26 April, 2024

Blog

ඥානසාර අත්අඩංගුවට ගනීද?

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

“මොන පිස්සුද?”

මින් එහාට අපට සිදු කරන්නට ඉතිරිව ඇත්තේ එක දෙයක් පමණි. එනම්, මේ “මොන පිස්සුද?” යන්න විග්‍රහ කරකර සිටීම පමණි. පුරවැසියන් ලෙස මේ පසුගාමී කොදෙව්වේ අප කෙතරම් අසරණද යන්නද ඉන් කදිමට ගම්‍ය වේ. ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ගැන ඇත්තටම අවබෝධයක් සහ හැඟීමක් ඇති දේශපාලන ශරීරයක් අප සමාජයේ බිහිවන තුරුත්, එවැනි දේශපාලන ක්‍රමයක් යටතේ පාලනය වීමට කැමැත්තත් බහුතර ජන මනස තුළ පහළ වන තුරුත් ඒ ප්‍රශ්නය එලෙසම පවතිනු ඇත. ජනවාරි 08 ආණ්ඩු පෙරළියෙන් බහුතර ඡන්දදායක පිරිස බලාපෙරොත්තු වූ පරිදි යහපාලන රාජ්‍ය තන්ත්‍රයක් උදා කර ගැනීමට වත්මන් ආණ්ඩුව අසමත් වීම ගැන තවදුරටත් කතා කිරීමෙහි ඵලයක් නැති බවට ඇතැම් අය නගන තර්කයෙහි යම් පදනමක් තිබෙන්නට හැකි වුවද, කලාතුරකින් උදා වෙන එවැනි හැරවුම්කාරකයක් අපතේ යැවීම ගැන පුරවැසියන් තුළ ඇති වන ඉච්ඡාභංගත්වය සුභ දේශපාලන අනාගතයක පෙර නිමිත්තක් නොවන බව නම් අවධාරණය විය යුතුය.

මෑත ඉතිහාසය තුළ වාර්ගික අන්තවාදයේ අසූචිමය ස්වරූපය ඉතාම පැහැදිලිව පෙන්නුම් කළ උදාහරණය වන ඥානසාර නම් මැර චීවරධාරියා කෙටි කලක් නිහඬව සිට නැවතත් හඬ අවදිකර තිබේ. ඥානසාර වැනි සිවුරුහොරුන් අපගේ දැඩි පිළිකුළට ලක් විය යුත්තේ මහින්ද රෙජීමයේ නිපැයුම් නිසා නොවේ. බහුතර සමාජ ශරීරයම විකෘති ව්‍යාධියක සිර කොට මානව හිතවාදය ප්‍රවර්ධනය කළ බුදුසමය රස්තියාදුකාරයන්ගේ, මිනීමරුවන්ගේ සහ පාතාලකාරයන්ගේ ගැලවිජ්ජාවක තත්ත්වයට ඇද දැමීම නිසාය. ඇත්තෙන්ම බැලුවහොත්, ඥානසාරලා කියන හැටියට බුද්ධාගමට කෙළවන්නට දමිළ, මුස්ලිම්, බටහිර හෝ වෙනත් ජන ප්‍රජාවන් අවශ්‍ය නැත. ඥානසාරලා, මඩකලපුවේ සුමනලා වැනි හොර සිවුරුකාරයෝ දැනටමත් ඒ කුමන්ත්‍රණකාරී කොන්ත්‍රාත්තුව ඉටු කරමින් සිටිති. කරුමය කියන්නේ එසේ කිරීම වෙනුවෙන් මේ තක්කඩින්ට විවිධ ප්‍රතිලාභ ලැබුණත් ඔවුන්ගේ ඇවිස්සීම්වලට හසු වී ජාතිවාදයේ ලෙඩුන් බවට පත් වන සිවිල් සමාජයේ වැසියන්ට කිසිම බිබික්කමක් නොලැබීමය. බුද්ධාගමට අනුව බැලුවහොත් ලැබෙනවා නම් ඔවුනට ලැබිය හැක්කේ කෙළෙස් පමණි.

පසුගිය දා ගින්තොට ප්‍රදේශයේ රිය අනතුරකින් පසුවි ඇති වූ සිද්ධිය ගැනද සඳහන් කරමින් ඥානසාර 21 වන දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඉතාම අහේතුකව ජාතිවාදය අවුස්සමින් කියා සිටියේ “කිසිවකු හෝ සිංහලයාව භීතියට පත්කරන්න පැමිණෙනවා නම් එය ඔවුන් කරගන්නා බරපතළ වරදක්‌ බව,” ය. එහෙත් ඥානසාරලාට ඇත්තටම නොතේරෙන කාරණය නම් සිංහලයා අහේතුකව බිය වැද්දීම නම් ඒ වරද වැඩිපුරම කරන්නේ අන් කවරෙකුවත් නොව තමාම බවය.  මෙම සිද්ධියම පදනම් කරගෙන ඇතැම් අන්තවාදී පිරිස් ජාතිවාදී තුවාලයක් බවට එය පත් කිරීමට උත්සාහ කිරීමත් සමග එවැන්නන්නට එරෙහිව දැඩි පියවර ගත යුතු බව අගමැතිවරයා කියා තිබුණි. එසේම, එය පාදක කර ගනිමින් සමාජ මාධ්‍ය ආශ්‍රිතව ජාතිවාදය පතුරුවා හරින අයට විරුද්ධව දැඩි නීති ක්‍රියාත්මක කරනට බවට පොලිස්පතිවරයාගේ අවධානයද යොමු වී තිබුණි. ඇත්තෙන්ම එය හොඳය. ජාතිවාදය යනු හැකි සෑම ආකාරයකින්ම මර්ධනය කළ යුතු ව්‍යසනයකි. එහෙත් ප්‍රශ්නය වන්නේ මෙයයි. පිස්සු බල්ලා නැවතත් සිවිල් සමාජය සපා කමින් දඩාවතේ ඇවිදින බවට ඉඟි පළ කරයි. එය ජාතිවාදයක් බවද හැම පැත්තෙන්ම පෙනී යයි. එහෙත් ඥානසාර අත්අඩංගුවට ගැනීමට ඔබට හැකිද?

