17 November, 2018

Blog

ගමරාළලාගේ යහපාලනයද​? ගම්වැසියන්ගේ යහපාලනයද​?

තිලෝප –

පසුගිය අට වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත් කර ගැනීම මගින් ශ්‍රී ලාංකික ජනතාව අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවේ යයි සිතති. ඒකාධිපතිවාදී පවුල්වාදී රාජපක්ෂ පාලනයට තිත තැබීම සැබවින්ම ජග්‍රහණයක් වන නමුත් පවත්නා දේශපාලන සංස්කෘතිය වෙනස් කරන ලෙසට ගෙන යන අරගලය නවතා සිරිසේන ජනාධිපති ධුරයට පත් කිරීමෙන් පමණක් සතුටු වීමෙන් ශ්‍රී ලාංකික ජනතාව කරගනු ලබන්නේ ඉඟුරු දී මිරිස් ගැනීමක්ය.

මෛත්‍රීපාල ජනාධිපති ධුරයට තරග කරන්නේ යහපාලනයක් ගොඩනගන බවට හා පවත්නා දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා යන පොරොන්දු සමගය. යහපාලනය යනු කුමක්දැයි ඔහු එහිදී නිර්වචනය කරන්නේ හෝ එය කා සඳහා දැයි ප්‍රකාශ කරන්නේ නැත. මේ නිසා ජනතාව යහපාලනය සම්බන්ධයෙන් තම තමන්ට රිසි අර්ථකථන පිළිගනිති.

මෛත්‍රීපාල සිරිසේන යටතේ යහපාලනය බලාපොරොත්තු වන දෙදෙනෙකු බවට මේ වන විට ආචාර්ය මර්වින් සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ පත්ව සිටිති. මර්වින් සිල්වා ඉල්ලා සිටින්නේ ඔහුගේ පුතා ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. ඊට අමතරව බලවත් පුද්ගලයන් විසින් කළ ඝාතන දුෂණ පිළිබඳ තොරතුරු රැසක්ද යහපාලනයක් උදා කරගැනීමේ අරමුණින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙයි. වාස් ගුණවර්ධන භාර්යාව ද නොකියා කියා සිටින්නේ බලවත් පුද්ගලයන්ට එරෙහිව සිදු කළ පරීක්ෂණ හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා දඬුවම් විඳින බවයි.

Maithripala FBමෛත්‍රීපාල පොරොන්දු වූ යහපාලනය කුමක්දැයි විග්‍රහ කිරීමට මම අපොහොසත් වෙමි. මක් නිසාද යත් නීතියේ ආධිපත්‍ය සුරකින, ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම සහ සිද්ධාන්ත අනුව ක්‍රියාත්මක වන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් සීමා මායිම් තුළ වෘත්තීය භාවයකින් කටයුතු කරන, සමාජයක්  යහපාලනයක් ලෙස මම අදහස් කරන බැවිනි. ජනතා නැගීටීමක් නොමැතිව පාදඩකරණයට ලක් වූ සමාජයකින් යහපාලනයක් බලාපොරොත්තු විය හැකි යයි මම නොසිතමි.

මෛත්‍රී පාලනය ආරම්භ වී ගත වූ දින විස්ස තුළ සමාජ පාදඩකරණයේ දිගුවක් මිස ආපසු හැරීමක් තවමත් දක්නට නොමැත. නීතියේ ආධිපත්‍ය යහපාලනයක එක් පහන් ටැඹක් වේ. නීතියේ උත්තරීතර භාවය ගොඩනැගෙනුයේ එය ලියා ඇති පුස්තකයේ වටිනාකම මත නොව භාවිතයේ ඇති විශ්වසනීයත්වය, සාධාරණත්වය, විනිවිද සුළු භාවය, අපක්ෂපාතීත්වය වැනි ගුණාංග මතය. එබැවින් නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන් ජනතා ගෞරවයට පත්, විශ්වාසය දිනා ගත් අපක්ෂපාතී පුද්ගලයන් විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්ප්‍රදාය තීරණය කර ඇත්තේ වසර ගණනාවක් පුරා සිදුවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකාශන වලදී ලද අත්දැකීම පදනම් කොටගෙනය. මෙවැනි මුල ධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් සමාජ පාදඩකරණය තීව්‍ර කළ එක අවස්ථාවක් ලෙස මහින්ද රාජපක්ෂ පාලනය අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහ කර මොහාන් පීරිස් එම ධුරයට පත් කිරීම දැක්විය හැකිය.

