ආර්ථිකය කෙසේ වෙතත් අප රටේ රජ කළ කිසිදු නරපතියකු රන්මුවා යහනක සයනය කළ පුවත හුදු විකට කතාවක සීමාවෙන් ඉවතට නොයන්නක් බැවින් එහි සත්‍යතාව පිළිබඳව අමුතුවෙන් විමසිය යුතු නොවේ. එමෙන්ම එම යහන රන් තබා යකඩ වුව එය පර්වත කුහරයක් තුළ සඟවා තැබීමට හේතුව ද අප වෙනම අධ්‍යයනය කළ යුතුය. 

ඉතිහාසය හා පුරාවිද්‍යාව මගින් අගැයුමට ලක් නොකරන මෙවන් ‘කයි කතන්දර’ වල ඉතා වැදගත් මානව විද්‍යාත්මක හරයක්, යටි අරුතක් තිබිය හැක. එම සිද්ධියට අදාල වකවානුවේ සිට අද දක්වා මානව සිතුම් පැතුම් සහ චර්යාවන් පිළිබඳව අධ්‍යයනය හා විමර්ශන කටයුතු කිරීමට අපට ඉන් මහා අවකාශයක් ලැබේ.

කෙසේ නමුදු අඹේපුස්ස, යත්තල්ගොඩ දුම්රිය පාලම අද්දර මා ඔයේ රත්‍රන් හමුවන බවට යටත් විජිත යුගයේ මූලාශ්‍ර කිහිපයකින් හමු වූ තොරතුරු මත ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරනු පිණිස මම පසුගිය වසරේ එම ප්‍රදේශයේ සංචාරය කළෙමි. එහිදී එම ප්‍රදේශය ආශ්‍රිතව ‘රත්තරන් හේන’ නම් ග්‍රාම නාමයක් සේම මා ඔයේ එක්තරා තැනක ඇති ‘යහන්ගල’ නම් ගල් තලාවක් ගැන ද මට දැන ගන්නට ලැබිණ. එම යහන්ගල සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ගෙන් කරුණු විමසූ මට දැන ගැනීමට ලැබුණේ අප රටේ පැරැණි රජ කෙනෙකු භාවිතා කළ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් වටිනා රන් මුවා යහනක් ඒ ගල තුළ නිදන් කොට ඇති බවකි. වත්හිමි බණ්ඩාර හෙවත් තුන්වන බුවනෙකබාහු රජු සම්බන්ධ මා කලින් අසා තිබූ පුරාවෘත්තය එසැනින් මගේ සිහියට නැගුණි. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිම විමසුමක් නොකළ මම එවර ගිය කාරිය පමණක් සිදු කොට යළි පැමිණියෙමි. 

එහෙත් තුන්වන බුවනෙකබාහු හෙවත් වත්හිමි බණ්ඩාර පරිහරණය කළ රන්මුවා යහන නිදන් කොට ඇතැයි පැවසෙන ස්ථානය පිළිබඳව දැන ගන්නට ලැබීමෙන් මගේ සිත තුළ ඇති වූයේ යම් අපරාධයක සලකුණක් ඉව වැටුණු පොලිස් සුනඛයකුට දැනෙන සතුටට සමාන ආශ්වාදයකි. එබැවින් මා ඊට පසු ඉරිදාවක පෙරවරුවේ දුම්රියෙන් යත්තල්ගොඩ බලා පිටත් වන ලද්දේ ඒ රන් යහන පිළිබඳ කතාවේ සුල මුල නිවැරදිව දැන ගනු පිණිසය.

දුම්රියෙන් බැසගත් මා දුම්රිය පළෙන් නික්ම පාරට අවතීර්ණ වත්ම එහි යමින් තිබූ ත්‍රිරෝද රථයක් දුටු මම ඊට අත පෑවෙමි. එහෙත් එය පදවමින් සිටියේ පාසල් සිසුවකු යයි සිතිය හැකි යන්තම් දැලි රැවුල මතු වූ කොළු ගැටයෙකි. රථය නතර කළ ඔහුට මට යාමට අවශ්‍ය ස්ථානය වන යහන්ගල පිළිබඳව කීවෙමි. එහෙත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ ඔහු මා ත්‍රිරෝද රියට නංවාගෙන මා ඔය අද්දර එක්තරා ස්ථානයක් සමීපයට ගෙන ගොස් නතර විණි.

“ඕක තමයි යහන්ගල” ඔහු කීයේ මා ඔය ඉවුර ආසන්නයේ පිහිටි තැනිතලා ගල් පර්වතයක් දක්වමිනි.

