14 December, 2018

Blog

නාමකරණයට ඇති බියෙන් ආණ්ඩුව අත්මිදිය යුත්තේ ඇයි?

සාරා දිසානායක

ආචාර්ය සාරා දිසානායක

මෑතකදී ඇති වූ අම්පාරේ ප්‍ර​හාරය, විටින් විට ඉස්මත්තට එන දූසමානය ආරංචියක් ඔස්සේ හටගත් තත්වයක් බව වාර්තාගතයි. ඒ කටකතාවල අගමුල සෙවීමට හෝ එකී සිද්ධි දාමය දිග හැරුණු පිළිවෙල ගැන සාකච්ඡාකිරීමට මෙහිදී නොයන අතර, මෙවැනි හිංසන ක්‍රියා අත්‍යන්තයෙන්ම හෙලාදැකිය යුතු බවත්, එම තත්වය ඇති කළ පිරිස්වලට එරෙහි පරීක්ෂණ කඩිනම් කොට වහාම ඔවුන්ව නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවත් කිව යුතුය.

එම ගැටුමට පසුව දා පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේ දී එම සිද්ධිය සාකච්ඡාවට ගැනුණු අතර, මුස්ලිම් සහ සිංහල ප‍්‍රජාව අතර උත්සන්න වෙමින් පවතින කලබලකාරී තත්වයත්, විශේෂයෙන් මේ ප‍්‍රහාරය දියත් වන අවස්ථාවේ දක්නට ලැබුණු පොලීසියේ අකර්මණ්‍ය භාවයත් ගැන ඇමති මණ්ඩලයේ අවධානය යොමු වුණි. රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, දයා ගමගේ සහ රිෂාඞ් බද්යුද්දීන් වැනි ඇමතිවරුන් මේ හිංසනය තදින් හෙලාදුටු අතර, ජාතිවාදී ප්‍ර​චණ්ඩත්වය ඇවිලවීම පසුපස සිටින වැරදිකාරයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. විපක්ෂ නායක ආර්. සම්බන්දන් වෙනම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍ර​හාරය හෙලාදුටු අතර, ජනාධිපතිවරයා ද රටේ සංහිඳියාවට මෙවැනි සිදුවීම් අනර්ථකාරී වන බව කියා තිබේ.

අවාසනාවකට මෙන්, මෙවැනි ප්‍ර​හාරයන් දැනට රටේ පවතින අන්තවාදී සහ ප්‍ර​චණ්ඩකාරී පුළුල් රටාවක කොටසක් වශයෙන් දකිනවා වෙනුවට, ඒවා සැහැසි ජනයාගේ හැසිරීම් විසින් ඇති කරනු ලබන හුදෙකලා සිදුවීම් වශයෙන් ගැනීමේ ප්‍රවණතාවක් දක්නට තිබේ. දේශපාලඥයනුත්, මාධ්‍යයත් මේවා හඳුන්වන්නේ, ඇතැම් ‘සිද්ධි’, ඇතැම් ‘ප්‍ර​හාර’, ඇතැම් ‘ගැටුම්’ සහ ‘උරණ වූ සැහැසි ජනයා’ විසින් ඇති කෙරෙන ‘කලබලකාරී තත්වයන්’ වශයෙනි. ඉතා සරළව සහ නොපැකිලව කියතොත්, පසුගිය දා අම්පාරේ හටගත් සිදුවීම, අන්තවාදීන් විසින් පාරට ගෙනා ‘වෛරය වැපිරීමේ අපරාධයක’ පැහැදිළි නිරූපණයකි. මේ මොහොතේ පවා, රජයේ නායකයන් සහ ඉහළ නිලධාරීන් මෙය ‘වෛරය වැපිරීමේ අපරාධයක්’ බව ප‍්‍රසිද්ධියේ සහ නොපැකිලව කීමට මැලි වන්නේ මන්ද යන්න පැහැදිලි නැත. දැඩි-දක්ෂිණාංශික අන්තවාදී තර්ජනයකට මේ අවස්ථාවේ ශ‍්‍රී ලංකාව මුහුණදෙමින් සිටින බව විවෘතව පිළිගැනීමට, අනේක විධ වාර්ගික සහ ආගමික කල්ලි විසින් ඇති කරනු ලබන තවත් කොපමණ මෙවැනි සිදුවීම් රජයකට අවශ්‍ය කරාවි ද? පවතින තත්වය, දැන්වත් එහි සැබෑ නාමයෙන් හැඳින්වීමට තරම් දිරියක් රජයට තිබිය යුතුය. මේ මොහොතේ, මෙකී සිද්ධියෙන් එහාට යමින් එහි අගමුල නිරීක්ෂණය කිරීමත්, ‘නාමකරණයේ දේශපාලනය’ විසින් ඇති කළ හැකි වඩාත් පුළුල් ආරක්ෂාව පිළිබඳ ගැටළු සැලකිල්ලට ගැනීමත් අනිවාර්ය කෙරේ.

