26 April, 2024

Blog

රනිල් ජාත්‍යන්තරයට යෑම, මහින්ද දේශපාලන වලපල්ලට යෑම

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

රාජපක්ෂ රෙජීමය පැවති දසවසරක කාලය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට කණකොකා ඇඩවූ කාලයයි. එම යුගයේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වූයේ ලෝකයේ අනෙකුත් සියළුම සීලාචාර රටවල්වලට බේගල් ඇදබාමින්, අසීලාචාර පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සදහා රට අභ්‍යන්තරයට බොරු වීරත්වයක් මවා පෙන්වීමයි. එනම් පාලම්, බෝක්කුවල ජාත්‍යන්තර දේශපාලනය කතාකිරීමයි. බටහිර නායකයින් අල්ලා එල්ලන්නට යෝජනා කිරීමයි. බිල්ලන් මවාපෑමයි.

එම යුගයේදී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අනෙක් සෑම දේශපාලන හා ආර්ථික කාරණයන් මෙන්ම ජාතිවාදී, ආගම්වාදී, රස්තියාදුකාර හැඩයක් ගත්තේය. දශක ගණනාවක් අපත් සමග සිටි අපට උදවු උපකාර කළ අපේ පැරණි බටහිර මිතුරන් වූ එංගලන්තය, ඇමරිකාව, ජපානය, කොරියාව, නෝර්වේ වැනි වැදගත් මිතුරන් අප විසින් අතහැරදමා ඒවෙනුවට ලිබියාව, උගණ්ඩාව, ස්වාසිලන්තය, හා වෙනිසියුලාව වැනි නොවැදගත්, රසතියාදුකාර ලොවන් කොන්වූ රටවල් අපේ ලගම මිතුරන් කරගත්තේය. එවකට රටේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිදු උපක්‍රමශීලි න්‍යායාත්මක වැඩපිළිවෙලක් නොතිබි අතර ඉංග්‍රීසි කතා නොකරන, නොකියවන ජාත්‍යන්තර දේශපාලනයේ හැඩගැස්ම පිළිබදව අඹමල් රේණුවක අවබෝධයක් නැති විමල් වීරවංශ සහ මෙම ආණ්ඩුවේ ප්‍රචාරකයින්ද, සචින් වාස් වැනි අවස්ථාවාදීන් විසින්ද මෙහෙයවනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස රාජපක්ෂවරු එක් තීරණාත්මක වාසියක් ලැබීය. ඔවුන් හිතාමතා ඔවුන්ට අවශ්‍ය පරිදි මේ රටේ මානව අයිතිවාසිකම් උල්ලංගනය කරමින්, මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන මර්දනය කරමින්, ඔවුන් මරාදමමින්, අල්ලස දූෂණය රජකරමින්, චීනයේ මාෆියා බැංකුවලින් හිතූ හැටියට ණය ගනිමින්, ජාත්‍යන්තර නීති රීති හා ගිවිසුම් පයිසයකට මායිම් නොකර රට පාලනය කළේය.

