5 December, 2024

Blog

හෙරොයින් සහ මිථ්‍යාව පතුරුවා ශ්‍රී ලාංකීය මනැස් සහ මොළ අක්‍රිය කරවීමේ අමානුෂික මෙහෙයුම් දෙකක්!

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ –

තිලක් සේනාසිංහ –

හුලවාලී ගුරුකම් ශ්‍රී ලාංකික ජන සමාජය තුළ පැතිර පවත්නා සංකල්පයකි. මන්ත්‍ර ගුරුකම්වල සත්‍යතාව පසෙක තිබියදී හුලවාලී ගුරුකම් කියා දෙයක් අතීතයේ අප රටේ තිබිණි දැයි විමසීම පිණිස මම පසුගිය කාලය පුරා මහත් වෙහෙසක් දැරීමි. එහෙත්, එය සමාජයේ සෙසු කුල අතරේ පැතිර ගිය සහ එම ගුරුකම් වලට සම්බන්ධයැයි පැවසෙන රොඩී ගෝත්‍රිකයන් විසින් සමාජගත කරන ලද හුඹස් බියක් මිස එවන් සුවිශේෂ ගුරුකම් සම්ප්‍රදායක කිසිදු ඓතිහාසික හෝ සමාජ විද්‍යාත්මක මූලාශ්‍රයක් සොයා ගැනීමට මට නොහැකි විය. ඒ අනුව හුලවාලී ගුරුකම්, නීචකුල බන්ධන ආදිය පිළිබඳ කිසිදු පිළිගත හැකි මූලාශ්‍රයක් තිබේ නම් සනාථ කරන ලෙස අතිශය වගකීමකින් යුතුව අභියෝග කිරීමට ද මම පසුබට නොවෙමි.

මැණික්හින්නේ කූරගන්දෙණිය යනු ඓතිහාසික රොඩී ගම්මානයකි. කලින් ශ්‍රී ලාංකීය සිංහල ජන සමාජයේ මෙන් එක කපුවකුට යකැදුරකුට සීමා වූ ඒ ගම්මානයේ පවුල් එකසිය විසි ගණනින් අනූ ගණනක්ම අද මන්ත්‍ර ගුරුකම්වල යෙදෙති. කූරගන්දෙණියේ මෙම නව මන්ත්‍ර ගුරුකම් සංස්කෘතිය ඇරඹෙනුයේ එක්දහස් නවසිය අසූ අට අසූ නවය භීෂණ සමයත් සමගිනි. අතීතයේ සිදු කළ සිඟමන් යැදීම අතහැර ඒ වන විට යෙදී සිටි ඉදල් කොසු කර්මාන්තය, රජයේ සහ පෞද්ගලික අංශවල කම්කරු රැකියා සහ සුළු වෙළහෙළදාම් වල යෙදුණු කූරහන්දෙණියේ වැසියන්ගේ වර්තමාන ප්‍රධාන ජීවනෝපාය ව්‍යාජ මන්ත්‍ර ගුරුකම් රැකියාවයි. එම කටයුතු ප්‍රවර්ධනය කරනු පිණිස දිනපතා සතිපතා පුවත්පත්වල සහ සිංහල අන්තර්ජාල වෙබ් අඩවිවල දැන්වීම් පළකිරීම වෙනුවෙන් ඔවුන් මාසිකව වැය කරන මුදල රුපියල් මිලියන පහ ද ඉක්මවන බව මා පවසනුයේ ඒ සම්බන්ධ විධිමත් අධ්‍යයනයකින් පසුව ය. ඒ අනුව ජන මාධ්‍ය භාවිතයේ අද්භූත සංකල්ප ප්‍රවණතාව දැන්වීම් කරණය සහ ප්‍රචාරණය ඔස්සේ මේ වන විට කෙතරම් දුරදිග ගොස් තිබේද යන්න අපට වටහා ගත හැකි ය.

