24 November, 2017

Blog

ක්‍රිකට්, මෙතැනින් කොතැනට ද?

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

පාකිස්තානය හමුවේ ලද පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා පිල ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීම බො‍හෝ දෙනකුට තවමත් දරාගත නොහැකි වී ඇති බවක් පෙනෙන්නට ඇත. ‘අනේ අපොයි’ කියමින් සිදු වන සංවාද තවම අවසන්ව නැත. එහෙත් අපට නම් මේ පරාජය මහා දෙයක් නොවන්නේ ශ්‍රී ලංකා පිල මෑත කාලයේ ක්‍රීඩා කරමින් සිටි ආකාරය තුළ ප්‍රාතිහාර්යයක් අපේක්ෂා නොකළ බැවිනි. සැබැවින්ම ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියකට පිවිසීමේදී ජයග්‍රහණය සම්බන්ධයෙන් මේ තරම් අඩු බලාපොරොත්තුවක් ශ්‍රී ලංකාවට තිබූ වෙනත් අවස්ථාවක් මෑත කාලයේ නොතිබුණ තරම්ය. ලොව හොඳම එක්දින කණ්ඩායම් අට අතර වූ මේ තරගාවලියේදී අප කාණ්ඩගතව සිටියේ ලොව හොඳම කණ්ඩායම් තුනක් සමඟිනි. පැහැදිලිවම, දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා පාකිස්තානය යන මේ කණ්ඩායම් තුනම අපට විශාල අභියෝගයක් විය. වසර මුලදී දකුණු අප්‍රිකාව හමුවේ, 5-0ක් ලෙස එක්දින තරගාවලිය පරාජයට පත්වූ අප මේ තරගාවලිය ඇරැඹීමට ‍පෙර ඉන්දියාව සමඟ අවසන් වරට ක්‍රීඩා කළ තරග 15න් 12කදීම පරාජයට පත්ව තිබිණි. පාකිස්තානය සමඟ ද තත්ත්වය වෙනස් නොවිණි. අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේදී ඔවුන් හමුවේ 3-2ක් ලෙස අපි තරගාවලිය පරාජයට පත් වීමු. එම පසුබිම තුළ ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙතින් “ප්‍රාතිහාර්යයක්” කිසිවකු හෝ අපේක්ෂා කළේ නැත.

මේ අතර බේකන්හැම්හි පැවැති පුහුණු තරගයකදී ස්කොට්ලන්ත පිල හමුවේ පරාජයට පත් වීම, ශ්‍රී ලංකා පිල සම්බන්ධයෙන් තබා තිබු සුළු හෝ බලාපොරොත්තු දිය කර හැරුමට සමත් විය. එහෙත්, ප්‍රබල ඉන්දීය පිලට එරෙහිව ලද විශිෂ්ට ජයග්‍රහණය, යළි ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් වෙත ඉදිරිය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු රැගෙන ආවේය. ඉන්දියාවට දුවන්න ගැසු අප ඉන්දියාව හමුවේ දරුණු පරාජයක් ලැබු පාකිස්තානයට එරෙහිව දිනුමක් ලබනු ඇතැයි ඔවුහු අනතුරුව ගණන් බලන්නට වූහ. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති චමත්කාරත්වය හා අවිනිශ්චිත බව යළිදු වතාවක් පසක් කරමින් අවසානයේ අපි පාකිස්තානයට පරාජය වීමු.

හැමදාමත් මෙන් මෙම තරගාවලියේදීත් ශ්‍රී ලංකා පිලේ දියාරු ක්‍රීඩා රටාවට බලපෑ ප්‍රධානම හේතු වූයේ අපගේ දක්ෂතාවන්හි නිරන්තර භාවයක් නොතිබීම ය යන්න, පැහැදිලිය. අතිශය තරගකාරී අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව තුළ අත්වැරැදීම් සඳහා කිසිදු ඉඩක් නොමැත. එසේ නොවුණේනම් පාකිස්තානය සමඟ පැවැති තරගය පමණක් නොව දකුණු අප්‍රිකානු පිල සමඟ පැවැති පළමු තරගයද ජය ගැනීමේ හැකියාවක් අපට තිබිණි.

දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගයේදී සාර්ථක හඹා යෑමක නිරත වෙමින් පළමු පන්දුවාර 11 තුළ පන්දු වාරයකට ලකුණු 8කට වඩා අප ලබා තිබුණේ එක් කඩුල්ලක් පමණක් පූජා කරමිනි. වෙනදාට වේග පන්දු යවන්නන් හමුවේ අසරණ වන ශ්‍රී ලංකා පිතිකරුවන් එදා අසරණ වූයේ ඉම්රාන් තාහීර් ඉදිරියේය. අපගේ මැදපෙළ පිතිහරඹය පැහැදිලිවම දුර්වල එකක් වූ අතර පාකිස්තානය සමඟ වූ තරගයේදී ද ලකුණු 10කට වඩා අඩු ගණනක් තුළ මැදපෙළ පිතිකරුවෝ සිවු දෙනෙක් දැවී ගියහ. ජාත්‍යන්තර මට්ටමේදී සාර්ථකත්වයක් හිමි කරගැනීමට නම් මේ ගැටලුව ඉක්මනින් ශ්‍රී ලංකා පිල විසඳාගත යුතුය. සෑම ප්‍රබල කණ්ඩායමක් සතුවම විශේෂඥ පිතිකරණ පුහුණුකරුවකු සිටිනමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ එවැන්නකු නොමැති වීම, විශ්වාස කළ නොහැකි තත්ත්වයකි. එබැවින් හොඳ විශේෂඥ පුහුණුකරුවකුගේ සහාය ග්‍රැහැම් ෆෝඩ් වෙත ලබා දුනහොත් එය ඔහුගේ රාජකාරිය පහසු කරනවාට අමතරව මීට වඩා දෙයක්ද අපේක්ෂා කළ හැකිය. වත්මන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ඕනෑම මොහොතක විශ්වාසය තැබිය හැකි බව පෙනෙන්නට ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග හා කුසල් මෙන්ඩිස් කෙරෙහි පමණකි. තරුණ නිරෝෂන් දික්වැල්ල තමන්ගේ දිනයකදී ඕනෑම ශූර පන්දු යවන්නෙකුගේ අභිමානය කීතු කීතුවලට ඉරා දැමිය හැකි පිතිකරුවකු වුවත් අංග සම්පූර්ණ පිතිකරුවකු වීමට නම් මීට වඩා දහඩිය වැටෙන තෙක් ක්‍රීඩා කිරීමට ඔහු උත්සාහ කළ යුතුය.

කඩුල්ල පසුපසින් යන සේ ගසන පහරවල් හා හරස් පහරවල් වෙනුවට කෙළින් පහර එල්ල කෙරුමට උනන්දුවක් දක්වන්නේනම් නිසැකවම ඔහුට අපේ අනාගත ක්‍රීඩාවේ විශාල ඉදිරි බලාපොරොත්තුවක් විය හැකිය. අනෙක් අතට දිගු ඉනිම ක්‍රීඩා කිරීමට අපගේ පිතිකරුවන් වග බලා ගැනීමද වැදගත්ය. එංගලන්ත සංචාරයට එක්වූ ශ්‍රී ලංකා පිතිකරුවන් පොදුවේ ගත් විට සීමිත පන්දුවාර තරගවලදී රැස් කර තිබුණේ ශතක විසිහතරක් පමණි. ඉන් 14ක්ම බැර වී තිබුණේ උපුල් තරංගගේ නම ඉදිරියෙනි. අන් සියලු පිතිකරුවන් රැස් කර තිබුණේ ශතක දහයක් පමණි. ලකුණු 50 ඒවා ඉලක්කම් තුනේ සීමාවටම ගෙන ඒමට අපේ පිතිකරුවන් කටයුතු කළහොත් අවසාන ප්‍රතිඵලය සුබවාදී එකක් කරනු ඇත.