“මේ හරියේ මේ ගැන වැඩිදුර තොරතුරු දන්න වැඩිහිටියෝ එහෙම ඉන්නවද?” මා ඔහු ගෙන් අසත්ම ඔහුගේ පිළිතුර වූයේ “දන්නේ නැහැ” යන්නය. එමෙන්ම දුම්රිය පල අද්දර සිට එම ස්ථානයට ඇති දුර සලකා ම‘විසින් දිග- කරන ලද රුපියල් සියයේ නෝට්ටුව සියතට ගත් ඔහු කිසිත් නොකියා සුරුස් ගා ඉගිල ගියේය.

ඉන්පසුව මා ඔය ඉවුරේ ඇති උස් මානා පඳුරු ඈත් මෑත් කළ මා එම ගල්තලාවට නැග එහි මතුපිට පිරික්සන්නට වූයේ ඒ මතුපිට බොහෝ දෙනකු නිදන් ලකුණු වශයෙන් වරදවා වටහා ගෙන හිඳින කඩඉම් ලකුණක් හෝ තිබේද යන්න පිරික්සා බැලීමට ය. එමෙන්ම ඒ මොහොතේ අද්දර මාර්ගයේ මෝටර් සයිකල් කිහිපයක් ඒ මේ අත ගමන් කළ අතර ඒවායේ ගමන් ගත් සෑම දෙනාම හැරි හැරී මා දෙස බලමින් යන අයුරු ද මට මනාව පෙනිණ. 

මගේ අනුමානයට අනුව විනාඩි පහලොවක, විස්සක පමණ කාලයක් මා එලෙස නිදහසේ කල් ගත කරන්නට ඇත. සාමාන්‍ය පමණට වඩා එන්ජින් හඬ නංවමින් පැමිණි ත්‍රිරෝද රථ දෙකක් මා ඉදිරියේ වූ මාර්ගයේ නතර විය. ඉන් එක් ත්‍රිරෝද රථයක රියැදුරු ද සමඟ දෙදෙනකු ද අනෙක් රථයේ රියැදුරුත් සමඟින් තිදෙදෙනෙක් ද වූහ. ඒ අනුව හත් දෙනෙකුගෙන් යුතු ඒ පිරිස මුළුමනින්ම අවුරුදු විස්ස තිහ වයස් කාණ්ඩ වල තරුණයන් බව මට අවබෝධ විය.

“මහත්තයා, කවුද? මොකද මෙතන කරන්නේ?” ඉන් එක් තරුණයකු අසත්ම “අන්කල් කොහේ ඉඳලද ආවේ?” ආදි වශයෙන් සෙසු තරුණයෝද එක පිට එක ප්‍රශ්න වලින් මට දමා ගසන්නට වූහ. 

“බොහෝම ලස්සන ජනප්‍රවාදයක් තියෙනවා කුරුණෑගල රජ කරපු වත්හිමි බුවනෙකබාහු කියන රජ්ජුරුවන්ගේ රන් යහන නිදන් කරපු ගලක් ගැන, ජන ප්‍රවාදවල හැටියට ඒ ගල මේකද කියලා මේ ගමේ වැඩිහිටියන්ගෙන් අහලා දැන ගන්නයි මම ආවේ” ඔවුන්ගේ එම ප්‍රශ්න අහුර අතුරින් මම හනික කියා දැම්මෙමි.

“එතකොට මහත්තයා කියන්නේ ඔය නිදානේ කතාව බොරුවක් කියලද?” එක් තරුණයෙක් ඇසීය.

“රත්තරන් ඇඳක් ගල් පර්වතයක් අස්සේ හංගලා තියනවා කියන කතාව කොහොමද ඇත්තක් වෙන්නේ?” මම සිනා සෙමින් ඇසීමි.

“බොරුවක් නම් මොන මඟුලකටද මේක අස්සෙ රිංගන්න ආවේ” මගේ එම පිළිතුරින් කුපිත වූ එක් තරුණයකු අසන ලද්දේ තර්ජනයක් ලෙසිනි.

“මචං වැඬේ හරියන්නේ නැහැ” පසුව ඔවුන් එකි’නෙකා යම් යම් දේ මුමුණා ගන්නට වූ අතර ඔවුන් කී පරිදිම ‘වැඬේ හරියන්නේ නැති බව’ ඒ වන විට මට ද මදින් මඳ වැටහෙමින් තිබිණ.

