Colombo Telegraph

අලුතින් හිතමු

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

අප ජීවත්වන්නේ ලංකාවේ අරුම පුදුම යුගයකය. නිදහස ලබා හැත්තෑ වසරකට පසු, ලෝකයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතරින් අප එක්තරා ආකාරයකට පසුබෑමට ලක් වූ රටක් බවට පත්වී තිබේ. ඒ සඳහා බලපෑ හේතු විශාල සංඛ්‍යාවක් තිබුණද ප්‍රධානතම හේතුව ලෙස මට පෙනීයන්නේ නිදහසෙන් පසු අපට දිගින් දිගටම සිවිල් අරගලයන් කිහිපයකට මුහුණ දීමට සිදු වීමයි. එනම් දකුණේ සිංහල තරුණයින් අතර හටගත් සිවිල් අරගල දෙකක්ද, එසේම උතුරේ ද්‍රවිඩ තරුණයන් අතර අදටත් කතාවන, තිස් වසරක් දිග්ගැස්සී ගිය විශාල යුද්ධයක් බවට පත්වූ සිවිල් අරගලයකින්ද අප පීඩාවට පත්විය. මෙම තත්ත්වයන් අපේ ඉතිහාසය තුළ සිටම පැවත එයි. මෙරට ජීවත්වන ජන කණ්ඩායම් අතර විශාල වෙනස්කම් සහිතව එම වෙනස්කම් එකිනෙකා පිළිගනිමින් ජීවත්වීම වෙනුවට තව තවත් බෙදී වෙන්වී ජීවත්වීමට තිරණය කර ඇති නිසා මෙම අසාර්ථක වීමට විශාල වශයෙන් බලපෑමක් සිදුවී තිබේ. අපේ රටේ බොහෝ බුද්ධිමතුන් හා ඊනියා සිවිල් ප්‍රජාව මේ වෙනුවෙන් චෝදනා එල්ලකරනු ලබන්නේ මේ රටේ දේශපාලනය පන්තියටයි. නමුත් සැබෑවටම මේ රටේ ගැටලුව විශාල ප්‍රමාණයකට වගකිව යුත්තේ ලංකාවේ ඓතිහාසික සමාජ ක්‍රමයයි. නමුත් එකිනෙකා හා බෙදී වෙන්වී ජීවත් වීමට අවශ්‍යවන හේතු ඕනෑ තරම් අපේ සමාජය තුළත්, සංස්කෘතික වටපිටාව තුළත් තිබේ. දිවයිනක් ලෙස අප මුහුණදෙන සම්පත්වල සීමාන්තික බව නිසාම රාජ්‍ය දේපල කෙරෙහි අරගලයක් ගොඩනැගී තිබේ. සැබැවින්ම ශ්‍රී ලාංකික ජනතාව ආකල්පමය වශයෙන් මේ රටේ සීමිත සම්පත්වල අයිතීන්ගෙන් තමන්ගේ කොටස වෙන්කරගැනීම සඳහා දෛනික හා ඓතිහාසික අරගලයක නිරත වෙමින් තිබේ. එම නිසාම දේශපාලනඥයින්ගේ සිට වෘත්තියකින්, ව්‍යාපාරිකයින්ගේ සිට අන්ත දිළිඳු ජනතාව දක්වා සියලුම දෙනාම රාජ්‍ය සම්පත් වලින් තමන්ගේ කොටස වෙන්කර ගැනීමේ අරගලයක නිරත වෙමින් තිබේ. ඔවුන් සමාජ සුභසාධනවාදී රාජ්‍යයේ පැවැත්ම තව තවත් ශක්තිමත් කරමින් තිබේ. එය තවත් පුළුල්වෙමින් සම්පත් ජාතීන් අතර බෙදාගැනීමටද උත්සුක වෙමින් තිබේ.

