28 September, 2020

Blog

කසළ කළමනාකරණය: අහිමි කරගත් අවස්ථා හා අනාගතය

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

භාග්‍යවන්ත මාසය සේ හැඳින්වෙන බක් මාසයේ භාග්‍යවන්ත ම දිනය යැයි සැලකෙන දිනයේ දී රටට අසන්නට ලැබුණු පණිවිඩය සතුටුදායක එකක් නොවීය. දින ගණන්, මාස ගණන්, වෙහෙසෙමින්, අවුරුදු ප්‍රීතිය සැමරීමට ලකලැහැස්ති වූ සංවේදී හිත් ඇති බොහෝ දෙනාගේ දෙනෙත්වලට කඳුළු ගෙන ඒමට එම අවාසනාවන්ත ප්‍රවෘත්තිය සමත් විය. කුණු කන්දකට යට වී, එකවර විශාල මිනිසුන් ගණනක් මියගිය දිනයක් ලෙස ලෝක ඉතිහාසයට එකතු වූ එම දිනය සහතිකවම, අපේ ඉතිහාසයේ අඳුරුතම දිනයක් වීම වැළැක්විය නොහැකිය. කුණු කන්දකට යටවී විශාල ජිවිත හානි ප්‍රමාණයක් අහිමි වෙමින් ඉතියෝපියාවේ අඩිස් අබබා නුවර මීට මසකට ඉහතදී සිදුවූ ශෝකජනක සිදුවීමේ මතකය අලුත් කිරීමට මෙම සිදුවීම සමත් විය. මීතොටමුල්ලේ සිදුවූ මේ විනාශය අහඹුවක් නොවේ. අඩි 300කට වඩා උස, අක්කර 16කට වඩා වැඩි භූමියක් වසාගෙන සිටි, ආරම්භයේ සිට මේ දක්වා ටොන් මිලියන 25කට වඩා කුණු ගෙනවිත් දමා ඇති, මේ භූමියේ මෙබඳු විපතක් සිදුවන බව සියල්ලෝම හොඳාකාරවම දැන සිටියහ. ඔවුහු නොදැන සිටියේ එය සිදුවන දිනය පමණි. එබැවින් මේ විනාශය පිළිබඳ වගකීමෙන් සමාජයක් ලෙස අපට මිදිය නොහැකිය.

ශිෂ්ටාචාර පිළිබඳ ඇගැයුම් සිදු කිරීමේදී ඊට වටිනාකම් ලබාදීමේදී ඒ අදාළ පරිසරයේ ජනතාව අපද්‍රව්‍ය කළමනාකරණය කරගත් ආකාරය සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයන් වැඩි බරක් යොදන මුත් ධනවාදයේ තුන්වැනි කාර්තුව තුළ දී පවා අප සිටිනුයේ ඒ පිළිබඳ සතුටු විය හැකි මට්ටමක නොවේ. කෙතරම් පුරාජේරු කථා දෙසා බෑව ද කසළ කළමනාකරණයේ ප්‍රාථමික අවදිය වන ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් හෝ තවම අප සාර්ථකත්වයක් අත්පත් කරගෙන නොමැති බව තිත්ත ඇත්තය. ඒ සම්බන්ධයෙන් ලෝකය හා අප අතර ඇති පරතරය විශාලය. ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරියක ලෙස කටයුතු කරන, සමුද්‍රා ජයලත් ඒ පිළිබඳ කදිම සටහනක් ඇගේ ෆේස්බුක් පිටුවේ තබා තිබිණි. ඇගේ පශ්චාත් උපාධිය සම්පූර්ණයෙන්ම කසළ කළමනාකරණය හා බිම් පිරවුම් පිළිබඳ වූ අතර තම ආචාර්ය උපාධිය වෙනුවෙන් පවා ඇය, මේ විෂය පිළිබඳ පර්යේෂණ කිහිපයක්ම කළ තැනැත්තියකි. මේ ඇය ලංකාවේ කුණු ගැන කියන කථාව ය.