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අධිපතිවාදී බුදුදහම යනු බුදුන් පවා පන්නා දමන ලද කපටි කුමන්ත්‍රණයකි. සිංහලයාගේ පැවැත්ම සඳහා හැම විටම භීතිකා ලෝකයක් පැවැතීම අවශ්‍ය බව වැඩි වශයෙන්ම පෙනී යන්නේ පශ්චාත්-යටත්විජිත සන්දර්භය සලකා බලන විටය. මේ පසුබිම තුළ, වත්මන් සමාජයේ ඕනෑම පාදඩ වැඩක් සාර්ථක කර ගැනීම වෙනුවෙන් චුට්ටක් හෝ බුද්ධාගම එකතු කිරීම දැන් ජනප්‍රිය වට්ටෝරුවකි. එසේ කළ විට අඩුම කරමින් “වැඩේ වැරදි වුණත්, බුදුන් එහෙම කරන්න උපදෙස් දී නොමැති වුණත්, බුද්ධාගම රැක ගැනීම වෙනුවෙන්,” යන සාධාරණීකරණය පහසුවෙන් ලැබෙන බව ඥනසාරලා වැනි මන්දබුද්ධික අන්තවාදියෝ හොඳින්ම දනිති.

දෙවියන්වහන්සේ විසින් තොප ශිෂ්ටාචාරවත් කිරීමේ වගකීම අපට පවරා ඇත්තේය යන ඊනියා සාධාරණීකරණය පෙරටු කරගෙන බටහිර ජාතීන් අප්‍රිකාවේ සහ ආසියාවේ සාරය සූරා කෑවේ යම් සේද, බුද්ධාගම බේරා ගැනීමට මේ මොහොතේ ඕනෑම නිහීන වැඩක් කිරීමට ඉන්නේ අප පමණි යන සටන් පාඨයට මුවා වී මේ අය බුදුසමයට සිදු කරන හානිය මේ සැදැහැති උපාසක ඇත්තන් කිසිදා තේරුම් නොගනු ඇත. මන්ද, බුද්ධාගම හරියට ඇදහීමට වඩා අල්ලපු ගෙදර එකාට හෝ එකීට උණ ගැනෙන්නට මැරෙන්නට මත්තෙන් දඹදිව සවාරියක් ගිහින් නිවනට ෂෝට් කට් කපා ගැනීම වැදගත් බව, නැතහොත් ජනප්‍රිය අර්ථයෙන් ‘ධාර්මික’ බව, ජනප්‍රිය සිංහල-බෞද්ධ ජන සමාජයට දැනටමත් ඒත්තු ගන්වා අවසන් හෙයිනි. එවන් සන්දර්භයක් තුළ ඥානසාර වැනි කැත මූලධර්මවාදියෙකු මර්ධනය කොට පොදු සමාජ යහපත තහවුරු කිරීම පහසු කටයුත්තක් නොවේ. ඥානසාර බුද්ධාගම වෙනුවෙන් විශාල සේවයක් කර ඇති බව වරක් කීවේ මහනායක හිමිවරයෙකුම නොවේද? අඳෝමැයි!

මේ කුණු දේශපාලනික ශරීරය කිසිදා සනීප කළ නොහැක. මේ නිසා මීට කළ හැකි හොඳම පිළියම වන්නේ රාජ්‍ය පාලනය ආගමික දෘෂ්ටිවාදවල බළල් අතක් බවට පත් නොකර, ස්වාධීන සහ බහුත්වවාදී පාලන තන්ත්‍රයකට මග පාදන අනාගමික, ලෞකික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් කැප වී කටයුතු කිරීමයි. එවන් පාලන ක්‍රමයක් තුළ ඇත්ත වශයෙන්ම ආගමික දිවි ගෙවීමට කැමති අයට වැඩිපුර නිදහසක් හා අවකාශයක්ද ලැබෙනු ඇති අතර ආගම එළියට පෙන්නාගෙන යටිකූට්ටු ව්‍යාපාර මෙහෙයවන හොරුන්ට ඇති ඉඩ අඩු වනු ඇත. එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක බිහි වීම බොහෝ චීවරධාරීන්ට දරා ගැනීමට අපහසු කාරණයක් වන්නේද එනිසාමය. මේ නිසා, රාජ්‍ය පාලනය පටු ආගමික දෘෂ්ටිවාදවලින් ගලවා ගැනීම පුරවැසිය නිදහසේ වැදගත් පූර්ව කොන්දේසියක් බව පොදු ජන සමාජයේ තවදුරටත් ව්‍යාප්ත විය යුතු අදහසකි.

එතෙක්, ඥානසාර වැනි රස්තියාදුකාර මැරයන්ගෙන් බුද්ධාගම බේරා ගැනීමට නොහැකි බව ඔවුන්ට අහු වෙන දායක සභාවලට මතක් කරනු කැමැත්තෙමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.