25 April, 2024

Blog

සීලාචාර මිනිස්සු ගෝත්‍රිකයින් කරමු, ගෝත්‍රිකයින් නායකයින් කරමු

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ජනවාරි 8 වැනිදා සිදුකළ දේශපාලන බල පෙරළියට මේ රටේ සිවිල් ප්‍රජාව ජනවාරි විප්ලවය යැයි කීවේය. එය එසේම විය යුතුව තිබිණි. 2014 වසර වනවිට ලාංකේය සමාජය සියවසේ අනතුරුදායකම වසරට පය තබා විනාශයේ අදුරු මාවතේ වේගයෙන් ගමන් කළේය. පාලක රාජපක්ෂ රෙජීමය තම පවුල් පාලනය වසර 70 ක් අඩුම තරමින් පවත්වාගෙන යන බවට එළිපිට ප්‍රකාශ කොට තිබිණි.

රටේ සියලුම සමාජ දේශපාලන හා පරිපාලන ආයතන රාජපක්ෂවරුන්ගේ යකඩ  සපත්තුවට යට වී තිබුණු අතර මිනිසුන් අතුරුදහන් වීම, නායකයින් මහ මග ඝාතනය වීම, ඉමක් කොනක් නොපෙනෙන රාජ්‍ය මුදල් හා දේපළ මංකොල්ලා කෑම, සිදුවූ අතර ජනතාවට තිබු ලොකුම තර්ජනය රාජ්‍යය විය. අවනීතිය රජ වී උතුරු කොරියාවේ මෙන් රජ පවුලක් ගොඩනැගෙමින් තිබුණි.

රටේ සියලුම මාධ්‍ය රජ පවුලට වන්දිබට්ට කම් කළ අතර රාජපක්ෂවරු වෙනුවෙන් ජාතිකවාදය පදනම් කරගත් දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය. මෙම ප්‍රචාරක හා දේශපාලන වැඩපිළිවෙල මගින් දෙමල, මුස්ලිම් හා කතෝලික ජනතාවගේ පැවැත්ම වීශාල අනතුරක වැටුණු බැවින් ඔවුන් දවසේ වැඩි කාලයක් බියෙන් සැකයෙන් ගත කළේය. එම ජනතාව දෙවන පෙළ පුරවැසියන් බව රාජ්‍ය අනුග්‍රහය ඇතිව පෙන්වා දුන් අතර එවැනි වැඩසටහන්වලට යාන වාහන, මුදල් හදල් හා රටේ නීතියේ මුක්තිය හා ආරක්ෂාව ලැබිණි.

2015 ජනවාරි  8 වැනිදාට පෙර යුගය ලංකා ඉතිහාසයේ අප ජාත්‍යන්තරව කොන් වූ හුදකලා වූ යුගයයි. අපගේ දීර්ඝ කාලීන වැදගත් මිතුරන් වූ එංගලන්තය, ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව වැනි රටවල් වෙනුවට අපි අලුත් මිතුරන් ගොඩ නගා ගත්තේය. දේශපාලන අර්බුධ වලින් ගහන වෙනිසියුලාව, සිරියාව, ලිබියාව, අප්‍රිකානු කළාපයේ ස්වාසීලන්තය සිම්බාබ්වේ වැනි රටවල්ය. සැබවින්ම ලංකාව ජාත්‍යන්තර රස්තියාදුකාරයින්ගේ කණ්ඩායමට වැටි තිබුණි.

රටේ සඝ සමාජයේ විනය බින්දුවට පිරිහුණු අතර මහ මග ගෝරි වල සිට පොලීසි, උසාවි දක්වා සෑම තැනම පැවිදි සමාජයේ මැදිහත්වීමක් තිබුණු අතරම, ග්‍රාමීය මට්ටමේ බලහත්කාරකම් වලට ආගමික සමාජයේ දැඩි සම්බන්ධයක්  තිබෙන තරමට රාජපක්ෂ රෙජීමය යටතේ ආගමික සමාජය පිරිහී තිබුනේය. රටේ ආර්ථිකය වේගයෙන් ඇද වැටෙමින් අනාගතයේ එතැයි අපේක්ෂිත සම්බාධක නිසාවෙන් විශාල වශයෙන් විදේශ මුදල් හොර පාරෙන් රටින් පිට කරමින් ආණ්ඩුවේ හා අයුතු ලෙස උපයා ගන්නා ලද පෞද්ගලික දේපලද රාජපක්ෂවරු විසින් රටින් පිටකළේය. ලංකාව ඉමක් කොනක් නොපෙනෙන අගාදයක ගිලෙමින් ඉන්දියානු සාගරයේ තවත් උතුරු කොරියාවක් බවට පත්වෙමින් තිබුණි.