අප ජන සමාජයේ සාක්ෂරතාව ඉහළ මට්ටමක පැවැතීමත් සමග ජන මාධ්‍ය මගින් මෙවන් අද්භූතවාදී සංකල්ප සමාජය පුරා පැතිර යාමේ ඛේදනීය තත්ත්වය අප බොහෝ දෙනකු සිතනවාට වඩා අතිශයින් බිහිසුණු ය. අපි කෙටි නිදසුනක් ගනිමු. යකුන් බැඳ වැඩ ගත් ඇදුරකු පිළිබඳ මිථ්‍යා ප්‍රවාද මාධ්‍ය මගින්  යාවත්කාලීන ලෙස සමාජ ගතවෙයි. එවිට ජනතාව දැනුදු එවැනි ඇදුරන් සිටිත් දැයි විමසුම් කිරීම අතිශය ස්වභාවික ය. ඒ සමගම තමන්ට ද එවන් හැකියාවක් ඇතැයි පවසන කපටි කයිරාටිකයෝ අප රටේ නන් දෙසින් මතුවෙති. එසේ මතුවන කපටින් අතරින් වඩාත් සූක්‍ෂම කපටින්ට පුවත්පත් පිටු විවර කර දීමට, රූපවාහිනී මැදිරිවල දොරටු විවෘත කිරීමට මාධ්‍ය වේදීන්ට සිදුවේ. ඒ මෙම විෂය සම්බන්ධයෙන් පවත්නා ජන උන්මාදය හේතු කර ගනිමිනි. බොහෝ විට එලෙස මෙම අවස්ථා හිමිකර ගන්නේ පැරණි යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර වල මළ පොතේ අකුරක්වත් දන්නා පුද්ගලයන් නොවේ. අතීතයේ පච ගස් යට දෙසුම් පවත්වා බඩවියත රැකගත් ව්‍යාජ සටකපට පුද්ගලයන්ය. ඔවුන් සතුව ඇති එකම සුදුසුකම කට වාචාලකම පමණි. පසුගිය වසරේ එක්තරා දිනයක දී කතරගමට ගියහොත් කතරගම දෙවියන් සියැ’සින් දැකගත හැකි යැයි එක් පුද්ගලයකු රූපවාහිනී මාධ්‍යයකින් කළ තකතිරු ප්‍රකාශයක් මත ඔහු කී දිනයේ ලක්‍ෂ පහළොවකට අධික ජනතාවක් කතරගමට රැස්වී දෙවියන් වඩින තුරු බලා සිටීම මෑත භාගයේ අපට අසන්නට ලැබුණු ලොකුම සමාජ සරදම් අතුරින් එකකි. පැරණි භාරතීය දේවවාදය සහ ජ්‍යොතීර්වේදය මත පදනම් වන ග්‍රහවාදය එකි‛නෙකට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ හා සතුරු සමාජ ප්‍රපංච දෙකකින් බිහි වූ බව ඒ සම්බන්ධ අධ්‍යයනයන් ගෙන් පෙනී යයි. හින්දු ත්‍රිමුර්තියට අයත් ප්‍රබලයකු වන විෂ්ණු දෙවියන් හට නව ග්‍රහයන් අතරේ පාපී ග්‍රහයකු ලෙස සැලකෙන සෙනසුරු විසින් බට කොළ කැවූ පුවත මහනුවර යුගයේදී මෙරට ප්‍රචලිත වූ භාරතීය ග්‍රහවාදීන් විසින් ගොතනු ලැබූ එබඳු පුරාවෘත්තයකි. ඒ අනුව දෙවියන් දර්ශනය වන නැකත් ඇතැයි යන්න කිසිදු ජ්‍යෛාතීර්වේද සිද්ධාන්ත කෘතියක නොමැති අතිශය අශාස්ත්‍රීය ‛අපබ්‍රංස’ කතාවකි. ජ්‍යොතිෂ්‍යයේ එන දෙවියන් සහ ග්‍රහයන් අතර ඇති මෙම සබැඳියාව දේව කන්නලව් සහ බලි ශාන්ති වැනි ශාන්ති කර්ම යන දෙකම සිය’තට ගැනීමට වෙර දැරූ මෑත කාලීන කපටි වංචනිකයන් ගෙතූ පට්ටපල් බොරුවකි. එහෙත්, ඒ සම්බන්ධ කිසිදු ශාස්ත්‍රීය අධ්‍යයනයක් නොකළ පුද්ගලයකුගේ කට වාචාල ප්‍රකාශයක් මාධ්‍ය මගින් විසුරුවා හැරීම මත ජන සමාජයෙන් සැලකිය යුතු කොටසක් පිනෝකියෝ ලා බවට පත්වීම කෙතරම් බරපතල සමාජ ඛේදවාචකයක්ද ?

