26 April, 2024

Blog

නිදහස් ශ‍්‍රමය නොහොත් නිර්ධනයාට එරෙහිව නිර්ධනයා

ගීතිකා ධර්මසිංහ

ගීතිකා ධර්මසිංහ

ගීතිකා ධර්මසිංහ

පසුගිය සතියක රාවයේ ප‍්‍රභාෂ්වර ‘නිදහස් ශ‍්‍රමය හා නව තාක්‍ෂණය’ නමින් ලිපියක් ලියා තිබුණි. එහි වත්මන් ගෝලීය ක්ෂේත‍්‍රයේ ශ‍්‍රමය අත්පත් කරගෙන ඇති නිදහසත් ශ‍්‍රමය බෙදා හැරීමේ අවකාශවල ඇති නිදහසත් පිළිබද දක්වා තිබුණි. මම මේ ලිපිය ලියන්නේ ගෝලීය නව ලිබරල් ධනවාදය විසින් ඇති කර ඇති ඉහත කී නිදහස් ශ‍්‍රමය පිළිබද අදහසට ඇති විවේචන හා විමුක්තිකාමී නිදහස් ශ‍්‍රමය පිළිබද පැරණි අර්ථයන් වෙනස් කිරීමට ඉන් වු දායකත්වය පැහැදිලි කිරීමටය. මෙම නිදහස් ශ‍්‍රමය ( Precarious Labour ) නොහොත් අවිනිශ්චිත ශ‍්‍රමය ලෙසට මූලිකව කරළියට ගෙනෙන්නේ අන්තෝනියෝ නෙග්රි හා මයිකල් හාඩි ඔවුන්ගේ Multitude කෘතියෙනි. එහිදී පවසන්නේ 1980 දශකයේදී ගෝලීය නිෂ්පාදනය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක‍්‍රියාවලියත් සමග ශ‍්‍රමය භෞතික (කාර්මික) ශ‍්‍රමයෙන් ද්‍රව්‍යාත්මක නොවන ශ‍්‍රමයකට (Immaterial Labour) මාරු වූ බවයි. එනම් මීට පෙර කාර්මික ශ‍්‍රමයට ඉහළ තැනක් හිමිව තිබුණාද අද දවසේ එය තොරතුරු තාක්‍ෂණයට විතැන් වී තිබීමයි.