දින විස්සක් ගත වී ඇතත් ජනාධිපතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් වූ අගවිනිසුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් තවමත් ඍජු පියවරක් ගැනීමට  මෛත්‍රී රනිල් හවුලට හැකියාව ලැබී නොමැත. පදවියේ ඉතිරිව ඇති අංශුමාත්‍ර ගෞරවය ගැන හෝ සලකා  ධුරයෙන් ඉල්ලා අස්වීමට තරම් නිහතමානි කමක් ද අන්තර් ජාතික ටොම්පචයෙක් ලෙස ප්‍රකට වූ අගවිනිසොරා ලෙස ජන මාධ්‍යයේ උපහාසයට ලක් වූ අවනීතික ලෙස ධුරයට පත් වූ බවට ඇතැම් නීතිවේදීන් පවා ප්‍රකාශ කරන මොහාන් පීරිස්ට නැත. මොහාන් පීරිස් වැනි පුද්ගලයන් ඉවත් කිරීම ප්‍රමාද වන විට විනාශ වනුයේ එම ධුරයන් පිළිබඳ ඇති විශ්වාසය සහ ගෞරවනීය භාවය පමණක් නොව යහ පාලනයක් උදා වේයැයි ජනතාව තුළ පවතින  විශ්වාසයයි.

ජනාධිපතිවරණය දා රාත්‍රී ජනතා මතයට පිටු පා බලය පවත්වා ගැනීමේ උත්සාහයක රාජපක්ෂ පාලනය යෙදුන බවට චෝදනාවක් වත්මන් විදේශ ඇමති මංගල සමරවීර ගොනු කර ඇතත් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ ඉබි ගමනින් වීම ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි ජනතාවට ප්‍රශ්නයක් වී ඇත. මෙවැනි දරුණු ගනයේ රාජද්‍රෝහී අපරාද චෝදනාවක් සම්බන්ධයෙන් මන්දගාමි වන පොලිසිය පසුගිය ආණ්ඩු සමයේ තමන්ට එරෙහි කොටස්වලට විරුධව නීතිය ක්‍රියාත්මක කිරීමට කඩිනම් වූ ආකාරය සරත් ෆොන්සේකා, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, ප්‍රසන්න සෝලංගආරච්චි ආදීන් සම්බන්ධයෙන් කටුයුතු කළ අන්දමෙන් පැහැදිලි වේ.

මෛත්‍රී ජනාධිපති වීමත් සමග පොලිස් වැටලීම් අංශ තැන තැන වැටලීම් සිදු කර රාජපක්ෂ පාලනයට සම්බන්ධ පිරිස් කළ දුෂණ හෙළි කිරීමේ මාධ්‍ය උත්සාහයක නිරත විය. එය කළ යුතු කාරියක් වුවත් එය සිදු කරන අන්දම ජනතා විශ්වාසය දිනා ගැනීමට නොව පලුදු කිරීමට දායක නොවන්නේද? අල්ලස් හා දුෂණ කොමිසම අකර්මණ්‍ය වී එහි සභාපතිවරයාටද අල්ලස් ගැනීමේ චෝදනා ඇති විටක මෙතෙක් කල් අඳ ගොළු බිහිරන් සේ සිටි පොලිසියේ ක්‍රියාකාරීත්වයද ප්‍රශ්නකාරීය. විධිමත් ක්‍රමවේදයක් නොමැතිව සිදු කරන මේ වැටලීම් සහ හෙළි කිරීම් වලින් වන්නේ සාක්ෂි විනාශ වීම, නීතිමය මාර්ගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය විනාශ කිරීම සහ අපරාධකරුවන්ට තොරතුරු විනාශ කිරීම සඳහා අනවශ්‍ය ලෙස රුකුල් දීම යයි කිව නොහැකිද? සැබෑ ලෙස අයථා ගනුදෙනු පිළිබඳ පරීක්ෂා කළ යුතු නම් සිදු විය යුතු වන්නේ සැකකටයුතු ස්ථාන සීල් තබා නිසි බලධාරීන් විසින් පරීක්ෂණ පවත්වා සාර්ථක ලෙස නඩු පවරා වැරදි කරුවන්ට දඬුවම් දෙන අවස්ථාවේ මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම නොවේද? නමුත් එවැනි උවමනාවක් නොමැති වර්තමාන පාලනය කරන්නේ පාලුගෙයි වළං බිඳ ජනතාව ගොනාට ඇන්දවීමක්ද?

