13 December, 2019

Blog

ගංවතුර, අවාසනාව හා ආර්ථිකය

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

ශ්‍රී ලංකාව පිට පිටම ස්වාභාවික විපත් කිහිපයකටම මුහුණදෙනු ලැබුවේය. මින් පෙර ස්වාභාවික විපත් සිදුවූ විට ඒවා කලමනාකරණය කිරීම තනිකරම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්වී තිබුණ බැවින් පසුගිය කාලයේ සිදුවූ ස්වාභාවික විපත් කලමනාකරණය කිරීම සදහා රජය විසින් තෝරාගත් ක්‍රමවේදය ජනප්‍රිය එකක් බවට පත් නොවී තිබේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ ආපදා කලමනාකරණය යනු පක්ෂ බේදයෙන් තොර පොදු අරගලයක් බවට ආණ්ඩුව තුල ඇති ආකල්පයයි.

කෙසේ නමුත් එක පිට එක පැමිණෙන මෙම ස්වාභාවික විපත් ආණ්ඩුවේ මුල්ගල සොලවන බවක් දැකිය හැකිය. ආණ්ඩුව තුනේන දෙකක බහුතරයක් ඇති ප්‍රබල ආණ්ඩුවක් වුවද ආපදාවක් පැමිණ ජනතාවට හිරිහැර වූ පසු එම තත්ත්වයන් නිරාකරණය කරගැනීමට යාමේදී නිරන්තරයෙන් ජනතාවගේ විරෝධය එල්ලවේ.

මෙම විරෝධතා බොහෝ විට ආණ්ඩුවට විරුද්ධ ඒකාබද්ධ විපක්ෂයේ ආධාරකරුවන්ගේ සැලසුම් සහගත විරෝධතාය. එසේම ආණ්ඩුවේ ආයතන, දෙපාර්තමේන්තු හා අමාත්‍යංශ වල අකාර්යක්ෂමතාවය, අසංවිධිත බව හා සම්බන්ධීකරණයේ ඇති දුර්වලතා ආපදා අවස්ථාවකදී එමගින් ගොඩ ඒමට ජනතාව වෙත ලබාදෙන සහයෝගය හීනකොට තිබේ. මෙම ආපදා අවස්ථාවේ රටේ විපතට පත් සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මුදවාගැනීමේ කටයුතු ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මගින් සිදුකරත් සම්බන්ධීකරණයේ තිබූ යම් යම් අඩුපාඩුකම් එම කටයුතු සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත් කළේය. නමුත් ත්‍රිවිධ හමුදාවේ මෙවන් අවස්ථාවකට මුහුණදීමට හොදින් පුහුණුව ලැබූ නිලධාරීන් හා සෙසු නිලයන් වල සොල්දාදුවන් සිටි බැවින් ඉතාම ඉක්මනින් රජයට මෙම අපහසු වාතාවරණයෙන් මිදීමට හැකිවිය. නමුත් කාලගුණ දෙපාර්තමේන්තුව හා අනෙකුත් අදාල දෙපාර්තමේන්තුවල කාර්යක්ෂම මැදිහත්වීමක් හෝ දැනුම්දීමක් තිබුණේනම් දැනට සිදුවී ඇති හානියද වළක්වාගැනීමට ඉඩ තිබූ බව මාගේ හැගීමයි.

මිලිමීටර 500 ක ධාරානිපාත වර්ෂාවකට පසු අදාල පාර්ශව විසින් මෙම තත්ත්වය ආණ්ඩුවේ වගකිවයුත්තන්ට පෙන්වාදී තිබුනේනම් සිදුවී ඇති හානිය සැලකිය යුතු ප්‍රමාණයක් වළක්වාගැනීමට තිබුණි. විශේෂයෙන් ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කයන්ගේ ජල ගැල්මෙන් සිදුවූ හානිය, ජල ගැල්මට පෙර තොරතුරු ආණ්ඩුවට හා ත්‍රිවිධ හමුදාවට ලබාදී තිබුනේනම් හානිය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගැනීමට හැකියාවක් තිබුණි. නමුත් තොරතුරු සම්බන්ධීකරණයේ තිබූ එම විශාල හිඩස මගින් ජීවිත සිය ගණනක්, දේපල විශාල ප්‍රමාණයක් අහිමි වී ගියේය. එම ප්‍රදේශවල ජනතාවගේ එදිනෙදා ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති අතර මෙම බොහෝ තත්ත්වයන් නිවැරදි තොරතුරු තිබුණේනම් වලක්වා ගැනීමට තිබූ තත්ත්වයන්ය.

