17 October, 2017

ශ‍්‍රී ලංකාවේ බදු ක‍්‍රමය ගැන සලකා බැලීමක්

උමේෂ් මොරමුදලි –

බදු යනු මිනිසුන් බිය ගන්වන නරක වචනයකැ යි බොහෝ දෙනාට සිතේ. එම වචනය ඇසෙන විට මට මතක් වන්නේ, රොබින්හුඞ් කෘතියේ එන නොටින්හැම් පොලිස් ප‍්‍රධානියා බදු එකතු කිරීම සම්බන්ධයෙන් ඒ පළාතේ ජනතාව තුළ ඇති කරන ලද භීතියේ ස්වභාවයයි. එම බදු බර ඉදිරියේ එම ජනතාව මොන තරම් අවාසනාවන්ත තත්ත්වයකට පත්වී ද යන්නයි. කෙසේ වෙතත්, මා වයසින් වැඩෙත්ම, බදු යනු රටක වෙසෙන සෑම පුද්ගලයෙකුගේම ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් වශයෙන් ගැනීමට මම පුරුදු වීමි. ඒ, එක් සරළ හේතුවක් නිසා ය. එනම්, මහජන සුභසිද්ධිය සලසනු වස් ආණ්ඩුවකට අවශ්‍ය කරන ආදායම සොයා ගැනීමේ ප‍්‍රධාන මාර්ගය එය වන නිසා ය.

මංගල සමරවීර – මුදල් ඇමති

අලුත් දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත් සමග මේ බදු පිළිබඳ කතාව මෑතක සිට නැවතත් අසන්ට ලැබේ. මට කුඩා කාලයේදී සිතුණා සේ, බොහෝ ශ‍්‍රී ලාංකිකයන්ට තවමත් බදු යනු භීතිය දනවන කාරණයකි. බදු ගෙවන්ට සිදු වේ යැයි මිනිස්සු බිය වෙති. බදු අය කිරීමේ ඇති වැදගත් කම ගැන ප‍්‍රශංසා කරන කෙනෙකු හමුවන්නේ කලාතුරකිනි.

බදු අය කිරීමේ වැදගත් කමත්, ආර්ථිකයකට එයින් සැලසෙන කාර්ය භාරය ගැනත් සැලකිල්ලට ගනිමින්, ආර්ථික විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ඇඩම් ස්මිත්, ප‍්‍රධාන බදු මූලධර්ම හතරක් ගෙනහැර දැක්වීය. ඒවා නම්, සමානාත්මතා මූලධර්මය, නියතතා මූලධර්මය, පහසුකම පිළිබඳ මූලධර්මය සහ සකසුරුවම් මූලධර්මයයි.

සමානාත්මතා මූලධර්මය යනු, කෙනෙකුගේ හැකියාවේ හැටියට කෙනෙකුගෙන් බදු අය කර ගැනීමේ ඇති අවශ්‍යතාවයි. වෙනත් වචනවලින් කිවහොත්, වැඩියෙන් උපයන අයවළුන් වැඩියෙන් බදු ගෙවිය යුතුය. ඇඩම් ස්මිත් එය පැහැදිළි කෙළේ මෙලෙස ය: ‘‘සෑම රටකම වැසියන්, හැකි තාක්, තම තමන්ගේ හැකියාවන්ට අනුපාතිකව හෙවත් රාජ්‍යයකින් තමන් භුක්ති විඳින ආරක්ෂාවේ ප‍්‍රමාණයට සමානුපාතිකව, ආණ්ඩුවට සම්මාදම් විය යුත්තේය.’’

නියතතා මූලධර්මය යනු, යම් පුද්ගලයෙකු විසින් ගෙවනු ලබන බදු ප‍්‍රමාණය කොපමණ ද, ගෙවිය යුත්තේ කවදා ද සහ කෙසේ ද යන්න පිළිබඳ නිශ්චිත බවක් තිබිය යුතු බව ය. එනම් බදු ගෙවීමේ යම් නිශ්චිත ක‍්‍රමයක් පැවතීම වැදගත් බවයි.