අද්භූතාවාදී සංකල්ප මුල්කොට මාධ්‍ය මගින් පෙනී සිටින කපටි කයිරාටිකයන් එම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන අතර පවත්නා සබඳියාව ද තවමත් බොහෝ දෙනකු නොදත් රහසකි. කෙසේ හෝ මෙම පුද්ගලයන් මාධ්‍ය තුළට රිංගා ගන්නා ප්‍රධාන ක්‍රම තුනක් මගේ නිරීක්‍ෂණයට ලක්ව තිබේ.

1. මාධ්‍යකරුවන් රවටා ගැනීම

ඕනෑම කෙනකුගේ අනාගතය දිවැසින් දැකීමේ හැකියාවක් ඇතැයි පැවසෙන කාන්තාවක් සිටියි. මා දන්නා එක්තරා පුවත් පතක මාධ්‍යවේදිනීයක හා උපායශීලීව සමීප වූ ඇය තමන් කෙරෙහි එම මාධ්‍යවේදිනිය ගේ විශ්වාසය දිනාගත්තාය. ඉන්පසුව එම කාන්තාවගේ අනාවැකි කීමේ ඉසිවර නුවණ පිළිබඳව එම මාධ්‍ය මගින් නිරතුරුව ප්‍රචාරය කෙරිණ. පසුව සෙසු මාධ්‍ය මගින් ද ඇයට සුවිසල් ප්‍රචාරයක් ලැබෙන්නට විය. එමගින් ලත් ප්‍රසිද්ධිය ඔස්සේ කෙමෙන් ඇයට කෑමට, නින්දට වත් හරිහැටි කාලවේලාවක් නොලැබුණි. ඒ එතරම්ම ජනතාවක් තම අනාගතය දැන ගනු පිණිස ඇය වටා රොක් වූ බැවිනි. මේ කලබෑගැනිය අතරේ ඇගෙන් අනාගතය දැන ගැනීමට පැමිණි එක් යුවතියක හා එම අනාගත වක්තෘවරියගේ සැමියා අතර හාදකමක් ඇතිවිණි. එහෙත් ‛වැඩේ කුරුවල්’ වන තුරුම ඇගේ දිවැසි නුවණට එය පෙනුණේ නැත. පසුව ඔහුගෙන් වෙන්වුණු මෙම කාන්තාව තමන්ගේ ලේකම්වරයාය කියා ගන්නා තමන්ගේ වයසින් අඩක් පමණ වූ තරුණයෙකු සමග එක්ව විසීම ඇරඹීය. මේ අතර තුර ඇගේ දියණිය සඳහා මනාලයකු සෙවූ ඇය ඔහු පිළිබඳව සෑහීමකට පත්ව විවාහය සඳහා දින පවා නියම කර ගෙන මංගල උත්සවයට අදාළ ශිල්පීන්ට අත්තිකාරම් ද ගෙවා නිම කළාය. ඇරැයුම් පත් ද ඥාති මිත්‍රාදීන් වෙත භාරදෙන ලදී. එහෙත් මංගල්‍යයට සතියක කාලයක් තිබිය ද හදිසියේ එය අවලංගු කර දැමීමට ඇයට සිදු විය. ඒ තම අනාගත බෑණා ලෝක කාපාළුවකු බව ඉතා අහඹු ලෙසින් දැන ගන්නට ලැබීම නිසාය. එය දැන ගත හැකි වූයේ පිටතින් ලද ආරංචියකින් මිස ඇගේ ඉසිවර නුවණින් නොවේ.

සුනාමිය ඇතුළු ප්‍රබල ඛේදවාචක පවා තමන්ට කලින් සංවේදනය වූ බව කියා අඥාන ජනතාවගේ සිත් වලට සේම මුදල් පසුබිම්වලට රිංගා ගත හැකිවූ එම දිවැස් බලයක් හිමි කාන්තාවට තම ජීවිතයට සම්බන්ධ අතිශය වැදගත් දේ නිකමටවත් නොපෙනුණු හැටි ෟ එහෙත් කපටි සූක්‍ෂම නුවණින් රඳවාගෙන ඇති තමන් පිළිබඳ පවත්නා ජනතා විශ්වාසය ඇය අද ද එලෙසම රැක ගෙන හිඳියි.