කොරේ පිටට මරේ කියමින් මෙම සිදු වූ ආපදාව මගින් එම ප්‍රදේශයන්ගේ ජන ජීවිතය සෑහෙන කාලයකට අර්බුදයට යනු නිසැකය. මන්දයත් කදු නායයෑම් අවසන් වුවත්, ජලය බැසගියත්, රජය, පෞද්ගලික සංවිධාන හා පොදු ජනතාවගේ මැදිහත්වීමෙන් මෙම අමාරු අවස්ථාවේදී ජනතාවට පැවතීමට හැකි වුවත්, මෙම අර්බුදයෙන් ගොඩයාමට හැකි වුවත්, දීර්ඝ කාලීනව ඔවුන්ට ඔවුනගේ ජීවනෝපායන්, ව්‍යාපාර හා එම පළාතේ ආර්ථිකය අහිමිවනු ඇත. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම ව්‍යසනයට මුහුණදුන් ප්‍රදේශවලට සිදුවී ඇති ආර්ථික හානිය රුපියල් බිලියන ගණනකි. එම නිසා මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට එම ප්‍රදේශවල ජනතාවට පමණක් නොහැකිය. ඒ සදහා රටේ සියලු පාර්ශවයන්ගේ ආධාර අවශ්‍යමුත් රජය විසින් අනිවාර්යෙන් මෙම තත්ත්වය විසදිය යුතුය. හානියට පත් ප්‍රදේශවල ආර්ථිකය ගොඩනැංවීම රජයේ වගකීමකි.

එම නිසාම ආපදා කලමනාකරණ කටයුතු වලදී අගමැතිවරයාගේ මූලික අවධානය ලක් වූ කාරණයක් වූයේ මෙම අසීරු අවස්ථාවෙන් ජනතාව හා රට ගොඩ ආ පසු මෙම ප්‍රදේශවල ආර්ථිකය නැවතත් නගාසිටුවීමයි, ජනතාවගේ ජීවනෝපාය ගොඩනැංවීමයි. මූලික බේරාගැනීමේ කටයුතු හා සහන සේවා කටයුතු පවත්වාගෙන යන අතරම හැකි ඉක්මනින් එම ප්‍රදේශවල ආර්ථික තත්ත්වය යතාතත්වයට පත්කිරීමට අවශ්‍ය වැඩ කටයුතුවලට පුමුඛතාවය දිය යුතු බව අගමැතිතුමා විසින් අදාල පාර්ශවයන්ට දැනුම්දෙනු ලැබුවේය. එසේම පෞද්ගලික අංශයේ සහයෝගය ඒ සදහා ඉල්ලා සිටි අතර රජයේ හා පෞද්ගලික අංශයේ මූල්‍ය ආයතන හා බැංකුවලට එම ආර්ථිකය නගාසිටුවීමේ කටයුතු වලට මැදිහත්වන ලෙස දැනුම් දුන්නේය.

මෙම තත්ත්වයන් කෙසේ වුවත් ලෝකයේ සිදුවන මෙම දේශගුණික විපර්යාසයන්ට මුහුණදීම සදහා රටක් ලෙස අප සූදානම් විය යුතුය. අධික වර්ෂාවෙන් වැටෙන වතුර ඇළ, දොළ, ගංගා මගින් ජලාශවලට හා මුහුදට බාධාවකින් තොරව ගලා යා හැකි තත්ත්වයක් රට තුළ ඇතිකල යුතුය. පහත් බිම් ගොඩකිරීම හා ගොඩනැගිලි ඉදිකිරීමේදී මීට වඩා සැලකිලිමත් තද නියාමනයක් රජය විසින් පවත්වාගෙන යා යුතුය. එසේම කදු බෑවුම් ආශ්‍රිත ජනතාවගේ ජීවිත අවධානම හැකිතාක් දුරට අඩු කළ යුතු අතර රජයේ මැදිහත්වීමෙන් ක්‍රමවත් දැනුවත්කිරීමේ කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කළයුතු වේ. කෙසේ වුවත් මෙම ආපදා අවස්ථාවේදී රටේ ත්‍රිවිධ හමුදාවේත්, පොලීසියේත්, සිවිල් සංවිධාන වලත් ක්‍රියාකාරිත්වය අගය කළයුතුය. එසේම රජයේ දෙපාර්තමේන්තු හා සංස්ථාවල සේවකයින්ද අඩුපාඩු මධ්‍යයේ වුවත් මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට සැලකිය යුතු වෙහෙසක් දැරුවේය.

කෙසේ නමුත් අවසාන වශයෙන් කීමට ඇත්තේ ශ්‍රී ලංකාව ගෙවමින් සිටිනුයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමාරු කාලයකි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.