පහසුකම් පිළිබඳ මූලධර්මය යනුවෙන් ගැනෙන්නේ, බදු ගෙවන්නාට පැටලිලිවලින් මිදී, සරළ ආකාරයෙන් බදු ගෙවීමට හැකියාව තිබිය යුතු බව ය. සකසුරුවම් මූලධර්මය යනු, බදු එකතු කිරීමේ ක‍්‍රියාවලිය තුළ දැරීමට සිදු වන වියදම් අවම කර ගත යුතු බව ය. ඒ සමගම, බදු එකතු කිරීමේ ක‍්‍රියාවලිය කාර්යක්ෂම විය යුතු බව ය.

ශ‍්‍රී ලංකාවේ බදු ක‍්‍රමය තුළ ප‍්‍රශ්න ගණනාවක් තිබේ. ඒවා තුන් ආකාරයක් ගනී. එකක් වන්නේ, ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත් විට, ලංකාවේ බදු ආදායම ඉතා පහළ මට්ටමක පැවතීමයි. දෙවැන්න වන්නේ. රටේ බදු ව්‍යුහය ඉතා සංකීර්ණ වීමයි. බදු ගෙවන්නා සම්බන්ධයෙන් ගත් විට එය ඉතා පැටලිලිකාරී වීමයි. තුන්වැන්න වන්නේ, බදුවල සංයුතියේ ස්වභාවයයි. උදාහරණයක් වශයෙන් ගතහොත්, බදු ආදායමෙන් විශාල ප‍්‍රමාණයක් උත්පාදනය කරගන්නේ, ‘අගය එකතු කළ බදු’ (වැට්) වැනි වක‍්‍ර බදු හරහා වීමයි.

පහළ බදු ආදායම

සෑහෙන කාලයක් තිස්සේ ලංකාවේ බදු ආදායම, රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන්, පහළ යමින් තිබේ. වර්තමානයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකව ලංකාවේ බදු ආදයම පවතින්නේ, ලෝකයේ වෙනත් රටවල බදු ආදායම්වල මට්ටමට වඩා ඉතා පහළ අඩියකයි, 2014 දී මේ බදු ආදායම, අපේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත් විට, සියයට 11.6 ක් විය. එහෙත් පසුගිය අවුරුදු දෙකක කාලය තුළ එය කෙමෙන් වර්ධනය වී, 2016 වන විට 14.3 ක් දක්වා වැඩි වී තිබේ.

අතීතයට ගියොත්, 1990 දශකයේදී මේ බදු ආදායම සියයට 20 ක් තරම් ඉහළ අගයක් ගත්තේය. 1993 දී එය සියයට 19.7 ක් වූ අතර 1995 දී සියයට 20.5 ක් විය. එහෙත් එවක් පටන් මේ ආදයම දිගටම පහළ යමින් 2003 වන විට සියයට 15.7 ක් දක්වා පහළ බැස තිබුණි. දියුණු රටවල බදු ආදායම, එම රටවල දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ඉතා ඉහළ අගයක් ගනී. උදාහරණයක් වශයෙන්, ඩෙන්මාර්කයේ බදු ආදායම එරට දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත් විට සියයට 46.6 කි. සාමාන්‍යයෙන් වෙනත් දියුණු රටවල එම ප‍්‍රමාණය සියයට 30 ට වැඩි වන්නේය. එවැනි දියුණු රටවල් පසෙකින් තිබියේවා. අපේ කලාපයේම වෙනත් රටවල් සමග සැසඳුවත් අපේ බදු ආදායම පවතින්නේ ඉතා පහළ මට්ටමක ය.