2. මාධ්‍යකරුවන්ට අල්ලස් දීම

මෙය අද වන විට  ජයටම සිදුවන කාරියකි. අද්භූතවාදී සංකල්ප ජනගත කරන මාධ්‍යයයන් තුළට සම්පත් ධාරීන් ලෙස පැමිණෙන බොහෝ දෙනෙක් එම වැඩසටහන ඉදිරිපත් කරන නිෂ්පාදකයන් ඇතුළු කාර්ය මණ්ඩලවලට අල්ලස් ප්‍රදානය කරති. සමහරු තම ආදායමින් මාධ්‍යවේදීන්ට කොමිස් ගෙවීමට ද එකඟව සිටිති. එම අල්ලස්වල ස්වභාවය හා ප්‍රමාණය මත ඒ තැනැත්තා අතිප්‍රාමාණික ලෙස වර්ණනා කරමින් සමාජමය ගොදුරු සොයා ගැනීමට ඔහුට වඩාත් පහසු කරවමින් ඔහුගේ දුරකථන අංක පවා කිහිපවරක් කියා පෑම බොහෝ විද්‍යුත් මාධ්‍යයන් වෙතින් දැකිය හැකි සුලබ ලක්‍ෂණයකි.

3. මාධ්‍ය ආයතනයට මුදල් ගෙවීම

මෙම අද්භූතවාදී සංකල්ප මත පදනම් වන ඇතැම් වැඩසටහන් සඳහා ඉදිරිපත් වන පුද්ගලයන් එම සම්පූර්ණ ගුවන් කාලය සඳහා එම ආයතනයට මුදල් ගෙවීම ද රූපවාහිනී නරඹන්නවුන් ඇතුළු බොහෝ දෙනකු නොදත් අප්‍රසන්න රහසකි. එම වැඩසටහන් වලින් ඔවුන් පෙනී සිටින අතරේ ඔවුන්ගේ දුරකථන අංක වරින් වර තිරයේ දර්ශනය වෙයි. පසුගිය කාලයේ එක් රූපවාහිනී චැනලයකින් ප්‍රචාරය වූ භූතයන් බෝතල් කරන වැඩසටහනක් පිළිබඳව මම එහි මාධ්‍යවේදියකු ගෙන් විමසා සිටියෙමි. එවිට ඔහු කීයේ එය සම්පත් ධාරීන් වශයෙන් පෙනී සිටින්නවුන් විසින් ආයතනයට මුදල් ගෙවන ‛ෆුල් ස්පොන්සර්ඩ් ප්‍රෝගෑම්’ එකක් බවකි.

සාමාන්‍යයෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී මැතිවරණ ආඥා පනත ප්‍රකාරව ‛‛මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි.’’ යන දිවෙන පටිය මැතිවරණ ප්‍රචාරක දැන්වීම් විකාශනය වන අතරේ ප්‍රචාරය කෙරේ. එහෙත් මෙම කපටින් විසින් රූපවාහිනී ආයතනවලින් ගුවන් කාලය මිලට ගෙන කරනු ලබන එම කපටි කයිරාටික කම්වලදී ඔවුන් ඒ සඳහා මුදල් ගෙවූ බව වසන් කිරීම ද එම මාධ්‍ය ආයතන හිමියන් ඔවුන්ට උඩගෙඩි දෙන අතරේ තම ප්‍රේක්‍ෂකයන් හමුවේ කරනු ලබන කපටි කමකි.