නෙග්රි හා හාඩි මෙම සිදුවීම මාර්ක්ස් විසින් දැක්වූ ඓතිහාසිකකරණයේ නැඹුරුව පිළිබද විග‍්‍රහය නිවැරදි වීමක් ලෙස අදහස් දැක්වයි. එහිදී මාක්ස් පැවසූයේ ධනවාදී සමාජයේ වර්ධනයත් සමග ප‍්‍රාග්ධන සමුච්චන ක‍්‍රියාවලිය භෞතික ශ‍්‍රමය මත නොව දැනුම හා තාක්‍ෂණයට අදාල නිෂ්පාදනය මත රැුදී ඇති බවයි. මෙලෙස අවිනිශ්චිත නොහොත් නිදහස් ශ‍්‍රමය නව ආකාරයේ නිෂ්පාදනයකට සම්බන්ධිතය. එනම් අද්‍රව්‍යමය වැඩ කෙරෙහි වූ නැඹුරුව විසින් නිදහස් වූ ශ‍්‍රම සබඳතා නිශ්පාදනය කෙරෙන බවයි. මන්දයත් ඉහත කී ශ‍්‍රමය භෞතික ශ‍්‍රමය මෙන් එක තැනක සිට නොසැපයෙන නිසා වැඩ වල ස්වරූපය අසම්බන්ධිත, අස්ථීර, අවිශ්වාසනීය දෙයක් බවට පත්වෙයි. කෙසේ වෙතත් නෙග්රි මෙම නව තත්වය නිෂේධනීය දෙයක් ලෙස නොසලකයි. මන්ද මෙම නව තත්වය විසින් සූරාකෑම අඩුවී තිබෙන නිසාය. මින් ගම්‍ය වන්නේ අලූත් නිෂ්පාදන බලවේග වල වර්ධනයත් සමග අපට තිබෙන සම්ප‍්‍රදායික වැඩ ව්‍යුහයන් අතික‍්‍රමණය කළ හැකිය යන්නයි. මෙහිදී සිදුවූ තවත් දෙයක් නම් වැඩවල පොදු බවක් ඇති වී ශ‍්‍රමයේ හොඳ නරක පිිළිබඳ බෙදුම් ඉරි මැකී ගොස් තිබීමය. එනම් සෑම ශ‍්‍රමයක්ම ධනවාදී වර්ධනයට ඇතුලත් කර ගැනීමයි. මින් නොසඟවන දේ නම් ධනවාදය අපව ශ‍්‍රම සාධකයෙන් වෙනතකට හරවා දමනවා පමණක් නොව අපගේ වැඩ පොදුකරණයකටද ලක් කරනු ලැබ තිබීමයි. අද දවසේ නිර්ධනයා වෙනුවට තොරතුරු තාක්‍ෂණය මත වැඩ කරන, සේවා ආර්ථිකය පදනම් කරගත් මනෝ ශ‍්‍රමිකයෙකු (cognatariat) ඇති වී තිබේ. තවදුරටත් ඔවුන් පවසන ලෙසට වැඩකරන ජනතාව වෙනුවට (Multitude) මහජනයා නැතහොත් සමුහයක් පිළිබද සංවාදය කරළියට පැමිණ ඇත. ශ‍්‍රමය සදහා වන පොදුකරණයක් මින් පෙරමුණට ගෙන ඇත. නෙග්රි හා හාඩි මේ කියනනේ ධනවාදය බුද්ධිමත් වීමට පටන්ගෙන ඇති බවකි. එනම් ධනවාදය විසින් ම සූරාකෑමට අදාල තත්ත්වයන් වෙනස් කර ඇති බවය. ඒ අනුව ඔවුනගේ විශ්වාසය නම් මෙම ක‍්‍රමය බිඳවැටීමට අදාල නිදහස එය විසින්ම නිශ්පාදනය කරනා බවයි.

වත්මන් ගෝලීය සන්දර්භය තුළ මෙම නිදහස් ශ‍්‍රමය පිළිබඳ අදහසට බොහෝ විවෙචන එල්ල වී ඇත. එම විවේචකයන්ගේ අදහස වන්නේ නෙග්රි හා හාඩි ගේ මෙම ‘ශ‍්‍රම විශ්ලේෂණයට’ කැමති වූ බොහෝ වුන් සංස්කෘතික හෝ දැනුම නිෂ්පාදිත කර්මාන්තයන්හි නිරත වන මිනිසුන් හා ගැහැණුන් වූ බවයි. මොවුන් නිදහස් ශ‍්‍රම සබඳතා ගොඩනැගීම ගැන සතුටු වන හා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා වැඩ කාලය සිරගෙදර නීතියක් ලෙස දකින ලද අයය. කෙටියෙන් කිවහොත් මොවුහු සතුටු වුයේ මෙම නව ගෝලීය තත්වයෙන් ඇති වූ නිදහස පිළිබදවය. පහුගිය වසරේ මිලානෝ හි පැවති මැයි දින රැුලියේ සටන් පාඨය වූයේ මෙලෙස නිදහස් ශ‍්‍රමය ලබා දෙන මිනිසුන්ට විශ‍්‍රාමික වැටුපක් ඉල්ලීමයි. අරුමය නම් මෙම තත්ත්වය ධනවාදය විසින් ඇති කළ තත්වයක් ලෙස හැගවීමයි.