බදු සංයුතිය

ශ‍්‍රී ලංකාවේ බදු ව්‍යුහය තුළ පවතින ප‍්‍රධානතම ප‍්‍රශ්නයක් වන්නේ බදු සංයුතියේ ස්වභාවයයි. රජයේ බදු ආදායමින් සියයට 80 වැඩි ප‍්‍රමාණයක් උපයා ගැනෙන්නේ වක‍්‍ර බදුවලිනි. ඒ මගින් ඉහත කී සමානතා මූලධර්මය උල්ලංඝණය කෙරෙන්නේය. විශාල බදු ප‍්‍රමාණයක් වක‍්‍ර බදුවලින් උපයා ගන්නා ඕනෑම රටක, ආදායම හෝ හැකියාව මත නොරැඳෙමින්, සියලු පුරවැසියන්ගෙන් අයකර ගනු ලබන්නේ, එකම බදු ප‍්‍රමාණයකි.

මේ තත්වය පසුගිය දශක දෙකක පමණ කාලයේදී ලංකාවේ උග‍්‍ර අතට හැරී ඇත. 1994 රාජ්‍ය වාර්තාවන්ට අනුව, එම වසරේ වක‍්‍ර බදු සංයුතිය සියයට 45 ක් පමණි. එහෙත් මේ වන විට, ‘භාණ්ඩ හා සේවා බද්ද’ සහ ඉන් පසු ඇති කර ගත් ‘අගය එකතු කිරීමේ බද්ද’ (වැට්) හරහා එම ප‍්‍රමාණය සියයට 80 ත් ඉක්මවා ගොස් තිබේ. 2016 මුළු බදු ආදායමින් සියයට 17 ක් සමන්විත වුණේ වැට් බද්දෙනි.

බදු දැළ ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව සහ අවිධිමත් අංශය

වසරක් පාසා රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ ගොස් ඇතත්, සෘජු බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් නැත. ඒ අනුව, බදු පදනම එක තැන පල් වෙමින් තිබෙන අතර එය සෘජු බදු ආදායම වැඩි කර ගැනීමට ආණ්ඩුව අසමත් වීමේ ප‍්‍රධාන හේතුව වී ඇත. මේ බදු පදනම ව්‍යාප්ත කිරීමට නොහැකි වී ඇති ප‍්‍රධාන හේතුවක් වන්නේ, අපේ ආර්ථිකය තුළ විශාල අවිධිමත් අංශයක් පැවතීමයි. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව, අපේ ශ‍්‍රම බලකායෙන් සියයට 60 ක් යෙදී සිටින්නේ අවිධිමත් අංශයේ ය. මේ අංශයේ ආදායම් නිල වශයෙන් ගණන් නොගැනෙන නිසා ඔවුන්ගෙන් බදු අය කර ගැනීම ප‍්‍රශ්නයක් වී තිබේ. උදාහරණයක් වශයෙන් අලුත් පනත යටතේ, මසකට රුපියල් 100,000 කට වැඩි ප‍්‍රමාණයක වැටුපක් ලබන රජයේ නිලධාරියා ‘උපයන විට ගෙවීමේ බද්ද’ (පේයී) ගෙවිය යුතු වුවත්, එම ආදායම හෝ ඊට වැඩි ආදායමක් මාසිකව ලබන අවිධිමත් අංශයේ සේවයේ යෙදෙන පුද්ගලයා මේ කියන ‘උපයන විට ගෙවීමේ බද්ද’ ගෙවන්නේ නැත.

සංකීර්ණ බදු පද්ධතිය

තවත් ප‍්‍රශ්නයක් වන්නේ රටේ පවතින බදු පද්ධතියේ පවතින සංකීරණතාවයි. දැනට විවිධ ආකාරයේ බදු සහ තීරුබදු රාශියකි. එය බදු ගෙවන්නාට දුෂ්කර තත්ත්වයකි. මේ ක‍්‍රියාවලියේ පවතින සංකීර්ණ බව නිසා බදු ගෙවන ව්‍යාපාරිකයා බෙහෙවින් වෙහෙසට පත්වෙයි. උදාහරණයක් වශයෙන් දැනට පවතින ‘වරාය සහ ගුවන් තොටුපොළ බද්ද’ ගෙනහැර දැක්විය හැකිය. මේ මගින් ආනනය ක‍්‍රියාවලිය දුෂ්කර කෙරේ. ඒ නිසා, එකම ආනයන භාණ්ඩය සඳහා විවිධ බදු වර්ග ගෙවනවා වෙනුවට, ක‍්‍රියාවලිය පහසු කරවනු වස්, වැඩි අගයකින් යුත් ඒකීය බදු ක‍්‍රමයක් යෝජනා කොට තිබේ.