ශ්‍රී ලංකාවේ දක්ෂිණාංශික අන්තවාදය

ප‍්‍රචණ්ඩකාරී කොටි ත‍්‍රස්තවාදීන් සමූල ඝාතනය කිරීමෙන් පසු, හැම පැත්තකින්ම නැග ආ දැඩි-ජාතිකවාදී වාගාලංකාර සහ දේශපාලනීකරණය වූ ආගම් විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ හිඩැස පුරවන ලදි. එහිදී මූලික වශයෙන්, සුළුතර ප‍්‍රජාවන්ට එරෙහි වාර්ගික-ආගමික ෆැසිස්ට් ක‍්‍රියාකාරීත්වයක් ඉස්මත්තට ආවේය. ඒ සමගම, සුළුතර කණ්ඩායම් තුළත් රැුඩිකල් අන්තවාදයක වැඞීමක් දැකිය හැකි විය. එක පැත්තකින්, දැඩි-ජාතිකවාදී සිංහල බෞද්ධ කණ්ඩායම් වෛරී භාෂණය පතුරුවමින් ඉස්මත්තට එන අතරේ අනිත් පැත්තෙන් දැඩි මතධාරී සලාෆි නිකායික කණ්ඩායම් මෙන්ම 2016 දී ප‍්‍රථම වරට ලංකාව තුළ හින්දු දක්ෂිණාංශික ‘සිව සේනා’ ද උපත ලැබීය.

මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරයන්ට සහාය දැක්වීම ගැන හිටපු රජය තවමත් විවේචනයට ලක්වෙයි. එහෙත් පවතින රජයත්, දැන් ඇති වෙමින් පවතින සිදුවීම්, ‘වෛරය වැපිරීමේ අපරාධ’ වශයෙන් කෙලින් නම් කිරීමට මැලි වන අතරේම, දක්ෂිණාංශික අන්තවාදය රාජ්‍ය ආරක්ෂාවට අනතුරක් බව පිළිගැනීමටත් පැකිලෙයි. සාමාන්‍යයෙන් ගත් විට, ඇති වු වාර්ගික ගැටුම් පිළිබඳ අද කතා කරන්නේ සුළුතර ප‍්‍රජාවන් නියෝජනය කරන දේශපාලඥයන් පමණි. දැනට පවතින ‘වෛරය වැපිරීමේ අපරාධය’ කෙලින් හෙලාදැකීමට ඉහළ ඇත්තෝ බිය වෙති. ඇති වී තිබෙන තත්වය පිළිබඳව මේ ලොකු ලොක්කන් යම් ප‍්‍රතිචාරයක් හෝ දක්වතොත් එය වැටෙන්නේ, පහත සඳහන් රාමු තුනෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් තුළට ය: (1) දියාරු ප‍්‍රකාශන (2) ප‍්‍රශ්නයට පිළිතුරක් වශයෙන්, වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නැයි කරන ඉල්ලීම් (3) මේ ප‍්‍රහාරයන්හි වරද විරුද්ධවාදී දේශපාලන බලවේග මත පැටවීම.. කෙසේ වෙතත්, (වාර්ගික හෝ ආගමික පසුබිම කුමක් වෙතත්) දක්ෂිණාංශික අන්තවාදය විසින් අවුලූවනු ලබන වෛරී අපරාධ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ සැබෑ ගැටළුවක් බව රාජ්‍ය මට්ටමින් පිළිගැනෙන තත්වයක් තවමත් දක්නට නැත. මේවාට සම්බන්ධ ඇතැම් පුද්ගලයන්ව ගිය වසරේ අත්අඩංගුවට ගැනීම ප‍්‍රශංසනීය වෙතත්, වඩාත් පුළුල් ප‍්‍රශ්නයට ආමන්ත‍්‍රණය කිරීමේදී එසේ අත්අඩංගුවට ගැනීම් පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැත.

අර්ථ විචාරය වැදගත් වන්නේ ඇයි?