“අපේ රටට හා අපේ මිනිසුන්ට කුණු යනු කුණු ම ය. චීය. ඈක්කාය. ඒවා ගැන කථා කරන අයත් කුණු ගොඩවල්ය. නිල මැස්සෝය. හැකි ඉක්මනින් ඒවා කොහේට හෝ තල්ලු කර දමනු හැර ඒ ගැන ඉන් එහාට හිතන්නටවත් වුවමනාවක් නැත. මේ සා විශාල කුණු කඳු නිපදවන්නේ තමුන්ම බව කිසි කෙනකුට නිච්චියක් නැත. කසළ කළමනාකරණය ගැන වගේ වගක් නැත. කසළ කළමනාකරණයේ ප්‍රාථමික අවධියේවත් එනම් recycle කිරීමේදීවත් අප ලෝක මට්ටමට තබා අවම තත්ත්වයටවත් ළඟා වී නැත. අප තවම සිටිනුයේ එහි ප්‍රාග් ඓතිහාසික යුගයේ එනම් dumping අවධියේය. එහෙත් ලෝකය, අප පසුකොට බොහෝ දුර ගොස්ය. කසළ කළමනාකරණයේ ප්‍රාථමිකම අවස්ථාව වන recycling පවා දැන් සැලකෙනුයේ අවම තේරීමක් විදිහටය.

recycle —-> reuse —-> reduce —–> rethink දක්වා ලෝකය ගමන් කරමින් සිටී. අප තවමත් dumping යුගයේය. ඒකේත් අවිධිමත්ම ලෙසය. කසළ කළමනාකරණය හැදෑරිය යුතු විද්‍යාවක් ය. තාක්ෂණයක් ය. කලාවක් ය. සාමූහික වැඩපිළිවෙළක් ය. ජන සමාජයක මූලිකම අවශ්‍යතාවකි. විශාල ආයෝජනයක් අවැසි කර්මාන්තයකි” සමුද්‍රා ජයලත් එසේ ලියයි.

නැව් නොඑන වරායවල් ඉදිකිරීමට, ගුවන් යානා පැමිණෙන්නේ නැති පාළු ගුවන් තොටුපළවල් ඉදිකිරීමට තිබූ උනන්දුව හෝ මතුපිට අලංකාර ලෙස පවත්වාගෙන යෑමට තිබූ නොනිමි පිපාසය බඳු වැන්නක් කුණු කසළ ප්‍රශ්නය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට කිසි දිනෙක තිබුණේ නැත. ඒ නිසාම කොළඹ අලංකරණයේ වියදම අවසානයේ දැරීමට සිදු වූයේ මීතොටමුල්ලේ ජනතාවටය.

1989 වසරේ සිට කුණු දැමීම් සිදු වුවද මහා පරිමාණ මට්ටමින්, මීතොටමුල්ලේ කුණු දැමීම ඇරැඹුණේ මීට වසර 08කට ඉහතදීය. කොළඹ අලංකරණය වෙනුවෙන් බ්ලුමැන්ඩල් කුණු කන්ද සුද්ද කිරීම ඇරැඹුණු පසු ඒ රාජකාරිය සඳහා අනතුරුව තෝරාගත්තේ මීතොටමුල්ලය. සරත් නන්ද සිල්වා හිටපු අගවිනිසුරුවරයා රටේ අධිකරණ පද්ධතියේ ප්‍රධානියා ලෙස රාජකාරි කළ සමයේ දී ඊට අවශ්‍ය නෛතික තහවුරු කිරීම හිමි වූයේ අක්කර දෙකක භූමි භාගයක් ඒ සඳහා වෙන් කරලමිනි. බ්ලුමැන්ඩල් සිට මීතොටමුල්ලට කුණු කන්ද රැගෙන යෑම සරල කාරණය හැරුණු විට කිසිදු විද්‍යාත්මක පදනමක් හෝ වැඩපිළිවෙළක් පෙරදැරිව එම වෙනස සිදු වූයේ නැත. එය හිසරදයට කොට්ට මාරු කිරීමක් පමණක් ම විය.

කසළ කළමනාකරණය ජන සමාජයක මූලික අවශ්‍යතාවක් වුවත් අදාළ වගකිවයුත්තන් ඊට ප්‍රතිචාර දැක්වූයේ කුණු විසි කරන්නාක් මෙන් වගකීම් විරහිත ආකාරයටය. පසුගිය ඉතිහාසය පුරා අඛණ්ඩව දැකගත හැකි පොදු අත්දැකීම එය ය. අගනගරයේ කුණු බැහැර කි‍රීමේ ඉතිහාසය ගත් විට, නවසිය අසූව දශකයේ අගභාගය තෙක්ම, විවෘත බිම්කඩවල්වල, කීර කොටුවල හා පහත්බිම් ප්‍රදේශවල ඒවා ගොඩගැසීම පිළිගත් ක්‍රමය විය. කෙසේ වෙතත්, කොළඹ සංවර්ධනය වීම ඇරැඹුණු පසු, අගනගරය හා ඒ අවට කුණු ගොඩගැසීම හා ඒවා බැහැර කිරීමේ ක්‍රියාවලිය, පහසු කටයුත්තක් නොවීය. කුණු එක් තැනකට එකතු කිරීම පමණක්, ප්‍රමාණවත් නොවුන අතර දෛනිකව අගනගරය තුළ ගොඩගැසෙන එහි සුන්දරත්වය කෙලෙසන අපද්‍රව්‍ය මනා කළමනාකාරිත්වයක් යටතේ බැහැර කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්කර තිබිණි. ඒ වෙනුවෙන් වූ උනන්දුවක් නොතිබුණා නොවේ.