පිතිකරණයටත් වඩා එංගලන්තයේදී අප අසරණ කළේ දුර්වල පන්දු රැකීමය. වසර විස්සකට විසිපහකට පෙර ආසියාවේ හොඳම පන්දු රකින කණ්ඩායම ලෙස සැලකුණු ශ්‍රී ලංකා පිල ඒ අතින් මේ වන විට පසුවනුයේ පාකිස්තානයටත් පසුපසිනි. 2017 වසරේ පෙබරවාරි පළමුවැනිදා පැවැති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු දෙවන එක්දින තරගයේ සිට පසුගියදා පැවැති පාකිස්තාන තරගය තෙක් ශ්‍රී ලංකාව අන්තර්ජාතික තරග 15කට පමණ ක්‍රීඩා කර ඇත. එක්දින අන්තර්ජාතික තරග 8ක් ටෙස්ට් තරග 2ක් හා 20:20 තරග 5ක් ඊට ඇතුළත්ය. මෙම තරග 15 තුළදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙතින් ගිලිහුණු මුළු උඩ පන්දු ගණන 33ක් පමණ වේ. “කැචස් වින් මැචස්” (උඩපන්දු තරග දිනවයි) ලෙස ප්‍රකට කියමනක් ඇති පසුබිමක උඩපන්දු අත්හැරීම තුළ සිදු වනුයේ තරග දිනීම නොව පැරදීමය. ජාතික කණ්ඩායම සමඟින් පන්දු රැකීමේ පුහුණුකරුවන් ලෙස නික් පෝතාස් හා නුවන් සෙනෙවිරත්න එංගලන්තයට මෙවර ගොස් සිටිමුත් ඔවුන්ගෙන් සිදු වන සේවාව පිළිබඳ මීට වඩා පසු විපරමක් බලධාරීන් සිදු කිරීම ප්‍රයෝජනවත්ය. මුලදී එංගලන්තය බලා යෑමට සූදානමින් සිටියේ පෝතාස් පමණක් වුවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ පෙරැත්තය හමුවේ සෙනෙවිරත්න ද එකළොස්වන පැයෙහි කණ්ඩායමට ඇතුළත් කරන ලදී. පුහුණුකරුවකු ලෙස පෝතාස්ගේ හැකියාව ප්‍රශ්න විරහිත මුත් සෙනෙවිරත්න එම මට්ටමේම සිටිනවා ද යන්න නම් ප්‍රශ්නාර්ථයකි. පන්දු රැකීමේ පුහුණුකරු වීමට අවශ්‍ය එකම සුදුසුකම තදින් පන්දුව විසි කිරීමට ඇති හැකියාව හෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සිතැඟියාවන් ඉටු කිරීම පමණක් නොවේ. පන්දු රැකීම යනු ඊට එහා ගිය කලාවකි. පුහුණුකරුවන් රැසක් සිටියද රොෂාන් මහානාම, රුවන් කල්පගේ, උපුල් චන්දන යන නාමධාරී පන්දු රකින්නන් රැසක් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තුළ අද ඒ මට්ටමට සමීප විය හැකි එකදු පන්දු රකින්නකු හෝ නොමැති වීම කනගාටුවට කරුණකි. පන්දු රැකීම යනු උඩපන්දු රැකීම පමණක් නොවේ. පිටියේ පන්දු රැකීම ද ඊට අයත්ය. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකානු කණ්ඩායම් ඒ හරහා පමණක් එක්දින තරගයකදී නතර කරගන්නා ලකුණු ගණන 30ක් 35ක් පමණ වේ. අවසාන ප්‍රතිඵලය තීරණය වීමේදී තීරණාත්මක වනුයේ එම පංගුවය. ඕනෑම දක්ෂ පන්දු යවන්නකු අතින් උඩ පන්දු ගිලිහී යෑම සිදුවිය හැකි මුත් එක දිගට නොනවත්වා එක දිගට එය සිදුවන්නේනම් එය සොයා බැලිය යුතු කාරණයකි. පාකිස්තානය සමඟ පැවැති තරගය පරාජයට පත් වීම විශේෂයෙන් දුර්වල පන්දු රැකීම වැඩි වැඩ කොටසක් ඉටුකළ බව කුහක නොවී අප පිළිගත යුතුය. පොදුවේ ගත් විට අපේ බොහෝ ක්‍රීඩකයන්ගේ ශරීර ක්‍රීඩාවට අවැසි මට්ටමේ සීමාව ඉක්ම ගොස් තිබේ. පෙර මෙන් ක්ෂණික ප්‍රතික්‍රියා දැක්වීම ඔවුන්ගෙන් දුරස් වෙමින් පවතී. කටුක වුවත් සත්‍ය එයයි.