“මම පුතාලට මගේ හැඳුනුම්පත දෙන්නම්, ඒත් මං ගැන තව දුරටත් සැක නම් මාව පන්සලේ ලොකු හාමුදුරුවෝ ළඟට හරි ග්‍රාම නිලධාරී මහත්තයා ළඟට හරි එක්ක යන්න. ඊට පස්සේ ඒ අය මාව පොලීසියට හරි අරගෙන යයිනේ” නව පරපුරේ මෙම තරුණයන් සමඟ ‘ජනප්‍රවාද’ සහ ‘මානව විද්‍යාත්මක’ වැනි බර බර වචන වලින් කතා කිරීමට යාමෙන් වැඬේ තවදුරටත් ‘අල වන’ බව වටහා ගත් මම කීවෙමි. ඒ සමඟම මෙම සිද්ධිය ‘යූ ටියුබ්’ ‘ෆේස් බුක්’ අන්තර්ජාල වෙබ් අඩවි වලට එක් කිරීම ගැන කසු කුසුවක් ද ඔවුන් අතර ඇති විණි. ඒ කෙසේ හෝ ඔවුන් විසින් කැඳවනු ලදුව පාරට පැමිණි මා වටා රැස්ව සිටි එම තරුණ පිරිසේ හිතුවක්කාරයෙකු ගේ අතක් – පයක් මා වෙත එසවීමට ඇති ඉඩකඩ ද ප්‍රතික්ෂේප කළ නොහැකි බැවින් අවසානයේ මා පොලීසියට කැඳවාගෙන යන ලෙස ඔවුන් හට ඇවිටිලි කරන්නට පවා මට සිදුවිය. ඒ එවක යත්තල්ගොඩ ග්‍රාම නිලධාරී තැන ඒ වන විට මාරු වී ඇති බවක් සහ එවක රත්තරන් හේන විහාරස්ථානයේ භික්ෂුන් නොමැති බවක් ඔවුන් වෙතින් අනියමින් දැන ගත හැකි වූ බැවිනි. 

ඒ අතරේ කුඩා යතුරු පැදියකින් අද්දර පාරේ ගමන් කරමින් සිටි තලතුනා යුවලක් මෙම සිද්ධිය දැක අප සමීපයේ යතුරු පැදිය නතර කළහ. එවිට මම ඒ වන විටත් අතට ගෙන තිබූ මගේ ජාතික හැඳුනුම්පත ඔවුන් වෙත දිගු කොට දඩි බිඩි ගා මේ අවනඩුව ඔවුන් වෙත කියා පෑවෙමි. එමෙන්ම මගේ වාසනාවකට මෙන් එහි ගමන් කළ පිරිමියාට හෝ කාන්තාවට මගේ නම ද යන්තමින් මෙන් මතක තිබිණ.

“මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මහත්තයට ඉන්න දෙන්න” මගේ අවනඩුව ඇසූ ඔහු ඉතා සන්සුන් ලෙස එම තරුණ පිරිසට කී අතර ඔවුහු ඉන් මනාව දමනය වූහ. “ඔය ගල ඇතුලේ තනි රත්තරනින් කරපු ඇඳක් නිදන් කරල තියනවා කියල විශ්වාසයක් පාරම්පරිකව මේ ගමේ තියනවා. එක අතකට ඒක මේ ගම්වල නැති බැරි මිනිස්සුන්ගේ හිතට ලොකු ධෛර්යයක්. ඉතින් ඕක බොරුවක් කියන මිනිස්සුත් එක්ක මෙහේ හුඟක් දෙනෙක් ලොකු තරහකින් ඉන්නේ. ඒ වගේම ඔය තමන්ගේ ගමේ තියන ඔය රත්තරන් නිධානය කවුරු හරි පිටින් ඇවිත් පැහැර ගෙන යාවිය කියලා ලොකු බයකුත් මේ ගමේ මිනිස්සුන්ගේ හිත් වල තියනවා ඒකයි ඔය” එම තරුණ පිරිස ඈත් මෑත් වනු බලා එම මෝටර් සයිකලයෙන් පැමිණි තලතුනා පිරිමියා සිනාසී කීය.

වත්හිමි බණ්ඩාරයන්ගේ රන් යහන සොයා ගොස් දින කිහිපයක් කොන්ද කඩාගෙන දින කිහිපයක් රෝහල් යහනක ගෙවා නොදමා නිරුපද්‍රිතව යළි නිවසට සම්ප්‍රාප්ත වීමට මා හට ඉඩ ලැබුණේ එම තලතුණා යුවලට පින් සිදු වන්නටය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.