කරූ ජයසූරිය මහතා කොළඹ පුරපතිවරයාව සිටි සමයේදී කොළඹ කුණු ප්‍රශ්නයට තිත තැබීම වෙනුවෙන් හෙතෙම ප්‍රබල උත්සාහයක් ගත්තේය. ජයසූරිය මහතාගේ එම උත්සාහයට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස එවකට කටයුතු කළ ඉන්දික ගුණවර්ධනගෙන් හා ඒ සමයෙහි බස්නාහිර පළාත් මහා ඇමැතිවරයා වූ සුසිල් ප්‍රේමජයන්තගේ සහාය ද හිමිව තිබිණි. සනීපාරක්ෂක බිම් පිරවුම් ක්‍රමය යටතේ විද්‍යාත්මක කසළ රඳවනයක් අවිස්සාවේල්ල මීපේ ප්‍රදේශයේ ඉදිකිරීමට ඒ යටතේ සැලසුම් සකස් කළ අතර, එම ව්‍යාපෘතිය සඳහා මුළුමනින්ම ආධාර කිරීමට ලෝක බැංකුව ඉදිරිපත් විය. යම් ස්ථානයක කුණු ගොඩගැසීම වෙනුවට සනීපාරක්ෂක බිම් පිරවුම් ක්‍රමයේදී සිදු වනුයේ ඒ සඳහාම තැනු බිමක කුණු විද්‍යාත්මක ලෙස අසුරාලීමය. එහිදී ලෝක බැංකුව පෙන්වා දුන් කාරණය වූයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නම් අවම තරමින් දිනකට මෙට්‍රික් ටොන් 1000කවත් අපද්‍රව්‍ය අවශ්‍ය කරන බවය. ඒ සමයේ කොළඹින් දිනකට එකතු කරගත හැකි වූයේ මෙට්‍රික් ටොන් 600ක් පමණක් වූ බැවින් හිඟ අවශ්‍යතාව සම්පූර්ණ කරගැන්මට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව, මොරටුව නගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව, කොළොන්නාව නගර සභාව හා කඩුවෙල නගර සභාව ද ඊට එකතු කර ගන්නා ලදී. මෙට්‍රික් ටොන් දහසේ අවශ්‍යතාව එසේ සම්පූර්ණ කරගත් පසු ලෝක බැංකුව සමඟ මේ සඳහා වන ගිවිසුම අත්සන් කිරීමට කොළඹ නාගරික කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ මාරසිංහ පෙරේරාව, වොෂින්ටනය බලා වහා පිටත්කර යවන ලදී. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය වෙනුවෙන් ලෝක බැංකුව මීට අදාළ ටෙන්ඩර් කැඳවූ අතර රුපියල් මිලියන 800 ක ව්‍යාපෘතිය චීන සමාගමකට ලබා දෙන ලදී. මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි මධ්‍යස්ථාන‍යක් වෙත කුණු එක්රැස් කර කොළඹින් කිලෝමීටර් 50ක් ඈතින් පිහිටි මීපේ වෙත කන්ටේනර් රථ ඔස්සේ ප්‍රවාහනය කිරීම ව්‍යාපෘති සැලැස්ම විය. ප්‍රවාහන ගාස්තු නොමැතිව හෙළිමේ ගාස්තුව ලෙස කුණු මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන් රුපියල් 640ක් ගෙවීමට පළාත් පාලන ආයතන ගිවිසුම අනුව එකඟතාව පළ කරන ලදී. මෙසේ සියල්ල සුමටව ගලා යෑමට සැරසෙද්දී 1999 අප්‍රේල් මාසයේ හය වැනිදාට කැඳවූ බස්නාහිර පළාත් සභා මැතිවරණය මුළුමනින්ම එම “සමීකරණය” අවුල් කිරීමට සමත් විය. එම මැතිවරණය සඳහා කරු ජයසූරිය මහතා එජාපයේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස තරග කළ අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා පොදු පෙරමුණේ මහ ඇමැති අපේක්ෂකයා විය. මේ අතර විමල් වීරවංශ, හා බන්දුල ගුණවර්ධන මහත්වරු ජවිපෙ හා මහජන එක්සත් පෙරමුණු ඡන්ද සටන මෙහෙයවමින් තරගයට එක්ව සිටියහ.