ඒ ඒ දේවල් නම් කෙරෙන විවාදාත්මක දේශපාලනය, විශේෂයෙන් දේශපාලඥයන්ට, අගෝචර ය. භාෂාව සහ ශබ්දාර්ථ යනු, දෙපැත්ත කැපෙන අසිපතකි. සංවේදී ප‍්‍රශ්නවලදී සෘජු සහ නිවැරදි වචනවලින් ඒවා හැඳින්වීමට දේශපාලඥයෝ මැලි වෙති. මන්ද යත්, එසේ කිරීම තමන්ගේ දේශපාලනයේ අවාසියට හෝ විනාශයට හේතු වෙතැයි ඔවුන් සිතන බැවිනි. ඉහත සඳහන් වර්ගයේ ප‍්‍රහාර, ‘වෛරය වැපිරීමේ අපරාධ’ වශයෙන් දැක්වීමට දේශපාලඥයන් දක්වන දෙගිඩියාව මගින් කියාපාන්නේ, සැබෑ අනතුරට කෙලින් ආමන්ත‍්‍රණය කිරීමට, පවතින දේශපාලනය විසින් ඔවුන්ට ඉඩ නොදෙන බවයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ දැඩි-දක්ෂිණාංශික අන්තවාදය දේශපාලඥයන්ගේ අවධානයෙන් ලිස්සා ගොස් තිබේ. මන්ද යත්, එම අන්තවාදයට එරෙහි වීම, දකුණේ සිංහල බහුතරයට එරෙහිව යාමක් වශයෙන් අර්ථ දැක්වීමට ඉඩ ඇතැයි දේශපාලඥයන් බිය වීමයි.

එහෙත් ජාතික ආරක්ෂාව පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් එදෙස බලන විට, මෙවැනි සිදුවීම් අන්ත දක්ෂිණාංශික ‘වෛරය වැපිරීමේ අපරාධ’ වශයෙන් පැහැදිළිව වටහා ගනු නොලැබීම නිසා, අවාසනාවන්ත අනාගත ශක්‍යතා දෙකක් ඇති කැරැුවිය හැකිය: ඉන් පළමු වැන්න වන්නේ, පවතින අනතුර ගැන අවතක්සේරුවක සිටීමයි. දෙවැන්න වන්නේ, එම ප‍්‍රහාරයන් අරභයා වන ප‍්‍රති-පියවර ගැනීමේ නොහැකියාවකට පාලකයන් යට වීමයි.

සමාජ සංගතිය (ඒකාබද්ධතාව) ඇති කිරීමේ සහ ජාතිය ගොඩනැගීමේ මුල් අරටුවම, වෛරය වැපිරීමේ මෙවැනි අපරාධ මගින් දෙදරවාලිය හැකිය. එම තත්වය පිළියම් නැතිව ඉදිරියටම ගියොත්, ඒ මගින් ඇති කෙරෙන පිරිතිරිය හෙවත් පිටාර ගැලීම අතිශය කර්කශ වනු ඇත. මේ ප‍්‍රහාරයන් ඒවායේ සැබෑ ස්වරූපයෙන් තේරුම් ගැනීමට අසමත් වීම නිසා උවදුරේ තරම අවප‍්‍රමාණය කෙරෙන අතර, එහිම දිගුවක් වශයෙන්, රාජ්‍යයේ උදාසීනත්වයක් වශයෙන් එය අර්ථ ගැන්වීමේ ඉඩක් ද ඇති කරනු තිබේ. තර්ජනය ගණන් නොගෙන සිටීම, අනිත් අතට, සාමාන්‍ය ජනතාව කෙරෙහි ඇති කරන බලපෑමත් අති මහත් ය. මන්ද යත්, ඒ හේතුවෙන් මෙවැනි අන්තවාදී දෘෂ්ටිවාදයන් සාමාන්‍ය සහ ස්වාභාවික දෙයක් වශයෙන් පුරුද්දට යාමට ඉඩ ඇති බැවිනි. එය, ‘වෛරය වැපිරීමේ අපරාධ’ සංඛ්‍යාව තවත් වර්ධනය වීම සඳහා අවශ්‍ය සරු පස නිර්මාණය කරනු ඇත. ඒ අනුව, පැහැදිළිවම, රුදුරු අනාගත ප‍්‍රතිවිපාක පැටව් ගසන දුෂ්ට චක‍්‍රයක් බවට එය පරිවර්තනය වන්නේය.