පන්දු රැකීම පමණක් නොව පන්දු යැවීම ද දුර්වල කර ඇත්තේ මේ ප්‍රමාණවත් නොවන ශාරීරික යෝග්‍යතාවයි. භෞතචිකිත්සකවරු, සම්භාහකවරු ගණනාවක් කණ්ඩායම් තුළ සිටියත්, ඔවුන් බොහෝ විට කටයුතු කරනුයේ ක්‍රීඩකයන්ට අවශ්‍ය සීමාව තුළ බව කියැවෙයි.

නායකයා පන්දුව අතට දුන් පසු ඕනෑම මොහොතක කඩුලු දවාගත හැකියැයි විශ්වාස කළ හැකි, එකදු පන්දු යවන්නකු එක්දින ක්‍රීඩාව තුළ මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ නොසිටි. ප්‍රතිවාදී පිතිකරුවන්ගේ නළල රැලි ගැන්විය හැකි පන්දු යවන්නන් කණ්ඩායම තුළ නොසිටීම නිසා ඉතා සැහැල්ලුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පිතිහරඹයේ නිරත වන ආකාරය මෑත කාලයේදී දැකගත හැකි වූ පොදු අත්දැකීමක් විය. නිමාව දුටු තරගාවලියේදී පවා ප්‍රතිවාදී පිතිකරුවන් යම් ගරු සරුවක් දැක්වූයේ නම් ඒ ලසිත් මාලිංගට පමණි. එංගලන්තයේදී මාලිංග එක්දින කණ්ඩායමට එක් වූයේ මාස දාහතකට පමණ පසුවය. ඔහු ඊට පෙර අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කර තිබුණේ 2015 වසරේ නොවැම්බර් හත්වැනිදාය.

ශ්‍රී ලංකාව ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයට දායාද කළ විශිෂ්ට පන්දු යවන්නකු වන මාලිංග තම ක්‍රීඩා දිවියේ අවසානයට ළඟා වෙමින් සිටින බවක් පෙනෙන්නට ඇත. ශාරීරික යෝග්‍යතාව අතින් පමණක් නොව ජවය අතින් ද පෙර මෙන් උද්යෝගයක් ඔහු වෙතින් දැකගත නොහැකිය. එක් අතකින් එය අපට සිහිපත් කරනුයේ බුදුන් වහන්සේ වදාළ අනිත්‍යයය. එදා “තනි අතින්” තරග දිනවූ මාලිංග අද කඩුල්ලක් දවා ගැනීමට දරන වෙහෙස අතිමහත්ය. 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්දින තරග 10කට ක්‍රීඩා කර ඇති මාලිංග ඒවායෙහිදී දවාගෙන ඇත්තේ කඩුලු 11ක් පමණි. ඒ එක් කඩුල්ලකට ලකුණු 48ක සාමාන්‍යයක් සහිතවය.

කඩුල්ලක් දවා ගැනීමට පන්දු ඕවර 8ක් පමණ යවන මාලිංග කෙනකු ගැන අප මීට පෙර අසා නැත. මේ තරගාවලියේදී පවා තරග තුන තුළදී මාලිංග දවා ගත්තේ කඩුලු 3ක් පමණි. ඒ පන්දුවාර 29කදී ලකුණු 179ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. ශාරීරික යෝග්‍යතාව සමඟ පොර බදමින් සිටිය ද තවමත් මාලිංග කණ්ඩායම තුළ සිටින හොඳම පන්දු යවන්නාය. සියයට සියයක්ම ඔහු තම කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබා දෙන ආකාරය එංගලන්තයේදී දක්නට ලැබිණි. එහෙත් තරගකාරී අන්තර්ජාතික ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කිරීමට නම් එම උද්යෝගය හෝ අතීත වැඩ වාර්තා ප්‍රමාණවත් නොවේ. නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකාවේ මීළඟ වේග පන්දු යවන්නා වන බව මේ තරගාවලියේදී මනාව පෙන්නුම් කළේය.