එහිම ප්‍රතිඵලයක් ලෙස අප වේගයෙන් ලෝකයෙන් කොන්වූ අතර අපේ අසල්වැසි ඉන්දියාව අපව විශ්වාස කළ නොහැකි සහෝදරියක සේ සලකන්නට පටන් ගැණිනි. අපේ පැරණි සීලාචාර මිතුරන් වූ යුරෝපය මත්ස්‍ය ආනයනය තහනම් කළේය. GSP + සහනය නවතා දැමුවේය. මානව අයිතිවාසිකම් කවුන්සලය මගින් අපට දඩුවම්කොට අප දඩුකදේ ගසන්නට වෙරවීරිය දැරුවේය. කොටින්ම ශ්‍රී ලංකාවේ කිසිදු රාජතාන්ත්‍රිකයෙකුට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් නොලැබුණු අතර අප ජාත්‍යන්තර දේශපාලන චිත්‍රයේ කොතනකවත් නැති ඕපපාතිකයන් බවට පත්විය. මෙම අවාසනාවන්ත ඉරණම අපට තවත් බොහෝ දෑ අහිමි කළේය. පරම්පරා ගණනාවක් මේ රටේ ජනතාවට විදවිය යුතු ණය බරක් උරුම කළේය. චීනය වැනි ධනවත්, මර්දනකාරී ප්‍රබලයෙකු යටතට අප රටේ ආර්ථිකය හා මරමස්ථාන පත්විය. ඉන්දියාව තමිල්නාඩුව ඕනෑම මොහොතක ශ්‍රී ලංකාව බිලිගැනීමට හෝ පාලනයට නතුකරගැනීමට සූදානමින් සිටියේය. නමුත් මෙම තත්ත්වයන් විමල් වීරවංශ වැනි මෝඩ දේශපාලඥයින් ගැලරිය ඇමතීමට යොදාගත් අතර විදුලි පුටුව වැනි සංඛේතීය දේශපාලන කාරණාවන් කරලියට ආවේය. ඔවුන් රට තුළ සිංහල බසින් ජාත්‍යන්තරය විවේචනයකරද්දී ඔවුන් සිතුවේ මේ සියල්ල රට තුළ පමණක් පවතින බවයි. නමුත් ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකාවේ වාතාවරණය ගැන හොද අදහසක් තිබුණි. එම නිසා අපට එම දස වසර තුළ ජාත්‍යන්තරය අහිමිවිය.

2015 ජනවාරි 08 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වූ පසු යහපාලන ආණ්ඩුවට තිබූ අභියෝග අතර ප්‍රධානතම එකක් වූයේ හැකිතාක් ඉක්මනින් අපෙන් ගිලිහීතිබූ ජාත්‍යන්තරය ජයගැනීමයි. ඒ සදහා අනිවාර්ය කොන්දේසි රාශියක් ඉටුකිරීමට තිබුණි. ඒවායින් ප්‍රධානතම දෙයනම් මොළයක්, අවබෝධයක් හා සීලාචාරබවක් ඇති විදේශ අමාත්‍යවරයෙකු පත්කිරීමයි. ඒ සදහා මංගල සමරවීර හොදින් ගැලපුණි. එසේම අගමැතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇති දැණුම හා අවබෝධය මත අපට මූලික වටයේදීම මානව හිමිකම් කවුන්සලයේ උගුලෙන් ගැලවීමට හැකිවිය. එමෙන්ම යුරෝපීය ආර්ථික සම්බන්ධතා වර්ධනය කරගනිමින් මත්ස්‍ය තහනම ඉවත්කිරීම, GSP සහනය ලබාගැනීම හා අපේ පැරණි සීලාචාර මිතුරන් අතර හොදහිත නැවත වර්ධනය කරගැනීමට හැකිවිය. එසේම ඉන්දීය සබදතා තදින් හා හොදින් වර්ධනය කරගත් අතර ඉන්දියාවට ශ්‍රී ලංකාවේ ඇති ගෞරවය සෑම වෙලාවකම ප්‍රකාශකිරීමට තරම් නිහතමානී විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවද ශ්‍රී ලංකාව කෙරෙහි උපේක්ෂා සහගතව නමුත් අපේක්ෂාවන් දල්වමින් මිත්‍රත්වයේ දෑත් දිගුකළේය. ඉන්දියාව අද ශ්‍රී ලංකාවට සිටින ප්‍රබල හා ලගම ආරක්ෂකයාද, මිත්‍රයාද වේ. එසේම ලංකාව හා චීනය අතර ඇති ආර්ථික සම්බන්ධයේ බරපතල බව පිළිබදව ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා එම අදාල අංශවලට හොද අවබෝධයක් ඇතිබව ඔහුගේ සංචාරයේදී හොදින් විද්‍යමාන විය. පසුගියදා සිදුවූ නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ලංකා සංචාරයේදී හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන්ගේ ඉන්දීය සංචාරයේදී දෙරටේ සම්බන්ධතා නොබිදෙන ලෙස තදින් වර්ධනය වූ බව මාගේ හැගීමයි.