ඒ අර්ථයෙන් ගත් විට, රටක ජාතික ආරක්ෂාව පිළිබඳ කතිකාව ගොඩනගා ගැනීමේ තීරණාත්මක භූමිකාවක් ශබ්දාර්ථ විද්‍යාවට හිමි වෙයි. රාජ්‍යයක ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රතිපත්තිය සැකසීමේ දී සහ නියාමනයේ දී, සකලවිධ වාර්ගික සහ ආගමික ගැටුම්, ‘වෛරී අපරාධ’ සහ ‘දක්ෂිණාංශික අන්තවාදය’ වශයෙන් හඳුනා ගැනීමට බිය වීමෙන් රාජ්‍යය අත්මිදිය යුතුය. පවතින අනුභූතික අර්බුදය කෙරෙහි නිසි අවධානය යොමු කිරීම ආණ්ඩුවට පැවරෙන පරම වගකීමකි. ඒ වගකීමට උරදිය යුත්තේ, ඇති වන සිදුවීම් (ප‍්‍රහාරයන්) ඒවායේ නිවැරදි නාමයෙන්ම ජනතාවට හඳුන්වා දීමෙනි.

රාජ්‍ය ක‍්‍රියාකාරිකයන් සිය විෂයයන් රටේ ආරක්ෂාව පිළිබඳ කාරණා බවට පත්කරලීමේ ක‍්‍රියාවලිය හෙවත් ‘රාජ්‍යාරක්ෂාකරණය’ සාර්ථකව සාක්ෂාත් කර ගත හැක්කේ, අනතුරේ වපසරිය පිළිබඳ දැනුවත් භාවය සහ එය ගෝචර කර ගැනීම සඳහා වන නිවැරදි භාෂාව පරිහරණය කිරීමට ඇති ධෛර්යයේ සම්මිශ‍්‍රණයකින් පමණක් වන අතර, ඒ සඳහා පුද්ගල න්‍යාය පත‍්‍ර සහ සිල්ලර දේශපාලනයට උඩින් ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛත්වය සලසන නිවැරදි මනෝ භාවයකින් යුත් ප‍්‍රතිපත්ති සම්පාදකයන් සිටිය යුතුය. එය ඉහළින්ම පටන් ගෙන, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුලූ රජයේ ලොකු ලොක්කන්, ප‍්‍රසිද්ධියේමත්, එකාවන්වත්, සකලවිධ ‘වෛරය වපුරන අපරාධ’, ඒවා මොන ජාතියෙන් සහ මොන ආගමෙන් ව්‍යුත්පන්න වෙතත්, හෙලාදැකිය යුතුය.

එක හැන්දක් පාවිච්චි කිරීම

දැඩි-දක්ෂිණාංශික අන්තවාදය, තනි වාර්ගිකත්වයකට හෝ තනි ආගමකට පමණක් ලඝු කළ නොහැක. සංහිඳියාවේ නාමයෙන් සුළුතර ප‍්‍රජාවන් හුරතල් කිරීමත්, ජාතිය ගොඩනැගීමේ කාර්යයට එක හා සමානවම අනතුරුදායක බව යළි මතක් කළ යුතුව තිබේ. වෛරය වැපිරීමේ අපරාධ පොදුවේ සිදුවන්නේ මහ ජාතියට අයත් පුද්ගලයන් වෙතින් වුවත්, සුළුතර ප‍්‍රජාවන් වෙනත් ජන කොටස් කෙරෙහි පසමිතුරු භාවය ඇති කිරීම සහ වෙනත් ජන කොටස්වලට අනතුරු කිරීමේ සිදුවීම් ගැනත් සොයා බැලිය යුතුව තිබේ. සුළුතර භාවය සහ ‘වින්දිත මානසිකත්වය’, අස්ථාවරත්වය සහ හිංසනය සඳහා අවභාවිත කිරීමට ඉඩ හල යුතු නැත. එබැවින් නීතියේ සමානත්වය ඉදිරියේ, සෑම සිදුවීමක් සම්බන්ධයෙන්ම එක සමාන ආකාරයකින් කටයුතු කිරීම රාජ්‍යයේ වගකීමයි. සුළුතර කණ්ඩායම් විසින් අවුළුවනු ලබන කලබලකාරී තත්වයන්, සුළුතරයේ නාමයෙන් ඉවසිය යුතු නැත. සැබෑ ප‍්‍රශ්නය තිබෙන්නේ, නීතිය වෙනස් ආකාරයන්ගෙන් ක‍්‍රියාවේ යෙදැවීමත්, දණ්ඩමුක්ති (දඬුවම් නොවිඳ වැරදි කිරීමට ඇති හැකියාවක් සහිත) සංස්කෘතියක් පවත්වා ගැනීමත් තුළ ය. ඒ සියල්ල, එක හැන්දක් පාවිච්චි නොකිරීමේ සහ දේශපාලනික අධිෂ්ඨානයක් නැති කමේ ඵල විපාකයකි. නැවතත් කිව යුත්තේ, ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ පුද්ගල න්‍යාය පත‍්‍රවලට ඉහළින් ජාතික ආරක්ෂාව සහ ජාතික සංහිඳියාව පැවතිය යුතු බව ය.