ජාතික මට්ටමේ කාරණාවලට අමතරව කුණු ප්‍රශ්නය ද මැතිවරණ සටනේ ප්‍රධාන කාරණයක් විය. ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය පතුරු ගසමින් ඇතැමුන් එය හැඳින්වූයේ කොළඹ කුණු අවිස්සාවේල්ලට ගෙන ඒමේ සැලැස්මක් ලෙසය. 1994 මහ මැතිවරණයේදී උන්හිටි තැන් අහිමි වූ දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ එම විරෝධය කුළුගැන්වීමේදී ඉදිරියෙන්ම සිටි අතර, ජනතා විරෝධය උත්සන්න වෙත්ම සුසිල් ප්‍රේමජයන්ත හා විමල් වීරවංශලා ද ඒ සමඟ එකතු විය. තමන් මෙම ව්‍යාපෘතියට සහාය නොදෙන බවට අවිස්සාවේල්ලේ ජනතාව හමුවේ ඔවුහු ප්‍රසිද්ධියේ පොරොන්දු වූමුත්, එජාප මහ ඇමැති අපේක්ෂකයා වූ කරු ජයසූරිය මහතා පහසු කෙටි ජනප්‍රිය මාවත වෙනුවට දුෂ්කර මාර්ගය තෝරා ගත්තේය.

මෙම ව්‍යාපෘතිය නතර කරනවා වෙනුවට එය ක්‍රියාත්මක කර කිසිවෙකුට ගැටලුවක් ඇති නොවන සේ කුණු ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන බව ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. අතිශය තියුණු මුහුණුවරක් ගත් එම මැතිවරණයේදී එජාපය, පැරදුණේ ඡන්ද 9056 කිනි. අවිස්සාවේල්ල, පාදුක්ක ඇතුළු ප්‍රදේශවල ජනමතය එජාපයට ඒ හැටි හිතවත් නොවූ අතර ජන මනස සමඟ ක්‍රීඩාවක නිරත වූ මහජන එක්සත් පෙරමුණට එහිදී තරමක සහයෝගයක් හිමිව තිබිණි. රෝදය ලකුණ ඉදිරියෙන් කොළඹදී ඡන්ද 43008ක් වැටී තිබූ අතර ඉන් බහුතරයක් ලැබී තිබුණේ කැලණි ගංමිටියාවත අවට ප්‍රදේශවලිනි.

එජාපයට අවිස්සාවේල්ල, හෝමාගම වැනි ආසනවලින් ඊට වඩා වැඩි සහායක් හිමිවුණේ නම්, එම මැතිවරණයේදී නිසැකවම බස්නාහිර පළාතේ බලය හිමි වනුයේ, එජාපයටය. ඡන්ද 9056 ක වාසිය තුළ ලැබු ප්‍රසාද අසුන් දෙක සමඟ බහුතර බලය පොදු පෙරමුණට ලැබිණි. මෙම ව්‍යාපෘතියට විරුද්ධව සුසිල් ප්‍රේමජයන්ත මහතා ගත් තීරණය අදහාගත නොහැකි වූයේ ඉන්දික ගුණවර්ධන ඇමැතිවරයා ඇතුළු මධයම රජයේ වගකිවයුත්තන්ගේ සහාය ඊට නොමඳව හිමිව තිබූ බැවිනි. මධ්‍යම පරිසර අධිකාරිය පවා මීපේ ප්‍රදේශයේ ව්‍යාපෘතියට තෝරාගත් ඉඩම ඒ සඳහා යෝග්‍ය බවට සහතික කර තිබිණි. නමුත් අවස්ථාවාදී දේශපාලනය සියල්ල වෙනස් කළ අතර, ඒ තුළ ඇතිවූ අපහසුතාව හා කලකිරීම තුළ ලෝක බැංකුව ව්‍යාපෘතියෙන් ඉවත්ව ගියේය. කෙටි කාලීන වාසි අපේක්ෂාවෙන් සිදුකළ එම අවස්ථාවාදී රංගනය, වෙනුවෙන් පසුකාලීනව ගෙවීමට සිදුවුණු වන්දිය අතිමහත් වූ අතර සිහංල අවුරුදු දා මීතොටමුල්ලේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම එහි කූටප්‍රාප්තී අවස්ථාව විය.