ලග්න පලාපල අනුව දවසේ, සතියේ, මාසයේ සහ අවුරුද්දේ වශයෙන් තමන්ගේ අනාගත කල දවස දැන ගැනීම කෙරෙහි අප රටේ බොහෝ දෙනෙක් යුහුසුළු වෙති. අතීතයේ පුවත් පත් වලට පමණක් සීමා වී තිබූ මෙම ගුප්ත සුවිශේෂාංගය දැන් ගුවන්විදුලි සහ රූපවාහිනී යන විද්‍යුත් මාධ්‍යවලටත් බෝවී ඇති බවක් පෙනෙයි. ඒ වත්මන් සමාජයේ ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙන ගුප්ත ලෝලීත්වයේ තරම අපට කියා පාමිනි. දැනට ප්‍රධාන පෙළේ පුවත් පතක නියෝජ්‍ය කර්තෘ පදවියක් හොබවන මගේ මිතුරකු මීට වසර විසිපහකට පමණ ඉහත එක්තරා ජනප්‍රිය කාන්තා පත්‍රයක උප කර්තෘ තනතුරක් දැරීය. එහි සතියේ ලග්න පලාපල තීරුව භාරව කටයුතු කළේ ඔහු ය. මේ අතර එම කාන්තා පුවත් පත කෙරෙහි විශේෂයෙන් ඇළුම් කරන මා දන්නා එක් කාන්තාවක ද සිටියාය. ඇය ගුරුවරියකි. ඇය එම ලග්න පලාපල තීරුව ද විශේෂ උනන්දුවකින් කියවන්නියකි.

‛‛ඔය පත්තරේ තියන ලග්න පලාපල ඔයා සම්බන්ධයෙන් කොච්චර දුරට හරිද?’’ මම නොයෙක් වර ඇගෙන් අසා ඇත්තෙමි.

‛‛සීයට සීයක්ම නොවුණත් සීයට හැත්තෑපහක් අසූවක් විතර නම් හරිම තමයි’’ ඇය ද එවිට කියන්නීය.

එහෙත් අද මෙන් විද්‍යුත් සංනිවේදන ක්‍රම නොතිබුණු කාලයේ එම පුවත්පත සඳහා ලග්න පලාපල එවූ ජ්‍යොතීර්වේදියා සතිපතා එය සැපයුවේ තැපැල් මගිනි. එහෙත් තැපැල් ප්‍රමාද වීම්වලදී නියමිත දිනයට එම ලග්න පලාපල ලිපිය නොලැබුණු විට මගේ හිතවත් මාධ්‍යවේදියා ඒ සඳහා අපූරු පිළියමක් යෙදීය. එනම් මේෂ ලග්නයට අදාළ පලාපලය. කුම්භ ලග්නයටත් කුම්භ ලග්නයට අදාළ පලාපලය මීන ලග්නයට ආදී වශයෙන් හිතුණු හිතුණු ආකාරයට පලාපල එහා මෙහා කොට ඒ සතියේ ලග්න පලාපල සැකසීම ය. එහෙත් එවැනි මාරු කිරීමෙන් පසුව වුව එම ලග්න පලාපල පිළිබඳ පාඨක විශ්වාසය එලෙසම රඳා පැවැතියේ ඇයි ? ජ්‍යොතිෂ්‍යය සහ ඒ මත පදනම් වන ලග්න පලාපල වල කිසිදු සාධාරණ තාර්කික ඥානවිමන්සාවාදී පදනමක් නොමැති බැවිනි.

මීට දශක කිහිපයකට පෙර මාධ්‍ය මගින් ජනතාව අතරේ ප්‍රසිද්ධ වී සිටි ප්‍රවීණ ජ්‍යොතීර්වේදීහු සියලු දෙනාම පාහේ අද මුළු ගැන්වී හිඳිති. ඒ වෙනුවට අද ඉදිරියට පැමිණ ඇත්තේ ජ්‍යොතිෂ්‍යය මත පදනම්ව කාලානුරූපව ජනතාව ඇමතිය හැකි කලියුග ජ්‍යොතීර්වේදීන් පිරිසකි. කලින් සිටි ජ්‍යොතීර්වේදීන් සතුව තිබූ විෂය දැනුම තබා වාග් සංවරය සහ සංයමයවත් මොවුන් තුළ නැත.