මෙවැනි තත්ත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ විසින් යෝජනා කරනු ලබන ක්‍රමවේදය වඩාත් ශක්තිමත් ප්‍රගතිශීලී පියවරක් ලෙස මේ රටේ පාලක ස්ථරයේත්, බොහෝ ව්‍යාපාරිකයන්ගේත් සතුටට හේතු වී තිබේ. නමුත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට ලබාගත හැකිවූයේ කොහොමටත් ඔහු සතුව තිබූ ඡන්ද පදනමේ සමාජ සුභසාධනවාදී, ජාතිකවාදී ආණ්ඩුවක් මේ රටේ බිහි කිරීමට උත්සාහ කරනු ලබන, ඒ වෙනුවෙන් කැපවෙන ඡන්ද ස්තරයයි.

නමුත් යතාර්ථය වන්නේ තවදුරටත් මේ රටේ ආර්ථිකයට අනුව සමාජ සුභසාධනවාදී රාජ්‍යයක් පවත්වාගත නොහැකි අතර කෙසේ වුවත් ජාතිකවාදී රජයක් පහසුවෙන්ම පවත්වාගත හැකි බවයි. බෙදා වෙන්කර පාලනයකිරීම ඉතා පැරණි පාලන ක්‍රමයක් වුවත් ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකට තියුණු ශීලාචාර එකමුතු රාජ්‍යයකට වඩා බෙදා වෙන්කර පාලනය කිරීමේ ක්‍රමවේදය එක්තරා ප්‍රමාණයකට ගැලපේ. ඊට ප්‍රධාන හේතුව නම් අප ඓතිහාසික ලෙස සංස්කෘතික විවිධත්වයකින් යුතුව බෙදා වෙන් වූ සමාජයක් ලෙස ජීවත්වීමයි. රාජපක්ෂවරු විසින් ඉදිරිපත් කරනු ලබන මෙම ජාතිකවාදී මොඩලය බොහෝ අප්‍රිකානු රටවල ක්‍රියාත්මකකොට අසාර්ථකවී ඒ රටවල් වල පල්ලටම වැටුණි.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට ගිය හැකි උපරිම දුර ජනාධිපතිවරණ මැතිවරණයකි. මෙහිදී එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පසුගිය මහ මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දුන් බොහෝ දෙනෙකු මෙවර පොහොට්ටුවට ඡන්දය ලබාදුන් අතර එය එක්තරා ආකාරයක විරෝධතා ඡන්දයක්ද විය. එය මිලියන එකහමාරක් පමණ වෙතැයි මට සිතේ. එනම් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින වැඩපිළිවෙළ හා ක්‍රියාකලාපය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේද පවතින විරෝධය කියාපෑමක් වේ.

2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට එම පක්ෂ අභ්‍යන්තරයේ විශාල ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතු අතර ආණ්ඩුකරණයේදී ද විශාල වශයෙන් ආකල්පමය වෙනසක් විය යුතු බව මාගේ හැඟීමයි. විශේෂයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේදී මේ රටේ ජනතාවක් වෙසෙන බවත් එම ජනතාවට සංස්කෘතියක් හා ආකල්ප තිබෙන බවත් අප පිළිගත යුතු අතර ඒවාට ගැළපෙන පරිදි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුවේ. මන්දයත් ප්‍රමුඛම කාරණය වන්නේ බලය පවත්වා ගැනීමයි. බලය පවත්වාගතහොත් විනා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල නොහැකිවේ. බලය පවත්වාගැනීමෙන් ප්‍රතිසංස්කරණය කළ හැකිවිය යුතුය. එයට අනුගමනය කරන ක්‍රියාමාර්ග, රාජ්‍ය කටයුතු, ආණ්ඩුකරණ කටයුතු පවතින අතරම විධිමත් දේශපාලන වැඩපිළිවෙළක්ද පවත්වාගෙන යායුතු වේ. එමෙන්ම රජයේ පාලනයෙන් මිදී සිටි බොහෝ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු තුළට නව රජයේ ප්‍රතිපත්තිමය කරුණු මත පදනම් වූ පාලනයක් යොදාගත යුතු අතර රාජ්‍ය පාලනය බලවත් හා ශක්තිමත් ක්‍රියාවලියක් බවට පත්කළ යුතු වෙයි.

