26 April, 2024

Blog

අලුත් අවුරුද්දේ කිරියෙන් පැණියෙන් ඉතිරේවා යන කතාව ගැන රසවත් තොරතුරු

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

ලබන්නා වූ හෝ ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා යන්න සෑම ව්‍යවහාර වර්ෂයක් සේම සිංහල අලුත් අවුරුද්දක් සම්බන්ධයෙන්ම අපගේ දෙසවන් පිරී ඉතිරී යන අයුරින් අසන්නට ලැබෙන්නකි.

මෙම සුබ පැතුමේ කිරි හෝ පැණියෙන් යනුවෙන් හැඟවෙන දෙය පිළිබඳව මම බොහෝ දෙනකුගෙන් කරුණු විමසා ඇත්තෙමි. එවිට ඒ සෑම දෙනකුම පවසා සිටියේ රසවත් අතුරු පසක් වන ‛කිරි-පැණි‛ සුසංයෝගය මෙන් ප්‍රණීත වූ ඉදිරි වසරක් ඉන් අපේක්ෂා කරන බවය. එහෙත් මෙම ‛කිරි-පැණි‛ කතාව තුළ ඊට වඩා ගැඹුරු මානව විද්‍යාත්මක අරුතක් පළවන බව මගේ නිගමනයයි. ඊට මූලික නිමිත්ත වනුයේ මෙම ආශිංසනයේදී ‛කිරි-පැණි‛ යන්න ‛කිරියෙන්-පැණියෙන්‛ වශයෙන් දෙආකාරයකින් දැක්වීමය.

භාරතීය සංස්කෘතිය අනුව කිරි යනු පාරිශුද්ධිය සහ සමෘද්ධිය සංකේතනය කරන්නකි. විෂ්ණු පුරාණයේ දැක්වෙන පරිදි මන්දරගිරි පර්වතය දණ්ඩක් කොට ගනිමින් කිරි මුහුද කැළඹ වූ විෂ්ණු හට ලක්ෂ්මිය ප්‍රමුඛ රත්නයන් දාහතරක් ලබාගත හැකි වේ. ඇතැම් හින්දු ඉගැන්වීම්වලට අනුව ලෞකික ජීවිතයේ සෞභාග්‍යය නියෝජනය කරන්නී ලක්ෂ්මියයි. විෂ්ණුට ඇය හිමිවනුයේ ද කිරි මුහුද කැළඹීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

New Yearමෙම පුරාවෘත්තය පසෙක තැබූව ද ලෞකික ජීවිතයේ සෞභාග්‍යය පතා කිරි ඉතිරවීම ඉන්දියාවේ මෙන්ම අප රටේ අද සුලබව සිදු කෙරේ. මෙම කිරි ඉතිරවීම සිංහල බෞද්ධ ජන සමාජයේ කෘෂිකාර්මික, ව්‍යාපාරික, ගෘහස්ථ ආදී සෑම කටයුත්තක් ආරම්භයේදීම සිදුවන අභිචාරාත්මක ක්‍රියාවකි.

කුඹුරු ගොවිතැනේ කන්න අවසානයේ සිදු කෙරෙන විශේෂ කිරි ඉතිරවීම ‛කිරි ඉතුරුම් මංගල්‍යය’ වශයෙන් හැඳින්වේ. එමෙන්ම සිංහල බෞද්ධයෝ ගෘහස්ථ ජීවිතයේ බොහෝ සුබ කටයුතු ආරම්භයේදී කිරි ඉතිරවීම කරනු දක්නට ලැබේ.

මේ අතර අප රටේ ඇතැම් ප්‍රදේශවල අවමංගල චාරිත්‍ර අතර ද කිරි ඉතිරවීමක් දැකිය හැකිය. ඒ මෘත දේහයක් සුසානය සඳහා නිවසින් පිටතට ගත් පසු එය තැන්පත් කොට තැබූ ස්ථානයේ හෝ එම නිවසේ ආලින්දයේය. ඒ සම්බන්ධයෙන් විමසුම් කළ මා හට දැනගත හැකිවූයේ එසේ ඉතිරීම පිණිස යොදා ගැනෙනුයේ පොල් කිරි මිස එළකිරි නොවන බවය.

ඒ අනුව පොදුවේ ගත් විට ‛එළකිරි ඉතිරීම’ යන වදන ලෞකික සෞභාග්‍යයේ කූඨප්‍රාප්තිය වශයෙන් නිර්වචනය කිරීමේ වරදක් නැත. දැන් අපි කිරි මදක් පැත්තකට කොට ‛පැණි‛ දෙසට ළංවෙමු.

මෙහි දී මෙම පැණි යන්න ද මා ඉහත සඳහන් කළ පරිදි මුදවාපු කිරි සමග ආහාරයට ගන්නා පොල් පැණි හෝ කිතුල් පැණි නොවේ. පහළොස්වන සියවසේදී ලියැවුණු ‛රුවන්මල් නිඝණ්ඩුවේ’ පැණි යන්න අර්ථ ගන්වා ඇත්තේ ‛පැසුණු ගෙඩිවලින් කකාළ ඉස්ම’ වශයෙනි.
‛මධු‛ යනු ඉන්දු ආර්ය භාෂාවන්ගෙන් පැණි හැඟවෙන වදනකි. එමෙන්ම මෙම ‛මධු‛ යන්න සුරාව හැඟවීම සඳහා ද යම් තරමකින් ආදේශ කළ හැකිය. නමුත් මධු යන්න මිදියුෂවලින් පෙරාගන්නා ‛වයින්‛ ආදිය සඳහා මිස අරක්කු, කසිප්පු, විස්කි, බ්‍රුන්ඩි, ජින්, වොඩ්කා ආදී සුරා ගණයට වැටෙන සැර මත්පැන් සම්බන්ධයෙන් යෙදිය හැකි නොවේ. සිංහල භාෂාවෙහි ඒවා හැඳින්වෙනුයේ ‛මද්‍ය‛ නමින් බවට දොළොස්වන සියවසේ පමණ ලියැවුණු බව සැලකෙන ‛වෙසතුරුදා සන්නය’, දොළොස්වන සියවසේ ලියැවුණු ‛ධර්ම ප්‍රදීපිකාව’ ආදී කෘතිවලින් පැහැදිලිය.

