24 April, 2024

Blog

විහින් හුදෙකලා වීම

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

පසුගිය දින කොළඹ ජනාධිපති නිල නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පැවැත්වුණා. එම මධ්‍යම කාරක සභාව අවසානයේ එළියට එනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභිකයින්ගෙන් මාධ්‍යවේදීන් සිදුවූයේ කුමක්දැයි විමසුවා. එහිදී ඔවුන් සියලුම දෙනාගේ පාහේ උත්තරය වූයේ ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වීමට තීන්දුවක් ගත් බවයි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා කුමාරතුංග මැතිණිය පමණක් රථයේ වීදුරුව වසාගෙන පිටත් ව ගියා. මේ අනුව කිව හැක්කේ එම මධ්‍යම කාරක සභාව තුල, මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පිළත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පිළත් එකට එක්වීම සඳහා බරපතළ සාකච්ඡාවක නිරත වී ඇති බවයි. එහිදී ජනාධිපතිවරයා එම රැස්වීමේ මුලසුන හොබවන්නට ඇත. දේශපාලනයේදී සදාකාලික සතුරෝත්, සදාකාලික මිතුරෝත් නැති බව සැබෑවකි. නමුත් මේ රටේ හැටදෙලක්ෂයක් ජනතාව තම දිවි පරදුවට තබා රාජපක්ෂවරු දේශපාලනයෙන් අතුගා දැමීමට පාවිච්චි කරන ලද ජනවරම හිමි වර්තමාන ජනාධිපතිවරයා නැවත රාජපක්ෂවරු බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියට මුලසුන ගැනීම දෛවයේ සරදමකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක හැර වෙනත් කිසිවකු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, ජනාධිපති කිරීමේ සටනට උර දෙනු නොලැබීය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යනු එතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහමින් බුක්තිවිදිමින් සිටි, රාජ්‍ය බලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීම සඳහා, එක්සත් ජාතික පක්ෂය විසින් භාවිතා කරන ලද නායකයාය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමතයට පිටින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජනවාරි 8 බලවේගවලට නායකත්වය ලබාදී, එම බලවේගය විසින් රාජපක්ෂවරු ගෙදර යැවීම සඳහා (තෝරා ගන්නා ලද) තුරුම්පුවයි. ඒ අනුව ජනාධිපතිවරයා කුමන මට්ටමේ පුද්ගලයකු වුවද මාගේ පෞද්ගලික තක්සේරුව නම් බුදුන්වහන්සේගේ තත්ත්වයට දශමයක් පහල තත්ත්වයකට පත්වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය, ආදරය හා ප්‍රේමය දිනාගත නොහැකි වනු ඇති බවයි. ඒ සඳහා ජනාධිපතිවරයා සිහින දකින්න උත්සාහ කරන්නේ නම් එය තකතීරු කමකි. විශාල දේශපාලන වැරැද්දකි.

මේ මොහොතේ ජනාධිපතිවරයා වටා සිටින සියලුම දෙනාගේ ඉරණම ද එයයි. නමුත් ඔවුන්ට ජනාධිපතිවරයා හා යහපාලන ආණ්ඩුවට එරෙහිව යාමෙන්, එක රැයකින් විපක්ෂයේ කණ්ඩායම් අතර පැවැත්මක් සකසාගත හැකි වෙයි.  නමුත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එය එසේ නොවේ. ඔහු එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වුව ද, අග්‍රාමාත්‍යවරයා සමඟ මාරාන්තික සටන්කට එක්වූව ද, රාජපක්ෂවරුන්ට මල් පහන් තබා පුද පූජා කළ ද, මෙම ජන පදනම තුළ පැවැත්ම සකසා ගත නොහැක්කේය. ජනාධිපතිවරයාගේ ජන පදනම වී තිබුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ලැදි ජනතාවගේ ජන පදනමයි. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ වැරදි දේශපාලන ගණන් හැදීම මගින් එම ජන පදනම තුළ ඔහු හුදෙකලා වී හෝ කොන්වී තිබේ. එසේම සමහර කොටස් වල මාරාන්තික විරෝධයක් ජනාධිපතිවරයා කෙරෙහි තිබේ.