නමුත් ශ්‍රී ලංකාව මුහුණදෙන බරපතලම විදේශ සම්බන්ධතාවය වන්නේ චීනයයි. එක් අතකින් චීනය ස්වාධීන ආර්ථික බලවතෙක් වන අතර අනිත් අතින් ඉන්දියාවේ ප්‍රබලතම සතුරු රාජ්‍යයයි. එමෙන්ම ශ්‍රී ලංකාව චීන ණය උගුලක හිරවී පැටලී ගිලී තිබේ. එක් අතකින් ශ්‍රී ලංකාවට ඉන්දියානු මිත්‍රත්වයෙන් තොර අනාගතයක් නොමැති අතර අනෙක් අතින් චීනයේ ණය උගුල මත පටවනු ලබන පීඩනය රටේ ආර්ථිකයට හා සමාජයට දැඩි බලපෑමක් එල්ලකර තිබේ. එමනිසා පැරණි සීලාචාර මිතුරන් වන එංගලන්තය, ඇමරිකාව, කොරියාව, ජපානය, නෝර්වේ වැනි රටවල සහයෝගය ලබාගන්නා අතරම ඉන්දියානු ආශීර්වාදය හා හොදහිත පවත්වාගැනීම අනිවාර්ය කොන්දේසියකි. එමෙන්ම චීනයේ ආර්ථික ව්‍යාපෘති ඉන්දීය ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ඒත්තුගැන්වීමත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා මුහුණදෙන උගතෝකෝටිකයකි. මෙම තත්ත්වය යටතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාත්‍යන්තරය ජයගනිද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔහුගේ ජාත්‍යන්තර මිතුරන් වූ උගණ්ඩාව, ස්වාසිලන්තය වැනි නොවැදගත් රටවල් සමග දේශපාලනික වලපල්ලට යාමට සිදුව තිබේ.

ඉන්දියාව හා චීනය සමග මෙම ජාත්‍යන්තර හවුල පවත්වාගත හැකි මෙම කලාපයේ එකම රාජ්‍ය ශ්‍රී ලංකාව වේ. එනම් චීන භාණ්ඩ සදහා ඉන්දීය වෙළදපොලේ ඇති සීමාකම් මගහැර එම භාණ්ඩ ඉන්දීය වෙළදපොලට යැවිය හැකි මැදිහත්කරුවා හා සන්නාමය සතුව ඇත්තේ ශ්‍රී ලංකාවටය. එමගින් ඉන්දියාවට සාධාරණ මිලට නිෂ්පාදනද, චීනයට විශාල වෙළදපොලක්ද, ලංකාවට මැදිහත්කරුවෙකුට ලැබිය හැකි සියලුම ලාභද ලැබීමට අවස්ථාව තිබේ. එනම් රැකියා, බදු, වරාය හා ගුවන්තොටුපලවල් උපරිම උපයෝගීතාවයෙන් භාවිතා කිරීම, ඉන්දීය වෙළදපොලට ශ්‍රී ලාංකික සන්නාමය ප්‍රචලිත කිරීම වැනි ආර්ථික ලාභයන්ය. එබැවින් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මෙරට ආර්ථිකයට හා දේශපාලන සෞඛ්‍යට ඉතාම නිවැරදි බව මාගේ හැගීමයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    නූතන බටහිර අධිරාජ්‍යවාදය සීලාචාරද? බොරැ WMD මතින් ඉරාක අාක්‍රමණය ශිෂ්ඨද? ලිබියාවට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනෙන්නට ගිය බටහිරයන් විසින් ලිබියාවේ ජන ජීවිතය නැත්තටම නැති කල බව අද නොදරැවන් පවා දනී.

    ඉස්තරම්ම බටහිර ගැත්තෙක් සහ කලුසුද්දෙක් වන රනිල් වික්‍රමසිංහ එම රටවලින් ණය අාධාර ලබා ගත හැකි යය් සැමදාම අධි තක්සේරැවක සිටියා. චීනය යනු මෑත කාලයේ මුදල් අත අැති පොහොසත්ම රට බව මෝඩ රනිල් සහ ඔහුගේ ජනමාධ්‍ය (උපුල් ජෝසප් වැනි) ගෝලයෝ දැන නොසිටියා විය යුතුය්. මේ අය ඔවුන්ගෙ ලිපි වලින් චීනයට අපහාස උපහාස කලේ චීනය යනු කඩදාසි කොටියෙක් ලෙස හිතා ගෙනය්. ඒ නිසාම ඔවුන් ලංකාවේ චීන අායෝජන වලට කොචොක් කලා අවතක්සේරැ කලා. ඊලම් ත්‍රස්තවාදීන් පරාජය කරන්න චීනය ලංකාවට කල උදව් අමතක කලා.

