23 October, 2017

ගෙදර කුණු ගෙදරටම

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක කඩයිමක් පසුගිය දෙසතිය තුළ පසු කළේය. එනම් මේ රටේ දේශපාලනයේ මුලීක ලක්ෂණය වන්නේ භෞතික සම්පත් මත පදනම් වූ දේශපාලනයයි. එනම් බෝක්කු සෑදීම, පාරවල් හැදීම, කාණු දැමීම, කුණු ඉවත් කිරීම, ළමයි වඩාගැනීම, මලගෙවල්වල යෑම, වැනි කාරණාය. මේ රටේ ජනතාවවත්, දේශපාලඥයින්වත්, ප්‍රතිපත්ති සම්පාදනය මගින් තීරණාත්මක ප්‍රශ්න විසදිය හැකියැයි විශ්වාස කරන්නේ නැත. එබැවින් අනාගතය දෙස බලා කිසිවෙකුත් තීන්දු තීරණ ගැනීමට උත්සහ කරන්නේ නැත. මන්ද අනාගතය දෙස බලා ගන්නා තීන්දු තීරණවලින් මේ මොහොතේ මෙරට ජීවත්වන ජනතාවටවත්, සමාජයටවත් වාසියක් නොලැබෙන බැවිනි. එය මැතිවරණයකදී ඡන්දයක් බවට පත්කිරීමට ඇති අපහසුතාවය නිසාය. මීතොටමුල්ල හා ලංකාවේ කුණු ප්‍රශ්නය යනු එවැනි පැලැස්තර විසදුම් සඳහා පෙන්වාදිය හැකි හොදම උදාහරණයයි.

ලංකාවේ කුණු කළමනාකරණය කරන විධිමත් ක්‍රමවේදයක් නොමැත. අප කුණු සම්බන්ධයෙන් කටයුතු කරනුයේ දැනට වසර 2500කට පෙර ලෝකයේ ජනතාව කුණු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයටමය. එනම් ජනාවාසවල එකතුවන කුණු, ජනාවාසයෙන් එපිට ස්ථානයකට ගෙනගොස් දැමීමයි. එමනිසා ශ්‍රී ලංකාවේ කුණු ඉවත්කිරීම පිළිබද දැණුම වසර 2500කට වඩා පැරණි දැණුමකි. ලෝකය කුණු කළමනාකරණය සම්බන්ධයෙන් බොහෝ දුර ගොස් තිබේ. අප එයින් යමක් ඉගෙනගෙන තිබේ. ඒ කුණුවලින් මුදල් හම්බකරගත හැකි යැයි යන මිත්‍යාවයි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිත්‍යාවකි. කුණුවලින් මුදල් උපයාගත නොහැක.

ලංකාව වැනි රටක වෙළදාම ඉතා අපහසු කටයුත්තකි. මන්ද ශ්‍රී ලාංකික ජනතාවට මිලදීගැනීමේ පුරුද්ද අනෙක් රටවලට සාපේක්ෂව ඉතා අඩුය. ලංකාවේ වෙළෙන්දෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා විකුණන්නේ ඉතාම අපහසුවෙන්ය. ඉතින් එවන් රටක කුණු විකුණන්නේ කෙසේද? ලංකාවේ කසල කළමනාකරණ ක්ෂේත්‍රය දියුණු නොවූයේ කසල විකිණිය හැකියැයි තිබූ මෙම මිත්‍යා විශ්වාසය නිසාය. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ සිට ජාතික මට්ටමේ දේශපාලඥයින් දක්වා සියළුම දෙනා කසල සම්පතක් ලෙස දකින්නට පුරුදු වූ නිසාවෙන්, කසල කළමනාකරණය සදහා පැමිණි ආයෝජකයින්ගෙන් මුදල් ඉල්ලීමට පුරුදු විය. එය එසේ මෙසේ මුදලක් නොව කෝටි ගණන් වටිනා මුදල්ය. එම නිසාම ලංකාවේ කසල කළමනාකරණයට මුදල් ආයෝජනය කිරීමට එම ක්ෂේත්‍රයේ කටයුතු කරන කිසිදු ජාත්‍යන්තර මට්ටමේ සමාගමක් එකග නොවේ. මන්ද කසල කළමනාකරණය කරන සමාගම් බලාපොරොත්තුවන්නේ කසල නොමිලේ ලබාගෙන ඒවා වෙන්කොට පසු නිෂ්පාදන හෝ බලශක්තිය නිපදවාගෙන ඒවා අලෙවිකොට මුදල් ඉපයීමටයි. එවැනි ව්‍යාපාරයකින් කසල සදහා මුදල් ඉල්ලූවිට ඔවුන් ආයෝජනය කරන්නේ නැත. මන්ද කසලවලට මුදල් ගෙවන්න සිදුවුවහොත් ඔවුන්ට ලාභ ලබාගත නොහැකි බැවිනි. එමනිසා අප සිතිය යුත්තේ කසල ගැටළුවෙන් ගැලවීමටනම් ප්‍රථමයෙන් කසලවලට මිලක් නොමැති බව අවබෝධකර ගැනීමයි. අප එසේ සිතන්නට පුරුදු වූ පසු කසල කළමනාකරණ සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පැමිණෙනු ඇත.