අග්‍රාමාත්‍යවරයා සෑමවිටම පාහේ ජනාධිපතිවරයාගේ කැමැත්ත හා ආශ්වාදය යහපාලන ආණ්ඩුව කෙරෙහි තබා ගැනීමට දැඩි උත්සහයක් ගනී. එසේ වුවද ජනාධිපතිවරයා කල්පනා කරනුයේ එක්සත් ජාතික පක්ෂයට එරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා හමුවේ, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව නගන අවලාද වලට යම්කිසි ආකාරයකින් අනුගත වෙමිනි. 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනතාව හමුවේ තැබුවේ ඔහු නිර්පාක්ෂික ජනාධිපතිවරයා කියාය. වර්තමානයේදී ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා හැටියට විශාල වගකීමක් පැවරී ඇති අතර ඔහු කටයුතු කරමින් සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාට හෝ ඒ ආසන්නයටය. එය එසේ කළ යුතු බවට ජනාධිපතිවරයා එදිරිව කොන්දේසි ගොඩනැගෙමින් තිබේ.

2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණය අවසන් වී දින කිහිපයක් තුළම ජනාධිපතිවරයා ගොඩවූයේ වැරදි බෝට්ටුවටය. තමන් අතහැර පැමිණි, එසේම තමන්ට ජනාධිපතිවරණයේදී ප්‍රබලතම සතුරා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ලබා ගැනීම එක්තරා ආකාරයකින් දෛවෝපගත සරදමකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගැනීමේ කිසිදු වරදක් නොදකින නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා එළිපිට කටයුතු කිරීමට උත්සාහ කිරීම (ජනාධිපතිවරයාගේ කණ්ඩායම) ලක්ෂ හැටදෙකක් වූ ජනතාව අතර ජනාධිපතිවරයා කෙරෙහි තරහක්, වෛරයක් ඇති කිරීමට හේතුවී තිබේ. දේශපාලඥයෙකු නම් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහුගේ පක්ෂය, ඔහුගේ පාක්ෂිකයන්ගෙන් හා ඔහු හැදුණු වැඩුණු ජන සමාජය තුළ ආශිර්වාදය තිබිය යුතුවේ. නැතිනම් විශාල ජන සමාජයක හුදෙකලා චරිතයක් බවට පත්වේ. ජනාධිපතිවරයෙකු එම ඉරණමට පත්වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.

ජනාධිපතිතුමා ඡන්ද පදනමක් නැති රාජ්‍ය නායකයා බවට පත්ව තිබේ. තමන්ට සැබෑ ලෙසම ආදරය කරන බිරිදක්, පවුලක් සිටියදී සතුරාගේ බිරිඳ සමඟ පවුල් කෑමට කල්පනා කරනු ලබන්නෙකුගේ තත්ත්වයට ජනාධිපතිතුමා ඇද වැටී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිතුමා පැවැත්මක් අපේක්ෂා කරන්නේ නම් එය මිරිඟුවකි. මන්දයත් ජනාධිපතිතුමා වටේ සිටින බොහෝ දෙනකු ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපතිතුමා පාවා දීමට පසුබට නොවේ.

අනෙක් අතින් එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා දීගෙන් ලැබුණු කෙංගෙඩියක් නැති අතර රටට ලැබුණු කෙංගෙඩියක්ද නැත. තුනෙන් දෙකක බලයක් තිබුණද එම බලය උපයෝගී කොටගෙන ජනවාරි 8 හෝ අගෝස්තු 17 වෙනිදා ජනවරම සාධාරණයක් ඉටු කිරීමට නොහැකි මට්ටමට ආණ්ඩුව පත්ව තිබේ යැයි මට සිතේ. එක්සත් ජාතික පාක්ෂිකයන්ට මේ මොහොතේදී මහින්ද රාජපක්ෂ හා රාජපක්ෂවරුන් සතුරන් වන්නේද, ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝද එතරම්ම සතුරන් වෙති. එම තත්ත්වය වහා වෙනස් කළ යුතු තත්ත්වයකි. ජනාධිපතිතුමා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේත්, එම දේශපාලකයින්ගේත් විශ්වාසය දිනාගැනීමට වහ වහා කටයුතු කළ යුතුය.

*ලේඛකයා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    President Sirisena even though he is the elected President still thinking he is The GS, has pushed the country to this unfortunate situation.