මීතොටමුල්ල සිදුවීමේ වගකීම රජය දෙසට විතැන් කිරීමට, ඇතැමුන්ට තිබු උනන්දුව, කුණු ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් දීම වෙනුවෙන් පැවැතියේ නම්, බෙහෙවින්ම මීට වඩා ඵලදායී වන්නට තිබිණි. කුණු කන්දේ විනාශය නිරීක්ෂණයට මුඛවාඩම් සහිතව අගමැතිවරයා යෑම ඇතැමුන්ට රට පෙරළන ප්‍රශ්නයක් වී තිබිණි. නිල සංචාර දෙකකින් අනතුරුව යළි මෙරටට ආ සැණින්, මීතොටමුල්ලට යෑමට තරම් ධෛර්යයක්, අග්‍රාමාත්‍යවරයාට තිබුණ ද මහා පෞරුෂ ලෙස පිටතට පෙනී සිටීම් කරන ඇතැමුන්ට නම් ඒ සඳහා කිසිදු හයියක් නොතිබිණි. ඒ තමන් මෙම මහා විපතට වගකිව යුතු බව ඔවුන්ගේ හෘදය සාක්ෂිය අන් සියල්ලටම වඩා හොඳාකාරවම දන්නා බැවිනි. මීතොටමුල්ලේ කුණු කඳු කඩා වැටීම ඇරැඹුණේ 2015 ජනවාරි අට වැනිදායින් පසුව නොවේ. මීතොටමුල්ල කුණු කන්දට මීටර් 20ක් එහායින් ඇති ශ්‍රී රාහුල විද්‍යාලය සම්පූර්ණ පාසල් වාරයක් වසා දැම්මේ අද ඊයෙක නොව 2013 ජනවාරි දෙවැනිදාය. මීතොටමුල්ල අවටින් ගෙවල් කැඩී යෑම ඇරැඹුණේ 2011 වසරේ පමණ සිටය. 2014 දී මේ අවට විශාල ගින්නක් පැතිරුණු ආකාරය ලියුම්කරුට මතකය. සැබැවින්ම අද බලයේ නොසිටියා ය කියා මීතොටමුල්ලේ සිදු වූ විනාශය පිළිබඳ වගකීමෙන් අත පිස දමා ගැනීමට කිසිවෙකුට නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ සැලසුම් කළ පුත්තලමේ අරුවක්කාලු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ නම්, සියලු දෝෂ නිවාරණ බවට මත සමාජගත කරන පිරිසක් ද සිටිති. එදා ජල උල්පත්වලට, පසේ සංයුතියට හා අවට වායුගෝලයට පරිසරයට කිසිදු හානියක් නොවන සේ නවීන විද්‍යාත්මක ක්‍රම ඔසසේ ගෙනා මීපේ ව්‍යාපෘතියට විරුද්ධ වූ දිනේෂ් ගුණවර්ධනලාගෙන් අපට ඇසීමට ඇත්තේ අරුවක්කාලු යනු 100%ක් දෝෂ රහිත අංග සම්පූර්ණ ව්‍යාපෘතියක් ද යන්නය.

අත්හැර දමන ලද හුණුගල් කොරියක් මත කසළ තැන්පත් කිරීමට ගෙනා, එම යෝජනාවෙන් ඇතැම් විට කසළ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණ ද ඒ හරහා තවත් පාරිසරික ගැටලු රැසක් මතුවන්නට හොඳටම ඉඩ තිබිණි. කොළඹ සිට කිලෝමීටර් 170ක දුරින් පිහිටි එම භූමියට ඊසාන දිගින් මීටර් 200ක් වන්නට රටේ පොහොසත්ම කඩොලාන ප්‍රජාවක් ඇති කලාඔය හා ලුණුඔය පිහිටා ඇති අතර විල්පත්තු ආරක්ෂිත කලාපයේ සැතපුමක් ඇතුළත අදාළ භූමිය පිහිටීම තුළ අලි මිනිස් ගැටුම වැඩිවීමේ අවදානමක් ද විය. එම ප්‍රදේශය දුර්ලභ කුළුබඩු හා ධාන්‍ය වර්ග වැවෙන ප්‍රදේශයක් වීම හා මයෝසීන යුගයට අයත් පැහැදිලි සාක්ෂි අවට තිබීම තුළ පාරිසරිකව පමණක් නොව පුරාවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයන් ගත්ත ද එය බරපතළ ගැටලු නිර්මාණය කරනු ලබයි. සනීපාරක්ෂක බිම් පිරවීමේ ක්‍රියාවලිය යනු පෙර සඳහන් කළාක් මෙන් සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ සඳහා ගැළපෙන ස්ථානයක් තෝරා ගැනීමේ සිට සියල්ල කළ යුත්තේ ඉංජිනේරු හා පරිසර විද්‍යානුකූලව ය. අනිවාර්යයෙන්ම පාරිසරික සාධක අමතක කර මෙවැනි ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකිය.

