3 December, 2024

Blog

පාසැල් තුළින් සාමය උදාකළ හැකි ප්‍රායෝගික ක්‍රම

සෝමපාල ගුණධිර

සෝමපාල ගුණධිර

සෝමපාල ගුණධිර

දෙසැම්බර දාහත්වන දා “සාමය, ළඟදීම පාසල් විෂයක්” යන මැයින් “ඩේලි මිරර්” පත්තරේ පළවූ පුවත කියවා මම අමන්දානන්දයට පත්වුණෙමි. විශ්‍රාමික ජනාධිපති, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති “ජාතික එකමුතුව හා සමාදානය සඳහා වූ කාර්යාලය” (ONUR) විසින් “සාම අධ්‍යාපනය හා බේධ නිවාරණය” යන මැයින් අලුත් විෂයක් පාසල් පාඨමාලාවට ඇතුළත් කළ යුතු යයි යෝජනා කර තිබේ” යයි එහි සඳහන් වී තිබිණ.

යෝජනාවේ පරමාර්ථය වශයෙන් සඳහන් වී තිබුණේ, “ශ්‍රී ලංකාවේ වාර්ගික හා සාමයික කණ්ඩායම් අතර වඩා හොඳ අවබෝධයක් ජනිත කිරීම” ය. යෝජනාව අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇතත්, ඊට මෙතෙක් අනුමැතියක් ලැබී නැත. ප්‍රමාදයට හේතුව, ඒ විෂය දැනට ඉගැන්වෙන්නේ විශ්වවිද්‍යාලයන්හි උපාධි හා පශ්චාත් පාඨමාලා උදෙසා පමණක් යයි වාර්තාකරු කරන නිරීක්ෂණයෙන් අවබෝධ කරගත හැක.

මේ අවදියට අවශ්‍ය වී ඇත්තේ, වාර්ගික හා සාමයික වශයෙන් කොටු වී සිටින දරුවන් එකමුතු කරන, ප්‍රායෝගික වැඩසටහන් ය. අන්තවාදී ගෝනිබිල්ලන් විසින් මවා පාන දුර්මතයන්ගෙන් දරුවන් මුදා ගැනීමට මග පාදන උපරිම අවස්ථා සැම වර්ගයකම, ආගමකම දරුවන්ට හැකි තරම් පාදා දිය යුතුව ඇත.

Girandurukotte Central College FB - schools students“රිවිරැසට” අනතුරුව “පුනරුත්ථාපන හා සංහිඳියා අධිකාරියේ” සභාපති වශයෙන් මා උතුරේ සේවය කළ කාලයේ එසේ කිරීමට මම වෙර දැරුවෙමි. ඒ වැඩපිළිවෙල අනුව උසස් පෙළ විභාගයෙන් උපරිම ලකුණු ලැබූ ළමයින් සඳහා සංචාරයක් සංවිධානය කළෙමි. ඒ අඳුරු භිෂණ යුගයේ එය අධිඅවදානම් ප්‍රයත්නයක් විය. ඊට කොටින් කෙබඳු ප්‍රතිචාරයක් දක්වද්දැයි දැන ගැනීමට මගක් නො වීය. උතුරෙන් ආ සංචාරක කණ්ඩායමක් දකින දකුණු වැසියන් තම ගම්බිම්වලට කළ විනාශ සංකේතවත් කරන පෙදෙසකින් පැමිණියවුන්ට දැක්විය හැකි ප්‍රතිචාරය ගැන ද සහතිකයක් නො වුයේය.

