20 September, 2017

කුවේණියගේ ශාපයෙන් ගොඩ ඒමට දගලන ජාතිකවාදී පිරිමි

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

සිංහල ජාතිකවාදීන් හා ඒ මත යැපෙමින් බඩගෝස්තරය සාදාගන්නා ජාතිකවාදී සංවිධාන රටේ කුමක් හෝ කලබලයක් ඇති කිරීමට උත්සහ කරමින් සිටී. ලෝකයේ සියලුම පැරණි රාජ්‍යයන් තුළ ජාතිකවාදයට එක්තරා ආකාරයක ඉඩකඩක් විවරව පවතී. ශීලාචාර රාජ්‍යයන් විවිධ නීති හා සම්ප්‍රදායන් ගෙන ඒමෙන් ජාතිකවාදය මත බිහිවිය හැකි අන්ත මූලධර්මවාදී පීඩනයන් සමාජය මත පතිත වීම වළක්වා තිබේ. ලංකාවේ ව්‍යවස්ථාව තුළත් අනෙකුත් භාවිතාවන නීතීන් තුළත් ජාතිය, ආගම, කුලය හා අනෙකුත් වෙනස්කම් මත පදනම් වූ අසංතුලිතතාවය වර්ධනය වන ආකාරයට කටයුතු කිරීමට එරෙහි නීතී රීති තිබේ. එසේ තිබුණද අළුයට ගිණි පුපුර මෙන් ජාතිකවාදී බලවේග ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළත්, සමාජය තුළත් විටින් විට පැන නගී. මීට දශක ගණනාවකට පෙර ජාතිකවාදී ව්‍යාපාරයේ නායකයින් වූයේ ආචාර්යවරු, මහාචාර්යවරු, ප්‍රභූ පන්තියේ දේශපාලන නායකයින්, උගත් භික්ෂූන්වහන්සේලා, කතෝලික පූජකවරු හා මුස්ලිම් පූජකවරුන්ය. මන්ද එදා සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතීන් තුන තුළම ජාතිකවාදයට ඉඩකඩක් තිබුණි. එය දේශපාලනික හා ආර්ථික ජයග්‍රහණ උදෙසා මූලෝපායික න්‍යායක් ලෙස සැමදාම භාවිතා කෙරුණි. නමුත් අද ජාතිකවාදී ව්‍යාපාරයේ තත්ත්වය එදාට වඩා හාත්පසින්ම වෙනස් වේ. අද මාධ්‍ය වලින් අපි දකින රටේ ක්‍රියාකාරී ජාතිකවාදී ව්‍යාපාරයේ නායකයින් ( සියලුම වර්ගයේ) 80% කටත් වඩා ලුම්පන්වරුය. ඔවුන් අතාර්කිකය, කලහාකාරීය, මුදලට ගිජුය, ප්‍රසිද්ධියට මහත් ගිජුය. එසේම ජාතිකවාදී ව්‍යාපාරික ක්‍රියාකාරිකයෙකු සදහා තිබිය යුතු විනයක් ඔවුන් සතුව නැත. මෙවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරනු ලබන තර්ක අතර එක් ප්‍රධාන තර්කයක් පිළිබද සාකච්ඡා කිරීමට කැමැත්තෙමි.

සිංහල ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියට ආකර්ෂණය වූ බොහෝ දේශපාලන ක්‍රියාකාරීන් හා එම මතයට සමපාත වන්නන් තුළ ඔවුන් ඉදිරිපත් කරනු ලබන තර්ක අතර ප්‍රධාන තර්කයක් වනුයේ සිංහල ජාතිකත්වය පිළිබද මහා වංශයේ සදහන් කරනු ලබන කතන්දරය අමු බොරුවක් බවයි. සිංහල ජාතිකවාදීන්ට මහා වංශය, නයාට අදු කොළ වාගේය.