යක්ෂයාව එනමින් හැඳින්වීමට පස්ස ගැසීමෙන් යක්ෂයාව පලවා හැරිය නොහැක. ජාතිවාදීව හෝ ආගමිකව අවුස්සන ලද ඕනෑම ප‍්‍රහාරයක් ‘වෛරී අපරාධයක්’ වශයෙන් නම් කිරීම හරහා ආණ්ඩුව බලගැන්වීමෙන්, එම තර්ජනය මර්දනය කිරීම සඳහා වැඩිමනත් සම්පත් භාවිතයට ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙන්නේය. ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, ‘සංහිඳියාව සහ සහජීවනය සඳහා වන ජාතික ප‍්‍රතිපත්තියක්’ පසුගිය පෙබරවාරියේ දියත් කිරීමෙන් අනතුරුව, ඒ දෙඅංශය ප‍්‍රවර්ධනය කිරීම අරභයා නොවෙනස් ප‍්‍රතිපත්තියක් ඔස්සේ යමින් එම ව්‍යායාමය ශක්තිමත් කළ යුතුව පවතී. ප‍්‍රචණ්ඩකාරී අන්තවාදය, එම තර්ජනයේ සැබෑ ස්වරූපයෙන් හඳුනා ගැනීමට තරම් දේශපාලන අධිෂ්ඨානයක් නැතොත්, හුදෙක් ආණ්ඩු මාරුවකින් පමණක් එම අනතුර හීන වී යන්නේ නැත.

අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සෑම ආගමකම අයිතීන් පිළිගන්නා තත්වය තුළ, දෘෂ්ටිවාදීමය වශයෙන් උසිගන්වන හිංසනයෙන් රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමේ නෛතික වූත්, සදාචාරමය වූත් වගකීමකින් ආණ්ඩුව බැඳී සිටී. වෛරය වපුරන අපරාධ මැඩලීමට, පවතින නීති රාමුව ප‍්‍රමාණවත් ය. ඉන් කිහිපයක් පමණක් සඳහන් කරන්නේ නම්, අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15 (7) වගන්තියෙන් භාෂණයේ නිදහසට ඉහළින් ආගමික නිදහස ස්ථාපනය කොට තිබේ. තව ද, අපේ දණ්ඩනීති සංග‍්‍රහය තුළ, ආගමික හැඟීම් රිදවන හෝ වාර්ගික අසමගිය උසිගන්වන ඇතැම් භාෂනයන් තහනම් කොට තිබේ. ‘ත‍්‍රස්තවාදය මැඩලීමේ පනත’ තුළ, හිංසන ක‍්‍රියාවකට පිටුබලය දෙන හෝ ආගමික, වාර්ගික හෝ ප‍්‍රජා අසමගිය ඇති කරන ප‍්‍රකාශ කරන තැනැත්තෙකු වරදකරුවෙකු වන්නේය.

විවිධ වූ වාර්ගික සහ ආගමික කණ්ඩායම් වෙතින පැන නගින දැඩි-දක්ෂිණාංශික අන්තවාදයේ ගොරතර බව ඉදිරියේ අපේ ආණ්ඩුව ගානකට නැතිව සිටින තාක් කල් මේ තර්ජනය මැඩලීම අතිශය දුෂ්කර වන්නේය. දැනටමත් අන්තවාදී කල්ලි ගණනාවක් බිහි වී ඇති තත්වය තුළ, ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් වශයෙන් ගෙන වෛරී අපරාධ මැඩලීමට අසමත් වීම, අන්තවාදී දෘෂ්ටිවාද තවදුරටත් මුහුකුරා යාමටත්, ශී‍්‍ර ලංකාව තුළ ඔවුන්ගේ වාගාලංකාර කෙරෙහි සුජාත භාවය අත්කර ගැනීමටත් පිටුබලයක් වන්නේය. ආපදා හානිය පාලනය කර ගැනීමට කාලය මෙයයි. එසේ නොවුණොත්, විනාශකාරී බහිරවයා බෝතලයෙන් එළියට එනු ඇත.

*2018 මාර්තු 3 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Why The Government Needs To Overcome The Fear Of Labeling” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.