ළමයින් තිරිකුණාමලයට ගෙන එන ලද්දේ නැවකිනි. එතැන් සිට දකුණු රට වටා ඔවුන් බසයක ගෙන යන ලදී. පැමිණි දා ඔවුන් නවාතැන් ගත්තේ අනුරාධපුරේ ය. එහිදී මා පුද්ගලිකවම ඔවුන් මුණගැසුණු අවස්ථාවේ තමන් මුහුණ දී සිටි ද්විත්ව අවදානම නිසා ජනිත වූ පීඩනය ඔවුන්ගේ මුහුණින් විද්‍යමාන විය. චාරිකාවෙදී ජාති ආගම් බේධ නො සලකා තීරණ ගන්නා තැන්වලට ද ළමුන් ගෙන යන ලදී. එබඳු එක ස්ථානයක් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය යි. ජනාධිපති කුමාරතුංග මැතිනිය අරලියගහ මැදුරේදී ළමුන් පිළිගෙන ඔවුන් සමග සුහද පිළිසඳරක යෙදුනාය. ඒ අවස්ථාවේ එවක සිටි අධ්‍යාපන ඇමතිතුමා ද ජනාධිපතිතුමිය හමුවීම සඳහා එහි රැඳී සිටියේය. මම ඔහු වෙතට ගොස් ළමුන් හමුවන්නට ආරාධනා කෙළෙමි. ඔහු මගේ ආරාධනය එකඑල්ලේම ප්‍රත්ක්ෂේප කළේය. චාරිකාව සඳහා තමාගේ පූර්ව අනුමැතිය නො ගැනීම ගැන ඔහු උරණව සිටියේය. මා උතුරේ මුහුණ දී සිටි පීඩනය තුළ එබඳු වතාවත්වලට ඉඩක් නො තිබුණු බව වටහා ගන්නට ඇමතිතුමා අසමත් විය. ඇතැම් විට චාරිකාවේ භය ජනක ආදීනවයන්ට පංගුකාරයෙකු වීමේ අවස්ථාවට මුහුණ දෙන්නට ද ඔහු මැළි වූවා විය හැක.

ගමන යන අතර ගිය ගිය තැන ළමුන් කෙතරම් සාදරයෙන් පිළිගැනුණේද කිවහොත් ක්‍රමයෙන් ඔවුන්ගේ බය ඇරී ඔවුහු සීඝ්‍රයෙන් පරිසරය හා සංකලනය වන්නට පටන් ගත්හ. “සිංහලයන් ගමේදී අපට තහවුරු කළ තරම් ජරා ජාතියක් නොවෙයි” යයි එක ළමයෙකු මගේ දමිළ ලේකම්වරියට රහසින් පැවසූ බව මට දන ගන්නට ලැබිණ. වෙන්ව යාම ළමුන්ට කෙතරම් සංවේදජනක වූයේද යත් අපේ සංග්‍රහ කණ්ඩායමෙන් සමුගනිද්දි ඇතැමුන්ගේ නෙත් කඳුලින් බරව තිබුණු බව මගේ පෞද්ගලික සහකාර පසුව මට දැන්වීය.

පාසල් ළමුන්ගේ සංචාරයෙන් පසුව ගොවි රජුන්ගේ සංචාරයක් සංවිධානය කරන ලදී. මොනරාගල ගොවියන් හමු වූ යාපනයේ ගොවියෝ ඔවුන් කෙසෙල් වගා කරන ක්‍රම තම සමවෘත්තිකයන්ට පැහැදිලි කළහ. අභාග්‍යයකට මෙන්, උතුරෙන් දකුණටත්, දකුණෙන් උතුරටත් තව තවත් සුහද සංචාර සංවිධාන කරන්නට පෙර, කඩා හැලෙමින් තිබුණු දක්ෂිණ සංවර්ධන අධිකාරිය නඟා සිටුවීම සඳහා මා දකුණට කැඳවන ලදී. මා දන්නා තරමට එබඳු සංචාර ඉන් පසු පවත්වා නැත.