මේ වන විට කැපී පෙ‍ෙනන මට්ටමට පැමිණ ඇති කුණු ප්‍රශ්නය හමුවේ ඇතැම් දේශපාලනඥයන් තවමත් දක්වමින් සිටින ප්‍රතික්‍රියා විහිළු සහගතය. දොම්පේ අවට පසුගියදා රඟ දැක්වූ කසළ විරෝධය චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූයේ එහි හිටපු ප්‍රාදේශීය සභාපතිවරයාය. රජයේ මුදලින් ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍රවලින් ඉඳුම් හිටුම් හා යැපුම් දීමනා ද සහිතව කොරියාවේ කසළ කළමනාකරණය පිළිබඳ අධ්‍යයනයට ගිය පුද්ගලයෙකි, මෙම හිටපු සභාපතිවරයා. කුණු කසළ බැහැර කරන ස්ථානය ස්ථාපිත කළ හිටපු සභාපතිවරයාම අද කුණුවලට එරෙහි බාල දේශපාලනයක නිරත වීම බුද්ධිමත් ජනතාව පරිස්සමින් තේරුම් ගත යුතුය. සුවඳ නොමැති මුත් කුණු අපේ බොහේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ට රසවත් ආහාරයක්මය. අධ්‍යයනය කිරීමට යැයි කියමින් රට සවාරි යෑමට, ක්‍රියාත්මක කිරීමට කොමිස් මුදල්, කුණු එකතු කිරීමට ලොරි සපයා මුදල් ගරා ගැනීම් සමඟ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නම්, මේ සිරිලකේ කියවුණේ වරකදී දෙකකදී නොවේ.

අප හැම විටම කියන ආකාරයට ශ්‍රී ලංකාවේ දේශපාලනය යනු රඟපෑමකි. මීතොටමුල්ල බඳු ව්‍යසනයන් දේශපාලනඥයන්ට නිතරම හොඳ අවස්ථාවන් නිර්මාණය කර දෙයි. තමන්ගේ නම සඳහන් කරමින්, ගංවතුරේ බත් පැකට් වියළි ආහාර බෙදු මැති ඇමැතිවරු සිටින රටකි, මෙය. නමුත් මෙවර නම් ඒ කුරුමානම වැරදිණි. කුණු කන්ද පිළිබඳ වූ තම ඉල්ලීම් දිගින් දිගටම නොසලකා හැරීම තුළ වූ ප්‍රබල ජනතා විරෝධය තුළ මීතොටමුල්ලේ “පිනුම්” ගැසීම දේශපාලනඥයන්ට පහසු කටයුත්තක් නොවීය. මීතොටමුල්ලට යෑමට තරම් කිසිදු ධෛර්යයක් ඒ අවට දේශපාලනඥයන්ට නොතිබුණ ද සාගල රත්නායක වැනි දේශපාලනඥයන් මේ විපත සිදුවීමෙන් පසු තත්ත්වය කළමනාකරණය කිරීම වෙනුවෙන් කළ මැදිහත් වීම ප්‍රශස්ත මට්ටමක විය. දුෂ්කර තත්ත්වයන් හමුවේ අභියෝගයට මුහුණ නොදී පලා යන දේශපාලනඥයන් බහුල සංස්කෘතියක් තුළ සාගලගේ මැදිහත්වීම, කැපී පෙනිණි. සුපුරුදු පරිදි මේ අවස්ථාවේදීත් ව්‍යසනයෙන් පසු තත්ත්වය කළමනාකරණය කරගැන්මට යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඉහළම කැපවීමෙන් කටයුතු කළ අතර ප්‍රසිද්ධියක් නොමැතිව වුවද එරන්ද වැලිඅංගේ ප්‍රමුඛ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් ද ප්‍රදේශයේ තරුණයන් සමඟ එක්ව ඒ සඳහා වෙහෙසෙන ආකාරය මීතොටමුල්ලේ සංචාරය කළ අවස්ථා කිහිපයකදී අපට දැකගත හැකි විය.