මේ තත්ත්වය යටතේ රාජපක්ෂවරු පරාජය කිරීම අනිවාර්ය කොන්දේසියක් විය. රටේ දැනුම් තේරුම් ඇති සීලාචාර සියලුම බලවේග තමන් අතර තිබු නොගැලපීම තාවකාලිකව අමතක කොට එක පෙරමුණකට පැමිණ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමග එක් විය. රාජපක්ෂවරු පරාජය කොට ලංකාව විනාශයේ දොරටුවෙන් මෙපිටට කැන්දාගෙන ඒමේ අවශ්‍යතාවය ගැන මනා අවබෝධයක් තිබු එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොදු අපේක්ෂකයෙකුට ඉඩ විවර කර දෙමින්, මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව මෙහෙය විය. අවසානයේ නපුර පරාජය වී හොද දිනුවේය. පසුදා පුවත්පත් වල පොල්ගෙඩි අකුරින් පල වූයේ වහල් යුගය අවසන් වූ බවයි. එය වචනයේ පරිසමාප්තයෙන්ම වහල්, බයි, අන්ත දුෂිත යුගයක අවසානයයි.

නමුත් ඉන්පසු එළඹි යුගය අලුත් යහපාලන ආණ්ඩුවට එතරම් සුබදායි නොවුණු බව මාගේ හැගීමයි. රට පුරා පරාජය කරන ලද ආර්ථික වැඩපිළිවෙල නිසා ඇති වූ සමාජ ආර්ථික ප්‍රශ්නය, රටේ ග්‍රාමීය ආර්ථිකය සම්පුර්ණයෙන්ම පාහේ ජාවාරම්කරුවන් අතට පත්වී තිබුණි. ජාත්‍යන්තර සම්බාධක පැනවීමට මාර්තු 29 වනතුරු සමහර රටවල් ඇගිලි ගනිමින් සිටියේය. නිලධාරීන් 80% කටත් වඩා පරාජය කරන ලද රෙජීමයේ වාසි ලද අය බැවින් ඔවුන් මුල සිට කකුලෙන් අදින්නේය. ආණ්ඩුවේ බාගයකටත් වඩා රාජපක්ෂවරුන්ගේ හොල්මන්ය. මෙවැනි වාතාවරණයක් තුළ ජනවරම රැක ගනිමින් කටයුතු කිරීම ඉතාම අපහසු කටයුත්තකි. නිදහසින් පසු මෙතරම් අපහසු කාලයක් උදාවු කිසිදු පක්ෂයක් හෝ ආණ්ඩුවක් නොතිබුණ බව මාගේ හැගීමයි .

එමෙන්ම ජනවාරි 8 වැනිදා පරාජය කරන ලද ජාතිවාදී බලවේග පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු නැවත නැගිටිමින් තිබේ. පසුගිය සති දෙක තුළ රට පුරා ඇති වූ පහරදීම් වල පිටුපස පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ සම්බන්ධයක් ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම නුවර තෙල්දෙණියේ ඇතිවූ ගැටුම මුළුමනින්ම පෞද්ගලික ආරවුලක් දේශපාලන ක්‍රියාකාරීන් විසින් ජාතිවාදී අරගලයක් බවට පත් කරන ලද එකකි. එහිදී ඇති වූ ගැටුම් වලින් රුපියල් මිලියන සිය ගණනක දේපල හානි සිදු වූ බවට වාර්තා වේ. ආණ්ඩුව ඇතුලතින් සිදුවන ප්‍රහාර හමුවේ ආණ්ඩුව දුර්වල වන අතරතුරම යක්ෂයාගේ බලවේග රට තුල තම රාජකාරි කටයුතු අරඹා තිබේ. රටේ මුස්ලිම් දෙමල හා කතෝලික ජනතාව සම්පූර්ණයෙන්ම පාහේ මහත් බියකට පත්ව සිටින අතර සිංහල ජනතාව අතරද බහුතර සීලාචාර සමාජයක් බලාපොරොත්තුවුණ කණ්ඩායම් වල සිත් තුලද භීතියක් හටගෙන තිබේ.

ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම්වල තත්ත්වය කෙසේ වුවද සාමය හා ආරක්ෂාව ඇති කිරීමේ වගකීම අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවට තිබේ. සියලුම ජන කොටස් වල විශ්වාසය දිනාගත් දේශපාලන පක්ෂය ලෙස සමජයීය සහජීවනය උදෙසා ගෝත්‍රික බලවේග පරාජය කොට සියලුම ජනවර්ග වල ආරක්ෂාව තහවූරු කළ යුතු වෙයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    0

    President MS has embedded within the Agenda of the MR and now wants to be a pro-Sinhala president. Agenda setting is done by Mahinda at el in line with Pro Sinhala chauvenism. But the Mandate given to him was different.

    PM> Ranil is surrounded by his FRCS and Non of them including Ranil do not know how to engage in Politics

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.