18 January, 2018

Blog

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනය: සමථයකට පැමිණීම

නැවත වරක් දස දහස් ගණන් අහිංසක රෝගීන්ව පීඩාවට පත්කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය සඳුදා තවත් වැඩ වර්ජනයක් කෙළේය. ආසියාවේ බලගතුම වෘත්තිය සමිතියක් යැයි කියා ගන්නා මෙම සංවිධානය පසුගිය මාස කිහිපය තිස්සේ තම බලය භාවිත කරමින් හෝ අවභාවිත කරමින් එක දිගටම අගක් මුලක් නැති වැඩ වර්ජන මාලාවක් ගෙන ගියේය.

සමාජවාදී සහ ධනවාදී වශයෙන් ඉස්සර පැවති රාජ්‍ය ක‍්‍රමය තුළ වෘත්තිය සමිති පිහිටුවා ගැනීමට ඇති අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාවලියේ එක් අංගයක් වශයෙන් සැළකුණි. එහෙත් පුදුමයකට මෙන්, සෝවියට් දේශය, (වර්තමාන රුසියාව) චීනය සහ උතුරු කොරියාව වැනි සමාජවාදී රටවල කිසි වැඩ වර්ජනයකට අවසරයක් නොතිබුණු අතර, යම් කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් වැඩ වර්ජනය කිරීමේ තර්ජනය පෑවොත් ඔවුන්ට අනිවාර්යයෙන් අත්වන ඉරණම වුණේ මරණය හෝ සිර දඬුවම පිළිබඳ තර්ජනයට මුහුණදීමටයි. කෙසේ වෙතත්, එදා අප දැක්කා සේම තවමත් අප දකින මේ ඊනියා සමාජවාදී රටවල් බොහොමයක ඇත්තේ රාජ්‍ය ධනවාදයකි. එහිදී, දුගී බවේ ගැලූණු දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ වියදමින්, යස ඉසුරින් සහ ධනවත් කමින් පාලක ප‍්‍රභූ පැලැන්තිය තර වෙයි. එහෙත් ඒ පිළිබඳ තොරතුරු බාහිර ලෝකයට ලැබෙන්නේ නැත.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සිදු වූ දෑ හෝ සිදු නොවු දෑ කුමක් වෙතත්, පසුගිය 25 වසරක කාලය තුළ තොරතුරු සහ තාක්ෂණ සංවිධානයේ විප්ලවය විසින් ලෝක ක‍්‍රමය සපුරා කණපිට හරවා තිබේ. අප කැමති වුවත් නැතත්, එය යහපතක් වෙතත් නැතත්, නූතන ඩිජිටල් තාක්ෂණයේ අරුමයන් විසින් ලෝක ගම්මානයක් නිර්මාණය කොට තිබේ. එහි වෙසෙන ප‍්‍රජාවගේ ආකල්ප සහ එළැඹුම් බරපතල පරිවර්තනයකට ලක්කොට තිබේ. මේ අතරවාරයේ සිදුව ඇති ජාතිකවාදී ජනතාවාදී ප‍්‍රවණතාවට එම තත්වය වෙනස් කිරීමට හැකි වී නැත. ඇමරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැනි උඬගු ජනතාවාදී නායකයෙකු සියල්ලට පළමුව ඇමරිකාව මුල් තැන්හි ලා සැළකීමට නැවත නැවත් ප‍්‍රතිඥා දී ඇතත්, ඔහු සිටින්නේ දෝෂාභියෝගයක අනතුරක් අභිමුව ය.

2015 න් පසුව නිතිපතා ඇති වන වැඩ වර්ජන, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තර්ජන ගර්ජන සහ ශිෂ්‍යන්ගේ විරෝධතා ආදිය දෙස අප බැලිය යුතතේ එවැනි පසුබිමක් තුළ ය. මාලමේ සයිටම් ආයතනය වසා දමන්නැයි ඔවුහූ ඉල්ලති. එසේ තිබියදී, එම ආයතනයෙන් පිටවන උපාධිධාරීන්ව පිළිගත යුතු බවට අභියාචනාධිකරණය තීන්දු කොට තිබේ. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා එම තීන්දුවට පරිහාස වන ආකාරයන් කරන ලද ප‍්‍රකාශයන් සහ එම තීන්දුවට එරෙහිව වැඩ වර්ජන කැඳවීම මත ඔහුට එරෙහිව උසාවියට අපහාස කිරීමේ නඩුවකුත් මේ වන විට ගොනු වී තිබේ.