    බලයට පත් විමට පෙර සහ පසුව මෝඩ රනිල් කල ප්‍රකාෂ සහ විගඩම් මේ ලිපිය ලියු ලේඛකයට අමතක වෙලාද නැතිනම් උවමනාවෙන් අමතක කොරලද? අධික පොලියට චීනයෙන් ණය ගත්තේ යය් රනිල් සහ ගැත්තෝ මහින්දට චෝදනා කලා. පරණ විදුලි බලාගාරයක් වික්කේ යය් සහ මහින්දට කොමිස් ගෙව්වා යය් චීනයට චෝදනා කලා. චීන තානාපති ඒ් සියලු චෝදනා ප්‍රතික්ෂේප කලා. රනිල් බලයට පත්වූ විගස චීන ජනාධිපති ලංකාවට අැවිත් මුල්ගල තිබ්බ US $ බිලියන 1.2 ක පෝට්සිිටි ව්‍යාපෘතිය නතර කලා. චීන ණය මුලුමනින්ම ගෙවා දමන්නේ යය් පුරාජේරැ දොඩා ලාබෙට ණය ගැනිම සඳහා මුදල් අැමති රවී IMF සහ බටහිර රටවල් වෙත පිිටත් කර යැවුවා. සෝරස් ලංකාවට ගෙනැවිත් අායෝජකයින් කුල්මත් කරන්න කියා සම්මන්ත්‍රන නාඩගමකුත් නැටුවා. සෝරස්ගේ අවස්ථාවාදී තක්කඩි වැඩ නිසා මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහමඩ් සෝරස්ව ප්‍රසිද්ධයේ හැඳින්වූයේ ‘මොරොන් ‘ (මී හරකෙක්) කියාය. අදටත් සෝරස්ට මැලේසියාවට යන්න බැහැ. බොන්ඩ් මගඩියෙන් මහබැංකුවට කෙලියා වගේ බටහිරයන්ගේ මුදල් පසුම්බි වලටත් කෙලින්න හැකි යය් රනිල් හිතුවා දෝ යය් මට සිතේ.

    මහින්ද පන්නා දමන කුමන්ත්‍රණ කරන්නට සෝරස්ලා සොච්චමක් (US $ මිලියන කිහිපයක්) වියදම් කලමුත් සංවර්ධන ව්‍යාපෘති වලට US $ බිලියන ගනන් වියදම් කොරන්නට ඔවුන්ට මුදල් නැහැ. රනිල්ට යතාර්ථය තේරැනේ බටහිරයන්ගෙන් ඔහු ඉල්ලූ ණය නොලැබුන විටය්.

    බැරිම තැන ලැජ්ජාව පැත්තක තබා රනිල් චීනට වැඳ බැගෑපත් වෙන්න පටන් ගත්තා.
    නමුත් අද චීනා කොන්ඩෙ බඳින්නේ නැහැ. චීන්නු කොන්ඩෙ බැන්දේ අප කුඩා කාලයේදීය්. අද චීනා වචනයේ පරිසමාප්තියෙන්ම වෙළඳ සූරයෙක්, ලෝක බලවතෙක්. රනිල් විසින් චීන ජනාධිපති විවුර්ථ කල පෝට්සිටි සමරැ ඵලකය ගලවා චීනයට කල අපහාසය චීන්නු කවදාවත් අමතක කරන්නේ නැහැ. දෙන්න බැරි සහන දී අමාරැවේ වැටුන රනිල් අනුවන නාස්තිකාරයෙක් කියලත් චීන දන්නවා. ඉතින් ෂේක්ස්පියර්ගේ ‘වැනිසියේ වෙළෙන්දා’ මෙන් මස් රාත්තලම චීනා අපේ රටෙන් ඉල්ලන එක ගැන අපි පුදුම නොවිය යුතුය්.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.