1994 දී ජන රැල්ලෙන් බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය ද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දුෂණ සහ වංචා සම්බන්ධයෙන් කටයුතු කළේ මේ ආකාරයෙන් නොවේද? ඒ සමයේ චෝදනා එල්ල වූ ඇමතිවරු කී දෙනෙක් වර්තමාන මෛත්‍රී රනිල් හවුලේ සිටිත්ද? ඔවුන්ට එරෙහි චෝදනා ඔප්පු වීද? නොඑසේනම් නීතිය ඉදිරියට ඔවුන් පැමිණවීමට තිබු සාක්ෂි අතුරුදහන් වී ද නැතහොත් විනාශ කළේ ද? 1994 සිට 2015 තෙක් පැවති රජය යටතේ  අල්ලස් හා දුෂණ චෝදනා ලද පුද්ගලයන්ට එරෙහිව කළ පරීක්ෂණවලින් පසු කී දෙනෙකුට, දේශපාලන විරුද්ධවාදීන් හෝ වේවා, එරෙහිව සාර්ථක ලෙස නඩු පවරා රජයට නැතහොත් මහජනතාවට අහිමි වූ සම්පත් යළි ලබාගෙන තිබේද?

යහපාලනයක් සඳහා රාජ්‍ය ආයතන සඳහා විධිමත් ලෙස පත්වීම් සිදු කිරීමත් එම පත්වීම් වල පාරදෘශ්‍ය භාවය සුරැකීමත් අත්‍යවශ්‍ය සාධක යයි මා සිතන නමුත් මෛත්‍රීපාල පාලනය එසේ සිතන්නේයයි කිව නොහැක. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සඳහා මෛත්‍රී සොයුරු කුමාරසිංහ සිරිසේන පත් කිරීම ඊට හොඳම නිදසුනයි. ධුරයට පත් වූ පසු රාජ්‍ය ආයතන තම පුද්ගලික බූදලයක් ලෙසත් රාජ්‍ය නිලධාරීන් පුද්ගලික සේවකයන් ලෙසත් ශ්‍රී ලංකික පාලකයෝ සලකති. එහෙයින් තමන්ට රිසි පුද්ගලයන් තනතුරුවලට පත් කරති. රාජපක්ෂ පාලනය ඥාති සංග්‍රහයක යෙදෙමින් සහෝදර සමාගමක කටයුතු කළ අතර එය විවේචනය කරමින් ඊට එරෙහි ඡන්දය තමන්ට දෙන ලෙස ඉල්ලු පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල සිරිසේන ජාතියේ ආදායම් උල්පතක් වූ ටෙලිකොම් සභාපති පදවියට තම සහෝදර පල්ලෙවත්ත ගමරාළලාගේ කුමාරසිංහ සිරිසේන පත් කරන්නේ යහපාලනයක් සඳහා ඔහු ජාතියට අත්‍යාවශ්‍ය සම්පතක්ව තිබෙන හෙයින්ද?