මන්දයත් හින්දු ජනප්‍රවාදවල පැවත එන රාම රාවණා කතන්දරය සිංහල ජාතිකවාදීන් තුළ මහත් ආශ්වාදයක් ගෙන එයි. එනම් දඩු මොණරයෙන් ගමන් යන ඉන්දියාවට එරෙහිව සටන් කළ ප්‍රේමවෘත්තයක්ද සහිත රාවණා ප්‍රවාදය ජාතිකවාදීන් උත්කර්ෂයට පත්කරන්නක් වේ. කොටින්ම අද බයිසිකල් වින්කලයක්වත් ගොඩනගා ගත නොහැකි ජාතිකවාදියෙකුට රාවණාගේ දඩු මොණරය ගැන කීමෙන් පහසුවෙන් පොරක් විය හැක.

නමුත් මහා වංශය සිංහල ජාතිකත්වය ආරම්භය පිළිබද ඉදිරිපත් කරනු ලබන විජය, කුවේණි කතන්දරය මෙන්ම සිංහයෙකු හා රමණයෙන් බිහිවන විජය පෙළපත පිළිබද කතන්දරය ප්‍රතික්ෂේප කරන අතර, එය මහා වංශයේ ලියා තිබුණද ජාතිකවාදීන් ඉවෙන් මෙන් එහි ඇති අපකීර්තිය හදුනාගෙන තිබේ.

ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ප්‍රමුඛ ඔහුගේ පිරිවර ශ්‍රී ලංකාවට ගොඩබසිනුයේ මල්වතු ගගට උතුරින් විල්පත්තු ඝණ වනාන්තරය මැද අදද දැකිය හැකි තම්බපණ්නිය නම් වූ ස්ථානයටයි. (එහිදී කුවේණිය යක්ෂ ගෝත්‍රිකයෙකු බව මහා වංශයේ කියයි.) කුවේණිය කපු කටිමින් සිටී. වසර 2500 කට පෙර ලංකාවේ මුල් ජනපදිකයින් කපු කටිමින් සිටියේ නම් ඔවුන් සංස්කෘතික ජාතියකි. එනම් ඔවුන් ඇදුම් ඇද නිරුවත වසාගෙන සිට තිබේ. එසේම ඔවුන් යක්ෂ ගෝත්‍රිකයින් ලෙස සිංහල මහා වංශ කතුවරයා කියනුයේ ඔවුන් මල්වතු ගගට උතුරින් ජීවත් වූ අය නිසා කිව හැකිය. එසේම විජය කුමාරයා පැමිණෙන විට ඔහු හා සන්නිවේදනය කිරීමට කුවේණිය සතුව ඉන්දියානු භාෂාවක් තිබී ඇත. එය විජය කුමාරයාත් භාවිතා කරන භාෂාවක් විය යුතුය. මාගේ තක්සේරුව නම් එය බොහෝ විට පාලි හෝ ද්‍රවිඩ හෝ සංස්කෘත යන භාෂා තුනෙන් එකක් විය හැකිය. එසේනම් ඉන්දියානු විජය ලංකාවට පැමිණීමට පෙර දකුණු ඉන්දියානු සංස්කෘතිය සහිත මිනිසුන් මෙහි වාසය කර තිබේ.

සිංහයාගෙන් පැවත එන යැයි කියන විජය හොදින් ඇද ඉන්දියානු භාෂාවක් කතා කරනු ලබන සංස්කෘතික ගැහැණියක් වූ කුවේණිය රවටාගෙන හෝ පැහැරගෙන ( මා විශ්වාස කිරීමට කැමැත්තේ රවටාගෙන යනුවෙනි ) මල්වතු ගගෙන් දකුණේ තැනිතලා ප්‍රදේශයට පලා ගියේය. එය අප අද විශ්වාස කරනු ලබන මහා වංශයේ ප්‍රකාශ කරනු ලබන සිංහල ජාතියේ ආරම්භයයි. එනම් සංස්කෘතික ගැහැණියක් වූ කුවේණිය උතුරු ඉන්දියානු පිටුවහලෙකු වූ විජය විසින් පැහැරගෙන විත් ආරම්භකරනු ලබන නව රාජ්‍යයයි. එය ආරම්භකරනු ලැබුවේ මල්වතු ගගෙන් දකුණේ අද අපි අනුරාධපුරය යැයි කියනු ලබන ප්‍රදේශයේය.