අනෙක් අතට, මේ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව ප්‍රධාන දහරාවේ මාධ්‍ය හා සමාජජාල මාධ්‍ය ඔස්සේ ඇතැමුන් මේ සිදුවීම ‘ප්‍රාසංගිකකරණය’ කළ ආකාරය ජුගුප්සාජනක මට්ටමක පැවැතීම සැබැවින්ම කනගාටුදායකය. සමහරු මේ හා සම්බන්ධ ඡායාරූප පළ කිරීමට උනන්දු වී තිබුණේ මිනී කපුටන් මෙනි. එය පෙන්නුම් කරනුයේ රටක් ලෙස, සංස්කෘතියක් ලෙස අප පසුවන පසුගාමී තත්ත්වය මිස වෙ‍ෙනකක් නොවේ. සුප්‍රකට සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අනතුරුව එක් මළ මිනියක ඡායාරූපයක් අවම තරමින් අන්තර්ජාලයේ හෝ පළ නොවූ අතර මෑතකදී සිදුවූ ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයේදී ද තත්ත්වය එය ම විය. එහෙත් ඒ වෙනුවට මෙවැනි අවස්ථාවලදී අපේ රට තුළ තවමත් දැකගත හැක්කේ “මළමිනී විකිණීම” ය. ඇතැම් විට එය යුද්ධය තුළ වූ බලපෑමක් විය හැකි ය. මාගේ සමාජිය මිත්‍රයකු නිවැරැදිවම පවසා තිබූ අන්දමට පසුගිය අවුරුදු 30, 40 ගත් විට මිථ්‍යාව අපරාධ, මළමිනී හා කුණු රසය විකුණාගෙන කෑම හැර යහපත් දෙයක් විකුණා ඉදිරියට ආ හඳුන්කූරක් හෝ මේ රටේ නොමැත. එබඳු පසුබිමක් තුළ මළමිනී විකිණීම බඳු “විසුක දස්සන” ඉදිරියේ හෝ නතර වේයැයි අනුමාන කළ නොහැකි තරම්ය.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    2

    ආන්ඩුව ලස්සනට බේරගෙන තියෙනවා ඔව්… ලකුණු 99% දෙන්න පුලුවන්…
    මීට රනිල් හාමු

    • 1
      1

      මේ වෙනකොට සිරිසේන ජනාධිපතිගෙ ධූර කාලයෙන් අඩක් ගෙවී යාමට අාසන්නය්. නමුත් සිරිසේනගෙ අාණ්ඩුව රටේ ප්‍රශ්ණ වැඩි කර ගත්තා මිස පොරොන්දු ඉෂ්ඨ කිරීමට තබා කිසිම ප්‍රශ්ණයක් විසඳිමට අද වන තෙක් අත තබාවත් නැහැ. සාලාවේ පිපිරීමේ සිට මීතොටමුල්ල කුණු කන්ද නාය යාම දක්වා සෑම ව්‍යසනයකම වගකීම මේ ලියුම්කරැ වැනි ගැත්තන් යොදා ගෙන රාජපක්ෂලාට නිරතුරුව බැර කරය්. ඒනිසා මෙම ලිපිකරැ ගැන ඔඹ කී කතාව හරියටම හරි.

      මේ ලියුම්කරැ දොඩවන්නේ අන්ඬර දෙමලය. ලෝකයේ ඔිනෑම නගරයක කුණු (අපද්‍රව්‍ය) එකතු කිරීමේ සහ බැහැර කිරීමේ වගකීම පැවරෙන්නේ නගර සභාවට බව උගත් ලියුම්කරැ නොදනී. කරූ ජයසූරිය පමනක් නොව 1956 සිට කොළඹ නගර සභාවේ සියලුම නගරාධිපතිවරැ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බවත් ඔහුට අමතකය. සීග්‍ර ලෙස කොළඹ ජනාකීර්ණ උනෙත්, කඩ සාප්පු, හෝටල් වැඩි උනෙත් පොලිතීන් (නොදිරන ද්‍රව්‍ය) බැහැර කිරීම් මුලින්ම වර්ධනය උනෙත් 1977 සිට 1994 දක්වා වසර 17ක් රාජ්‍ය බලය හිමිව තිබු ඒජාප කාලයේ බව ඔහුට අමතකය. එනිසා කුණු කඳුවල වග කීම වසර 23ක් එජාප යේ ඒකාධිපති නායකයා වන රනිල් බාර ගත යුතු යය් මට සිතේ. මෑතකදී වාසු කියු කතාව 100% ක් හරිය. කුණු ප්‍රශ්ණය විසඳනවා වෙනුවට එජාප කොළඹ කුණු ජාවාරමක් කර ගත්තේය. මරික්කාර්ලා හිරැනිකාලා මංත්‍රි උනේ කුණු යොදා ගෙනය. නමුත් උන් විසඳපු කුණු ප්‍රශ්ණයක් නැත.