ඔහු තනිකරම පාහේ කඩුලු දවා ගන්නේ ස්වකීය දක්ෂතා මතිනි. එබැවින් ඔහුව පරිස්සමින් රැකබලා ගැනීම අනාගතය වෙනුවෙන් කරන පලදායි ආයෝජනයකි. මේ තරගාවලියේදී විශේෂඥ පන්දු යවන්නන් හතර දෙනකු සමඟ පමණක් තරග වැදීමට ශ්‍රී ලංකාව තීරණය කිරීම අවදානම් සහගත තීරණයක් ම විය. තත්ත්වය වඩාත් භයානක වූයේ එම පන්දු යවන්නන් සිවු දෙනාගෙන් ඇතැමකු පන්දු වාර දහයම යැවීමට තරම් හොඳ මට්ටමක නොසිටීමය. භාග පන්දු යවන්නන් සමඟ ශ්‍රී ලංකාව තරගාවලියට එක්වීම තුළ පන්දු වාර 15 හා 40 අතර සීමාවේදී අප බොහෝ විට අසරණ විය.
එම සීමාව තුළදී පළමු තරග දෙක තුළදී එක් පන්දුවකට ලකුණකට වඩා අපේ පන්දු යවන්නන් ලබා දී තිබිණි.

එවැනි ලිහිල් දුර්වල පන්දුකරණයක් දැකගත හැකි වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙතින් පමණි. පැය 48කට පෙර කණ්ඩායමට එක් වූ ධනංජය සිල්වා වෙනුවට ලක්ෂාන් සඳකැන් වැන්නකු පාකිස්තාන තරගයට යෙදෙව්වේනම් එය මීට වඩා ප්‍රතිඵලදායක වන්නට තිබිණි. දඟ පන්දුවට චිරප්‍රසිද්ධ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සමඟ තරගවලට එකදු විශේෂඥ දඟපන්දු යවන්නෙකු හෝ යොදා නොගැනීම පිළිබඳව බොහෝ විචාරකයන් විමතිය පළ කර තිබිණි.

දැන් සියල්ල සිදුවී හමාරය. තවදුරටත් ශූරයන්ගේ කුසලාන තරගාවලිය ගැන කතා කිරීමෙන් පලක් නොවේ. එහෙත් ඉන් ලද අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගැනීම අවැඩක් නොමැත. වළට වැටීම මොළයට ලාභයක් බවට අප පත්කර ගත යුතුය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගණනාවක් එක ළඟ කාල පරාසයක කණ්ඩායමෙන් ඉවත් වීම තුළ එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ඇති අපහසුව තුළ මේ වන විට අපි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව තුළ පසුපසට තල්ලු වී සිටිමු. අප පමණක් නොව ලෝකයේ රටවල් ගණනාවක් මෙවැනි දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දී ඇත. අනාගතය වෙනුවෙන් ආයෝජන සිදු කිරීමට දැන් කටයුතු කළ යුතු අතර අවදානම් සහගත තීරණයක් වුවද එය සිදු කළ යුතුව ඇත.

