27 September, 2020

Blog

දුෂ්ට මතවාද

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ආණ්ඩුවේ කටයුතු පිළිබඳව ජනතාව තුළ එක්තරා ආකාරයක විචිකිච්ඡාවක් ඇති වී තිබේ. ඒ සඳහා බලපානු ලබන ප්‍රධානම හේතුවක් ලෙස මා හට පෙනී යන්නේ මෙම ආණ්ඩුවේ කටයුතු වල ඇති විනිවිදභාවය හා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයයි. විශේෂයෙන් ආණ්ඩුවේ කටයුතුවල විශේෂ රහස් ස්වභාවයක් දැකිය නොහැකි අතර රට තුළ සිදුවන සියලුම කටයුතු මහජනතාවට හා ජනමාධ්‍ය වලට විවෘත වී තිබේ. එය එක අතකින් ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණු ලක්ෂණයක් වන අතරම තුන්වන ලෝකයේ රටක් වන අපගේ ජනතාවට එය එක්තරා ආකාරයක අලුත් අත්දැකීමක් වේ. විශේෂයෙන් පසුගිය වසර හැත්තෑවක කාලය තුළ මෙම වසර තුන තරම්ම ආණ්ඩුවේ කටයුතු වලට ජනතාවගේ මැදිහත් වීමක් හෝ විවේචනයන් ඉදිරිපත් වූ අවස්ථාවක් දැකිය නො හැකිය.

මෙම ආණ්ඩුව බලයට පත්වන්නේ එම ජනතාවට එවැනි තොරතුරු දැනගැනීමට ඇති අයිතිය ආදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා ලක්ෂණ, ආර්ථික ප්‍රතිසංස්කරණ  පොරොන්දු වෙමිනි. නමුත් මෙම කටයුතු සිදුකිරීමේදී ආණ්ඩුවේ මෙම ලක්ෂණය දුර්වලතාවක් ලෙස දැකීමට ද සමහරක් අය පුරුදු වී තිබේ. විශේෂයෙන් ආණ්ඩුවේ සියලුම කටයුතු සඳහා ජනතාවගේ මැදිහත් වීම ඉතා විශාල ලෙස ඉහල ගොස් ඇති අතර එය බදු ගැසීමේ සිට පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම දක්වාත්, සෞඛ්‍ය හා රෝගීන්ට වෙදකම් කිරීමේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය පරිපාලනය කිරීම දක්වාත් සියලුම ක්ෂේත්‍ර තුළ මුල සිට අගටත්, අගසිට මුලට ජනතාවගේ මැදිහත් වීමක් දැකිය හැකිය.

ආණ්ඩුවේ තොරතුරු දැනගැනීමේ පනත අද ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පරිපාලන ක්‍රමයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩත් මෙම මහජන මැදිහත් වීමට විශාල උපකාරයක් වී තිබේ. එය එක් අතකින් දියුණු ලක්ෂණයක් ලෙස පෙනුනද අනිත් අතින් ආණ්ඩුවේ වැඩකටයුතු වලට විශාල බාධාවක් වී තිබෙන බව ද මා හට පෙනී යයි. මෙම තත්ත්වය අවස්ථාවාදී දේශපාලන ව්‍යාපාර වලට හා පසුගිය රෙජීමය විසින් පරාජය නොකරන ලද කණ්ඩායම් නැවතත් එම දුෂ්ඨ මතවාදය ද සමග නැගී සිටීමට මෙම තත්ත්වය ඉවහල් වී තිබෙන බව මගේ නිරීක්ෂණයයි. ඒ කෙසේ නමුදු 2015 ජනවාරි 8 වෙනිදා මෙම ආණ්ඩුව මේ රටේ ජනතාවට පොරොන්දු වූ පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉටු කිරීමට ඇප කැප වී ඇති බව පෙනී යයි.

නමුත් ප්‍රශ්නය ඇත්තේ ආණ්ඩුව විසින් යෝජනා කරනු ලබන අලුත් ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව සෑම විටම ජනතාව සැක සහිතව බැලීමට පෙළඹවීමයි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ සියලු තොරතුරු ජනගත වීමට ඇති අපහසුවයි. විශේෂයෙන් සමාජ ක්‍රියාකාරීත්වයත්, ආණ්ඩුවේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වයත් මෙම සත්‍යයට හේතුවී ඇති බව මාගේ තක්සේරුවයි. මෙය කෙතරම් විපරීත තත්ත්වයක් දැයි කිවහොත් ආණ්ඩුව මගින් සියලුම දෑ නොමිලේ ලබාදිය යුතු යැයි ජනතාව අපේක්ෂා කරනු ලබන අතර අධ්‍යාපනය සෞඛ්‍ය හා අනිකුත් සියලුම පහසුකම් ඉහළ මට්ටමෙන් ජනතාව අපේක්ෂා කරන අතර අනෙක් අතින් ආණ්ඩුවේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ආණ්ඩුව විසින් යෝජනා කරනු ලබන ක්‍රමවේදයන්ට මාරාන්තික විරෝධයක් රට තුළ ඇති කොට තිබේ. රටේ ජනතාව හා විපක්ෂ කණ්ඩායම කල්පනා කරන ආකාරය තේරුම් ගැනීමට හොඳම උදාහරණය, ආණ්ඩුව රජයේ ආදායම ඉහළ දමාගැනීම සඳහා සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ සඳහා දක්වනු ලබන විරෝධය දක්වා සිටිය හැක. 