      ලියුම්කරැ අතිශයෝක්තිියෙන් නගරාධිපති කරූ ජයසූරිය විසින් ඉදිරිපත් කලා යය් කියන ‘කොළඹ කුණු මාදම්පිටියට එක්රැස් කර, තෝරා බේරා, පසුව “සනීපාරක්ෂක බිම් පිරවුම් ක්‍රමයට” මීපෙට ගෙනැවිත් ගොඩ ගසන්න හැදූ ක්‍රමයටම එජාප යේ කොළඹ නගරාධිපති වරැ ගනනාවක් කරූට කලින් බ්ලුමැන්ඩල් කුණු කන්ද ගොඩ නැගු බවත් ඊට පසු එජාප නගරාධිපති මුසාමිල් ශේෂ්ඨාධිකරණයට ගොස් සරත් සිල්වා ගෙන් උසාවි නියෝගයක් ගෙන මීතොටමුල්ල කුණු කන්ද ගොඩ නැගු බවත් ලිපි කරැට අමතකය.

      සිමෙන්ති හැදිමට හුනු කැනීම් කල පසු ඉතිරව අැති අති විශාල නිසරු වලවල් බහුල මිනිස් වාසයක් නැති අතිශය වියලි කලාපයක් වන පුත්තලමේ අරුවක්කාලු ප්‍රදේශයට කුණු දැමීමේ විපාක ගැන පුන පුනා කියන මේ ලියුම්කරැ “අරුවක්කාලු යනු 100%ක් දෝෂ රහිත අංග සම්පූර්ණ ව්‍යාපෘතියක් ද” යය් පාඨකයන්ගෙන් අසය්. නමුත් කුඹුරැ, කෙත්, වතු, වතුර ලිං බහුල වැස්ස අධික තෙත් කලාපයේ ජනාකීර්ණ නගරයක් වන මීපෙ, පාදුක්කට කුණු දැමීම “ජල උල්පත්වලට, පසේ සංයුතියට හා අවට වායුගෝලයට පරිසරයට කිසිදු හානියක් නොවන සේ නවීන විද්‍යාත්මක ක්‍රම ඔස්සේ” කරන්නක් බව කියන ලියුම් කරු ජනතාව ගොනාට අන්දන්න උත්සාහ කරය්.

      100%ක් පාරිසරික හානි නොවන කුණු ව්‍යාපෘති ලොව කොහේවත් නැත. තද නීති මාලවකින් පාලනය කරන උගත් විනීත ජනතාවක් සිටින අති ධනවත් සිංගප්පූරැවෙත්
      දෙෙනිකව එකතු වන ටොන් 4000ක කසල වලින් ඝන අපද්‍රව්‍ය 2% ක් බාජ් වලින් කි.මී.25ක් මුහුදින් ගෙන ගොස් කොම්පැක් කරන බව ‘වොල් ස්ට්‍රිිට් ජර්නලය’ කියය්.
      2013 දී දියුනු මැලේසියාවෙත් දෙෙනික අපද්‍රව්‍ය ටොන් 30,000න් 56% ක් වල දමය් නම් කොළඹ කුණු ප්‍රතිචක්රිකිරීමේ හැකියාව ගැන කවර කතාද? ඝෝඨා මීතොටමුල්ල සහ බ්ලුමැන්ඩල් කුණු කන්ද අරුක්කාල් වලට ගෙන යාම යෝජනාව කැබිනට් එකෙන් අනුමත කරගෙන 2014 අය-වැයෙන් බිලියන 13ක් වෙන් කරගත්තේ එකි නොකි සියල්ල උගත් කමිටුවකින් අධ්‍යනය කල පසුව බව උගත් ලියුමකරු දැන ගතයුතුය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.