කිරි මගින් ලෞකික සමෘද්ධිය සංකේතය වනුයේ යම් සේද පැණි හෙවත් ‛මධු‛ මගින් එම සමෘද්ධිමත් බව ඔස්සේ මතුකර ගත හැකි, ආශ්වාදනය කළ හැකි පස්කම් සැපය සංකේතනය කෙරෙන බව මගේ පිළිගැනීම ය.

මේ සඳහා ගත හැකි හොඳම නිදසුන වනුයේ අතීතයේ අප රටේ ද පැවැති බව පැවසෙන මධුපානෝත්සවයයි. භාරතයෙන් අප සමාජයට පැමිණි ‛කාම දෙවියන්’ හෙවන් ‛අනංගයා’ මුල් කොට ගත් අභිචාරාත්මක සැණකෙළියක් ලෙස විස්තර කළ හැකි රාජකීයයන්ගේ සිට සාමාන්‍ය නුවර වැසියන් දක්වා සහභාගී වූ මධුපානෝත්සවයක් පිළිබඳව දහතුන් වන සියවසේදී ලියැවුණු ‛කව් සිළුමිණ‛ කෘතියෙන් මනා ලෙස විස්තර කෙරේ. සංගීතය, මධුපානය සහ ස්ත්‍රී සම්භෝගය වැනි කාමභෝගිත්වයේ සංකේත අරමුණු කර ගත් මෙම මධුපානෝත්සවවල දී භාවිතයට ගැනුණේ මල් පැණි, මී පැණි ආදී ප්‍රණීත දෙයින් පෙරන ලද ‛මධු‛ මිස සුරාව නොවේ.

පැණි හෙවත් මධු යන්න අනුරාගයේ සහ ලිංගිකත්වයේ සංකේත ලෙස දක්වා ඇත්තේ පෙරදිග සංස්කෘතිය තුළ පමණක් නොවේ. විවාහක නව යුවළකගේ පළමු සංචාරය ඉංග්‍රීසියෙන් හඳුන්වනුයේ ‛හනිමුන්‛ (Honeymoon) යනුවෙනි. වචනාර්ථ වශයෙන් මෙම වදන් දෙක විමසා බැලුවහොත් ‛පැණි සඳ‛ යන අරුත පළවේ. එමෙන්ම මෙම අවස්ථාව හඳුන්වන සිංහල වදන ‛මධුසමය‛ වීමෙන් මෙම පැණි, මධු සහ අනුරාගය අතර ඇති අපූරු මානව විද්‍යාත්මක සබැඳියාව කදිමට වටහා ගත හැක. එසේම සමාජයේ විවිධ පුද්ගලයන් ලිංගිකව නම්මවා ගැනීමෙන් පසු ඔවුන් අවමාන තර්ජනයට (Blackmail) ලක්කරනු පිණිස කාන්තාවන් යොදා ගැනීමේ ක්‍රියාවලිය ඉංග්‍රීසියෙන් හැඳින්වෙනුයේ Honey Trap හෙවත් ‛පැණි උගුල‛ ලෙසිනි. එය ද ‛පැණි‛ යන්නෙන් ලිංගිකත්වය සංකේතය වන බවට කදිම නිදසුනකි.

නමුදු මෙම මධු සහ සුරාව පටලවා ගනිමින් මෙම මධුපානෝත්සව ‛සුරාපානෝත්සව’ ලෙස හැඳින්වීම ලොකු වරදකි. ඒ අනුව ස්ත්‍රිය, සංගීතය, මධුවිත යන අරමුණු ඔස්සේ ජීවිතයේ දාහය නිවාගත හැකි බවට අපූරු චින්තනයක් ඉදිරිපත් කළ එකොළොස් වන සියවසේ පර්සියාවේ විසූ ඕමාර් ඛයියම් ද නිරපරාදේ ‛බේබද්දකු‛ බවට පත්කොට ඇත. ඒ කෙසේ හෝ මෙහි මධු නමින් හැඳින්වෙනුයේ කාමෝද්දීපක පානයකි. එසේම ශරීරයේ ස්නායු අඩපණ කෙරෙන සුරාවෙන් සංගීතයේ සැබෑ රසය විඳගත නොහැකි සේම නියමාකාරයෙන් ස්ත්‍රී සැප ලද නොහැකි බව අතීත සමාජය දැන පිළිගෙන තිබෙන්නට ඇත.

ඒ කෙසේ හෝ මෙහි මුලින් පැවසුණු ‛ලබන්නා වූ හෝ ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන් ඉතිරේවා’ යන්නෙහි මානව විද්‍යාත්මක අරුත හුදෙක් මී කිරි සහ පොල් හෝ කිතුල් පැණි ඉක්ම වන්නක් බවත් ඉන් අදහස් වනුයේ උතුරා යන ලෙස හිමිවන ලෞකික සමෘද්ධිය (කිරි) පදනම් කරගනිමින් සිතේ හැටියට ලිංගිකාශ්වාදය මුල්කොට ගත් පස්කම් සැප (පැණි) භුක්ති විඳීමට අවස්ථාවක් උදාවේවාය යන්න බව මගේ නිගමනයයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.