Colombo Telegraph

රජ ගෙදරින් මහ පාරට, එතැනින් හිඟ​මනට

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

ආණ්ඩුව අවුරුදු දෙකක් අවසන් වී තුන ආරම්භ වන 2017 වසරේදී ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල ඵලදරන්නට පටන්ගෙන තිබේ. මෙම ආර්ථික වැඩපිළිවෙල තුළ එක්සත් ජාතික පක්ෂය හා අගමැතිවරයාගේ නව ලිබරල්වාදී ආකල්ප වල නව මානයක් පෙන්වාදෙයි. එනම්, ශ්‍රී ලංකාවේ සාර්ථකම කර්මාන්ත ඇමතිවරයා හැටියට ඔහු විසින් ඉදිරිපත් කරන ලද නිදහස් ආයෝජන සංකල්පය වඩාත් පුළුල් දැක්මකින් හා නව මානයකින් රට පුරා සියලු පළාත් පදනම් කරගෙන ක්‍රියාත්මක වීමයි.

හම්බන්තොට වරායේත්, මත්තල ගුවන්තොටුපළේත් ආර්ථික උපයෝගීතාවය මෙරට ආර්ථිකයට එක්කර ගැනීමට ඔහු විසින් ආර්ථික ක්‍රමෝපායක් රටට ඉදිරිපත් කර තිබේ. නමුත් මා සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ මෙම වැඩපිළිවෙල සදහා රටේ ඒකාබද්ධ විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත්, පෙරටුගාමී පක්ෂයේත්, විරෝධයේ පදනමයි.

අප කවුරුත් දන්නා පරිදි කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භකළ අවස්ථාවේදී අධික පරිසර දූෂණය, කදු ගිලා බැසීම්, ජන ශුන්‍ය වීම්, නිවාස අහිමි වීම් වැනි බිල්ලන් මවමින් ජනතාව නොමග යැවූ මෙම බලවේගම ඇගළුම් ශාලා 200 වැඩ පිළිවෙල, නිදහස් වෙළද කළාප වැනි ආර්ථික ව්‍යාපෘති වලටද අපහාස උපහාස සිදු කළේය. නමුත් එම බලවේග වැරදි බව ඉතිහාසය මගින් ඔප්පුකර තිබේ.

අපි කවුරුත් දන්නා පරිදි ජනතා විමුක්ති පෙරමුණ රූපවාහිනී සාකච්ඡා තුළ, ප්‍රසිද්ධ වේදිකා තුළ අඩි පොළොවේ හප්පමින්, තර්ජනය කරමින් යෝජනා කර සිටියේ නිෂ්පාදන කර්මාන්ත ආර්ථිකයක් ගොඩ නගන ලෙසයි. එසේම ඔවුන් බලය ඉල්ලුවේද එවැන්නක් ගොඩනැගීමටයි. නමුත් වර්තමාන රජය එවැනි වැඩපිළිවෙලක් ආරම්භකර ක්‍රියාත්මක කරද්දී ඒ සදහා මාරාන්තික විරෝධයක් දක්වයි. මාගේ පෞද්ගලික තක්සේරුව නම් මේ රටට හා සමාජයට ආදරය නොකරන සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රශ්න තුළින් තම මල්ල සරිකරගන්නා දේශපාලන තීරුව වන්නේ, ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන් ශ්‍රී ලාංකික දේශපාලනය තුළ ඇති සියලුම ජනප්‍රිය මාතෘකා වලදී, ජනප්‍රිය සිදුවීම්වලදී කොන්දේසි විරහිතව ජනප්‍රිය පැත්තේ සිටගනී. ජනතා විමුක්ති පෙරමුණ යනු බණ පමණක් ඇති දානය නැති මල විකාරයකි.

මෙරට මාධ්‍ය ආයතනද රට අද පත්ව ඇති තත්ත්වයට විශාල වශයෙන් වගකිව යුතු වේ. මෑතදී මෙරට ප්‍රධාන පෙළේ බුද්ධිමත්, ජනමාධ්‍ය සමග හිතවත් ඇමතිවරයෙකු මා සමග ප්‍රකාශ කර සිටියේ මෙරට වෘත්තීය කණ්ඩායම් අතර ආචාරධර්ම නැති වෘත්තිකයින් වන්නේ ජනමාධ්‍යවේදීන් බවයි. පසුගිය කාලයේ මෙරට ප්‍රධාන පෞද්ගලික නාලිකාවක් ආණ්ඩුවටත්, එක්සත් ජාතික පක්ෂයටත් අගමැතිවරයාටත් සැලසුම් සහගතව තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කළේය. එම මුළු ප්‍රහාරය තුළම විද්‍යමාන වූයේ එම ආයතන හිමිකරුවන්ගේ පෞද්ගලික හා ව්‍යාපාරික අභිලාෂයන්ය. එම අභිලාෂයන් යහපාලන ආණ්ඩුවට කිසි දිනක ඉටුකළ හැකි ඒවාද නොවේ. මන්ද මෙම ආණ්ඩුව බලයට පත් වූයේ සමාජ සාධාරණත්වය, නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හා ආර්ථික දියුණුව මෙරට ජනතාවට පොරොන්දු වෙමිනි. එබැවින් පෞද්ගලික මාධ්‍ය හිමිකරුවන්ගේ දොළදුක් කරදර වලට කරගැසීමට මෙම ආණ්ඩුවට ජනවරමක් නැත. අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට කටයුතු කළ හැක්කේ ලක්ෂ හැට දෙකක ජනවරමට අනුවය. මාධ්‍ය ආයතන එම කටයුතු වලට බාධා කරන්නේ නම් රටේ පවතින නීතියත්, දේශපාලන බලයත් පාවිච්චි කොට ආචාරධර්ම වලට ගරු කරන මාධ්‍ය සමාජයක් ගොඩ නැගිය යුතුය.

එසේම හම්බන්තොටදී නාමල් රාජපක්ෂ හා ඩලස් අලහප්පෙරුම වැන්වුන් විසින් සිදු කිරීමට උත්සහ කළ කඩාකප්පල්කාරී ක්‍රියාවෙන් ඔප්පු වන්නේ ඔවුන් තවමත් 2015 ජනවාරි 8 වෙනිදාට පෙර සිටි උන්මාද තත්ත්වයෙන් හිරි වැටී සිටින බවයි. නියත පරාජයක් ඇතිවන බව දැන දැනම තුනෙන් දෙකක ආණ්ඩුවක ප්‍රධාන වැඩපිළිවලවල් කඩාකප්පල් කිරීමට මිනිසුන් 500 කට හැකියැයි සිතීම පිස්සුවකි.

රජ ගෙදරින් මහ පාරටද, එතැනින් හිඟමනටද වැටීම කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද ?

 

Back to Home page