මෙම විවේචනයන්ගේ සාරය නම් මෙයයි. එනම් ඉහත කී ශ‍්‍රමය පිළිබද කතිකාවන් විසින් ශ‍්‍රමය හා ප‍්‍රාග්ධනය අතර අනවරත ගැටුම (captail and labour) වැටුප් ලබන සහ වැටුප් නොලබන කණ්ඩායම් අතර ගැටුමක් දක්වා විතැන් කළ බවයි. එනම් ගැටුම ඇත්තේ ශ‍්‍රමය හා ප‍්‍රාග්ධනය අතර නොව නිර්ධනයා අතරම වීමයි. මෙම විතැන්වීමට සුක්ෂම ලෙස වැඩ සලසන ලද්දේ වැඩිවන ජනගහණයත් සමග ඇතිවන අතිරික්ත ජනගහණයේ සමාජ අයිතිවාසිකම්වලට විරුද්ධව රැුකියා නියුක්තිකයන් ඉදිරියට දැමීමෙනි. ගෝලීය වශයෙන් වඩාත් දියුණු රටවල මෙම විශ්ලේෂණයේ දේශපාලනික යෙදවුම වන්නේ වැඩකරන ජනයාගේ බදු වලින් වැඩනොකරන ජනයා සහන විඳින බවත්, අවශ්‍යවන්නේ සියලූ දෙනා වැඩ කිරීම බවටත් හඬ නැගීමයි. මෙම කතිකාව සුබසාධන රාජ්‍ය හැකිලීම සඳහා සෘජුව දායක කරගෙන ඇත. විෙවිචකයින්ට අනුව මේ නම් නව ලිබරල්වාදයේ සියුම් ප‍්‍රතිරූපය යි. එයින් සිදුවූයේ සංවිධිත නැගීසිටීම් විසින් වූ පන්ති අරගලය වෙනුවට ශ‍්‍රමිකයාගේ පන්ති විඥානය වැටුප් ලබන සුදු කරපටිධාරීන් ලෙස විතැන් කිරීමයි. සිල්වියා ෆෙඩරිසි (Silvia Federici) නම් වූ චින්තිකාව දක්වන ලෙසට තාක්‍ෂණයේ හා තොරතුරුවල දියුණුව ඇතිකර ඇත්තේ විශාල සූරාකෑමක් ඇතිකිරීමෙන් බවත් මූලධාර්මික වශයෙන්ම සංවර්ධනය ඇතිවන්නේ අව සංවර්ධනයක් සමගින් බවත් නෙග්රි හා හාඩි අමතක කොට ඇත. විශේෂයෙන් ම ඔවුන් ධනවාදී ක‍්‍රමය තුළින්ම ක‍්‍රමය බිඳ වැටීමට අදාල සාධක උත්පත්ති වේ යැයි සිතීම මායාවක් බවත් ඇය පවසයි.

මෙම තත්ත්වය අවබෝධ කරගැනීම දේශපාලනික මෙන්ම බුද්ධිමය කාරණාවක්ද වේ. ඒ අනුව අනාගත අරගලකාරී වමක් වෙනුවෙන් අවම වශයෙන් ධනවාදීන් හා ශ‍්‍රමිකයන් අතර වන මූලික බෙදුම සටහන් කිරීම සඳහා මෙම සංවාදය වැදගත් යයි මම සිතමි. අවම වශයෙන් ශ‍්‍රමිකයා වැටුප් ලැබුව ද නොලැබුව ද සූරාකෑමට ලක්වන බවත්, ඔවුහු එකම කාසියක දෙපැත්ත බවත් අවබෝධ කර ගැනීම වටී. එලෙසම මෙම කතිකාව මගින් අද දවසේ ප‍්‍රශ්න අප හඳුනාගත යුත්තේ බෙදාහැරීමේ ප‍්‍රශ්න ලෙසටද නැතහොත් අසමානතාවයේ ප‍්‍රශ්න ලෙසටද එසේත් නැතහොත් මේ සියලූ කතිකාවන් එක් කරගත් එනම් සියලූ පිඩිත කණ්ඩායම් එක් කරගත් සමාජ අරගලයක අපේක්ෂාව මුදුන් පමුණුවා ගැනීමක් උදෙසා අප සියල්ල නැවත වර නැගිය යුතුද යන්න අවකාශයක් ඇති කරන බව මගේ විශ්වාසයයි.