මා අත්හදා බැලූ සුහද සංචාර දෙපැත්තේම පාසල් දරුවන් අතර සම්බන්ධතා ගොඩනැගිය හැකි මහඟු ක්‍රමවේධයකි. දැන් උතුරේ පරිසරය සාමකාමී බැවින් හද ගැහෙමින් කඩිමුඩියේ යන චාරිකාවලට සීමා වීම අවශ්‍ය නැත. දෙපැත්තේම ළමුන්ට අනිත් පැත්තේ සංග්‍රහශීලින් සමග ටික කලක් ජීවත් විය හැකි හුවමාරු ක්‍රමයක් හඳුන්වා දීම ප්‍රශස්ත උපාය මාර්ගයකි. පාසල් නිවාඩු සමයේදී, අනිත් පැත්තේ සිසුදරුවකුට ආගන්තුක සංග්‍රහ කරන්නට වත්කම ඇති, සාමකාමින් බොහෝ දෙනෙකු දෙපැත්තෙන්ම සතුටින් සභාගි වනු ඇතැයි මම උදක්ම විශ්වාස කරමි. මේ බඳු ව්‍යාපෘතිවලට (ONUR) මැදිහත් වීම ජාතික සමගිය ප්‍රවර්ධනය කරන්නට ඉමහත් රුකුලක් වනු නො අනුමානය.

කාර්යක්ෂමව හා ක්‍රියාශීලිව නිරායාශයෙන් රට එකමුතු කළ හැකි තවත් ආනන්දජනක ක්ෂේත්‍රයකි ක්‍රීඩා. දැනටත් එබඳු අවස්ථා පුවත්පත්වල දැකිය හැක. අවශ්‍යවී ඇත්තේ දකුණේ ප්‍රධාන නගරවල ක්‍රීඩා සමයේ ප්‍රසිද්ධ පාසල්වල පැවත් වෙන අන්තර් පාඨශාලීය තරඟ මට්ටමට ඒවා ගෙන ඒමයි. දෙපැත්තේ පාසල් අතර උතුරේදී මෙන්ම දකුණේදී ද වාර්ෂිකව පැවැත්වෙන අඛණ්ඩ තරඟ මාලා දෙපැත්තම වඩවඩා සමීප කරණු ඇත.

රට බෙදූ භාෂාවම සංස්කෘති දෙක බද්ධ කරන ආයුධයක් වශයෙන් යොදා ගත හැක. මෙහිදී දෙපැත්තේ පාසැල් අතර පැවැත්වෙන වාද බලවත් උපකරණයක් වනු ඇත. ආරම්භයේදී පොදු බස වන ඉංගිරිසියෙන් වාද පැවැත් වුවත්, කල්යාමේදී උසස් අධ්‍යාපනය සඳහා දෙවැනි බස හදාරන්නන් අතර දෙබසින්ම පැවැත්වෙන වාද වාර්ගික සබඳතා සමගම වැඩි වනු නො අනුමාන ය. සම්බන්ධීකාරක ප්‍රයත්න සාර්ථක වන්නා හාම මිශ්‍ර ක්‍රීඩා හා භාෂා තරඟ තුළින් වාර්ගික කෝන්තර අමතක වී යනු ඇත.

ඉහත දැක්වෙන්නේ, ජාතිය සමගි කිරීමේ ප්‍රයත්නයට අපේ පාසැල්වලට ප්‍රායෝගිකව සහභාගී විය හැකි මාර්ග කීපයක් පමණි. මෙබඳු ක්‍රියාමාර්ග මාර්ග පිළිබඳව පර්යේෂණ පවත්වා සාර්ථක හා අදාළ බව තහවුරුවන ව්‍යාපෘතිවලට ONUR එකඑල්ලේම මැදිහත් විය යුතුය. ඒ සඳහා අවශ්‍ය මුදල් බලයත්, පිරිස් බලයත්, රාජ්‍ය බලයත් ඒ ආයතනය සතු බවට කිසිම සැකයක් නැත. ජාතිය ඒකාබද්ධ කිරීමේ මේ ව්‍යාපෘතියට නො මසුරුව අත දීම ජාතික බැංකු හා ව්‍යාපාරවල සමාජ වගකීමකි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.