එම පත්කිරීම සැලකීමට ගත් කල මහින්ද රාජපක්ෂ පත් කළ අගවිනිසුරු මොහාන් පීරිස්ගෙන් ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටීමේ සදාචාරාත්මක අයිතියක් මෛත්‍රීපාල සිරිසේනට තිබේද?  කෙසේවෙතත් දැන් ජනතාව කළ යුතුවන්නේ මෛත්‍රීගේ පදයට නැටීම නොව ජනතා පදයට ඔහු නැටවීමට උත්සාහ දැරීමයි.  යහපාලනය ගැන ඔහුගේ අර්ථකථන නොව ජනතා අර්ථකථනය ලබා දීමයි. ඒ අනුව ආචාර්ය මර්වින් සිල්වාට මෙන්ම වාස් ගුණවර්ධන භාර්යාවට ද සාධාරණය ඉටු විය යුතුය. එමෙන්ම වාස් ගුණවර්ධනගෙන් සහ මර්වින් සිල්වා ගෙන් බැට කෑ පුද්ගලයන්ට ද සාධාරණය ඉටු කෙරෙන සමාජයක් ගොඩ නැගීම යහපාලනය නොවේද?

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    මෙෙත්‍රිපාල සිරිසේන කියන්නෙ අවුරුදු 14ක් ශ්‍රිලනිප මහ-ලේඛම් සහ 1994 සිට ශ්‍රිලනිප රජයන් හී අැමතියෙක් ලෙස වරදාන ලබාගෙන සුර සැප විඳිමින් අති විශාල සහෝදර සමාගමක් හදා වඩාගත් කෙනෙක්. එ් මදිවට මෙෙත්‍රි ජනාධිපතිගෙ ප්‍රධාන උපදේශකයා වෙලා ඉන්නෙ අවුරුදු 11ක් ජනාධිපති වෙලාහිටිය නමුත් කොටියට විරුද්ධව යුද්ධ කරල එ්ව පැරදිලා ලයිට් කපල රට අඡූත කරල අාර්තිකය රින 1.3ට බස්සල අන්තිමේදි කොටියට අවුරුදු 10කට PTOMS (සුනාමි සහනමන්ඩල) දෙන්න වලිකාපු පරක්කු සහ චෞර චන්ද්‍රිකායි. මෙෙෙත්‍රිගෙ වෙන්ඩ විධායක අගමැති අර කඩා වැටුන අාර්තිකය ගොඩගන්න ජාතික කොඩිය අකුලල කොටින්ට රටෙන් 1/3ක් ලියවිල්ලකින් දිලත් සාකච්චා කඩාකප්පල් පාලනය අනාගත්ත රනිල්. ඊ ලඟට මෙෙත්‍රි ජනාධිපතිගෙ වහෙන් ඔරෝ උපදේශකයෝ වෙලා තියෙන්නෙ ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට දෙපාරක්ම භිෂණය පාත් කොරපු, ට්‍රන්ස්ෆෝමර් සහ බස් ගිනි තියපු, චිට් වලින් කඩ වස්සපු, අපි වගේ අපනයන කරුවන්ගෙ ෆැක්ටරි වස්සපු, තමන් සිහින මවපු විප්ලවයක් සඳහා පාසල් ලමයි පාරට බස්සපු, 87 පලාත් සභා චන්දෙදි චන්දෙ දාපු අයට වෙඩි තිබ්බ, අයිඩෙන්ටිකාඩ් මංකොල්ල කාපු, හොරුන්ට විපක්‍ෂ දේශපාලකයන්ට කැකිල්කෙ දඬුවම් දීපු ජවිපෙ දෙවනි පරම්පරාව. ඊලඟට දෙමළ මිනිස්සුන්ගෙ එකම නියෝජිතය කියපු මිනීමරු කොටින්ගෙ ප්‍රොක්සි ටීඑන්එ් කරයින්නුත් මෙෙත්‍රි ජනපතිගෙ උපදේශකයො වෙලා. අද මුන් ඔක්කොම මහින්දට හොරා හොරා හොරා කිය කිය පච කෙල කෙල තම තමන්ගෙ වෙන වෙනත් අභිමාර්ථ ඉෂ්ඨ කරගන්න එක හැලියකට බැහැල එ්ක කැඳහැලියක් කරගත්ත කල්ලියක්ගෙන් රටේ පාලනය වෙනස් කිරීමක් කවුරුහරි බලාපොරෙත්තු වෙනව නම් එ්ක මහ මිත්‍යාවක්. මුන් ඔක්කොම තමතමන් බලයට එන්න වාසි වෙන යහපාලනයක් ගෙනෙන්න නම් අත දෙකම උස්සයි. නැත්නම් වානා. බූරුවෙකුට උනත් තේරෙනවනෙ එ්කනෙ පරන ක්‍රමයටම ඊලඟ මැතිවරනෙ තියනව කියන්නෙ.