කෙසේ වුවත් මෙම නිදහස් ශ‍්‍රමය ගැන සංවාදය බොහෝ කතාබහට ලක් වූවකි. ඒ අනුව සමාජ විද්‍යාඥයකු වන ඩැනියෙල් සමෝරා විසින් රචනා කළ බහිෂ්කරණය විසින් සුරූකෑම විතැන් කළ විට, (When Exclusion Replaces Exploitation: The Condition of the Surplus-Population under Neoliberalism) ලිපියෙහි දක්වන්නේ අප ජීවත් වන්නේ බහිෂ්කරණය පිළිබඳ සංවාදය විසින් සූරාකෑමේ සංවාදය විතැන් කළ යුගයක වන බවයි. එනම් ප‍්‍රාග්ධනය හා ශ‍්‍රමය අතර සම්බන්ධය සූරාකෑමේ ගැටලූවක් ලෙස නොව යම් කොටසක් ශ‍්‍රමයෙන් බැහැර කර සිටීමේ ගැටළුක් ලෙසට පත්වූ යුගයකි. ඉන් කියවෙන්නේ ගැටළුව ඇත්තේ ශ‍්‍රමය හා ප‍්‍රාග්ධනය අතර නොව වැටුප් ලබන්නා හා වැටුප් නොලබන්නා අතරය. මේ තත්ත්වය කෙටියෙන් පැවසුවහොත් අන්ඞ්රේ ගෝස් ගේ (Andre Gorz) වැඩ කරන පන්තියට සමුදීම (Farewell to the Working Class) රචනාවෙහි දක්වන ලෙසට “අද දවසේ පන්ති ගැටුම ඇත්තේ බුර්ෂුවා පන්තිය හා නිර්ධනයා අතර නොව ලූම්පන් නිර්ධනයා හා පන්ති ව්‍යුහය සමග කිසිදු ගැටුමකට නොයන වැඩ කරන ජනයා අතරය.”මෙමගින් සිදුවුයේ සූරාකෑම විතැන්කොට සුළුතර කණ්ඩායම්වල හා ආන්තික කණ්ඩායම්වල ප‍්‍රශ්න අධිකාරීත්වයේ හා වෙන්කොට සැලකීමේ ප‍්‍රශ්නවල ප‍්‍රතිඵල ලෙස වර නැගීමයි.

ගැටුම ශ‍්‍රමය හා ප‍්‍රාග්ධනය අතර නොව ශ‍්‍රමිකයා අතරම පවතින්නක් ලෙසට රූපාන්තරණය කිරීමෙන් සිදුවූයේ රැුකියා නොකරන අය මහා කතිකාවෙන් බැහැර වූ අය ලෙසට පත්කොට ඔවුනගේ අයිතීන් පිළිබඳව කතා කිරීම කරළියට ගැනීමයි. එනම් ශ‍්‍රමිකයාගේ අරගලය, බහැර හා සීමාන්තික වූ නිර්ප‍්‍රභූන්ගේ අරගලයක් බවට පත් කිරීමයි. ඉන් අරගලයේ සැබෑ අරමුණ බිද වැටුනු බව සමහර න්‍යායධරයින් සඳහන් කරයි. ඒ අනුව මේ තත්ත්වය තුළ සිදුවූයේ නිවාස නැති අයට නිවාස, සිරකරුවන්ට නිදහස, කුසගින්නට ආහාර සහනාධාර වැනි ඉල්ලූම් ලෙසට ධනවාදී ගැටලූ වෙස් පෙරළීමයි. මෙයට උදාහරණයක් ලෙස ලංකාවේ ස්ත‍්‍රී දේශපාලනය අරගල කිරීමේ සිට අයදීමේ දේශපාලනයට මාරු වී ඇතැයි මාලතී ද අල්විස් දැක්වූ අදහස් සිහිපත් කළ හැක. ආණ්ඩුව ඇතුලූ බලාධිපත්‍යයන්ට විරුද්ධව අරගල කිරීම වෙනුවට ඊමේල් අත්සන්, අන්තර්ජාල සංවාද, හා මුහුණුපොතේ මත ගැටුම් වර්ධනය වීමද මෙම තත්වයෙහිම දිගුවකි.