වැට් බද්ද ගැන සලකා බැලුවහොත්, එහි ව්‍යතිරේක 150 කට වඩා තිබේ. ඒ නිසා එම බද්ද කාර්යක්ෂම නොවෙයි. විවිධ අනුපාතිකයන් වෙනුවට තිබිය යුත්තේ තනි සරළ බදු අනුපාතිකයකි.

මෑත කාලීන ප‍්‍රවණතා

2016 මහ බැංකු වාර්තාව පෙන්වා දෙන පරිදි, ආණ්ඩුවේ අයවැය තුළ නිතර දකින්ට ලැබෙන ව්‍යුහාත්මක දුර්වලතා විසඳීම සඳහා, හුදෙක් වැය ශීර්ෂයන් කප්පාදු කරනවා වෙනුවට, ආදායම් වර්ධනය කර ගැනීම හරහා මූල්‍ය ස්ථායීතාව ඇති කර ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ‘‘මෑත කාලීනව දකින්ට ලැබුණු, බදු ආදායම්වල පහත වැටීමේ ප‍්‍රවණතාව 2015 වන විට ආපසු හරවා ගැනීමට හැකි වී ඇතත්, රටේ පවතින බදු ව්‍යුහයේ ප‍්‍රශ්න ගැන සලකා බලන විට, එහි ප‍්‍රවේගය එක දිගටම පවත්වා ගත හැකි වන ආකාරයේ ප‍්‍රවේශයන් ඇති කර ගත යුතුව තිබේ. ඒ අනුව, බදු ක‍්‍රමය ක‍්‍රමවත් කර ගැනීම සඳහාත්, සරළ කර ගැනීම සඳහාත්, බදු පාදකය (පදනම) ව්‍යාප්ත කොට, බදු ව්‍යතිරේක සහ සහන වඩාත් ක‍්‍රමවත් කොට, බදු පරිපාලනය සවිමත් කිරීමට මේ වසරේ පියවර ගෙන තිබේ. ඒ අනුව, වැට් බදු වැඩි කොට ඇති අතර, වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු කෙරෙහි දෙන ලද විවිධ ව්‍යතිරේකයන් ඉවත් කොට, බදු දැළ තුළට අලුත් භාණ්ඩ සහ සේවා ඇතුළත් කොට බදු පදනම පුළුල් කරමින්, ජාතිය ගොඩනැගීමේ බදු සීමාව අඩු කරමින්, ආයෝජන මණ්ඩලය හරහා සපයන ලද දිරිගැන්වීම් වඩාත් ක‍්‍රමවත් කරමින්, ‘ආර්ථික සේවා ගාස්තුව’ වැනි වෙනත් බදු ඉහළ නංවමින්, විවිධ බදු වර්ග යටතේ සපයන ලද ව්‍යතිරේක ඉවත් කරමින් යම් පියවර ගෙන තිබේ.’’ යනුවෙන් මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.

එසේම ගත වූ වසරේදී බදු විගණනය ක‍්‍රමවත් කිරීමෙන් රුපියල් මිලියන 225,424 ක් පමණ වන අප‍්‍රකාශිත ධනයක් සඳහා බදු අය කර ගැනීමටත් හැකිව ඇති බව වාර්තා වෙයි. ඒ මත පදනම්ව එම වසරේදී ලැබූ අමතර බදු ආදායම රුපියල් මිලියන 17,023 ක් වන්නේය.

2017 අගෝස්තු 27 වැනි දා ‘සිලෝන් ටුඩේ’ පුවත්පතේ පළවූ “Sri Lanka’s Taxation at a Glance” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.