ලංකාවේ කසල කළමනාකරණය සදහා මට පෙනෙන හොදම විසදුම ඇත්තේ තම නිවෙස්වලම කසල ප්‍රතිචක්‍රීකරණය හෝ විනාශ කිරීමයි. එය කරන්නේ කෙසේදැයි පැහැදිලි කිරීමට කැමැත්තෙමි. ශිෂ්ටාචාරය බිහිවූ දා සිට මිනිසුන්ගේ ජනාවාසවල බිහිවන අපද්‍රව්‍ය වර්ග කිහිපයක් තිබේ. එහි ප්‍රථම වර්ගයනම් ශරීරයෙන් පිටවන අපද්‍රව්‍යයි. ඒ පිළිබදව අපට හොද දැණුමක් තිබේ. අප විධිමත් වැසිකිලි, කැසිකිලි පාවිච්චි කරමින් ඒවා ඉතාම විධිමත්ව පිටකර තැන්පත් කරනු ලැබේ. එම අපද්‍රව්‍ය කිසිම කරදරයකින් තොරව පොළවට එකතුවේ. බීමට ගන්නා ජල මූලාශ්‍රවලට අඩි විසිපහකට වඩා ආසන්න නොවන තාක්කල් ලංකාවේ වැසිකිලි, කැසිකිලි පුරුදු හොද බව මගේ හැගීමයි.

අනෙක් කාරණය වන්නේ අප භාවිතාකර ඉතිරී වූ කැලිකසලයි. ඒවා මූලික වශයෙන් වර්ග තුනක් තිබේ. එකක් වන්නේ දිරාපත්වන අපද්‍රව්‍යයි. අනෙක වන්නේ නොදිරන පොලිතීන් වැනි අපද්‍රව්‍යයි. තුන්වන කාරණය වන්නේ පත්තර, යකඩ, කඩදාසි වැනි නැවත් භාවිතාකළ හැකි මිලක් ඇති භාණ්ඩය. ශ්‍රී ලාංකික අපට විධිමත් කසල කළමනාකරණ ක්‍රමයක් තවමත් රට තුළ ගොඩනැගී නැති අතර එය ගොඩනැංවීමට එක්තරා කාලයක් ගතවන අතර ඒ සදහා වසරක් හෝ දෙකක් ගතවෙතැයි මාගේ තක්සේරුවයි. එතෙක් ශ්‍රී ලාංකික අප කළයුත්තේ අප නිවෙස් තුළ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන භාජනයක් තබාගෙන සිටීමයි. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන භාජනය තුළින් එළියට දුගදක් වහනය නොවේ. නොදිරන ද්‍රව්‍ය පමණක් අප එය තුළට දැමුවහොත් ගෙදර කුණු ප්‍රශ්නය 70% ක් විසදාගත හැකිය. නොදිරන ද්‍රව්‍ය ගිණිතබා විනාශකල යුතුය (තාවකාලිකව). නැවත් භාවිතාව සදහා විකුණාදැමිය හැකිය (ඒ සදහා වෙළදුන් නිවස අසලට පැමිණේ). මේ සදහා අවශ්‍ය දැනුම ඕනෑතරම් අප සමාජයේ තිබේ. අප ඉදිරි වසර දෙක තුළ මෙසේ ක්‍රියාත්මක වුවහොත් රටේ කුණු ප්‍රශ්නය අදාල අංශ සූදානම් වනතුරු විසදාගත හැකිය.

නමුත් නිවස තුළ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන විසදුමේදී අප තවත් බරපතල ප්‍රශ්නයකට මුහුණදිය හැකිය. ඒ රට පුරා නිෂ්පාදනයකරන කොම්පෝස්ට් පොහොරවලට වෙළදපොලක් ලබාගැනීමයි. ඒ සදහා රටට හිතැති හොදම විසදුම රසායන පොහොර සීමාකිරීම හෝ තහනම්කිරීමයි. රසායන පොහොර වෙනුවට කොම්පෝස්ට් පොහොර භාවිතයට රටේ මිනිසුන් පෙළඹවීමයි.