මේ මොහොතේ රට පුරා සිටින සියලුම දෙපාර්තමේන්තු හා අමාත්‍යංශවල නිලධාරීන්ගේ ශක්තිමත් බව නිසාම ඔවුන් විසින් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී දක්වනු ලබන අලස සහ අකාර්යක්ෂම බව වැළැක්වීම උදෙසා රාජ්‍ය සේවයට දේශපාලන අධිකාරියේ දැඩි මැදිහත්වීමක් අවශ්‍ය බව මාගේ අදහසයි. මන්දයත් දේශපාලන පක්ෂ විසින් ජනතාවගේ ජනවරම ලබාගත් පසු එය ක්‍රියාත්මක කිරීමේදී, ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී දේශපාලන අධිකාරියට විශාල බලයක් තිබේ. නමුත් මෙම ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය නිලධාරින්ට වඩා දුර්වල බව පෙන්නුම් කරන අතර බොහෝ තීන්දු තීරණ හා ප්‍රතිපත්තිමය තීන්දුව ගනු ලබන්නේ නිලධාරීන් විසිනි. එම නිසා මේ යුගයේදී රජයේ කටයුතුවල විශාල අවුලක් දැකිය හැකිය. එය පොහොර බෙදාහැරීමේ සිට ව්‍යවස්ථා සම්පාදනය දක්වාම එක සේ බලපානු ලබයි. එනම් දේශපාලන අධිකාරියේ මැදිහත් වීමකින් තොරව නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල විශාල අසාර්ථක බවක් පෙන්වනු ලැබේ. එනම් නිලධාරීන් මේ රජය ප්‍රතිපත්තිය සාර්ථක කරගැනීමට වගකියන්නේ නැත. ඔවුන් සිටිනුයේ දේශපාලන අධිකාරිය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීන්දුව ක්‍රියාත්මක කිරීමටය. නමුත් ප්‍රතිපත්ති තීන්දු ක්‍රියාත්මක කිරීම නිලධාරීන්ට පවරා ඇත්නම් එය කාට කියන්නද?

පසුගිය මැතිවරණයේ ප්‍රතිඵල වලට විශේෂයෙන්ම මෙම නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවයත්, ඔවුන්ගේ අන්තනෝමතික ක්‍රියා කලාපයත් බලපෑ බව අවිවාදයෙන් කිව යුතුය. මන්දයත් දේශපාලන අධිකාරියට මෙම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය කළමනාකරණය කර ගැනීමට හැකියාවක් නොලැබුණු බව මාගේ මාගේ විශ්වාසයයි. එසේම රට තුළ ස්වාභාවික විපත් එක පිට එක සිදුවූ ස්වරූපයත්, එම ස්වාභාවික විපත්වලින් හානියට පත් ජනතාවට සහන සැලසීමේදී රාජ්‍ය දැක්වූ මන්දගාමී බවත්, ආණ්ඩුවේ උවමනාවට වඩා නිලධාරීන්ගේ ආකාර්යක්ෂමතාවයත් මෙම මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ බව කිව හැකිය. එමෙන්ම පොහොර සැපයුම අඩාලවීම, විදුලි සැපයුම සම්බන්ධ ගැටලුවත්, ඉන්ධන සම්බන්ධ ගැටලුව හා අඛණ්ඩව සිදුවූ දූෂණ, උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර වලින් සමාජයට සිදුවූ බලපෑම කළමනාකරණය කරගැනීමට රජය දැක්වූ අසමත් බවද, පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑ බව තක්සේරු කළ හැකිය.

කෙසේ වුවත් මෙම ප්‍රතිඵලයද 2015 ජනවාරි 8 වැනිදා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ බලවේගය ලබාගත් ජනවරමට අනුව සමානය. 2020 මැතිවරණය දක්වා, මෙම වෙනස්කම් සිදුකර සාර්ථක ආණ්ඩුකරණයක් පවත්වාගෙන ගියහොත් එක්සත් ජාතික පක්ෂයට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ හැකි වන්නේය. ඒ සදහා කළහැකි දේශපාලනික වෙනස්කම් අනිවාර්යයෙන්ම රාජ්‍ය පාලනය තුළත්, පක්ෂය තුළත් සිදුකළ යුතු බව මාගේ පෞද්ගලික හැඟීමයි.

Back to Home page