ඒ වෙනුවෙන් වූ හොඳ අවස්ථාවක් සිම්බාබ්වේ පිල සමඟ ඉදිරියේ පැවැත්වෙන තරගාවලියේදී හිමිව තිබේ. තමන්ගේ මහගෙදරදී පැවැත්වෙන එම තරගාවලියේදී කකුල් කැඩුණු අශ්වයන් වෙනුවට අලුත් අශ්වයන් සමඟ ගමනක් යෑමට, ශ්‍රී ලංකා පිල අදිටන් කර ගත යුතුය. අවසාන වශයෙන් මෙය ද සඳහන් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය මේ වන විට පසුවන අවාසනාවන්ත තත්ත්වය විෂයයෙහි අපේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිව ඇති කඩා වැටීම ද ප්‍රබල හේතුවක් වී ඇත. ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ පළමු පෙළ මට්ටමේ කණ්ඩායම් 23ක් දැකගත හැකි අතර ඒ නිසාම ඒ ගුණාත්මක තත්ත්වය හා තරගකාරිත්වය බරපතළ ලෙස බාල වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම දේශීය තරගාවලිය වන ෂෙෆීල්ඩ් ෂිල්ඩ් තරගාවලිය තුළ දැකගත හැක්කේ කණ්ඩායම් හයකි. නවසීලන්තයේ ප්ලන්කට් පලිහ තරගාවලිය තුළද ඇත්තේ කණ්ඩායම් හයක් පමණි. අසල්වැසි බංගලිදේශයේ ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන ජාතික ක්‍රිකට් ලීගයේ කොටස් දෙක තුළම ක්‍රීඩා කරනුයේ කණ්ඩායම් අටක් පමණකි. එනිසා එම තරගාවලි තුළ අතිශය ඉහළ තරගකාරිත්වයක් දැකගත හැකිය. මාධ්‍ය කේන්ද්‍රියව ද විශාල අවධානයක් ඒ කෙරෙහි යොමුව ඇත. එහෙත් අපගේ දේශීය ක්‍රිකට් මට්ටම පවතිනුයේ ඊට ගව්ගාණක් පසුපසිනි. දේශීය තලයේදී ක්‍රීඩක දීමනා හා ගාස්තු ගෙවීම් අතින් ද අප සිටිනුයේ සෑහෙන්න පසුපසිනි. දේශීය ක්‍රිකට් තරගයක් වෙනුවෙන් එංගලන්තය තුළ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 210,000ක් ක්‍රීඩකයකුට ගෙවන අතර ඕස්ට්‍රේලියාවේදී මේ අගය තරගයකට 150,000ක් වෙද්දී බංග්ලාදේශයේදී හා ඉන්දියාවේදී 90,000ක් හා 50,000ක් පමණ වේ. ක්‍රමවත් අලෙවිකරණ සැලැස්මක් තුළ එබඳු වෘත්තීය භාවයක් එම රටවල් තුළ දැකගත හැකි වූවත් ශ්‍රී ලංකාව තුළ පළමු පෙළ ක්‍රිකට් තරගයක් වෙනුවෙන් තවමත් ක්‍රීඩකයෙකුට ගෙවනුයේ 22500 කි. එබැවින් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය, වෘත්තීය භාවය ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදු විය යුත්තකි.

එපමණක් නොවේ ලොව ඉහළ මට්ටමක පැවැති අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ද බරපතළ ලෙස ඛාදනය වී ඇත. එකල එය හැඳින්වුණේ ශූර ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කරන තවානක් ලෙසිනි. එදා අර්ජුනලා, මුරලිලා, පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන් වහාම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව හා අත්වැල් බැඳගත්ත ද අද එවැන්නන් හමු නොවන තරම්ය. අනාගතය දෙස බලමින් බලධාරීන් මෙම තත්ත්වය කෙරෙහි සුදුසු ආමන්ත්‍රණයක් දැන් සිදුකළ යුතුව ඇත.

මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව පරිණාමයට පත්වෙමින් තිබේ. 2020 වන විට අනිවාර්යයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ සම්පූර්ණ හැඩතලය වෙනස් වනු ඇත. ක්‍රිකට් සැබෑ වෘත්තීය අවධියට ළඟා වෙමින් පවතී. එය පාපන්දු ටෙනිස් වැනි සෙසු ප්‍රධාන ක්‍රීඩා සමඟ ජනප්‍රියතාව වෙනුවෙන් තරග කරන දිනය වැඩි ඈතක නොවේ. අපට ඉදිරියට යෑමට සිදුව ඇත්තේ එබඳු පසුබිමකය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.