30 May, 2023

Blog

ඡන්දදායකයා, ධර්මිෂ්ඨ සමාජය හා ජෝන් අමරතුංග පන්නයේ මැර දේශපාලනය

තිලෝප

ශ්‍රී ලංකාවේ දේශපාලන පාදඩකරණයේ තරම හෙළිකරන සාධකයක් බවට මහජන සාමය අපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ ඇමති ජෝන් අමරතුංගට විරුද්ධව මන්ත්‍රීවරු 114 දෙනෙකුගේ අත්සන් සහිතව ඉදරිපත් කළ විශ්වාසභංග යෝජනාව පත්ව තිබේ. සෙට් කරන ලද විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද මෙම විශ්වාසභංගය පාළුගෙයි වළං බිඳීමක් බවට පත් වෙමින් ඇති අතර විශ්වාසභංගය නිසා යහපාලනයේ දින සියයේ වැඩසටහනට අංශභාගය වැළඳීමේ අනතුරක් ද මතුව තිබේ.

සැබෑ යහපාලනයක් යටතේ ජෝන් අමරතුංග වැනි මැර දේශපාලනඥයෙකුට මෙසේ හැසිරීමට ඉඩ තිබේද? එසේ වීමට ඉඩ නැති නමුත් යහපාලනය යන්න ධර්මිෂ්ඨ සමාජය යන්නට පර්යාය පදයක් වෙමින් පවතින මොහොතක ජෝන් අමරතුංග වැනි දේශපාලනඥයන් ගෙන් අර්ථාන්විත යහපාලනයක් බලාපොරොත්තු විය නොහැක.

Ranil and John colombotelegraphවිශ්වාසභංග යෝජනා යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ ස්වකීය ධුරයේ වගකීම ඉටුකිරීමට අසමත් වූ පුද්ගලයන් එම ධුරයෙන් පහ කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයක් වන නමුත් බරපතල චෝදනා එල්ල වූ දේශපාලනඥයකු පවා ධුරයෙන් ඉවත් කිරීම සඳහා සාර්ථක ලෙස විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ දා සිට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට හැකි වුයේ නැත. බහුතර බලයක් ආණ්ඩු පක්ෂයට තිබීමත් පිල් මාරු කළ විට පවා තම අසුන ආරක්ෂා වන අන්දෝභුත නිර්වචනයන් ශ්‍රී ලංකවේ දේශපාලනීකරණය වූ අධිකරණය ලබා දීමත් ඊට මුල් වූ හේතු අතර විය.

ජෝන් අමරතුංග හා වත්තල සිදුවීම් දෙස බැලීමේදී පැහැදිලි වන එක කරුණක් නම් යහපාලනය තුළ ද ජනතා ආරක්ෂාව භාර වී ඇත්තේ රජයට නොව ‘තම තමන්ට’ යන්නයි. “තම තමුන්ගේ ආරක්ෂාව තම තමුන් බලාගත යුතුයි,” කීවේ ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවේ පාලන බලය අතට ගත් එක්සත් ජාතික පක්ෂයේ ජූනියස් රිචර්ඩ් ජයවර්ධන උතුමාණෝය. පොලිසීයට සතියක් නිවාඩු දෙන බවට වහසි බස් දොඩමින් 1977 හයෙන් පහක බලයක් ලබාගෙන ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හිමිකරගත් එක්සත් ජාතික පක්ෂය ධර්මිෂ්ඨ සමාජයට පියවර තැබුවේ විපක්ෂයේ ආධාරකරුවන්ට මැර ප්‍රහාර එල්ල කරමින් දැඩි මර්දනයක් සහ ප්‍රචණ්ඩත්වයක් මුදා හරිමිනි.

“තමුන්නාන්සේලාට කැමතිනම් මෙතන රැකලා ඉන්න ඒ කට්ටිය අරක්ෂා කරන්න,” යයි වත්මන් යහපාලන රජයේ මහජන ආරක්ෂාව, අපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු භාර අමාත්‍ය ජෝන් අමරතුංග කියා සිටින්නේ වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු තිදෙනෙකුට පහර දීමට පෙර පැවති පිළිගැනීමේ උත්සවය අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමිනි. මහජනතාවගේ ආරක්ෂාව භාර නියෝජිතයා වන ඔහු නොකියා කියා සිටින්නේ මෛත්‍රිපාල සිරිසේනගේ යහපාලනයත් ජේ ආර් ජයවර්ධනගේ ධර්මිෂ්ඨ සමාජය වැනි දෙයක් බවද?