  • 0
    4

    අනේ හලෝ, ජනාධිපතිතුමාට දැන් වැඩක් නැහැ, රටටම එපා වෙච්ච UNP හොරුන්ව. තමන් එකතු වෙන්නේ කලින් ආණ්ඩුවටත් එහා ගියපු පට්ට හොරු රැලක් එක්ක කියලා දන්නවා නම් එතුමා කවදාවත් හංසයාගෙන් චන්දෙ ඉල්ලන්නෙත් නැතිවෙයි. හැබැයි, එතුමා දැන් ඔප්පු කරලා ඉවරයි, UNP එක එක්ක දීග කෑවට මොකොද, තමන්ගෙ හිත තියෙන්නේ රට ජාතියට ආදරේ කරන, දූෂණයට වංචාවට එරෙහි සාමාන්‍ය ජනතාව ළඟ කියලා. එහෙම කියලා නිකම් ඉන්නෙත් නැහැ, රටට ඔප්පු කරලා පෙන්වනවා, එකක් යුධ අධිකරණයට විරුද්ධ වීම, රණවිරුවන් වෙනුවෙන් බය නැතිව කතා කිරීම, නව සුබ සාධන වැඩ පිළිවෙලවල් සහ එතෙක් නොදීපු විශ්‍රාම වැටුප් ලබාදීම, අනික ICPPED ගේන එක නතර කිරීම, අනික බැඳුම්කර මගඩිය ගැන ජනාධිපති කොමිසමක් පත් කිරීම සහ එහි වැඩකටයුතු වලට ඇඟිලි නොගැසීම, අනික ෆෙඩරල් ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වෙයි කියලා රටම තැති ගැන්වෙලා හිටපු වෙලාවේ, සර්ව පාක්ෂික සමුළු තුනක් කැඳවනවා කියලා සිංහලයන්ගේ හිතේ පත්තු වෙච්ච ගින්න නිවීම.
    .
    2019/2020 වෙනකොට තේරෙයි ඉතිහාසය පුරාම වගේ එතකොටත් හුදකලා වෙලා ඉන්නේ එජාපය කියලා. ජනාධිපතිතුමා දැන් කෙලින්ම කිව්වනේ තනතුරු ඇතඇරලා දාලා දූෂිතයන්ට විරුද්ධව සටන් කරන්න ජනතාව අතරට එන්න ලෑස්තියි කියලා. අනික පක්ෂ භේදයක් නැතුව අද හැමෝම පිළිගන්න දෙයක් තමයි රට මේ තරමටවත් බේරිලා තියෙන්නේ ජනාධිපතිතුමා ඒ තනතුරේ ඉන්න නිසා කියන එක. රාජපක්ෂ කෙනෙක් ආයේ රට පාලනය කරන්නේ නැහැ. ඒ dynasty එක ඉවරයි. රනිල්ගේ ඉතිහාසය දිහා බලපුවහම පැහැදිලිවම පේන දෙයක් තමයි රනිල්ව control කරන්න හැම තිස්සෙම ඊට ඉහලින් දේශපාලන බලයක් තිබුන කියන එක. පැහැදිලිවම පේන විදියට චන්ද්‍රිකා එලවපු විදියටම රනිල්ට ආපහු වීසි වෙන්න තියෙන පාර දැනටම හැදිලා ඉවරයි. ඒකට වැඩිපුරම තල්ලුව දෙන්නේ පසුපෙළ මන්ත්‍රීවරු. හැබැයි ජනාධිපතිතුමා මම හිතැන්නේ නැහැ JOkersලත් එක්ක එකතු වෙයි කියලා. එකතු වෙන්න ඕනේ සමාන අදහස් තියෙන මිනිස්සු එක්ක.

    අර සීමානිර්ණය වාර්තාව පක්ෂග්‍රාහී සහ ජාතිවාදීයි. ඒ ගැන උනන්දු වෙන ජනතාවට, ඒ පළාත් නියෝජනය කරන මිනිස්සුන්ට, මහා සංඝ රත්නයට සහ දේශප්‍රේමී දේශපාලකයන්ට එහි තියෙන රටේ අනාගතයට අහිතකර සහ එමඟින් මැතිවරණ ප්‍රතිඵල සම්පූරනයෙන්ම වෙනස් වෙන්න තියෙන ඉඩකඩ ගැන කරුණු දක්වන්න ජනාධිපතිතුමා අවස්ථාවක් ලබා දෙනවා නම් හොඳයි, චන්දෙට ඉස්සෙල්ල.

  • 2
    0

    Jackal
    Opposition is another group of thieves, except a few, waiting for Mahinda Rajapakse’s return. Because, they have to protect many things such as their court cases, their stolen loots, their positions, nepotism, lack of employment. etc., Sri lankan politics is very corrupt. So, an honest guy would be thrown out in matter of days. Sri lanka, needs a visionary and a survivor. that is very hard to find within the existing lot.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.