කරුණු කාරණා කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුව දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතුව ඇති බව බොහෝ විශ්ලේෂකයන්ගේ මතයයි. ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය වැනි ආයතනවලට වැඩ වර්ජන කිරීමට කිසි අයිතියක් නැතිවා සේ, සෞඛ්‍ය, ප‍්‍රවාහණ, ඉන්ධන, විදුලිය සහ ජල සැපයුම වැනි අත්‍යාවශ්‍ය සේවාවන්හි වැඩ වර්ජන කිරීම මැඩපැවත්වීමේ හෝ නතර කිරීමේ අවශ්‍යතාවක් පැනනැගී තිබේ.

සමහර වෘත්තීය සමිති අවසාන ක‍්‍රියාමාර්ගය වෙනුවට මුල්ම ක‍්‍රියාමාර්ගය වශයෙන් වැඩ වර්ජන තෝරා ගන්නා තත්වයක් තුළ, ගැටුම්කාරී වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට වඩා හාම්පුතුන් සහ සේවකයන් අතර ප‍්‍රශ්න නිරාකරණය කර ගැනෙන සුභ සාධන සමිති වැනි අංගයක් ඇති කර ගැනීම ලංකාව වැනි රටකට ප‍්‍රයෝජනවත් වන්නේය. අපේ රටේ අදහන සෑම ආගමකින්ම උගන්වන්නේද, ගැටුම් නිරාකරණය සඳහා ඇති හොඳම මාර්ගය සාකච්ඡාව බවයි. ජනතාවගේ, විශේෂයෙන් දුගී ජනතාවගේ අයිතීන් පීඩාවට පත්කෙරෙන වැඩ වර්ජන වෙනුවට මැද මාවතක් තුළ සම්මුතිවාදී සම්ප‍්‍රදායක් වැඩදායක වන්නේය. මීට පෙරත් බොහෝ අවස්ථාවලදී අප අවධාරණය කොට ඇති පරිදි, අයිතිවාසිකම් හැම විටකම වගකීම් සමග එකට ගැට ගැසී තිබේ. පවුලක වේවා, වැඩ බිමක වේවා, රටක වේවා, අයිතිවාසිකම් සහ වගකීම් එකට ගමන් කරයි. ඕනෑම වෘත්තීය සමිතියක් දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව පීඩාවට පත්කරමින් තම වගකීම් පැහැර හරින්නේ නම්, එම වෘත්තීය සමිතියට තමන් සතු අයිතිවාසිකම් ගැන කතා කිරීමේ අයිතිය අහිමි වන්නේය.

සයිටම් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සියල්ලන්ට, විශේෂයෙන් පොදු මහජනතාවට සාධාරණ සහ යුක්ති සහගත වන විසඳුමක් සඳහා බොහෝ යෝජනා ඉදිරිපත් කොට ඇත. ජනාධිපතිවරයාගේ ඒ මෘදු ක‍්‍රියා මාර්ගය සහ මැද මාවත ප‍්‍රතික්ෂේප කරන්නේ නම් හෝ එය අපහරණය කරන්නේ නම්, ඔහු සහ ආණ්ඩුව මෙහිදී දැඩි ක‍්‍රියා මාර්ගයක් ගත යුතුව තිබේ. මන්ද යත්, මේ ප‍්‍රශ්නය දැන් ඕනෑවට වඩා දුරදිග ගොස් ඇති බැවිනි. පමණටත් වඩා වැඩ වර්ජන සහ විරෝධතාවන්ට අප දැනටමත් මුහුණදී ඇති බැවිනි.

*2017 මැයි 25 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “GMOA Strike: Find Compromise” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.