දැනට වසර දහයකට පෙර රුපියල් 350 ට පොහොර ලබාදීමට ලංකාවේ ආණ්ඩුව තීරණය කිරීම නිසාවෙන් රටටත්, සමාජයටත්, පරිසරයටත්, සිදුවූ හානිය එමගින් ලැබූ ආර්ථික ලාභයට වඩා දහස්ගුණයකින් වැඩිය. එනම් රටේ රසායන පොහොර භාවිතය පසුගිය දශකය තුළ ඉතා සීඝ්‍රයෙන් ඉහල ගියේය. එය ඊට පෙර දශකයට වඩා දහස්ගුණයකටත් වඩා වැඩිය. එම පොහොර භාවිතයෙන් රටේ ජල මූලාශ්‍ර විශාල වශයෙන් දූෂණයට ලක්විය. විශේෂයෙන් රජරට ජනතාවට වසංගතයක් ලෙස වකුගඩු ආබාධ ඇතිවිය. ඇල, දොල හා වැව්වල ජෛව විවිධත්වය සම්පූර්ණයෙන්ම විනාශවිය. ඇල, දොල, ගංගා, මිනිස් පරිභෝජනයට ගත නොහැකි තරම් තත්ත්වයකට පත්විය. මෙම හානිය අප අස්වැන්නෙන් ලබාගත් ආර්ථික ලාභයට වඩා ඉතා වැඩි බව මාගේ පෞද්ගලික හැගීමයි. එමනිසා රුපියල් 350 පොහොර සහනාධාරය කරලියට ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණට මාගේ දැඩි විරෝධය හා සාතිශය සංවේගය පලකිරීමට කැමැත්තෙමි.

අවසාන වශයෙන් කිවයුත්තේ රටේ කසල කළමනාකරණය කිරීමට ගෘහ ඒකකවලට දැනුවත්කොට ගමේ ආර්ථික සංවර්ධන නිලධාරීන් හරහා එම කොම්පෝස්ට් පොහොර එකතුකොට ඒවා ගොවීන් අතර බෙදාහැර ජනතාවටත් ආදායමක් ඉපැයෙන ක්‍රමයක් සකස්කොට, රටේ රසායන පොහොර භාවිතයත් නවත්වා, කසල ප්‍රශ්නයත් විසදා, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ දැනුමෙන් ගමට සේවයක් ලබාගතහැකි විසදුමක් බව මාගේ හැගීමයි.

අගමැතිතුමාගේ ප්‍රතිසංස්කරණ අතර රටේ රසායන පොහොර භාවිතය අවම කිරීමේ වැඩපිළිවෙලට ගෘහස්ථ කසල කළමනාකරණයට ආණ්ඩුව විසින් යෝජනාකරන ක්‍රමවේදය මනා පිටිවහලක් වනබව මාගේ හැගීමයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    වසර 2500 ක් පරන කුණු වල දැමීමේ ක්‍රමය ඉතා සාර්ථක ක්‍රමයක්. අප පාසල් යන අවධියේ කොළඹ කුණු කීර කොටු වලට දමා සාර්ථක මුකුණුවැන්න, කන්කුන් වැනි අස්වැන්න ලබාගෙන ඒවා විකුනා ජීවත්වූ මිනිසුන් කොට්ටාසයක් සිටියා. කීර වල තත්වය ගැන සෑදි පැහැදුන නිවැසියන් ඒවා මිලට ගන්න මග බලා සිටියා. 1977 විවුර්ථ අාර්තික ක්‍රමය අවශ්‍ය, අනවශ්‍ය සියල්ල සීමාවකින් තොරව රටට හඳුන්වා දීමත් සමග කුණුත් ක්‍රමයෙන් වෙනස් උනා. ඒ කියන්නෙ වසර 50 කට කලින් තිබ්බ කුණු නෙවෙය් අද තියෙන්නෙ. අද කුණු වල දිරා නොයන විස අපද්‍රව්‍ය බහුලය්. එනිසා අද කුණු කීර කොටු වලට දමන්න බැහැ.