ප්‍රාදේශීය සභාවේ දුෂණ සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතු බවත් සඳහන් කරන ජෝන් අමරතුංග මේ සියලු තැන් සුද්ද කිරීම සඳහා තමන්ට ඇත්තේ දින 100ක් බැවින් වහා කටයුතු කළ යුතු බව පවසයි. දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් වහා කටයුතු කිරීම යනු සභා රැස්වීම් කඩාකප්පල් කර චෝදනා එල්ල වූ පුද්ගලයන්ට යකඩ පොලුවලින් පහර දීමේ ක්‍රමවේදය දැයි විමසිය යුතුව තිබේ.

සභාපතිවරයාට එරෙහිව දුෂණ චෝදනා ඇත්නම් ඔහුට විරුද්ධව නීති මගින් කටයුතු කිරීම හා දේශපාලනමය වශයෙන් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඔහු සභාපතිධුරයෙන් පහ කිරීම යහපාලනය ලෙස සිහිබුද්ධිය ඇති පුද්ගලයන් අර්ථ දක්වනු ඇත. නමුත් ධර්මිෂ්ඨ සමාජය මෙන් යහපාලනයත් ජනතාව රවටන වදනක් ද යන පැණය ජෝන් අමරතුංග විසින් ඇති කළ අර්බුදයෙන් මෙන්ම ඔහුට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ බහුතර විපක්ෂය ගොනු කරන විශ්වාසභංග යෝජනාවෙන් ද ප්‍රශ්න කිරීමකට ලක් කෙරේ.

විකාරරූපී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සුළුතරය ආණ්ඩු පක්ෂය වී බහුතරය විපක්ෂය වී සිටින්නේ ශ්‍රී ලංකාව පසු කරන කලියුග කාලය නිසා මිස යහපාලන උදාව නිසා යයි සිතිය නොහැක. මහජන සාමයට බාධා වන සිදුවීමක් දැන දැනත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව මාධ්‍යවේදීන්ට භාරකර නිසි පරිදි නීතිය හා සාමය ආරක්ෂා කිරීම පැහැර හරින යහපාලන රජයේ මහජන සාමය පිළිබඳ ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි ජනතාවගේ ප්‍රශංසාවට ලක් විය යුතු කරුණක් නමුත් ගැටලුව ඇත්තේ එය ඉදිරිපත් කරන පුද්ගලයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය සහ විශ්වාසභංගය ජය ගතහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට තර්ජනය කරන යහපාලන සුළුතර ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ කරන සිහනාදය මතය.

සැබෑ යහපාලනයක් ගැන අවංකව කතා කරන්නේ නම් දේශපාලන මහාත්මයකු ලෙස සැලකෙන අගමැති රනිල් වික්‍රමසිංහ කළ යුතු වුයේ ජෝන් අමරතුංගට ඉල්ලා අස්වන ලෙස කියා සිටීමයි. නමුත් එවැනි මහත්මා දේශපාලනයක් බල ලෝභයෙන් සිටින පාදඩකරණයට ලක් වූ දේශපාලනඥයෙකුගෙන් බලාපොරොත්තු විය හැකිද?

යහපාලනයක් වෙනුවෙන් ජනතාවාදීව කටයුතු කරනු වෙනුවට රනිල් වික්‍රමසිංහ කරනුයේ දින සියයේ වැඩ පිළිවෙල පීලි පන්නන, නවක මන්ත්‍රීවරු හතළිහක වැඩි පිරිසකට පමණ මහන්සි වී වසර පහක් පුරා ජනතාව නියෝජනය කිරීම නිසා හිමිවීමට තිබෙන, දුප්පත් විශ්‍රාම වැටුප නැති කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට තර්ජනය කිරීමයි.