නමුත් ජාතියේ අපකීර්තිය ඇත්තේ යක්ෂ ගෝත්‍රිකයින් ( රෙදි අදින ) විසින් මරා දැමීමට නියමිතව සිටි විජයට ජීවිතය දුන්, තම ප්‍රේමය පුද කළ කුවේණිය පාවා දී නැවත එලවා දැමු මහා පිරිමියෙක් යැයි සිංහල ජාතිකත්වය ඇතිවීම පිළිබද කතන්දරය පිළිගැනීමට ජාතිකවාදීන්ගේ ඇති මැලි බවයි. එම නිසාම ලිඛිතව ලියා ඇති මහා වංශයට වඩා ප්‍රවාදයක් වූ රාවණා කතාව විශ්වාස කිරීමට ජාතිකවාදී නායකයින් හා එම ජනතාව අතර දැඩි ගිජුකමක් ඇත. එනම් තමන්ට ප්‍රේමය හා ජීවිතය පුද කළ ගැහැණියක් පාවා දී අවසනාවන්ත ඉරණමකට ලක්කළ පිරිමියෙකුගෙන් තම වර්ගයා බෝ වූවා යැයි කීමට ඇති දැඩි භීතියයි, අපකීර්තියයි. අපට කුඩා කළ සිට උගන්වන පරිදි කුවේණිය තම ගෝත්‍රිකයින් අතින් මරුණුවට පත්වීමට පෙර තම දරු දෙදෙනා වූ ජීවන්ත හා දිසාලා ආරක්ෂා කර වනයට පලවා හැර ශාප කලා යැයි කියයි. එම ශාපය හා අපකීර්තිය ජාතිකවාදීන්ට නයාට අදු කොළ මෙනි. නමුත් මේ මහා පුරුශයෝ හැන්දෑවට ගෙදර ගිය විට බත් තම්බා දෙනු ලබන්නේ කු‍වේණියගේ පරපුරේ අද ජීවත්වන ගැහැණුන්ය. ඔවුන්ද එදා කු‍‍වේණි වින්දාක් මෙන් දහසකුත් දුක් දෝමනස්නයන් මේ මහා කළු සිංහලයින්ගෙන් විදී. සිංහල ජාතිකත්වය හා එම ජාතික ව්‍යාපාරය සමාජයෙත්, ගෙදරත් දකින, හමුවන, ඇසුරුකරන කුවේණිලා මගහැර යාමට ඔවුන්ට මහා වංශය වෙනුවට රාවණා ප්‍රලාපය උගන්වයි. එසේ නොවුනහොත් සිංහල ජාතිකවාදීන් ප්‍රථමයෙන් බැට ගන්නේ ගෙදර සිටිනා කු‍වේණි පරපුරේ ගැහැණුන්ගෙන්ය. ( කුවේණිලාගෙන්ය )

ගලබොඩ අත්තේ ඥාණසාර ඇතුළු ජාතිය ගැන උඩ පැන පැන පරසක්වල ගසන බොහෝ ජාතිකවාදීන් අපේ කාලයේ කුවේණිලාගේ දරුවන් වූ ජීවන්තලාය, දිසාලාය. එය නොපිළිගන්නා ඔවුන් තමන්ගේ ආශාව රාවණා ෆැන්ටසිය තුළ දියකර රට ගිනි තැබීමට අර අදී. මේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම්ගත යුත්තේ ශීලාචාර රාජ්‍යයන් සියල්ලේම ශීලාචාර මිනිසුන් බාධක මැද්දේ වුවද බහු ජාතික, බහු වාර්ගික ආකල්ප පවත්වාගෙන යනුයේ සාමය මිල කළ නොහැකි නිසාය. සාමය හා ජීවිතයට වඩා කිසිවක් වටින්නේ නැත.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    [Edited out] Comments should not exceed 300 words.Please read our Comments Policy for further details.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.