    අැත්ත, තුෂාර කියන ලංකාවෙ කුණු 60-70% ක් බොහෝ නිවෙස් වල ප්‍රතිචක්‍රීකරණය කර ගත හැකි බව මමත් පිළිගන්නවා. නමුත් ඊට කලින් තමන්ගෙ කුණු පාරට විසි නොකර ගෙදර ගෙනියන්න ජනතාව පුහුනු කල යුතුය්. ඒක ලෙහෙසි වැඩක් නෙවෙය්. ලී ක්වාන් සිංගප්පූරැවට පාරෙ කුණු නොදාන්න පාරෙ කෙල නොගහන්න පාරෙ යන්න විනය හඳුන්වා දුන්නෙ දඩ ගහල බලහත්කාරයෙනුය්. “ඝෝටා ලස්සනට හදපු කොළඹ
    මේ අයට නඩත්තු කර ගන්නවත් බැහැ” කියල සෝභිත හාමුදුරුවො අපවත් වෙන්න ඉස්සෙල්ලා කිව්වනෙ. ඉතින් රනිල්/සිරා කොහොමද ජනතාවගෙ අාකල්ප වෙනස් කොරන්නෙ?

    ඝෝටා ගෙ නායකත්වය යටතෙ හමුදාව යොදවලා කොළඹ කුණු ගොඩවල්, ගඳ ගහන අැලවල්, මදුරැ බෝකල කාණු සුද්ද කලා පමනක් නොවෙය් කොළඹ වැහි වතුර ගැලීමත් නතර කලා. අලුතින් එකතු කරන කුණු නම් ප්‍රතිචක්‍රීකරණය කල හැකිය්. නමුත් මීතොටමුල්ල සහ බ්ලුමැන්ඩල් කුණු කන්ද දැන් ප්‍රතිචක්‍රීකරණය කරන්න බැහැ. ඒවා පස් සමග කොම්පැක්ට් (තද වෙලා) ඉවරය්. කොළඹ ශුද්ද කරන්න නම් එම කුණු කඳු ජන ශූන්‍ය ස්ථානයකට ගෙන ගොස් තැන්පත් කල යුතුය්. හරි හෝ වේවා වැරදි හෝ වේවා ඝෝටා කුණු ප්‍රශ්නෙට අරැක්කාල් වල තැන්පත් කරන්න විසඳුමක් ගෙනාවා. විසඳුම කැබිනට් එකෙන් අනුමත කොරගෙන 2014 අය-වැයෙන් මුදලුත් වෙන් කර ගත්තා.

    මරික්කාර්ල හිරැනිකාල බොරැ කියල පච කෙලල මහින්ද පන්නා ගත්තා. මීතොටමුල්ල කුණු කන්ද විසඳන පොරොන්දුව මත පසුව මංත්‍රි උනා. සිරිසේන/රනිල්ගෙ ‘යහපාලන’ අාණ්ඩුවෙ අායුසෙන් දැන් බාගයක් ඉවර වෙන්නත් ළඟය්. මේ අය දිගටම කුණු කන්ද ලොකු කලා මිස කුණු ප්‍රශ්නෙට අත තිබ්බෙ වත් නැහැ. දැන් ඉසුරැ කියනවා පච රණවක පර්චස් 60ක් නොදුන් නිසා එයා ගෙනා කොම්පැනිය යන්න ගියාලු. පච රණවක කියනවා ඉසුරැගෙ ඹිරිඳ කොමිස් ඉල්ලුව නිසා විසඳුම ගෙනෙන්න බැරි උනාලු.

    කොරනං බය්ල කීම අැරෙන්න රනිල් කල එකම දේ මහ බැංකුවට විදල අාර්තිකයට කෙලවපු එක පමනය්. තවත් මොනවද, කුණු ප්‍රශ්නෙ නොවිසදපු එකේ වැරැද්දත් රාජපක්ෂලගෙලු.

    • 0
      0

      තුෂාර වන්නිආරච්චි,

      “ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක කඩයිමක් පසුගිය දෙසතිය තුළ පසු කළේය. එනම් මේ රටේ දේශපාලනයේ මුලීක ලක්ෂණය වන්නේ භෞතික සම්පත් මත පදනම් වූ දේශපාලනයයි. එනම් බෝක්කු සෑදීම, පාරවල් හැදීම, කාණු දැමීම, කුණු ඉවත් කිරීම, ළමයි වඩාගැනීම, මලගෙවල්වල යෑම, වැනි කාරණාය. මේ රටේ ජනතාවවත්, දේශපාලඥයින්වත්, ප්‍රතිපත්ති සම්පාදනය මගින් තීරණාත්මක ප්‍රශ්න විසදිය හැකියැයි විශ්වාස කරන්නේ නැත. “

      Horakam kirime hakiysavath, boru keeme hakiyavath, thvamath deshapalanayanta aeta.

      The ability to rob and the ability to lie, is still retained by the politicians.

  • 0
    0

    Ranil and MY3 only Talk Talk Talk and no Work.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.