    මහින්ද රාජපක්‍ෂට 47.58%ක් චන්දෙ දුන්නෙ වසර 30ක් යුද්ධ කරල දිිනාගත් එ්කිය රට රැක ගන්නයි සංවර්ධනයටයි. තමන් කරන්න යන දේ පැහැදිලිව කියන්න බැරි මේ කැඳ හැලි අාණ්ඬුවට එ්කවත් පුලුවන් වේයිදැයි මට නම් සැකයි.

  • 1
    0

    කලම්බු පේජ් එක ප්‍රවෘතියකින් කියා අැත්තේ හිටපු ජනපති විසින් පත්කල 44 වන අගවිනිසුරුගේ පත්වීම නිත්‍යානුකූල නොවන බව සිරිසේන ජනපති විසින් ඔහුට ලිපියකින් දන්වා යැවූ බවයි. 43 වන අගවිනිසුරුවරිය දේශාභියෝගයකින් අයින් කිරීම සහ 44වන අගවිනිසුරු පත්කිරීම මහජන මතබේදයකට තුඩුදුන් පලියට අළුතින් පත්වූ ජනපතිගේ ලිපියකින් සිටින අගවිනිසුරුවරයා අයින් කිරීමේ බලයක් ඔහුට මවාගත හැකි නම් රටට පාර්ලිමේන්තුවක් අවශ්‍යද? ව්‍යවස්ථාවට දේශාභියෝග ප්‍රතිප්‍රදාන කුමටද? ලිපියකින්ම සියළු දේ කල හැක.

    චන්ද්‍රිකා-රනිල්-සිරිසේන රජය පත්වූ දා සිටම 44වන අගවිනිසුරුට ඉල්ලා අස්වන ලෙස එම රජයේ මැත්තන් සහ අැම්බැට්ටයන් විසින් නෙයෙකුත් බලපෑම් කල බව නොරහසකි. අගවිනිසුරු නිල නිවසට මැරයන් කිහිප දෙනෙක් (එකෙක් පලාත් සභා මංත්‍රි අසාත් සාලිය) කඩාවැදී අගවිනිසුරුවරයාට ඉල්ලා අස්වන ලෙසට තර්ජන කල බවට අගවිනිසුරුවරයා විසින්ම පොලිසියට පැමිනිල්ලක් කර අැති බවත් වාර්තා විය. සාලිගේ උත්තරය වි අැත්තේ ඔහු අගවිනිසුරුවරයාගේ මිතුරෙක් නිසා උපදෙස් දීමට ගිය බවයි. ඊට පෙර තානාපති තනතුරක් දෙන්නේ නම් අගවිනිසුරුවරයා ඉල්ලා අස්වන බවට එකඟ වූ බව රාජිත අැමතියා කී බව වාර්තා විය. දැන් ඉල්ලා අස්වීමේ ජවනිකාවේ අළුත්ම පොර වී අැත්තේ අගවිනිසුරු පැන්නිම වෙනුවෙන් පාරට බහින්නට සැරසි සිටින සෝභිත හිමිය. නමුත් 44වන අගවිනිසුරුගේ මාධ්‍ය ප්‍රකාෂකයෙක් පැහැදිලිවම කියා අැත්තේ අගවිනිසුරු ඉල්ලා අස් නොවන බවයි.

    එ් අතර කලම්බු පේජ් තවත් ප්‍රවෘතියකින් කියන්නේ දේශාභියෝග යෝජනාවකින් පසුව පාර්ලිමේන්තු කමිටුවක විභාගයකින් සහ පාර්ලිමේන්තුවේ 2/3 ක චන්දයෙන් ඉවත් කල 43 වන අගවිනිසුරුවරිය ජනපති/අගමැති ලිපියකින් ලද පත්වීමක් මත 44 අගවිනිසුරුවරයා සිටියදීම නැවත වැඩ බාර ගැනීමට සුපිරිම් උසාවියට සැපත් වූ වගයි. අහෝ ‘යහපාලනය’.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.