ඒ අනුව විප්ලවකාරී පෙරටුගාමීන්ගේ කාර්යභාරය සිදුකළ හැක්කේ කාටද යන්න අවශ්‍යයෙන්ම සාකච්ඡුාවට බඳුන්විය යුත්තකි. ගෝස් කියූ පරිදි අද දවසේ බහුතර ජනතාව අයිතිවන්නේ ‘පශ්චාත් කාර්මික-නව නිර්ධනයෙකුට’ (post-industrial neo-proletariat) ය. ඉන් අදහස් වන්නේ රැුකියා සුරක්‍ෂිතභාවයක් නොමැති, තාවකාලික රැුකියා කාලය පුරවන, කොන්ත‍්‍රාත් පදනමට වැඩකරන අනියම් හා තාවකාලික ශ‍්‍රමිකයෙකු ගැනය. කර්මාන්ත පදනම් කරගත් ශ‍්‍රමිකයාගේ අදහසින් ශ‍්‍රමිකයා නිර්මාණය වීම අවමව ඇති මොහොතක සංවිධානගත අරගල වියැකී යමින් පවතී. ශ‍්‍රමය පදනම් කොටගත් ශ‍්‍රම සබඳතා මත අනන්‍යතා ගොඩනගා ගැනීමේ කොන්දේසි මේ වන විට ලෝක මට්ටම්න් මන්දගාමී ස්වභාවයක් අත්කොට ගෙන ඇත. ලංකාව වැනි රටක් බැලූ විට ඉහත කී දේශපාලන අරගලයන්හි අක්ෂ ජාතික ප‍්‍රශ්නයෙන් අධිනිශ්චය වී ඇත. පුලූල්ව ශ‍්‍රමිකයා පිළිබද ප‍්‍රශ්න පඩි වැඩි කරිමක් හා ඔවුනට සනීපාරක්ෂක පහසුකම් ඉල්ලා සිටීමක් දක්වා විතැන් වී තිබේx අනන්‍යතා දේශපාලනය වැදගත් නොවේ යැයි මින් අදහස් නොවේ. දෙමළාට දෙමළ වීම නිසාම ප‍්‍රශ්නයක් තිබේ. එය ප‍්‍රායෝගික සත්‍යයක් විනා තර්ක කරමින් සිටීමට තරම් වටිනා න්‍යායක් යැයි මම නොසිතමි. එහෙත් අත්‍යවශ්‍යවන්නේ ශ‍්‍රමය හා ප‍්‍රාග්ධනය අතර සාකච්ඡුාව තවදුරටත් පවත්වාගෙන යාමට උත්සාහ කිරීමයි. සමකාලීන දාර්ශනික සැලොවොයි සිසෙක් පවසන ලෙසට අද හෙට සමාජවාදී සමාජයක් ඇති වේ යැයි අපේක්‍ෂා නොකළ ද ඒ වෙනුවෙන් වන අදිටන සදහා අරගලයේ බෙදුම් රේඛා පවත්වා ගැනීම අනිවාර්යය කොන්දේසියකි.

ඒ අනුව මෑත කාලීනව කාන්තාව ශ‍්‍රමයට ඉතා වැඩි ලෙස දායක් වීමත් ශ‍්‍රමයේ ස්වරූපයන් දිගින් දිගටම වෙනස් අකාරයන් ගැනීමත් හා එම ශ‍්‍රම බලය ශ‍්‍රමය පිළිබදව වන සංවිධානාත්මක කතිකාවට ඇතුලත් කර ගැනීමට තවමත් අසමත්ව ඇති නිසාත් තාක්‍ෂණය මත පදනම් වූ නිදහස් ශ‍්‍රමය පිළිබඳ වන උදානය දසතින් මතුවනු පෙනේ. අසංවිධානාත්මක ශ‍්‍රමය නොහොත් නිදහස් ශ‍්‍රමය අපව සමාජයේ යහපත් තැනකට රැුගෙන යාවි යැයි සිතීම ධනවාදයේ ගොදුරක්ව පැවතීමට ඇති ඉඩ අඛන්ඩව නඩත්තු කිරීමකි. නිදහස විමුක්තිකාමී අර්ථයෙන් භුක්ති විදීමට අවැසි න්‍යායික අරගල මෙන්ම මහපාරේ අරගලයන් සදහාද සංවිධානාත්මක අර්ථයන් වඩා වඩා පුලූල් කිරීම සදහා වන කාලයක් අනාගතය ඉල්ලා සිටිනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.