‛‛දුවේ කිසිදේකට බයවෙන්න එපා, දුවට විදේශගත වීමේ භාග්‍යය තියනවා. තියනවා මයි: ඒ වගේම දුවට හිතනවාට වඩා හොඳ රටක: හිතනවාටත් වඩා හොඳ රස්සාවකුත් ලැබෙනවා.’’ ආධ්‍යාත්මවේදියකු වශයෙන් තමන් හඳුන්වා ගන්නා එක්තරා සටකපට පුද්ගලයකු දිනක් රූපවාහිනී වැඩ සටහනකින් පවසනු මම අසා සිටියෙමි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ අධික රුධිර පීඩනය, පිළිබඳව කිසිදු සඳහනක් නොමැත්තාක් මෙන් ජ්‍යොතිර්වේදය තුළ විදේශ රැකියා පිළිබඳව පැවසෙන කිසිදු සිද්ධාන්තයක් නැත. ඒ සම්බන්ධයෙන් ඇත්තේ රටින් පිටුවහල් කිරීම නම් අතීතයේ මරණ දඬුවමට පමණක් දෙවැනි වන බරපතල දඬුවම හිමිවීම පිළිබඳ ග්‍රහමය තත්වයන් පමණි. නමුත් වර්තමානයට අනුව විදේශ රැකියා හිමිකම භාග්‍යයක් බව නම් ජ්‍යොතිෂ්‍යය නොදැන සිටි මෙම සටකපට ආධ්‍යාත්මවේදියා හොඳින්ම දැන සිටි බව පැහැදිලි ය.

“පරිගණක ක්‍ෂේත්‍රයේ ඉහළ තනතුරක් ඔබට හිමියි: විදේශ රටක උපාධියක් ගැනීමටත් ඔබට වාසනාව අත්වනු නොඅනුමානයි.’ නූතන ජනමාධ්‍ය මගින් මෙසේ පවසන සටකපට ඉසිවරු කොතෙකුත් අප හමුවට එති. ජ්‍යොතීර්වේදයට අනුව පරිගණක සහ විදේශීය උපාධි පිළිබඳව පැවසෙන සිද්ධාන්ත මොනවාදැයි ඔවුන් දැන සිටින්නට පුළුවන. එහෙත් අතීතයේ ජ්‍යොතීර්වේදය ලොවට බිහිකළ කිසිදු සෘෂිවරයකු තුළ එවැනි දෙයක් පැවැසිය හැකි සිද්ධාන්තමය දැනීමක් නොතිබූ බව ඔබ හමුවේ සහතිකව ප්‍රකාශ කිරීමට මට පුළුවන. වර්තමානය යනු නොවිධිමත් බවට සහ හරසුන් බවට ඉහළ සමාජමය සහ අලෙවිමය අගයක් ලැබී ඇති යුගයකි. ඒ අනුව ජනතාව ගේ නැණ නුවණ පුබුදුවන විෂය ක්‍ෂේත්‍රයන් ජන විඥානයෙන් වසන් කොට ඒ වෙනුවට මිථ්‍යා විශ්වාසවලින් මිනිස් මනැසත්, හෙරොයින් වැනි මත් ද්‍රව්‍යවලින් මිනිස් මොළයත් අක්‍රිය කරවීමේ දැවැන්ත සහ වේගවත් අමානුෂික මෙහෙයුම් දෙකක් අද වන විට රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ වර්තමානයේ  රට තුළ සිදුවෙමින් පවතින දේ අනුව මිනිසුන් ප්‍රකෘති සිහියෙන් තැබීම තමන්ට බෙහෙවින් අන්තරාකාරී බව පාලකයන්ට මේ වන විට ම මනාව වැටහී ඇති බැවිනි. මෙහි පළමු අමානුෂික මෙහෙයුම වන මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලකයන්ගේ අනුදැන්ම සහ සහයෝගය මත සිදුවීම අප අත්විඳින මුල්ම සමාජ ඛේදවාචකයයි. නමුදු එහි වඩාත් දරුණු ඛේදවාචකය වන්නේ මිථ්‍යා විශ්වාසවලින් මිනිස් මනැස මොට කිරීමේ දෙවන අමානුෂික මෙහෙයුම සඳහා මා ද නියෝජනය කරන මාධ්‍ය ක්‍ෂේත්‍රය ද සෘජුවම දායක වී හිඳීම ය.

 *නූතන ජන මාධ්‍යයේ අද්භූත සංකල්ප භාවිතාව යන මැයෙන් පසුගිය දෙසැම්බර් 23 සඳුදා බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී මාධ්‍යවේදී තිලක් සේනාසිංහ කළ දේශනයේ අවසන් කොටස

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.