ජෝන් අමරතුංගට විරුද්ධව විශ්වාසභංගය ඉදිරිපත් කරන බහුතරයේ බලය හිමි විපක්ෂයේ සිටින්නේ ද නාවා ගෙට ගත හැකි අන්දමේ දේශපාලනඥයන් නොවේ. ආණ්ඩු බලය 1994 සිට ආණ්ඩු පක්ෂයේ වරප්‍රසාද භුක්ති විඳිමින් වැජඹුන ඔවුන් විපක්ෂයේ අසුන් ගෙන සිටින්නේ, දෙවන පෙළ දේශපාලන නායකත්වයක් ගොඩ නොනගා බලය හිමි පුද්ගයන් විසින් ඒකාධිපති ලෙස ගෙන ගිය පාලන ක්‍රමය හේතුවෙන්, වර්තමානයේ ජනාධිපති පදවිය හොබවන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති බවට පත් වූ මෛත්‍රී සරණ යෑම හැර වෙන විකල්පයක් මගින් තම දේශපාලන අනාගතය සුරක්ෂිත කරගත නොහැකි හෙයිනි. නමුත් ඔවුන් ජෝන් අමරතුංග මෙන් දේශපාලන පාදඩකරණයේ ගුබ්බෑයම බවට පත්ව ඇති පාර්ලිමේන්තුවේ දී යකඩ පොලු යහහපාලනයකින් මේ අර්බුදය විසඳා නොගෙන විශ්වාසභංගය වැනි දේශපාලන මාවතක් තෝරා ගැනීම ජනතාවගේ අවධානයට ලක් විය යුතුය.

සංඛ්‍යාත්මකව බැලු කල විශ්වාසභංගය ජය ගැනීමේ හැකියාවක් පාර්ලිමේතුවේ බහුතර බලය හිමි සෙට් කළ විපක්ෂයට තිබේ. නමුත් විශ්වාසභංගය සම්මත කිරීම තුළින් මේ ජනතාවාදී දේශපාලකයන් මුහුණ පාන්නේ ඔවුන්ගේ දුප්පත් විශ්‍රාම වැටුප අහිමි කරමින් සිදු කෙරෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවදානමටයි. නමුත් ජනතාව මුහුණ දෙන්නේ ඊටත් වඩා බලවත් ව්‍යසනයක් වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ඇතුළු ජනතාවාදී පොරොන්දු සහිත දින සියයේ වැඩසටහන අහිමි වීමේ විපතටයි.

නමුත් මේ කවරෙකුටවත් අගතියක් නොවන ලෙස විශ්වාසභංගය ලත් තැනම ලොප් වී දේශපාලනඥයන්ට තම තමන්ගේ සාධනීය පුද්ගලික අරමුණු ඉටු කර ගැනීමට ඉඩ ලැබෙන පරදී ජෝන් අමරතුංගට එරෙහි විශ්වාසභංගය විවාදයට නොගනු ඇති බව උපකල්පනය කළ හැක. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද විශ්වාසභංගය යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් විවාද භූමියට පැමිණෙනු ඇති බවට විශ්වාසය පල නොකිරීමෙන් පැහැදිලි වන්නේ සෙට් කළ විපක්ෂය සහ සුළුතර යහපාලන ආණ්ඩුව ජනතාවාදී ඩීල් එකක් දමන බව නොවේද?

මෙහිදී තේරුම් ගත යුත්තේ යහපාලන මුවාවෙන් මැරවාදීව කටයුතු කරන ජෝන් අමරතුංග වැනි ඇමතිවරුන් විශ්වාසභංග මගින්වත් ධුරයෙන් ඉවත් කිරීමට නොහැකි වීමෙන් මෙන්ම, එසේ කිරීමට උත්සාහ කිරීම මගින් රනිල් වික්‍රමසිංහ වැන්නන්ගේ තර්ජන හේතුවෙන් එවැනි උත්සාහයන් අත හැරීමට සිදු වීමෙන් ද පරාජයට පත් වන්නේ සැබෑ යහපාලනයක් බලාපොරොත්තු වන ජනතාව විනා අවස්ථාවාදී කූඨ දේශපාලනඥයන් නොවන බවයි.

එබැවින් මෙවැනි මැරවාදී, ජනතාවාදී වෙනස්කම් ප්‍රාණ ඇපයට ගන්නා, රටට ජනතාවට පෙර තමන් ගැන සහ තම පක්ෂය ගැන හිතනා නායකයන් ගේ දේශපාලන ගමනට තිත තැබීමේ වගකීම භාර ගැනීමට ඉදිරි මැතිවරණයේ දී වත් ඡන්දදායකයා වග බලා ගත යුතුය. එමෙන්ම යහපාලනය යන්න වචානාර්ථයෙන්ම වටහා නොගෙන ධර්මිෂ්ඨ සමාජය වැනි පර්යාය පද සමග සන්සන්දනය කර තේරුම් ගැනීම සැබෑ යහපාලන ලැදි ජනතාවගේ සෞඛ්‍යට හිතකර බව මගේ වැටහීමයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.