සැබවින්ම පසුගිය රෙජීමය විසින් මෙම ආණ්ඩුවට රට භාරදෙන විට ආණ්ඩුවේ ආදායම මුළු ජාතික ආදායමෙන් 11% තත්ත්වයේ තිබිණි. නමුත් ලංකාව වැනි මධ්‍යම ප්‍රමාණයේ ආර්ථිකයක් ඇති රටක රජයේ ආදායම රටේ මුළු ජාතික ආදායමෙන් සියයට 22% තත්වයේ තිබිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් නිර්දේශ නිකුත් කොට තිබිණි. එම තත්ත්වයන්ට ආණ්ඩුවකට එකඟ විය නොහැකි නම් එම මූල්‍ය ආයතන විසින් කිසිදු විටක මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනු නොලැබේ. මන්දයත් රජයේ ආදායම එතරම් අඩු තත්ත්වයක තිබියදී මුදල් නැවත ගෙවීමට ඇති හැකියාව ඉතාම අවම මට්ටමේ ඇති බැවින් කිසිදු මූල්‍ය ආයතනයක් ණය ලබාදෙනු නොලැබේ. එම නිසා මෙම ආණ්ඩුව බලයට පත් වූ විට තිබූ ප්‍රධානතම අභියෝගයක් වූයේ රජයේ ආදායම අවම වශයෙන් 18% මට්ටමටවත් පවත්වා ගත යුතු වීමයි. ආණ්ඩුව විසින් ඒ සඳහා බදු ක්‍රමය මාරු කිරීම සඳහා බදු පනතක් ඉදිරිපත් කළ අතර අපේ මුළු ආදායමෙන් සියයට අසූවකටත් වඩා ලබාගත් වක්‍ර බදු ක්‍රමය වෙනුවට ඍජු බදු ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙමගින් ආණ්ඩුව මූලික වශයෙන් අපේක්ෂා කරනු ලබන්නේ බදු ගෙවිය හැකි බදු ගෙවිය යුතු අයගෙන් බදු අයකොට දුප්පතුන්ගෙන් අයකරන බදු නවතා දැමීම හෝ අවම කිරීමයි. මන්දයත් වක්‍ර බදු මගින් හාල්, පොල්, සීනි, තේ කොළ හා කොත්තමල්ලි වැනි දෑට විශාල වශයෙන් බදු අය කොට එම බදු භාවිතා කරනු ලබන දුප්පතුන්ගෙන් එය අය කර ගැනීම ඉතාම අසාධාරණ ක්‍රමයකි. මෙම නිසා විශාල ආදායම් ලබන්නන්ගෙන් බදු අයකර ගනිමින් රජයේ ආදායම ඉහළ දමා ගැනීම ආණ්ඩුවේ අරමුණයි.

පසුගිය රෙජීමය විසින් සිදු කරන ලද්දේ විශාල වශයෙන් චීනයේ වාණිජ බැංකුවලින් ණය ලබාගෙන එම මුදල් රටේ ආර්ථිකයට එකතු කරගනිමින් රජයේ ආදායම ඉහළ දමාගැනීමට කිසිදු උත්සාහයක් නොගෙන රට පවත්වාගෙන යෑමයි. මෙම ආණ්ඩුව බලයට පත්වන විට එහි අවසානයකට පැමිණ තිබූ අතර තවදුරටත් ණය ලබාගත නොහැකි තත්ත්වයකට රට පත්වී තිබුණි. 

මේ අනුව කිව හැක්කේ එක අතකින් රජයේ ආදායම වැඩිකර ගැනීමට රජය දරන උත්සාහයට මාරාන්තික විරෝධයක් හා බාධාවන් සිදුකරන අතර අනිත් අතින් රජයේ සුභසාධන කටයුතු ඉහළ දමන ලෙස රජයට බලපෑම් කිරීමයි. මෙම දෙක අතර ඇති අන්තර් සම්බන්ධය තේරුම් ගැනීමට හෝ එහි ඇති යතාර්ථවාදී බව අවබෝධ කර ගැනීමට කිසිවෙකුටත් අවශ්‍යතාවයක් නැති බව පෙනීයයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    ආණ්ඩුවේ මත ගැන විචිකිච්චාවක්? විචිකිච්චාවක් නෙමෙයි මල පැනල ඉන්නේ මිනිස්සුන්ට.

    • 0
      0

      oba hari desapalakayo milliob 80/100 car gatta deemana wedi karagatta, gewl kulee ethulu siyallama nikan mahajana mudlin gannawa. janthawa duk windinawa, darsanayak hekiyawak ugathkamak neth palakayo rata winasa karanawa 225 denama elawa dama ugath tharuna daksayin path kara gmu mun naki wenneth netha nidahasin pasu pemini kalakannima anduwa

  • 0
    0

    oba hari desapalakayo million 80/100 car gatta deemana wedi karagatta, gewal kulee ethulu siyallama nikan mahajana mudlin gannawa. janthawa duk windinawa, darsanayak hekiyawak ugathkamak neth palakayo rata winasa karanawa 225 denama elawa dama ugath tharuna daksayin path kara gmu mun naki wenneth netha nidahasin pasu pemini kalakannima anduwa

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.